ඔහු යන්න ගියා මැකිලා එච්. එම්.

අප්‍රේල් 11, 2019

සප්ත ස්වරයම ගොළු වී ඇතැයි මට සිතේ. ඔහු අතින් හැඩවෙමින්, බැබළෙමින් සුවහසක් සිත්සතන් ගී ආනන්දයෙන් පිබිද වූ මියුරු සත්සර ගොලුව බලා සිටින්නේ තමන් ආදරයෙන් සුරතල් කළ ආදරණීයයා යළි එනතුරුද? එහෙත් යලිදු කිසි දිනක ඔහු ඔබ සොයා නොඑනු ඇත. තවත් සුවහසක් ගී තනු නිර්මාණ සිය පපුතුරේම සඟවාගෙන ඔහු නොඑන ගමන් ගොස්ය. හේ එච්. එම්. ජයවර්ධනය.

දීර්ඝ කාලයක් පුරා තමන් පීඩාවට පත්කළ රෝගාබාධයන්ට පෙරදා රැයේ ඔහු සමු දුන්නේය. දිවි මං තලාවේ 69 වැනි සැතපුම් කණුව පසු කරත්දීම ඔහු සිය ජීවන ගමන නිමා කරන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරකින් අති විශාල ගී නිර්මාණ රැසක් ඉතිරි කරමින්ය. මල් පියවිලි පාවඩ පිටින් පැමිණි ගමනක් හිමි නොවූව ද අති දුෂ්කරතා රාශියක් මැද, ගල් බොරලු ඇතිරූ මඟක උත්සාහයෙන් පැමිණ කිසිදා මිලින නොවන සුවඳ දසත පතුරනා මලක් මෙන් හේ සිය නිර්මාණ කෞශල්‍යයෙන් මෙරට ජන හදවත් තුළ නොමැකෙන මතක සටහනක් වූයේය.

එච්. එම්. ජයවර්ධනයන් මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ගම්මානයේ 1950 මාර්තු 10 වැනි දින උපත ලද්දේය. එච්. එම්. විජයසුන්දර හා ඩී. ඇම්. රම්මැණිකා නම් වූ ගොවි මවුපිය යුවළකට දාව පවුලේ වැඩිමල් දරුවා ලෙස ඔහු හැදී වැඩුණේය. කොළඹින් ගව් ගණනක් ඈත දුෂ්කර ප්‍රදේශයක ගොවි ගෙදරක ඉපදුණත් තමන් උත්පත්තිය ලද ප්‍රදේශය ඔහුට දිව්‍ය විමනක් විය. ගැමි සුන්දරත්වයෙන් අනූන ගම් පියසේ සෞන්දර්යත් සමඟ හුස්ම ගත් එච්. එම්. ට විටෙක එය ජීවන අත්දැකීම් සරිකර ගන්නා සොඳුරු නවාතැනක් විය. විටෙක තම කලා සිතුවිලි ඔපවත් කරගන්නා කලාගාරයක් විය. සියඹලාණ්ඩුව පිස හමා ආ සිසිල් වියළි සුළඟ ඔහුගේ ජීවනදාහය නිවාලූවක් විය.

එච්. එම්. ජයවර්ධන ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ සියඹලාණ්ඩුව පාසැලෙනි. පහේ ශිෂ්‍යත්වය සමත් වන ඔහු පසුව පස්සර මහා විද්‍යාලයට ඇතුළත් වන්නේය. කුඩා කාලයේ පටන්ම සංගීතයට පෙම් බැඳි ඔහුට සංගීතය ඉගෙන ගැනීමට විශාල ඕනෑකමක් විය. ඒ අනුව ඔහු පී. ඒ. සුබසිංහ ගුරුතුමාගෙන් සංගීතය ඉගෙන ගත්තේය. ජ්‍යෙෂ්ඨය අසමත් වීමෙන් පසු එච්. එම්. ට පස්සර නැවතී සිටීමේ අවස්ථාව නැති වී ගියේය. නැවත ගමට ගිය ඔහුට විඳින්නට සිදුවූයේ අති දුෂ්කර ජීවිතයකි. ගමට ගොස් නිකමෙකු සේ කල්අරින්නට නොහැකිව ඔහු හේන් ගොවිතැන් කළේය. කුලී වැඩ කළේය. අත්වල කරගැට මතුවනතුරු ලී ඉරුවේය. එහෙත් මේ කරගැට මතුවුණු අත්ලෙන් හේ බටනලාවෙන් මියුරු ගී වැයුවේය. එච්. එම්.ගේ ජීවන ගමනේ වෙහෙස නිවාලූයේ ඔහු සිත මනමත් කළ බටනලාවෙන් මැවූ මියුරු සංගීතයම විය.

