ඇත්තටම රෝයි අවුරුද්දක් ගෙවුණද?

සුමනා අමරසිංහ ආවර්ජනා
ජුනි 27, 2019

රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ සුසංයෝගය සිංහල සිනමාව බෙහෙවින් රසවත් කළ බව රසික සිත්සතන්වලින් කෙසේ අමතක කරන්නද? ජූනි 30 වැනිදා වන විට රෝයි අප අතරින් සමුගෙන වසරක් ගත වූ බව කිසිවෙකුට නොදැනෙන්නේ ඒ තරමටම ඔහු අප සිත්වලටද සමීප බැවිනි. එහෙත් රෝයිගේ වියෝවෙන් සිය කැදැල්ලේ තනි වූ කිරිල්ලිය සුමනා මේ කාලය පුරා මුහුණ දුන් සුළි කුණාටු අනන්තය අප්‍රමාණය. ඔවුන්ගේ ආදරණීය මතක මෙන්ම ඇය අද දැවෙන ළසෝ තැවුල් අතොරක් නැතිව දෝරෙ ගලා ගියේ අප ඇය හමුවන්නට මාදිවෙල ගුණදාස කපුගේ පදනම අසල ඇයගේ නව කුලී නිවෙසට ගොඩ වූ විටය.

ඇගේ දෙනෙත්වල කඳුළු සිඳුණු මොහොතක් නැති තරම්ය. එහෙත් රෝයි ද සිල්වා යනු නිතර සිනහව අප වෙත ගෙනා සිනමාකරුවකු වූ නිසා අප ඔවුන්ගේ සොඳුරු අතීතය සිහි ගන්වමින් සුමනා අක්කාගේ නෙතට මොහොතක් කඳුළ අමතක කරවන්නට උත්සාහ කළෙමු. එවිට ඇය කියන්නේ

'අනේ ඉතින් මොන දේ කතා කළත් මට මතක් වෙන්නේ රෝයිවමනේ. මම කිසිම දේකට අත ගහන්නේ නැහැ, රඟපාන්නෙ නැහැ, පත්තරවලට කතා කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටියා අවුරුද්ද පහුවෙනකල්. ඒත් ඕගොල්ලෝ ආවනේ මාව හොයාගෙන.' කියාය. ඇය සරසවිය වෙනුවෙන් ඔහුගේ සුන්දර මතක සිහිපත් කළාය. හැඬුවාය, වැලපුණාය. විටෙක සිනාවකුත් මුවෙහි රැඳුණේය. යළිත් සුසුම් ලැවාය. ඒ අවස්ථා ඉස්මතු නොකොට මම ඇගේ වචනවලට පමණක් ඉඩ දෙමි. ඒ අතර ඇය කෙසේ සිය හැඟීම් පිට කරන්නට ඇත්දැයි ඔබට සිතා ගැනීම අසීරු නොවනු ඇත.

'රසිකයන්ට තාමත් දැනෙන්නේ නැහැ රෝයි නැති වුණා කියලා. සමහර යාළුවන්ට කතා කරලා අවුරුද්දේ දානේ ගැන කියද්දි අහනවා 'හානේ සූ අවුරුද්දක් ගියාද අපට නම් අද ඊයෙ වගේ' කියලා. ඒ තරමටම රෝයි ඒ අයට සමීපයි.

හලාවත පැත්තේ එක ලේඩි කෙනෙක් ඊයේ පෙරේදා ටීවී එකේ රැදනියෙල් දැකලා මගේ නොම්බරේට කතා කළා. අනේ සුමනක්කේ... මම හලාවත අහවලා. රෝයි මහත්තයාට කියන්නකෝ තවත් මේ වගේ හොඳ කොමික් කතාවක් කරන්න කියලා. මම ඇහුවා ඔයා ඔහොම කියන්නේ ඇයි දන්නේ නැද්ද රෝයි නැතිවුණා දැන් අවුරුද්දකටත් කිට්ටුවෙන්න එනවා කියලා. මට ඇහුණේ බුදු අම්මෝ කියන සද්දේ විතරයි. ඊට පස්සෙ මම හිතන්නේ ෆෝන් එක බිම වැටුණාද මොනවා වුණාද මන්දා. සමහර අය විශ්වාස කරන්නේ නැහැ රෝයි නැහැ කියන එක. රෝයිගෙ හොඳ යාළුවෝ ඉන්නවා ඉතාලියේ, රෝයි ඉන්න කාලේ කෝල් කරලා විහිළු කතා කියන්න කියලා අහගෙන ඉන්නවා. සමහරු පොත්වල ලියලා ඉල්ලනවා. එක්සර්සයිස් පොතක ලියලා දුන්න ඒවා තාම ඒ අය ළඟ තියෙනවා කියලාත් මට කීවා.

