මානවසිංහ නම් වූ රසවතා

අගෝස්තු 8, 2019

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ (1913 – 1964) වූ කලී ලාංකේය සුභාවිත ගේය කාව්‍ය සාහිත්‍යයේ නිම්වළලු පෘථුල කළ පුරෝගාමී ගීත නිබන්ධකයෙකි; සිංහල ගීත නාටක කලාවේ පුරෝගාමියෙකි; කීර්තිමත් පත්‍ර කලාවේදියෙකි; චතුර කථිකයෙකි; කෘතහස්ත තීරු ලිපි රචකයෙකි; පඬිවරයෙකි. හෙළ, පෙළ, සකු, වංග භාෂා වෙසරදයෙකි. කලා, දේශපාලන, සමාජ විචාරකයෙකි.

පසුගිය සමයේ මම යළිත් වරක් ප්‍රවීණ ලේඛක රංජිත් අමරකීර්ති පලිහපිටිය මහතා විසින් විරචිත “අප්‍රමාණ මිනිසෙක් ; ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ” නම් වූ පිටු 716 ක් පුරා දිවුණු අපදානය කියවා හමාර කළෙමි. සැබැවින්ම රංජිත් අමරකීර්ති පලිහපිටිය සූරීන් මෙරට අපදාන සාහිත්‍යයේ (ඕධ්ර්‍ණට්අඒර්‍ථඩ්ක) සුපෝෂණය උදෙසා නිහඬ, අමිල මෙහෙවරක් ඉටු කළ කෘතහස්ත ලේඛකයෙකි. මානවසිංහ අපදානය ද ඔහු අපරිමිත පරිශ්‍රමයක් දරා ලියූ මාහැඟි වියමනකි. එහෙත් මේ ග්‍රන්ථය නම් කිරීමේදී “අප්‍රමාණ මිනිසෙක්” යන වදන වෙනුවට “අප්‍රමාණ කලාකරුවෙක්” යනුවෙන් නම තැබුවේ නම් එය වඩාත් ඖචිත්‍යපූර්වක වේ යැයි මම සිතමි. මක්නිසාද යත් “අප්‍රමාණ මිනිසා” යන නාමය අපට ව්‍යවහාර කළ හැක්කේ බුදුන් වහන්සේ උදෙසාම පමණක් වන හෙයිනි.

මානවසිංහයන්ගේ ගීත නිබන්ධ අරභයා මෙන්ම පුවත්පත් කලාවේ, තීරු ලිපි රචනයෙහි එතුමාගේ කාර්ය සාධනය, යුග කාරක මෙහෙවර පිළිබඳවත් බොහෝ විද්වත්හු නානාවිධ ලිපි ලේඛන පළ කළහ. 1964 ප්‍රථම සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් “ජගන් මෝහිනී” නමැති විශිෂ්ට, අමරණීය සරස්වතී අභිනන්දන ගීතය රචනා කළේ එතුමා බැව් ඉමහත් වූ අභිමානයෙන් පවසන අපි ඒ අරභයා ද නොයෙක් තැන් හී කියා, ලියා ඇත්තෙමු. එහෙත් මානවසිංහ නම් වූ සොබා සෞන්දර්යට අප්‍රමාණව පෙම්බැඳි සරල, අල්පේච්ඡ, නිහතමානී අපූර්ව රසවතා පිළිබඳ ලියා ඇත්තේ අල්ප වශයෙනි. එහෙයින් මෙවර මානවසිංහ නම් වූ රසවත් මිනිසා ගැන ලිවීමට මට සිතිණ. ඔහුගේ ජීවිතයේ චාම්, සෞකුමාර්ය, රසවත්භාවය හෙළි කරන්නා වූ සිදුවීම් රාශියක් මා අසා කියවා ඇත. ඒවායින් තෝරා ගත් අල්පයක් මෙහිලා මම සඳහන් කරමි.

මේ එක් කතාවක් මා හට හෙළි කළේ කීර්තිමත් පරිපාලන නිලධාරියකු, ප්‍රතිභාපූර්ණ ලේඛකයකු වූ එඩ්මන්ඩ් ජයසූරිය මහතාය.

