කට්ෂුෂිකාකු ෂිබමතාවලදී තොරා සං හමු වුණෙමි

ජූලි 11, 2019

ඔහු තොරා සං රූප ගත කළ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය වන්නේ ඒ පසුබිමිනි. තොරා සං හා බැඳුණු සහෘදයන් හැර අන් කිසිවකු එතැයි සිතිය නොහැකි මෙහි ද දැකිය හැකි විශේෂම කාරණය නම් සමස්ත ජපන් භූමියටම ආවේණික නිහඬ බව මේ තුළ ද රජ කිරීමය. තම තමන්ට පෞද්ගලික වූ ආත්මීය ස්මරණයන්ගෙන් යුතුව තොරා සං හමුවනු පිණිස වඩාත් හොඳින් අතීතයට යෑමට එය ද මහඟු පිටිවහලක්ව ඇත්තේය.

එදා මෙදාතුර මවිසින් නැරඹූ සියලු චිත්‍රපට අතුරින් වඩාත්ම ආත්මීය බැඳීමට ලක් වූ නිර්මාණ දෙකක් වෙයි.එකක් ධර්මසේන පතිරාජගේ ‘පාර දිගේ’. අනෙක ජපන් ටෙලි චිත්‍රපට මාලාවක් වූ ‘තොරා සං’ ය. එනමින් යුත් අපූර්ව චරිතය මුල් කරගත් තොරා සං චිත්‍රපට මාලාව පිළිබඳ වූ බැඳීම කොතෙක් ද යත්, ජපානය වෙත පැමිණීමට අවස්ථාව ලැබීමත් සමඟ මගේ ප්‍රථම සහ එකම ඉල්ලීම වූවේ කට්ෂුෂිකාකු ෂිබමතාවලට කැටුව ගොස් තොරා සං කෞතුකාගාරය ඇතුළු පරිසරය නැරඹීමට අවස්ථාවක් ලබා දෙන ලෙසය.තවත් ලෙසකින් කියනවා නම් තොරා සං මුණ ගස්සවන ලෙසය. තොරා සං යනු යෝජී යමාඩා අධ්‍යක්ෂණය කළ කොටස් 49 කින් යුත් චිත්‍රපට මාලාවකි. ලොව දීර්ඝත චිත්‍රපට මාලාව ලෙස සැලකෙන තොරා සං චිත්‍රපට මාලාව පසුගිය කාලයේ ස්වාධීන රූපවාහිනිය මඟින් විකාශය විය. මගේ ගමන සංවිධානය කළ එහි ශ්‍රී ලංකා සංගමයේ සභාපතිවරයා වන සමන් ප්‍රියංකර සහ වෛද්‍ය අචල ජයතිලක යන හිතවතුන් දෙදෙනා ඒ සඳහා ඉත සිතින් කැමැත්තක් පළ කළ අතර, එම ගමන අරභයා ඔවුන් දෙදෙනා විෂයයෙහි තවත් අපූරු කාරණාවක් ද විය. එය නම් පුරා තිස් වසරක් ඉක්මවා ජපානයේ වෙසෙන සමන් ප්‍රියංකර සොයුරාවත්, දශකයක් ඉක්මවා ජපානය සමඟ නිරන්තර ඇසුරක යෙදෙන වෛද්‍ය අචල ජයතිලකවත් එතෙක් මෙතෙක් ෂිබමතා ගොස් තොරා සං හමු වී නොතිබීමය.

ෂිබමතා වෙත ළඟා වනු පිණිස මා නැවතී සිටි කාමරයේ සිට ටෝකියෝ වෙතට මිටෝ කයිඩෝ පාර ඔස්සේ කිලෝමීටර් 15 ක් යා යුතුය. සීතල දෙසම්බරයේ යාන්තම් වැසි වැටුණු හවස් භාගයක අපි තිදෙනා එහි ළඟා වූවෙමු. හැටේ හැත්තෑවේ දශකය පසුබිම් කර ගනිමින් නිර්මාණය වූ තොරා සං කතා මාලාවට අයත් පසුතල දර්ශන ද එය චිත්‍රපට ගත කළ ආකාරය පෙන්වන වීඩියෝ දර්ශන ද තොරා සං චරිතයට අයත් ඇඳුම් පැලඳුම් මෙන්ම නිරන්තරයෙන් ඔහු සමඟ වූ දුඹුරු පැහැති කබල් සූට්කේසය සහ හිස්වැස්ම ද මෙහි ප්‍රදර්ශනයට තබා ඇත්තේ අපේ හදවත් තුළ ජීවත් වූ මෙම මනඞකල්පිත චරිතය ගැන සියුම් සංවේදනාවක් ජනිත කරවමිනි.

