මගේ මතක පොතේ ලොකු අකුරෙන් ලියැවුණ ගාමිණී

මැයි 30, 2019

කුසලතාපූර්ණ රංගන ශිල්පියෙක් ප්‍රතිභා සම්පන්න චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට හසු වූ විට සිදු විය හැකි ප්‍රාතිහාර්ය මා දුටුවේ අශෝක හඳගමගේ ‘විදු’ චිත්‍රපටයේ විදුහල්පතිවරයකුගේ චරිතයක් ගාමිණී විසින් නිරූපණය වනු දුටු විටය. සත්‍ය වශයෙන්ම එම චිත්‍රපටයේ මා දුටුවේ ගාමිණීව නොව ගාමිණිගේ නිරූපණය නිසා මා විසින් දකින ලද විදුහල්පතිවරයාය.

1974 වර්ෂයේ පොසොන් පොහොය අපේ රටේ නාට්‍ය ක්ෂේත්‍රයට අලුත් ප්‍රවණතාවක් ජනිත කළ දිනයක්ය කීවොත් වරද නැතැයි මම සිතමි. හේතුව නාට්‍ය කලාව විදියට ගෙන ගියේ එදින බැවිනි. ගාමිණී හත්තොටුව මහතාගේ නායකත්වය ඇතිව නිර්මාණය කර තිබුණු වීදි නාට්‍ය තුනක් රැගෙන කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහල ආශ්‍රිතව පවත්වාගෙන ගිය රංග ශිල්ප ශාලිකාවේ සිට අනුරාධපුරයට ගිය වීදි නාට්‍ය කණ්ඩායමේ කැපී පෙනෙන ශිල්පියෙක් වූවේ ගාමිණී හෙට්ටිආරච්චිය. කණ්ඩායමේ දක්ෂයින්ට නාට්‍ය තුනේම චරිත ගණනාවක් රඟන්නට සිදු වූ අතර ගාමිණී වඩා කැමැත්තෙන් බාරගෙන තිබුණේ ‘මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද?’ නාට්‍යයේ කුරුඳුවත්තේ නෝනා කෙනෙකුගේ චරිතය සහ ‘බෝසත් දැක්ම’ නාට්‍යයේද දේවාලයක කපුවෙකු ලවා දෙවියන්ට බාරයක් වෙන්නට යන තවත් එවැනිම නෝනා කෙනෙකුගේ චරිතයකි. ඒ චරිත රඟන විට නාට්‍ය බලා සිටින ප්‍රේක්ෂකයින්ට පමණක් නොව ඔහු සමඟ රඟපාන ශිල්පීන්ටද සිනාව ඉවසාගත නොහැකි හාස්‍යයක් දනවන්නට ඔහු සමත් විය. මේ කාලයේ සිට විශ්‍රාම යනතුරුම ඔහු රාජකාරිය කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ අධිකාරිවරයෙක් ලෙසය. විදි නාට්‍ය කරන කාලයේදී එලෙස රැකියා කළ හය දෙනෙකුª විය. මම, හේමසිරි, ගාමිණී, එච්. ඒ., පියරත්න අධිකාරි සහ දයා දහනායක ඒ හයදෙනාය. බස්වල සහ දුම්රියේ නාට්‍ය පෙන්වන්නට යන සමහර ගමන්වලදී රැකියා නොකරන, ටිකට් නැතිව හොරෙන් යන්න බැරි, මුදල් හිඟකම් ඇති අයගේ ගමන් වියදම් දැරීම බාරගත්තේ අප හයදෙනාය. අපි හයදෙනා ඔබ කියන කාලයේ විවාපත්ව සිටියේ නැති නිසා මුදල්වල අගයක්ද අපට නොවිය. රැකියාවේ වගකීම් තිබියදීත් කිසිම ආර්ථික ප්‍රතිලභයක් නැති වූ වීදි නාට්‍යවල රඟපාන්නට ගාමිණී නොපැකිළ වියදම් දරාගෙන පැමිණි හැටි මට මතකය. ජනයා ගැවසෙන ඕනෑම තැනක නාට්‍ය රඟදක්වන්නට සූදානම්ව සිටි මේච්චල් කර ගැනීමටද දුෂ්කර කණ්ඩායමේ දඩබ්බරයින් අතර තැන්පත් ලෙස ශාන්තව සිටින්නට හැකි හික්මීමක් තිබුණ ශිල්පියෙක් වී නම් ඒ ගාමිණීය. ඒවගේම අවස්ථාවක් ලැබෙන සැණින් කැපී පෙනෙන ලෙස නිදහසේ ගී ගයන්නටත්, ජෝගි නටන්නටත් ඉදිරිපත් වන අයෙක් වී නම් ඒ ද ගාමිණීය. සාමූහික නිර්මාණකරණයේ සහ ප්‍රසංගිකත්වයක් නිදහස අත්විඳින ලද විදි නාට්‍ය කණ්ඩායමට ඔහු සම්පතක් විය. එම පළමුවැනි වීදි නාට්‍ය කණ්ඩායමට අයත් වූ ශිල්පින් අතරින් ජීවිත පැවැත්ම තුළ අඛණ්ඩව නාට්‍ය කලාවේ නියැළී සිට සිව් දෙනා අතරින් ගාමිණීද එක් අයෙකි.

