කොළඹට අහිමි යාපනයේ දී දුටු විශිෂ්ට සිනමා සටහන්

සැප්තැම්බර් 19, 2019

පසුගිය වසර කිහිපයේම සැප්තැම්බර් මාසයේ මුල් සතිය මා වෙන් කළේ යාපනයේ පැවැත්වෙන අන්තර් ජාතික සිනමා උලෙළට සහභාගි වන්නටය. අඛණ්ඩව මෙම සිනමා උලෙළ පැවැත්වීමේ ගෞරවය නිතැතින්ම හිමිවනුයේ එක් කාන්තාවකටය. ඇය අනෝමා රාජකරුණාය. අනෝමා එමඟින් ලෝක සිනමාව හා අපේ සිනමාව පමණක් නොව මෙරට දේශපාලකයන්ට කළ නොහැකි උතුරු දකුණු සබැඳීයාවක් ද ගොඩ නංවාලන්නීය.

අහසේ ඇති තාරකා කොපමණ ද? අප නොදන්නා කුඩා දැරියක සිය පියාණන්ගෙන් විමසන්නීය. එය අප සිත් බැඳ ගනී. දැරිය පිළිබඳ රුවක් සිතෙහි මැවෙයි. මේ දියණිය හා පියා කවුදැයි අප දන්නේ නැත. අහස පුරා අතුළ තරු කැට දිලිසෙනු පෙනෙන්නේ කළු සුදු පැහැයෙනි. අහස සැරි සැරා බිමට එන කැමරාව හරහා අප දකිනුයේ පෙර ඇසුණු දැරිය හා පියායැයි සිතිය හැකි යුවළකි. ඔවුන් වයසින් මුහුකුරා ගිය යුවළකි. එහෙත් අර සුරතල් කතා පැවසූ දියනිය සහ එයට පිළිතුරු දුන් පියාණන් නොවේ. කල්කටාවේ වීදි සරමින් ඇවිද යන වියපත් මිනිසෙක් සහ තරුණ කාන්තාවකි. නිරන්තරයෙන් එකිනෙකා පරයමින් හඹායන රිය පෙළ අතරින් මගී පාලම් මතින් ඔවුහු ඇවිද යන ගමන් සිය ජීවිතය බෙදා ගනිති. ගැහැනිය ට අනතුරුව හමුවන්නේ තමා මෙන්ම තනිව නිවෙසේ වෙසෙන සොහොයුරියයි. මේ ජීවිතය ඒකාකාරිය. ඔවුන් වෙසනුයේ කුඩා නිවහනකය. 

වර්ණවත් සිනමාව අතර ජීවිතය බෙදා ගන්නට හොඳ කළු සුදු හොඳයැයි සිනමාකරු වටහා ගන්නට ඇත. ඔහු නමින් අමිතාබ චැටර්ජිය. කල්කටාවේ ජීවත් වන මේ තරුණ සිනමාකරුට සිය චිත්‍රපටය තනන්නට යහමට මුදල් තිබුණේ නැත. උපකරණ තිබුණේ ද නැත. ලෝක සිනමාවේ පුරෝගාමී සිනමාකරුවකු වන ඩී.ඩබ්ලිව්.ග්‍රිෆිත් සිනමා සමාගම් ආධිපත්‍යයෙන් බැට කෑ පසු පැවසුවේ කවදාක හෝ දවසක සිනමාව තරුණ තරුණියන් අත පෑන් පැන්සල් බවට පත්විය යුතු බවය. එළැඹ ඇත්තේ එම යුගයයි. මහා සිනමාවට වෙනම වැඩෙන්නට ඉඩ හැර කැමරාවෙන් කවි ලියන්නට හැඟිම් පළ කරන්නට තරුණ තරුණියන් සැරසීම වර්තමාන ලෝක විලාසිතාවේ කොටසකි. ඔවුන්ට සිනමා ශලා මත යැපෙන්නට අවශ්‍ය නැත ලෝකය පුළුල්ය. අමිතාබගේ විශිෂ්ට චිත්‍රපටය එයට හොඳම සාක්ෂියකි. මනෝහර් ඇන්ඩ් අයි ඔහුගේ සිනමා නිර්මාණයයි. එහි වියදම ඉන්දියානු රුපියල් ලක්ෂ තුනකි. ලංකාවේ හැටියට නම් ලක්ෂ හයකට ආසන්නය. ඔහුගේ කැමරාව ඇපල් අයි ෆෝනයකි. (මේ දවස්වල අපේ විශ්වනාත් බුද්ධික කීර්තිසේනයන් ද සිය සිනමා කෘතිය නිර්මාණය කරනුයේ එමගිනි.) දුරකතනයක වුව කැමරාවක් ඇත්නම් එයට කතා කරන්නට හැකි නම් එය කතා කියා දෙනු ඇත. ජීවිතය මේ යැයි පෙන්වා දෙනු ඇත. මේ යාපනය උලෙළේ පැවැති විශිෂ්ට සිනමා කෘතියකි. එය උලෙළේ හොඳම චිත්‍රපටය අතරට නාම යෝජනා දිනූ සිනමා කෘතියකි. අප එය දකිනුයේ යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ දීය.

