ශෝකෝත්පාදකය පිළිබඳ කාව්‍ය ශාස්ත්‍රයේ එන විග්‍රහයන්

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
නොවැම්බර් 19, 2020

ශෝකෝත්පාදකයක් රචනා කිරීමේ දී රූපණයේදී හා වේදිකාව මත ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළයුතු කරුණු පිළිබඳව ඇරිස්ටෝටල් කාව්‍ය ශාසත්‍රයේ දක්වන කරුණු නාට්‍යයක්, චිත්‍රපටයක්, නවකතාවක්, කෙටිකතාවක් හෝ රූපවාහිණි නාට්‍යයක් රචනා කිරීමේ දී ඉතා වැදගත්වන ව්‍යා‍කරණයන් වැනි වේ. භාෂාවක් නිවැරදි ලෙස හැසිරවීමට ව්‍යාකරණ කෙතරම් වැදගත් වේ ද නාට්‍යයක් රචනා කිරීමේ දී කාව්‍ය ශාස්ත්‍රමයේ හා නාට්‍ය ශාස්ත්‍රයේ දක්වන රචනය පිළිබද සෛද්ධාන්තික කරුණු මැනවින් දැන සිටීමද වැදගත් වේ. ඒවා දැන සිටීම උසස් නාට්‍ය රචනයක් බිහි කිරීමට මෙන්ම වෙනස් වූ සම්මත නොවන ආකෘතියකින් නාට්‍යයක් රචනා කිරීමට ද වැදගත් වේ.

නිදසුනක් ලෙස කාව්‍ය ශාස්ත්‍රය ඇරිස්ටෝටල් විසින් ලියන සමයේ දී ම සොෆොක්ලීස් වැනි රචකයෙකු කාව්‍ය ශාස්ත්‍රයට අනුකූල වන සේ ඊඩිපස් වැනි නාට්‍යයක් ද, කාව්‍ය ශාස්ත්‍රයේ එන සෛද්ධාන්ත පිළිබද ඉන් එහා ගිය ආකෘතියකින් කොලෝනස් හී ඊඩිපස් වැනි නාට්‍ය රචනාවක් ද සිදුකොට ඇත. ඊඩිපස් නාට්‍ය ගත හොත් කාව්‍ය ශාස්ත්‍රයේ දක්වන ශෝකෝත්පාදකයකට පරමාදර්ශ කෘතියක් වන අතරම ඛේදාන්ත වීරයා හා ඛේදාන්තය පිළිබඳ වෙනස්ම අර්ථකථනයකින් කොලෝනා හි ඊඩිපස් නාට්‍ය රචනා කොට ඇත. එසේ සිදු වන්නේ නාට්‍ය සිද්ධාන්ත පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිත වූ විට පමණි. ‍ව්‍යාකරණ බිඳීන්නට නම් ව්‍යාකරණ හොඳීන් දැන යුතුය.

ඇරිස්ටෝටලියානු සිද්ධාන්ත විරෝධියකු වන බර්ටෝල්ඩ් බ්‍රේෂ්ට් පවා ගැලිලියෝ ගැලිලි, පුන්තිලා වැනි නාට්‍යයකදී ඇරිස්ටෝටලියානු ආකෘතියෙන් පූර්ණව බැහැර නොයයි. විශේෂයෙන් නාට්‍යය දීර්ඝත්වය, පරිමාව සහ රසෝද්දීපනය පිළිබඳ අවධානය යොමුකරන විටදී සෛද්ධාන්තික අවබෝධය ඉතා වැදගත් වේ. ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රයේ දී ද භරතමුණි නාට්‍ය ශාස්ත්‍රයේ දී ද සෙ- අමි මොතොකියෝ පුෂිකදෙන් කෘතියේ දී ද වඩාත් අවධානය යොමු කරනුයේ මූලිකව නාට්‍ය රචනය, රූපණය, පේ‍්‍රක්ෂාගාරය සහ රංග භූමිය පිළිබඳ කාරණා කෙරෙහිය. මෙම කෘතීන් ති‍්‍රත්වයේදීම වෙනස් වෙනස් ලෙස සාකච්ඡා කරනුයේ එකම කරුණු පිළිබඳවය.

