සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා

අසංක ප්‍රියමන්ත ගී ලොව තුන් වැනි දශකයට
ජූලි 25, 2019

මට ඒ කාලේ කිව්වේ පොඩි අමරදේව

ජීවිත ඉරණම කොහොම විසඳෙනවද කියලා වේලාසනින් අපි කාටවත් කියන්න බෑ. දක්ෂ වඩු කාර්මිකයෙක් වුණු සිය පියාගේ අත් උදව්වට කැටයම් ශිල්පය ප්‍රගුණ කළොත් හොඳයි කියන පරමාර්ථයෙන් කැටයම් ශිල්පය ඉගෙන ගත් කොලු ගැටයකු අද මේ රටේ අතිශයින්ම ජනප්‍රිය ගායකයෙකු බවට පත් වුණේ ඒ හින්දයි. තම පරපුරෙන් උරුම වුණු වඩු ශිල්පය ඉදිරියට පවත්වාගෙන යාම ඔහුගේ අභිප්‍රාය වන්නට ඇති. නමුත් දෛවය ඔහුට පිරිනැමුවේ ඊට වඩා රමණීය කර්මාන්තයක්. අසංක ප්‍රියමන්ත පීරිස් කිව්වම අද මේ රටේ නොදන්නේ කවුද? මෙරට සංගීත ක්ෂේත්‍රයට ගී නිර්මාණ රාශියක් තිළිණ කරපු ඔහු අද අපේ කතාබහට එකතු වුණා. එක්දහස් නමසිය 90 දශකයේ මුල් භාගයේ ගුවන් විදුලියෙන් ඇසුණ එක්තරා අපූරු ගීතයකට මේ මොහොතේ හිත දිව යනවා.

“හිරු විකසිත වී මිය යන පොළොවේ 
එළිය අඳුර සම සමව බෙදයි 
ගත පණ නලවන් රුධිරය මවුගේ 
කිරට හැරී කුස ගිනි දුරලයි . . .”

ඉතාම ගැඹුරු හඬකින් ගැයුණ මවු ගුණ ගීතය වරක් දෙවරක් අසත්දිම කාගෙත් හිතට දැනෙන්නට පටන් ගත්තා. අසංක ප්‍රියමන්ත පීරිස් නම් වූ ගායකයාගේ උත්පත්තිය වුණෙත් එතැනයි.

“මගේ පළවෙනි සරල ගී වැඩසටහනට තමයි මේ ගීතයත් ඇතුළත් වුණේ. ඇත්තටම මට ඉස් ඉස්්සරලාම මවු ගුණ ගීතයක් ගායනා කිරීමේ ලොකු වුවමනාවක් තිබුණා. නමුත් ගීත රචකයා වූ උපාලි ජයලත් මේ ගීතය මුලින්ම රචනා කරලා තිබුණේ දේශාභිමානී ගීතයක් විදියට. පස්සේ ඔහුටම කියලා ඒ ගීතය මවු ගුණ ගීතයක් බවට පත් කර ගත්තා. ගායකයෙකු විදියට මගේ ජීවිතය ආරම්භ වෙන්න පටන් ගන්නේ මේ ගීතයෙන් පස්සේ තමයි. අසංක ප්‍රසිද්ධ වේදිකාව තුළ මේ ගීතයත් සමඟ අභිසෙස් ලැබුවට ඔහුගේ ගායන දිවිය අරඹන්නේ ඉතාම ළදරු වයසකදී. ඔහුගේ ළමා කාලය ගෙවුණු පල්ලිය ගොඩැල්ල විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙන ගනිත්දිත් ඔහු නාට්‍ය තරගයකින් පළමුවැනියා වෙනවා. හයේ පංතියෙන් පස්සේ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට ආවම සංගීත අංශයට ඔහුගේ නැඹුරුව තව තවත් වැඩි වෙනවා. 83, 84, 85 වර්ෂවල වසරේ දක්ෂතම ගායකයාට හිමි සමස්ත ලංකා සම්මාන දිනා ගන්නේ ඔහු.