පසුගිය වසර කිහිපයේම සැප්තැම්බර් මාසයේ මුල් සතිය මා වෙන් කළේ යාපනයේ පැවැත්වෙන අන්තර් ජාතික සිනමා උලෙළට සහභාගි වන්නටය. අඛණ්ඩව මෙම සිනමා උලෙළ පැවැත්වීමේ ගෞරවය නිතැතින්ම හිමිවනුයේ එක් කාන්තාවකටය. ඇය අනෝමා රාජකරුණාය. අනෝමා එමඟින් ලෝක සිනමාව හා අපේ සිනමාව පමණක් නොව මෙරට දේශපාලකයන්ට කළ නොහැකි උතුරු දකුණු සබැඳීයාවක් ද ගොඩ නංවාලන්නීය. මෙහිදී ඇජෙන්ඩා 14, සිලෝන් තියටර්ස් සහ යාපනය විශ්ව විද්‍යාලය ද මේ සද් කාර්යයට දායක වෙති. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තව සහ රජයේ චිත්‍රපට අංශය ද එයට දායක වන වෙනත් ආයතන අතර ඇත. පසුගිය වසර කිහිපය මුළුල්ලේ සරසවිය මෙන්ම තවත් මාධ්‍ය සගයන් ද මෙහි වටිනාකම හඳුනා ගෙන කොන්දේසි විරහිතව එයට සහාය දුන්නේය. ඒ මෙහි ඇති ජාතික වටිනාකම හඳුනන හෙයින්ය.

යාපනය උලෙළේ චිත්‍රපට නැරඹීමට සහ එහි කෙටි චිත්‍රපට උලෙළට හෝ වෙනයම් අංශයකින් හෝ දායක වන හිසින් එහි යන තරුණ තරුණියන් සංඛ්‍යාත්මකව ඉමහත්ය. ආසියානු කලාපයේ බොහෝ රටවල් හා සාපේක්ෂව ගත් කල ජාත්‍යන්තර සිනමා උත්සවයක් පැවැත්වීමට හැකි හොඳම නගරයක් වනුයේ කොළඹ නගරයයි. අඩුවක් නැති හොඳ සිනමා ශාලාවන් ද සාමකාමී වාතාවරණය ද සංචාරක ආකර්ෂණය ද ඇති කොළඹ නගරයේ අන්තර් ජාතික සිනමා උත්සවයක් පැවැත්වීමේ හැකියාව ඉහළය. සිනමාව සම්බන්ධ ඊනියා බලධාරිහු ද ජොබ් හා දේශපාලන පත්වීම් නිසා චිත්‍රපට සංස්ථාවට රිංගා ගත් එහි වරින්වර මාරුවන පාලකයන්ට ද මෙහි වටිනාකමක් නැත. දෙවසරක කාලයක් පමණක් චිත්‍රපට උලෙළක් පැවැත්වීමේ වගකීම කරට ගත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ පුටු මාරුවත් සමග එහි පිරිස ද මේ කටයුත්තෙන් ලිස්සා ගියහ. නිෂ්පාදකවරුන් ඇතුළු මෙකී නොකී චිත්‍රපට කර්මාන්තයේ නියැළී වෘත්තිකයන්ගෙන් සමන්විත හැට හුටාහමාරක් පමණ වන සිනමා වෘත්තිය සංගම් පමණක් නොව රාජ්‍ය පාලකයෝ ද මේ වගකීම පැහැර හරිති. මෙරට සිනමාව රාජ්‍ය බලධරීන්ට යටත් වූ පසු ලංකික සිනමා ප්‍රේක්ෂකයන්ගේ තුට්ටු දෙකට විදීම විනා ඔවුන් වෙනුවෙන් තඹ දොයිතුවක් හෝ නොකළබවට මා චෝදනා කරන එක් හේතුවක් වනුයේ එයයි.

යාපනය සිනමා උලෙළ යනු ධනවත් සිනමා උලෙළක් නොවේ. එය සැබැවින්ම මිනිසුන් කිහිප දෙනෙකුගේ අවංක උත්සාහයක ප්‍රතිඵලයක් පමණකි. ඒ උත්සාහය ධනවත්කම අබිබවා යන්නකි.