මෙම කෞතුකාගාරය තුළ ෂිබමතාහි කඩ වීදිය යම් පරිමාණයකට කුඩා කොට සැකසූ ආකෘතියක් ලෙස ඉදිරිපත් කර ඇතත් එම පෞරාණික අතීතස්මරණයක් සිහිපත් කරවන සුලු ආලෝක සැකසුමත් අනෙකුත් පසුතල නිර්මාණත් නිසා කාල තරණයක යෙදෙමින් අතීතයට පිය නැඟූ බවට හැඟීමක් සැණෙකින් අප තුළ ජනිත වේ. මෙම කඩ වීදිය යම් ආකෘතික ස්වරූපයක් ජනිත කරවනු ලැබූව ද සිය මාමාගේ කැවිලි කඩයේ තොරා සංට වෙන් වූ කාමරයට නඟින ලී තරප්ප පේළිය ද, සිය ඥාති හිතවතුන් සමඟ බිම වාඩි වී ආහාර ගන්නා කුඩා මේසය ද එම පරිසරය ද නියමිත ස්වරූපයෙන් ඉදිරිපත් කොට තිබේ. ඒ අතරම කැවිලි කඩයේ ඇතුළත ලෑලි පඩියක් මත වාඩි වී වෙරිමත් ස්වභාවයකින් මඳක් ඇල වී ඉන්නා තොරා සංගේ කටවුට් එකක් ද වෙයි. පැමිණෙන සංචාරකයන් බොහෝ දෙනෙකුට තොරා සං සමඟ ඡායාරූපයකට පෙනී සිටින්නට ලැබෙන්නේ ඒ කටවුට් එකට පින් සිදු වන්නටය.

නිතර දුම්රියෙන් ගමන් කරන්නෙකු වූ බැවින් දෝ තොරා සං කෞතුකාගාරයේ දුම්රිය සංස්කෘතිය සඳහා ද කොටසක් වෙන්ව පවතී. ඒ අතරින් විශේෂත්වයක් අත්කර ගන්නේ පටු දුම්රිය මඟක තනි මිනිසෙකු විසින් තල්ලු කරගෙන රැගෙන යන කුඩා දුම්රිය මැදිරියක් ද මෙය තුළ වීමය. කලකට පෙර එවැනි දුම්රිය සේවයක් ද තිබී ඇත.

පෙරවරු 11 ට විනාඩි 8 ක් තිබියදී නැවතී ඇති ඔරලෝසුවක් ද සහිත පැරණි දුම්රිය ප්‍රවේශ පත්‍ර කාමරය මෙන්ම මිනිසකු දුම්රිය මැදිරියක් තල්ලු කරමින් රේල් පාරක් දිගේ යන අයුරු පෙන්වන ආකෘතිමය සජීවී දර්ශන ද තොරා සංගේ කෝච්චි හා බැඳුණු ජීවිතය අපට මතක් කරවන්නකි. මෙම කෞතුකාගාරය ගොඩනැඟුවන්ගේ තොරා සං කෙරෙහි වූ බැඳීම කොතෙක් ද යත් කෞතුකාගාරයට ඇතුළු වන තැනම අධ්‍යක්ෂ යෝජී යමාඩා හිඳගත් අධ්‍යක්ෂ පුටුව ද ප්‍රදර්ශනයට තබා ඇත.