1960 දශකයේ එක්තරා දිනයක සියඹලාණ්ඩුවේ බටනලා වාදකයාට අලුත් ආරංචියක් ලැබුණේය. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බටනළා වාදකයෙකුට ඇබෑර්තුවක් ඇත යන්නය. එච්. එම්. කෙසේ හෝ මේ පරීක්ෂණයට ඉදිරිපත් වන්නට කොළඹ පැමිණුණේය. බටනළා වාදනය හොඳින් දැන සිටි නමුත් ස්වර ප්‍රස්ථාර කියවන්නට නොදැන සිටි නිසාවෙන් එවර ඔහු පරීක්ෂණයෙන් අසමත් වන්නේය. නැවත සියඹලාණ්ඩුවට නොගොසින් කොළඹ සිට හිත මිත්‍රයන්ගේ නිවෙස්වල රැඳෙමින් කෙසේ හෝ රැකියාවක් සොයන ඔහුට හිතවත් මන්ත්‍රීවරයකු වූ සෝමපාල සෙනෙවිරත්න මහතා නිසා ශ්‍රාවස්ථියේ නැවතීමට අවස්ථාව හිමි වන්නේය. එතැන් සිට ශ්‍රාවස්තියේ රාත්‍රියට ඇසුණ බටනලා වාදනය එහි පැමිණි මන්ත්‍රින් සියළු දෙනාගේම සංගීත රසය වැඩෙව්වේය. එච්. එම්. ගේ දක්ෂතා හඳුනාගත් මන්ත්‍රිවරුන් 10 ක් පමණ අත්සන් කර සකස් කරගත් ලිපියක් ඔවුන් එච්. එම්. අත තබනුයේ එය එවකට ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශයේ ප්‍රධානියා වූ සෝමදාස ඇල්විටිගලට දීමටය. ඇල්විටිගල මහතා මන්ත්‍රීවරුන් අත්සන් කළ ලිපිය විසි කර දැමුවේය. පසුව එච්. එම්. අමරදේව ශූරීන් මුණ ගැසීමට බොරුපන පිහිටි ඔහුගේ නිවෙසට ගියේය. අමරදේව මාස්ටර්ට තම හැකියාව පෙන්වීම පිණිස ගීත කීපයක් බටනලාවෙන් වාදනය කර පෙන්වීමටද එහිදී ඔහුට සිදු විය. එවකට එච්. එම්. විසින් බෙහෙවින් පෙම් කළ සහ නිතර නිතර වාදනය කළ 'ඇවිලුණු ගිනිදැල්' ඇතුළු ගීත කිහිපයක්ම වාදනය කළේය.

අමරදේව මාස්ටර් බෙහෙවින් සතුටු වූයේය.

'හොඳයි' ලස්සනට වාදනය කළා.

'බොහොම ස්තූතියි සර්. ඒත් මට ස්වර ප්‍රස්ථාර කියවන්න බෑනේ'

එච්. එම්. සිය නොහැකියාව අමරදේව මාස්ටර්ට පැවසුවේය. අමරදේව මාස්ටර් පැයක් දෙකක් ඇතුළත එච්. එම්. ට ස්වර ප්‍රස්ථාර කියවීමට ඉගැන් වූයේය.

