මඳ පවනට හසුවූ මල් රේණුවක් මෙන් ඇය....

පෙබරවාරි 25, 2021

 

කුසුම් රේණු රංගන ශිල්පිනියට ජන්ම වාසනා ගුණයෙන් හිමි වූ දායාදයක් ලෙස ඓතිහාසික, අභිමානවත් කාන්තා පෞරුෂයක් සහ රූප සෞන්දර්යයක්ද ඊට මැ ඖචිත්‍ය පූර්වක වූ රූපණ ප්‍රතිභාවක්ද උරුම වී ඇති බැව් මම මින් ඉහත දී ලීවෙමි. වේදිකාවේ මතු නොව සිනමාවේ හා තෙල නළුවේද ඓතිහාසික, අමරණීය වෙසෙස් භූමිකා නිරූපණය කිරීම සඳහා ඇයට භාග්‍යය ලැබුණේ එහෙයින් විය යුතුය. වේදිකාවේ “දෙවැනි මහින්ද” නාට්‍යයේ සංඝා කුමරිය, “යශෝධරා” නාට්‍යයේ මහා ප්‍රජාපතී ගෝතමිය, “කුසපබා” චිත්‍රපටයෙහි පබාවතීගේ මව හෙවත් මදු රජ්ජුරුවන්ගේ බිසව, “මහරජ ගැමුණු” චිත්‍රපටයේ විහාරමහා දේවිය, “අබා” චිත්‍රපටයේ ස්වර්ණතිලකාගේ මව , “වනස්පති” ටෙලි නාට්‍යයේ පත්තිනි දේවිය, “දස්කොන්” ටෙලි නාට්‍යයේ ප්‍රමිලා බිසවගේ මව අභිරමි දේවිය යන කුසුම් රැඟු ඓතිහාසික භූමිකා මීට දෘෂ්ටාන්තයෝ වෙත්.

1998 වසරේ මෙරට 50 වැනි නිදහස් උත්සවය නිමිති කොට ටවර්හෝල් රඟහල පදනම නිෂ්පාදනය කළ "නිදහස සොයා" නමැති ලංකා ඉතිහාසය පිළිබඳ නාට්‍ය පෙළෙහි කේ.බී.හේරත් නිර්මාණය කළ නාට්‍යයෙහි ඇහැලේපොළ කුමාරිහාමිගේ භුමිකාව ඇය රඟපෑවාය. මහනුවර බෝගම්බර පිටියෙහි සැබෑ සිදුවීම සිදුවූ ස්ථානයේම මේ නාට්‍යය රඟදැක්විණ. අවසන ඇහැලේපොළ කුමාරිහාමිගේ දරුවන් මරා දැමීමට රජු අණ කළ ජවනිකාව කුසුම් පරල වී ලොමු දැහැගැන්වෙන සේ රැඟු අයුරු දුටු ප්‍රේක්ෂකයෝ කඳුළු සැලූහ. ඇය හට දැන් රඟපෑමට ඉතිරිව ඇත්තේ අනුලා රැජනගේ භූමිකාව පමණක් දැයි වරෙක මට සිතෙයි.

සයිමන් නවගත්තේගම සූරීන්ගේ ප්‍රශස්ත නාට්‍ය නිර්මාණය වූ "සුභ සහ යස"(1974) මඳ කලකට පසුව යළිත් නිෂ්පාදනය කළ අවස්ථාවේ (1998) එහි නිර්මලාගේ චරිතයට (ශ්‍රියා කළුබෝවිල හා සන්ධ්‍යා මල්ලවාරච්චි මුලින් රඟපෑ) කුසුම් රේණු තෝරාගැනිණ. සැබැවින්ම නිර්මලාගේ භූමිකාව කුසුම්ගේ රංගන දිවියේ වටිනා සලකුණකි. සුභ (නිහාල් ප්‍රනාන්දු) නම් වූ දොරටුපාලයාගේ බිරිය ලෙස නිර්මලා, යස රජු (සයිමන් නවගත්තේගම) ඉදිරියට පැමිණි අවස්ථාවේ ඇය දුටු රජු පවසන දෙබස් ඛණ්ඩයක් තවමත් මට මතක ඇත.

