මහගෙදරින් වෑකන්ද වලව්වට

නොවැම්බර් 26, 2020

ලංකාවේ අග්‍රගණ්‍ය රූපණවේදිනී මාලිනි ෆොන්සේකා රංගනයෙන් මෙතෙක් දායක වූයේ වේදිකා නාට්‍ය 14 ක පමණි. ඒවා නම් පිළිවෙළින් ‘යා දෙක නොරත රත’ (1963), ‘ගුත්තිල’ (1964), ‘බකතපස්’ (1964), ‘අමල් බිසෝ’ (1964), ‘ඉව බව නැති ලොව’ (1964), ‘අකල් වැස්ස’ (1965), ‘එරබදු මල් පොට්ටු පිපිලා’ (1966), ‘මළවුන්ගෙන්’ (1966), ‘සයුරෙන් ආ ළඳ’ (1966), ‘ලියතඹරා’ (1967), ‘නිදිකුම්බා’ (1967), ‘හිරු අවරට ගියාදෝ’ (1967), ‘මහගෙදර’ (1967), ‘නුවණ පොදිය’ (1967) යනාදියයි.

1967 දී ලස්සන පුවත්පත සංවිධානය කළ ඒකාංග නාට්‍ය උත්සවය සඳහා එස්. කරුණාරත්නගේ ‘හිරු අවරට ගියාදෝ’ නාට්‍යය ඉදිරිපත් කළේය. මේ වූ කලී ටෙනිසි විලියම්ස්ගේ ‘I Rise in Flames’ නාට්‍යයෙහි පරිවර්තනයකි. මාලිනි ෆොන්සේකා, සමන් බොකලවෙල, අයිරින් වික්‍රමනායක මෙහි ප්‍රමුඛ චරිත රඟපෑහ. 1967 ‘හිරු අවරට ගියාදෝ’ කෙටි නාට්‍යයෙහි රඟපාන විට මාලිනි වයස අවුරුදු 20 ක ළාබාල යුවතියකි.

එහෙත් ඇයට මෙහි රඟපෑමට ලැබුණේ වයස අවුරුදු 50 ක ගැහැනියකගේ භූමිකාවකි. ඇය ඊට ජීවය දුන් අයුරු ප්‍රේක්ෂක, විචාරක උභය පාර්ශ්වයෙහි ඇගැයුමට ලක් විය. යොවුන් වියේ සිටියදීම වැඩිහිටි චරිත රඟපෑමට මාලිනිය ලැබූ පළමු අවස්ථාව මෙය වූ අතර ඉන් ලැබුණු අත්දැකීම් පසුකාලයේ මෙවැනි භූමිකා චිත්‍රපටවල රඟපෑමට ඉවහල් වූවාට සැක නැත.

‘අනුපමා’ (1978), ‘සැලී’ (1978), ‘හිඟන කොල්ලා’ (1979) යනාදිය යොවුන් වියේදී ඈ වැඩිහිටි මහලු චරිත රඟපෑ චිත්‍රපට අතර කැපී පෙනේ. ‘හිරු අවරට ගියාදෝ’ නාට්‍යය පසු කලක මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගුවන් විදුලි ශාස්ත්‍රීය සංග්‍රහයට නිපදවා ප්‍රචාරය කළ අතර එහිදී මාලිනි ඉන්ද්‍රාගේ චරිතයට හඬ කවමින් මුල්වරට ගුවන් විදුලි නාට්‍ය කලාවට ප්‍රවිෂ්ට වූවාය. රංජිත් ධර්මකීර්තිගේ ‘මහගෙදර’ (1966) මාලිනියගේ වේදික නාට්‍ය රූපණ දිවියේ කඩඉමකි. මේ වූ කලී ඇන්ටන් චෙකොෆ්ගේ ‘The Cherry Orchad’ නාට්‍යයෙහි අනුවර්තනයකි.

