වේදිකාවේ ගාමිණිගේ එකම පෙම්වතිය

දෙසැම්බර් 10, 2020

විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා, ලාංකේය සිනමාවේ අග්‍රගණ්‍ය නළු, හෙළ සිනමාවේ සක්විති ගාමිණි ෆොන්සේකා රංගේශයාණන් ස්වකීය පාසල් සමයෙන් ඉක්බිතිව ප්‍රසිද්ධ වේදිකාවේ රඟපෑවේ ඉතා විරල වශයෙනි. එයිනිදු ප්‍රසිද්ධ වේදිකාවේ සිංහල නාට්‍යයක ඔහු රඟපෑවේ එකම එක (one and only)  නාට්‍යයක පමණි. එනම් විලියම් ෂේක්ස්පියර් මහා කිවිඳුන්ගේ  ‘Julius Caeser’  ඇසුරෙන් ටෝනි රණසිංහයන් නිර්මාණය කළ ‘ජුලියස්’ සීසර්’ (1985) නාට්‍යය වේ. මේ වූ කලී දැවැන්ත නිෂ්පාදනයකි. ගාමිණි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය වැනි සිනමාවේ කාර්යබහුල විශිෂ්ටයන් අඛණ්ඩව මීට දායක කොට ගැනීමේ අපහසුවත්, නිෂ්පාදනයේ දැවැන්ත බවත් හේතු කොට දර්ශන වාර බොහොමයකට මේ නාට්‍යය වේදිකා ගත වූයේ නැත. 1985 එවක නව හැවිරිදි වියෙහි පසු වූ මම, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ මේ නාට්‍යයේ මංගල දර්ශනය නැරැඹීමට භාග්‍යය ලැබුවෙමි. ගාමිණි ෆොන්සේකා, ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය වැනි ශූර රූපණවේදීන් වේදිකාවේ කරට කර රඟන අයුරු මුල්වරට මා දුටුවේ එදිනය. ගාමිණි ෆොන්සේකා බෲටස් ලෙසත්, ටෝනි රණසිංහ ජුලියස් සීසර් ලෙසත්, රවීන්ද්‍ර රන්දෙණිය මාක් ඇන්තනි ලෙසත්, ලීනා ද සිල්වා කැල්ෆේනියා ලෙසත් මෙහි රඟපෑහ. ඒ හැරුණු කොට සිනමාවේ හා වේදිකාවේ සුප්‍රකට නළු නිළියන් රාශියක් මෙහි රංගනයෙන් දායක වූ බව මා මතකයට නැඟේ.

සිනමාවේදී ගාමිණි ෆොන්සේකාට මාලිනි ෆොන්සේකා ප්‍රමුඛ නිළියෝ රාශියක් පෙම් කළහ. එහෙත් සිංහල ප්‍රසිද්ධ වේදිකාවේ තමාගේ එකම රඟපෑමේදී ඔහුගේ පෙම්වතිය වීමේ විරල භාග්‍යය ලැබූ නිළිය කවුරුන්ද? ඒ රත්නා ලාලනී ජයකොඩිය.

ඇය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සිව් දශකයක් පුරා අනේකවිධ භූමිකා රැඟූ ප්‍රමුඛ පෙළේ කුසලතා පූර්ණ නිළියකි. ‘ජුලියස් සීසර්’ නාට්‍යයේ බෲටස් (ගාමිණි)ට පෙම් බඳින පෝෂියා වූයේ ඇයයි. එවක රත්නා යාන්තම් 20 වැනි වියෙහි පසු වූ යුවතියකි. ගාමිණි ෆොන්සේකා මැදි විය ද ඉක්මවමින් සිටි නිසා ‘ජුලියස් සීසර්’ හී බෲටස් හා පෝෂියා අතර ප්‍රේමයෙහි අපූර්ව සුසංයෝගයක් දිස් විය. මේ නාට්‍යයේ උච්ච අවස්ථාවේ (Climax)  බෲටස් පිහියෙන් ඇන ජුලියස් සීසර් (ටෝනි) මරා දමන ජවනිකාව මගේ ස්මෘතියෙන් බැහැර නොවේ.

