නරක කලාත්මක චිත්‍රපටයකට වඩා හොඳ වාණිජ චිත්‍රපටයකට කැමැති වූ දයා විමලවීර

අගෝස්තු 15, 2019

තරුණයා තමා හා විවාහ වුණ යුවතිය සමග මෝටර් රථයේ නැඟි මංගල ගමනේ යෙදෙයි. මිහිදුම් වලාවන් අතරින් කඳු වළල්ලක ගමන් ගන්නා රථය එක් වංගුවකින් මෑත් වද්දීම එක්වරම මතුවනුයේ බූරුවන් පෙරටු කර ගෙන යන අහිගුණ්ඨක නඩයකි. එයට ඉඩ දී රථය මදක් නතර වද්දී අප දකිනුයේ දරුවකු අත දරා යන තරුණ ගැහැණියකි. ශාලාවේ අසුන්ගෙන සිටින අපි ඊළඟ ජවනිකාවේ කවරක් වනු ඇතිදැයි තූෂ්නිම්භූත වෙමු. මෙතුවක් අප වසඟ කර ගත් ආදර කතාව අවසානයට ළං වී ඇත. දරුවා දකින රථයේ සිටින තරුණයාගේ මුහුණ වෙනස් වෙයි. ඔහු අසල සිටින මනාලිය දෙගිඩියාවකිනි. අහිගුණඨික නඩයේ සිටින තරුණයකු දරුවා වඩා ගනියි. රථයේ සිටින මනාලයාගේ මුහුණේ ඇති වනුයේ පශ්චත්තාප වන හැඟිමකි. ඔහු ගේ ගෙල පැළද තිබුණු මාලයක් හීන් සීරුවේ අතට ගෙන එය රථයෙන් බිමට දමන්නේ සියල්ල හමාර වූයේය යන හැඟිම ඇතිවය. ඒ මාලය මේ අහිගුණ්ඨික තරුණිය සහ කුලීන තරුණයාගේ ආදරයේ තෑග්ගයි. දරුවා එහි සංකේතයයි. බිම වැටුණු මාලය හිත් පිත් නැති ටයරයට හසුවද්දී රථය ඉදිරියට යයි. මාලය අහිගුන්ඨික තරුණයා විසින් අසුලා ගනු දුර රූපයකට යාන්තම් නැගේ. ජනප්‍රිය සිංහල චිත්‍රපටයක මා වඩාත්ම සසළ කළ අවසන් ජවනිකාවක් නම් කරන්නටයැයි පැවසුවහොත් දෙවරක් නොසිතා මා නම් කරන්නේ එම ජවනිකා පෙළයි.