 

"මඳ පවනට හසුවූ මල් රේණුවක් මෙන් ඇය සැලෙද්දී මටද පෙනේ".

 

ජීවිතයේ තමන් සොයන ප්‍රේමය තම බිසවගෙන් (සමදරා ආරියවංශ) හා අන්තඃපුර කාන්තාවන්ගෙන් නොලබන යස රජුගේ හුදෙකලාව පසක් කොට ගන්නිය නිර්මලායි. සැබැවින්ම යස රජුට සැබෑ ආදරය හිමි වන්නේ ඇයගෙනි. ගමේ හැදී වැඩුණු ඇය සුභ හා විවාහ වූවත් ඔහුට ප්‍රේම නොකරන්නීය. සුභගේ පියා නිර්මලාගේ මව හා ඇසුරක් පවත්වා ගෙන ගිය අයෙකි. සුභ යම්දිනක රජවන බව නක්ෂත්‍රකරුවන් අනාවැකි පළ කොට ඇති බව නිර්මලාගේ මවට දැනගැනීමට ලැබේ. එහෙයින් ඇය තම දියණිය නිර්මලා, කෙදිනක හෝ රජ බිසවක බවට පත් කරනු පිණිස සුභට ආදරය කිරීමට බල කළාය. නිර්මලා සුභ හා විවාහ වූයේ ඔහු කෙරෙහි හට ගත් ප්‍රේමය නිසා නොවේ; දැඩි අකැමැත්තෙනි. හුදෙක් මවගේ බල කිරීමටය. යස රජුගේ හුදෙකලාව දකින ඇය රජුට සැබැවින්ම පෙම් කරන්නීය. "සුභ සහ යස" නාට්‍යයේ යස රජු, සුභ නමැති නමැති දොරටුපාලයාට තම රජකම පවරා ඔහු දොරටුපාලයා බවට පත් වූ පසුව යස රජු කෙරෙහි (සයිමන් නවගත්තේගම) නිර්මලාගේ (කුසුම් රේණු) සිතෙහි ජනිත වූ සැබෑ ප්‍රේමය හෙළි වන මේ ජවනිකාව එහි කූටප්‍රාප්තිය වේ.

 

නිර්මලා - පෙම්බර හිමියනි, ඔබතුමාට කිසියම් අපහසුවක් වේද ?

යස රජු - අද මා ලැබූ ආනන්දය මා කිසිදාක විඳ නැහැ සොඳුර.... එහෙත් එයින් මගේ සිතේ දොම්නස උත්සන්න වෙයි

නිර්මලා - ඔබ සිත දොම්නස් වන්නට මා අතින් කිසියම් දෝෂයක් වීද හිමියනි

යස රජු - මා කැමැති සත්‍ය හැකිතාක් දුර වසන් කොට ගෙන මේ ප්‍රීතිය භුක්ති විඳීන්නට.... හෙට උදෑසන වනතුරු හෝ. එහෙත් අසත්‍ය මත පදනම් වූ ආලයෙන් කවර සැනසීමක්ද ? මම තිගේ ආලයෙන් කුල්මත් වෙමි. එහෙත් තී ආලය කරන්නේ, තිගේ මුදු ඇඟිලි තුඩුවලින් පිරිමදින්නේ මගේ කය නොවන බව සිතන විට මගේ සිත පෑරෙයි.

නිර්මලා - ඔබතුමා කුමක් කියන්නෙ දැයි මට නොවැටහේ හිමියනි.

