කෝලමක් නොවූ කෝලම්

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
ඔක්තෝබර් 8, 2020

ගැමි නාට්‍ය නැරඹීමේ දී අපට කෝලම් නැටුම්, සොකරි, දහඅට සන්නිය, බලි ශාන්ති කර්ම වෙන් වෙන්ව හඳුනාගත හැකි වන්නේත් ඒවායේ ප්‍රාදේශීය  අනන්‍යතාවන් හඳුනාගත හැකි වන්නේත් එබැවිනි. දළදා  පෙරහරේ පහතරට බෙරය වැයෙන්නේ නැත. එසේම පහතරට නැටුම් හෝ යක් නැටුම් ද දක්නට නොලැබේ. දළදා පෙරහැර වූ කලී උඩරට නැටුම, නාට්‍ය, චිත්‍ර කලාව, රන්, රිදී සහ ලෝහ කර්මාන්තය, ඇඳුම් මෝස්තර ආදී උඩරට ප්‍රදේශයට ආවේණික කලාවන්හි ප්‍රදර්ශනයක් වැනිය. ඔවුන් සියලු දෙනා ඒ එක් එක් ගැමි කලාවන්ගේ උරුමයද ශක්‍යතාවන්ද රහස්ද උසුලා සිටින්නෝ වෙති. 

බොහෝ විට ගැමි නාට්‍ය හා කලාවන් සම්මතගත කතා ආකෘතීන් හා සම්මුතීන් හී සම්මතයන් තුළ වැඩ කිරීමට එම කලාකරුවා කණ්ඩායම් අපේක්ෂාවන්ගෙන් බැදී සිටින අතරම තම පුද්ගල නිර්මාණශීලීත්වය, පෞද්ගලික සෞන්දර්යාත්මක තේරීම් හා තාක්ෂණික නිපුනණත්වයන්වල උරුම වූ සම්ප්‍රදාය එක තැන පල්වීමට ඉඩ නොදී සෑම පරම්පරාවක්ම තුළම ඒවා අලුත් කිරීමට ඉඩක් ලබා දේ. කෝලම් නාට්‍ය ගතහොත් ඒවායේ ආකර්ෂණීය බව රැඳී ඇත්තේ නළුවාගේ සෞන්දර්යාත්මක තේරීම්, ඉදිරිපත් කිරීමේ හැකියාව මතය.

එසේම පසු කාලෙකදි බඩ දරු කෝළම, මරක්කල කෝළම, දෙමළ කෝළම, පරංගි කෝළම, කරපිට කෝළම ආදිය එකතු වී ඇත්තේ කෝළම් නාට්‍ය කරුවා කෙරෙහි දෙමළ, මරක්කල සහ පරංගි ආදි අන්‍ය ජාතිකයින් ගේ බලපෑමට දක්වන ලද ප්‍රතිචාර හේතුවෙනි. උඩරට චිත්‍ර සම්ප්‍රදායේ දී ද දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වීමේ දී එහි නිරූපිත මිනිසුන්ගේ ඇඳුම් පැලඳුම් සහ සිරිත් විරිත් තුළ බරපතළ වෙනස්නම්  දක්නට ලැබෙන්නේ එබැවිනි. සොකරි,කෝළම් සහ නාඩගම් ආදියෙහි සංගීතය, නර්තනය, ඇඳුම් පැලඳුම් ආදී අනුශාංගික භාවිතයන් ද මෙම ප්‍රාදේශීය හා ගෝත්‍රික (ජාතීන් අතර) වෙනස්කම් පැහැදිලිව කැපී පෙනෙයි. 

