අප නෙළූ රන්රෝස

ජනවාරි 7, 2021

සිනමාවෙහි විවිධ නළු නිළියන් සුසංයෝග වූ යුග හඳුනා ගත හැකිය.නිදර්ශනයකට ගාමිණි - මාලිනී, විජය - මාලිනි, සනත් - සබීතා යනාදී වශයෙනි. එහෙත් වේදිකා නාට්‍ය කලාවෙහි එබඳු නළු නිළියන් සුසංයෝග වූ යුග බිහි වීම විරලය.ඊට හේතුව ඒ කලා මාධ්‍යයෙහි ස්වරූපය අනුව එසේ වීමට ඇති ඉඩ කඩ අවම වීමය. නාට්‍යයක එකම චරිතය රඟන නළු, නිළියන් වුවත් විටෙක වෙනස් වීම මීට එක් හේතුවකි.අනෙක් අතට නළු නිළියන්ගේ කාර්යබහුලත්වය අනුව අඛණ්ඩව වේදිකාවේ රැඳී සිටීමද ගැටලුවක් බවට පත් වී ඇත.එහෙත් ඉසියුම් විමංසනාක්ෂියෙන් විරලව හෝ වේදිකා නාට්‍ය කලාවෙහිද එබඳු නළු නිළි යුග අඛණ්ඩව ගොඩනැඟී ඇති අවස්ථා දක්නට ලැබේ. නාට්‍ය ශිල්පීන් සැබෑ ජීවිතයේ අඹු සැමියන් වූ විට මෙබඳු නළු නිළි යුග ගොඩනැඟීමේ ඉඩප්‍රස්තා බහුලය. සම්පත් තෙන්නකෝන් - රත්නා ලාලනී සුසංයෝගය ඊට එක් නිදර්ශනයකි.අනෙක් අතට නිර්මාණ කාර්යයෙහිදී නිතර එකට එක් වන නාට්‍ය කණ්ඩායම් ඔස්සේද මෙබඳු සුසංයෝග ගොඩනැඟී ඇති බැව් පෙනේ. ජයලත් මනෝරත්න - රත්නා ලාලනී සුසංයෝගය අඛණ්ඩව ගොඩනැඟුණු වේදිකාවේ පරිච්ඡේදයක් ලෙස හඳුනා ගත හැක්කේ මෙහි ඵලයක් වශයෙනි. සම්පත් - රත්නා සුසංයෝගය මෙන්ම මනෝරත්න - රත්නා සුසංයෝගය හඳුනා ගත හැකි නාට්‍ය රාශියක් දක්නා ලැබෙන අතර ඒවා බොහොමයක් ලාංකේය නාට්‍ය ඉතිහාසයේ මංසලකුණු බවට පත් වී ඇති බැව් සත්‍යයකි.

