අවසානයේ ඉතුරු වෙන්නේ වැඩකාරයෝ ටික විතරයි

රාජ්‍ය නාට්‍ය උලෙළෙහි හොඳම සහාය නළුවා සම්පත් ජයවීර
සැප්තැම්බර් 17, 2020

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළෙහි හොඳම සහාය රංගන ශිල්පියාට හිමි සම්මානය දිනා ගනු ලබන්නේ දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස කාඅතරත් ජනප්‍රිය සම්පත් ජයවීර. මේ දිනවල සති අන්තයේ ස්වර්ණවාහිනී නාළිකාවේ "අමාලියා" ටෙලිසිත්තමෙහි විශ්වජිත්ගේ චරිතයෙන් ඔබ හමුවට එන සම්පත් ජයවීර සමඟ  ලැබුණු සම්මානය ගැන සහ වේදිකාව ගැන කතාබහ කළා. 

කොහොමද ලැබුණු සම්මානයේ උණුසුම?

උණුසුම ඉතින් හොඳයි. ගොඩක් අය මට සුබපැතුවා. මට සම්මානයක් ලැබුණු එකට ගොඩක් අය කැමති බවක් තේරුණා. ධර්මප්‍රිය ඩයස්ගේ “මම නෙවෙයි වෙන කෙනෙක්” නාට්‍යයේ රංගනය සඳහායි මට මේ සම්මානය ලැබුණේ. කණ්ඩායමේ හැමෝම බලාපොරොත්තු වුණා මට මේ සම්මානය ලැබෙයි කියලා. හැමෝම ඒ ගැන ගොඩක් සතුටු වුණා. මගෙත් එක්ක බොහොම දක්ෂ තරුණ නළුවෝ දෙදෙනෙක් නිර්දේශ වුණා. ඒ අයටත් මම සුබපතනවා. 

රාජ්‍ය නාට්‍ය උලෙළේ ඔබට සම්මානයක් ලැබුණු පළමු වතාව මෙය නේද?

ඔව්. රාජ්‍ය නාට්‍ය උලෙළක පළමුවෙනි වතාවට මට සම්මානයක් ලැබුණේ. මීට පෙර හොඳම සහාය නළුවා සහ හොඳම නළුවා සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනවා. නමුත් සම්මානයක් ලැබුණේ පළමුවැනි වතාවට.  

"මම නෙමෙයි වෙන කෙනෙක්" නාට්‍ය ගැන අපි ටිකක් කතා කරමු?

බ්‍රිතාන්‍ය ජාතික කෘතහස්ත නාට්‍යකරුවෙක් වුණු රේකූනිගේ නාට්‍යයක අනුවර්තනයක් “මම තමයි වෙන කෙනෙක්” කියන්නේ. මීට වසර විසිපහකට කලින් ප්‍රවීණ රංගන ශිල්පී බන්දුල විතානගේ මහත්මයා මේකම “රෝමය ගිනි ගනී” කියලා නිෂ්පාදනය කළා. ඒ නාට්‍යයටත් සම්මාන ගොඩක් ලැබුණා. ඉතින් මේ නාට්‍ය හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම නළුවා සම්මානවලට නිර්දේශ වුණා. 

ඔබ වැඩිපුරම කැමති වේදිකාවටද? එසේ නැති නම් රිදී තිරයට හෝ පුංචි තිරයටද?

මම කැමති රඟපාන්න. එතකොට මට ඔය මාධ්‍ය තුනම එකයි. මේ මාධ්‍ය තුනේම වඩා හොඳීන් රඟපෑමේ කාර්ය කරන්නයි මම කැමතියි. ඒක මම කොතැනත් කරනවා කියලා මම විශ්වාස කරනවා. 

එතකොට සම්පත් ජයවීරට රඟපෑමේ කාර්ය වඩා හොඳීන් කරන්න පහසු වේදිකාවද? රිදී තිරයද පුංචි තිරයද?

මට නම් ඒ ගැන එහෙම කැමතියි කියන්න එකක් නැහැ. මම චරිත තෝරබේරගෙන රඟපානවා කියලා එකක් නැහැ. මොකද ටෙලිනාට්‍ය රංගනය කියන්නේ මගේ ජීවන වෘත්තිය. ඒක මම තෝරන්න යන්නේ නැහැ. නමුත් වේදිකා නාට්‍ය මම තෝරගෙන රඟපාන්නේ. වේදිකා නාට්‍ය ගොඩකට මම දායක වෙන්නේ නැහැ. ධර්මප්‍රිය ඩයස් වේදිකා නාට්‍යයක රඟපාන්න කතා කළාම මට ඒකට අකමැති වෙන්න හේතුවක් නැහැනේ. ඒ වගේම මම චිත්‍රපටත් තෝරාබේරා ගැනීමක් කරනවා. 

ඔබ මේ ගමන ආරම්භ කළෙත් වේදිකාවෙන් නේද? ඒ අතීතයට ගියොත්?

මම 1998 ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමාවට සම්බන්ධ වුණා. අපට ඒ කාලේ එන්න කියලා තැනක් තිබුණේ වේදිකාව තමයි. යෞවන නාට්‍ය තරගාවලිය, ළමා නාට්‍ය තරගාවලිය, රාජ්‍ය නාට්‍ය උලෙළ වගේ ඒවාට අපි සහභාගි වුණා. අපිට ඒ කාලේ   ටෙලිවිෂන් එකේ සහ චිත්‍රපටවල අවස්ථා ලැබුණේ නැති තරම්. 