ගැමි කලාව සාම්ප්‍රදායික ආකෘතීන් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ඒවා නිෂ්පාදනයේ දී නවෝත්පාදක භාවිතාවන්ද  වැදගත් ලෙස භාවිත කරයි. ජන කලා සම්ප්‍රදායන් වන මැටි, ලෝහ, රිදී, ලී. සහ රන් කැටයම් කලාවන් අඛණ්ඩ වර්ධනය කරන අතරම නව ආකෘතීන් ද උපයෝගීතාවයන් මත නිරන්තරයෙන් අලුත් වෙන්නට ඉඩ පාදා ගනියි. ජන කලාවන්ගේ සැලසුම් හා නිෂ්පාදන විධිමත් ලෙස ද අවිධිමත් ලෙස ද උගන්වනු ලැබේ. ඒවායේ පරම්පරාගතව ස්වයං ඉගැන්වීම් ද පවතී. බොහෝ විට ඒවායේ ඉගැන්වීම් එදිනෙදා ජීවිතයේ කාර්‍යයන් හා බැඳී පවතී.

ගැමි නාට්‍ය බොහෝ විට  නිශ්චිත කාල සීමාවකට එනම් බොහෝ විට අස්වනු නෙලා ගත් පසු එළඹෙන නිදහස් කාලය ට සීමා වේ. (ලංකාවේ නම් අවුරුදු සමය වෙනත් රටවලදී නම් වසත් සමය හෙවත් වසන්ත කාලය) එම කාලය අතරතුර නාට්‍ය නැටීමක් නැත. නමුත් එම කාලය තුළ කෙරෙන ගොවිතැන්  කටයුතු, ඒ හා බැඳී ජන කවි,   සෙත් ශාන්ති කිරීම් ආදියේ නිරතවීමෙන් ගැමි නාට්‍යකරුවා නාට්‍ය කිරීමට අවශ්‍ය කායික හා හඬ පුහුණුවද, මානසික පුහුණුවට ද අවශ්‍ය අභ්‍යාසයන් ලබා ගනී.

මෙයට හේතුව ගැමි නාට්‍ය සාමාන්‍ය ජීවිතයේ උපයෝගීතා පැවැත්ම හා බැඳී පවතී. ගැමි නාට්‍යයේ වාදනය කෙරෙන  බෙරය එය නාට්‍යයට වාදනය කිරීමෙන් පසු ඉවත තබන්නේ නැත. පුද්ගල සෙත්, ශාන්ති, තොවිල් මෙන්ම පෙරහර ආදී කාර්යයන්වල යෙදීමෙන් ගැමි නාට්‍යකරුවා ගැමි නාට්‍ය සඳහා අවශ්‍ය වාද්‍ය පුහුණුව නැතහොත් සතතාභ්‍යාසය ලබා ගනී.  

බොහෝවිට ජන කලාවේ සංස්කෘතිය ‍ද්‍රව්‍යමය වේ.  ඒවා ප්‍රධාන ආගම් වල දර්ශනයෙන් නොව ආගමික විශ්වාසයන්ගෙන් පෝෂණය වී ඇත. ආගම්වල දාර්ශනික එළඹුම ඒවායේ යටි පෙළේ ගැබ්ව තිබුණද ඒවායේ අරමුණ උපයෝගීතාවයක් මෙන්ම දැකීමෙන් හා ස්පර්ශයෙන් අත්විඳීන භෞතික සංස්කෘතියක් සහිත වේ.

ගැමි නාට්‍යකරුවාගේ නිර්මාණවල සම්භාව්‍ය නාට්‍යයේ ලක්ෂණ දැකිය හැකි වුවද ඒ බලපෑම සවිඥානකව සම්භාව්‍ය නාට්‍යවල මූලධර්ම හෝ සිද්ධාන්ත හැදෑරීමෙන් උකහා ගත් ඒවා නොවේ.  ගැමි නාට්‍ය එක්කෝ ගැමි ආගම හෝ ගැමියාගේ ලෞකික අවශ්‍යතා කෙරෙහි යොමු වී ඇත.  ඒ නිසා ගැමි නාට්‍ය බොහෝමයක් රසිකයෙක් හෝ ප්‍රේක්ෂකයායෙක් වෙනුවට බැතිමතෙක් හෝ ආතුරයෙක් ඉලක්ක කර ගනී. 

