මා සමඟ ආනන්දයේ අකුරු කළ කටකාර,දඟකාර ‘කටා’

ප්‍රේමකීර්ති ද අල්විස්
අගෝස්තු 8, 2019

 

අපි ඔහුට ‘කටා’ කීවෙමු. ඒ ඔහුගේ කටකාරකම් නිසා ය. කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ අල්විස්ලා දෙදෙනෙකු වූහ. එක්කෙනෙක් ප්‍රේමකීර්ති අල්විස්ය. ඔහු ‘කටා’ විය. අනික් කෙනා උදේනි අල්විස්ය. ඔහුට ගිරවකුගේ මෙන් නාසයක් තිබූ නිසා අපි ‘ගිරා’ කීවෙමු. කටා සහ ගිරා අඹ යහළුවන්ය. පන්තියේ කවි ලිවීමට ගජ හපනුන් දෙදෙනෙකු ද වූහ. ප්‍රේම හැගීම් ගැන කවි ලියූ ප්‍රේමකීර්තිය. අනෙකා කවි ලිව්වේ සමාජ අසාධාරණය, අයුක්තිය, විප්ලවය, කඳුළු ගැනය. ඔහු නමින් ධර්මකීර්ති ජයසේකරය. ඔහු පාසල් යන කාලයේම ‘රතු කඳුළු’ නමින් කවි පොතක් ලිවීය. ඔහු පසු කලෙක හැඳින්වූයේ වාමවාදී අදහස් වපුරමින් සමාජ අසාධාරණයට එරෙහිව පැය ගණන් කතා කළ ඒ නිසා තම දේශපාලන වෙනුවෙන් පැය විසිහතරම කැප කළ ඒ වෙනුවෙන්ම ජීවිතය පරිත්‍යාග කළ කීර්ති බාලසූරිය නම් අපේ සගයාය. අද ප්‍රේමකීර්ති හා කීර්ති අපෙන් සමුගෙනය. ප්‍රේමකීර්ති මිය ගොස් ජූලි 31 වෙනිදාට වසර 30 ක් ගතවී ඇත.

මගේ සිත මීට වසර 54 කට ඈතට යයි. සිනමාවට ළැදි සිසුන් කිහිපදෙනෙක් එකල තිරගත වූ ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ ගීත හා ඒ චිත්‍රපටය ගැන සති අන්තයේ ප්‍රචාරය වන විනාඩි පහළවේ ගුවන් විදුලි වැඩසටහන ගැඹුරු කටහඬට ආදරය කළෙමු.

“පරිවර්තන යුගයේ තරුණයන්ගේ කතාව ගැටවරයෝ.”

“දන්නවද? ඒ හඬ කාගෙද කියලා.” ප්‍රේමකීර්ති අපෙන් ඇසුවේය.

“නෑ මචං.”

“අපේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෙක්. නම බණ්ඩාර කේ. විජේතුංග ලු.”

එතැන් සිට ප්‍රේමකීර්ති ඔහු පූර්වාදේශය කොට ගෙන ඊටත් නොදෙවෙනි වැඩසටහන් හද හදා අප මවිතය පත් කරමින් අප වටකරගෙන ඉදිරිපත් කළේය.

“මූ යකෙක්. කටා උඹ හොඳ රේඩියෝ සිලෝන් එකට. කවද හරි උඹ ගුරාවත් පරද්දනවා.” ගිරා කීවේ. ගිරා ‘ගුරා’ කීවේ කෘතහස්ත නිවේදක කරුණාරත්න අබේසේකරයට.

ඒ වන විට ප්‍රේමකීර්ති කරු අයියාගේ ‘සරස්වතී මණ්ඩපය’ ළමා වැඩසටහනේ කැපී පෙනුණ ළමා නිවේදකයාය. ඒ අතර අපූරු කවි පන්ති ද රචනා කළේය.

“මචං මට කිසිදාක ගුරාට ඉහළින් යන්න බැහැ.” ප්‍රේමකීර්ති සිය නළ දත පෙන්වමින් සිනාසුණේය.

ඒ වසර 1966 විය හැකිය. ආනන්දයේ ආදි ශිෂ්‍ය ඩී. බී. නිහාල්සිංහ නිර්මාණය කළ ‘භක්ති’ විත්ති කථා චිත්‍රපටය බ්‍රිතාන්‍යයේ කාඩීෆ් චිත්‍රපට උලෙළේ කෙටි චිත්‍රපට අංශයෙන් මුල්තැන දිනා ලංකාවට පැමිණි කාලයයි. අප විද්‍යාලයීය ශාලාවේදී නිහාල් පිළිගැනීමේ උත්සවයක් පැවැත්විය. උසස් පෙළ පන්තියේ සිටි අප එය නරඹා ආපසු පන්තියට පැමිණියේ උද්දාමයෛනි.