1960 දී එවක රජයේ භාණ්ඩාගාරයේ සේවය කළ තරුණ සිවිල් නිලධාරියකු වූ එඩ්මන්ඩ්, රබීන්ද්‍රනාත් තාගෝර් මහා කවියාගේ නෝබෙල් ත්‍යාගය දිනූ “ගීතාඤ්ජලී” කාව්‍යය සිංහල බසට නැඟුවේය. එයට පෙරවදනක් ලියා ගැනීමට ඔහු මානවසිංහ හමු වූයේය. පෙරවදන ගැන අසන්නට එඩ්මන්ඩ් හට කිහිප වරක් මානවසිංහ නිවසට යෑමට සිදු විය. එය ලියා දෙන තෙක් රැඳී සිටින ලෙස එක් දිනක් මානවසිංහයෝ ඔහුට පැවසූහ. ඔහු ලියන්න පටන් ගත්තේය. ලියාගෙන යද්දී පෑනේ තින්ත අවසන් විය. එඩ්මන්ඩ් තමා අත තිබු “පාකර් ලේඩි ඩුවර්ෆොල්’ කාන්තා මාදිලියේ පෑන මානවසිංහයන් වෙත දීමට තැත් කරද්දී “ඔය පෑන හරියන්නේ නෑ මහත්තයා. ඔය වටපිට බලන කොට මහත්තයට තේරේවි මට කොයි දේත් බරපතළෙට ඕනෑ බව”.

ඔහු කීවේ තරබාරු බිරිය සිරිමතිය දෙස බලමිනි.

සුප්‍රකට මුද්‍රා නාට්‍ය ශිල්පී බැසිල් මිහිරිපැන්න නිර්මාණය කළ “රන් කැටි පුතා” මුද්‍රා නාට්‍යයට පාදක වූයේ ජී. බී. සේනානායක සූරීන් ලියූ “නිධානය” නම් වූ සුපතළ කෙටි කතාවය. පසුකලෙක ආචාර්ය ලෙස්්ටර් ජේම්ස් පීරිස් සූරීන් “නිධානය (1972) නමින් සිනමාවට නඟා ලංකාවේ මෙතෙක් බිහි වූ හොඳම චිත්‍රපටය බවට පත්වීමෙහිලා පාදක වූ කෙටි කතාව මෙය වේ.

ජී. බී. ගේ කෙටි කතාව නිම වූයේ කථකයා නිධානය ලබා ගැනීමට තම බිරිය බිලිදීමෙනි. “රන් කැටි පුතා” මුද්‍රා නාට්‍යයේ ගීත නිර්මාණයට දායක වූ මානවසිංහයෝ කෙටි කතාවේ මේ අවසානයට කැමැති නොවූහ. ඔහු ජී. බී. ගෙන් නොවිමසා අවසානය වෙනස් කළේය. “අන්තිමේදී මිනිසාගේ හිත වෙනස් වෙලා ගෑනි මරන්නේ නෑ. නැවත ඇය නිවසට කැඳවා ගෙන එනවා” යැයි මානවසිංහ බැසිල්ට කී අතර ඔහු ඊට එකඟ වූයේය. ඒ වකවානුවේ බැසිල් මිහිරිපැන්නයෝ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ දෙටු දියණිය නන්දිතා සරච්චන්ද්‍ර සමඟ ප්‍රේමයෙන් සිටියහ. “නිධානය” කෙටිකතාව අවසානයේ කළ වෙනස්කම ගැන මහාචාර්ය සරච්චන්ද්‍රයෝ බැසිල් හට දොස් නැඟුහ. තම රථයෙහි අනාගත බැණනුවන් නංවා ගෙන විවේකී ස්ථානයකට ගිය සරච්චන්ද්‍රයෝ “මානවසිංහ නාට්‍යකාරයෙක් නොවෙයි. එයා සාහිත්‍යකාරයෙක් විතරයි. එයාට පුළුවන්ද ඒ විදියට නාට්‍යයක අවසානය වෙනස් කරන්න” යැයි ඇසූහ. කෙසේ නමුත් අනාගත මයිලණුවන්ගේ බසට බැසිල් අවනත නොවූයේය. මානවසිංහ වෙනස් කළ පරිද්දෙන්ම මුද්‍රා නාට්‍යය වේදිකා ගත කළේය. බැසිල් නන්දිතා විවාහයේදී මනාලයා වෙනුවෙන් මානවසිංහත් නන්දිතාවන් වෙනුවෙන් සුප්‍රකට පරිපාලන නිලධාරී එම්. ජේ. පෙරේරාත් අත්සන් තැබුහ.

