සුනිල් සාන්තට කාන්තාවකට මෙන් ආදරය කළ කාලෝ

සැප්තැම්බර් 12, 2019

“කාලෝ ෆොන්සේකා” යන නම නෑසූ කෙනෙකු වේ නම් ඒ අල්පයකි. මහාචාර්ය කාලෝගේ වෛද්‍ය ක්ෂේත්‍රයේ කළ හපන්කම් ගැන, ඔහු වෛද්‍ය විද්‍යාලයේදී උගන්වා, අද ඉහළම තැන්වල සිටින විශේෂඥ වෛද්‍යවරුන් ගැන මම කතා නොකරමි. වෛද්‍ය සභාවේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාර්යභාරය ගැන ද කතා නොකරමි. අප කතා කරන්නේ අප අතරින් පසුගියදා වෙන් වූ “කාලෝ ෆොන්සේකා” නම් කලාකරුවා, කවියා, ගේය පද රචකයා ගැනය. ඒ සොඳුරු මිනිසා ගැනය.

පාසල් යන කාලයේ කාලෝට මහා ගාන්ධර්ව සුනිල් සාන්තව දැක ගැනීම සහ දැන හැඳින ගැනීමේ වාසනාව උදා වීම ගැන ඔහු මෙසේ අපට කියා තිබුණි.

“මා එවකට ඉගැනුම ලැබුවේ මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයේයි. ඒ කාලයේ සිංහල සංගීතය විෂයයක් වශයෙන් පාසලේ උගන්වනු ලැබුවේ නැහැ. සිංහල සංගීත ලෝලී සුළු පිරිසක් සඳහා නිල නොවන සංගීත පාඩම් මාලාවක් සංවිධානය කරනු ලැබුවා. එහි පුරෝගාමියා වූයේ අපේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය සහෝදරයෙක් වූ රවිලාල් විලධර්ම (පසු කලෙක විශ්වවිද්‍යාලයක හින්දි භාෂාව පිළිබඳ කථිකාචාර්යවරයකු වූ ඔහු සම්මානනීය රංගවේදිනී යශෝධා විමලධර්මගේ පියාය) අපේ සංගීත ගුරුවරයා වීමට ඔහු ආරාධනා කොට තිබුණේ සුනිල් සාන්තයන්ටය. මේ 1948 වසරය.”

සුනිලුන් පළමුවර දුටු දිනය ගලේ කෙටූ අකුරක් සේ ඔහුගේ මතකයේ සටහන් වී තිබේ. ඔහු පාසලට එනතුරු කාලෝ ඇතුළු සංගීතයට ළැදි සිසුහු නොඉවසිල්ලෙන් බලා සිටියෝය. සංගීත පාඩම පටන් ගැනීමට නියමිතව තිබී ඇත්තේ සවස හතරටය. ඊට ටික වේලාවකට පෙර ඛ 4501 අංකය දරන රතු පාට ‘බේබි ඔස්ටින්’ රිය පාසල් භූමියට පිවිස සංගීත පාඩම පැවැත්වෙන පන්ති කාමරය අසලට ඇදී ආවේය. ඉන් පැමිණි පුද්ගලයා ගැන කලෝ මතක් කරන්නේ මෙසේය.

“අප කිහිප දෙනෙක් වාහනය වෙතට වහා දිව ගියා. මගේ නෙත් අදහා ගන්නට බැරි වුණා. සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසී සිටි ආරෝහ පරිණාහයෙන් යුත් පුරුෂ රත්නයක් වාහනයෙන් බැස අප දෙස බලා මඳ සිනාවක් පෑවා. ඒ සිනාවෙන්, ඔහුගේ රන්වන් පැහැයෙන් මනා සේ පීරා තිබූ ලස්සන කෙස් වැටියෙන් දීප්තිමත් නෙත් සඟලින් මා වශී වන්නට ඇතැයි අද මම සිතනවා. මගේ ඇස් නිලංකාර වුණා මතකයි. මේ මෙලොව වැසියකු ද, නොඑසේ නම් සුර ලොවින් බැස ආ ග්‍රීක දෙවියකු ද යන විචිකිච්ඡාව මා සිත තුළ ජනිත වුණා. එදා මෙදා මෙලොව මා දැක තිබෙන ගැහැනු පිරිමි කිසිවකුගේ රූප සපුවෙන් මම ඒ ලෙස මෝහනයට පත් වූ බවක් මට මතක නැහැ. මිහි මත වෙසෙන ඕනෑම කාන්තාවක් ඔහුට වශී වේය කියා මට සිතුණා. අනේ මටත් සුනිල් සාන්ත වගේ වෙන්නට හැකි නම් සිතිවිල්ල මට ඉබේම පහළ වුණා. අන් කවරකු පිළිබඳ හෝ මා ම නොවී, ඒ තැනැත්තා වූයේ නම් කෙතරම් යෙහෙකිදැයි” කියා මට කිසි විටෙක සිතී නැහැ. මම ඒවේලේ ඒ පුද්ගලයාට නම් සැබවින්ම ඊර්ෂ්‍යා කළා. එකල මම සුනිලුන්ගේ “ඕලු පිපීලා” – “බෝවිටියා දං” – “මෙවන් පිටිසරේ” – “මේ දුගී පැලේ” වැනි ගී ගයමින් අපි ආස්වාදයෙන් කුල්මත්ව සිටියා.”