අපේ පන්තිය වූයේ ලෙඩ්බීටර් ශාලාවේ කෙළවරය. ජනේලය අසලට ගිය විට පෙනෙන්නේ පෙට්රල් ෂෙඩ් එකය.

“අපිත් කෙටි චිත්‍රපටයක් හදමු ද?” පන්තියේ සිටි සිනමාව ගැන මහදැනමුත්තා වූ රන්ජිත් ලාල් ඇසීය.

“කරමු.” චන්ද්‍රසිරි මුදන්නායක (නීතිඥයෙකි) කීවේය. නම්මුණි සොයිසා, ආනන්ද නිලවීර, නිම් හෙට්ටිආරච්චි (මහාචාර්යවරයෙකි) හා මා ද ඒ අදහසට දිරි දෙමින් කීවෙමු.

 

“ප්‍රේමකීර්ති උඹ හොඳ අදහසක් දීපන්. තිර නාටකයක් ලියපන්, ගීතයකුත් ලියපන්” නඩේ ගුරා වූ රංජිත් ලාල් කීය. රංජිත්ගේ දෙමාපියන් මිනුවන්ගොඩ ඉඩම් හිමි ධනවතුන්ය.

ප්‍රේමකීර්ති පන්තියේ ජනේලය අසලට ගියේය.

“වරෙල්ලා මට හොඳ අදහසක් ආවා.” ප්‍රේමකීර්ති අප කැඳවීය.

“අන්න අර බර ඇදගෙන යන මනුස්සයා දිහා බලපල්ලා.”

අප දුටුවේ විශාල බර පොදි පිරවූ අත් කරත්තයක් ඇදගෙන අමාරුවෙන් ගිනි කාස්ටකයේ යන මහලු මනුෂ්‍යයෙකි. ඔහුගේ කළු ශරීරය දහදියෙන් නෑවිලාය. ඔහු ඉළ ඇට හිරු රශ්මියෙන් දිලිසෙයි.

“අපි මිනිසුන්ගේ කායික හා මානසික වීර්යය ගැන විත්ති කථා චිත්‍රපටයක් හදමු. චිත්‍රපටයේ නම ‘වෙර’ නොයෙත් වීර්යය.”

“කටා උඹම තේමා ගීතයකුත් ලියහන්.”

“මම දැන්මම තේමා ගීතය ලියන්නද?’ කී ඔහු තමා පන්තියට ගෙනෙන එකම එක ඇක්සයිස් පොතෙන් කඩදාසියක් කඩා ගීතය ලියා රංජිත් ලාල්ට දුන්නේය. රංජිත් මේ කියන කාලේ ප්‍රේමසිරි කේමදාසයන්ගෙන් එකෝඩියන් වාදනය ඉගෙන ගනිමින් සිටියේය. රංජිත් තනුවක් දමා එය ගායනා කළේය. ප්‍රේමකීර්ති ද අල්විස් නම් විශිෂ්ට ගීත රචකයා උපන්නේ එතැනිනි. ‘වෙර’ පාසල් ශිෂ්‍යයන් නිපදවූ විශිෂ්ට විත්ති කථා චිත්‍රපටයකැයි ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ තිරගතවූ මංගල දර්ශනය බලා ජයවිලාල් විලේගොඩ දිනමිණට ලියා තිබුණේය.