ඔහු තොරා සං රූප ගත කළ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය වන්නේ ඒ පසුබිමිනි. තොරා සං හා බැඳුණු සහෘදයන් හැර අන් කිසිවකු එතැයි සිතිය නොහැකි මෙහි ද දැකිය හැකි විශේෂම කාරණය නම් සමස්ත ජපන් භූමියටම ආවේණික නිහඬ බව මේ තුළ ද රජ කිරීමය. තම තමන්ට පෞද්ගලික වූ ආත්මීය ස්මරණයන්ගෙන් යුතුව තොරා සං හමුවනු පිණිස වඩාත් හොඳින් අතීතයට යෑමට එය ද මහඟු පිටිවහලක්ව ඇත්තේය. මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ මෙම කෞතුකාගාරය තැනීම සඳහා තෝරා ගත් පරිසරයේ විශේෂත්වය ද මෙම අතීත සංචාරය උදෙසා මහඟු පිටිවහලක්ව ඇති බවය.

මෙම කෞතුකාගාරය තැනීම සඳහා තෝරා ගත් පරිසරයේ ද විශේෂත්වයක් තිබේ. තරමක් මෑත අතීතයේ සිදුවීම් මාලාවක් පසුබිම් කරගන්නා තොරා සං චිත්‍රපට මාලාව සිහිපත් කෙරෙන කෞතුකාගාරය සඳහා අවටින් තරමක් හුදෙකලා වූ භූගෝලීය පසුබිමක් ඔවුන් විසින් තෝරාගෙන තිබේ. කුඩා ගංගාවක් අසල නිශ්ශබ්ද පෙදෙසක් වූ මෙම ස්ථානය අපේ රජරට වැව් බැම්මක් සිහිපත් කරවන පසින් ගොඩනැඟුණු කුඩා කන්දකින් වට වී ඇත. වාහනය ගාල් කිරීමෙන් අනතුරුව එහි ළඟා විය යුත්තේ පඩි පෙළකින් එම බැම්ම තරණය කරමිනි. ඉක්බිති නැවතත් පහළට බැසීමෙන් අනතුරුව අපට තොරා සංගේ ලෝකයට ඇතුළු විය හැකි අතර, වටේටම ගොඩනඟා ඇති බැම්ම අපව සෙසු ලෝකයෙන් ඈත් කර තබයි. ලංකාවේ මුදලින් රුපියල් අටසියයක පමණ මුදලක් ගෙවා ඔබට තොරා සංගේ ලෝකයට ඇතුළු විය හැක.

නමුත් තොරා සං නරඹා ඇති අයෙකු එහි නියම ආස්වාදය විඳිය හැක්කේ මීට තරමක් ඔබ්බේ පිහිටි කට්ෂුෂිකාකු ෂිබමතා හි කඩ වීදියටත්, ඒ කෙළවර පිහිටි පෞරාණික විහාරස්ථානය නැරඹීමටත් යෑමෙන් යයි මම සිතමි. මෙහි ඇති සියලු කෑම කඩ තොරා සං චිත්‍රපට මාලාවේ ඇති ආකාරයටම පවත්වා ගෙන යන අතර, ඒ සෑම කඩයකම වාගේ තොරා සං ඒ ස්ථානයට ඇති සම්බන්ධය හඟවන පිංතූර සහ ප්‍රදර්ශන පුවරු එල්ලා ඇත. විශේෂම ස්ථානය වන්නේ චිත්‍රපට මාලාව තුළ පෙන් වූ තොරා සංගේ මාමාගේ කැවිලි කඩයයි. එහි විශේෂ පුවරුවක් ද සවි කර ඇති අතර, තොරා සං චිත්‍රපට මාලාවට අයත් ඡායාරූප එම පුවරුවට ඇතුළත් කර තිබේ. මෙහි පැමිණෙන තොරා සං රසිකයෝ ඒ ඉදිරිපස සිට ඡායාරූපයකට පෙනී සිටීමට අමතක නොකරති.