1966 නොවැම්බර් 16 වැනිදා මුල්වරට වේදිකා ගත වූ මේ නාට්‍යයෙහි සුමනා ද මැල් (බණ්ඩාර මැණිකේ), මාලිනි ෆොන්සේකා (අනුලා), අයිලින් වික්‍රමනායක (පද්මි), ප්‍රේමසිරි හෙන්දහේවා (පුංචි බණ්ඩාර), සතිස්චන්ද්‍ර එදිරිසිංහ (විජේසේකර), කරුණාරත්න අමරසිංහ (ජයසේන), චන්ද්‍රසිරි දෙහිපිටිය (විජේසිරි), විජයා ජයන්ති පෙරේරා (වයලට්), අතුල විජේමාන්න (වනසිංහ), කරුණා ප්‍රනාන්දු (ඩිංගි), සුනිල් හෙට්ටිආරච්චි (බේලිං අප්පු), සේ. දො. කරුණාරත්න (පීටර්), උදේනි චන්ද්‍රසිරි (දුම්රිය ස්ථානාධිපති) චන්ද්‍රසේන වෙදගේ (තැපැල් ලිපිකරු) යනාදීහු රංගනයෙන් දායක වූහ.

ලයනල් රන්වල මෙය සංගීතවත් කළේය. මාලිනිය මෙහි නිරූපණය කළ අනුලාගේ චරිතය චෙකොෆ්ගේ ‘The Cherry Orchad’ නාට්‍යයෙහි අපට හමු වනුයේ ‘ANYA’ ලෙසිනි. එනම් ‘මහගෙදර’ නාට්‍යයෙහි බණ්ඩාර මැණිකේගේ (Madame Ranevskaya) දියණිය අනුලාය. 17 හැවිරිදි වියෙහි පසුවන අනුලා, මහගෙදර අහිමි වීමෙන් තම මව පත්වන ශෝකජනක තත්ත්වය හමුවේ ඉන්ද්‍රකීලයක් සේ නොසැලෙමින් ඇයට ශක්තියක් වීමට වෙර දරන දිරිය දැරිවියකි. අනුලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වූ ජයසේනට (චෙකොෆ්ගේ කෘතියෙහි Peter Trofimov / කරුණාරත්න අමරසිංහ රඟපෑ චරිතය) පෙම් කරන්නීය. ජයසේනගේ ශිෂ්‍ය දේශපාලනයේ විප්ලවවාදී ආකල්පවලට ඇය රුචි කරන්නීය.

මාලිනියගේ රූපණ දිවියේ වෙසෙස් සිදුවීමක් නම් පසුකලක ඇය සිනමා ජීවිතයේදී ඇන්ටන් චෙකොෆ්ගේ ‘The Cherry Orchard ’ ඇසුරෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘වෑකන්ද වලව්ව් (2002) චිත්‍රපටයේ අහිමිවන වලව්ව වෙනුවෙන් පරිපීඩිත වූ සුජාතා රාජසූරියගේ ප්‍රධාන භූමිකාව රඟපෑමය. මෙහි සුජාතා රාජසුරිය යනු චෙකොෆ්ගේ කෘතියෙහි රැනෙව්ස්කයා ආර්යාවගේ චරිතයෙන් ගොඩනැඟුණු භූමිකාව විය. මාලිනි ‘මහගෙදර’ නාට්‍යයේ රඟපෑ දියණියගේ චරිතය ‘වෑකන්ද වලව්ව‘ හී අරුණි බවට පත් වූ අතර පබෝධා සංදීපනී මෙය නිරූපණය කළාය.

ප්‍රවීණ රූපණවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ 1961 ජේ. ඩී. ඒ. පෙරේරාගේ ‘වෙස්සන්තර’ නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණත් ඒ යුගයේ ඔහුගේ රංගන කුසලතාව බොහෝදෙනා හඳුනා නොගත්හ. ධෛර්ය සම්පන්න යෞවනයකු ලෙස සතිස් 1964 දී ‘බකතපස්’ නාට්‍යය නිර්මාණය කරමින් එහි ප්‍රධාන චරිතය රඟමින් එවක කෘතහස්ත නාට්‍යවේදීන්ට මෙය නැරැඹීමට ඇරියුම් කළේ සැබැවින්ම ඔහුගේ රංගන ප්‍රතිභාව ඔවුන්ගේ අවධානයට යොමු කරනු පිණිසය. මේ වූ කලී ප්‍රංශ ජාතික හාස්‍යෝත්පාදක නාට්‍යවේදී මොලියර්ගේ ‘TARTUFFE’ නම් වූ සුප්‍රකට නාට්‍යය ඇසුරින් නිර්මිත නාට්‍යයකි.