විලියම් ෂේක්ස්පියර් කිවිඳුන්ගේ කෘතිවල ආභාසය, අනුප්‍රාණය ලාංකේය නාට්‍යවේදීන්ට ලැබුණේ මූලාරම්භයෙහි පටන්මය. නීතිඥ ජෝන් ද සිල්වා සූරීන් වැනි නුර්ති නාටක යුගයේ පුරෝගාමීන් ද ෂේක්ස්පියර් නාට්‍ය කෘති පරිවර්තනය හෝ අනුවර්තනය කළ බැව් අපට අමතක නොවේ. එහෙත් විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍ය කෘති අරභයා ගැඹුරින් හැදෑරූ මෙරට නාට්‍යවේදීන් කවුරුන්දැයි යන පැනය සහෘද ඔබ මගෙන් විමසුවහොත් එයට එකවරම සෘජුවම පිළිතුරු දිය හැකිය. ඒ ටෝනි රණසිංහ හා බන්දුල විතානගේය. ෂේක්ස්පියර් නාට්‍ය කෘති කිහිපයක්ම පරිවර්තනය කොට සිංහල වේදිකාවට ගෙනා ටෝනි රණසිංහයෝ ෂේක්ස්පියර් නාට්‍ය අරභයා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ද රචනා කළහ. බන්දුල විතානගේ වඩාත් ප්‍රිය කළ නාට්‍යවේදියා ද විලියම් ෂේක්ස්පියර්ය. ඔහු ෂේක්ස්පියර් ගම්මානයෙහි පවා සංචාරය කරමින් ඒ අරභයා ගැඹුරින් හදාළේය. ටෝනිගේ ‘ජුලියස් සීසර්’ නාට්‍යයට මතු නොව ෂේක්ස්පියර් කෘති ඇසුරෙන් නිර්මාණය කෙරුණු ‘වැනිසියේ වෙළෙන්දා’, ‘දොළොස් වැනි රාත්‍රිය’ යන නාට්‍ය උදෙසා ද රංගනයෙන් දායක වීමේ අවස්ථාව රත්නා ලාලනියට ලැබිණ. ටෝනි රණසිංහ සහ බන්දුල විතානගේ සුසංයෝගයෙන් නිර්මාණය වූ ‘දොළොස් වැනි රාත්‍රිය’ නාට්‍යයෙහි ඇය මරියා නමැති සේවිකාවගේ භූමිකාව රැඟුවාය. ‘දොළොස් වැනි රාත්‍රිය’ ෂේක්ස්පියර්ගේ ‘The Merchant of Venice’  නම් වූ අරුමැසිවාදී හාස්‍යෝත්පාදක නාට්‍යයේ පරිවර්තනයකි. ෂේක්ස්පියර්ගේ‘Twelfth Night’  නාට්‍යය ඇසුරෙන් බන්දුල විතානගේ නිර්මාණය කළ ‘වැනිසියේ වෙළෙන්දා’ නාට්‍යයෙහි රත්නා ලාලනී ෂයිලොක්ගේ (ටෝනි රණසිංහ) දියණිය ජෙසිකා ලෙසත් පෝෂියාගේ (මානෙල් වානගුරු) යෙහෙළිය නෙරිස්සා ලෙසත් භූමිකා ද්වයක් රැඟුවාය. මේ නාට්‍යයෙහි ටෝනි රණසිංහ (ෂයිලොක්), මානෙල් වානගුරු (පෝෂියා), ආනන්ද වික්‍රමගේ (බැසානියෝ), ප්‍රසන්න ෆොන්සේකා (ඇන්ටෝනියෝ), අජිත් ජිනදාස (ඇරගන් කුමරු) යනාදීහු ප්‍රධාන චරිත රැඟූහ. මෙහි අන්තර්ගත වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ඖචිත්‍යපූර්වක සංගීතය ද තවමත් මා මතකයෙන් ගිලිහී ගොස් නැත. මානෙල් වානගුරුගේ වේදිකා නාට්‍ය රංගන දිවියෙහි ප්‍රබලතම සන්ධිස්ථානය ‘වැනිසියේ වෙළෙන්දා’ හී පෝෂියාගේ චරිතය යැයි මම සිතමි.