යස රජු - මා තොපගේ සැමියා නොවෙයි

නිර්මලා - ඒ බව මම දැන සිටියෙමි මහරජතුමනි, මා සියලු සංග්‍රහ කළේ මගේ සැමියාට නොව ඔබ වහන්සේටමය. එහෙයින් ඔබවහන්සේ සිත දොම්නස් කොට ගැනීමට හේතුවක් නොමැත.

යස රජු - මොනවා....තී කියන්නේ කුමක්ද? තී දැනගෙන සිටියා මා තිගේ මහ රජු බව.

නිර්මලා - වස්ත්‍රාභරණ පැලඳ රාජ සභාවේ කවුරු රැවටුවත් ගැහැනියක රැවටිය නොහැක මහරජතුමනි. අන්ධකාරයේ වුවද තම සැමියාගේ දහඩිය සුවඳ බිරිඳකට හැඳීනිය හැකිය.

යස රජු - තී මා මෙතෙක් වෙලා රැවැට්ටුවා. නිර්මලා - සමාවන්න මහරජතුමනි, මම මෙතෙක් වෙලා ඔබතුමාට ආලය පෑවෙමි.

 

කුසුම් රේණු රංගන ශිල්පිනියට සහජයෙන් ලැබුණු කුල කාන්තාවගේ ප්‍රෞඪ පෞරුෂය ශූර ලෙස චරිතයට උචිත ලෙස යටපත් කොටගෙන රඟපෑම මෙහි දක්නා ලැබෙන ඇගේ ලොකුම හපන්කමය.("ධර්ම යුද්ධය" චිත්‍රපටයෙහි ඇය රඟපෑ දේශපාලනඥවරියගේ චරිතය මේ හා සසඳා බලන්න) පසුකාලීනව ඇය රඟපෑ විවිධ හාස්‍යෝත්පාදක චරිත සඳහා සුඛනම්‍ය කොට ගත හැකි වූයේ මේ රංග ප්‍රතිභාව යැයි මම සිතමි. "සුභ සහ යස" නාට්‍යයේ සයිමන් නවගත්තේගම (යස රජු), නිහාල් ප්‍රනාන්දු (සුභ), සමදරා ආරියවංශ (බිසව), කුසුම් රේණු (නිර්මලා), අනුෂි හෙට්ටිආරච්චි (දාසිය), ගුණපාල (වන්දිභට්ට), අමරදාස තල්ගහගොඩ (මහා ඇමති),ජයන්ත විජයතුංග (දූතයා), ශ්‍රීනාත් මද්දුමගේ, සිරිමල් කොතලාවල, රත්න ඩී. නම්බුගේ ප්‍රේමකුමාර දසනායක, රූපසිංහ කංකානම්ගේ (ඇමැති මඬුල්ල) යනාදීහු රංගනයෙන් දායක වූහ. සංගීතය ප්‍රවීණ සංගීතවේදී ස්ටැන්ලි ඕමාර්ගෙනි. සයිමන් නවගත්තේගමයන් පිළිබඳව සිහිපත් කරන විට ඔහුගේ සංකල්පයක් අනුව කලකට ඉහත දියත් වූ, මෙකල බොහෝදෙනකු නොදන්නා "ජන උදාව" ව්‍යාපෘතිය අමතක කළ නොහැකිය. එනම් විවිධ ගම්මානවලට ගොස් ඒ ජනතාව සමඟ ජීවත් වෙමින් ඔවුන්ට විවිධ නාට්‍ය හා රූකඩ ඇසුරෙන් සෞඛ්‍ය සන්නිවේදනය ලබා දීමය. ඉන් ජනතාවට ඉටු වූ මෙහෙවර සුළුපටු නැත. නොබෝදා අපෙන් වියෝවූ ජයලාල් රෝහණ, නිහාල් ප්‍රනාන්දු, ශ්‍රීනාත් මද්දුමගේ, රෙජිනෝල්ඩ් ජයමාන්න, රත්න ඩී.නම්බුගේ ඇතුළු කලාකරුවෝ රාශියක් මේ සත්කාර්ය උදෙසා නවගත්තේගමයන්ට එදා සහාය වූහ.