එසේම පසුදා උදේ ගුවන් විදුලියට පැමිණෙන්නයි ද දන්වා සිටියේය. පසුදා ගුවන් විදුලියට පැමිණෙන්නට ප්‍රථම පස්සර මහා විද්‍යාලයේදී තමන්ට ඉතිහාසය ඉගැන් වු ගුරුවරයා වූ වසන්ත ඔබේසේකර මුණ ගැසී තම අවශ්‍යතාවය පවසා ඔහුගෙන් ලිපියක් ලබා ගැනීමට ද හෙතෙම මැලි නොවීය.

වසන්තගේ ලිපිය බැලූ සෝමදාස ඇල්විටිගල 'තමුසේ කියන්න එපැයි වසන්තගේ ගෝලයෙක් කියලා. මේ එක එක මන්ත්‍රීවරුන්ගේ ලියුම් උස්සන් එන්නෙ' යැයි පැවසුවේය.

ඉන් පසුදා සිට එච්. එම්. ට ගුවන් විදුලියේ රැකියාව ලැබිණ. ගුවන් විදුලියේ අනියම් බටනලා වාදන ශිල්පියෙකු ලෙසින් එතැන් සිට එච්. එම්. සිය වෘත්තීය ජීවිතය ඇරඹුවේය.

මෙකල රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙන ගත් පිරිසක් නැඟී එන ගායක ගායිකාවන් වශයෙන් මතු වෙමින් තිබිණ. රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, මාලනී බුලත්සිංහල වැන්නෝ ඒ අතර විය. එච්. එම්.ටද ඔවුන් සමඟ අත්හදා බැලීම් කරන්න ඉඩ ප්‍රස්තාව හිමි වූයේය. එසේම එකල නිර්මාණය වූ 'දෙව්ලෝ යනකම්' 'නෙත් අඳ බිසව්' වැනි නාට්‍යවල බටනලා වාදකයා වූයේ ද එච්. එම් ය. එහි ගායිකාව වූයේ මාලිනී බුලත්සිංහලය. සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ඔස්ටින් මුණසිංහය.

මාලිනීගේ සරල ගී වැඩ සටහනකට ගීතයකට තනුවක් නිර්මාණය කර ගැනීම සඳහා අමරදේව මාස්ටර් මුණ ගැසීමට යාමට දිනක් එච්. එම්. ට මාලිනී කතා කළේය. මාලිනී සමඟ අමරදේව මාස්ටර් හමු වී ගීතය ඉදිරිපත් කළේය. අමරදේව මාස්ටර් ගීතය දෙස බලා සිට මොහොතකින් එච්. එම්. ගෙන් ඇසුවේ 'ඇයි ඔයාට බැරි තනුවක් නිර්මාණය කරන්න' කියාය.

එච්. එම්. ගේ නොසිඳෙන ගී උල්පත සොයා ගැනීමේ මූලිකයා අමරදේව මාස්ටර් වූයේ එසේය.

'රජ මැදුරක ඉපදී සිටියා නම් - නුඹත් රජෙකි පුතුණේ

හිරිකඩ බාගෙන පොල්අතු ඉහිරී අද නුඹෙ සිරියහනේ' මාලිනී බුලත්සිංහලට සිය ප්‍රථම ගී තනුව එච්. එම්. විසින් සකසනුයේ එසේය. එතැන් සිට ගීත තනුව මෙන්ම නොසිඳෙන නොගිලිහෙන ආදරණීය සෙනෙහස් බැම්මක් ද මේ දෙදෙනා අතර ඇති විය.

ඉන් පසු පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් එච්. එම්. ට ගී පද වැලක් ලබා දෙන්නේ තනුවක් නිර්මාණය කර දෙන ලෙසටය. එච්. එම්. පවා නොසිතූ අයුරින් එම ගීතය ද ජනප්‍රිය වන්නේය.

'සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන

මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා . . .'

