ජීවිතේ වසන්තයේ මල් පිපී සුගන්ධවේ

මියුරිට අසූවයි
මාර්තු 14, 2019

ජීවිතේ වසන්තයේ
මල් පිපී සුගන්ධවේ
මල් ලොවේ මල් වගේ
ඉන්න ඇත්නම් අනේ

මේ ගීතයට මිලින්ද පෙරේරා සමඟ සමනලියක මෙන් රඟන්නී මියුරි සමරසිංහය.

ඒ නිසාම ඇයට අහල පහල තරුණයන් විහිළු කරන්නේ දඟකාරය හැඩකාරය සුකුමාරය කටකාරය සපතේරුවා දමල ගිහින් අනේ අපොයි ඒ බාරිය කියාය. ඒ සපතේරු හාමිනේ වේදිකා නාට්‍යයේය. ඇසින් දුටු සාක්කිකරුවකු ලෙස මෙසේ ලිවීමට මට හැක්කේ ඉහත යුග ගීතය ඉන්ද්‍රානි පෙරේරා සමඟ ගායනා කළ සැම්සන් සිල්වා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා මගේ පියා වීම නිසාය. වියපත් සපතේරුවා ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේනයි. ඔහුට නිවුණු කිරි වීදුරුවක් බලෙන් පොවන මියුරි ඇන්ටි සමඟ මට ඇත්තේ තරහකි. ඒ මට කෑම් බීම්වලදී අම්මාගෙන් ඇති වදය මතක් වන නිසා මිස වෙනත් තර්කානුකූල හේතුවක් ගොඩනඟන්නට තරම් වයසක මම එදා නොසිටියෙමි. එහෙත් මේ ලිපිය ඵලවන්නේ මියුරි සමරසිංහ නම් රංගන ශිල්පිනිය, නාට්‍ය නිෂ්පාදිකාව, නර්තන ශිල්පිනිය ආදී බොහෝ විශේෂණ යෙදිය හැකි ඇයගේ දිවියේ 80 වැනි වියට එලැඹෙන්නට පැය විසිහතරක් තිබියදීය. මේ සේයා රූ දකින ඔබ කිසිවිටෙකත් එය පිළිගනීදැයි මම නම් නොදනිමි.

ඇය ඉපදෙන්නේ 1939 මාර්තු 15 වැනිදා මොරටුවේදීය. එදා සිට අද දක්වා දිවි ගමනේ ලද අටලෝ දහමේ අත්දැකීම් පිළිබඳ කම්පා නොවන ඇය අපට සිය ජීවිත කතාව මෙසේ කෙටිකර දැක්වූවාය.