ප්‍රේමකීර්ති ලියූ භාව පූර්ණ ගේය පද ගැන බොහෝ දෙනා දන්නා බැවින් මගේ උත්සාහය වූයේ මේ ලිපියෙන් ඔහුගේ අසිරිමත් පාසල් සමයේ අප ගත කළ රසවත් තොරතුරු කියා පෑමටය. අපට සිංහල විෂය හා සිංහල සාහිත්‍ය විෂය ඉගැන්වූයේ බර්ටි විජේසිංහ, ඩබ්ලිව්. ඩී. කේ. ගුණවර්ධන හා සාන්තන රාජපක්ෂ, ආදී ගුරුවරුන්ය. වෙනත් විෂයයන් ඉගැන්වීමට පැමිණි කොටගම වාචීස්සර හිමි, රංජිත් සොයිසා, නීල් කුරුප්පු, කේ. එල්. එෆ්. විජේදාස, ආනන්ද වීරසිංහ, රංජිත් කබ්රාල්, ගාමිණී සෙනෙවිරත්න, ඒ. ඩී. කරුණානන්ද, උප විදුහල්පති කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ යන ගුරුවරු ප්‍රේමකීර්ති ගේ නිර්මාණ කෞශල්‍ය හඳුනාගෙන විද්‍යාලයීය සඟරාව සංස්කරණය කිරීමට භාර දුන්හ. පන්ති භාර බර්ටි විජේසිංහ මහතා දිනක තම පන්තියට පැමිණි විට පුදුමයට පත් වුයේ කිසිදු සිසුවකු පෙරදා පන්තියේ නොසිටි නිසාය. විජේසිංහ මහතාට පසුදා ලෙඩ්බීටර් ශාලාව අසලදී ප්‍රේමකීර්ති මුණ ගැසිණි.

“මොකද අල්විස්, පන්තියේ ළමයි නැත්තේ.”

“ඔක්කොම ගියා සර් අස්ගිරියට ක්‍රිකට් ගහන්න.”

“ඉතිං අල්විස්ට ක්‍රිකට් ගහන්න පුළුවන්නෙ.”

“බැහැ සර්. මම එහේ ගිහිං බැරිම වැඩේ කළා.”

“ඒ මොකක්ද?”

“මම නේ සර් Cricket Commentator”

ප්‍රේමකීර්තිගේ තැනට උචිත මුඛරි පිළිතුර විජේසිංහ මහතාට හොඳට පුරුදුය.

2014 වසරේ ප්‍රේමකීර්ති මියගොස් වසර 25 ක් නිමිත්තෙන් ගීතනාත් කුඩලිගම විසින් සංස්කරණය කරනලද ‘සසර සැරි සරණ තෙක්’ ග්‍රන්ථය සඳහා ප්‍රේමකීර්තිගේ පන්ති සගයන් හමු වූ අවස්ථාවේ අපි ඔහුගේ වීරකම් ගැන කතා කරමින් සිටියෙමු. ප්‍රේමකීර්ති ගුරුවරුන්ට නම් පටබැඳීමට සූරයෙකි. එක් ගුරුවරයෙකුට ‘තට්ට අබා’ යයි නමක් දැම්මේය. ඒ දවස්වල ලංගම තට්ටු දෙකේ බස්වල ටිකට් මැෂිමෙන් ඉවත දමන පරණ ටිකට් රෝල් කොටස් ප්‍රේමකීර්ති එකතු කරගෙන පන්තියට ගෙන ආවේය. ඔහු ඒ ටිකට් රෝල්වල උඩ සිට පහළටම චිත්‍රරාමු අඳිනවා. ඒ හැම රූප රාමුවක්ම සහිත ඔතන ලද ටිකට් පන්තියේ ඩෙස්ක් එක මතුපිටට ඒවා පැන්සලයෙන් ඔතා ගන්නවා. දැන් එක කොටසක් ඇතුළේ. අනිත් කොටස ප්‍රේමකීර්තිගේ පැන්සලේ ඔතාගෙන. අර චිත්‍රපට ශාලාවේ දකින ෆිල්ම් රෝල් වගෙ. අතින් කරකවමින් ඔහු ඇඳි රූප රාමු එකින් එක එළියට ගනී. ප්‍රේමකීර්ති කවි හා ගීත ලියන්න නිවේදන කටයුතුවලට මෙන්ම චිත්‍ර කලාවට ද දක්ෂයෙකි.

ඔහු නිර්මාණය කළ චිත්‍රපටය නම් කරලා තිබුණේ ‘තට්ට අබාගේ තොරණ් සේවය’ කියලා. රූප රාමුවලින් නිරූපණය වුණේ තට්ටු දෙකේ බස් එකක් ඇතුළත දර්ශනයි. තට්ට අබා සිය පවුල සමඟ වෙසක් සිරි නරඹන්න යයි. අබා රූප වලින් නිරූපණය වන්නේ තට්ටි අබා දරුවන් බිරිඳ සමඟ තොරණ් සිරි නරඹද්දී සිදුවන දේවල්ය. තොරණ් සේවයේ දෙබස් කිය කියා අපට ප්‍රේමකීර්ති පන්වෙූයේ කටින් සංගීතය සපයමිනි. එදා මේ තොරතුරු අපට නැවත මතක් කළේ රංජිත් කොස්තාය.