පුරාවෘත්තයක කතන්දරය එහි මූලාශ්‍රය වේ. කතන්දරය ඉක්මවීම හෝ එය ඉක්මවා ගොස් වෙනස් අර්ථකථනයන්ට බඳුන් කරනවා වෙනුවට කතන්දරේ වහලෙකු වීම ගැමි නාට්‍ය කරුවාගේ ලක්ෂණය වේ. චුල්ල ධනුද්දර ජාතකය මුලාශ්‍ර කරගත් මනමේ නාඩගම හෝ  මනමේ කෝලම සමග සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය සන්සන්දනය කිරීමේදී මේ වෙනස හඳුනාගත හැකිය. ගැමි නාට්‍ය කරුවා මුල් සාහිත්‍යය මූලාශ්‍රයේ පදනම ඉක්මවා නො යයි. කතන්දරේ (ජාතක කතාවේ)  එන සෑම අංශුවක් ම නාඩගමේ හෝ කෝලමේ අඩංගු වේ.  නමුත් සරච්චන්ද්‍රයන්යන් කතන්දරය වෙනුවට කතා වින්‍යාසය තෝරා ගනී.

 කතන්දරයේ නාට්‍යමය නොවන සියල්ල ඉවත දමා නාට්‍යමය ගැටුම පමණක් නාට්‍යයට  එකතු කරයි. මනමේ නාටකයේ ඉවත හළ යුතු දේ නැත.  එහෙත් මනමේ කෝලමේ හෝ නාඩගමේ ඉවත හළ යුතු නාට්‍යමය කොටස් බොහෝ වේ. එයට හේතුව ගැමි නාටකයේ ශ්‍රාවකයා බැතිමතෙක් හෝ ආතුරයෙක් වීමත් මනමේ නාටකය ප්‍රේක්ෂකයා ඉලක්ක කර ගැනීමත්ය. බොහෝ විට සම්භාව්‍ය නැතහොත් විදග්ධ නාට්‍යයේ මූලික ලක්ෂණ ගොඩනැගෙන්නේ ගැමි හෙවත් ජන නාටකයේ වර්ධනය වූ නාට්‍යමය අවස්ථා වර්ධනය වීමෙනි.  

බොහෝවිට ගැමි කලාවන්ගේ ආකෘතිය හා සැලැස්ම දක්ෂ ලෙස සකස් කිරීම නිසා කලා කෘතියක් බවට පත්වේ. ඒවායේ ස්වරූපයේ ඇති නිරවද්‍යතාවයත්, මතුපිට අලංකරණය මෙන්ම අලංකාරයත් වැදගත් වේ. එසේම ගැමි කලාවෝ මේ නිසා ද්‍රව්‍යමය සංස්කෘතියේ අනෙක් පුරාවස්තූන්ගෙන් වෙනස් වෙති.  කෝලම් වෙස් මුහුණු, සැරසිලි මෙන්ම අනුරාධපුර හා නුවර යුගයේ චිත්‍ර මෙම අලංකාරය නිසාම පුරාවස්තූන්ගෙන් වෙනස් වේ.

බොහෝව විට ගැමි නාට්‍යකරුවා මෙන්ම ගැමි කලාකරුවා ඊට අයිති සංස්කෘතියේම ප්‍රකාශකයෙකු මෙන්ම වාහකයෙකු නිසා පුද්ගල ප්‍රකාශනය සඳහා උත්සහ නොකරයි. ගැමි නාට්‍ය කරුවා තම මුඛරිබව, ආකර්ෂණීය බව නිසා බැතිමතුන්ගේ සිත් දිනා ගත්තද ඔහුගේ භාවිතයේ අරමුණ කණ්ඩායම් වගකීමකි. කේවල දක්ෂතා සියල්ල පොදු අරමුණක් වෙනුවෙන් පවති.

