කළු ජාතිකයන් වෙනුවෙන් හොලිවුඩයේ පෙරමුණට පිවිසි සිනමාකරුවා

මැයි 9, 2019

ජෝන් සිංගල්ටන් 1968-2019

1940 පමණ කාලය අමෙරිකාවේ කළු - සුදු වර්ණ භේදවාදය අතිශය ප්‍රබල සටනක්ව පැවති සමයක් විය. කළු මිනිසුන් සුදු මිනිසුන්ගේ අතවැසියන් ලෙස අතිශය දුක්බර ජීවිත ගෙවූ අතර සමේ කළු පැහැය නිසාම ඔවුන්හට සුදු ජාතිකයන්ගේ විවිධාකාර තාඩන පීඩනවලට යටත්වන්නට සිදු විය. මාටින් ලූතර් කිං විසින් 1960 දශකය පමණ වන විට අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් සටනේ නියමුවකු ලෙසින් මෙම වර්ණ භේදවාදයට විරුද්ධව සටනක් දියත් කළේය. දශක ගණනක් ගත වී මේ වන විට අමෙරිකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි ඉහළම ස්ථාන වෙත පැමිණීමට කළු ජාතිකයන්ට හැකි වී ඇති අතර හොලිවුඩයද ජය ගැනීමට අමෙරිකානු - අප්‍රිකානු සම්භවයක් සහිත කළු ජාතික නළු නිළියන්ට හැකි වී තිබේ.

සිනමා ක්ෂේත්‍රයේ පළමු වරට ඔස්කාර් සම්මානයකට හිමිකම් කී කළු ජාතික නිළිය වන්නේ හැටී මැක්ඩැනියෙල්. ඇය 1939 වසරේදී පැවති 12 වැනි ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම සහය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඔස්කාර් සම්මාන ලාභි පළමු කළු ජාතික නළුවා (1963) සේම ඔස්කාර් සම්මානයක් වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වූ (1958) පළමු කළු ජාතික නළුවා ද වන්නේ සිඩ්නි පොයිටියර් ය. හැලී බෙරී හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය පළමුවරට දිනාගත් කළු අමෙරිකානු නිළිය වන අතර ඔස්කාර් සම්මානයක් ඇමී සම්මානයක් සහ ටෝනි සම්මාන ද්විත්වයක් ලබා සිටින වියෝලා ඩේවිස් ඔටුනු ත්‍රිත්වයක් ලද ප්‍රථම කළු ජාතික නිළිය යි. ඔස්කාර් සම්මාන ලාභි මොර්ගන් ෆ්‍රීමාන්, ෆොරෙස්ට් වයිටෙකර්, සැමුවෙල් එල් ජැක්සන්, ජේම්ස් අර්ල් ජෝන්ස්, ඩැනී ග්ලෝවර්, ඉඩ්‍රිස් ඇල්බා, ජෙමී ෆොක්ස්, එඩී මර්ෆි, කියුබා ගුඩ්වින් ඇතුළු තවත් කළු ජාතික අමෙරිකානුවන් රැසක් මේ වන විට හොලිවුඩය දිනා ගන්නට සමත් වී සිටිති. 2016 වසරේදී Moonlight චිත්‍රපටය සමඟින් ද හොලිවුඩයේ කළු ජාතිකයන් පිළිබඳ කතාබහ වැඩි විය.

අමෙරිකානු - අප්‍රිකානු සම්භවයක් සහිත කළු ජාතික නළු නිළියන් මෙලෙස කතා බහට ලක් වුවත් හොලිවුඩයේ කළු ජාතිකයන් පිළිබඳ ඔවුන්ගේ දැක්මෙන් නිර්මාණය කළ සිනමා නිර්මාණ දැක ගත හැකි වන්නේ 90 දශකයෙන් පමණ පසු කාලයේදීයි. එපමණක් නොව තිරය පිටුපස කළු ජාතික සිනමා නිර්මාණකරුවන් සිටියේ ද ඉතා අල්ප වශයෙනි. ජෝන් සිංගල්ටන් යනු හොලිවුඩ් සිනමාවේ මෙලෙස ඉදිරියට පැමිණි කළු ජාතික නිර්මාණකරුවන්ගේ ප්‍රමුඛයකු ලෙස හැඳීන්විය හැකි අයෙකි. ඔහු වසර 30ක තරම් කාලයක් පුරා හිප්හොප් පරම්පරාවේ ප්‍රමුඛතම කතා කියවන්නෙක් බවට ද පත් විය.