‘මට හිතෙනවා ගායනයට මගේ තිබුණ දක්ෂතාවය මුලින්ම හඳුනා ගන්නේ මගේ තාත්තා කියලා. තාත්තා ඉතාම දක්ෂ වඩුවෙක්. ඔහුට සින්දු කීමේ හැකියාව නැති වුණත් තාත්තට ඕනෑ වුණා මට සංගීතය උගන්වන්නට. පුංචි කාලේ මම එහෙට මෙහෙට යත්දි මුමුණපු ගීත අහලම වෙන්න ඇති එහෙම හිතෙන්න ඇත්තේ. ඒ හින්දම තාත්තා මට සංගීතය ඉගෙන ගන්න ගුරුවරු හොයන්න ගත්තා. මට මතකයි මුලින්ම මාව දැම්මේ නන්දා මාලිනී මහත්මියගේ සංගීත පන්තියට. එතකොට මම හුඟාක්ම පුංචියි. ඔය පංතියේ ඉගෙන ගනිමින් ඉන්නකොට තමයි මගේ උගුරු ඇටය බිඳිලා මට සින්දු කියන්න බැරි වෙන්නේ. තාත්තා ඒකට හොඳටම බය වෙනවා. සාමාන්‍යයෙන් ගැටවර වියට එනකොට ඕනැම පිරිමි දරුවෙකුට ඒක සිද්ධ වෙනවනේ. ඉතින් තාත්තා වෙන ගුරුවරයෙක් හොයන්න පටන් ගත්තා. එතකොට තමයි ත්‍යාගරාජා අමරගුරු ගුරුතුමා හමුවෙන්නේ. ඔහු ස්වර අභ්‍යාස කියවමින් මගේ කටහඬ නැවත හදල ගන්නවා. ටික කලකින් ඔහුත් එන්නෙ නැති වෙනවා. ඊළඟට මාව නන්දන ලියනගේ ගුරුතුමා ළඟට යොමු කරනවා. එතැනින් තමයි සරල ගී දක්වා යන්න මඟ පෑදෙන්නේ. හිරු විකසිත වී හා ලැබුණත් නෙත් යුග දහසක උරුමේ ගීත දෙකම නිර්මාණය වෙන්නේ නන්දන ලියනගේ සර් අතින්. එතකොට මට අවුරුදු 16 ක් විතර ඇති. වේල්ස් කුමාර විද්‍යාලයේ ඉගෙන ගන්නවා.

“ලැබුණත් නෙත් යුග දහසක උරුමේ 
මට මදි මුළු සංසාර යුගේ 
ඔබව බලා ගන්නට අම්මේ . . .”

මේ ගීත දෙකත් එක්කම අසංක පසුපස වාසනාව කැරකෙනවා. 90 දශකයේ මුල භාගයේම ගීත දෙක අහපු සජීව ෆැන්සි පැලස් වෙතින් අසංකව සොයාගෙන නිවෙසටම පැමිණෙනවා. ඒ ඔහුගේ කැසට් පටයක් නිෂ්පාදනය කරන්නට. ක්ෂේත්‍රය ගැන අත්දැකීමක් නොතිබුණු ඔවුන් ඔහු හා එක් වී කැසටපටය නිකුත් කරනුයේ කිසිදු ගිවිසුමක් හෝ ආර්ථික වාසියක් නොමැතිවය. කැසට්පටය උණු කැවුම් මෙන් අලෙවි වත්දී අසංකට සංදර්ශන සඳහා ලැබෙන ඇරියුම් ද වැඩි වුණා.

‘ඒ කැසට් එක කලාට අපි නිෂ්පාදකයාගෙන් ඉල්ලන්නේ වාහනනයක් විතරයි. ඒ මොකද සංදර්ශන එනකෙට අපිට යන්න විදියක් නැති නිසා. එයා අපිට වාහනයක් අරන් දෙනවා අපි ෆිනෑන්ස් ගෙවාගන්න පදනමට. ඊට පස්සේ ඔහු මගේ කැසට් පට 3 ක්ම කළා හිරු විකසිත වී, ඉරබටු තරුව හා ආලවන්ත ඇස් කියලා.

ඇත්තටම ඒ කාලේ සංගීත ක්ෂේත්‍රයට එන එක දැන් වගේ ලේසි පහසු දෙයක් නොවෙයි. දැන් නම් ඕනෑ තරම් රියැලිටි ෂෝස් තියෙනවා. ඉස්සර අපි එන්න ඕනෑ තරම් ගුවන් විදුලි නාලිකා තිබුණෙත් නෑනේ. ගුවන් විදුලියේ සරල ගී පාස් වෙන එකත් හරිම අමාරු දෙයක්. ගුවන් විදුලියේ ගීතයක් යනකොට ඒක අහන්නත් ලොකු උත්සාහයක් දරන්න ඕනෑ. දැන් වගේ දුරකථන පණිවිඩ දෙන්න අපට මොබයිල් ෆෝන් තිබුණේ නෑ. ඒ කාලේ ගුවන් විදුලි සංස්ථාවේ හිටියා අපේ යාළුවෙක් සමන් මෙන්ඩිස් කියලා. එයා තමයි ගීතයක් ප්‍රචාරය වෙනවා නම් ගෙදරට ඇවිත් පණිවිඩේ කියලා යන්නේ. සරල ගී පාස් වෙන්නත් හරි අමාරුයි. ඊට කලින් ‘නවක මඬල’ කියලා වැඩ සටහනකට තුන් පාරක් සහභාගි වෙන්න ඕනෑ. ඊට පස්සේ තමයි සරල ගී වලට ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒකත් සජීවීව සින්දු කියන්න ඕනෑ. දැන් ඉතින් ඕව නෑනේ. වචන කෑල්ලක් කිව්වම හොඳටම ඇති.’