මොලියර්ගේ මෙකී නාට්‍යය හා පන්සිය පනස් ජාතකයෙහි දක්නා ලැබෙන කුහක ජාතකය එකිනෙකට සමීප තේමාවක් සහිත බව වරක් මේ කෘති යුගල තුලනය කොට මාර්ටින් වික්‍රමසිංහයෝ පෙන්වා දුන්හ. මිථ්‍යා දෘෂ්ටික ආගමික ඇදැහිලි ඔස්සේ මිනිසුන් මුළා කරන කුහක, දෙබිඩි මිනිසුන් උපහාසයට ලක් කිරීම කුහක ජාතකයේත්, මොලියර්ගේ ‘TARTUFFE’ (The Imposter)  නාට්‍යයෙහිත් සතිස්චන්ද්‍රයන්ගේ ‘බකතපස්’ නාට්‍යයෙහිත් අධ්‍යාශය වූ බැව් පෙනේ. ‘බකතපස්’ යන නාමකරණය ද ඊට අතිශයින්ම ඖචිත්‍යපූර්වකය. සුගුණසේන (සතිස්චන්ද්‍ර එදිරිසිංහ), බණ්ඩාර මහත්තයා (ගාමිණි ගණේගොඩ) හා බණ්ඩාර මැණිකේ (මාලිනි ෆොන්සේකා) ඈ භූමිකා ත්‍රිත්වය වටා ‘බකතපස්’ නාට්‍යය ගොඩනැඟී ඇත. කුහක, දෙබිඩි ජීවිතයක් ගත කරන සුගුණසේන තම මිථ්‍යාදෘෂ්ටික ආකල්ප ඔස්සේ බණ්ඩාර මහත්තයා රවටා ගනී.

ඒවාට අවිචාරයෙන් වහල් වන බණ්ඩාර මහතාට ද ඔහු තරම් පරමාදර්ශී මඟ පෙන්වන්නකු තවත් නොමැත. මේ අතර සුගුණසේන බණ්ඩාර මැණිකේට පෙම් බඳිමින් ඇය වරදට පොලඹවා ගැනීමට තැත් දරයි. එහෙත් බණ්ඩාර මැණිකේ සුගුණසේන නම් වූ මේ වංචනිකයාට හසු නොවී පතිභක්තියෙන්, පතිවෘත්තාවෙන් දිවි ගෙවන ගුණවත් කුල කාන්තාවකි. ‘බකතපස්’ නාට්‍යයෙන් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ රූපණ කෞශල්‍යය මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ අවධානයට පාත්‍ර විය.

විවිධ හැලහැප්පීම් මැද ගොඩනැඟෙන බණ්ඩාර මැණිකේගේ භූමිකාව මාලිනියගේ රංගන දිවියේ මංසලකුණකි. අනුර විජේවර්ධන, එච්. එස්. ප්‍රේමේන්ද්‍ර, රූපා ජයසිංහ ඇතුළු නළු නිළියෝ මෙහි සෙසු චරිත රැඟූහ. ආගමික සංකල්ප මුවාවෙන් සුගුණසේන (සතිස්චන්ද්‍ර) බණ්ඩා මැණිකේ (මාලිනී) චාටු බසෙන් වසඟ කර ගැනීමට තැත් දරන මේ දෙබස් ඛණ්ඩය මා සිහියට නැඟේ.

‘ලෞකික ආශාව සදාකාලික සෞන්දර්යයේ ආස්වාදයකට බාධාවක් නොවේ. මහා බ්‍රහ්මයා මැණිකේව මවා තියෙන්නේ මිනිසුන්ගේ සිත් වශී කරන්නත් කුල්මත් කරන්නත්. මුලදී මා තුළ දැවෙන මායාවක් කියා මා රැවටුණා.

අවසානයේදී මට අවබෝධ වුණා සුන්දර දේ ආස්වාදය කිරීම ගුණ ධර්මවලට විරුද්ධ නොවන බව‘.

ඉතිරි කොටස ලබන සතියේ...