ප්‍රේමකීර්තිට විකට කතා රැසක් මතක ඇත. ඔහුට සතුන්ගේ කටහඬවල් අනුකරණය කිරීමට පුළුවන. ගුරුවරන්ගේ හඬවල් අනුකරණය කළ හැකිය. පන්තියේ ගුරුවරයා බරපතළ ලෙස පාඩම කියා දෙන විට ප්‍රේමකීර්ති සතෙකු අනුකරණය කර පන්තියේ සිසුන් සිනහ ගන්වන්නේය.

“කවුද? ඒ ශබ්ද ආවේ...”

කිසිවකු ශබ්ද නැත.

“ඔක්කෝම නගිනවා පුටුව උඩ, මේක කෝලම් මඩුවක් ද?”

සියල්ලෝම දැන් පුටු උඩය. සීනුව නාද වෙයි. එළඹෙන්නේ විවේක කාලයයි.

“මෙහෙ එනව අල්විස්, ඔය තමුසෙගේ කුරුලු හඬ කියා ගන්නවා රේඩියෝ සිලෝන් එකට. පන්තියේ ඒව බැහැ.”

ප්‍රේමකීර්ති මුල්ම පද්‍ය පන්තිය ලිව්වේ ‘ආනන්දය’ සඟරාවටය. සාන්තන රාජපක්ෂ ගුරුවරයා ඔහුට අතහිත දුන්නේය. ඒ පද්‍ය පන්තිය.

 

“සංවේගයෙ උලලේනිය

දුක් දෝනා නගන පැයේ

මළ හිරු රැස් මැද තනිවුණ

මෙරු ඉගිළෙන සැන්දෑවක් වැනිය ජීවිතේ”

ප්‍රේමකීර්ති ලියූ මුල්ම ගුවන් විදුලි සරල ගීය ‘හද පුද අසුනේ’ ගැයුවේ රූපා ඉන්දුමතිය හා මල්කාන්ති නන්දසිරිය. ඔහුට මුල්ම චිත්‍රපට ගීතය ලිවීමට අතහිත දුන්නේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාය. ඔහුගේ ‘ලොකුම හිනාව‘ චිත්‍රපටයට ජෝතිපාල සහ ඇන්ජිලින් ගැයූ ‘කැකුළු මලක පෙති මත’ සංගීත අධ්‍යක්ෂණය කේමදාසයන්ය. ‘සුරේඛා’ චිත්‍රපටය ඔහු දෙබස් රචනය කළ ප්‍රථම චිත්‍රපටයයි. ඔහු කේ. වෙන්කට් ගේ ‘ගිලා’ චිත්‍රපටයේ චරිතයක්ද නිරූපණය කළේය.

පුංචි කාලයේ නිවේදන කලාවට ආදරය කළ ප්‍රේමකීර්ති ගෙදර දී සරත් විමලවීරව අනුකරණය කළ බව ඔහු අපට පවසා තිබුණි. ඔහුට මුලින්ම කැමැත්ත තිබුණේ ගායකයෙකු වීමටලු. 1960 වසරේ ළමා වැඩසටහන්වලට ගොස් සමූහ ගායනයට එක් වූ ප්‍රේමකීර්ති ළමා මණ්ඩපයේ සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රකට ගායකයකු වූ තිලකසිරි ප්‍රනාන්දු ගෙන් ගායකයකු වීමට ඉල්ලා සිටියත් ඔහු එයින් අයින් කරද්දී තරුණාරත්න අබේසේකර තම ළමා වැඩසටහනට ඇදගෙන ගොස් ‘මුද්දරය’ නම් රචනාව කියවීමට මඟ පෙන්නුවේය. ඒ ගමන ප්‍රේමකීර්ති නිමා කළේ මෙරට ගුවන් විදුලියේ ඉහළම හා නිර්මාණාත්මක අංශයෙන් ප්‍රමුඛයා වීමෙනි.

ලේඛකයකු ලෙස ඉදිරියට ඒමට ප්‍රේමකීර්ති ද අල්විස් රට හඳුනා ගැනීමට කිසිදු හැඳිනීමකින් තොරව අවස්ථාව ලබා දුන්නේ එවකට ‘විසිතුර’ සිනමා පුවත්පතේ කර්තා ආතර් යූ. අමරසේන මහතා බව ඔහු පුන පුනා අපට කියා ඇත.