අසංක ක්ෂේත්‍රයට පැමිණ දැන් දශක තුනක් ද ඉක්ම ගොස්ය. සංගීතය ඉගෙනගෙන ශාස්ත්‍රීය පදනමකින් ද යුතුව මේ ක්ෂේත්‍රයට පැමිණි බැවින් ඔවුන්ට දීර්ඝකාලීන ගමනක් ලැබුණ බව ඔහුගේ විශ්වාසයයි. එක පැත්තකින් බලන කළ නියම ප්‍රමිතිගත කිරීමේ කාර්යයන්ට මුහුණ දී පැමිණි බැවින් එය ජයග්‍රහණයක් ලෙස ඔහු සලකයි. ‘අමාරු වුණත් ඒ ගමන සුන්දරයි. ඒ වගේ කල් පැවැත්මයි.’

ඔහු කියන විදියට ඒ කල් පැවැත්ම කොච්චර ද කියනවා නම් ඉන් පසු කලෙක ඔහු නිල්වලා ආයතනයත් සමඟ සම්බන්ධව කැසට් හා ඛ්ච් පට 10 ක් නිකුත් කළා.

“ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක 
හීනයක් සේ පෑදියන් තනි වූ විරාමෙක 
මා හැර දමා ගිය මියුලැසී . . .”

“සෙනෙහසට අරුතක් පුරවන්නට 
අහසේ තරු ගැන්නා 
වෙරළේ රළ මැන්නා 
සීමාවක් මායිමක් නැතැයි කී 
සෙනෙහස ඇයි දෙතැනක තනි වී . . .”

“නුපුරුදු ඔබ දුටු පළමු දිනේ 
සුපුරුදු ලෙස දැනුණා 
කෙදිනක හෝ විඳ පුරුදු ඇති 
සුසුම් සුවඳ දැනුණා 
දැනුණා . . . මට සුසුම් සුවඳ දැනුණා . . .”

වැනි ගීත ප්‍රේමයේ අසිරිය, විරහව රැගෙන මෙරට ශ්‍රාවක සිත් සතන් වෙතට ආදරයෙන් ළඟා වුණා. අසංකගේ ගීත ගොන්න මේ වන විට 400 ද ඉක්මවා ගිහින්. ඒ අතර විවිධ සංවේදනා දනවන ගීත ඇතුළත් වීම එහි විශේෂත්වයක්. සංහිඳියාවේ අපූර්වත්වය ගැන ඔහු ගැයූ මේ ගීතයත් එකල බෙහෙවින්ම ජනප්‍රිය වූවක්.

‘දීපාවලී දාට දීපාවලී සඳ අරන් 
මාතර ගෙදර එන්න යාපා පටුන පහු කරන් 
සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන් 
ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මඟ බලන් . . .”

රටේ එක්තරා කාල වකවානුවක යුධ ගිනිදැල් ඇවිලෙද්දි අසංක මෙහෙමත් ගායනා කළා.

“පැහැසර අරුණක ඉර මල පිපුණාවේ 
යුගඳුරු යුධ දුම සැණකින් නිවුණාවේ 
හිමිදිරියේ . . . සීතල හීනෙක දැවටීවත් 
පරෙවි පියාපත් ඇසුණාවේ . . .”

අසංක මුල් කාලයේ ගායනා කළ ගීත අතරින් මාලිනී බුලත්සිංහල සමඟ ගායනා කළ මේ ගීතය ද අපේ ශ්‍රාවක සිත් සතන් ආනන්දයෙන් පුබුදු කළා.

“සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණාම 
නුඹ කොයි තරම් සුවඳ ද මගේ සිත ගාව 
දෑ කුල සිරිත් සිටි සඳ මඟ අවුරාන 
හමු වී වැලපෙමු ද මෙලෙසින් හැමදාම . . .”

එහෙත් පසුකාලීනව ඔහු ගායනා කළ බොහෝ ගීත ඒකාකාරී ස්වරූපයක් ගත්තා කියලා ශ්‍රාවකයන් ඇතුළු බොහෝ හිතවතුන්ගෙන් ඔහුට චෝදනා නැඟුණා.

