‘ජීවිතයේ ගිරිදුර්ගය නඟින්න අත්වැලක් දෙන්න’

දෙසැම්බර් 17, 2020

ප්‍රවීණ රූපණවේදිනී රත්නා ලාලනී ජයකොඩි ගාමිණි විජේවර්ධනගේ ‘රක්තා’ (1979) නාට්‍යයෙන් පසුව උදිත ශ්‍රීලාල්ගේ ‘තිරුවාන’ (1981) නාට්‍යයෙහි මුල්වරට ප්‍රධාන චරිතය රැඟුවාය. මේ වූ කලී පාසලක උසස් පෙළ සිසු සිසුවියන් වටා ගෙතුණු කතා තේමාවක් රැගත් නාට්‍යයකි. නොමඟ ගිය සිසු සිසුවියන් අතර යහපත් මඟක ගමන් ගන්නා සිසුවියකගේ චරිතයකට මෙහිදී ඇය පණ පෙව්වාය. නාට්‍යයක තමා රැඟූ පළමු ප්‍රධාන චරිතයෙන්ම එවක යොවුන් නාට්‍ය උලෙළේ රංග කුසලතා සම්මානයට පාත්‍රවීමට ඇයට භාග්‍යය ලැබිණ. ලාංකේය නාට්‍ය කලාවේ ප්‍රරෝගාමී නාට්‍යවේදීන් පස් දෙනා අතරට අයත් වන සුගතපාල ද සිල්වා සූරීන්ගේ ‘සත සහ සත’ (1981) නාට්‍යයට එක් වීමට අවස්ථාව ලැබීම මුල් යුගයේ රත්නා ලැබූ ජයග්‍රහණයකි. ‘ජුලියස් සීසර්’ නාට්‍යයේ ගාමිණි ෆොන්සේකාගේ පෙම්වතිය වීමට ලැබූ විරල වරම මෙන්ම සුගත්ගේ නාට්‍ය කෘතියකට දායකවීමට යොවුන් වියෙහිම ඇයට වරම් ලැබීම භාග්‍යයක් නොවේද?

වාණිජත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා අනවරත අරගලය මීට පාදක විය. සුගත් මෙයට ‘සත සහ සත’ ලෙස ලබා දුන් නාමකරණය ද ඉතා උචිතය. ‘සත සහ සත’ යනු මුදල් සහ මනුසත්වයාය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයට කාලානුරූපීව නව්‍ය අර්ථ කථනයක් ගෙන ආ නාට්‍යයක් ලෙස සුගත්ගේ ‘සත සහ සත’ වෙසෙස් ආස්ථානයක් දරයි. මේ වූ කලී ධනේශ්වර විවෘත අර්ථ ක්‍රමය නමැති පොළොව තුළ ‘මනමේ’ වස්තු බීජය රෝපණය කිරීමට දැරූ හරවත් ප්‍රයත්නයකි. මේ නාට්‍යයේ රත්නා ලාලනීගේ දායකත්වය සුගත් ලබා ගත්තේ ගායන වෘන්දය (Choru) උදෙසා පමණි. ආරම්භක සමයේදීම හඬ නළු හෙවත් ගුවන් විදුලි නාට්‍ය හරහා ඇගේ කටහඬ, ගායන හා රංගන ප්‍රතිභාව අරභයා සුගත්ගේ අවධානය යොමු වී තිබුණි.