ලාංකේය නාට්‍ය වංශයේ ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය කළ නාට්‍යවේදීන් අතර කේ. බී. හේරත්ට වෙසෙස් ආස්ථානයක් හිමි වේ. ඔහු නිර්මාණය කළ "මායාදේවි" (1985) නාට්‍යය රත්නා ලාලනීගේ රංගන දිවියේ සන්ධිස්ථානයකි. එහි ඇය නිරූපණය කළ ලක්ෂ්මීගේ භූමිකාවට රාජ්‍ය නාට්‍ය උලෙළේ කුසලතා සහතිකයද දිවයින සාම නාට්‍ය උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය ද පිරිනැමිණි. ආචාර්ය ජයලත් මනෝරත්න, චන්ද්‍රා කළුආරච්චි, මාලිනි රණසිංහ, අජිත් ජිනදාස, ගීතා කාන්ති ජයකොඩි මෙහිදී රත්නා ලාලනී සමඟ ප්‍රධාන චරිත රැඟුහ.මිනීපෙට්ටි සාප්පුකරුවකු (ආචාර්ය ජයලත් මනෝරත්න) වටා ගෙතුණු කතාවක් මේ නාට්‍යයට ඇතුළත් විය. මිනිසුන් මියයන තරමට ඔහු සතුටට පත් වන්නෙකි. ඔහුගේ දියණිය ලක්ෂ්මී (රත්නා ලාලනී)පාදයක ආබාධයකින් හා මානසික රෝගයකින් පෙළෙනුයේ කුඩා කාලයේ සිටම ඇය අපේක්ෂා කළ ආදරය දෙමවුපියන්ගෙන් නොලැබීම හේතු කොටගෙනය. මිනීපෙට්ටි සාප්පුකාරයාගේ නැඟණිය (මාලනි රණසිංහ) සංගීතකාරයකු සමඟ පැනගොස් දුක්ඛිත ජීවිතයක් ගත කරනුයේ ඇයගේ සැමියා නාස්තිකාර ජීවිතයක් ගෙවූ බැවිනි. ඔවුන්ගේ පුත්‍රයා සුගත් (අජිත් ජිනදාස) ඒ ජීවිතය ගැන කලකිරීමෙන් පැවිදි දිවියට පිවිසේ. මිනීපෙට්ටි සාප්පුකාරයාගේ බිරිය (චන්ද්‍රා කළුආරච්චි) කපටි ස්ත්‍රියකි.සුගත්ට උපැවිදි වී පැමිණ ලක්ෂ්මී විවාහ කර ගැනීමට පොලඹවන ලෙස ඇය තම සැමියාගෙන් ඉල්ලා සිට්න්නීය. එසේම තම ව්‍යාපාරය ඔහුට පවරන බවට ව්‍යාජ පොරොන්දුවක්ද සුගත්ට දිය යුතු බව ඇය සැමියාට කියා සිටී.උපැවිදි වී පැමිණෙන සුගත්ගේ ආදරය නිසා ලක්ෂ්මී ක්‍රමයෙන් සුවපත් වනු පෙනේ. ඇය සුවපත් වත්ම කෛරාටික, ආත්මාර්ථකාමී දෙමවුපියන් උත්සුක වනුයේ ඇය වත්පොහොසත්කම් ඇති නීතිඥයකුට විවාහ කොට දීමටය. එහෙත් ලක්ෂ්මී ඊට එරෙහි වෙමින් සුගත්ට පෙම් කරන්නීය. මේ අතර සුගත්ගෙන් සංගීතය හදාරන සරස්වතී (ගීතා කාන්ති ජයකොඩි) නමැති තරුණියද ඔහුගේ ප්‍රේමය අපේක්ෂාවෙන් සිටින්නියකි. සුගත් ලක්ෂ්මීට හා සරස්වතීට මැදි වේ. කේ. බී.හේරත්ගේ නාට්‍ය සියල්ලම පාහේ ඉතිහාසයෙන් හා ජනශ්‍රැතියෙන් වෙන් කළ නොහැකිය. ඔහුගේ "මායාදේවි" නාට්‍යයෙහිද ජනශ්‍රැතිය, හින්දු දේවකතා හා සැබැඳී සංකේතාර්ථ දක්නා ලැබේ. මෙහි සුගත් ලක්ෂ්මී හා සරස්වතී අතර දෝලනය වීම ධනය හා කලාව අතරට මැදි වීම වැන්න.සංවාද බාහුල්‍යය කේ. බී. හේරත්ගේ නාට්‍ය නිර්මාණවල වෙසෙස් ලකුණකි. "මායාදේවි" නාට්‍යයද ඊට තවත් සනිදර්ශනයකි.

ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ "ගුරු තරුව" (1996) පසුගිය අඩසියවසක කාලයේ මෙරට අධ්‍යාපන සංස්ථාව මුහුණ පෑ ඛේදවාචකය හඬගා කී නාට්‍යයකි. 1971 කැරැල්ල මර්දනය කිරීමෙන් පසුව පාසල් විෂය නිර්දේශයෙන් සාහිත්‍ය, ඉතිහාසය යනාදී අපගේ උරුමය විදහාපාන අත්‍යවශ්‍ය විෂයන් ඉවත් කිරීම හේතු කොට ජීවිතය උගන්වන "සාහිත්‍ය ගුරුවරයා"පසුකාලීන පරම්පරාවලට අහිමි විය.1977 න් පසු විවෘත අර්ථ ක්‍රමයෙහි අයහපත් ඵල සමඟ බද්ධ වූ බටහිර ගැති,ජනප්‍රිය සංස්කෘතිය හැසිරවූ ජනමාධ්‍ය යාන්ත්‍රණය ආමන්ත්‍රණය කළේ භාෂාව, සාහිත්‍ය, ඉතිහාසය නොදන්නා අක් මුල් නැති පරම්පරාවන්ටය. මේ විලැම්බෑසිය "ගුරු තරුව" නාට්‍යයෙහි ව්‍යංග්‍යාර්ථයෙන් සහෘදයාට ඥානනය කෙරේ.පාසලේ සාහිත්‍ය ගුරුවරයා ලෙස ආචාර්ය මනෝරත්නත් මාලිනී නමැති සංගීත ගුරුවරිය ලෙස රත්නා ලාලනී ජයකොඩිත් මෙහි ප්‍රමුඛ චරිත රැඟූහ. මේ ගුරු යුවළගෙන් සිසු දරු දැරියන්ගේ මනස සෞන්දර්යයෙන් හා මානව සංවේදීතාවයෙන් පෝෂණය වන අයුරු මෙහි මැනවින් නිරූපිතය. මෙහිදී සාහිත්‍ය ගුරුවරයා සහ මාලිනී ගුරුතුමිය අතර ආධ්‍යාත්මික ප්‍රේමයක් ජනිත වේ. සම්පත් තෙන්නකෝන් රඟන මධුර මුදලාලිගේ භූමිකාවෙන් වාණිජකරණයට හසු වූ උපකාරක පන්ති සංස්කෘතිය නියෝජනය කෙරෙන අතර මේ චරිතය මා හට සිහිපත් කරනුයේ ඊනියා යථාදර්ශන (අඥචතඪබර) වැඩසටහන් මෙහෙයවන ඇතැම් මාධ්‍ය වෙළෙඳ කුලයට අයත්වූවන්ය. මුල් ගුරුතුමා ලෙස රඟන සුමින්ද සිරිසේනගේ චරිත නිරූපණයද "ගුරු තරුව" නාට්‍යයේ කැපී පෙනේ."ගුරු තරුව" අවසන සාහිත්‍ය ගුරුවරයාට මාරුවීමක් ලැබ ව්ද්‍යාලයෙන් සමුගන්නා ජවනිකාව හෘදය සංවේදී ආකාරයෙන් මෙහි ගොඩනැඟී තිබිණ.ඒ ජවනිකාව මෙසේය.

(පොත්පත් සහ ගමන් මල්ලක්ද රැගත් සාහිත්‍ය ගුරුතුමා පාසලෙන් සමුගනියි.සිසු සිසුවියෝ ඔහුට ආචාර කිරීම සඳහා පැමිණ සිටිති.)

නිර්මල - සර්ට බැරිද ඔය ස්ථාන මාරුව අවලංගු කර ගෙන අපේ ඉස්කෝලෙම නවතින්ට ?

ශාන්ත - එහෙම වුණොත් අපට තව හුඟාක් අපේ කවි ඉගෙන ගන්ට පුළුවන් සර්.

සිරිමල් - සර් අපව දාලා ගියොත් මෙච්චර කල් ඉගෙන ගත්තු දේත් අපට අමතක වේවි.

සාහි.ගුරු - නෑ එහෙම වෙන එකක් නෑ. මම ගියත් වෙනත් ගුරුවරයෙක් ඒ අඩුව පුරවාවි. ගුරුවරු කියන්නේ තාවකාලික මිනිස් කොට්ඨාසයක්.ගුරුවරු විතරක් නෙවි, හැම මනුස්සයෙක්මත් තාවකාලිකයි.මේ වගේම ඈත දුෂ්කර ඉස්කෝලවල ළමයි අපි එනකල් මඟ බලාගෙන ඉන්නවා. ඉතිං අප යා යුතුමයි. සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා වගේ, ලොවැ ඇත්තේ යාම් ඊම්ය. ඔයගොල්ලන්ට මතකයි නේද අපි ඉගෙන ගත්තා අපේ සරච්චන්ද්‍ර මහත්තයගෙ මළවුන්ගේ අවුරුදු දා නවකතාව ?

(ළමෝ පොත් පෙරළමින් රංගනයෙන් ඉවත් වෙති. සාහිත්‍ය ගුරුතුමා මළවුන්ගේ අවුරුදු දා පොත පිටු දෙස නෙත් යොමා සිටිනා අතර මාලිනී ද එම පොතම කියවමින් පිවිසෙයි.

මාලිනී - එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුණාම හෙට දවස.අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නා ඉන්නවා. හෙට මම විතරයි. හෙටත් අනිද්දාටදත් කවදටත් මම විතරයි. මොකක්ද වෙනස ? අද වගේම හෙටත් කවුරුත් නැඟිටිනවා, කනව බොනව, වැඩට යනවා, කතාබහ කරනවා. මාත් මේ ඔක්කොම කරනවා. ඒත් මම විතරයි, ඔබ නෑ.