“ඇත්තටම කිව්වොත් විශාල ගීත ප්‍රමාණයක් එකම ආයතනයකින් කරනකොට ඒකාකාරී ගතිය ආව කියලා මමත් පිළිගන්නවා. මටත් බොහෝ දෙනෙක් ඔය ගැන කියලා තියෙනවා. නමුත් ඉතින් ඒ ගීත අතරින් හොඳ ගීත ටික අදටත් රැඳිලා තියෙනවා. ඔය කාලෙදිම තමයි මගේ තව ගීතයක් වෙනුවෙන් විශාල ආන්දෝලනයක් ඇති වෙන්නේ. මම ගායනා කරපු ‘හුදකලා විරාමයේදී හමු වෙමුද ටිකක්’ ගීතය. ගීත රචකයා හෝ සංගීතඥයා වෙනත් ආයතනයකට විකුණලා ඔවුන් වෙනම ගායකයෙකු දාලා ඒක ගායනා කරලා තිබුණා. ඊට පස්සේ නිල්වලා ආයතනය ඊට සමානව ‘හුදකලා විරාමයයි හරි නිසංසලයි’ කියලා වෙන ගීතයක් මා ලවා ගායනා කළා. අන්තිමේදී ආයතන දෙක නඩු මඟටත් බැහැල පස්සේ සමාදාන වුණා.”

කොහොම වුණත් මේ දීර්ඝ ගමන දැන් මම දශක තුනකටත් වැඩි කාලයක් ඇවිල්ලා තියෙනවා. මේ කාලය ඇතුළත ආපසු හැරිලා බලත්දී මට සතුටු වෙන්න කාරණා බොහොමයි. ගීත 400 ට වැඩි ප්‍රමාණයක් මම ක්ෂේත්‍රයට දායාද කරලා තියෙනවා. මගේ පෞද්ගලික ජීවිතේ දිහා බලත්දි සියළු දේවල් හරි හම්බ කරගෙන තියෙන්නේ මගේ ගායන වෘත්තියෙන්. ගෙවල් දොරවල් හැදුවේ, දරු මල්ලන් හැදුවේ, දරුවන්ට ඉගැන්නුවේ ඒවායින්. මම නරක වැඩ කරලා නාස්ති කරලා නෑ කියලා හිත සතුටු වෙන්න පුළුවන්.

මගේ ලොකු දුව අංජලී ශ්‍රී මල්කා දැන් විවාහ වෙලා වෙනම පදිංචි වෙලා ඉන්නේ. ඇය නර්තනයට දක්ෂයි. දෙවෙනි පුතා තමයි සින්දු කියන්නේ. මේ වෙනකොටත් ගීත කිහිපයක් ගායනා කරලා තියෙනවා. එයා දැනට ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. තුන්වැනි පුතා තාම ඉස්කෝලේ යනවා. එයා වයලීන් වාදනයට දක්ෂයෙක්. අනාගතේ හොඳ වයලීන් වාදකයෙක් වෙයි කියලා හිතෙනවා. මේ කට්ටියම එකතු කරගෙන ප්‍රසංගයක් පවත්වන්නත් මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.”

අසංකව ඒ කාලේ ඉස්කෝලෙදි හැඳින්වූවේ ‘පොඩි අමරදේව’ කියලලු. ඒකට හේතුව ඒ කාලේ සින්දුවක් කියන්න කිව්වොත් ඔහු ගායනා කරන්නෙම පණ්ඩිත් අමරදේවයන්ගේ සින්දුවක් නිසා.

“ඇත්තටම වේල්ස් කුමාර විද්‍යාලයේ මම ජනප්‍රිය වෙලා හිටියේ පොඩි අමරදේව නමින්. මගේ ජීවිතේ පූර්වාදර්ශ චරිතයක් තිබුණා නම් ඒ පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතවලට මම පුදුම විදියට ආස කළා. නිතර ගායනා කළෙත් ඔහුගේ ගීත. ඒ කාලේ දවසක් ඔහු අපේ විද්‍යාලයේ කලා උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදියටත් ආවා. ඉස් ඉස්සෙල්ලාම සරස්වතී අභිනන්දන ගීතය ගායනා කළේ මම. මුලින්ම තිරය වහලනේ ගීතය ගායනා කරන්නේ. ඔහු ඔහුගේ කතාවෙදි කිව්වා මුලින්ම ඔහුට හිතුණලු ඔහුගේ ඛ්ච් එකක්වත් දාලද කියලා. පස්සේ තමයි මම ඒ ගීතය ගායනා කරන බව දැකලා තිබුණේ. එදා ඉඳලා ඔහු මට හරිම ආදරෙයි. දැක්ක තැන ‘අසංක පුතා’ කියලා කතා කරන්නේ. පස්සේ කාලෙක එතුමාත් සමඟ ජපානයේ සංගීත ප්‍රසංගයකට යන්නටත් මට අවස්ථාව ලැබුණා. ඉතින් ආපස්සට හැරිලා බලත්දි සතුටු වෙන්න පුළුවන් දේවල් හුඟාක් තියෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.