ලංකාදීප කාර්යාලයේ සේවය කරද්දී මානවසිංහයන්ගේ ජීවිතය හා සබැඳුණු රසවත් සිදුවීම් ගණනාවක් තිබේ. ඉන් එකක් මේය. ඔහු කාර්යාලයට පැමිණ තම පුටුවෙහි අසුන් ගත් සැණින් කළ පළමු කාර්යය වූයේ ලේස් නැති සපත්තු කුට්ටම ගලවා එය මේසය යටට වීසි කිරීමය. එතැන් සිට මානවසිංහ කාර්යාලයේ හෝ පිටකොටුවේ විථි දිගේ ඇවිද ගියේ සපත්තු නොමැතිවය. කෙබඳු වේලාවක හෝ ආපසු නිවසට යෑමට සූදානම් වෙද්දී ඔහු සපත්තු කුට්ටම සොයා පයෙහිලා ගනී. මානවසිංහ කාර්යාලයට පැමිණි වග දැනගැනීමට තිබූ සලකුණ ද මෙය වේ. ලංකාදීප අග සකසු, මහා පත්‍ර කලාවේදී ඩී. බී. ධනපාල සූරීන් පවා ඔහු පැමිණ ඇද්දැයි සෙවීමට මේසේ යටට එබී බැලීම සිරිතකි. දිනක් මානවසිංහයන් හමුවීමට පූජ්‍ය උඩකැන්දවල සරණංකර හිමියෝ කාර්යාලයට වැඩම කළහ. “මානවසිංහ මහත්තය ආවේ නැද්ද” චන්ද්‍ර ශ්‍රී කුලරත්නගෙන් ඒ හිමියෝ විමැසූහ.

“හාමුදුරුවනේ පොඩ්ඩක් ඉන්න මං බලන්නම්” යැයි කියමින් කුලරත්න මේසය යටට එබී බැලුවේය. මෙය දුටු සරණංකර හිමියෝ තමා විහිළුවට ලක් කළා යැයි සිතා කෝපයට පත්ව රත්න දේශප්‍රියට පැමිණිලි කළහ. එහෙත් රත්න දේශප්‍රිය හාමුදුරුවන්ට කරුණු පැහැදිලි කළ පසුව උන්වහන්සේ හඬ නඟා සිනාසුණාහ. මේ අතර වරක් සපත්තු කුට්ටම තම කාර්යාලයේ මේසේ යට තබා වලස්මුල්ලේ දේශපාලන රැස්වීමක් අමතා මානවසිංහ වාර්තාවක් තැබුවේය.

මානවසිංහ වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවකු ජීවිතයේ 51 වැනි වියේදී අකාලයේ අපෙන් සමුගත්තේ මධුවිතට අසීමිතව පෙම් බැඳීම හේතු කොට බව ප්‍රකට රහසකි. මදිරාබාධයෙන් එවැනි විශිෂ්ටයකු අකාලයේ අහිමි වීම ලාංකික අපගේ අභාග්‍යයකි.

මධුවිතට පැවති ඔහුගේ ලෝලත්වය හෙළි කළ රස කතාවකි මේ. එවක අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාගේ දේශපාලන රැස්වීම් සඳහා රටපුරා යද්දී දිවා ආහාරයට ආසන්නයේ මානවසිංහ රථය මඳක් නවත්වන ලෙස ඉල්ලා සිටියේය. “මොකද මිස්ටර් මානවසිංහ අවශ්‍යතාව? දොට්ට පිලට යන්නද? යැයි ඊරියගොල්ල මහතා ඇසුවේය. රථය නතර විය. “පොඩි වෙලාවක් සමාවෙලා ඉවසන්න. මගේ යාළුවෙක් ඉන්නවා මේ ළඟ. මං මිනිට්ටු පහෙන් එනවා” මානවසිංහ රථයේ දොර හැර බිමට බැස්සේය.

“කවුද ඒ” ඊරියගොල්ල විමසුවේය.

“ඇයි දන්නේ නැද්ද අපේ තෙවරප්පෙරුම උන්නැහේ මේ පැත්තේ ඉන්නවා කියලා මට ආරංචි වුණා” මෙසේ කී මානවසිංහ නිවසක් ළඟ අතුරුදන් වී සිගරට්ටුවක් දල්වා ගෙන යළි මෝටර් රථයට නැඟුණේය.

“හරි හරි යමු. දැන් තෙවරප්පෙරුම මේ පළාතේ නැහැලු. තව ඉස්සරහට ගිහින් බලමු” මානවසිංහයෝ කීහ.