මහා නාට්‍යවේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සේවනය රංග ශිල්පියකුට හෝ ශිල්පිනියකට ලැබීම වූ කලී ඒ අරභයා විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමක් වැන්න. රත්නා ලාලනියට ද එකී වනස්පතියෙහි දැවැන්ත සෙවණ ලැබිණ. සරච්චන්ද්‍රයන්ගේ ‘මහාසාර’ නාට්‍යයෙහි නගර ශෝභිනිය ලෙස ඇය රැඟුවේ තම සැමියා වූ ප්‍රවීණ නාට්‍ය ශිල්පී සම්පත් තෙන්නකෝන් සමඟිනි. ලාංකේය නාට්‍ය වංශයේ මුදුන් මල්කඩ වූ ‘මනමේ’ නාට්‍යයෙහි 7 වැනි මනමේ බිසව (යශෝධරා සරච්චන්ද්‍ර විදෙස් ගතවීමෙන් පසුව) බවට පත්වීමේ භාග්‍යය ද ඇය ලැබුවාය. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල රඟපෑමට හුදෙක් රූපණ ප්‍රතිභාව පමණක් ප්‍රමාණවත් නොවන බව මා අමුතුවෙන් කිව යුතු නොවේ. ගායනයෙහි හා නර්තනයෙහි ප්‍රතිභාවක් නොමැති කිසිදු රංගන ශිල්පියකුට, ශිල්පිනියකට ශෛලිගත ධාරාවෙහි නාට්‍යයක රඟපෑමට වරම් නොලැබේ. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයක රැඟුමට වරම් ලැබීම පින් ඇති සරසවි වරමක් වනුයේ එහෙයිනි. ඔහුගේ ‘පෙමතො ජායති සොකො’ නාට්‍යයෙහි ප්‍රධාන භූමිකාව වූ ස්වර්ණතිලකාගේ චරිතය රත්නා ලාලනිගේ රංගන දිවියේ කඩයිමකි. ස්වර්ණතිලකාගේ භූමිකාව පණ පෙවීමට නම් රැඟුමට, ගැයුමට සේම නර්තනයට ද ප්‍රතිභාව තිබීම අත්‍යවශ්‍යය. ‘පෙමතො ජායති සොකො’ වූ කලී පූර්ණ ගීත නාටකයකි. මෙහි ගායන වෘන්දය (Choru) හෝ පූරක / කථක (Narrator) යොදා ගැනීම අරභයා වරක් ආචාර්ය ජයලත් මනෝරත්නයන් ලියූ කියුමක් (සිංහල නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය, පිට 300) මට සිහිපත් වේ.

‘නාට්‍ය පෙළ රචනයෙන් මතු වන ප්‍රාසංගික ගුණය සැලකීමේදී තවත් එක් ස්වරූපයක් නම් ගායන වෘන්ද (Choru) හෝ පූරක / කථක (Narrator) යොදා ගැනීමයි. මෙය ද එකිනෙක නාට්‍ය රචනයේදී අරමුණු අතින් වෙනසක් පෙන්නුම් කරයි. ග්‍රීක නාටකය සලකතොත් එහි ගායක වෘන්දය වස්තුවේ කොටසක් ලෙස පෙනී සිටීමට සැලසුවද, ක්‍රියාවෙන් ඈත් කර තැබීමට ද පිළියෙල කළේය. ඔවුහු බොහෝ විට ප්‍රධාන චරිතය පවසන දෑ පුනරුච්චාරණය කළා නොව, එම අදහස් සම, තර්ක කළහ. වාද කළහ. එසේම වර්තමාන සිදුවීම් සහ අතීත සිදුවීම් යා කිරීමට ද උත්සාහ කළහ. විටෙක ප්‍රධාන චරිතයට අවවාද කිරීමක් හෝ අනතුරු ඇඟවීමක් කිරීම සඳහා ද ඔවුන් යොදා තිබිණ. මෙහිලා සරච්චන්ද්‍රයන්ගේ ‘පෙමතො ජායති සොකො’ නාටකය දේශීය උදාහරණයක් ලෙස ඉදිරිපත් කළ හැකිය. මෙය පූර්ණ ගීත නාටකයක් වන අතර මෙහි ගායකයන් ද පඬිවරුන් සේ පෙනී සිටිනු දක්නා ලදී. එනම් අවැසි අවස්ථාවන්හි දී ප්‍රධාන භූමිකාව වූ උද්දාල බ්‍රාහ්මණයාට අවවාද උපදෙස් සැපයීම හෝ අනතුරු ඇඟවීම් කරන ලදහ. සරච්චන්ද්‍රයන්ගේ මනමේ හෝ සිංහබාහු නාටකවලදී ගායන වෘන්දය ක්‍රියාත්මක වූයේ භූමිකාවල ගායනා පුනරුච්චාරණය කිරීම සඳහා පමණි. මේ වනාහි පුරාණ නාඩගමේදී නළුවා ගී ගයා නටා වෙහෙසුණු අවස්ථාවල ඔහුට උපකාර වශයෙන් අත්වැල අල්ලා දුන් ගුරුන්නාන්සේගේ භූමිකාවේ ලක්ෂණය වූවා විය හැකිය.’