ඔබව හැමෝම දන්නේ චරිතාංග රංගන ශිල්පියෙක් හැටියට. නමුත් රංගනයට එලඹෙන බහුතරයක් පොරකන්නේ ප්‍රධාන චරිතවලට නේද?

රංගන ශිල්පියෙක් වෙනවා කිව්වාම හැමෝම හිතන්නේ සුකුමාල පෙනුමක් තියෙන ඇඟ හදාගත්ත කෙනෙක්ටනේ. ඒත් මමත් ප්‍රධාන චරිතය රඟපාපු නිර්මාණ ගොඩක් තියෙනවා. අවශේෂ චරිත රංගපාපු නිර්මාණත් ගොඩක් කරලා තියෙනවා. මම චරිත තෝරන්නේ නැහැ. මට චරිතය අදාළ නැහැ. ඒ චරිතය තුළ රඟපානවා නම් මම රඟපානවා. 

එහෙනම් ඔබ නිර්මාණයකට දායක වෙද්දි  සැලකිලිමත් වෙන්නේ  මොනවා ගැනද?

පිටපතේ ගුණාත්මකත්වය අනිවාර්යයෙන්ම බලනවා. ඒ වගේමයි අධ්‍යක්ෂවරයා කවුද කියලාත් සැලකිලිමත් වෙනවා. පිටපත තමයි මොන නිර්මාණයක වුණත් 50%ක් වැදගත් වෙන්නේ. 

වේදිකාවට පෙම් කරන තරුණයෝ ගැන ඔබට මොකද හිතෙන්නේ?

මට ඒ අය ගැන ගොඩක් සතුටුයි. අපිත් එහෙම තමයි ක්ෂේත්‍රයට ආවේ. ඒ අය වගේම මහන්සි වෙලා නාට්‍ය පුහුණුවීම් කරලා ප්‍රතික්ෂේප වීම් මැද තමයි අපිත් ආවේ. කාලෙන් කාලෙට මේ විෂය යාවත්කාලීන වෙනවා. ඒ නිසා ඒවා තරුණයෝ නිරන්තරයෙන් ග්‍රහණය කරගන්න ඕනේ. ඒ වගේම පුහුණුවීම්, සතතාභ්‍යාසයෙන් කටයුතු කළාම තැනකට එන්න පුළුවන්. කොච්චර ටෙලිනාට්‍ය, සිනමාපට තිබුණත් තරුණයෝ වේදිකාවට එන එක නතර වෙන්නේ නැහැ. ඉතා දක්ෂ පිරිසක් එතැන ඉන්නවා. මහන්සි වෙලා වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ ටිකක් තවමත් වේදිකාවේ ඉන්නවා. 

ඒ වගේම ජනප්‍රිය රැල්ල පසුපස යන තරුණ තරුණියොත් ටෙලි සිනමා ක්ෂේත්‍රයේ ඉන්නවා නේද?

ඒ අය ආවාට ඒ අයට පවතින්න බැහැ   විෂය හැදෑරුවේ නැති නම්. වැඩ කරන අතරතුර පවා ඔවුන්ට මේ ගැන ඉගෙන ගන්න වෙනවා. කොණ්ඩේ හදාගත්තාට, ඇඟ හදාගත්තාට, ඒවත් ඕනේ මම නැහැ කියන්නේ නැහැ. නමුත් පැවැත්මට නම් අධ්‍යයනයක් අවශ්‍යමයි.  රංගනය ගැන අධ්‍යයනය නොකරන කිසිම කෙනෙක් මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්නේ නැහැ. කාලයත් එක්ක යටපත් වෙලා යනවා. අවසානයේ මේකේ ඉතුරු වෙන්නේ වැඩකාරයෝ ටික විතරයි. ඒක තමයි සදාකාලික සත්‍යය. 

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ දවස්වල රාජිත දිසානායකගේ “2019 ජූලි මාසයේ දවසක්” නාට්‍යයේ  පුහුණුවීම් ආරම්භ කළා. ටෙලිනාට්‍ය රූගත කිරීම සිදුවෙනවා. සිවගුරුනාදන් මහත්මයාගේ “අමාලියා” ටෙලිනාට්‍යය මේ දවස්වල විකාශය වෙනවා. ඒ වගේම “තිරය ඇරපන්” කියලා තව නාට්‍යයක් කළා. ඒ වගේම සුපුන් රත්නායකගේ “රෞඩි බේබි” කියලා නාට්‍යයක් කළා. එහි තව රූගත කිරීම් කරන්න තියෙනවා. මම රංගනයෙන් දායක වුණු ගිරිරාජ් කෞශල්‍යගේ “කතුරු මිතුරු” සිනමාපටය සහ ජගත් මනුවර්ණගේ “සිංදු කියන කඳු” සිනමාපටය එන්න තියෙනවා. ඒ වගේම අපි වසර ගාණක් බලාගෙන හිටපු, නින්දා අපහාස සෑහෙන්න විඳපු “ඉඟිලෙන මාළුවෝ” චිත්‍රපටයත් එනවා කියලා එහි අධ්‍යක්ෂවරයා සංජීව පුෂ්පකුමාර කිව්වා.