කාව්‍යයේ මූලිකම දෙය අනුකරණයයි. භරතමුනි ‘‘අවස්ථානුකෘතීර් නාට්‍යයම්” ලෙසද, ඇරිස්ටෝටල් කි‍්‍රයා අනුකරණය නාට්‍ය ලෙස ද, සෙ- අමි මොනෝමනේ ලෙසද විස්තර කරන්නේ අනුකරණය පිළිබඳවයි. ශෝකෝත්පාදකයේ වැදගත්ම ලක්ෂණය අනුකරණයයි. නාට්‍ය අනෙක් කලාවන්ගෙන් ද එක් එක් කලාවන් අන්ය- කලාවන්ගෙන් ද වෙනස් වනුයේ අනුකරණය මාධ්‍ය, අනුකරණය කරන වස්තු සහ අනුකරණ විධීන් ගෙනි. ශෝකෝත්පාදකයෙදී අනුකරණය කරන වස්තු නම් විවිධ කි‍්‍රයාවන් සහිත පුද්ගලයන් ය. එනම් ශෝකෝත්පාදකයෙදී ප්‍රකෘති තත්ත්වයට වඩා හොඳ මිනිසුන් නිරූපණය වේ. ඔවුන් අප වැනි ය නමුත් අපට වඩා උදාර අරමුණු ඇත්තේය.

ඒ උදාර අරමුණු වෙනුවෙන් කරන අරගලයේදී ඔවුන් තමාගේ අරමුණු හෙවත් පුද්ගලිකත්වය ඉවත දමයි. ඔහුගේ අරමුණ විසින් තමාගේ ජීවිතය පිළිබඳ ඇති ආශාවන් ඉවත දමයි. මේ නිසා ශෝකොත්පාදකයේ දී වීරයාගේ ඉෂ්ටාර්ථ සිද්ධිය සිදු නොවීම වේ. හාස්‍යෝත්පාදකය යනු සිනහව ඇති කිරීම නොව කතා නායක නායිකාවන්ගේ ඉෂ්ටාර්ථ සිද්ධිය සිදු වේ. ඊඩිපස් සහ ඇන්ටිගනී ආදීන්ගේ අරමුණු පෞද්ගලික අභිමතාර්ථ ඉක්මවා ගිය උදාර අරමුණු සහිත වේ. එසේම ඔවුන්ගේ අරමුණු ඉටුනොවේ. ඉටු වුවත් ප්‍රමාද වේ. නැතහොත් එය දැකීමට හෝ විඳීමට වීරයාට ඉඩක් නො නොලැබේ.

ශෝකෝත්පාදකයේ දී අපූර්ව දර්ශන වැදගත් නොවේ. අපේක්ෂිත කාරුණ්‍ය හා අනුකම්පාව බිය ඇති කිරීමට වඩා වැදගත් වන්නේ නාට්‍යයේ ආකෘතිය හා සිද්ධි ගැළපීමයි. අනුකරණ වස්තු තෝරා ගැනීම ශාක්‍ය තාවය ශෝකෝත්පාදකයේ විශිෂ්ටත්වයට සෘජුවම බලපානු ඇත. කාව්‍යයේදී කලාවේදී අනුකරණය විධි ගණනාවක් ඇත. කතාන්තර හෙවත් ආඛයාන ක්‍රමයෙන් ද වෙනත් චරිත මාර්ගයෙන්ද සිද්ධි අනුකරණය කළ හැක. එහෙත් නාට්‍ය‍ නැතහොත් ශෝකෝත්පාදක ය සදහා උචිතම අනුකරණ විධි වනුයේ සිද්ධියට අදාළ චරිත පේ‍්‍රක්ෂකයා ඉදිරියේ ප්‍රාණවත් ලෙස හැසිරෙමින් චරිත ඉදිරිපත් කිරීමේ ක්‍රමයයි.

කාව්‍යයේ මනෝවිද්‍යාත්මක පදනම නම් බැරෑරුම් හා අධම යන යන කොටස් දෙකයි. පිළිවෙළින් ශෝකෝත්පාදකය සහ හාස්‍යෙයා්ත්පාදකය ඓතිහාසිකව ආරම්භ වී ඇත්තේ ඒ අනුව වේ. ශෝකෝත්පාදකය නිර්වචනය කරන ඇරිස්ටෝටල් එය මෙසේ විස්තර කරයි. ‘‘මේ අනුව ශෝකෝත්පාදකය වූ කලී යම් පරිමාණයකින් යුක්ත වූ ද, පරිපූර්ණ වූ ද යහපත් කි‍්‍රයාවක අනුකරණයක් වන අතර කාරුණ්යර සහ භය උපදවන සිද්ධීන්ගෙන් යුක්ත වූ ද, භාව විශෝධනය සිද්ධ කරන්නා වූ ද නිර්මාණයකි.“

