ඇගේ රූපණ දුටොත් ඔබ භාග්‍යවන්තය

සැප්තැම්බර් 12, 2019

ගියවර ලිපියෙහි පළ වූ යළි මිතුරුවීමෙන් පසු ගාමිණි ෆොන්සේකා හා ජෝ අබේවික්‍රම දෙපළගේ සේයාරුව ගත් ඡායාරූප ශිල්පියා කවුරුන්දැයි අපි කවුරුත් මෙතෙක් නොදැන සිටියෙමු. ඔහු වත පොතෙන් (Face Book) මා හඳුනා ගත් ජ්‍යේෂ්ඨ මිතුරකු බැව් පසුව දැන ගැනීමට ලැබීම සතුටකි. ඔහු නමින් ප්‍රවිණ ඡායාරූප ශිල්පී කුමාර එදිරිසූරිය මහතාය. ආත්ම තෘප්තිය සඳහා එවක බොහෝ ප්‍රවීණයන්ගේ අගනා ඡායාරූප කාචයට නැංවූ ඔහු ඒවාට තම නාමය එක් කිරීමට උත්සුක නොවීය. කෙසේ නමුත් එය මුල්වරට මේ ලිපියෙන් හෙළි කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි.

කෘතහස්ත රූපණවේදී ටෝනි රණසිංහ මෙරට සිනමාවේ මහා නළු ත්‍රිත්වයෙන් (ගාමිණි හා ජෝ) එක් රූපණවේදියෙකි. ඔහු රංගන ප්‍රතිභාව සහ තරු ගුණය මනාව එක් තැන් වූ රංගවේදියකු වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහුගේ තරු ගුණය අරභයා රහසක් නොවූ කියුම පැවසුවේ 60 දශකයේ අග භාගයේ ඉන්දියාවේ සුප්‍රකට විචාරිකාවක වූ කරන්ජියා මහත්මිය බැව් දන්නෝ දනිති. ඇයට අනුව “ටෝනි වැනි කඩවසම් නළුවකු මුළු මහත් අග්නිදිග ආසියාවෙහිම නොමැත.”

ටෝනිගේ රූපණ කෞශල්‍යය අරභයා හොඳම විග්‍රහය පළ කරන ලද්දේ මෙරට මහා නාට්‍යවේදියකු වූ සුගතපාල ද සිල්වා සූරීන් විසින් යැයි මම සිතමි. සුගතපාල මහතා “අපේ කට්ටිය” වෙනුවෙන් නිෂ්පාදනය කළ “බෝඩිංකාරයෝ” නාට්‍යයෙන් ටෝනි එදා පළමුවරට ප්‍රසිද්ධ වේදිකා රංගනයට ප්‍රවිෂ්ට වූයේය. සුගතපාල සූරීන් නාට්‍ය හා රංග කලාව විෂය පිළිබඳ මගේ ද ගුරු දෙවියෙකි. 1994 වසරේ සිට මිය යන තුරු ඉතා සමීපව එතුමාගේ පා සෙවණෙහි උගෙනීමට මට භාග්‍යය ලැබිණ. කලාව, සාහිත්‍ය අරභයා නොයෙක් හරවත් රසවත් දෑ අප කතා කරමින් සිටියදී හිටි ගමන් එතුමෝ ටෝනි අරභයා මා සමඟ මෙසේ පැවසූහ.

“ටෝනි යනු සිය මුහුණේ සෑම අංගයක්ම රංගන කාර්යයෙහි මැනවින් යෙදවිය හැකි සුවිශේෂ ගණයේ නළුවෙක්. ඒ හැකියාවෙන් කලාවට තව වැඩ ගන්න තිබුණා.”

මෙරට සිනමාවේ බිහි වූ අග්‍රගණ්‍ය තිර කතා රචක, කෘතහස්ත සිනමාවේදී ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ ද්විභාෂා ලේඛන ප්‍රතිභාව සුධීමත් විද්වතුන්ගේ ඇගැයුමට ලක් විය. ලංකාවේ ඉපිද අන්තර්ජාතික තලයෙන් සුප්‍රකට වූ ප්‍රවීණ, සම්මානනීය ලේඛක මයිකල් ඔන්ඩච්චි ඔහුගේ ඉංග්‍රීසි ලේඛන ශෛලියෙහි ප්‍රශස්ත බව දුටුවේය. තිස්ස අබේසේකරයන්ගේ සිංහල ලේඛන ශෛලිය මාර්ටින් වික්‍රමසිංහගේ සහ ගුණදාස අමරසේකරගේ භාෂා ශෛලීන් ද විටෙක අතික්‍රමණය කිරීමට සමත් බව මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසයෝ පෙන්වා දුන්හ.