සුනිලුන් ගුවන් විදුලියෙන් ගයන “සුවඳ රෝස මල් නෙළා - මාලයක් ගොතා” ගීය කොයි මොහොතක ඇසෝදෝයි සිතා නිවසින් අවසරයක් නොගෙන වෙනත් නිවසකට ගොස් කාලෝ ගුටි කෑ හැටි අපට විස්තර කර ඇත.

“කාලෝට සුනිල් සාන්ති පිස්සුව හැදිලා” කියා සීදුවේ කුඩම්මා ඔහුගේ අම්මාට වාර්තා කොට තිබුණාලු.

සාන්ත ජෝසප් විද්‍යාලයේ 1949 වසරේ පෙළ පොතක් ලෙස පන්තියේ සිංහල විෂයයට නියමිත ජී. බී. සේනානායකගේ “පලිගනීම” කෙටි කතා පොත කාලෝට නියමිතව තිබුණි. මේ පොත මාස තුනකින් රජය විසින් තහනම් කරනු ලැබීය. තහනම් කළ නිසාම ඉබේම කාලෝට එහි නිසඳැස් කට පාඩම් විය. එහි එන ‘වරද’ නම් නිර්මාණය සැරයක් දෙකක් යන කොට ඉබේම කටපාඩම් විය.

ජී. බී. සේනානායකගේ නිසඳැස්වලට එතරම් ආදරය කළ කාලෝ ඔහු ජීවමානව දැක නොතිබිණි. 1985 මේ ශිෂ්‍යයා ලංකාවේ ප්‍රකට වෛද්‍යවරයකු මෙන්ම මහාචර්යවරයකු ලෙස සිටියදී හදිසියකට මීගමුවේ දිසානායක පුද්ගලික රෝහලට යාමට සිදු විය. ඒ රෝහල අයිති දොස්තර ලීනස් දිසානායක මහතාටය. “සත් සමුදුර” චිත්‍රපටය නිෂ්පාදනය කළ ඔහු 1968 හොඳම චිත්‍රපටයට හිමි සරසවිය සම්මානය දිනුවේය. දිසානායක රෝහලේ සිටි තම ඥාතියකු බැලීමට ගිය කාලෝ මහාචාර්යවරයාට දැනගන්ට ලැබුණේ ඥාතියා සිටි කාමරයට යාබද කාමරයේ ජී. බී. සේනානායක ගිලන්ව සිටින බවය. අවශ්‍ය ඥාතීන්ගෙන් අවසර ලබා ගත් ඔහු තම ප්‍රියතම ලේඛකයා බැලීමට ගියේය. ඥාති දියණියක් ජී. බී. ගේ කනට කොඳුරා “දොස්තර කාලෝ ෆොන්සේකා ඇවිත් ඉන්නවා”යි කීවාය. ඔහුගේ මුහුණේ ප්‍රබෝධවත් ගතියක් පෙනුණි. ඔහුගේ සුරත ගෙන නාඩි අල්ලමින් මෙසේ කියා ඇත.

“මිස්ටර් සේනානායක ඔබතුමාගේ ‘පලිගැනීම’ 1949 දී පෙළ පොතක් වශයෙන් අපි පන්තියේදී කියෙව්වා. එය තව තවත් කියෙව්වා. ඒ පොතේ තියෙන ‘වරද’ කියන කවි පන්තිය සැරයක් දෙකක් කියවන කොට මට ඉබේටම කට පාඩම් වුණා. මගේ හිතේ ඒක තාමත් මතකයි. මම ඒක කියන්නද,”

ජී. බී. හිස සැලීමෙන් අනුමත කළ පසු කාලෝ ඒ කවිය කියා ඇත.