පැරණි චිත්‍ර ශිල්පියා ආගමික චිත්‍ර ඇන්ද ද තනි පුද්ගල ප්‍රකාශනය එනම් වර්තමානයේ මෙන් ඒක පුද්ගල ප්‍රදර්ශන වෙනුවෙන් උත්සුක විය. චිත්‍ර ශිල්පියා ද, නාට්‍ය ශිල්පියා ද, සාමුහික හා කණ්ඩායම් හැඟීමක, ප්‍රකාශනයක කොටස්කරුවෙකි. ගැමි කලාකරුවාගේ මේ කණ්ඩායම් සංකල්පයෙන් හැඟවෙන්නේ ගැමි කලා කලාකරුවා ගේ වම වශයෙන්ම වශයෙන් අන්‍යයන් සමග සන්නිවේදනයෙහි ඔවුන්ගේ හැකියාවන් ප්‍රායෝගිකව හා බුද්ධිමය වශයෙන් ලබාග ගත යුතු බවයි.  

ජන නාට්‍යයේ, ජන කලාවේ ව්‍යසනය නැතහොත් යටපත් වීමට හේතුව වන්නේ ජන කලාවට අවශ්‍ය උපකරණ, මෙවලම් තවදුරටත් ප්‍රජාව තුළින් ලබාග ගත නොහැකි වූ විටදීය.  කෝලම්, සොකරි සහ සන්නි කෘෂි ආර්ථිකය මත පදනම් වූ බැවින් ඒවායේ අවශ්‍යතාවය, අවශ්‍ය භෞතික ද්‍රව්‍ය, උපකරණ එම කෘෂි ආර්ථිකයෙන් ( පරිභෝජන කෘෂි ආර්ථිකය)  ලබාගත හැකි විය. පරිභෝජන කෘෂි ආර්ථිකය වැවිලි කෘෂි ආර්ථිකයට පරිවර්තනය වූ විට නාට්‍යයට අවශ්‍ය පරිසරය බැහැර වූ බැවින් කෝලම්, සොකරි, සන්නි, බලියාග සහ දෙවොල්මඩු සාමාන්‍ය ජන ජීවිතයේ ඓන්ද්‍රිය සම්බන්ධතාවයෙන් බැහැර විය.

බොහෝ විට ගැමි කලාව ඊට අත්‍යවශ්‍ය වූ මෙම සමාජ, ආර්ථික සහ සංස්කෘතික මූලයන් ගෙන් දුරස් වූ විට එක්කෝ ඒවා ව්‍යවහාරයෙන් දුරස් විය. නැතහොත් මෙම සාම්ප්‍රදායික ගැමි කලාවන් සාම්ප්‍රදායික ශිල්ප කාර්මික පාසල් හෝ ව්‍යවහාරික කලා පාසල්වල ඉගෙනුමට, ඉගැන්වීමට මාරු විය. ගැමි කලාව, නාට්‍ය  උපන්නේ ගෘහස්ථ හෝ ප්‍රජාවේ දෛනික ජීවිතයේ යම් යම් කාර්ය සාධනයන් සඳහාය.

ජන නාට්‍ය මෙන්ම ජන කලාව ද විවිධ හැඩ හා ප්‍රමාණ ගත්තද ඒවා යම් නිශ්චිත භූගෝලීය කලාපයක මනුෂ්‍යයාට සීමා  වන අතර එම නිශ්චිත කලාපයේ ද්‍රව්‍ය භාවිත කරයි. එසේම එම කලාපයට ආවේණික භාෂාමය සංස්කෘතිකමය රාමුවට අනුගත වේ. මේ සීමාවන් නිසාම ඒවායේ  හැඩතල සහ  ආකෘති හුරුපුරුදු ප්‍රතිනිෂ්පාදනයක යෙදේ.

ජන කලාව මෙන්ම ජන නාටකය ලෝකයේ සාම්ප්‍රදායික සංස්කෘතියේ ප්‍රකාශනයකි. ප්‍රජාව සහ සංස්කෘතියෙන් එන සම්ප්‍රදායන් තුළ මුල් බැස ඇත.