මේ ආකාරයෙන් සෑම දිනකම දිවා භෝජනයට ප්‍රථම මානවසිංහ “තෙවරප්පෙරුම” නමැත්තකු සෙවීම ඊරියගොල්ල මහතාගේ සැකයට බඳුන් විය. පසුකාලීනව සත්‍ය හෙළිදරව් විය. “තෙවරප්පෙරුම” යැයි කීවේ එවක ප්‍රකට වූ දෙවරක් පෙරූ අරක්කුවලටය. සෑම දිනකම කෑමට පෙර ඔහු මෝටර් රථයෙන් බැස සංචාරය කරමින් තෙවරප්පෙරුම යනුවෙන් කියමින් සොයා ඇත්තේ “හොර පොළකින්” අරක්කු අඩියක් ගැසීමටය.

ශූර ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයකු වූ මානවසිංහ පුවත්පත්වල ලග්න ඵලාපල පළ කිරීමට එරෙහි වූයේය. “මේ ලෝකයේ ඉන්න මුළු ජනගහනයම ලග්න 12 ට අයිතියි. ඒ අනුව එක් ලග්නයකින් උපන් අය කෝටි ගණනක් ඉන්නවා. ඉතින් කොහොමද එක ලග්නෙකට ඵලාපල කියන්නේ. මනස්ගාත විකාර. ඡ්‍යෝතිෂය මහා සාගරයක් වගේ ගැඹුරු විද්‍යාවක්. ඒකෙ අගක් මුලක් මං දන්නෙත් නැහැ” ඔහු වරක් කීවේය.

“රන්මුතු දූව“ (1962) චිත්‍රපටයෙහි එන “ගලන ගඟකි ජීවිතේ” යනු නාරද දිසාසේකර හා නන්දා මාලිනිය අමරණීය ලෙස චිත්‍රපට පසුබිම් ගායනයෙහි ස්ථාපිත කළ සුගේය නිර්මාණය වේ. චිත්‍රපටයේ මේ අවස්ථාවට ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහයන් පළමුවෙන් ලියා තිබුණේ “ගලන ගඟකි ජීවිතේ” නොවේ. මවිසින් ලියූ 2015 වසරේ පළ කළ “අමරදේව:මහා ගාන්ධර්ව විබුධයාණෝ” කෘතියෙහි (පිටු 138 – 139) බොහෝ දෙනකු නොදන්නා ඒ සිදුවීම මෙසේ දැක්වේ. මුලින් ලියූ ගීතය මේය.

පාවෙන උකුළු තලා 
තාලෙට සලා සලා 
සිපගෙන පුලිනතලා 
රස පෙම් රහස කියා

ගංගා කොමළ නිළි 
හදවත පුබුදු කළා

ගොවිඳු සොයාලා 
රාධා ගියා සේ 
ගංගා කුමාරි 
කවුදෝ සොයන්නේ

පාවෙයි පාවෙයි 
පෙම් රස ප්‍රේම සිහිනයක් වගේ 
අනුරාගය හා මුසු වී යයි ගලා

‘රන්මුතු දුව’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මයික් විල්සන් වූවාට ගීත තෝරා ගැනීමේදී හා ඒවා රූගත කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරය ඉටු කරන ලද්දේ සහය අධ්‍යක්ෂවරයා වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය විසිනි. මානවසිංහ යථෝක්ත ගීතය ලියා දුන් කල්හී අමරදේවයන් මැන්ඩලීනයෙන් ඊට තනුව ද යොදා තිබුණි. එහෙත් තිස්ස ලියනසූරිය හා නිෂ්පාදක ශේෂා පලිහක්කාර මේ ගීතයට කැමති වූයේ නැත. ඒ සඳහා යළිත් උචිත ගීතයක් ලියා දෙන ලෙස ඔවුහු මානවසිංහගෙන් ඉල්ලා සිටියහ. එහෙත් එය පමා වූයෙන් දිනක් රාත්‍රියේ අමරදේව, ශේෂා පලිහක්කාර හා තිස්ස ලියනසූරිය බොරලැස්ගමුවේ පිහිටි මානවසිංහයන්ගේ ‘වාපි මේඛලා’ නිවසට ගියෝය. මධුවිතෙන් සප්පායම් වෙමින් සිටි මානවසිංහ ‘මේ ගීතය ලියන්න මූඩ් එකට එන්න නම් අපේ ගෙයි මිදුලට යන්න ඕනෑ. මගේ අපසරාවෝ සිටින්නේ ගෙයි මිදුලේ. හැබැයි රෑ නිසා එයාලා මට පෙනෙන්නේ නැහැ’ යැයි පැවසුවේය. ශේෂා වහා ක්‍රියාත්මක වී දුරකථනයෙන් සුමිත්ත අමරසිංහ අමතා ප්‍රචාරක කටයුතු සඳහා කැමරාව හා ආලෝකකරණ උපකරණ රැගෙන වහාම ‘වාපි මේඛලාවට’ පැමිණෙන්නැයි කීවේය. මඳ වෙලාවකින් සුමිත්ත පැමිණ ගෙමිදුලට ගොස් ආලෝක උපකරණ ආධාරයෙන් එළිය ලබා දුන්නේය. මානවසිංහ ඇතුළු පිරිස අප්සරාවන් සොයා ගෙමිදුලට පිවිසුණහ. මේ අප්සරාවන් යනු කවුරුන්ද? නිවසේ මිදුලේ විවිධ ඉරියව්වලින් යුත් අප්සරාවන්ගේ (ස්ත්‍රී ලාලිත්‍යය හා අඟපසඟ ඉස්මතු වන සේ නෙළූ) ප්‍රතිමා තැනින් තැන දක්නට ලැබිණ. ඉන් එක් අප්සරාවක් මත මානවසිංහ ද තවත් අප්සරාවක් මත අමරදේවයන් ද අසුන් ගත්හ. ගත වූයේ මඳ වේලාවකි. මානවසිංහ සුරතින් ‘ගලන ගඟකි ජීවිතේ’ නමැති ඖචිත්‍යපූර්ණ චිත්‍රපට ගීතය ලියැවිණ. අමරදේවයෝ ඊට සුමධුර තනුවක් තැනූහ.

