තනි කොට නික්ම ගිය ලයනල් අල්ගම

මැයි 30, 2019

‘ලයනල්, මම ජනප්‍රිය ජනකථා දෙකක් ඇසුරෙන් නාට්‍යයක් ලියලා තියෙනවා. මතකද? සිවලා සහ ගම දියණියගේ කථාව, ඒ ආශ්‍රයෙන් ‘නරිබෑනා’ කියලා නාට්‍යයක් ලියලා තියෙනවා. ඒක ගීතමය නාටකයක්. ලයනල් අපි දෙන්නා එකතු වෙලා මේ ඉස්කෝලේ ළමයි යොදලා නාට්‍යය කරමුද?

මේ කතාබහ ඇති වූයේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගුරුවරු දෙදෙනෙක් අතර ගුරු විවේකාගාරයේදීය. වසර 1961 ය.

යෝජනාව ගෙන ආවේ විද්‍යාලයේ භූගෝල විද්‍යාව ඉගැන්වූ දයානන්ද ගුණවර්ධනය. විද්‍යාලයේ සංගීත ගුරුවරයා වූ ලයනල් අල්ගම මේ යෝජනාවට එක පයින් එකඟ වෙයි. දයානන්දගේ නාට්‍ය පිටපත එහාට මෙහාට පෙරළූ ලයනල් සතුටින් මෙසේ කීවේය.

‘මේ නාට්‍යයේ සංවාද ගීතවත් ලෙස ලියැවිලා තියෙන්නේ. අපි රබන් පදවල සරල පද විලාසය හා තාල ඇසුරෙන් තනු නිර්මාණය කරමු’ ලයනල් කීය.

ලයනල් හා දයානන්ද එක ගම් පළාතේය. ලයනල් ගම්පහ බ්‍රැන්ඩියමුල්ලේය. දයානන්ද ගම්පහ උඩුගම්පොළය. ඒ නිසා මේ දෙන්නා කාලයක් තිස්සේ එකට එක පාසලේ ඉගෙන ගෙන හඳුනන නිසා ‘නරිබෑනා’ නාට්‍යයේදී රන් රස ලෙස පෑහුණි.

‘කුමටද සොබනියේ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්’

ඒ නරියා ගයන ගීයකි. ගම දියණිය ගැයූ ‘ඇහැළ මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි’, ‘තෝව දෙන්නෙත් නරියටයි’, ‘ගමෙන් ඇවිදිල්ලා ගමෙන් ඇවිදිල්ලා’, ‘සුරුට්ටු ද බොන්නෙ බුලත්ම ද කන්නෙ’ යන ගීත එදා ප්‍රේක්ෂකයන්ට මෙන්ම මෙදා රසිකයන්ගේ තුඩ තුඩ රැව් දෙන්නේය.

ලයනල් අල්ගම නම් මේ ප්‍රතිභාන්විත සංගිතඥයාත්, ලාංකීක නාට්‍ය වේදිකාවේ මං සලකුණු සටහන් සනිටුහන් කළ දයානන්ද ගුණවර්ධනත් වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයේ එකට ඉගෙනීම ලැබුහ. මේ දෙදෙනාගේ සම වයසේ සිටි මිතුරු කැල වූයේ මහගමසේකර, චිත්‍රා බාලසූරිය, සූරසේන කළුගම්පිටිය, සෝමසිරි දෙහිපිටිය, දම්සිරි බාලසූරිය යන කලාවට ළැදි පිරිසය. යොවුන් වියේ එළිපත්තේ සිටි මේ සැවොමගේම ගම්පහ මූලස්ථානය වී ඇත්තේ ගම්පහ චිත්‍රා බාලසූරියගේ ‘චිත්‍රා ෆොටෝ’ නම් ඡායාරූප ශාලාවය.

අල්ගම කෝරලලාගේ ලයනල් කුමාරදාස පෙරේරා 1935 මාර්තු 24 වෙනිදා ගම්පහ දී උපත ලැබිය. ලයනල්ගේ පියා වෙළඳ ව්‍යාපාරයක් ගෙන ගිය කුරුණෑගල ඉඩකඩම් තිබූ වැවිලිකරුවෙකි. ධනවතෙකි.

වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනීම ලබන කාලයේ සිටම සංගීතයට ඇලුම් කළ ලයනල් පාසල් යන කාලයේදීම ප්‍රවීණ සංගීතඥ එඩ්වින් සමරදිවාකරයන් වෙතින් සිතාර් වාදනය ඉගෙන ඇත. ඔහුගේ මූලික වාද්‍ය භාණ්ඩය සිතාරය වුව ද එස්රාජය, ගිටාරය, සරෝද්, සර්පිනාව, මැන්ඩලීනය වැනි සංගීත භාණ්ඩ වාදනයේ විශිෂ්ට කුසලතාවක් තිබූ බව ආචාර්ය දයාරත්න රණතුංග පවසා තිබුණි.

සංගීතය ගැන පුතු තුළ තිබූ නිසඟ කුසලතා දුටු ඔහුගේ පියා 1955 වසරේ භාරතයේ විශ්වභාරතී සංගීත විශ්වවිද්‍යාලයට එනම් ශාන්ති නිකේතනයට යැවීමට ප්‍රතිපාදන සපයා දී ඇත. ශාන්ති නිකේතනයට ගිය ලයනල් තුළ මහා කලාකරු රවින්ද්‍රනාත් තාගෝර් තුමා ගැන අසීමිත ආදරයක් හා භක්තියක් ඇති විය. වසර තිහකට පමණ පෙර ලයනල් හමුවීමට නිවසට ගිය මට ඔහුගේ සංගීත කුටියේ තිබූ තාගොර්තුමාගේ විශාල ඡායාරූපයට පහනක් දල්වා තිබෙනු දැකගන්ට ලැබුණි.

‘ශාන්ති නිකේතනය මගේ සංගීත සරසවියයි. ඒ පින්බිමේ ඉගෙන ගන්නා කලේ එහි හැම වැලි ඇටයක්ම මා පෑගුවේ ඉමහත් භක්තියෙන්. අනේ අද තාගෝර්තුමා ජීවතුන් අතර සිටියා නම් කියලා හිතුණා. අපේ අවසන් වසරේ සිතාර් වාදනය විභාග කිරීමට පැමිණියේ මහා ගාන්ධර්ව රවි ශංකර් තුමා. එතුමා මගේ වාදන නිරීක්ෂණ කරද්දී මා තුළ බියක් ඇති වුණා. වාදනය අවසන එතුමා හිස වනමින් මට ආශිර්වාද කරනු දුටුවා.’

ඉංග්‍රිසි භාෂාව මෙන්ම වංග හා හින්දි භාෂාවේ ද ප්‍රවීණතාවක් තිබූ ලයනල් පෙරළා ලක්බිමට පැමිණි පසු ඔහුගේ වඩාත් සමීප සංගීතඥයා වී ඇත්තේ ඩබ්ලිව්. චූලරත්නයන්ය. ඔහු හින්දි භාෂාව ඉගෙන ගත්තේ දරමිටිපොල රතනසාර හිමියන්ගෙනි.

ලංකා ගුවන් විදුලියේ වාදක මණ්ඩලයට ඇතුළත්වීමට එඩ්වින් සමරදිවාකර හා ඩබ්ලිව්. චූලරත්න සංගීතඥයන් උපකාර වී ඇත.

කලක් ලයනල් අල්ගමයන් කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනයේ නේවාසිකව සිටියදී අමරදේවයන් සමඟ එක්ව චිත්‍රසේනගේ ‘කරදිය’ හා ‘නල දමයන්ති’ වැනි ඉඟි නළුවල සංගීතය සැපයූ බවත් ‘කිංකිණි කෝලම’, ‘ගිනි හොරා’, ‘රන් කිකිළි’ ‘නුවණ්පොදිය’, ‘කුස පබාවතී’, ‘මැක්බත්’, ‘ඔතැලෝ’, ඇතුළු තවත් නාට්‍යවලට සංගීතය මෙහෙයවනු තමා දැක ඇතැයි ආචාර්ය දයාරත්න රණතුංග අපට කියා ඇත.