“මම ඉපදුණේ සිකුරු දසාවෙන් ඒ නිසා හැමෝගෙම ආදරය ඇල්ම බැල්ම මට උපන්දා ඉඳන් අද වෙනකල් අඩු නැතුව තියෙනවා. ඒ වගේම ගල්මුල් නැති පාරක නෙවෙයි මගේ ගමන සැකසුණේ. මම පොඩි කාලේ ගියේ හෝලි රොසරි කතෝලික පාසලට. හැබැයි මම පිරිසුදු බෞද්ධ. ඉස්කෝලේ ගිහින් ආ හැටියේ අපේ ගේ ඉස්සරහ පන්සලේ වැලිමළුව ඇමදලා මල් පහන් පූජා කරලා අස්පස් කරලා එන පුරුද්දක් දිගටම තිබුණා. එක බණමඩුවකදි ඛේමා තෙරණිය ගැන කවියෙන් කියලා පන්සිය පනස් ජාතක පොත තෑගි දිනුවා. පුංචි කාලෙ ඉඳන්ම මම නැටුම්වලට දක්ෂයි. නැන්දලා මාමලාගේ උකුලෙන් බිමට පනින්නේ නටන්න. මම ඉස්සෙල්ලාම කලාවට ආවෙත් නැටුම් ශිල්පිනියක් විදිහට. ඒ පාසලේ අපට නැටුම් ඉගැන්නුවේ පණීභාරත ගුරුතුමාගේ මල්ලි ජයන්ත අල්ගම සර්. එතුමා මට අඩි කීපයක් කියලා දෙනවා අනෙක් අයට පුරුදු කරවලා තියන්න කියලා. පුංචි ටීචර්කම කරද්දි මම හතරෙ පන්තියේ විතර ඇති. රේඛාවේ හිටිය මර්ට්ල් ප්‍රනාන්දු හිටියෙත් අපේ පන්තියේ. පොඩි ළමයි සන්දර්ශන උත්සව පෙරහැරවලට යවද්දි ඒවායේ නායකත්වය හම්බුණේ මට. ශිෂ්‍යත්වෙන් කොළඹ මියුසියස් විද්‍යාලෙට ගියාමත් මගේ දක්ෂතා වෙනස් වුණේ නෑ. ඒත් ඉගෙනීමේ කටයුතුවලට තමයි ගොඩක් යොමු වුණේ. හැබැයි මගේ නම පත්තරවල එහෙම යනවා. දහවෙනි තරුව කියලා විමලදාස පෙරේරා මහත්මයා ලියපු ලිපියක් දැකලා ප්‍රින්සිපල් මට ගැහුවා ඉස්කෝලෙන් ගියාට පස්සේ ඕන නැටුමක් නටාගන්නවා කියලා. දහම්පාසලෙත් මම තමයි ලීඩර්. එස්එස්සී කරද්දි භූගෝල විද්‍යාව ඉංග්‍රීසියෙන් වැරදියට උච්චාරණය කරපු බව දැකලා අපේ අය්යාගේ යාළුවෙක් වුණු පියල් සමරසිංහ සර් මට ඉංග්‍රීසි උගන්නන්න කැමැත්තෙන් ඉදිරිපත් වුණා. ඒ අතර ගුවන්විදුලි ශිල්පීන්ගේ මාසික රැඟුම සඳහා නැටුම් අංග තුනක් ඉදිරිපත් කරන්න මට යන්න වුණා. ඒ වෙද්දි මට අවුරුදු 14යි. මේ පන්ති ගෝට්ටිය, පෙම් හටන වගේ වේදිකා නාට්‍යවල රඟපාද්දි මියුරි විජේරත්න නම ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. මගේ ඉංග්‍රීසි ගුරුතුමා දවසක් මගෙන් විනීතව ප්‍රශ්නයක් ඇහුවා. ඒ තමයි ඔහුත් සමඟ ජීවිතේ ගෙවනවද නැත්නම් කලාව සමඟ ගෙවනවද කියලා. පිළිතුරට සතියක් කල් දුන්නා. මට ඔහු අතහැරිය නොහැකි බව මගේ හිත කීවා. අපේ පැත්තෙන් පූර්ණ ආශීර්වාදය තිබුණට පියල් සර්ගෙ ගෙදරින් ඇහුවේ නැට්ටිච්චියක් ගේන්න හදනවද කියල. කොහොම හරි අපේ ආදර කතාව දිනුවා. සතියක මධුසමයෙන් පස්සේ ඒ අම්මලාට වැඳලා අපි එහෙ නතර වුණා. මට කියන්නත් මොකක්ද වගේ අවුරුදු 24 වෙද්දි මම දරුවො හතරදෙනකුගේ අම්මා කෙනෙක්. පියල්ටත් වාසනාව උදාවෙන්න ගත්තා තනතුරු උසස් වුණා.

ඒත් මගේ හිතේ මොකක්ද තියෙනවා. මගේ සමකාලීනයන් නාට්‍යවල යන බව පත්තරේ කියවද්දි මගේ හිතට මහා දුකක් දැනුණා. ඔය අතර තමයි නිළියක් ඉල්ලලා පුවත්පත් දැන්වීමක් දැක්කේ. මම හොරෙන් ඉල්ලුම් කළා. පිළිතුර හිතුවටත් වඩා වේගෙන් ආවා. ඒ ලියුම මම අල්මාරියේ එයාට පේන්න තිබ්බා. ගෙදර ඇවිත් ඒක දැකලා එයා මට කතා කළා. ඇයි මේ ලියුම අතට නොදුන්නේ කියලා ඇහුවා. මම කිව්වා බයට කියලා. පස්සේ එයා කිව්වා මමයි වැරැද්ද කළේ. ඔයාගේ ආසාව යටපත් කරගෙන මෙච්චරකල් තියාගත්ත එක වැරැදියි. හෙට සම්මුඛ පරීක්ෂණයට යන්න ලෑස්තිවෙන්න කියලා. එදා ඇවිත් හිටිය මර්සි එදිරිසිංහටයි මටයි වැලිකල රත්න මහත්මයාගේ ‘අලුත් දවසක්‘ නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක ලැබුණා. මගේ කලා ලෝකයේ දෙවැනි උපත සිදුවන්නේ එදා ඉඳන්.