ස්වාමීනි

නැඟී සිටින්න

මගේ වරදට සමාවෙන්න ස්වාමීනි

ඔය මගේ නොව

සිතෙහි වරදකි

නැත ස්වාමීනි

සිතෙහි නොව

ඉඳුරන්ගේ වරදකි

මේ කවිය තාලයකට කාලෝ කියා අවසන් කරත්ම ජී. බී. එයට ප්‍රතිචාර දැක් වූ අයුරු මෙසේ අපට විස්තර කළේ මා විසින් 2006 වසරේ ලියන ලද ‘නොව පැරණිය’ ලිපි කෘතියේ දොරට වැඩීමේ උලෙළදීය.

“මගේ කවි ගායනය අසා සිටි ජී. බී. ගේ දකුණු අතේ මැණික් කටු පෙදෙසේ නාඩි අල්ලමින් තිබූ මගේ අතට ඔහුගේ දෑතේ දඩි ග්‍රහණයට හසු කරමින් “ඩොක්ටර් මම කවදාවත් හිතුවේ නැහැ ඔයා වගේ දොස්තර කෙනෙකුට මගේ නිර්මාණයක් ඔහොම කට පාඩමින් කියන්න පුළුවන් වෙයි කියලා. මම හිතනවා දැන් මම මැරුණත් කමක් නෑ කියලා” වැඩි දවසක් ගෙවී යාමට පෙර ඔහු මිය ගියා.”

1933 මාර්තු 04 වැනිදා දිවුලපිටියේ බල්ලපාන ගම්මානයේ උපත ලැබූ කාලෝ කැෂ්මියර් ෆොන්සේකා උපත ලබන්නේ වෛද්‍ය ජෝර්ජ් ෆොන්සේකා සහ ආරච්චිගේ ඇලිස් ප්‍රනාන්දු මහත්මියගේ වැඩිමහලු පුත්‍රයා ලෙසය.

මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයේත්, මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ වෛද්‍ය විද්‍යාලයෙත් එංගලන්තයේ එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධි ලබා මහාචාර්යවරයකු වී මෙරට විශේෂඥ වෛද්‍යවරුන් දහසක් පමණ බිහි කිරීමට ගුරුහරුකම් දුන්නේය. මානව හිතවාදී, වාමවාදී, සමාජවාදී චරිතයකට හිමිකම් කියන මහාචාර්ය කාලෝ, හැකියාව ඇති තරුණ පරපුරට පිටුපස සිට පිහියෙන් අනින්නේ නැති, කුහක, ද්වේෂයෙන් තොර, පියකු මෙන් නිරතුරුව ඒ සිසුන්ට අත හිත දුන්නේය. ඔවුන්ගේ හපන්කම් දැක නිහතමානී ආඩම්බරයෙන් සතුටු විය.

මහාචාර්ය කාලෝ තුළ තිබුණේ කලාකාමී හදවතකි. ප්‍රතිභාපූර්ණ කවියෙකි. ගීත රචකයෙකි. ඔහු රචනා කළ ඔහු විසින්ම තනු නිර්මාණ රැසක් ගීත සාහිත්‍යයට එක් කළේය. ඒ අතර මේ නන්දා මාලිනී සහ රෝහණ වීරසිංහ ගැයූ මේ ගීතය හැම දුවකටම පොදු තේමාවය. සංගීත සංයෝජනය රෝහණගේමය.

“රත්තරං දුවේ අපේ රත්තරන් දුවේ

ඔබයි දිවිය අර්ථවත් කළේ

ගිය දා පටන් ඉගිළ කුරුලු කූඩුවෙන්

සන්තෝෂයක් නෑ සිතේ

 

සන්තෝෂයක් නෑ සිතේ

සන්තෝෂයක් නෑ සිතේ

ගිය දා පටන් ඉඟිළ කුරුලු කූඩුවෙන්

සන්තෝෂයක් නෑ සිතේ”

සුනිල් එදිරිසිංහ ගායනා කරන මේ ගීතයේත් ගේය පද මහාචාර්ය කාලෝ ගෙනි.