ඒ 1982 යනු මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිතුවිලි උඩුයටිකුරු කළ වකවානුවකි. අප පික්චර් පිස්සන් බවට පත්වූයේ එකලය. දිගු කලකට පසු හොලිවුඩ් චිත්‍රපට එක දිගට කොළඹ මැජස්ටික්,එම්පයර්, ලිබර්ටි,සැවෝයි ,නිව් ඔලිම්පියා වැනි සිනමාහල් ආක්‍රමණය කරද්දී ටෙලිවිෂනය ද ගෙයින් ගෙට යන්නට පටන් ගත්තේය. ඒ මදිවාට වීඩියෝ යන්ත්‍රය ද සුඛෝපභෝගී භාන්ඩයක් ව පෙනෙන්නට විය. තමන් කැමැති චිත්‍රපට නැරඹීමේ යතුර මුල් වරට ප්‍රෙක්ෂකයන් ට ලැබන්නට පටන් ගත්තේ මේ කාලයේය. ඒ වන තෙක් මෙන්න චිත්‍රපට ඇවිත් බලාපියව් යන න්‍යාය ක්‍රියාත්මක වෙමින් තිබිණ. කිසිදු ප්‍රමිතියකින් තොරව සැදී දිගු කලක් පෝලිම් වල ගැසී පල්වුණු සිංහල චිත්‍රපට නැරඹීමේ අනිවාර්ය නිල නොවුණ නීතිය වෙනුවට කැමැති චිත්‍රපටයක් නැරඹීමේ නිදහස ගැටවරවියේ සිටි අපට ලැබිණ. එය අපේ පාසල් කාලයයි. එහෙත් මොකක්දෝ අහේතුවකට කොළඹ සිනමා ශාලාවල තිර ගත වන සෑම ඉංග්‍රීසි , දෙමළ චිත්‍රපටවලට අමතරව දේශප්‍රේමී හැඟීම නිසා දෝ තිර ගත වන සෑම සිංහල චිත්‍රපටයක් අප අතින් ගිලිහී ගියේ නැත. එමෙන්ම චිත්‍රපට පිළිබඳ තොරතුරු කියවීමේ අභිප්‍රාය ද විය. මේ අවදියේ බොරැල්ලේ රිට්ස් ඇතුළු සිනමාහල්වල පැල් බැඳ ගෙන කළු සුදු චිත්‍රපටයක් තිරගත වූයේ ඇස රවටන වර්ණ චිත්‍රපට අබිබවමිනි. එය නමින් මිහිදුම් සිහිනයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබුණේ දයා විමලවීරය. සංගීතය ඒ වනවිට ජනපිය සංගීතයේ හිණි පෙත්තේ සිටි සරත් දසනායකය. ඔහු එහි නිෂ්පාදක ද විය. සිංහල සිනමාවේ ජනප්‍රියම පෙම් යුවළ විජය කුමාරතුංග සහ මාලිනී ෆොන්සේකා එහි ප්‍රධාන චරිත රඟපෑහ. ඔවුන් සමග රෝයි ද සිල්වා සහ සුමනා අමරසිංහ ද ප්‍රධාන චරිත නිරූපණය කළහ. ඔවුන් හතර දෙනා එක්වූයේ මේ දෑස කුමටද චිත්‍රපටයෙන් පසුවය. චිත්‍රපටයේ තිර නාටකය සෝමවීර සේනානායකගෙනි. ඒ වන විට ඔහුගේ තිර නාටක රැසක් නිර්මාණාත්මක බවකින් තොර අධ්‍යක්ෂවරු අතින් එක දිගට තිරයට ඇවිත් අප හෙම්බත්ව සිටි අවදියයි. චිත්‍රපටයට පාදක ව තිබුණේ අහිගුණ්ඨික යුවතියක හා ධනවත් තරුණයකුගේ පෙම් කතාවකි. එහි සම්මත දුෂ්ඨයෙක් සිටියේ නැත. එමෙන්ම එබඳුම සසළ කළ අවසානයක් සහිත තවත් චිත්‍රපටයක් නම් කරන්නට කී කල මගේ සිහියට එන්නේ බඹසර බිසව් චිත්‍රපටයේ අවසානයයි. විවාහ පත් යුවළකගෙන් බිරිඳ සැමියාගෙන් මංගල තෑග්ගට ඉල්ලා සිටිනුයේ දික්කසාදයයි. මනිරත්නම් නම් ජනප්‍රිය ඉන්දියානු සිනමාකරුවාගේ ගේ මවුන රාගම් චිත්‍රපටයේ කතා පුවත ඇසුරෙන් නිර්මාණය වුව එය නිසැකවම මනිරත්නම්ගේ චිත්‍රපටය අබිබිවා ගිය එකක් විය. වඩාම නිර්මාණශීලි අවසානය තනා තිබුණේ ද දයා විමලවීරයන්ගේ චිත්‍රපටයටය. දක්ෂ අධ්‍යක්ෂවරයකුට ඕනෑම කෙනෙකු හරහා චරිත නිරූපණය කළ හැක යන මතය සනාථ කරමින් එහි ශෂී විජේන්ද්‍ර සිය ජීවිතයේ හොඳම රංගනය ගෙනාවේය. විජය -මාලිනී මෙන්ම සනත් -සබීතා ද දයා විමලවීර චිත්‍රපටයන්ගේ අපූරු චරිත ගොඩ නැංවූහ.