ආනන්දයේ ඉගෙනීම ලබන කාලයේ ප්‍රේමකීර්ති සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට අනුබද්ධිත බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ ක්‍රියාකාරි සාමාජිකයෙක් වූයේය. එදා එහි සිටි මෛත්‍රීපාල සිරිසේන (පොළොන්නරුවේ රාජකීය විද්‍යාලය) නිමල් සිරිපාල ද සිල්වා (නාලන්ද විද්‍යාලය) ලාල් හෑගොඩ (මහෝබෝධි විද්‍යාලය) ක්‍රියාශීලි ශිෂ්‍යයන් අතර ප්‍රේමකීර්ති ද එක් විය. ප්‍රේමකීර්ති මා ද බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ නිල පුවත්පත වූ ‘ධම්ම චින්තා’ පුවත්පතට සම්බන්ධ කළ අතර ඔහු කුලරත්න ආරියවංශ (සම්මාන දිනූ ගීත රචක) ගුවන් විදුලියේ ළමා වැඩසටහන්වලට එක් කරගත්තේය.

1947 ජුනි 03 වෙනිදා කොළඹ මාලිගාවත්තේ දී උපන් සමරවීර මුදලිගේ දොස් ප්‍රේම කීර්ති ද අල්විස් මූලික අධ්‍යාපනය ලැබුවේ මාලිගාකන්ද රජයේ විද්‍යාලයෙනි. පසුව ඔහු ආනන්දයට ඇතුළත් විය.

සරල ගී හා ජනප්‍රිය චිත්‍රපට රැසක ගී රචනය කළ ප්‍රේමකීර්ති තමා ප්‍රිය කරන ගීතය ගැන හැත්තෑව දසකයේ මට පැවසුවේ ‘සරසවිය’ පුවත්පතේ මා ලියූ ‘ගීතයක උල්පත’ විශේෂාංගයට එක්වෙමිනි.

“එක් පුද්ගලයකුගේ අති පෞද්ගලික හැඟීමක් පොදුවේ අනිත් පුද්ගලයින් අතරද ඔවුනොවුන්ගේ පෞද්ගලිකත්වයට කෙළින්ම බලපාන සැටි අත්හදා බලන්නට මව් ගුණය තරම් තවත් විෂයයක් අපට නෑ. අප ජීවිතය ලද්දේ මවගේ ජීවිතයෙන්. අම්මා නොසිටියා නම් මම කොයින්ද? ප්‍රේමකීර්ති මේ වදන කියන විට ඔහුගේ ජනප්‍රිය ගීත වූ දෙව්රම් වෙහෙරේ, මිනි ගෙජ්ජි, බොරු කකුල්කාරයා, අම්මා දරෙයි, පෙත්සම් ගහපල්ලා වැනි ප්‍රචාරය වෙමින් තිබුණි.

අම්මා කී විටම මට මතකයට ආවේ ආනන්දයේ ඉගෙනගනිද්දී ප්‍රේමකීර්ති සමඟ ඔහුගේ අම්මා බැලීමට මාලිගාකන්දේ නිවසට ගිය ගමනකි. ඇය තම පුතාට මෙන්ම අපට ද ආදරණීය මවක් වූවාය. ඇය පින්බර මාතාවකි. ප්‍රේමකීර්ති තම මව වෙනුවෙන් ලියූ ගීතය ගැන කීවේ මේ කතාවය.

“මේ ගීතය මගේ අතින් ලියැවුණේ එක්තරා උණුසුමක. මගේ අම්මා මං ලියන හැම ගීතයක්ම වගේ ගුවන් විදුලියෙන් අහන එක පුරුද්දක් වශයෙන් කළා. ඒ ගීත වලින් ඇය අමුතු වින්දනයක් ලැබුවා. මට මතකයි එක දවසක් ද අපි ගෙදර කතා කර කර ඉන්න වෙලාවක අම්මා මට මෙහෙම කිව්වා.”

“උඹ බොරු කකුල්කාරයටයි, රූකඩේටයි, අරකටයි, මේකටයි සින්දු ලියනවා. ඒත් උඹ මං ගැන තවම සින්දුවක් ලිව්වේ නෑනෙ.”