දේශීය කලාත්මක නාට්‍ය වංශයේ ආරම්භය සනිටුහන් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “මනමේ” (1956) මුල් නාට්‍යයේ මනමේ කුමරුගේ භූමිකාව බෙනඩික්ට් (බෙන්) සිරිමාන්නත් වැදි රජුගේ භූමිකාව එඩ්මන්ඩ් විජේසිංහත් නිරූපණය කළ බැව් සහෘද ඔබ දනී. බෙන් සිරිමාන්න 1970 අපේ‍්‍රල් 7 වැනිදා අකාලයේ ජීවිතයෙන් සමුගත්තේය. ඔහුගේ අවමංගල්‍යයදා පළ වූ මේ අපූර්ව කියුම අරභයා මා දැනුම්වත් වූයේ ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් විරචිත ‘මනමේ මතක් වී’ නම් මැහැඟි ග්‍රන්ථය කියවීමෙනි. බෙන්ගේ දේහය මිහිදන් කෙරුණේ ගල්කිස්සේ සුසාන භූමියෙහිය. අවමඟුල් සභාවේ වඩාත් හෘදයාංගම කතාව පවත්වන ලද්දේ එඩ්මන්ඩ් විජේසිංහ විසිනි. බෙන්ගේ නිසල දේහය ඉදිරියේ එඩ්මන්ඩ් පැවසුවේ ඔවුන් දෙදෙනා සියක් වාරයකටත් වඩා වේදිකාව මත මාරාන්තික සටනක යෙදුණ බවය. ඒ සෑම විටකම ඔහුට මනමේ කුමරාගේ (බෙන්ගේ) ගෙල සිඳීමට සිදු විය. එක වතාවක් හෝ මනමේ කුමරු හට වැදි රජු මරණයට පත් කරලනු නොහැකි විය. එහෙත් අද බෙන් වේදිකාව මත නොව සැබෑ ජීවිතයේ මිය ගොස් ඇත. වරක් හෝ ඒ නාට්‍යය වෙනස් කොට තමා මරා දමා බෙන් අද ජීවත් කරවන්නට පුළුවන් නම් තමා එක පයින් එයට කැමැති වන බව එඩ්මන්ඩ් කීවේය. ඉන් වසර කිහිපයකට පසුව ඔහු ද මිය ගියේය. පළමු මනමේ බිසව බවට පත් වූ ට්‍රිලීෂියා ගුණවර්ධන (එවක අබේකෝන්) මහත්මිය මියගිය අවස්ථාවේ ශෝකයට පත් තවත් මනමේ කුමරකු වූ “ගම්පෙරළිය” චිත්‍රපටයේ අනුලා (ට්‍රිලීෂියා) ගේ සුහුරුබඩු (මස්සිනා) පියල් වූ ආචාර්ය හෙන්රි ජයසේන විසින් විරචිත කවියකි මේ.

“ඔබත් ගිය පසු කුමරිය 
ඉතිරි වූ සුවඳක් නැත 
අපේ සිත් තුළ 
ඒ මනමේ පුෂ්පයෙන් 
ඔබත් ගිය පසු කුමරිය 
නැත දෙසවන 
නින්නාද වන්නේ 
මියුරු පදසර 
ඒ සොඳුරු පදසර 
ඒ සොඳුරු අතීතයෙන් 
ඔබ ද ගිය පසු කුමරිය 
නිමාවට අප කවුරුත් 
යන ගමන් මඟ 
නිදන්න කුමරිය සුව සේ 
දිව ගඳඹුන් වසන අසපුවක 
විඩාබර ගමනකින් පසුව”

ආචාර්ය හෙන්රි ජයසේනයන් වරක් මා සමඟ පැවසූ ඓතිහාසික කියුමක් දැන් සිහියට නැඟේ. ඔහු කෙරෙහි මා සිත තුළ පැවැති ගෞරවාදරය සිය දහස් ගුණයෙන් වැඩි වූයේ ඒ නිහතමානී ප්‍රකාශයත් සමඟිනි. මෙරට කලාත්මක නාට්‍ය ධාරාව ස්ථාපිත කළ පුරෝගාමී මහා නාට්‍යවේදීන් පස් දෙනා ලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන හා ගුණසේන ගලප්පත්ති වඩාත් සම්භාවනාවට පාත්‍ර වි සිටිති. මේ ලැයිස්තුව අරභයා වරක් හෙන්රි ජයසේනයෝ මා සමඟ මෙසේ පැවසූහ.