රංගන ශාලිකාවේ 1974 කණ්ඩායමේ සිසුන් අතර ගාමිණීට සුවිශේෂි තැනක් තිබුණි. ඒ ශාලිකාවට එන්නට පෙර කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලද කුශලතා පූර්ණ සිසුවෙක් ලෙස එහි නැවුම් ගුරුවරියව සිටි සෝමලතා සුබසිංහ විසින් සිසුන් සමඟ නිර්මාණය කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචනා කරන ලද ‘රත්තරං’ නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ මැහැල්ල ලෙස රඟපා තිබුණු නිසාය. මේ නිසා ශාලිකාවේ අධ්‍යක්ෂවරයා වූ ධම්ම ජාගොඩ මහතාගේද සැලකිල්ල ඔහු වෙත යොමු වී තිබුණි. එම නාට්‍යය ගැන පුවත්පත්වල ඒ වන විට පළ වී තිබුණු ලිපි අතර ගාමිණී එම චරිතය නිරූපණය කරන ඡායාරූප තිබුණු බව අප බොහෝ දෙනෙකුට මතක තිබුණි. එපමණක් නොව, ධම්ම ජාගොඩ මහතා අධ්‍යක්ෂණය කළ ‘වෙස්මුහුණු’ නාට්‍යයේද ඔහු කුඩා චරිතයක් ඒ වන විට නිරූපණය කරමින් සිටීම නිසා ඒ වන විට සිසුන් අතර ඔහු නාට්‍ය කලාවේ වැඩිම අත්දැකීම් ඇත්තා විය.

අප වීදිනාට්‍ය අත්දැකීම් ලබමින් ගත කළ වසර දෙකකට පසුව එනම් 1976 දී මම ‘සෙක්කුව‘ නාට්‍යය නිර්මාණය කිරීම ආරම්භ කළෙමි. ‘සෙක්කුව‘ නාට්‍යයේ රඟපෑමට කැඳවාගනු ලැබුවේද වීදි නාට්‍ය කණ්ඩායමේ ශිල්පීන්මය. ගාමිණී පළමුවෙන්ම ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ‘සෙක්කුව‘ නාට්‍යයේය. ඔහු විසින්ම කැඳවාගෙන ආ කොළඹ නාලන්දා විද්‍යාලයේ එවකට සිටි නැටුම් ගුරුතුමා වූ එස්. වෙලබඩගේ මහතා ලවා ‘සෙක්කුවේ’ නළුවන්ට නැටුම් පුහුණු කරවාගත් අතර ගාමිණී තමන් විසින්ම නිර්මාණය කර ගත් නැටුම් කිහිපයක්ම ඔහු විසින් නිරූපණය කළ රාලගේ චරිත රංගනයට එකතු කර ගත් හැටි මට මතකය. ඒ නැටුම් මනා සේ නාට්‍යයට ගැළපුණ අතර එයම ඔහුගේ නිර්මාණාත්මක රංගන හැකියාව පළ කරන්නක් විය. ඊට හිලව් වශයෙන් 1976 ජාතික නාට්‍ය උළෙලේදි ඔහුගේ රංගනය අගයමින් විශිෂ්ට රංගන කුසලතා සම්මානයක් ලබන්නට තරම් ඔහු වාසනාවන්ත විය. අතෝරක් නැතිව කුසලතා සහතික බෙදාහරින මේ කාලයේ මෙන් නොව ඒ කාලයේ විශිෂ්ට රංගන කුසලතාවක් ලැබීම රංගන ශිල්පියෙකු ලබන දුර්ලභ ප්‍රතිලාභයකි. වසර ගණනක් අඛණ්ඩව රඟදැක්වූ ‘සෙක්කුව් නාට්‍ය ආරම්භයේ සිට අවසානය දක්වාම ශාරීරිකව දුෂ්කර ලෙස වෙහෙස විඳිමින් අඛණ්ඩව මූර්තිමත් කළ ගාමිණීගේ සිරුරින් වෑහුණ දහදියෙන් ඒ සෑම රංගාවකාශයක්ම තෙත්විය.

මේ කාලයේ ‘සෙක්කුවට’ සමගාමීව තවත් නාට්‍යයක් වේදිකාගත වෙමින් සංචාරයේ නිරතව තිබුණි. ඒ සෝමරත්න දිසානායකගේ ‘වෙඩික්කාරයෝ’ නාට්‍යයයි. ‘සෙක්කුවේ’ රඟපෑ සියල්ලන්ම පාහේ ‘වෙඩික්කාරයෝ’ නාට්‍යයේද රගපෑම එකල සුවිශේෂ අත්දැකීමක් විය. මේ අතර වීදි නාට්‍ය කණඩායමේ දර්ශනද රටේ තැන තැන අඛන්ඩව යෙදුණි. එකිනෙකට ඉතා ළඟින් සංවිධානය වූ මේ සියලු නාට්‍ය දර්ශනවලට දින ලබා දීමේදී අසීරුකම්වලට මුහුණ දුන්නේ රැකියා කරන ශිල්පීන්ය. ඉන්පසු ඩග්ලස් සිරිවර්ධනගේ ‘සුබ සැන්දෑවක්’ සහ සෝමරත්න දිසානායකගේ ‘මීපුර වැසියෝ’, මා විසින් නිර්මාණය කළ ‘උත්තමාවි’ සුගතපාල ද සිල්වාගේ ‘ඇසල සඳ අවන්හල’ ඇතුළු තවත් නිර්මාණ ඔහු රඟපෑ නාට්‍ය පෙළට එකතු විය. ගාමිණී නාට්‍ය රඟපෑමෙන්, රැකියාවේ නිරතවීමෙන් වගකීම කදිමට තුලනය කර ගත්තේය.