ගම්පහම නිජබිම කර ගත් චිත්‍රපට අධ්‍යක්ෂ විමලනාත් දිසානායක (ජපානයේ ලංතා තානාපති මහාචාර්ය ගංගනාත් දිසානායකගේ පියා) ලයනල්ගේ කුසලතා දැන සිටියේය. තමා අධ්‍යක්ෂණය කළ ‘පටාචාරා’ චිත්‍රපටයේ සංගීතය ඔහුට පැවරුවේ දෙවරක් නොසිතාය. විමලනාත් 1972 සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සිටියදී ඔහුගේ මේසයත් මගේ මේසයත් තිබුණේ එකට යාබදවය. එකල සිළුමිණ හා සරසවිය කර්තෘ මණ්ඩල තිබුණේ එකටය. සිනමාව ගැන උනන්දු වූ අප දෙදෙනාටම විවේකී අවස්ථාවල කතා කිරීමට බොහෝ දේවල් තිබුණි. ඒ සිනමාවේ රස තොරතුරුය.

‘ලයනල් මම හඳුනන්නේ කුඩා කල සිට. මම ඔහුගේ හැකියාවන් තේරුම් ගෙන තිබූ නිසා කෙදිනක හෝ මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන කොට සංගීත අධ්‍යක්ෂණය කිරීම සඳහා ඔහු තෝරා ගන්න හිතුවා. 1962 වසරේ මම ‘පටාචාරා’ චිත්‍රපටය ආරම්භ කරලා ලයනල් එක්ක කතා කළා. ඒ කාලේ ‘රන්මුතු දූව’ තිරගත වෙලා. ලයනල් කිව්වා ‘අපි අමරදේවයි නන්දා මාලිනීවයි ගමු’ කියලා. මඩවල එස්. රත්නායකට සින්දු ලියන්න දෙමු’ කියලත් කිව්වා. චිත්‍රපටය 1964 තිරගත වුණා. අදත් (1973 දී) ඒ ගීතවලට මිනිස්සු කැමතියි’ විමලනාත් මට කීවේය.

අද ලයනල්, විමලනාත් හා මඩවල ජීවතුන් අතර නැතත් මේ ගීත දෙක නම් අමරණීය ගීත ලෙස පවතී.

‘තණ්හා ආශා ඔලගු කරේලා 
මඟ තොට නොබලා 
වගතුග නොසොයා 
එළිය දකින්නද මේ යන්නේ’

(අමරදේව)

‘බාලොලි ලොලි ලොලී ලොලී බාලොලි ලිලියේ 
බාලොලි වන් පුත නිදියා ගන්නෙ (නන්දා මාලිනී)

1965 පැවැති එක්සත් ලංකා රසික සංගමයේ තිළිණ ප්‍රධානයේ 1964 වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂක ලෙස සම්මානය දිනා ගත්තේ ‘පටාචාරා’ චිත්‍රපටය සඳහා ලයනල් අල්ගමයි.

ලයනල්ගේ චිත්‍රපට සංගීතයේ කූටප්‍රාප්තිය ‘පරසතු මල්’ය. 1966 තිරගත වු එහි එන ගීත තුන චිත්‍රපට ගීත ඉතිහාසයේ අගනා මිණි මුතු වැනිය. මේ ඒ ගීත ත්‍රිත්වය මෙසේය.

‘සඳකත් පිනි දිය දිය වී ගලනා 
සීතල කඳු අතරේ 
හද ගොළු වී ඉකි බිඳ ඔබ හඬනා හඬ 
මා සවනේ පෑරේ

(අමරදේව)

පරවුණු මල්වල සුවඳ අතීතේ 
පරසතු මල් ළඟ විසිර ගියාවේ 
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ 
එළිය මැදින් හෙට දවස උදාවේ

(සුජාතා පෙරේරා (අත්තනායක)

අද පමණයි ඉතිරිව පවතින්නේ 
හෙට වන විට නැත අප හමුවන්නේ

තොලින් තොලට වෑහෙන ගී සින්දු 
තොලින් තොලට පෑදෙන මී බින්දු 
තොලින් තොලට යාවෙන අම ලන්දු 
මලින් මලට පාවෙන බඹරින්ඳූ