මෙරට ප්‍රධාන ප්‍රවාහයේ සිනමාකරුවන් අතර ස්වකීය අනන්‍යතාව රඳවා ගන්නට සමත් අතළොස්සක් වූ සිනමාකරුවන් අතර ඉහළින්ම තැබිය යුතු අයෙක් වූ දයා විමලවීර අවුරුදු 81 ක් ආයු වලඳා පසුගිය සඳුදා එනම් අගෝස්තු දොළොස් වැනි දා අප අතරින් සමුගත්තේය. ඒ අපේ සිනමා වංශ කතාවේ මතක සටහන් රාශියක් ද රැගෙනය.දයා විමලවීර උපන්නේ 1937 වසරේ දෙසැම්බර් මස 11 වැනි දිනය.

දයා විමලවීර යනු දේශීය සිනමා අනන්‍යතාව උදෙසා පුරෝගාමි මෙහෙවරක යෙදුණ සිනමාකරු වූ සිරිසේන විමලවීරයන්ගේ ජ්‍යෙෂ්ඨතම පුත්‍ර රත්නය විය. දයා විමලවීර සිනමා අධ්‍යක්ෂවරයෙකි. කැමරා අධ්‍යක්ෂවරයෙකි. තිර නාටක රචකයෙකි. සංස්කාරකවරයෙකි. නිෂ්පාදකවරයෙකි. සිනමා ශාලා හිමියෙකි. ඒ සිනමාවටය. එමෙන්ම යහපත් පවුල් දිවියක් ගෙවූ දයාබර සැමියෙකි. ආදරණීය පියෙකි. මුත්තනුවෙකි. ඉතා යහපත් මිනිසෙකි.

තාත්තා සිරිසේන විමලවීර වුව ඔහු සිනමාවට ආවේ රිදී හැන්ද කට ගසා ගෙන නොවේ. මව්පියන්ගේ වෙන්ව යාම සිදුවන විට ඔහු යන්තම් පස් හැවිරිදි වියේ පසුවිය. ළමා වියේ මව්පියන් වෙන්වීම දයාට මෙන්ම සෙසු සොයුරු සොයුරියන් ටද දැනිණ. සෝමවතී, ප්‍රේමවති යන අක්කලාට මල්ලීව උපන් දයා උපසේන සහ රංජිත්ට අය්යා විය. අම්මා අහිමිව ලැබුණු කුඩම්මා දරුවන්ට එක ලෙස ආදරය කළ ද වෙනත් දරුවන් හා ඇසුරට නොයවන්නට තරම් පරිස්ම් කළේය. එබැවින් දයාගේ හොඳම යාළුවා වූයේ මල්ලී උපසේනය. පසුකලෙක දයා අය්යා හැදූ හැම චිත්‍රපටයකම සංස්කරණ ශිල්පියා වූයේ මල්ලී උපසේනය. පසුකලෙක මල්ලී විවාහ වූයේ සිරිසේන විමලවීර ගේ මා ආලය කළ තරුණිය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ කුමාරි මානෙල් සමග ය. අය්යා විවාහ වූයේ ඇගේ සොහොයුරිය කුමාරි සමගය. මේ විවාහයෙන් දයා අය්යා දියණියන් තිදෙනෙකු ගේ පියකු විය.

මවගෙන් වෙන්ව යාමෙන් පසු එක් වැසි රාත්‍රියක තම පියා දරුවන් ද කැටිව රික්ෂෝවක ගමන් කළ දුෂ්කර ගමන දයා අය්යා ගේ මතකයේ විය. එදින මාලිගාවත්තේ දී එරුණු රික්ෂෝව දරුවන් එහි සිටියදී තාත්තා මහ වැස්සේම ඇදගෙන ගිය අයරු ඔහු සිහිපත් කළේය. පොඩි පුතා චිත්‍රපටයේ එන එබඳු ජවනිකාවක් තාත්තා විසින් ප්‍රති නිර්මාණය කරන ලද්දේ එකී ජීවිත අත්දැකීම හරහා බව දයා අය්යා පැවසුවේය.