මෙවර අපේ චිත්‍රපට නැරඹීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ගමන් පහසුව සහ නවාතැන් පහසුව ගැන ද වග බලා ගත්තේය. එහි අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා මේ කාර්යහෙි වටිනාකම හඳුනා සිටීම පැසසිය යුතුය. වෙනදා මෙන්ම මෙවර ද එහි අපේ නඩේගුරා වූයේ රජයේ චිත්‍රපට අංශයේ සුගත් බණ්ඩාරය. ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ අවසාන සිනමා නිර්මාණ වූ ස්වරූප සහ සක්කාරං යන චිත්‍රපට යුගළෙහිම සහාය අධ්‍යක්ෂ වූයේ සුගත් බණ්ඩාරය. එමෙන්ම රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධාන කැමරා අධ්‍යක්ෂ කුමුදු ලාල් වල්පොළ ද ගියවර මෙන්ම එම කණ්ඩායම නියෝජනය කළේය. වල්පොල මෙන්ම සුගත් ද රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට සහ චිත්‍රපට අංශයේ එවකට අධ්‍යක්ෂ දයාරත්න රටගෙදර යන මහත්වරන්ගේ නියමය පරිදි මා වාර්තා චිත්‍රපට නිර්මාණය කරද්දී එම නිර්මාණ කිහිපයකටම දායක වූවන්ය. වර්තමානයේ රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂ අශෝක ලාල් සිගේරා ද කළුවැව මහතා සමග මෙවර සිනමා උලෙළේ අවසාන දවසේ එයට සහභාගි විය. සිගේරා එකල එහි ප්‍රධාන කැමරා අධ්‍යක්ෂ විය. යාපනය උලෙළේ දී රමේෂ් උවයිස් ,සමන්ත යහම්පත් ඇතුළු මාධ්‍යෙව්දින් කිහිප දෙනෙකු සම්මානයට පාත්‍රවද්දී එම සම්මාන පිරිනැමුවේ කළුවැව මහතා අතිනි. ප්‍රවීණ සිනමා විචාරක ජ්‍යෙෂඨ මාධ්‍යෙව්දි ගුණසිරි සිල්වා , සමන්ත යහම්පත්. රමේෂ් උවයිස්, රොඩ්නි විදානපතිරණ මෙන්ම ෂර්ලි සමරසිංහ ද අපේ නඩයේ වූහ. සරසවියේ තිලක් පෙරේරා අපේ ඡායාරූප ශිල්පියාය.

මෙවර සිනමා උලෙළ තරගකාරි අංශය නවක සිනමාකරුවකුගේ සිනමා කෘතියක් සදහා වෙන්වූ අතර එයට අමතරව දේශීය සහ විදේශීය කෙටි චිත්‍රපට උදෙසා ද තරගකාරි අංශයක් විය. ඒ සදහා චිත්‍රපට 24 ක් තරග වැදිණ. විදෙස් කෙටි චිත්‍රපට අතර මලයාසියාව, බංගලාදේශය, ඉන්දියාව, ඉරානය, සිංගප්පුරුව, කැනඩාව, ඊජිප්තුව, ආදි රටවලින් චිත්‍රපට ඉදිරිපත් කර තිබිණ. දේශීය කෙටි චිත්‍රපටකරුවන් වුයේ ඩිමොන් ජෝන්, රන්දි පවිත්‍රා කළුආරච්චි, චතුර ප්‍රනාන්දු. මහසෙන් කලහේ, රාහුල ජයසේකර, භවනීතා ලෝගනාදන්, අයේෂා සුරවීර, චන්දන ප්‍රසන්න. දිනෝස්වරන් ආර්, සාසි බාලසිංහම්, කැළුම් කළුහැන්නැදිගේ, හා වනිතා සේනාධිරාජායි.

සිනමා උලෙළේ මෙවර ඇස යොමු වූ දේශය බ්‍රසීලයයි. ලතින් අමෙරිකානු රටක සිනමා දැක්මක් මෙරට උතුරු අර්ධද්වීපයේ දී පැවැත්වූ මුල්ම අවස්ථාව මෙයයි. මෙවර ප්‍රත්‍යාවලෝකන දැක්ම පැවැත්වූයේ සිනමාවේදී ප්‍රසන්න විතානගේ වෙනුවෙනි. තරුණ සිනමාකරු අමිතාබ ප්‍රසන්න විතානගේ හමුවී පැවසුවේ තම සිනමා ආභාසය ලද්දේ ප්‍රසන්නගේ සිනමාවෙන් බවය. ඔහු ප්‍රසන්නගේ සෑම චිත්‍රපටයක්ම නරඹා තිබිණ. පසුව ප්‍රසන්න මනෝහර් ඇන්ඩ් අයි සිනමා කෘතිය අගය කරනු ලැබීම සිනමාකරුවා දුටුවේ තමා ලත් අන්තර්ජාතික සම්මානයක් හැටියටය. සිනමා උලෙලේදී යාවජිව සම්මානය ස්වර්ණා මල්ලවාරච්චිට හා ඉන්දිය සිනමා විචාරක වී.කේ.ජෝශප් ට පිරිනැමිණ. ජෝශප් මෙවර සිනමා උලෙළේ වෘත්තාන්ත අංශයේ විනිශ්චය මණ්ඩල සාමාජිකයකු ද විය. එහි සභාපති පදවිය මහාචාර්ය නිලූෆර් ද මැල් විසින් හොබ වන ලද අතර ගයාත්‍රි දිවාකලාලා එහි අනිත් සාමාජිකාව විය. කෙටි චිත්‍රපට විනිශ්චය මණ්ඩලයේ සභාපති පදවිය බ්‍රිතාන්‍ය තිර රචිකා හෙලන් බ්ලේක්මන් හෙබ වූ අතර සිනමාවේදි අශෝක හඳගම හා විචාරක රොබට් කෲස් සෙසු සාමාජිකයන් විය .