(පොත කියවමින්) තව කල් දැම්මත් කවදා හරි යන්න එපායැ. මොකටද කල් දාලා ? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්.නොගියොත් යළිත් ආ නොහැකිය. යාම හොඳය. ගොස් ඊම ද හොඳය. ලොවැ ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය.

(නොදැනුවත්වම මේ දෙදෙනා බෙහෙවින් සමීප වී ඇත. මොහොතක් උනුන් දෙස බලා හිඳීති.මාලිනී සිය අත වූ පොත සාහිත්‍ය ගුරුතුමාට පුද කරයි. ඇය නොපෙනී යත්ම ටිකිරිබණ්ඩාර රතුරෝස මලක් ද ගෙන පිවිසෙයි.

ටිකිරි - සර්ට රන්රෝස මලක් දෙන්ට තරම් මම පෝසත් නෑ. මට සමාවෙන්න සර් !

(ඔහු රතුරෝස මල ගුරුතුමාට පුදා ආචාර කරයි)

සාහි.ගුරු - නෑ... ටිකිරිබණ්ඩාර, මේ තමයි අප විසින් නෙළිය යුතු ජීවිතයේ රන්රෝස මල. ටිකිරිබණ්ඩාර තරම් පෝසතෙක් මුළු ලෝකෙම නෑ.

"ගුරු තරුව"නම් වූ අර්ධ වාර්තා රංගයට ආචාර්ය ජයලත් මනෝරත්න, රත්නා ලාලනී,සුමින්ද සිරිසේන, ලාල් කුලරත්න, සම්පත් තෙන්නකෝන්, දයාදේව එදිරිසිංහ, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, සරත් චන්ද්‍රසිරි, ශ්‍රීනාත් මද්දුමගේ, සෝමපාල පතිරගේ, රවීන්ද්‍ර යසස්, ජගත් බෙනරගම, සනත් විමලසිරි, අනූෂා පෙරේරා, මනෝරි විජේවර්ධන, රුවිනි ලියනගේ, ජගත් පද්මසිරි ඈ නළු නිළියෝ රංගනයෙන් දායක වූහ.

ආචාර්ය ජයලත් මනෝරත්නයන් නිර්මාණය කළ බොහෝ නාට්‍යවලට ප්‍රස්තුත වූයේ විවිධාකාරයෙන් කලාකරුවා මුහුණ පාන අභියෝග, දුක් කම්කටුලු ආදිය බැව් පෙනේ. ඔහුගේ කුලුඳුල් නාට්‍ය නිර්මාණය වූ "මහගිරි දඹ"(1980) හීද දක්නා ලැබුණේ එබඳු තේමාවකි. ඔහුගේ "අන්දරේලා"(1993) ද එහි දිගුවක් සේ සැලකීමට බැරි නැත.මෙහි අන්දරේ ලෙස ආචාර්ය ජයලත් මනෝරත්නත් ඔහුගේ බිරිඳ අන්දරේවතී ලෙස රත්නා ලාලනී ජයකොඩිත් රංගනයෙන් දායක වූහ.අන්දරේ ගැමි කලාකරුවෙකි. රජතුමා හොඳම කවටයා තෝරද්දී ගමේ සියලුදෙනා අන්දරේ ඒ සඳහා ඉදිරිපත් කරති. ඉන් ජයග්‍රහණය කරන අන්දරේ රජ වාසලේ සේවයට යයි.රජ වාසලේ සේවයට යෑමෙන් ඉක්බිති ඔහු පොදු ජනතාවට හෙවත් ගමට අහිමි වූ මිනිසකු බවට පත් වේ. එතැන් සිට නාට්‍යය පුරා අපට දිස් වනුයේ රජතුමා අන්දරේ නමැති කලාකරුවා ස්වකීය අභිමතාර්ථ සාධනය උදෙසා මෙවලමක්, ඉත්තෙක් කොට ගන්නා ආකාරය සහ ඔහු එමඟින් සූරාකෑමට හසු වන ආකාරයයි. උපහාසය, අනුප්‍රාසය රැගත් හාස්‍යෝත්පාදක රීතියකින් නිර්මාණය වූ "අන්දරේලා" හී ව්‍යංග්‍යාර්ථයෙන් ගැඹුරු ජීවන යථාර්ථයක් කුළුගැන්වීමට නාට්‍යවේදියා සමත් වේ.

 

ඉතිරි කොටස ලබන සතියේ...