ඊට පස්සේ මහත්තයා ඇඳුම් ආයිත්තම්වල අඩුපාඩු, නිෂ්පාදන වියදම්, කෑම්බීම් හැමදේම බලමින් මට උපරිමයෙන් උදව් කළා මගේ කලා කටයුතුවලට. ගුවන්විදුලිය, වේදිකාව, සිනමාව, රූපවාහිනිය මේ සියල්ලම ජයගන්න මට අවස්ථාව ලැබුණේ එයා එදාගත් තීරණය නිසා. ඒත් මට අවුරුදු 39 වෙද්දි ඒ සුන්දර මනුෂ්‍යයා මාවයි දරුවන්වයි මේ ලොකේ තනි කරලා ගියා. ඒ වගේම උදව්වට හිටිය මගේ අම්මත් ඒ ළඟදිම නැති වුණා. මම හිතට දිරිය අරගෙන ආපහු නැඟීහිටියා. මම අතහරින ගැහැනියක් නෙවේ.

සුදර්ශී සිංහල සංස්කෘතික ආයතනයට බැඳීලා මම බොහෝ වැඩකටයුතු කළා. නැටුම් පන්ති, පුස්තකාලය ආදිය හදන්න, සුදර්ශිය පිටුපස හැටේ වත්තේ ළමයින්ට පිළිවෙලට ඇඳගෙන පන්ති එන්න උගන්නපු නිසා මාව මඟදි දැක්කාම මිස් කියලා කතා කරද්දි මට මහා සතුටක් දැනෙනවා. 1966 න් පටන්ගත් ගමනට අවුරුදු 16ක් පිරෙද්දි ලෝක දෙකක් අතර කෙටි නාට්‍යය ලියලා අධ්‍යක්ෂණය කරමින් රඟපෑවා. ඒකට හොඳම නිළිය සම්මානය ලැබුණාම මට තව දිරිය ආවා. පරසක්වල පැයක් නාට්‍යය කළේ ඊට පස්සේ. ඒකටත් හොඳම නිළිය හොඳම නිෂ්පාදනය ලැබුණා. ඒත් නිළිය වුණේ මගේ දුව සුජීවා සමරසිංහ. මොකද තරග දෙකක ඉන්න වුණ නිසා මම දවසින් දුවට චරිතය ඉගැන්නුවා. ජයසේකර අපෝන්සුට තමයි දුවගේ සම්මානේ ගෞරවය යන්න ඕනා. හිමකුරුල්ලෝ නාට්‍යයටත් සම්මාන හතරක් ලැබුණා.

මේ වගේ කිර්ති පැසසුම් වගේම මගෙන් සම්මාන උදුරාගත් අවස්ථා, මගේ විදේශ සංචාර හොරකම් කළ අවස්ථා තියෙනවා. ඒ කිසිම අටලෝ දහමකින් මම ඕනෑවට වඩා සතුටු වන්නේත් නෑ. බිඳ වැටෙන්නෙත් නෑ. මගේ ජීවිතේ මට දැනෙන්නේ පූර්ණයි කියලයි. මගේ දරුමුනුපුරන් යහතින් කල් ගෙවවනවා. ඔවුන්ගේ නොමඳ ආදරය මට ලැබෙනවා. අපට ජීවත්වෙන්න පහසුකම් තිබෙනවා. මට හැකි විදිහට මම අනෙක් අයටත් උදව් උපකාර කරනවා. එදා ඉඳන්ම මට මගේ රසිකරසිකාවන් ආදරය කරනවා. තවත් මොනවද ජීවිතේ අපට ලබන්න තියෙන්නේ.“