ග්‍රෑන්ඩ්පාස්වල උපන් දයා විමලවීර කොළඹ ශාන්ත ජෝශප් විදුහලෙන් ද පසුව කොළොන්නාවේ ටෙරන්ස් රාජපක්ෂ විදුහලෙන් ද අනතුරුව කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා විදුහලෙන් ද ඉගෙනුම ලැබූවේය. ඔහු උගැන්මට සූරයකු විය. ඒ නිසාම තාත්තා බලාපොරාත්තු වූයේ පුතා වෛද්‍යවරයකු වනු දැක්මටය. මේ 1951 තරම් ඈත අතීතයයි. ඒ විමලවීරයන් නව ජීවන චිත්‍රාගාරය කිරිබත්ගොඩ ඉදි කළ අවදියයි. නිවාඩුවට එහි ගිය පුතාට දොස්තර කමට වඩා චිත්‍රපට කැමරාව තම අතට වටිනා වග වැටහිණ. පන්තියේ දිප්තිමත් ශිෂ්‍යයා ගේ දොස්තර සිහිනය අත හරිනවිට හැම තාත්තා කෙනෙකු මෙන්ම මේ තාත්තා ද උරණ විය. දයා අය්යා නතර වුණේ තාත්තාගේ උපන් ගම වන තංගල්ලේය. අන්තිමට තාත්තා ඉගෙන නොගන්න පුතා අත රස්සා තුනක් තිබ්බේය. 1.ගල් කැඩීම, 2.දර පැලීම 3.රික්ෂෝ ඇදිමය. ඒ එකක් වත් කියා දරුවා හැදිය නොහැකි තැන තාත්තා පුතා චිත්‍රාගාරයට කැඳවා ගත්තේය. කැමරාව හදලා තියෙන්නේ මොනවායින්ද තාත්තා විමසුවේය. යකඩින් උත්තරය ලැබිණ. ඒ වන විට චිත්‍රාගාරය ඉදි කරමින් සිටි අවදියයි. තාත්තා මුලින් පැවරුවේ එහි යකඩ පාස්සන තැන යකඩ වාද්දන රස්සාවය. එහි පොඩ්ඩ වැරදුණොත් කන පිරෙන්නට බැණුම්ය. මේ දුෂ්කර ක්‍රියා විඳීනු නොහැකිව පුතා ආපසු ඉගැනුමට යනු ඇතැයි තාත්තා සිතන්නට ඇත. දඬුවම් නිසා තාත්තා හතුරෙකු ලෙස සිතුනත් පසුකලෙක දයාට දැනුනේ පිතු සෙනෙහස යනු වටහා ගත නොහැකි මහාර්ඝ ප්‍රහේලිකාවක් බවය. සමහරවිට තාත්තා මා සමග ඔට්ටු අල්ලනවා චිත්‍රාගාරයේ කාරණා ගැන. පැරදුණොත් පඩියෙන් භාගයක් මම දෙන්න ඕනා. නැත්නම් තාත්තා මට දෙන්න ඕනෑ. සමහරවිට තාත්තා ඕනෑ කමින් පැරදුණා. දයා අය්යා පැවසුවේය.