ගලන ගඟකි ජිවිතේ 
දයාලු ලෝකයේ 
මිහිර පතා ආදරේ 
ළපලු නටයි ගංතෙරේ

වැලිතල කිතිකවන නටන 
පෙම් රළවැල ඉවුරු බදන 
මිහිතලයට සුවය දැනෙන 
උකුළුතලය බඳු නැළැවෙන

පෙමට පෙම පුදා 
තුඩට තුඩු දිදී 
කුරුලු ගී නඟයි 
ආදරේ . . . බැඳීලා . . .

මානවසිංහයන් එකල හැකි විටක තම දින පොතෙහි සටහනක් තැබීමට අමතක නොකළේය. දින පොත්වල ආරම්භයේ තිබෙන අයිතිකරුගේ පෞද්ගලික ජීවන තතු සටහන් කළ යුතු පිටුවෙහි ඔහු ලීවේ තමාගේ නම හා ලිපිනය පමණකි. එහි තිබෙන රියැදුරු බලපත්‍ර අංකය, බැංකු ගිණුමෙහි අංකය, ගුවන් ගමන් බලපත්‍ර අංකය ආදී සෙසු කරුණුවලට “මේ කිසිවක් මට නැහැ” යැයි ලොකු අකුරින් සටහන් කළේය. වේදයිතය, තුරඟ තරඟ, රුචිරාණෙනි, අභිරංගය, ජගත් සංඥාතලය, පරිකල්පනය, සොළොස්මාන සිනමා කුණ්ඩලිය යනාදිය මානවසිංහ අපට තනා දුන් වදන්ය.

මානවසිංහයන් එකල “ලංකාදීප” පුවත්පතට ලියූ “වගතුග” තීරු ලිපිය මෙරට පුවත්පත් තීරු ලිපි කලාවේ තවමත් අග්‍රස්ථානයෙහි වැජඹේ.

“වගතුග” තත්කාලීන සමාජයේ කලාවේ විවිධ පැතිකඩ අරභයා ලියැවුණු අටුවා වැන්න. “ඇසු පිරූ තැන්” සරසවියට මෙලෙස මවිසින් ලියනු ලබන්නේ මානවසිංහගේ “වගතුග“ තීරු ලිපි කියැවීමෙන් ලත් අපරිමිත ආස්වාදය හා ආභාසය හේතු කොටගෙන බව මෙහි සඳහන් කළ යුතුමය.

අනාගතයේ ලොව සමාජවාදී රාජ්‍යයන්හි බිඳ වැටීම ගැනත් ධනේශ්වර අර්ථ ක්‍රමය හරහා විවෘත ආර්ථිකයේ නැඟීම අරභයාත් “වගතුග” ඔස්සේ මානවසිංහ අනාවැකි පළ කළේ 60 දශකය මුලදීය. මේ අනාවැකිය සැබෑ වන විට ඔහු දිවමන්ව සිටියේ නැත.

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.