එසේ කර ගනිමින් රැකියාවෙන් ලැබිය යුතු උසස්වීම් සහ හිමි වරප්‍රසාද නොඅඩුව අත්පත් කරගත් අතර කිසි පලුද්දක් ඇති කර නොගෙන සේවා ආයතනයේ සියල්ලන්ගේම ප්‍රසාදය දිනා ගනිමින් විශ්‍රාම ගියේය.

ඔහු රඟපෑ ප්‍රථම ටෙලි නාට්‍යය ‘යශෝරාවයයි’. වීරසේකර පවුලේ දඩබ්බර සුනිමල්ගේ චරිතයට මා අපේකෂා කළ පරිද්දෙන්ම අනන්‍යතාවයක් ලබා දෙමින් ඔහු කදිමට එය නිරූපණය කළේය. ඒ අපේ රටේ ටෙලි නාට්‍ය කලාවේ ආරම්භක යුගයයි. ඔහු පසු කලෙක ටෙලි නාට්‍යවල රඟපෑ නමුත් ඒ කිසිවකින් තෘප්තිමත් වූවේ නැති බව පෙනුණේ හමු වූ විටෙක ඔහු පැවසු දෙයක් නිසාය. “ආදායමක් ලැබුණාට හිතලාමතලා නිර්මාණාත්මක විදිහට ඒවා රඟපාන්න කාලයක් ලැබෙන්නෙ නෑ”. යනුවෙනි. වසර පහළොවක සිට මා ටෙලි නාට්‍ය නැරඹීමෙන් වැළකී සිටින බැවින් ඔහුගේ ටෙලි නාට්‍ය ජීවිතය ගැන ඊට වඩා වැඩි යමක් නොදනිමි. සිනමා රඟපෑම පිළිබඳ ඔහුගේ පළමුවැනි අත්දැකීම මා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පළමුවැනියා සහ අන්තිමයා’ කෙටි චිත්‍රපටයයි. ඒ 1980 වර්ෂයේය. ඔහු එහි බරපතළ ලෙස කරන ලද අංගරචනයකින් හෙබි නත්තල් සීයාගේ චරිතය නිරූපණය කළේය. මේ කෙටි චිත්‍රපටයට විදි නාට්‍ය කණ්ඩායමේ සියලුම ශිල්පීහු පාහේ රංගනයෙන් දායක වූහ. කුසලතාපූර්ණ රංගන ශිල්පියෙක් ප්‍රතිභා සම්පන්න චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට හසු වූ විට සිදු විය හැකි ප්‍රාතිහාර්ය මා දුටුවේ අශෝක හඳගමගේ ‘විදු’ චිත්‍රපටයේ විදුහල්පතිවරයකුගේ චරිතයක් ගාමිණී විසින් නිරූපණය වනු දුටු විටය. සත්‍ය වශයෙන්ම එම චිත්‍රපටයේ මා දුටුවේ ගාමිණීව නොව ගාමිණිගේ නිරූපණය නිසා මා විසින් දකින ලද විදුහල්පතිවරයාය.

ගාමිණී අපූරු සැමියෙකු විය. බිරිඳ සුභාෂිණී සහ දරු දෙදෙනා ඔහුගේ අඛණ්ඩ ආදරයෙන් ඔහු හා හැමවිටම බැඳී සිටියහ. ඔහු කනබොන අයෙකු වූ නමුත් කොයි මොහොතකවත් ඔහු වෙතින් හික්මීම නික්මගියේ නැත. ඔහු නොලැබුණදේ ගැන අවලාද නගන්නෙකු නොවීය. මහා ධනස්කන්ධයක් අසීමිතව රැස් කර ගැනීමේ හෝ වඩා සුව පහසු ජීවිතයක් අත්පත් කර ගැනීමේ තෘෂ්ණාවෙන් ඔහු තරග වැදුණේ නැත. ලැබුණ දෙයින් තෘප්තිමත් විය.එවන් වු ගාමිණි ඔබට සුබ ගමන් !

පරාක්‍රම නිරිඇල්ල

Comments

Praneetha Perera (තහවුරු වී නොමැත)
ඔහු කනබොන අයකු නොවුනා නම් තව හුගාක් කල් ජීවත්වේවි
බ්‍රහස්‌, 05/30/2019 - 22:51

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.