‘පෙමතො ජායති සොකො’ සද්ධර්මාලංකාරය නම් වූ චිරන්තන සාහිත්‍ය කෘතියෙහි අන්තර්ගත වූ ස්වර්ණතිලකා වස්තුව ඇසුරෙන් සරච්චන්ද්‍රයන් නිර්මාණය කළ ගීත නාටකයකි. උද්දාල යනු ස්ත්‍රීන් ඇසුර තබා ඔවුන් දැකීමත් ප්‍රිය නොකළ බ්‍රාහ්මණයෙකි. ඔහු ස්ත්‍රින්ට කෙතරම් අප්‍රිය වූයේ ද යත් ස්ත්‍රියක දුටු කල්හි කිරෙන් ඇස් සෝදා ගනී. ගුරුවරයකු වූ උද්දාල බමුණාට ශිෂ්‍යයෝ බෙහෙවින් ප්‍රිය කළහ. දිනක් අහඹු ලෙස ස්වර්ණතිලකා නම් සුරූපී කාන්තාව තම පියා සමඟ මඟ අසාගෙන උද්දාල බමුණා වෙත පැමිණීමෙන් ඉක්බිතිව ඔහුගේ ජීවිතය උඩු යටි කුරු වේ. උද්දාල බමුණා කෙතරම් දැඩිව ස්වර්ණතිලකාට වශිකෘත වූයේ ද යත් ඇය සහවාසයට ගෙන ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය පවා අමතක කොට කල් ගෙවයි. ශිෂ්‍යයෝ මේ ප්‍රේමයට වෛර කරති. ඔවුහු ඇතකු හට රා පොවා උපක්‍රමශීලීව ස්වර්ණතිලකාව රවටා ඇතා සමීපයට ඇය කැඳවා ගෙන එති. ඇතා පෑගීමෙන් මිය යන ස්වර්ණතිලකාගේ දේහය චිතකයෙහි දැවී යද්දී එහි පැමිණෙන උද්දාල බමුණා ශෝකය දරා ගත හැකි නොවී චිතකයට පැන දිවි නසා ගනී.

උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි එන රාග 40 කට අධික ප්‍රමාණයක් ඇසුරු කොට ගනිමින් නාදපති ජයන්ත අරවින්දයෝ ‘පෙමතො ජායතී සොකො’ ගීත නාටකය සංගීතවත් කළහ. 1969 වසරේ මේ නාට්‍යය මුල්වරට වේදිකා ගත කළ අවස්ථාවේ උද්දාල බමුණා ලෙස ජයලත් මනෝරත්නයනුත් ස්වර්ණතිලකා ලෙස මනුලා බටුගෙදරත් රංගනයෙන් දායක වූහ. විශ්වවිද්‍යාල සිසුවියක නොවූ මනුලා බටුගෙදරට මනා සංගීත ඥානයක් තිබූ හෙයින් මහාචාර්ය සරච්චන්ද්‍ර ඇය මේ භූමිකාව සඳහා තෝරා ගත්තේය. 1972 නිෂ්පාදනයේදී ප්‍රවීණ නිළි මාලිනි රණසිංහගේ සොහොයුරියක වූ ජයන්ති ද සිල්වා ස්වර්ණතිලකාගේ භූමිකාව (මමෝරත්නයන් සමඟ) රඟපෑවාය. මනෝරත්න හා ජයන්ති ද සිල්වා අතර ප්‍රේම සබඳතාව ගොඩනැඟුණේ ‘පෙමතො ජායති සොකො’ නාට්‍යයෙනි. ඉක්බිති ජයන්තිය මනෝරත්නයන්ගේ දයාබර බිරිඳ බවට පත් වූවාය. 1991 වසරේ ‘පෙමතො ජායති සොකො’ නාට්‍යය යළිත් වරක් නිෂ්පාදනය වූ අවස්ථාවේ මහැදුරු සරච්චන්ද්‍රයෝ උද්දාල බමුණාගේ චරිතයට නිශ්ශංක දිද්දෙණියත් ස්වර්ණතිලකාගේ භූමිකාවට රත්නා ලාලනියත් තෝරා ගත්හ. මේ ගීත නාටකයේ ස්වර්ණතිලකා ලෙස රත්නා ලාලනී රඟමින් ගැයූ මේ ගීතය මා සිහියට නැඟේ. ජයන්ත අරවින්ද සූරීන් මෙහි තනුව නිර්මාණය කළේ උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි එන මාණ්ඩ් රාගය ඇසුරෙනි.

ස්වර්ණතිලකා - (රත්නා ලාලනී)

අදුරුතුමා වෙන්න මගේ

නුදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර

ජීවිතයේ ගිරි දුර්ගය

නඟින්න අත්වැලක් දෙන්න

මහට දෙන්න ගුරු උපදෙස්

වියෝ වෙතත් මා ඔබගෙන්

නිරන්තරව සිහියට එන

සමීපයෙන් ඉවත් නොවී

දුකටත් සැපටත් දෙකටම

නොහරින හිත මිතුරකු සේ

 

ඉතිරි කොටස ලබන සතියේ...