සිහිනයක් මැ වූ “සෙනෙහෙලතා”

දෙසැම්බර් 3, 2020

ගුණසේන ගලප්පත්ති සූරීන් එදා මෙදා ලාංකේය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ පහළ වූ මහා නාට්‍යවේදීන් පස් දෙනාගෙන් එක් නාට්‍යවේදියෙකි. ඔහු ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබ ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ නාට්‍ය කලාව හැදෑරුවේ ලොව ශ්‍රේෂ්ඨ නළු මාලන් බ්‍රැන්ඩෝ සමඟ බව බොහෝදෙනා නොදනිති. කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ න්‍යාය  (Theory of Method Acting) විද්‍යානුකූලව හැදෑරූ මෙරට නාට්‍ය ශිල්පින් අල්පයෙන් ගලප්පත්ති සූරීන් ප්‍රමුඛයෙකි. ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ ‘ලියතඹරා’ (1967) නාට්‍යයේ මාලිනියට රඟපෑමට අවස්ථාව ලැබීම ඇයට රංගන විශ්වවිද්‍යාලයක් බවට පත් වූවාට සැක නැත. මාලිනිය හැරුණු විට සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සෝමලතා සුබසිංහ, සමන් බොකලවෙල යනාදීහු ද මෙහි රංගනයෙන් දායක වූහ. ‘ලියතඹරා’ වූ කලී ෂාන් පෝල් සාත්‍රේගේ ‘ලේ මාසලේ’ නාට්‍යයෙහි අනුවර්තනයකි. දේශපාලන ප්‍රස්තුතයක් වටා ගොඩනැඟුණු පුරෝගාමී ලාංකේය නාට්‍යයක් ලෙස ‘ලියතඹරා’ සුවිශේෂ වේ. එකල එය ආන්දෝලනයට තුඩු දුන් නාට්‍යයක් විය. සතිස්චන්ද්‍ර එදිරිසිංහ මෙහි හියුගෝ ලෙසත් සෝමලතා සුබසිංහ ජෙසිකා ලෙසත් ප්‍රමුඛ චරිත රැඟූ අතර මාලිනි ෆොන්සේකා ඔල්ගා ලෙස උප ප්‍රධාන චරිතයක් රඟපෑවාය. මෙරට දේශපාලනය පිළිබඳ ගලප්පත්ති සූරීන් තුළ තිබූ දුරදක්නා නුවණ ‘ලියතඹරා’ නාට්‍යයෙන් හෙළි වේ. ත්‍රස්තවාදී, විප්ලවය, පුරවැසි, පෙරමුණ යන වදන් මුල්වරට වේදිකා නාට්‍යයක සංවාදවලින් අසන්නට ලැබුණේ ‘ලියතඹරා’ නාට්‍යයෙන් බව මා හට පැවසුවේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ය. දේශපාලන ක්ෂේත්‍රයේ ඒ වදන් සුලබව ඇසුණේ ඉන් පසු කාලයේය. දේශපාලන ප්‍රස්තුතයක් ඔස්සේ දිවෙන මානුෂික ගැටුම් මෙහි ඉතා සියුම් ලෙස විවරණය කෙරිණ. ගුණසේන ගලප්පත්ති සූරීන් මෙහි මාලිනියගේ රංගනය පිළිබඳ උපරිම තෘප්තියකින් සිටි බැව් පෙනේ. වේදිකාවෙන් ඇය සමුගෙන සිනමාව දිග් විජය කිරීමෙන් ද පසුව එනම් ඔහුගේ අවසාන ප්‍රයත්නය ලෙස මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා ප්‍රධාන නිළිය වශයෙන් යොදා ගෙන ‘සෙනෙහෙලතා’ නමින් නාට්‍යයක් රචනා කොට නිර්මාණය කිරීමට සූදානමින් සිටි බව අපට අමතක නොවේ. 1984 දී ගලප්පත්ති සූරීන් ජීවිතයෙන් සමුගත්තේ මේ සැබෑ නොවූ සිහිනය ද සමඟිනි.