“ රුදුරු තුරු වදුලේ

තියුණු කටු අතරේ

දිලෙන සියුමැළියේ

ඔබයි ජීවන සුවඳ දෙන්නේ

රෝස කුසුම මගේ”

මහාචාර්ය කලෝ විසින් රචිත ගීත අතර “සම්බුද්ධ රාජා, (ගායනය – පණ්ඩිත් අමරදේව සහ පිරිස - සංගීත සංයෝජනය රෝහණ) “පදාර්ථයට පණ කවා” (ගායනය – එඩ්වඩ් ජයකොඩි - සංගීත සංයෝජනය තිස්සසිරි පෙරේරා) “කොයිද කියා මන්ද කියා” (ගායනය – අමරසිරි පීරිස් - සංගීත සංයෝජනය රංජිත් ප්‍රේමවීර) “ රන් මෙළේ - එළියෙන්” (ගායනය හා සංගීත සංයෝජනය – එඩ්වඩ් ජයකොඩි) “ආයුබෝවන් – අයුබෝවන් දිනෙහි ඔබ දිනේ” (ගායනය හා සංගීත සංයෝජනය - රෝහණ වීරසිංහ) “ජිවන ගමනේ සලකුණෙකි” (ගායනය ඉන්ද්‍රාණි පෙරේරා - සංගීත සංයෝජනය රෝහණ) “සැනසුම සෙව්වා” (ගායනය – හිරන්ත ද සිල්වා - සංගීත සංයෝජනය - රෝහණ) “සරසවියෙන් ඉපැරණි කැලණියේ” (ගායනය කැලණිය සරසවියේ වෛද්‍ය පීඨයේ සිසු පිරිසක් - සංගීත සංයෝජනය – ප්‍රදීප් රත්නායක) “සතුට සොයා මා” (ගායනය – ලක්ෂ්මන් විජේසේකර - සංගීත සංයෝජනය – ප්‍රදීප් රත්නායක) “යන්න ගියාවේ“ (ගායනය – අමරසිරි පීරිස් - සංගීත සංයෝජනය - රෝහණ) ‘පෙම් සිනා සුන් වුණා” (ගායනය හා සංගීත සංයෝජනය – වික්ටර් රත්නායක) “ජේසු උපන් දා” (ගායනය සහෝදර ඇන්ටන් චාල්ස් සහ පිරිස - සංගීත සංයෝජනය - රෝහණ) “ධනයට ඇයි දැඩි ආශා” (ගායනය – පණ්ඩිත් අමරදේව - සංගීත සංයෝජනය – රෝහණ) “ඔබ පහදාලා දුන් යෝධ දර්ශනේ” (ගායනය – රංජිත් ප්‍රේමවීර - සහෝදර ඇන්ටන් චාල්ස් - සංගීත සංයෝජනය – රංජිත් ප්‍රේමවීර) “චිරනි චිරනි දුවේ” (ගායනය - කෝලිත භානු දිසානායක හා දමයන්ති ජයසූරිය - සංගීත සංයෝජනය - රෝහණ වීරසිංහ).

කාලෝ මහාචාර්යතුමා චිත්‍රපට ගීත රචනයට පිවිසෙන්නේ තිස්ස අබේසේකරගේ “විරාගය” චිත්‍රපටයේ අරවින්දගේ (සනත් ගුණතිලක) දේහය චිතකයේ දැල්වෙන අවස්ථාවේ පසුබිමින් ඇසෙන මේ ගීතයෙනි. ගීතය ගයන්නේ නන්දා මාලිනියයි.

“පැතුම් පතන්නේ නෑ

පෙරුම් පුරන්නේ නෑ

ඇලුම් කරන්නේ නෑ යළි

කිසිදා

නිසසල සුවය පතා”

කාලෝ ෆොන්සේකා නම් මානව හිතවාදියා ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකි. මීගමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර හෙක්ටර් ප්‍රනාන්දුගේ ජයග්‍රහණය පතා කැප විය. තම සොහොයුරිය වූ බියට්‍රිස් කුමාරතුංගගේ පුතුන් දෙදෙනා වූ සිඩ්නි කුමාරතුංගත් (හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංගගේ පියා) හා ජනප්‍රිය චිත්‍රපට නළු විජය කුමාරතුංගත් සමසමාජ පක්ෂයේ වැඩ කටයුතුවලට සම්බන්ධ කර ගත්තේය. පක්ෂයේ නිල පුවත්පත වූ ‘සමසමාජය’ පත්‍රය බයිසිකල්වල යමින් අලෙවි කිරීමට සිඩ්නි හා විජය (බෑණාවරු දෙදෙනා) සම්බන්ධ කර ගත්තේ ඔවුන් පාසල් සිසුන්ව සිටි කාලයේ සිටය. විජයට දේශපාලන උණ බෝ කළේ ද කාලෝ මාමා විසිනි. කාලෝ ගේ ඥාති පුත්‍ර රන්ජන් රාමනායක අද රාජ්‍ය ඇමැතිවරයෙකි.