(අමරදේව)

ලයනල් අල්ගම ‘පරසතු මල්’වලට තෝරා ගත්තේ ඔහු පාසල් මිත්‍ර, ගමේ මිත්‍ර චිත්‍රා බාලසූරිය විසිනි. චිත්‍රපටයේ මුල් නම ‘පෙම්වතුන්ගේ ලෝකය’ලු. මේ නම වෙනස් කිරීමට සිතූ කතා රචක පී. කේ. ඩී. සෙනෙවිරත්න, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ලයනල් අල්ගම හා චිත්‍රා බාලසූරිය දිනක් මහවැව පැත්තේ ගමනක් ගොස් ඇත. ප්‍රකට දේවාලයක ඉදිරිපිට හිස් තණ පිට්ටනියක හිඳ ගත් ඔවුන් නම ගැන කතා කොට ඇත.

‘මේකට හොඳ නම අනුන්ගේ ගැහැනුන්ට ආදරය කරන වගේ නමක් ‘පරසතු’ වගේ. මානවසිංහයෝ පවසන විටම ලයනල් ‘මල්’ කොටස එකතු කර ඇත.

ප්‍රේමවන්තයන්ගේ ලෝකය ‘පරසතු මල්’ වී ඇත්තේ ඒ ආකාරයෙනි. ලයනල් ගැන චිත්‍රා බාලසූරිය කියන්නේ මේ කතාවය.

‘ලයනල් ආඩම්බරකාරයෙක්. එහෙම වෙන්න කාරණා තිබුණා. ඔහු ශාස්ත්‍රය දැනගෙන හිටියා. හොඳ චරිතයක් තිබූ මිනිහෙක්. ඔහුව තෝරා ගැනීම මගේ. වගකීමත් මගේ. මඩවල එක්ක වැඩ කළ ලයනල් මහගමසේකර දැන හිටියත් මුල්වරට සේකර මේ චිත්‍රපටයට එක් වන්නේ ‘පරසතු මලේ’දී. එහි එන ‘තොලින් තොල වෑහෙන ගී සින්දු’ ගීතයට අධ්‍යක්ෂ ගාමිණී ෆොන්සේකා සතුටු වුණේ නැහැ. ගීතයේ මුල් කොටස විතරක් යාන්තමට ඇහෙන්නේ. ගාමිණී වැඩිය කැමති වුණේ ‘සඳකත් පිනි දිය’ ගීතයට. ඒ ගීතය පසුබිමින් ගැයුවේ දක්ෂ තබ්ලා වාදකයකු වූ ටී. ෂෙල්ටන් පෙරේරා. මේ ගීතය කොතරම් භාවපූර්ණව අමරදේව ගයා ඇද්ද යනු ෂෙල්ටන්ට ගීතය අවසන් කොටස ගයමින් රඟපාන විට ඇත්තටම කඳුළු වැටී ඇත. ‘කවුද උඹට අඬන්න කිව්වේ’ යි ගාමිණී ෂෙල්ටන්ගෙන් විහිළුවට ඇසූ විට ෂෙල්ටන් කියා ඇත්තේ එහි අමරදේවගේ ගායනයත් ලයනල්ගේ තනුවත් සේකරගේ පදවැල් ද හොඳට සංයෝගී වූ දුර්ලභ අවස්ථාවක් නිසා තමා සංවේදී වූ බවයි.

 

ලයනල් අල්ගම බටහිර චිත්‍රපට බැලීමට දැඩි කැමැත්තක් දැක් වූ රසිකයෙකි. රීගල්, මැජස්ටික්, ලිබර්ටි හා නිව් ඔලිම්පියා සිනමාහල්වල තිරගත වූ බටහිර චිත්‍රපට බැලීමේ රුසියෙක්ව සිටි බව ඔහු මට රහසක් ලෙස පවසා තිබුණි.