නූතන නාට්‍ය කලාවේ පියකු ලෙස සැලකෙන නෝවීජියානු නාට්‍යවේදී හෙන්රික් ඉබ්සන්ගේ ‰ ‘The Lady From the Sea’  නාට්‍යය අනුවර්තනයෙන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර නිර්මාණය කළ ‘සයුරෙන් ආ ළඳ’ (1966) නාට්‍යයෙහි ප්‍රධාන නිළි චරිතය මාලිනියගේ කෙටිකාලීන නාට්‍ය රූපණ දිවියේ සන්ධිස්ථානයකි. මුල් කෘතියෙහි එලිඩා නමැති කේන්ද්‍රීය ස්ත්‍රී චරිතය මෙය වේ. සයුරට පෙම් බඳින ඇය තම එකම පුතු බිලිඳු වියේදී වියෝවෙන් අපමණ මානසික පීඩාවට පත් වේ. එමෙන්ම තම සැමියා සහ පසුව යළිත් ඇය පතා එන පැරැණි පෙම්වතා අතරත් දෝලනය වේ. මෙවැනි සංකීර්ණ ස්ත්‍රී චරිත ආධුනික සමයේදී මාලිනියට රංගන අභ්‍යාසයක් මැ විය. ඉබ්සන්ගේ කෘතිවල බාහිර ක්‍රියා, ගැටුම් වෙනුවට දක්නා ලැබෙනුයේ ගැඹුරු මානුෂික සබඳතාවන්ය. එහෙයින් ඉබ්සන්ගේ නාට්‍ය කෘති ගැඹුරුය. උසස් රස විින්දන ශක්තියක්, ප්‍රශස්ත කලා කෘති සේවනයෙන් ගොඩනැඟුණු පරිචයක් නොමැති ප්‍රේක්ෂකයන්ට රසවිඳීම පහසු නැත. ජෝර්ජ් බර්නාඩ් ෂෝ නම් වූ සුප්‍රකට නාට්‍යවේදියා ඉබ්සන්ගේ ආභාසය බෙහෙවින් ලැබූ අතර ඔහු ඒ අරභයා ‘Quintessence of Ibsenism’  මැයෙන් (1891) අගනා පොතක් ලීවේය. ‘සයුරෙන් ආ ළඳ’ නාට්‍යයෙහි මාලිනි සමඟ ප්‍රධාන චරිතය රැඟුවේ ආචාර්ය ලක්ෂ්මන් ප්‍රනාන්දුය. සුමන ආලෝක බණ්ඩාර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, කරුණාරත්න අමරසිංහ, නිමලා වීරසේකර යනාදීහු මෙහි සෙසු චරිත රඟපෑහ. ආංගික, වාචික අභිනයන් අබිබවා සාත්වික අභිනයෙන් ශූර ලෙස තම මනෝභාවයන් පළ කිරීමට මාලිනිය සතු වූ ප්‍රතිභානය, ධී ශක්තිය මුල්වරට සහෘදයා දුටුවේ ‘සයුරෙන් ආ ළඳ’ වැනි ගැඹුරු, සංකීර්ණ තේමා ප්‍රස්තුත කොට ගත් නාට්‍යවලිනි.

පූර්වයෙහි ද කී ලෙසින් මාලිනිය වේදිකා නාට්‍ය රැඟුමට ප්‍රවිෂ්ට වූයේ එච්. ඩී. වීරසිරිගේ ‘යා දෙක නොරත රත’ නාට්‍යයෙනි. (1963) ‘යා දෙක නොරත රත’ රචනා කොට මුලින් නිර්මාණය කරන ලද්දේ තිලක සුධර්මන් ද සිල්වා විසිනි. එහිදී ප්‍රධාන චරිතය රඟපෑවේ අයිවෝ ඩෙනිස්ය. පසුව එච්. ඩී. වීරසිරි එය යළිත් නිර්මාණය කළේය. එච්. ඩී. වීරසිරි යනු ගුවන් විදුලි හාස්‍යෝත්පාදක වැඩ සටහන් උදෙසා පුරෝගාමී වූ එච්. ඩී. විජේදාසයන්ගේ සොහොයුරෙකි. ඔහු ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියෙකි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ‘එදිරිල්ලේ රාල’ ගීත නාටකයේ ඔහු වජිරා බාලසූරිය සමඟ ගී ගැයූ බව අපට අමතක නැත. මාලිනිය මෙතෙක් අවසන් වරට වේදිකාවේ රඟපෑවේ ප්‍රේමකුමාර එපිටවලයන්ගේ ‘නුවණ පොදිය’ (1967) මුද්‍රා නාටකයෙහිය. මෙහිදී ප්‍රේමකුමාරයන්ගෙන් ලැබුණු නර්තන පුහුණුව පසුකාලීනව ඇගේ රංගන දිවිය ඔපවත් කළ බවට කිසිදු සැකයක් නොමැත.

 

ඉතිරි කොටස ලබන සතියේ...