1982 ජාතික රූපවාහිනිය ප්‍රාරබ්ධවීමත් සමඟ එවක එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබ වූ ආචාර්ය හෙන්රි ජයසේන වේදිකා නාට්‍ය රූපවාහිනී මාධ්‍යයට නඟා සංරක්ෂණය කිරීමේ ඉතාම අගනා දූරදර්ශී ව්‍යාපෘතියක් එකල සභාපති එම්. ජේ. පෙරේරා මහතාගේ අනුමැතියෙන් ක්‍රියාත්මක කළේය. ධම්ම ජාගොඩ, ලූෂන් බුලත්සිංහල යනාදී කෘතහස්ත නාට්‍යවේදීහු එහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළහ. ‘වැනිසියේ වෙළෙන්දා’ නාට්‍යය රූපවාහිනී මාධ්‍යයට නඟා සුගෝපිත වූයේ මෙහි ඵලයක් වශයෙනි. මෙහි ආරම්භයේ පෝෂියාට (මානෙල් වානගුරු) විවාහවීමට සුදුසු සහකරුවන් ඇගේ යෙහෙළිය නෙරිස්සා (රත්නා ලාලනී ජයකොඩි) යෝජනා කරන ජවනිකාව මා සිහියට නැඟේ.

පෝෂියා (මානෙල් වානගුරු) - මට කැමැති කෙනෙක් තෝරන්නත් බැහැ. මට අකැමැති කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. ඔන්න ඔය විදියටයි දියණියකගේ කැමැත්ත මියගිය තාත්තා කෙනෙකුගේ කැමැත්තට මර්දනය වෙලා තියෙන්නේ. ඒක කනගාටුවක් නෙවෙයිද නෙරිස්සා, මට කෙනෙක් තෝරා ගන්න බැරි එක. මට කිසිවෙක් ප්‍රතික්ෂේප කරන්න බැරි එක.

නෙරිස්සා (රත්නා ලාලනී) - ඔබේ පියා ගුණ යහපත් මනුස්සයෙක්. යහපත් මනුස්සයන්ට මරණ මොහොතෙත් හොඳ අදහස් පහළ වෙනවා. එම නිසා ඔහු සොයා ගත් ලොතරැයියක් රත්තරන් රිදී සහ ඊයම් යන කරඬු තුන ඇතුළත. එයින් ඔහුගේ අදහස් තෝරා ගත්ත කෙනෙක් ඔබව තෝර ගන්නවා. නිසැකයෙන්ම කවදාවත් බෑ හරියට තෝර ගන්න, හරියට ආදරේ කරන කෙනෙකු විසින් ඇරෙන්න. නමුත් කොයි විදිය ආදරයක්ද තිබෙන්නේ ඔබේ සිතේ දැනටමත් ඔබ සරණ සොයා එන කුමාරවරු ගැන.’