“ලංකාවේ පුරෝගාමී ශ්‍රේෂ්ඨ නාට්‍යවේදීන්ගේ ලැයිස්තුවේ බොහෝ දෙනා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙන් පසුව දෙවැනි ස්ථානය ලබා දෙන්නේ මටයි. නමුත් මට නොවෙයි දෙවැනි ස්ථානය හිමි විය යුත්තේ දයානන්ද ගුණවර්ධනයන්ටයි. මෙරට නාට්‍ය ක්ෂේත්‍රයේ ඔහු කළ තරම් පර්යේෂණ මා කරලා නැහැ.”

දිලිප් කුමාර්, දේව් ආනන්ද් හා රාජ් කපූර් ඉන්දියානු සිනමාවේ මහා නළු ත්‍රිමූර්තිය බවට එකල පත් වූහ. ඉන් රාජ් 1988 දීද, දේව් 2011 දීද ජීවිත සිනමාවෙන් සමුගත්හ. මේ ත්‍රිමුර්තියෙන් අද්‍යතනයෙහි ජීවත්ව සිටිනුයේ 97 හැවිරිදි මහා නළු දිලිප් කුමාර් පමණකි. රාජ් මියගියදා දේව් ආනන්ද් මෙසේ කීවේය. “රාජ් කපූර් මිය ගියේ නැත. තම චිත්‍රපට ඔස්සේ ඔහු අමරණීය වී ඇත. මේ වූ කලී අනෙකකු හා සමාන්තර නොවන අද්විතීය සිනමා දායකත්වයකි. ප්‍රේක්ෂකයන්ගේ හදවත් හී සහ මනස් හී ඔහු සදාතනිකව ජීවමානය.”

මගේ පර්යේෂණවලට අනුව ලාංකේය සිනමාවේ මතු නොව මුළු මහත් ආසියානු සිනමාවේ යථාර්ථවාදී රංගනයේ පුරෝගාමී රූපණවේදිණිය අයිරාංගණී සේරසිංහ මහත්මිය බැව් නොයෙක් තැන් හි මා සඳහන් කොට ඇත. ආයතනික මට්ටමෙන් බ්‍රිිතාන්‍යයේ (The Bristol Old Wick Theatre School) රංගනය හැදෑරූ මෙරට පළමු සිනමා නිළිය ද ඇය වේ. අද 92 හැවිරිදි වියෙහි පසුවන මේ දෙටු, සෙටු නිළි අයිරාංගණිය ලාංකේය සිනමාවේ එදා මෙදා බිහි වූ මහා රූපණවේදිණියන් කිහිිපයෙන් ප්‍රමුඛ නිළියක වන ස්වර්ණා මල්ලවාරච්චි කලාකාරිණියගේ උත්කෘෂ්ට කාර්ය සාධනය මෙසේ විවරණය කළාය.

“ශ්‍රේෂ්ඨ කලාකාරිණියක අනිවාර්යයෙන්ම මහා පරිමානයක මානව හැඟීම් හා අන්තර් සබඳතා අරභයා දෘඪ සංවේදීතාවකින් හා විමර්ශනයකින් සිටිය යුතුය. ස්වර්ණා නිසැකව එබඳු කලාකාරිණියකි. ලාංකේය කලාත්මක සිනමාව දැඩි ඇල්මකින් ඊට ඇය හසු කර ගැනීමට හඹා ගියේ එහෙයිනි. ස්වර්ණා රඟපාන අයුරු දකින දෙස්,විදෙස් සියලු ප්‍රේක්ෂකයෝ භාග්‍යවන්තයෝය.”

ඉතිරි කොටස ලබන සතියේ...

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.