පවතින සමාජ, ආර්ථික, දේශපාලන විෂමතා අදීනත්වයෙන් යථාර්ථවාදයෙන් විවරණය කරමින් සහෘද ඥාන මණ්ඩලය පෘථුල කිරීමේ වගකීම කලාකරුවන්ට, සාහිත්‍යවේදීන්ට පැවරී තිබෙන බැව් මා අමුතුවෙන් කිව යුතු නැත. මෙරට සිනමාවේදීන්ටත් වඩා නාට්‍යවේදීන් මෙකී සමාජ කාර්යභාරය පවරා ගත් බැව් පැවසීම අතිශයෝක්තියක් නොවේ. සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති, ආචාර්ය හෙන්රි ජයසේන, රංජිත් ධර්මකීර්ති, ආර්.ආර්.සමරකෝන්, ධර්මසිරි බණ්ඩාරනායක, තිලක් ජයරත්න වැනි පෙර පරපුරේ ප්‍රවීණයන් සේම කේ.බී.හේරත්, නිමල් ඒකනායක, ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, බුද්ධික දමයන්ත, රාජිත දිසානායක, උදයසිරි වික්‍රමරත්න, චාමික හත්ලහවත්ත ඇතුළු නූතන ප්‍රවීණ පරපුරද මෙකී සමාජ කාර්යභාරය නාට්‍ය කලාව ඔස්සේ ඉටු කළ බැව් පෙනේ. මෙරට නාට්‍ය කලාවේ ප්‍රගමනය උදෙසා අවැසි මූලික පහසුකම් පවා ඉතා අවම මට්ටමක පැවතුණත් තත් කලාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සියලු නාට්‍යවේදීන් මෙතෙක් දරනු ලැබූ එසේම දරමින් සිටින ප්‍රයත්න අපි කොන්දේසි විරහිතව ඇගැයීමට ලක් කළ යුතු වෙමු.