හොලිවුඩ් අධ්‍යක්ෂවරයකු ලෙසින් සේම තිරරචකයකු ලෙසින්ද කැපී පෙනුණු සිංගල්ටන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වුයේ 1991 වසරේදී අමෙරිකානු යොවුන් සිනමා නිර්මාණයක් ලෙසින් තිරගත කෙරුණු Boyz n the Hood චිත්‍රපටය යි. එය තිරරචනය කළේ ද ඔහු විසිනි. 90 දශකයේ මුල් භාගයේ ලොස් ඇන්ජලීස්හි මත්ද්‍රව්‍ය, කල්ලි සංස්කෘතිය නාගරික තරුණයින්ට විනාශකාරී ලෙස බලපා ඇති අයුරු කියවෙන කතා පුවතකින් යුතු වූ එය විචාරක ප්‍රතිචාර ඉහළින් ලද චිත්‍රපටයක් බවට පත් විය. වියදම මෙන් දස ගුණයක ආදායමක් ලද Boyz n the Hood චිත්‍රපටයට කළු ජාතිකයන් කතාබහට ලක් කළ සිනමා රැල්ලේ ප්‍රමුඛ ස්ථානය හිමිවේ. එය එවර පැවති 64 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ දී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වූයේ එවකට 24 වැනි වියේ පසු වූ ජෝන් සිංගල්ටන් ඔස්කාර් සම්මාන උලෙළකදී නිර්දේශ නාම අතරට ඇතුළත් වූ ළාබාලතම පුද්ගලයා ලෙසින් ඉතිහාසයට එක් වෙමින්. Boyz n the Hood චිත්‍රපටයේ ඔහුගේ තිරරචනය ද එවර ඔස්කාර් හොඳම තිරරචනය වෙනුවෙන් වූ නිර්දේශ නාම අතර විය. මේ වන විට හොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා සිටින අයිස් කියුබ්, කියුබා ගුඩින්ග් ජූනියර්, මොරිස් චෙස්නට්, ලැරී ෆිෂ්බර්න් එහි රංගනයෙන් දායක විය.

එක් රාත්‍රියක ජෝන් සිංගල්ටන් අඩ නින්දේ පසු වන විටදී දුරකථන ඇමතුමක් ලද අතර දුරකථනයේ අනෙක් පසින් කියවුණේ එම ඇමතුම මයිකල් ජැක්සන්ගේ බවයි. එසේම ඊළඟ දිනයේදී සිංගල්ටන්හට ඔහු අමතන ලෙසත් එයින් කියවිණි. පසුදින තම නියෝජිතයකු හරහා සිංගල්ටන් මයිකල් ජැක්සන් වෙත ගත් දුරකථන ඇමතුම අනුව දෙදෙනා අතර සුහද කතාබහක් සිදුවිය. ඒ අතරතුර පෙර දින දුරකථන ඇමතුම පිළිබඳ සිංගල්ටන් සිහිපත් කළ විටදී මයිකල් පවසා තිබෙන්නේ තමා එවැනි දුරකථන ඇමතුමක් නොගත් බවයි. සිංගල්ටන්හට එම දුරකථන ඇමතුම ලබා දී තිබෙන්නේ Boyz n the Hood චිත්‍රපටයට රංගනයෙන් දායක වූ ලොයිඩ් වේරි ජුනියර් නම් නළුවා විසිනි. කෙසේ නමුත් ලොයිඩ්ගේ මෙම විහිළුව අවසාන වූයේ මයිකල් ජැක්සන්ගේ Remember the Time ගීතය සමඟ නිර්මාණය වූ කෙටි චිත්‍රපටය ( Remember the Time - 1992) එළිදැකීමෙනි.