ඇයගේ දුක්ඛ දෝමනස්සයන් යටපත් කරන තරමට සතුට ඇය වෙත ලබා දෙන්නට දෛවය කාරුණික වී ඇති බව පෙනේ. කලා දිවියේ පනස්වැනි ජයකණුව පසු කරද්දී ඇය සිය ජීවිත කතාව ලියමින් ‘කලා ලොවේ මම ඉපදුණෙමි‘ නමින් පොතක් එළි දැක්වූවාය. එහි සඳහන් ආකාරයට අලුත් දවසකින් පටන් ගත් ඇගේ වේදිකා නාට්‍ය සංඛ්‍යාව 2007 වනවිට සියයක් පමණ වේ. මේ වනවිට ඒ සංඛ්‍යාව තවත් වැඩිය. ඒ අතර ඇනා කැරනිනා, උරුවිසි, බම්මන්නෝ, පාරා, හිතහොඳ අම්මණ්ඩි, නැට්ටුක්කාරයෝ, ඇබෑර්තුවක්, සපතේරු හාමිනේ, ඔතෙලෝ, සිවම්මා ධනපාල, ලෝරා, උමතුසංවරුසාව ආදි අතිශය ජනප්‍රසාදයට පාත්‍ර වූ නාට්‍ය රැසකි. මිරිඟුවෙන් ඇරැඹි ඇගේ සිනමා දිවියේ මඩොල්දූව, ආදර හසුන, මංගල තෑග්ග, යුගාන්තය, විරාගය, යහළු යෙහෙළි, එයා දැන් ලොකු ළමයෙක්, මාරුතය, බව දුක, අයෝමා ආදි කෘති සියයකට ආසන්න බව ඇයගේ මතකයයි. එරබදු මල් ටෙලි නාට්‍යෙයන් පසු ඇයට ටෙලි නාට්‍ය 500කට අධික සංඛ්‍යාවක් ගලා ආවේ නිතැතිනි. වැඩිම ටෙලි නාට්‍ය සංඛ්‍යාවක රඟ පෑ නිළිය ලෙස සම්මානයද ඇයට පිරිනැමුණේ එබැවිනි. ලෝක දෙකක් අතර, පරසක්වල පැයක්, අම්මයි පුතයි, හිම කුරුල්ලෝ, පාරා, ඇනා කැරනිනා, සපතේරු හාමිනේ, ඇබෑර්තුවක්, මියුරි රංගමාලා ඇය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍ය වන අතර මුතුඇටේ ඇය නිෂ්පාදනයට පමණක් අතගැසුවාය. 1972 ලෝක දෙකක් අතර වෙනුවෙන් හොඳම නිළිය ලෙසද, 73,74 වසරවල පිළිවෙළින් පරසක්වල පැයක් සහ හිම කුරුල්ලෝ සඳහා හොඳම නිෂ්පාදනයද, 76 වසරේ විශිෂ්ටතම චරිත නිරූපණය වෙනුවෙන් ජනාධිපති සම්මානද, 81 වසරේ හොඳම නිළිය ජනාධිපති සම්මානද, 2002 වසරේ කෙම්මුර නාට්‍යය සඳහා හොඳම සහාය නිළිය සම්මානද ගත් බව ඇගේ කෘතියේ සඳහන් වෙයි. මේ වන විට සුදර්ශි ආයතනයේ සභාපතිනිය ලෙස කටයුතු කරමින් සිටින ඇයගේ කලා දිවියේ දෙවැනි උත්පත්තියේ සිට මේ දක්වා අඩසිය වසකට අධික කාලයක් තුළ කලා ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වයට ඇය වෙනුවෙන් උපහාර උලෙළක් මේ වනවිට සංවිධානය වෙමින් පවතී. සරසවියගේ වරම් ලද මියුරි සමරසිංහ කලාශිල්පිනියට සරසවිය අපි තවත් චිරාත් කාලයක් හෙළ කලා කෙත අස්වද්දන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මෙසේ සුබ පතමු!

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.