70 දශකයේ අග භාගයේ නිර්මාණය වුණු මේ ගීතයේ මිහිරියාව කෙතරම්දැයි කියන්නට අදටත් වචන නැත්තේ එච්. එම්. ගැලපූ ස්වර රටාවන්ගේ අපූර්වත්වය කියාපාමිනි.

1978 දෙසැම්බර් 30 වැනිදා එච්. එම්. මාලිනී බුලත්සිංහල නම් වූ සිය ප්‍රියාවිය සමඟ විවාහ වන්නේය. එතැන් පටන් මාලිනීගේ අතිශය හෘදයාංගම ගී දැහැනේ හිමිකරුවා වන්නේ එච්. එම් ය.

සංගීතය පිළිබඳ කිසිදු ආයතනයකින් පුහුණුවක් හෝ අධ්‍යාපනයක් නොලද එච්. එම්. සංගීත විභාග සඳහා ඉදිරිපත් වන්නේ 1980 දශකයේදී පමණය. එහෙත් 1979 දී මාලිනී සමඟ විවාහ වන විට ඇය ලක්නව්හි භාත්ඛණ්ඩේ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියදී ඇය බලන්නට ලක්නව් වෙත ගිය අවස්ථාවකදී ලක්නව් රූපවාහිනිය වැඩසටහන් සඳහා පෙනී සිටිමේ භාග්‍ය ද එච්. එම්. හිමි කර ගත්තේය.

සියඹලාණ්ඩුවේ හේන් ගොවිතැන් කරමින් දුෂ්කර අත්දැකීම් මැද බටනලා වාදනය කළ ඔහුගේ ගෞරවාදරයට පාත්‍ර වුණු නන්දා මාලිනී, පණ්ඩිත් අමරදේව වැන්නන්ට ද ගී තනු නිර්මාණය කරන්නට හැකි වෙතැයි එදා ඔහු කිසි දිනකත් නොසිතන්නට ඇත. එහෙත් දෛවයේ තීරණ කාට වෙනස් කළ හැකි වේද? එච්. එම්. ගේ මියුරු තනු ඔවුන්ගේ හඬ පෞරුෂයෙන් හැඩ වෙත්දී මෙරට ගීත ශ්‍රාවක සිත් සතන් මන්මත් කළේය.

'සඳ තරු නිහඬයි - ගහ කොළ නිසලයි

මුළු ලොව සැතපෙයි - සිතුවිලි විතරක් අවදි වෙලා'

එසේම එච්. එම්. ආචාර්ය නන්දා මාලිනිය වෙනුවෙන් අති රමණීය තනු රැසක් නිර්මාණය කළේය. ඒ අතර 'ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ, නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි, ප්‍රේමය නම්, පූජාසනයේ ඔබ හිඳුවා, පිළිම නෙලා නැති විරුවන් පිරිසක්, නෙළාගන්න බෑ, බුදු තාත්තේ බොන්න එපා, මා හඬනා කඳුළු ගලා, කඩමණ්ඩියේ දොළ අයිනේ, පෙම් ලොව දී දුටු ඔහුම ද මේ, මේ ජීවන ගංගාධාරයේ ඇතුළු රාශියක් මේ මොහොතේ සිහියට නැඟේ. මේ එකින් එක ගත් කළ ඉන් මතුවන මිහිරියාව කොතෙක්දැයි කෙනෙකුට විස්තර කළ නොහැකිය.

ඔහුගේ ප්‍රේමණීය ගී තනු වචනාර්ථයේ ප්‍රේමය උතුරා ගලා යන හද රිදවූවක් සේ දැනෙන්නට විය. විටෙක ප්‍රේමයේ අසිරියෙන් සිත මහත් ප්‍රහර්ෂයට පත් කළේය. තවත් විටෙක ප්‍රේමයේ විරහව සදාකාලික හද රිදවුමක් කරලූයේය. පද රචනයේ අර්ථය ඔහු සිය සත්සර මුසුවෙන් තව තවත් උද්දීපනය කළේය. එසේම ඔහු ගී තනු නිර්මාණයේ ආකෘතිය දෙපළු කරමින් සිය හිතුවක්කාර ස්වර රචනා ගීතය කරන්නට නොපසුබට වූවෙකි. එකී ආකෘතිමය වෙනසේ උත්කෘෂ්ටයක් ලෙස නන්දා මාලිනිය ගායනා කරන පහත ගීතයම සාක්ෂියක් වන්නේමය.