තාත්තා ගේ චිත්‍රගාරය වුවත් කැමරාවට ඇස තබන්නට පුතාට ඉඩ නොලැබිණ. තම පුතා වුව එහි සිටි ශිල්පීන්ට ද ඒ සදහා අවසර නොදෙන ලෙස දන්වා තිබිණ. යකඩ පෑස්සුමෙන් පසු සහාය රසායනාගාර ශිල්පියකු ලෙස කටයුතු කළ යුතු විය. එයින් පසු සංස්කරණ මැදිරියටය. කැමරාවට ඇස තබන්නට ලැබෙන්නේ තවත් කලකට පසුවය. එහි ඔහුගේ මුල් ගුරුවරයා වනුයේ නව ජීවන චිත්‍රාගාරයේ මුල්ම කැමරා ශිල්පියා වන පෝල් මතායෙස්ය. ඉන්දියානු ජාතිකයකු වූ මතායෙස් එයට පෙර ඉන්දියානු සුප්‍රකට සිනමාකරු මෙහෙබුබ් ගේ කැමරා ක්‍රියාකරුවිය. අමර්, අන්දාස්, අවුරත් වැනි මෙහෙබුබ් ගේ ජනප්‍රිය චිත්‍රපට සියල්ලේම කැමරා ක්‍රියාකරු මතායෙස්ය. එයින් පසු මෙරට බිහි වූ මුල්ම කැමරා ශිල්පියාවූ ඩබ්ල්ව්.ඒ.බී ද සිල්වා දයා විමලවීරගේ කැමරා ගුරුවරයා විය. රොඩී කෙල්ල දයා විමලවීර මුල් වරට කැමරාව මෙහෙය ව්මට ලැබුණු චිත්‍රපටයයි. නව ජීවන චිත්‍රාගාරයේ රූප ගත කිරීමත් ශබ්ද පටිගත කිරීමත් බොහෝ විට යෙදුණේ එකටමය. බොහෝ විට රූප ගත කිරීම සඳහා නුවර පාරේ අවසන් බස් රිය ද යන තුරු සිටිය යුතුවූයේ චිත්‍රාගාරය ශබ්දාවරණ නොවුණ නිසාය. චිත්‍රපටය අවසන් වුණා නම් එය පියා ගේ අධ්‍යක්ෂණය යටතේ පුතා කැමරාව මෙහෙයවන මුල්ම සිංහල චිත්‍රපටය වන්නට තිබිණ. රොඩී කෙල්ල අඩක් තනද්දි විමලවීරයන් මිය ගියේය. එපමණක් නොව විශිෂ්ට චරිතාංග නළු ටෝනි රණසිංහ ,සන්ධ්‍යා කුමාරි දෙදෙනාගේ මුල්ම රංගනය සහ සංගීතඥ ප්‍රේමසිරි කේමදාසගේ මුල්ම සංගීත නිර්මාණ රැගත් චිත්‍රපටය එය වනු ඇත. ඉන් ටික කලකට පසු නව ජීවන චිත්‍රගාරයේ අයිතිය ද විමලවීර දරුවන්ට අහිමි විණ.

පසුව ඔහු මුල්වරට කැමරාව මෙහෙයවන ලද්දේ ආදරයයි කරුණාවයි චිත්‍රපටයට වුව තිරයට ආවේ පටාචාරා චිත්‍රපටයයි. මුල්ම දෙමළ භාෂිත චිත්‍රපටයක් වන තෝට්ටක්කාරි චිත්‍රපටයේ ද කැමරාකරණය ඔහුගේය. ඔහුගේ කැමරාව මෙහෙය වූ චිත්‍රපට අතර ඉහළින් ම කතා කළ හැක්කේ සිකුරු ලියා චිත්‍රපටයයි. ඔහු අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට අතරින් රජ දරුවෝ හැර සෙසු සියලු චිත්‍රපට කැමරාව මෙහෙය වන ලද්දේ ද දයා විමලවීරයන්ය. ඔහු නිර්මාණය කළ පහයි හතලිස් පහ චිත්‍රපටය කිසි දිනෙක තිර ගත වූයේ නැත.

ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණය වීදුරු ගෙවල් වය. තිස්ස අබේසේකරගේ තිර රචනයක් අනුව තැනුණු එය රහස් පරීක්ෂක කතාවක් කේන්ද්‍ර කොට ගත්තකි. ඒ 1972 වසෙර්ය. සිනමා කැමරාකරණයේ අත් පොත් තබනුයේ 1961 වසරේ වුව ඔහු සිනමා කැමරාකරණයේ යෙදෙනුයේ චිත්‍රපට 24ක පමණකි. අධ්‍යක්ෂණය කරනුයේ චිත්‍රපට දොළොසකි. ඔහුගේ බොහෝ චිත්‍රපට බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දැමුව ද සංඛ්‍යාත්මකව නිර්මාණ අතලොස්සක් වූයේ ඇයි. වරෙක දයා අය්යාගෙන් මට ලැබුණේ පිලිතුර මෙලෙසය. මා කිසිවිටකත් නිෂ්පාදකවරු සොයා ගියේ නැහැ. මා සොයා ආ නිෂ්පාදන විතරයි. ඒ වගේම මගේ ක්‍රමයට ඔවුන් හැඩ ගැසිය යුතුයි. දයා අය්යා පැවසුවේය. ඔහු වඩාත්ම ජනප්‍රිය සිනමාකරුවකු බවට පත්වනුයේ සිනමා කර්මාන්තය දරුණු පසුබෑමකට ලක්වුණ යුගයක වීම විශේෂයකි. රජ දරුවෝ, සුජාතා, බඹසර බිසව්, චායා, මධු සිහින, මිහිදුම් සිහින වැනි චිත්‍රපට නිර්මාණය වූයේ මේ වකවානුවේය. ඔහුගේ සිනමා කෘති අතර මේජර් සර්, සීතල ගිනිකඳු සහ දෙව්දුව විචාරක අවධානය ද දිනා ගත්තේය. චිත්‍රපටයේ තිර නාටකය කවරෙකුගේ වුව ඔහු එය තමන්ට අවශ්‍ය පරිදි යළි සැකසුවේය.