කාලෝ විසින් පවත්වන ලද කතා ඇතුළත් “කාලෝචිත ලිපි” කෘතිය 2003 දී ප්‍රකාශයට පත් කෙරිණ. කාලේ ෆොන්සේකාගේ අපදානය ගාමිණී පෙරේරා විසින් “කාලෝ : සම්මතයට එරෙහි වූ මිනිසා” යන කෘතිය සූරිය ප්‍රකාශනයක් ලෙස නිකුත් කර ඇත.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා තම ගෝලයන් වූ විශේෂඥ වෛද්‍යවරුන්ට අසීමිත ලෙස ආදරය කළේය. වරක් පුස්තකාල මණ්ඩලයේදී විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතාගේ ‘වෙද රුවන් වත’ නූතන වෛද්‍යවරයකුගේ අතීතාවර්ජන හා ප්‍රත්‍යවේෂණ ඇතුළත් සංවාදාත්මක අපදානය එනම් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ලියූ ග්‍රන්ථය 2016 අප්‍රේල් 06 වෙනිදා දොරට වැඩියේය. පොත ප්‍රකාශයට පත් කළ දයාවංශ ජයකොඩි හා මහාචාර්ය සුනන්ද මේ උත්සවය මෙහෙයවන ලෙස මට ඇරැයුම් කළහ. මේ උත්සවයේදී එයට සහභාගී වී තම ගෝලයාට සුබ පැතීමට මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද පැමිණ සිටියේය. රුවන් ඒකනායක විශේෂඥ වෛද්‍යවරයා ගැන සිතන්නේ කුමක්දැයි මම සභා ගර්භයේ සිටි එතුමාගෙන් ප්‍රශ්නයක් ඇසීමි. එයට කාලෝ මහාචාර්යවරයා දුන් පිළිතුර කාගේත් සංවේගයට මෙන්ම ප්‍රසාදයටත් පත්විය.

“රුවන් ඒකනායක විශේෂඥ වෛද්‍යාචාර්ය තුමා විශ්ව කර්මයෙක්. මේ මගේ කීර්තිමත් ශිෂ්‍යයෙක් වන වෛද්‍යතුමා මේ ළඟදී මගේ ජීවිතය බේර ගත්තා. මට තේරෙන්නේ නෑ ඔහුට කෙසේ කෘතඥතාව පුදම්ද”කියා. කඳුළු පිරි දෙනෙතින් කාලෝ මහාචාර්යතුමා කීවේ හැඟීම්බරවය.

වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කාලෝ සම්මතයට එරෙහි වූ මිනිසෙකි. වරෙක 1970 දී පමණ (තරුණ කාලේ) ඔහු දේවාල කපුවන්ට අභියෝග කරමින් ඌරු මස් කා ගිනි පෑගීමට ඉදිරිපත් විය. සමසමාජය වෙනුවෙන් සටන් කළ අවංක මානව හිතවාදියකු වූ එතුමා සුදනන්ට මෙන්ම දුදනන්ට ද සම මෙත් දැක් වීය. දක්ෂ සිසුන්ට වින කැටීමෙන් කාලකණ්ණි රසයක් ලබන ඇතැම් මහාචාර්යවරුන්ට හා ඇතැම් පීඨාධිපතිවරුන්ට මේ මහාචාර්යවරයාගෙන් ඉගෙනීමට බොහෝ දේ තිබේ. එනම් මනුස්සකමය.

තම බෑනණුවන් වූ විජය කුමාරතුංගගේ ආදාහන උලෙළ දා නිදහස් චතුරශ්‍රයේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා විජය එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් දිවි පිදූ සැබෑ සටන්කාමියෙක් බව පැවසීය.

සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේවට මෙන්ම ජෝතිපාලට හා මිල්ටන් පෙරේරාට ද කාලෝ ඇලුම් කළේය. ජෝතිපාලයන් ගැයූ ‘දුරකතනයකින් මම ඔබ අමතමි හමු විය නොහැකි නිසා’ හා මිල්ටන් පෙරේරා ගැයූ ‘සඳුන් ගසක එති සමන් ලතාවක මල් පර වි යනවා’ යන ගීත දෙක තම රථයේ යන විට නිරතුරුව ගැයු බව කාලෝගේ අපදාන කෘතිය ලියූ ගාමිණී පෙරේරා ලියා තිබුණි.

මේ මහා කලාකරුවා ඉකුත් සතියේ මිය ගියේ තම පවුලේ අයට පමණක් සීමා වූ අවසන් ගමනකිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.