කෘතහස්ත කලාකරු ජයන්ත චන්ද්‍රසිරිගේ "හංකිති දහතුන" (2016) ජරාජීර්ණ වූ සමාජ සන්දර්භයක සමාජීය, ආර්ථික දේශපාලනික විෂමතා ගැඹුරින් විමැසූ නාට්‍යයකි. කුසුම් රේණු රංගන ශිල්පිනිය වේදිකාවේ මෙතෙක් රැඟු භූමිකා අතර ප්‍රශස්ත චරිත නිරූපණය මෙහි ඩේසි භවානි සඳරාජිනීගේ භූමිකාව යැයි මට සිතේ. ඩේසි භවානි සඳරාජිනී "මැඩම්" යනු සුපිරි පැලැන්තියේ ගණිකා නිවාසයක් පවත්වා ගෙන යන මැදි වියෙහි පසුවන මානවහිතවාදී උගත් පාලිකාවකි. ශ්‍රියන්ත මෙන්ඩිස් (ඩොනල්ඩ් සූරී), කුසුම් රේණු (ඩේසි භවානි සඳරාජිනී), ජයලාල් රෝහණ (ප්‍රතාපසිංහ), වසන්ත විට්ටච්චි (කාමන් පලිහවඩන), සංජීව දිසානායක (පෝටර් එඩ්වින්), මහේන්ද්‍ර වීරරත්න (ඇටෙන්ඩන්ට්/තෝල්ක), ගාමිණි ජයලත් (පොලිස් භටයා), තිස්ස ගුණතිලක (පොලිස් භටයා), නදීෂා රූපසිංහ (ටීෂා), නුරාධිකා සේරසිංහ (සරෝජා), අයිෂාරා අතුකෝරල (ස්නේහා) යනාදීහු "හංකිති දහතුන" නාට්‍යයට රංගනයෙන් දායක වූහ. නාට්‍යය ආරම්භ වනුයේ මැදියම් රෑ දුම්රිය පොළ හරහා යන්නට පැමිණෙන ඩොනල්ඩ් සූරි නමැති නීතිවේදියාට (ශ්‍රියන්ත මෙන්ඩිස්), මේ දුම්රිය ස්ථානයේ පෝටර්වරයකු ලෙස සේවය කොට මානසික රෝගියකු වී පසුව රෝහලෙන් පැන ගිය එඩ්වින් නමැති පෝටර්වරයා (සංජීව දිසානායක) අහඹු ලෙස හමු වන ජවනිකාවෙනි.ඩොනල්ඩ් පැමිණෙන්නේ දුම්රිය පොළ මැදින් යා හැකි කෙටි පාරකින් ගණිකා නිවසක් කරා යෑමටය. එහෙත් මානසික රෝගී එඩ්වින් හමු වීමෙන් මේ ගමනට බාධා පැමිණෙන අතර ඔහු ප්‍රශ්න කිරීමටද ලක්වේ. උසාවියේ දී විත්තිකරුවන් ප්‍රශ්න කරන ඩොනල්ඩ් දුම්රිය පොළේ දී මානසික රෝගියාගේ ප්‍රශ්න කිරීමට ලක් වේ. මෙහිදී තම රහස් ගමන සැඟවීමට මුසා බස් පැවසීමට ඔහුට සිදු වේ. මේ ජවනිකාව අවසන් වනුයේ වාට්ටු සේවකයා සහ පොලිස් නිලධාරීන් පැමිණ මානසික රෝගී එඩ්වින් අල්ලා ගෙන යෑමෙනි. ගණිකා නිවාසයේ නම "හංකිති දහතුන"ය. සිරුරේ 13 පොළක් කිතිකැවීම මින් සිහි ගැන්වේ. මේ ගණිකා නිවාසයේ සේවා ලබාගැනීමට ප්‍රභූ පැලැන්තියේ විවිධ ක්ෂේත්‍රවල ඇතැම් වෘත්තිකයෝ පැමිණෙති.එහිදී ඔවුන් මුහුණපාන හාස්‍යෝත්පාදක සිදුවීම් උත්ප්‍රාසාත්මක දෘෂ්ටියකින් නාට්‍යවේදියා විවරණය කරන අයුරු මෙහි දැක්ක හැකිය. බාහිර සමාජයේ ඉහළ ධුර දරමින් වැදගත් මහත්වරුන් ලෙස පෙනී සිටින ඇතැම්හු වෛශ්‍යාවන්ගේ ගුටි බැටවලටද මෙහිදී ලක්වෙති. ඇතැම්හු අබිසරුලියන්ගේ පහස ලබන අතර තමන්ට එහිදී සිදුවන මදි පුංචිකම්වලට පළිගැනීම සඳහාද ක්‍රියාත්මක වෙති.එනම් මේ අබිසරුලියන් නීතියේ රැහැනට හසු කොට දීමෙනි. ආදරෙන් අන්ධ වී තමන්ට නොලැබෙන පහසක් සොයා මෙසේ ගණිකා නිවසට පැමිණෙන ඇතැම් වෘත්තිකයන්ගේ ස්වභාවය ගැන ඩේසි භවානි සඳරාජිනී ප්‍රමුඛ මේ අභිසරුලියෝ මැනවින් වටහාගෙන සිටිති. අබිසරුලියන්ගේ කය දකින ඔවුහු ඔවුන්ගේ අධ්‍යාත්මය හඳුනා නොගනිති. වෛශ්‍යා කතුන් තමන්ට එල්ලවන අභියෝගවලට එරෙහිව නැඟී සිටින අයුරුත් ඔවුන්ගේ අවංක භාවයත්, දැන උගත්කමත් "හංකිති දහතුන" නාට්‍යයේ විදාරණය වේ. එසේම නූගත්, නුසුදුස්සන් දේශපාලන ක්ෂේත්‍රයට එක් වීමෙන් රටකට සිදුවන හානිය හා සමාජ ගරා වැටීමද නාට්‍යවේදියා මෙහි ව්‍යංග්‍යාර්ථයෙන් පෙන්වා දෙයි. එසේම එබඳු සමාජ ක්‍රමයක දී කාන්තාවන්ට සිදුවන හානිය, ලිංගික සූරාකෑම මෙහි ප්‍රාබල්‍යයෙන් කුළුගැන්වේ. මෙහි එක් ජවනිකාවක ගණිකා නිවාසය මෙහෙයවන පාලිකාව එනම් ඩේසි භවානි සඳරාජිනි, පුරාණ කාලයේ අභිසාරිකාවන්ට හිමිව තිබූ සමාජ තත්ත්වය දන්නේදැයි උසාවියෙන් විමසන්නීය.