‘ඔය ‘පරසතු මල්’ චිත්‍රපටයේ සුජාතා ගයන නැළවිලි ගීතය මහගමසේකර මට ලියා දුන්න කාලයේ මම දවසක් ගියා නිව් ඔලිම්පියා සිනමාහලට ෆිල්ම් එකක් බලන්න. විවේක කාලයේ මම කැන්ටිමට ගියා බීම බෝතලයක් බොන්න. කැන්ටිම ළඟ තිබුණ ඔරලෝසුවේ බට්ටා කිසියම් රිද්මයකට පැද්දෙනවා. එහි එන්නේ නැළවිලි ස්වරයක්. හරියට ‘පරවුණු මල්වල සුවඳ අතීතේ’ ගීිතයේ වචන පෙළට ඒ තාලය අගේට ගැලපුණා. මම ඉක්මනට සිනමාහලේ ප්‍රවේශ පත්‍රයේ ස්වර ලියා ගත්තා. ගෙදර ගිහින් ගීතයේ ඉතිරි ස්වර ලියා ගත්තා. කාලයක් ගියා. සුජාතා ගීතය ගැයුවා. පරසතු මල් අති සාර්ථක ලෙස තිරගත වුණා. ඊළඟ අවුරුද්දේ සරසවිය සම්මාන උලෙළේ මේ ගීතයේ ගායනයට හොඳම ගායිකාවට සුජාතාට හිමි සම්මානය ලැබුණා. එදා මට සම්මානයක් නොලැබුණත් මගේ ගීතයකට සම්මානය ලැබුණනේ. මට මේකට තනුව ලැබුණේ නිව් ඔලිම්පියා සිනමාහලේ ඔර්ලෝසුවෙන් නිසා මම මල් මාලාවකුත් අරන් දවසක් ගියා මැටිනි ෂෝ එකට. එදා විවේක කාලයේ මම බීම බෝතලයක් හෙමි හෙමින් බිබී කැන්ටිමේ ඉන්න කෙනා යනකං කාලය ගත කළා. ඔන්න මිනිහා ගියා. මම ඉක්මනට බෑග් එකක දවටාගෙන තිබුණ මල් මාලාවත් අරන් අර ඔර්ලෝසුවට දාල හෙමින් සීරුවේ සිනමාහලේ මගේ අසුනේ ඉඳ ගත්තා. ඊට මාසයකට විතර පස්සේ මම ආයෙත් ඒ සිනමාහලට ගියා. දෙයියනේ! හොඳටම මැල වෙච්ච මල් මාලාව එහෙමම තිබුණා. මට තනියම හිනා. ඒත් මගේ යුතුකම ඉටු කළා කියලා සතුටක් ඇති වුණා.’

ලයනල් අල්ගම 1963 දී විවාහ වුණේ ගම්පහම පදිංචිව සිටි ශීලා ඔල්ගා පැට්රිෂියා පෙරේරා සමඟය. ඔවුන් දෙදෙනාට ඥාති සම්බන්ධයක් තිබී ඇත. දෙදෙනා නෑනා මස්සිනාලු. ඒ නිසා මිත්‍රත්වයක් ගොඩ නැඟී ඇත. ශීලා චිත්‍රසේන කලායතනයෙන් නර්තනය ඉගෙන ගත් බවත් ගුවන් විදුලියේ ළමා පිටියේ නන්දා මාලිනිය සිටි කාලයේම ළමා ගී ගයා ඇති බව අල්ගම යුවළගේ බාල දියණිය අනුරාධා පවසන්නීය. වරක් ශීලා තම සැමියා ගැන මෙසේ කීවාය.