සර් ජෝන් කොතලාවලයි, රෝයිගේ පප්පයි හරි යාළුවෝලු. ඉස්සර රෝයිලැ ගෙදර එයාගේ අක්කලා නංගිලා එකතුවෙලා හරියට තියටර් එකක් වගේ නාට්‍ය පෙන්නනවාලු. රෝයි ඒ දවස්වල එඩී ජයමාන්න වගේ කිහිල්ලේ කුඩයක් ගහගෙන නටනවා දැකලා සර් ජෝන් පප්පාට කීවාලු පුතාව තියටර්වලට බන්දපන්කෝ වින්සන්ට් කියලා. රෝයි පොඩි කාලේ ඉඳන්ම පවුලේ විහිළුකාරයා. රෝයිගේ මම්මා හරිම ආදරෙයි රෝයි ට. මම්මාගේ ධාතු කරඬුවට ධාතූන්වහන්සේලා වැඩලා හිටියාලු ඒ කාලේ. ඒකයි මම ඉස්සල්ලාම දානයක් දෙන්න හිතුවේ රෝයිගෙ අවුරුද්දේ පින්කමට. රෝයි කිසිම ආගමකට වෙස්ව සැලකුවේ නැති කෙනෙක්. එයා මාත් එක්ක පන්සල් යනවා. මමත් එයත් එක්ක පල්ලිත් යනවා. එයාගේ පප්පා වින්සන්ට් ද සිල්වා කතෝලික, මම්මා නන්දාවතී ෆොන්සේකා බෞද්ධ. අපේ ගෙදරත් ජේසුගේ පින්තූරය ළඟම බුදු පිළිමයකුත් තියලා තියෙනවා. රෝයි තමයි ඒ පහන පත්තු කරන්නේ. ඒ නිසයි තිස්වෙනිදා පන්සලට දානේ දීලා පස්සේ පල්ලියේ පූජාව තියන්නෙ. අසරණ පවුල්වලට වියළි සළාක මලු දෙනවා. යාචකයන්ට බත් පැකට් දෙනවා. මම හිතාගෙන හිටියා රෝයි වෙනුවෙන් මල් ආසනයක් පූජා කරන්න. ඒත් ස්වාමීන්වහන්සේ කීවා දොළොස්මහේ පහන ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ආධාර කරන්න පුළුවන් අය ඉන්නවා නම් ඒ අයවත් එකතු කරගෙන මම ඒ වැඩේ කරනවා. ඒ සියල්ල කළාට පස්සේ තමයි මම අනෙක් හැම දෙයක් ගැනම හිතන්නේ.

රෝයි වෙනුවෙන් කිසිම කෙනෙක් අනුස්මරණ උත්සවයක්වත් පවත්වන්න තරම් කෘතඥ වෙලා නැහැ. නළු නිළියන් කීදෙනෙක් රෝයි නිසා මේ ක්ෂේත්‍රයට ආවද? ඒ කිසි කෙනෙක් අඩු ගානේ කෝල් එකක්වත් දෙන්නේ නැහැ. අද කාලේ හැටි වෙන්න ඇති. චිත්‍රපට 48ක් විතර කරලා තියෙනවා. එයාගේ පළමුවෙනි චිත්‍රපටය ටොම්පචයා. අන්තිම චිත්‍රපටය ටොම් පචයෝ. 50 වෙනවා අලුත් දෙකත් රිලීස් වුණානම්. එයාට අන්තිම චිත්‍රපට දෙකවත් බලාගන්න බැරි වුණානේ මේ සංස්ථාවේ පෝලිම් ප්‍රශනේ නිසා.