මම ඒ කතාව අහල අම්මට විහිළු කළා මිසක් ඊට පස්සේ ඒ කතාව අමතක වෙලා ගියා. ඔහොම ඉන්නකොට ඊට අවුරුද්දකට විතර පස්සේ හිටි ගමන් අම්මා අසනීප වුණා. අපි අම්මව ඉක්මනට රෝහලට ඇතුළත් කළා. වෛද්‍යවරු කිව්වා ඇගේ තත්ත්වය බරපතළයි කියලා. ඇගේ සෞඛ්‍ය ඉක්මනින් පිරිහුණා. සිහිය නැතිව ගියා. අම්මට හිටිය එකම පුතා මම. අම්මාව බලන්න රෝහලට යන හැම විටම අම්මගේ අර ඉල්ලීම මතක් වුණා. මම සහෝදරියත් එක්ක හැඬූ කඳුළින් හිටියේ. එවෙලේ වික්ටර් රත්නායක අම්මා බලන්න ආවා. මම රෝහලේ බිත්තියක පුංචි ඉඩක කඩදාසියක් තියාගෙන අම්මා ගැන ඒ ගීතය ලියලා වික්ටර්ගේ අතේ තිබ්බා.

 

“ආදරයේ උල්පත වූ අම්මා

මා ඔබගේ පුතු වූ

ඔබ මතු බුදුවන දවසේ

මා රාහුල කුමරුන් සේ

සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි

සුළැගිල්ලේ එල්ලී

 

 

මේ ගීතය ගුවන් විදුලියෙන් ඇහෙනකොට අම්මා ජීවතුන් අතර හිටියේ නැහැ. එහෙත් මේ ගීතය මගෙත්, වික්ටර්ගෙත් වගේම සමස්ත අම්මාවරුන් වෙනුවෙන් ලියු ගීතයක් කියලා මම හිතහදා ගත්තා.”

ප්‍රේමකීර්තිගේ කැමති ගීතය මෙසේ මට විස්තර කළේ මීට වසර 48 කට පමණ පෙරය. සරසවිය පුවත්පතේ චිත්‍රශිල්පී එස්. ආර්. හේමපාල අඳින චිත්‍රයක් සමග එය පළ විය.

හෝමාගම කටුවාන පාරේ කුඩා කුළී නිවසක ජීවත් වූ ප්‍රේමකීර්තිගේ බැංකු ගිණුමෙහි ඉතිරි කර තිබුණේ රු. 1717 යි ශත 14 ක් බව මහාචාර්ය සුනිල් ආරියරත්න ගුණ සමරු දේශනයේ සඳහන් කර තිබුණි.

1989 ජූලි 31 වෙනිදා රාත්‍රී ඇඳිරි නීතිය බලපැවැත්වෙන මොහොතක, සිය නිවසින් පිටතට කැඳවාගෙන යනු ලැබූ ප්‍රේමකීර්ති, තරුණයන් පිරිසක් විසින් ඝාතනය කළ අතර පසුදා අලුයම වෙඩි පහර තුනක් සහිත ඔහුගේ සිරුර නිවෙසට නුදුරු දෙවට අසල තිබී හමුවුණ බව මහාචාර්ය ආරියරත්න එදා දේශනය අවසන් කරමින් කියනවිට ප්‍රේක්ෂකාගාරයේ සිටි සැවොමගේ නෙත් කඳුලින් ඉතිරි ගියෝය.

ප්‍රේමකීර්තිගේ අතේ අල්ල මුදු මොළොක්ය. සිනිඳුය. එහි ඇත්තේ නව යොවුන් තරුණියකගේ අතක ඇති සීතල සහිත රෝස මල් පියල්ලක බඳු සුකුමල ගතියකි.

“ප්‍රේම්, උඹේ අත කෙල්ලෙකගෙ වගේ සිනිඳුයි” මම පන්තියේ සිටි ඔහු අත අල්ලා ගනිමින් නොයෙක් වර කියා ඇත්තේය.

“ඔය තරම් මගේ අත සිනිඳු මෙන්ම උඹ අත අල්ලාගෙන හිටපන්.” වරක් ඔහු මට කීවේය.

“මේ බලපන්, ලස්සනට කවි ලියන ප්‍රේම්ගේ අත අල්ලලා. හරියට කෙල්ලෙකගේ අත වගේ.” මම මිතුරන්ට කීවෙමි. ප්‍රේම් අත අල්ලා බලා මිතුරෝ කීවේ “මුගේ අත මාරුවෙලා. කෙල්ලෙක්ගේ අතක් වැරදිලා ඇවිත් තියෙන්නේ.” කියාය.

ප්‍රේමකීර්ති මියගිය බව හැඟෙන හැම අවස්ථාවකම මට ඔහුගේ අතේ සීතල නම් නිරුතුරුවම දැනේ.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.