ඇතැම් චිත්‍රපට තිරනාටකවල අවසානයේ ඇත්තේ අනන්ත බාධක මැද ඔවුහු විවාහ වූහ වැනි වගන්තියක්. ඉතින් මම මේ අනන්ත බාධක හොයලා රූපයට ගන්ඩ ඕනෑ. වරක් දයා අය්යා මට පැවසුවේ සිනහවෙමිනි. සුජාතා මුල් චිත්‍රපටයේ දෙබස් රචනා කළේ සිරිසේන විමලවීරය. චිත්‍රපටය යළි නිර්මාණයේ දී ඔහු තාත්තා ලියූ නාරිලතා පුෂ්පේ ගීතය යළි රූප ගත කළේය. ඔහුගේ සීතල ගිනි කඳු චිත්‍රපටයට ද පියා රචනා කරන ලද ගිතයක් ඇතුළත්ව තිබිණ. මධු සිහින චිත්‍රපටය විජය කුමාරතුංගයන් අවසන් වරට රඟපෑ චිත්‍රපටයයි. විජය මිය ගියේ එහි රූප ගත කර අවසාන වී කොළඹ පැමිණ සිටියදීය.

දයා අය්යා කිසිවිටෙකත් මහ හඬ නගා කතා කරනු මා අසා නැත. හඬ කාරුණික වුව ද එහි ඇත්තේ ස්ථිරසාර බවකි. ඔහු තැනූ චිත්‍රපට කිහිපයකම පූර්ව ප්‍රචාරක පටය සැකසීමට මට ද දායක වන්නට අවස්ථාව ලැබිණ. නිෂ්පාදක වෙතින් සැපයිය යුතු වාහනය ප්‍රමාද වූ හෙයින් මා තලවතුගොඩ එකල පැවැති ටී.කේ.චිත්‍රාගාරයට වේලාව නොවරදවා මා ගියේ දයා අය්යා බලා සිටින නිසාය. අද මෙන් පහසුවෙන් ඇමතීම සදහා ජංගම දුරකතන ද නොවිණ. දයා අය්යා එවර කෝප ගත්තේ මා සමඟය. නිසි වෙලාවට වාහන සැපයීම නිෂ්පාදනයේ වගකීම බැවින් එය නොසලකා මගේ පැමිණීම ඔහු සැලකුවේ වෘත්තිය ගරුත්වයට කළ මදි පුංචිකමක් හැටියටය.

ඉතාම කාරුණික නිහතමානි අපූරු මිනිසකු වූ දයා විමලවීර වරක් සරසවියට මෙලෙස පැවසුවේය.

නරක කලාත්මක චිත්‍රපටයක් හදනවාට වඩා හොඳ වාණිජ චිත්‍රපටයක් හදන එක වැදගත්.

ඉතා ගුණයහපත් මිනිසකු වූ මෙන්ම සිනමා ඉතිහාසයේ මතක සටහනක් වූ ද දයා විමලවීරයන්ට., ආදරණීය දයා අය්යාට නිවන් සැප ලැබේවා.

(දයා අයියාගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරිණි.)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.