‘මගේ මහත්තයා වසර 18 ක් කැපවෙලා ‘ශ්‍රී වීණාව’ සංගීත භාණ්ඩය හැදුවා. මෙයට මුලින් කීවේ ‘සුර්තාර්’ කියලා. මේ චමත්කාරජනක විශ්මයජනක වාද්‍ය භාණ්ඩයට අලුත් නමක් විශේෂයෙන් ලංකාවට උචිත නාමයක් තබන ලෙස බෙංගාලි ජාතික සංගීත විශාරදයෙක් කීවේ මේ විස්මිත වාද්‍ය භාණ්ඩය අගය කරමින්. පසුව ලයනල් එය ‘ශ්‍රී වීණාව’ කියලා නම තැබුවා. ඔහු පාසල් ගී කිිපයක්ම නිර්මාණය කළා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, රත්නාවලී බාලිකා විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය සඳහා ද පාසල් ගී නිර්මාණය කළා. එපමණක් නෙවෙයි අද ලංකාවේ දරුවන් ගයන දහම් පාසල් ගීය වූ ‘සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන්’ ගීතයේ තනුව නිර්මාණය කළේ මගේ මහත්තයා. ඒ ගීතය රචනා කළේ සෝමපාල රාජකරුණා මහත්තයා. මම මහත්තයා නිර්මාණය කළ චිත්‍රපට ගී අතරින් ‘මයුරිගේ කතාව’ චිත්‍රපටයේ අමරදේවයන් විසින් ද, තවත් වරෙක සුජාතා අත්තනායක ගයන මේ ගීතයට බෙහෙවින් ප්‍රිය කරනවා. මේ ගීතය ලිව්වේ ගාමිණි ෆොන්සේකා.’

‘නැති වූණු ආදරයක් වෙනුවෙන් 
හෙළන සුසුම් අන් හදක වැදී 
පෑරුණු හදවත් එකිනෙක අමතා 
කියන කතාවයි මේ 
සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි’

ලයනල් අල්ගම අතින් සංගීතය නිර්මාණය වූ චිත්‍රපට අතර වසන්තී, ඉඳුනිල, ප්‍රදීපේ මා වේවා, මයුරිගේ කතාව, බාඳුරා මල් ද ටෙලි නාට්‍ය අතර සසර, මිහිකතගේ දරුවෝ, රන් මසු උයන, ඉමදියමංකඩ ටෙලි නාට්‍ය ප්‍රධානය. 2000 වසරේ සුමති සම්මාන උලෙළේදී හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ ලෙස ඔහු ‘ඉමදියමංකඩ’ ටෙලි නාට්‍ය සඳහා සුමති සම්මානය දිනා ගත්තේය.

ලයනල් හා ශීලාට දරුවන් තිදෙනෙකි. වැඩිමල් පුතා චන්න සජීවනන්ද අල්ගම ලන්ඩනයේ වෙසෙයි. දෙවැනි දියණිය යසසි මධාරා අල්ගම ඕස්ට්‍රේලියාවේ වෙසෙයි. බාල දුව අනුරාධා අල්ගම සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ඕ/4 නිවසේ පදිංචිව සිටින්නීය.

රෙක්සෝනා සබන් මඟින් මෙරට රූගත කළ මුල්ම අම්මයි දුවයි අක්කයි – නංගියි වගේ යන ජනප්‍රිය වෙළඳ දැන්වීමෙහි ශීලා සහ ඇගේ වැඩිමල් දියණිය යසසි රංගනයෙන් දායක වූහ. ශීලා මේ වසරේ ජනවාරි 13 වෙනිදා හෘදයාබාධකින් මියගියාය.

අම්මයි තාත්තයි මිය යාමෙන් අපේ පවුලට වුණේ ලොකු පාඩුවක්. අම්මට පිට පිටම හෘදයාබාධ තුනක් ආවා. අපේ තාත්තා මිය ගියේ 2008 මැයි 18 වෙනිදා. තාත්තා අන්තිම කාලේ ජීවත් වුණේ තද කලකිරීමකිනි. තාත්තාට කිිසිම අගය කිරීමක් වුණේ නැති නිසා තාත්තා පණටත් වඩා ආදරේ ශ්‍රී වීණාවත් තනි කොට අවසන් ගමන් ගියා.

තාත්තා වැඩි දෙනෙක් ආශ්‍රය කළේ නෑ. අන්තිම කාලේ තාත්තා එයාගේ සංගීත කාමරේට වෙලා තනිවම ගත කළා. ඒ කාමරයෙන් නිකුත් වූ සුවඳ අපිට දැනුණා.

ආචාර්ය ලයනල් අල්ගම තමා නිර්මාණය කළ ශ්‍රී වීණාව තනි කොට සමු ගත්තේය.

ඒ.ඩී.රන්ජිත් කුමාර
ලාල් සෙනරත්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.