සිනමාව වැටිලා කවුරුත් ශාලාවලට එන්නේ නැතිව ඉද්දි තමයි රෝයි කළේ චෙරියෝ සීරීස් එක. චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ කැප්ටන්, චෙරියෝ ඩාලින් කරලා ආපහු සිනමාහල්වලට සෙනඟ ගෙන්වා ගත්තා. ඒ එක්කම සිනමා ශාලාවල අය කිව්වා එයාලාගේ ශාලාවලට ප්‍රොජෙක්ටර් ගත්තා කියලා. හුණු ගැවා කියලා. ඉතින් රෝයිට හරිම සන්තෝෂයි. සිංහල සිනමාවේ ඉංග්‍රීසි භාෂාවෙන් චිත්‍රපට කරලා තිබුණට අපේම නළු නිළියන්, අපේම තාක්ෂණික කණ්ඩායම් යොදාගෙන කරපු ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්, ඉට්ස් අ මැටර් ඔෆ් ලව් වගේ චිත්‍රපටවලින් නවකයන් බොහෝ දෙනෙක් කලඑළි දැකලා අද ප්‍රවීණයන් බවට පත්වෙලා ඉන්නවා. ඒ වගේම සිනමාවේ හැංගිලා වගේ හිටපු අය ඉදිරියට ගන්න රෑ දනියෙල් දවල් මිගෙල් වගේ චිත්‍රපට හේතු වුණා. ඒක රෝයි ගේ තිබුණු දක්ෂකමක්.

අපි සුනේත්‍රා කරද්දි එක ශාලා හිමිකරුවෙක් ඇවිත් රුපියල් 25000ක් දුන්නා චිත්‍රපටය එයාගේ ශාලාවටත් දෙන්න කියලා. ඊළඟ චිත්‍රපටයටත් ඇඩ්වාන්ස් එකක් දුන්නා. අපි නුවර එළියේ ෂූටින් ඉවරවෙලා ගෙදර යද්දි ඊළඟ වාහනය දියතලාවෙ යන්න ගේ ඉස්සරහ නවත්තගෙන බලාගෙන ඉන්නවා. එහෙම කාලෙකුත් අපට තිබුණා. දැන් චිත්‍රපට ක්ෂේත්‍රය ගැන හිතාගන්නවත් බැරි ඒකයි.

රෝයිට චිත්‍රපට කරන්න පුදුම දැනුමක් තියෙන්නේ. ලොකේෂන් මොනවද කියලා ලියනවානේ පිටපතේ. ඒත් සමහර දාට එහෙම යද්දි වැස්ස. ඉතින් කවදාවත් ෂූටින් කැන්සල් කරලා අපහසුවට පත් කරන්නේ නැහැ. එයා ඒ දර්ශනය ගෙයක් ඇතුළට හරි ඒ වගේ ගැළපෙන විදිහකට හදා ගන්නවා. හරිම නිර්මාණශීලියි.

ක්ෂණික තීරණ ගන්නවා. එයා නළු නිළියන්ට උපදෙස් දෙන්නේ එහෙම හරි සරලව. අලුත් එක්කෙනෙක් එහෙම ආවොත් එයා එක්ක හොඳට යාළු වෙනවා. එතකොට බය වෙන්නේත් නැනේ ඒ අය. අනෙක සීරියස් වෙලා මම තමයි ඩිරෙක්ටර් කියලා එහෙම නැහැ. සහාය අධ්‍යක්ෂ කෙනෙක් ලවා තමයි ඇක්ෂන් කියවන්නෙත්.

එයාගේ චිත්‍රපටවල නළු නිළියන්, දර්ශන තල තේරීම්, ඇඳුම් නිර්මාණය කරන්නේ, සහායට ඉන්නේ මම. ඒත් මම කවදාවත් ඒ චිත්‍රපටවල චරිත ඉල්ලලා රණ්ඩු කළේ නැහැ. ඒ නිසා තමයි රෝයිට අද මේ තරම් ප්‍රසිද්ධ වෙන්න නිදහසේ තමන්ගේ නිර්මාණ කරගන්න අවස්ථාව ලැබුණේ. එයා කිසි කෙනකුට වහල් වෙන කෙනෙක් නෙවෙයි. ඒ වගේම මමත් එයාට බලපැම් කළේ නැහැ. එයා සමහර චරිත මට කරන්න කියලා කිව්වත් මට ගැළපෙන්නේ නැහැ වගේ නම් මම ඉදිරිපත් වෙන්නෙ නැහැ. වෙන කෙනෙක් හොයලා දෙනවා. ඒත් කඩවුණු පොරොන්දුව, තණගිරවි, සුදුපිරුවට, ගෙදර බුදුන් අම්මා වගේ සමහර චිත්‍රපටවල මම ඒ චරිත කරන්නම ඕනා කියලා එයා කීවා.

ඉතින් කඩවුණු පොරොන්දුව රුක්මණී දේවිගේ චරිතය වෙනුවෙන් සරසවිය කුසලතා සම්මාන , ඕසීඅයිසී ජීවිත කාලයට එක්වරක් පිදෙන සම්මානය එහෙමත් මට ලැබුණා.