ඒවා  හවුල් ප්‍රජා වටිනාකම්, ලංකාවේ නම් උඩරට, පහත රට, සබරගමු, ඉන්දියාවේ නම් දකුණු ඉන්දීය , උතුරු ඉන්දීය යන වෙනස්කම් ප්‍රකට කරයි.  එම කලාපීය සීමාවේ සෞන්දර්ය ප්‍රකාශනයක යෙදෙමින් සංස්කෘතික අනන්‍යතාවය ප්‍රකාශ කරයි.

උඩරට නැටුම්,  පහත රට නැටුම්,  සබරගමු නැටුම් මෙන්ම නාට්‍ය ද මේ සංස්කෘතික අනන්‍යතාවය සහිත වේ. බොහෝ විට ගැමි කලාකරුවා පුද්ගල හෝ ස්වයං අනන්‍යතාවයකට වඩා නිර්මාණයන්ට කුසලතා ප්‍රකාශනයේ දී ඔවුන්ගේ ප්‍රජාවේ අව්‍යාජ සංස්කෘතික අනන්‍යතාවය ප්‍රකාශ කරන පුද්ගලයන්ගේ නිර්මාණ වෙයි. ගැමි කලා කලාකරුවා සැම විටම කලාකෘතිය තම සංස්කෘතිය පොදු ප්‍රකාශනයක් බවට පත් කොට තම පුද්ගල අනන්‍යතාවය සඟවා ගනී.  

මෙම සීමා නිසාම ගැමි නාට්‍යයේ දැක්ම පැතලි දර්ශනයක් ප්‍රකාශ කරයි. ඒවායේ එන සිද්ධි,  චරිත,  විදග්ධ නාට්‍ය මෙන්ම සංකීර්ණ,  සියුම් මනෝභාවයන් ප්‍රකාශ නො නොකරයි.  පැතලි චරිත ඒක රේඛීය සිද්ධි ගැමි නාට්‍යවල ප්‍රධාන ලක්ෂණයන් වෙති. සරල ප්‍රහසනාත්මක හැසිරීම් හා අති නාටකීය හැසිරීම් ඒවායේ මුඛ්‍ය හැඩතල වේ.

ගැමි කලා වනාහි (ගැමි නාට්‍ය මෙන්ම) රටක පොදු ජනතාවගෙන් ආරම්භ වූ හෝ සම්ප්‍රදායික වූ  සංගීත, නැටුම්, චිත්‍ර සාහිත්‍ය වේ. ගැමි නාට්‍ය මූලික ලක්ෂණය මෙම පොදුජන හා සාම්ප්‍රධායික හැඩය වන නිසාම විදග්ධ නාට්‍ය මෙන් ගැමි නාට්‍ය කාලය ඉක්මවා අතීතයේදී, වර්තමානයේ දී මෙන්ම අනාගතයේ දී ද මනුෂ්‍ය ජීවිතය වෙනස් වෙනස් ලෙස අර්ථ අර්ථකථනයට බදුන් නොකරයි. එය  නිශ්චිත සමාජ, සංස්කෘතික. ආර්ථික සහ  නැතහොත් එම රාමුව වෙනස් වූ කල යටපත් වී යයි.

නැතහොත් එම රාමුව වෙනස් වූ කල යටපත් වී යයි. යම් හෙයකින් එම ගැමි නාට්‍ය හෝ කලාව රාමුව තිබියදී පවතින්නේ නම් ඊට හේතුව ගැමි කලාවේ (නාට්‍යයේ) පැරණි උරුමය හෝ අවශ්‍යතාවය නිසා නොවේ. හුදෙක් එය පවතින්නේ කලා ඉතිහාසයය ඉගෙනීම සඳහා වන අධ්‍යාපනික අරමුණක් වෙනුවෙනි. වර්තමානයේදී විවිධ තැන් වල කෝලම්, සොකරි සහ සන්නි ආදී  ගැමි නාට්‍යය රඟ දැක්වූ වත් ඒවා නරඹන්නට යන අය බැතිමතුන්ද නොවන ප්‍රේක්ෂකයන් හෝ රසිකයන් ද නොවන අධ්‍යාපනික අරමුණු සහිතම පිරිසක් පමණි.