'ඔබයි රම්‍ය සඳකිරණ - ඝන අන්ධකාරේ

ඔබයි සෞම්‍ය තරු එළිය - ගිම්හාන කාලයේ'

ගීතය මධ්‍යයේ පැමිණෙන 'ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කර දුන්නෙහිය . . .' යනාදී වචන පෙළ ඔහුගේ මියුරු සංගීතයෙන් අලංකෘත වී එම ගීයේ හැඩය වෙනස් කරමින් කළ නිර්මාණාත්මක සංකල්පය ප්‍රේමයේ භාව ලීලාවෙන් අප ප්‍රකම්පනය කළ අයුරු විස්මයජනකය.

මාලිනී බුලත්සිංහල සිය ප්‍රියාදර බිරියට 'රජ මැදුරක' ගීතයේ සිට ප්‍රේමයේ විල්තෙරේ, ඔබට මා ආදරය කළ බව මෙතරම්, වසන් කරන්නට බෑ මගේ හිත, සැන්දෑ අහස වගේ, පුන් පෝදා සඳ, සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ, අහසින් තරුවක්, කන්ද කෙන්ද ඇතුළු ගී තනු රාශියක අණසක එච්. එම්. වෙතම පැතිරිණ.

මෙරට බොහෝ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ මුල් ගීත අතර එච්. එම්. ජයවර්ධනගේ ගී තනුවක් නොතිබුණොත් ඒ කලාතුරකිනි. ටී. එම්. ජයරත්න ගායනා කරන ඔබ හා මෙමා, රත්තරන් නෙත් දෙකින්, එඩ්වඩ් ජයකොඩි ගායන කරන ගමේ පන්සල , සිරියහනේ ලණු ඉහිරී, අකීකරු ද ඔබේ සිතත්, බණ කියන රටක්, බුදු බණ ඇසුවත් නිරන්තරේ වැනි ගීත ඔහු නිර්මාණය කළ ඒවාය. කරුණාරත්න දිවුල්ගනේ ගයන මාල ගිරවුනේ, දුරු කතර ගෙවාගෙන ජානක වික්‍රමසිංහ ගයන කිරුළ මුතුළෙහි, බාලිකාවියන් ක්‍රිශාන්ත එරන්දක ගයන වී පැදුරෙන්, පංච කල්‍යාණියේ, රොහාන් ශාන්ත බුලේගොඩ ගයන සඳක් නම්, බණ්ඩාර අතාවුද ගයන කෙහේ යන්නද, සිහිනයකි ඔබ, අමරසිරි පීරිස් ගයන ඇය යන්න ගියා මැකිලා මේ අතරට එක් වේ.

තනිවම එච්. එම්. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ මෙරිල් කාරියවසම් නිෂ්පාදනය කළ සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ 'මුහුදු ලිහිණි' චිත්‍රපටයෙනි. 1982 වසරේදී ඒ සඳහා ඔහුට ජනාධිපති සම්මාන හිමි වුවද ඔහු සම්මානය බාර නොගැනීමට තීරණය කළේය. එයට හේතුව වූයේ එම වසරේම තිරගත වූ 'තුන්වෙනි යාමය' චිත්‍රපටයේ කේමදාස මාස්ටර්ගේ සංගීතය ඊට වඩා නිර්මාණශීලී බව ඔහුම පිළිගත් නිසාවෙනි.