චිත්‍රපට සංස්ථාවක් පිහිටුවිය යුතුය කියන තීරණයට සහාය දුන් සිනමාකරුවන් අතරින් ජීවතුන් අතර සිටියේ රොයියි මායි විතරයි. ඒ වෙනුවෙන් අපි දෙන්නට සම්මානත් දුන්නා. ඒත් දැන් ඉන්නේ මම විතරයි. ඒ නිසා අඩුගානේ මට කොළඹ ඉස්පිරිතාලෙට කිට්ටුවෙන් ගෙයක් ලබාදුන්නොත් හොඳයි. මෙහෙම කීවත් ඉතින් මට කට්ටිය බනීවි. ඒත් නොකියත් බැහැ.

එයා දරාගෙන හිටපු දේවල් නිසා වෙන්න ඇති එහෙම වුණේ. එයාගේ සල්ලි වගයක් හිරවෙලා තියෙනවා මූල්‍ය ආයතනයක. එයාගේ චිත්‍රපට දෙකක් තියෙනවා, සිහින ලොවක් සොයා, ටොම් පචයෝ කියලා, ඒවා රිලීස් වුණේ නැහැ තාමත්. ඒ අතර අපි හිටපු ගේ ඉල්ලුවා. අපි ඉතින් ගෙවල් හොයනවා හොයනවා. ප්‍රශ්න ගොඩක අපි හිටියේ. මම නම් එහෙ දුවනවා මෙහෙ දුවනවා යාළුවෝ එක්ක කතා කරනවා. ඒත් මෙයා එහෙම නෙවෙයි එක තැන ඉඳන් කල්පනා කරනවා.

අපිත් නිෂ්පාදකයන් ගසාගෙන කැවානම් මෙහෙම දුක් විඳීන්න ඕනෙ නැහැ. සිනමාව වෙනුවෙන් අවංකව වැඩරලා තමයි අපි අද මේ විදිහට දුක් විඳීන්නේ. මම ඉන්නේ ප්‍රශ්න ගොඩක මැදිවෙලා. මට ඉන්න ගෙයක් නැහැ. කුලියට ඉන්නේ. මට දුන්නා අඟුලානේ ධීවර තට්ටු නිවාසවලින් කාමරයක්. මට එහෙම ඉන්න පුළුවන්කමක් නැහැ. මේ ගේ හොයාගත්තෙත් පුළුවන් කමකට නෙවෙයි. මැරුණට පස්සේ අරක මේක කරනවා කියනවා. ඒත් ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ දුක සැප ගැන අහන්නවත් කෙනෙක් නැහැ. මම මේවා කියන්න ආසා නැහැ. මම මට පුළුවන් විදිහට ජීවත්වෙනවා කියලා හිතාගෙන ඉන්නවා.

රෝයිට හරි හොඳ ගතිගුණ තියෙන්නේ. මම කවදාවත් දැකලා නැහැ පිරිමි කෙනෙක් ඒ වගේ හොඳ ගතිගුණ තියෙන. මම අවුරුදු පනහකට කිට්ටුවෙන්න එයත් එක්ක හිටියනේ. නිවුණු, කිසි කෙනෙක් එක්ක රණ්ඩුවට යන්නේ නැති කොනක් එයා. කවුරුහරි එයාට මොනවා හරි කීවත් ඒ ගැන වාද කරන්න යන්නේ නැතිව ඒ අය ගියාට පස්සේ කියනවා කවුරු මොනවා කීවත් මම කළේ මොකක්ද කියලා මම දන්නවානේ සූ කියලා. හැබැයි මගේ චරිතය ඊට හාත්පසින්ම වෙනස්. එයාට කවුරුහරි මොනවා හරි කියනවාට මම කැමති නැහැ. මට තරහ යනවා.

එදා කවුරුහරි ඇවිත් ජෝතිපාලගේ අනුස්මරණය තියෙනවා. ඒ වෙනුවෙන් වොයිස්කට් එකක් දෙන්න පුළුවන්ද කියලත් ඇහුවා. රෝයි ඒකටත් කැමති වුණා. ඒ වොයිස්කට් එක අරන් ගියා. පස්සේ රැ උඩතට්ටුවට ගිහින් ඇඳේ එයා නිදා ගන්න පැත්තේ නෙවෙයි මගේ පැත්තේ උඩුබෙලි අතට ඉන්නවා ඇහැරගෙන. මම රෝයි රෝයි රෝයි ඔයා ඉන්නේ මගේ පැත්තෙනේ කියලා එහාට යන්න කියන්න හොලවද්දිත් මගේ දිහා බලාගෙනම ඉන්නවා ඇස්පිල්ලන් නොගහ. එතකොට තමයි මට අමුත්තක් දැනිලා කැගැස්සුනේ.