රත්නා ලාලනී ජයකොඩි වේදිකා නාට්‍ය කලාවට ප්‍රවිෂ්ට වූයේ 1979 වසරේදීය.ප්‍රතිභාපූර්ණ නිළියක, ගායන ශිල්පිනියක ලෙස මතු නොව නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරියක ලෙස ද ඇගේ කාර්ය සාධනය ප්‍රශංසාර්හය; ආකර්ෂණීයය. පළමුවෙන් කොලොන්නාවේ ටෙරන්ස් ඇන්ඩ් ද සිල්වා විද්‍යාලයේ පෙරදිග සංගීතය ඉගැන් වූ රත්නා ඉක්බිතිව දිගු කලක් කොළඹ රාජකීය විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ආචාර්යවරිය වූවාය. සැබැවින්ම කොළඹ රාජකීය විද්‍යාලයේ ‘නාට්‍ය හා රංග කලාව’ විෂය ස්ථාපිත වූයේ ඇයගේ පුරෝගාමිත්වයෙනි. එකල රාජකීය විද්‍යාලයෙහි පසුබිම අනුව උසස් පෙළ කලා විෂයන්ට දැක් වූ නැඹුරුව ඉතා අවම මට්ටමක පැවති අතර එහි කලා ප්‍රබෝධයක් ඇති කිරීමට පුරෝගාමී වූයේ එවක විදුහල්පති ධුරය දැරූ එස්. එච්. කුමාරසිංහ මහතාය (1994- 1997). ඔහු උසස් පෙළ කලා අංශයට රත්නා ලාලනී ජයකොඩි බඳවා ගැනීමෙන් නාට්‍ය හා රංග කලාව විෂය එහි ස්ථාපිත කිරීමට අනුබලය ලබා දුන්නේය. පසුව එච්. එල්. බී. ගෝමස් මහතා (1997- 2003) විදුහල්පති ධුරය දැරූ සමයේ නිවාසාන්තර හා අන්තර් පාඨශාලීය නාට්‍ය තරඟ රාජකීය විද්‍යාලයෙන් මුල්වරට සංවිධානය කිරීමට රත්නාට අවස්ථාව ලැබිණ. ලංකාවේ විද්‍යාල අතරින් පළමුවරට සිංහල, දෙමළ, ඉංග්‍රීසි ත්‍රි භාෂාවෙන්ම නාට්‍ය උලෙළක් සංවිධානය කෙරුණේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. එහි පුරෝගාමිත්වය රත්නා ලාලනියට හිමි වේ. මෙය එදා කෙතරම් උත්කර්ෂවයකින් යුතුව සංවිධානය කෙරුණේ ද යත් බොහෝ විද්වතුන්ගේ මතය වූයේ මෙය රාජ්‍ය නාට්‍ය උලෙළටත් වඩා හොඳින් සංවිධානය කළ බවය. එකල මේ පාසල් නාට්‍ය උත්සවවලින් සම්මාන ලැබූ ශිෂ්‍යයන් වත්මනෙහි මෙරට නාට්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණය, රචනය, රංගනය, වේශ නිරූපණය ඈ විවිධ අංශවලින් දස්කම් පාන අයුරු දැකිය හැකිය. 2010 වසරේ පාසල් නාට්‍ය උලෙළෙහි සම්මාන රැසක් දිනූ නිලංක නිසලාංජල් පසුගිය වර රාජ්‍ය නාට්‍ය උලෙළේ ප්‍රමුඛ සම්මාන රැසකට පාත්‍ර වූයේ ස්වකීය ‘අතරමැදියෙක්’ නාට්‍යය උදෙසාය. ඔහු එහි ගෞරවය පිරිනැමුවේ රත්නා ලාලනී ගුරුවරියටය. රාජකීය විද්‍යාලයෙහි ඉගැන්වීමෙන් ඉක්බිතිව ඇය වත්මනෙහි කොටිකාවත්ත රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙහි නාට්‍ය හා රංග කලාව උගන්වන්නීය. රත්නා ලාලනී කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලාවේදී (ඕජ්ඒ) උපාධිය ලබා ගත්තේ පෙරදිග සංගීතය උදෙසාය. ඉක්බිතිව ඇය එම විශ්වවිද්‍යාලයෙන්ම නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය  (BFA) ලැබුවාය. 1979 වසරේ ගාමිණි විජේවර්ධන නිර්මාණය කළ ‘රක්තා’ නාට්‍යයෙන් රත්නා වේදිකා නාට්‍ය රංගනයට පිවිසිණ. මේ වූ කලී ගොවිපළක් වස්තු විෂය කොට ගත් නාට්‍යයකි. එහි ගොවියාගේ පීඩනයට ලක්වන සත්තු රාශියක් සිටිති. ඇය මුලින්ම රඟපෑවේ මේ සත්ව චරිතයකි. තමන් පීඩාවට පත් කරන මේ ගොවිපළෙන් පලා යෑමට සත්තු අරගල කරති. ‘රක්තා’ නාට්‍යයෙහි ව්‍යංග්‍යාර්ථයෙන් විවරණය කෙරුණේ ධනපති පන්තියෙන් සූරාකෑමට ලක්වන නිර්ධන පන්තිය හා ඔවුන්ගේ අරගලය බැව් පෙනේ. මේ වූ කලී ජෝර්ජ් ඕවේල්ගේ  ‘Animal Farm’  නමැති සුප්‍රකට සංකේතරූපී නවකතාව (1945) ආශ්‍රයෙන් නිර්මිත නාට්‍යයකි.

 

ඉතිරි කොටස ලබන සතියේ...