සිංගල්ටන්ගේ දෙවැනි සිනමා නිර්මාණය වූයේ Poetic Justice (1993)  චිත්‍රපටය යි. ඒ වන විට කලා ක්ෂේත්‍රයේ නමක් දිනා සිටි කළු ජාතිකයකු තම සිනමා නිර්මාණයට දායක කර ගැනීමේ අරමුණැතිව එහි තිරරචනය ද ඔහු අතින් සිදු විය. ඒ අනුව Poetic Justice චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ආරාධනා ලැබූයේ ජනප්‍රිය කළු ජාතික අමෙරිකානු ගායිකාවක වන ජැනට් ජැක්සන් ය. පොප් රජු මයිකල් ජැක්සන්ගේ නැගණිය වූ ජැනට් ජැකසන් හොලිවුඩයට පිවිසියේ Poetic Justice චිත්‍රපටයෙනි. Rosewood (1997), Shaft (2000), 2 Fast 2 Furious (2003), Four Brothers (2005), Abduction (2011) සිංගල්ටන් ඉහළ සාර්ථකත්වයක් ලද චිත්‍රපට වේ. පසුකාලීනව චිත්‍රපට නිෂ්පාදනයටද පිවිසි ඔහු නිෂ්පාදන ආයතනයක හිමිකරුවෙක්ද වේ.

1968 වසරේ ජනවාරි 06 වැනිදා ලොස් ඇන්ජලීස්හිදී උපත ලද ජෝන් ඩැනියෙල් සිංගල්ටන් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද අතර පරිගණක විද්‍යාවට ද උනන්දුවක් දැක්වීය. හොලිවුඩ් සිනමාවට තිරරචකයන් සහ අධ්‍යක්ෂවරුන් ලෙස සිසුන් දායක කර ගැනීමේ වැඩසටහනක් සමඟ සම්බන්ධ වීමට ද විශ්වවිද්‍යාලයේදී ඔහුට අවස්ථාව උදා විය. සිංගල්ටන්ගේ නිර්මාණවල කළු ජාතික නළු නිළියන් වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් වුණු අතර රූපවාහිනි වැඩසටහන් ද ඔහුගේ නිර්මාණ අතර විය. ඇකෝසුවා බියුසියා නම් ඝානා ජාතික නිළියක සමඟ විවාහ වූ ඔහුට ජස්ටිස් නම් දියණියක සිටී. මැමායි, හේඩර්, ක්ලියෝපැට්‍රා, සෙලෙන්සොල්, අයිසිස් සහ සෙවන් නම දරුවන්ට ද පීතෘත්වය දුන් ඔහු පසුගිය අප්‍රේල් 29 වැනිදා මෙලොවින් සමුගෙන ගියේ 51 වැනි වියේදීයි.

විනෝද ගමනකින් අනතුරුව කොස්ටා රිකා සිට අමෙරිකා එක්සත් ජනපදය දක්වා පැමිණෙන අතරතුර අප්‍රේල් 17 වැනිදා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ලොස් ඇන්ජලීස්හි රෝහලක් වෙත ඇතුළත් කෙරිණි. හෘදයාබාධය හේතුවෙන් සිංගල්ටන් කෝමා තත්ත්වයට පත් වී ඇති බව අප්‍රේල් 25 වැනිදා නිවේදනය කෙරිණි. අනතුරුව අප්‍රේල් 29 වැනිදා සිංගල්ටන්ගේ සිරුරට සවිකර තිබූ ජීවිතාධාරක උපකරණ ඉවත් කළ බව සිංගල්ටන් පවුල නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. කළු ජාතිකයන්ගේ දැක්ම වෙනුවෙන් හොලිවුඩයේ පෙරමුණට පිවිසි ජෝන් සිංගල්ටන් නම් නිර්මාණකරුවාගේ අවසන් කටයුතු පෞද්ගලික අවමංගල්‍යයක් ලෙස පසුගිය 06 වැනිදා හොලිවුඩ් හිල්ස්හිදී සිදු කෙරිණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.