මිනිස්සු කියයි අපි සල්ලි හම්බකරගෙන මොනවා කළාද කියලා.ඒත් අපි ඒවායින් ආපහු චිත්‍රපට හැදුවා මිසක් ඉතිරි කරන්න ලැබුණේ නැහැ. සමහරු කියනවා අපි පොත්වල ලක්ෂ දෙසීය තුන්සීය සල්ලි දාගෙන ඉන්නවා කියලා. තව අය හිතනවා අපට ගෙවල් දොරවල් තියාගෙන තව ඉල්ලනවා කියලා. ඊටත් හපන් තවත් අය කියනවා අපට දරුවෝ දෙන්නෙක් ඉන්නවා එයාලා සලකනවා කියලා. ඒ ඔක්කොම බොරු. මම ගෙවල් කුලියත් ගෙවලා දැන් ජීවත්වෙන්නේ එහෙට මෙහෙටවත් යන්න තිබුණු කාර් එක විකුණපු සල්ලි ටිකෙන්. මෙම සියලුම ජනාධිපතිවරුන්ගෙන් කලාපුරයෙන් ගෙයක් ඉල්ලලා තියෙනවා. ඒවයේ කලාවට කිසිම සම්බන්ධයක් නැති අයට පවා ගෙවල් තියෙනවා. ඒත් මට තාම ලැබුණේ නැහැ. මේ ගෙදර ඉන්නත් ලොකු වියදමක් යනවා. මට කිසිම ආදායමක් නැතුව කොහොම මේවා කරන්නද? හුඟක් අය මේ මූල්‍ය සමාගම නිසා අන්සිහින වෙලා. රෝයි කී දෙනකුට අත දුන්නු කෙනෙක්ද? ඒත් අද තව වෙනකල් රෝයි නැති වෙලා නේද? මම ගෙවල් මාරු කළා නේද කියලා අහන්නවත් කිසි කෙනෙක් ආවේවත් කෝල් කළේ වත්නැහැ. මම ඒ අයට දොස් කියන්නේ නැහැ. වැඩක් නැහැ.

ඉස්සර මම කොහෙද යන්නේ එයා මාත් එක්ක. බැංකුවට ගියත්, ෂොපින් ගියත් අපි දෙන්නා එකට.

ඒත් අවුරුද්ද පුරාම දෙන්නා ෂූටින්. එකම චිත්‍රපටයේ හිටියත් සමහර වෙලාවට කතාකරන්න හම්බවෙන්නේ නැහැ. ඒ නිසා අපට පුරුද්දක් තිබුණා අවුරුද්දෙ අන්තිමට පිටරට සවාරියක් යන. ඉතින් ෆ්ලයිට් එකේ යද්දි තමයි ඔන්න කතා කර කර යන්නේ. හතර පෙරළිය චිත්‍රපටයෙන් අපි හම්බුණේ. ඊට කලින් සැනසිලි සුවය බලන්න අම්මයි මමයි ගියේ. හතර පෙරළියට රිහසල්වලට ඇවිත් ඉද්දි මම කීවා අර චිත්‍රපටයේ හිටපු කෙනා නේද ඉන්නේ කියලා. හැබැයි මම අනෙක් හිටපු ගැනු ළමයි වගේ එයා එක්ක කතා කරන්න දුවගෙන ගියේ නැහැ. අහංකාරකමකට නෙවෙයි මම ඉතින් ගියේ නැහැ කොහොම හරි. ඒකම තමයි එයා මට කැමති වෙලා තියෙන්නෙ බලපුවාම.

අපි දෙන්නට ලියුම් ලියන්න වුණේ නැහැ මොකද නිතර හම්බෙනවානේ ෂූටින්වලදි. අපේ ආච්චි නැති වුණ කාලේ ඇඳීරිනීතියත් තිබුණා නිතර. ඉතින් තාත්තා අහනවා දැන් යන්නත් විදිහක් නැනේද ඔය ළමයාට කියලා. රොයිටත් ඉතින් ඉබ්බා දියේ දැම්මා වගේ.