තොරා සං නම් අපූරු මිනිසා පිළිබඳ මතකය මේ ආකාරයට අද ඒ මුළු කඩ වීදියේම ආර්ථික ස්ථාවරත්වයට ද හේතුවක්ව ඇති බව පෙනේ. තොරා සංගේ කැවිලි කඩයට විශේෂ අමුත්තකු පැමිණි විට ඔහුගේ මාමා ආඳා කඩයට ටෙලිෆෝන් කර ඇණවුමක් බාර දෙන අයුරු අපි ඒ චිත්‍රපට තුළින් නිරන්තරයෙන් දැක ඇත්තෙමු. ඒ පිළිබඳව රසිකයාගේ මතකය අලුත් කිරීමක් වශයෙන් දෝ වීදිය මුළුල්ලේ ආඳා කඩ ගණනාවක්ම දකින්නට ලැබේ. අප කැටුව ගිය සමන් ප්‍රියංකර සොයුරා එක් තැනකදී පෙන්වා දුන්නේ සමහර කඩ හිමියන් විශාල ටැංකිවල දමා ආඳන් ඇති කරන අයුරුය. බොහෝ කඩ පැරණි ආකාරයටම තනි මහලේ ඒවා ලෙස චිත්‍රපටයේ දුටු අයුරින්ම පවත්වා ගෙන එන අතර, ජලාශ මත වූ කොන්ක්‍රීට් පදනමක් මත මෙම ආපන ශාලා ගොඩනඟා ඇත්තේ ඉඩකඩ ඉතුරු කරගැනීම පිළිබඳ අපූරු පූර්වාදර්ශයක් සපයමිනි.

මෙම ටෙලි චිත්‍රපට මාලාවට ආවේණික ලක්ෂණයක් වූයේ එක් පරිච්ඡේදයක නිමාව සනිටුහන් කිරිමට අසල වූ පැරණි පන්සලේ ඇති යෝධ ඝණ්ටාවට ඒ අසලින්ම එල්ලන ලද විශාල දැව කඳකින් පහර දී එය නාදවන ආකාරය පෙන්නුම් කිරීමයි.

ෂීබමතාහි වීදියට බට සැණින් කෙළවරක දක්නට ලැබෙන එම පෞරාණික විහාරස්ථානයත්, දැවැන්ත ඝාණ්ටාරයත් ඔබව යළි යළිත් තොරා සංගේ ලෝකයට ඇද දමන්නට සමත්වනු නිසැකය.

ස්වකීය නිහඬ චිත්‍රපට තුළින් සමස්ත ලෝකයේම මිනිස් හදවත්වලට අමතන්නට චාලි චැප්ලින් නැමැති මහා සිනමාවේදිය සමත් වුව ද ඔහුගේ චිත්‍රපට තුළින් ඉදිරිපත් කළ චරිතය සංස්කෘතිමය වශයෙන් අපට දුරස්ථ වූවකි. නමුත් තොරා සං යනු අපේ මිනිහෙකි. ඔහු අනෙකා කෑවා ද බිව්වා ද සොයන, අනෙකා සමඟ බෙදා හදාගෙන කන ජාතියේ එකෙකු මෙන්ම හිටිවනම ඉල්ලාගෙන පරිප්පු ද කන අයෙකි. ශ්‍රී ලංකාවේ ස්වාධීන රූපවාහිනී සේවය විසින් ඉතා විශිෂ්ට අයුරින් සිංහලෙන් දෙබස් කවා ඉදිරිපත් කළ මෙම චිත්‍රපට මාලාව තුළින් මෝඩයෙකු සේ සැලකෙන මේ අපූරු සරල මිනිසා තුළ වූ උණුසුම් මනුෂ්‍යත්වය පොදුවේ සමස්ත ප්‍රේක්ෂකයාටම දනවන්නට සමත් විය. දෙමව්පියන් අහිමිවීමෙන් අනතුරුව තම එකම සහෝදරිය ද සමඟ මාමා නැන්දාගේ සෙනෙහස යටතේ හැදුණු වැඩුණු, උගත්කමක් නැති තොරා සංගේ ජීවන වෘත්තීය නගරයක් පාසා යමින් මනි බඩු විකිණීමය.