ශෝකෝත්පාදකයේ අරමුණ වූ කලී භාව විශෝධනයයි. (Catharsis) මෙය වෛද්‍ය විද්‍යාවේ එන සංකල්පයකි. පෙරදිග ගැමි නාට්‍ය කලාවේ එන තුන්දොස් (වා, පිත් සහ සෙම්) සමනයට සමානයි. ගී‍්‍රක නාට්‍යයේ මෙය සිව් දොස් ( වා/සෙම්/කහ පිත/ කළු පිත) සමනය ලෙස දැක්වේ. එය කායිකවද මානසිකවද ඇතිවන්නා වූ විශ්රාවන්තියකි සමනය වීමකි. භාවයන්ගේ විශෝධනය ශෝකෝත්පාදක නාට්‍යයේ සදාචාරාත්මක ඵලය වේ. ශෝකෝත්පාදකය ගැඹුරු සංකල්පයක් වනුයේ සොෆොක්ලීස්, ෂේක්ස්පියර් සහ චෙකොව් ගේ නාට්‍යයක්, බර්ග්මාන්, තර්කෝව්ස්කි සහ සත්‍යජිත් රායි ගේ සිනමා කෘතියක් තෝල්ස්තෝයි, තාගෝර් සහ ලෝරන්ස් වැන්නෙකුගේ නවකතාවක් වින්දනයේදී ද ඇති වන බලවත් හැඟීම් කවරේ දැයි තේරුම් ගැනීම්ට භාව විශෝධන සංකල්පය අවබෝධ කරගැනීම වැදගත් වේ. ‍‍‍බෙහෙත් අපගේ කායික ශරීරය සුවපත් කරයි.

එහෙත් අපගේ අධ්‍යාත්මය මානසික ශරීරය සුවපත් වනුයේ භාව විශෝධනය මාර්ගයෙනි. ශෝකෝත්පාදකය භාව විශෝධනයේ මාර්ගය වේ. ග්‍රීක කථයිරෝ (Kathairo) යන වදනින් උපන් කැතාසීස් (Catharsis) යන්නෙහි අදහස සුවපත් කිරීම යන්නයි. නැතහොත් පිරිසිදු කිරීමයි. වෛද්‍ය විද්‍යාවේදී එය විරේචනය ලෙසද ආගමික අර්ථයෙන් ශුද්ධත්වය ලෙසද ගත හැක. පෙරදිග රස සංකල්පයේදී උත්කෘෂ්ට සන්තුෂ්ටිය ඇති කිරීමට ජපන් නාට්‍ය කලාවේදී එය කුසුම අත්පත් කර ගැනීම හෙවත් ‘‘හන“ යන විග්‍රහයට ද සමාන වේ. මෙම සංකල්පය අතිශය සියුම් සෞන්දර්ය සංකල්පයකි. එය එක්තරා දුරකට රෝග නිවාරණය යන අදහස හා බැඳේ. ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රය දක්වන පරිදි කෘතියේ ඇතැම් පුද්ගලයන් තුළ කාරුණ්‍යයක හා බය යන භාවයද ප්‍රහර්ෂයද දැඩි ලෙස පවතී. මේ භාවයෝ අඩු වැඩි වශයෙන් සෑම මනුෂ්‍යයකුටම බලපෑම් කරයි.

ඇතැම් හූ ආගමික ගීත ස්තෝත්‍ර මගින් සුවපත් වී විරේචනයට ලක්වී උන්මාද අවස්ථාවන්ට පත්වේ. කාරුණ්යත සහ බය මෙන් සියලු භාව අවස්ථා තමන් කෙරෙහි කි‍්‍රයාත්මක වන පුද්ගලයෝ සමාන වින්දනයක් ලබන අතර සෙසු අය තම තමන් කෙරෙහි ඇති කරන බලපෑම ට අනුව වින්දනයක් ලබයි. අවසන සියලු දෙනාම යම් ප්‍රමාණයකට විරේචනයට පාත්‍ර වී ඔවුන්ගේ ආත්මයන් සැහැල්ලු බවටත් සන්තෘෂ්ටියටත් පත්කර ගනිති. කාව්‍ය අනුකරණයේ දී සිදුවන භාව විශෝධනය ද සිදුවන්නේ භාවමය සුඛ වින්දන තත්ත්වයක් ඇති වීම හේතුවෙනි. ශෝකෝත්පාදක නාට්‍ය විෂයෙහි භාව විශෝධන සංකල්පය ඉතා වැදගත් තැනක් දරනු ලබයි. භාව විශෝධනය යනු පේ‍්‍රක්ෂකයා දෘශ්‍ය කාව්‍ය නැරඹීමෙන් ලද රස අනුභූතියට නැතහොත් ආනන්දයට පත් වූ අවස්ථාවක ඔහු විඳීන රූප පරිණාමයක් වන් ධර්මතාවයකි. එක්තරා සැහැල්ලු වීමකි. එසේම ඥානමය මාර්ගයකි. පෙරදිග රංග කලාවේ විස්තර කරන රස සංකල්පය හා බැඳුණු ධර්මතාවයකි භාව විශෝධන සංකල්පය.