මම රෝයි එක්ක ඉද්දි මරණය ගැන හිතුණෙම නැහැ. මම හිතුවේ අපි දෙන්නා ගොඩාක් කල් ඉඳීයි. එකටම ඉඳලා එකටම නැති වෙයි කියලා. හනේ මන්දන්නේ නැහැ.

රෝයිගේ තරුණ පෙනුම රැකුණේ හිතහොඳ කම නිසයි. රෝයි නැති වුණේ 80ට කිට්ටු වෙලානේ. ඒත් ඉතින් හිටපු විදිහටම ඉන්නවානේ. මේ තියෙන්නේ දයාන් (විතාරණ) ගත්ත පින්තූරයක්. මේ පින්තූරෙ කොයි අතකින් ඉඳන් බැලුවත් රෝයි අපි දිහා බලන් ඉන්නවා වගේ පේන්නේ. මට එයා හීනෙන් පෙනුණෙම නැහැ. අර ගෙදර ඉද්දිවත්, මේ ගෙදරට ආවාමවත් මට පෙනුණෙත් නැහැ. ඒත් මට දැනෙනවා කවුරුහරි මා ගාව ඉඳන් මාව ආරක්ෂා කරනවා වගේ දෙයක්. කිසි බයක් දැනෙන්නේ නැහැ. ඕනෙම ප්‍රශ්නෙකට මූණ දෙන්න මට පුළුවන් වගේ. නැත්නම් මම කොහොමද මේවා කරගෙන යන්නේ. ඒ වගේම මම උත්සව වගේ දේවල්වලටත් නිතර සහභාගි වෙන්න උත්සාහ කරනවා. ඉස්සරනම් මම එහෙමම යන්න හිතුවේ නැහැනේ. තව එකක් මම අද තව වෙනකල් කිසිම ටෙලි නාට්‍යයක රඟපාලා නැහැ. රෝයි ටෙලි නාට්‍ය 4ක් විතර කළා. මම ඒවාට සහාය වුණා නළු නිළියන්, ලොකේෂන් හොයලා දීලා, ඇඳුම් නිර්මාණය කරලා එහෙම. ඒත් මම ජනප්‍රිය වුණේ චිත්‍රපටවලින්ම පමණයි. ඒක මට හරි සන්තෝෂයි. මොකද රසිකයන් දැක්ක තැනක අහන්නෙම අනේ අර ෆිල්ම් එක වගේ තව එකක් කළේ නැත්තේ මොකද එහෙම කියලා.

රෝයි මිනිස්සුත් එක්ක හරිම විනෝදෙන් ඉන්නේ. ලොකු පොඩි කියලා නැහැ. අනේ මන්දන්නේ නැහැ.

රෝයි කොච්චර වාසනාවන්තද එහෙම එකපාර මැරෙන්නේ පිං ගොඩාක් කරපු අය කියලයි ඒ යාළුවො නම් කියන්නේ. ආ එයාගේ අන්තිම කැමති පත්‍රයේ ලියලා තියෙනවා. සුමනා ඔයා තව ජීවත් වෙන්න ඕන මං වෙනුවෙන් තව පිං කරන්න කියලාත්. මම මෙච්චරකල් රඟපැවේ රෝයිගේ චිත්‍රපටවල. ඒත් මේ කටයුතුවලින් පස්සේ මට කවුරුහරි පහසුකම් දීලා චිත්‍රපටයකට කතා කළොත් මම යනවා. අපි දෙන්නා වෙනුවෙන් කීත් රංගයි, ඇන්ඩි සමරසිංහයි හොලිවුඩ්වල අපි උලෙළක් තියලා සම්මානත් දුන්නා. ඒත් අපේ රටේ එහෙම එකක් අදටවත් නැහැ.

ඔයාට මම කාටවත් නොකියපු දෙයක් කරන්නම් දන්. හමෝම අහුවානේ මම සහාය අධ්‍යක්ෂණය එහෙම කරනවා අයි අධ්‍යක්ෂණය කරන්නේ නැත්තේ කියලා. මම කිව්වනේ අධ්‍යක්ෂ කෙනෙක් ගෙදර ඉද්දි මම එයාට ඉහළින් දේවල් කරන්න යන්නේ ඇයි කියලයි මම හිටියේ. ඒත් දැන් එයා වෙනුවෙන් මම තීරණයක් ගත්තා. එයාගේ පිටපතක් මම අධ්‍යක්ෂණය කරනවා. ඒක මගේ පළමුවෙනි අධ්‍යක්ෂණය වෙයි. ඒකට මුල පුරන්නේ මේ පින්කම්වලින් පස්සේ.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.