'තුන්වෙනි යාමයේ කේමදාස මාස්ටර්ගේ සංගීතය ඊට වඩා උසස් කියලා මගේ හිත මට කිව්වා' යැයි එකල ඔහු පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා ලබා දෙමින් පවසා තිබිණ. 1981 දී එච්. එම්. ට 'ආරාධනා' චිත්‍රපටයේ සංගීත නිර්මාණය සඳහා (රෝහණ වීරසිංහ සමඟ) සරසවිය සම්මානය හිමි වන්නේය. එච්. එම්. ගේ මෙන්ම රෝහණ වීරසිංහගේද මුල්ම සංගීත අධ්‍යක්ෂණය එයයි. පසුව කැලෑ මල් මංගල තෑග්ග වැනි චිත්‍රපටයන්ටද ඔහු සංගීතය අධ්‍යක්ෂණය කළේය. මංගල තෑග්ග චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය ගීතයක් වන 'එක යායේ කකා වැටී' ගීතයේ තනුවද ඔහුගේය.

එච්. එම්. - මාලිනී යුග දිවිය සංගීතයෙන් පිරුණා සේම කසුන් කල්හාර පුතුගෙන් හා නිර්මාණි ඡායා දියණියගෙන් ද හැඩ විය. එහෙත් එච්. එම්. ගේ ජීවිතයේ පළමු කඩා වැටීම සිදු වූයේ දියණිය හදිසියේම මිය යාමත් සමඟය. ඉන් පසු බොහෝ රාත්‍රීන් ඔහු මධු විතක් ද සමඟ දියණියගේ සොහොන් ගැබ සිඹ ගෙවන්නට උත්සාහ කළේය. ඔහුගේ දිවියේ දෙවැනි කඩාවැටිම සිදු වූයේ සෙනෙහෙබර බිරිය මාලිනී විදේශයකදී දිය දිවියට සමු දීමය.

මාලිනී ඇමරිකාවේ ප්‍රසංගයට පිටත්ව ගොස් සති කිහිපයකින් සුනිල් සරත් පෙරේරා ඔහුට ගී පද රචනාවක් දුන්නේ තනු නිර්මාණයකටය. ඔහු ඒ සඳහා අලංකාර තනුවක් නිර්මාණය කළ ද හදවතේ කොනක කිව නොහැකි දුකක්, කනගාටුවක් හෝ අසනීප තත්ත්වයක් වැන්නක් දැනිණි. තනුව නිර්මාණය කර දී සතියක් ඇතුළත ඔහුට වේදනාත්මක පණිවිඩය වූ මාලිනී යන්න ගිය බව ලැබී ඇත. ඔහු නිර්මාණය කළ ගීතය වූයේ,

'ඇය යන්න ගියා මැකිලා

වන සිරසක තුරු සෙවණැලි අතරේ

ගී ගයමින් ඉඳ මා තුරුලේ . . .' යන ගීතයයි.

ඉතින් එදා ඈ ගියා සේම ඔහු ද අද අප හැර ගොස්ය. සියක් ආයු ලැබ - මගෙත් ආයු ලැබ - මටත් වඩා කල් ජීවත් වෙන්නට කියා සියලු සංගීත ශ්‍රාවකයන් ප්‍රාර්ථනා කරත්දීත් ඔහු යන්නට ගොස්ය. එහෙත් ඔහුගේ නාමය සදා ජීවමාන කරන්නට මෙරට සංගීත ක්ෂේත්‍රයට ඔහු සිය දහසක් ගී තනු ඉතිරි කර ගියා සේම සිය උරුමය සුරකිමින් මතු සංගීත ලෝකය බබළවන්නට පුතෙකු ද දායාද කර ගියේය.

තවත් වසර ගණනාවක් මෙරට ගීත ශ්‍රාවක සිත් දැහැන් ගත කරවන්නට ඔබේ මියුරු සත්සරට හැකිවේවි. ඒ වෙනුවෙන් ඔබට පින්! එච්. එම්. ජයවර්ධන සංගීතවේදියාණෙනි ඔබට සුබ ගමන්!

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.