"පුන් පියයුරු බරින් නැමෙනා... සිහිනිඟින් මනහර වූ... දිගු නිල් වරලෙහි ගසන ලද මල් දම් බිම හෙළන.. දෙපා බැඳී නුරුවලා හඬවමින්..." යනාදී වශයෙන් අබිසරුලියන් අරභයා පුරාණයේ ලියැවුණු කවි මෙහි කියැවේ. ඇතැම් ජවනිකාවලදී ඩේසිගේ භූමිකාව ෆියඩෝර් ඩොස්ටොව්ස්කිගේ "ඛ්අධ්ර්ඡ් ඒව්ච් ර්‍ථඋව්ධ්ඉඩ්ර්ඡ්ව්ඊ" ශ්‍රේෂ්ඨ නවකතාවේ සෝන්යා මා හට සිහිගන්වයි. මේ නාට්‍යයේ උච්චඅවස්ථාව (ඛ්තඪථචය) හෙළි කරන ජවනිකාව මේ යැයි මට සිතේ. එනම් ඩොනල්ඩ් නමැති නීතිවේදියා , මානසික රෝගියකු වූ එඩ්වින් නම් වූ පෝටර්වරයාට අවසන මේ දෙබස පවසන ජවනිකාවය.

"තමුසෙ එදා කිව්ව කතාව හරියටම හරි. අපි දිව්වා හොඳටම ඇති. දැන් අපි නතර වෙන්න ඕනෑ."

මේ සමාජ සන්දර්භය හමුවේ මානසික රෝගීන් බවට පත්ව සිටින්නේ මානසික රෝගීන් ලෙස හංවඩු ගසා සිටින්නන් නොව එසේ නොවන බොහෝ අය නොවේදැයි ජයන්ත චන්ද්‍රසිරි නාට්‍යවේදියා "හංකිති දහතුන" නාට්‍යය ඔස්සේ ඉසියුම්ව ප්‍රමාතෘන්ගෙන් විමසා සිටියි. මේ නාට්‍යය නැරැඹූ කල්හී මා හට සිහිපත් වූයේ ඇන්ටන් චෙකොෆ්ගේ "එඒඅච් ව්ර්‍ණ.6" නමැති (1892) ප්‍රශස්ත රුසියානු කෙටි නවකතාවය. මේ කෙටි නවකතාව කියැවීමෙන් මා ලැබූ ඔතපුවන් නුවණ, පහන් සංවේගය (ඉඥපඥදඥ ණධර) "හංකිති දහතුන" නාට්‍යය නැරැඹීමෙන්ද ලැබුවෙමි. සැබෑ ජීවිතයේ මෙන්ම කලා

නිර්මාණ රාශියක දී දක්නට ලැබුණු ප්‍රතිභාපූර්ණ රූපණවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු රංගන ශිල්පිනියගේ සුසංයෝගය මෑත භාගයේ මැනවින් ඉස්මතු වූ නාට්‍යයක් ලෙසින්ද මෙය සුවිශේෂ වේ.

 

ඉතිරි කොටස ලබන සතියේ...