එක් තැනකින් සමුගන්නා විටත් ඊළඟ නවාතැන ගැන නිශ්චිත අරමුණක් නැති මේ අපූර්ව මිනිසාට විවිධාකාර චරිත මුණ ගැසෙන්නේ මනුෂ්‍යත්වය විශද කරවන නාට්‍යමය සිදුවීම් මාලාවකට මුහුණ දෙන්නට සිදු වන්නේත් එම දිර්ඝ යාත්‍රාවේදීය. තමාගේ ඊළඟ ගමන තීරණය වන්නේ සුළඟ හමන අතට යැයි ඇඟිල්ලක් ඔසවා පවසන තොරා සංගේ සියලු වත්කම තම ඇතැති සූට්කේසයේ වපසරියට සීමා වුවකි. තමාගේ දිවි පෙවෙත ගැන කිසි විටක දුක් නොවන මුත් ඔහු තම සොහොයුරිය ගැන මහත් සෙනෙහසක් දක්වන්නෙකි. අහිමිවන්නට දෙයක් නැති නිසාදෝ කිවයුත්ත මුහුණට පවසන මේ නිරාමිස පුද්ගලයා ඇත්තටම අප සොයන නියම මිනිසා නොවේදැයි හදවතින් ප්‍රශ්න කරවන්නකි. එක් පැත්තකින් ඔහු ඩොස්ටොවොස්කිගේ ‘දි ඉඩියට්’ නවකතාවේ මින්ස්කි කුමාරයා මෙනි. ඒ හැරුණු කළ විරාගයේ අරවින්ද ද, තුංමං හන්දියේ අබිලිං මාමා ද, සරුංගලයේ නඩරාජා ද සිය චරිතයේ විවිධ හැඩතලවලින් ඔහු අපට සිහිපත් කරවයි.

ෂිබමතා හන්දියේදී ඔබට දැක ගත හැකි තවත් සුවිශේෂ දෙයක් වන්නේ එහි තනා ඇති තොරාගේ සහ නැඟණියගේ පිළිරූ දෙකයි. මාමාගේ කැවිලි කඩයට පැමිණ දින දෙකක් තුනක් නැවතී මහමඟට බසින තොරා අවසන් වරට සමු ගත්තේ තම නැඟණියගෙනි. ඒ මොහොතේ ඔහු අසලට යන ඇය තොරාගේ විරෝධය නොතකා මුදල් නෝට්ටුවක් දෙකක් ඔහුගේ සාක්කුවට ඔබන්නේ අයියණ්ඩියගේ මුදල් පසුම්බිය පතුලටම හිඳී ඇතැයි හොඳින් දන්නා බැවිනි. ඒ සෑම මොහොතකම සූට්කේසය එල්ලා ගත් මේ අපූරු මිනිසා තම නැගණිය දෙසට මඳක් හැරී නිහඬව මොහොතක් බලා සිටියි. සිය නැගණිය කෙරෙහි වූ අසීමිත සෙනෙහසට අමතරව තොරා තුළ තමා කෙරෙහි යම් ආත්මානුකම්පාවක් ද ජනිත වන මොහොතක් වේ නම් එසේ වන්නේ මේ අවස්්ථාවේදීය. ප්‍රතිමා ශිල්පියා සිය නිර්මාණය සඳහා ඉතා නිවැරදිව තෝරාගෙන ඇත්තේ ඉතාමත් සංවේදී වූ මෙම අවස්ථාවය. ඔහු එය කොතෙක් නිර්මාණශීලීව ඉදිරිපත් කර තිබෙනවා ද යත් තෙරා සං සහෘදයකුට මෙම ගමන ඵල ප්‍රයෝජන ලබන්නට එම දර්ශනයම ප්‍රමාණවත්ය. එම දර්ශනයේ සංවේදීත්වය තවත් තීව්‍ර කර ගැනීමට ඔබට අවැසි නම් ඉන් ඔබ්බෙහි වූ තුන් මුළු කඩ පොඩ්ඩේ ඇති ගල් අඟුරේ පළහන ලද ඉරටුවේ ගැසූ කුකුල් මස් කැබැල්ලක් කමින් උණු වතුර බඳුන තැබූ සකේ බඳුනක් ද පානය කළ හැකිය.

            

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.