පෙරදිග රංග කලාවේ රස සංකල්පය මෙන් ශෝකෝත්පාදක නාට්‍යයේ වැදගත්ම අංගය කාරුණ්යේ හා භය යන භාවයෝය. ශෝකෝත්පාදකයේ මූලික කාර්යය නම් එයයි. ඇරිස්ටෝටල් අලංකාර ශාස්ත්‍රය කෘතියේ (Rhetoric) දක්වන පරිදි “කාරුණ්යය“ සාක්ෂාත් වන්නේ අසාධාරණ සිද්ධ වීමෙනි. සමහර විට ඒ ඉරණම විසින් මිනිසා මත පටවන්න ලද ව්‍යසනයන්ගෙන් ගැලවීම ශෝකෝත්පාදක වීරයාගේ අරගලයයි. ඊඩිපස් මත පටවා ඇති ඉරණම එවැන්නකි. එනම් තමාගේම පියා ඝාතනය කොට මව සමග විවාහ වී දූ පුතුන් ලැබීම් පිළිබඳ ව්‍යසනය ඊඩිපස් මත ඉරණම විසින් පටවන ලද අසාධාරණ ව්‍යසනයකි. කාරුණ්ය ඇති වන්නේ යම් ව්‍යසනයක් නොසිදුවමනා පුද්ගලයෙකුට පැහැදිලි ලෙස පෙනෙන පරිදි සිද්ධ වන්නාවූ ව්‍යසනකාරී, වේදනාකාරී ව්‍යසනයක් බඳු සිදුවීමකි. බිය ඇති වන්නේ ඔහු අප වැනි අයෙකු නිසා වෙනි. මේ ව්‍යසනය අපට හෝ අපේ සමීපතයින් ට හෝ සිදුවිය හැක. එසේම අප සමීපයේදීම සිදු විය හැක. කාරුණ්ය යේ අන්තය බය වේ.

බයෙන් තොරව කාරුණ්යද ඇතිවිය නොහැක. කාරුණ්යෙ උත්පාදනය වන්නේ අපට ද එවැනි වේදනාවක් ඇති විය හැකි ය යන හැඟීමෙන් ශරීරය සහ මනස ලබන කම්පනයෙනි. ඊඩිපස් හී මව පුතු හා පුතු හා පියා අතරද, ඉලෙක්ට්රා හී පියා දියණිය අතරෙහිද, ඔරෙස්ට්රයස් හී මව හා පුතු අතර ද සිදුවනුයේ සිදු නොවු මනා ව්යහසනයකි. ශෝකෝත්පාදයේ ඉලක්කය වනුයේ කාරුණ්යම ජනිත වීමයි. සමීපතමයින් අතර ඛේදවාචී ගැටුම සිදු වන කල්හි කාරණ්ය ද බයද උච්ච වේ ප්‍රබල වේ. උත්තම මිනිසකුට නොසිදු විය යුතු ව්‍යසනයක් සිදුවනු දැකීමෙන් එය සිදුවේ. ඊඩිපස් ටද, ඇන්ටිගනීටද, හැම්ලට්ට , ලියර් රජට මෙන්ම ඩෙස්ඩිමෝනාට සිදුවන ව්‍යසනය ඔවුන්ට සිදු නොවිය යුතු ව්යීසනයන් වෙති. ඒ වේදනාව අපට වුව දරාගත නොහැකි අපට සිදූ නොවූ වේදනාවකි ව්‍යසනයකි. අපට කාරුණ්ය පහළ වන්නේ එබැවිනි.

සත්‍ය වශයෙන්ම අප හදවත් තුළ ඔවුන් නිසා කාරුණ්ය පහළ වන්නේ අපට ද ඒ හා සමාන ඉරණමක් අත් වේය යන බිය නිසා නොව ඒ පිළිබඳ විශ්වාසය කැඩී බිඳී ගොස් අප තුළ උත්තම හදවතක් අපට නොදැනීම පහළ වන බැවිනි. කලාවේ උත්තම කාර්ය එවන් උතුම් හදවතක් නිර්මාණය කිරීමයි. කාරුණ්යත නම් භාවය රඳා පවතින්නේ බය නම් භාවය මතය. තම පියා බිහිසුණු ලෙස ඝාතනය කොට මව සමග විවාපත් ව රමණයෙහි යෙදී දූපුතුන් ලද මිනිසෙකු සැබෑ ජීවිතයේ දී (ඊඩිපස් මෙන්) අපට හමුවුවහොත් අපගේ ප්‍රතිචාරය කෙබඳු වේද? එහෙත් වේදිකාව මත හමුවන ඊඩිපස් චරිතය අප භාරගනුයේ ශෝකෝත්පාදක වීරයෙක් ලෙසිනි. අපගේ කාරුණ්ය් ඔහුට හිමි වේ. ශෝකෝත්පාදක අපට නොදැනී අප තුළ උතුම් හදවතක් නිර්මාණය කිරීම මෙයට හේතුවයි.