මෙම සිනමා උලෙළේ දී මගේ අවධානයට පාත්‍රවූයේ මැජස්ටික් සිනමා සංකීර්ණයේ ප්‍රදර්ශිත චිත්‍රපට පමණකි. යාපන විශ්වවිද්‍යාලයේ පැවැති චිත්‍රපට දැක්මට බ්‍රසීල චිත්‍රපට මෙන්ම අපේ කැපී පෙනෙන නළුවකු වූ හා සිනමාකරුවකු වන්නට හොඳටම ඉඩ තිබිය දී මෙරටින් පලා ගිය ලින්ටන් සේමගේ නිර්මාණය කළ යූ නමැති අලුත්ම චිත්‍රපටය නැරඹීමට පවා මා තුළ උනන්දුවක් නොවුණේ වර්තමාන සිනමා තාක්ෂණය සමග එහි චිත්‍රපට නැරඹීම දුෂ්කර ව්‍යායාමයක් ලෙස අත්දුටු හෙයින්ය. කොහොමටත් කලක් මෙරට වඩාත්ම බලවත් සිනමා ප්‍රේක්ෂක සමූහයක් ජීවත් වූ යාපනයේ වර්තමානයට ගැලපෙන සිනමාහලකට ඇත්තේ කාගිල්ස් සංකීර්ණයේ සිනමා ශාලා ත්‍රිත්වය පමණකි. හැමවිටම ජනයාගෙන් පිරී පවතින සිනමා සංකීර්ණයේ සිනමාහලක් සම්පූර්ණ සතියක් නොමිලයේම වෙන් කර දිමෙන් හා වෙනත් පහසුකම් සැලසීමෙන් මෙරට සිනමාවේ පුරෝගාමී සමාගමක් වන සිලෝන් තියටර්ස් සමාගම කළ සේවය අපගේ අගය කිරීමට හේතු වෙයි. එමෙන්ම මෙහි හොඳම දේශීය කෙටි චිත්‍රපටය වෙනුවෙන් සම්මානයක් හා මුදලින් රුපියල් ලක්ෂයක තෑග්ගක් ද ඔවුහු පිරි නමති. මෙවර එම සම්මානය පිරි නැමුනේ භවනීතා ලෝගනාදන් ගේ ජෙනරේශන් චිත්‍රපටයටය.

පසුගිය සාක් උලෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් නේපාල චිත්‍රපටය වූ බුල් බුල් මෙවර යාපනය සිනමා උලෙළේ ආකර්ෂණීය සිනමා කෘතියක් විය. නේපාලයේ ඇති ත්‍රිවිලර් ප්‍රවාහන සේවයක රියැදුරෙක් ලෙස සේවය කරන යුවතියක් වටා ගෙතුණ එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ බිනෝද් පවුධන්ය. තුරුණු වයසේ දී ම විවාහ වූ ඇය එක් දරු මවක් වන්නීය. ඇය ජීවත්වනුයේ අංශ භාග රෝගය වැළඳුණු මාමණ්ඩිය සමගය. ඇගේ සැමියා මැද පෙරදිග රැකියාවක නිරතව වසර ගණනාවකි. රැකියා ස්ථානයේ මෙන්ම අතරමඟ පවා ඇය ගේ පහස විදින්නට වැර දරන පිරිමින් රැසකි. ඒ සියල්ලෙන් මිදි ජිවිතය ගෙන යෑම ඇගේ බලාපොරොත්තුව වුවත් එය එසේ වන්නේ නැත. මේ ලොව බොහෝ රටවල ගැහැනුන්ගේ ඉරණමයි. එයට ඔවුන් මුහුණ දෙන ආකාරය පමණක් එකිනෙකට වෙනස් විය හැකිය. මෙහි ප්‍රධාන චරිතය වූ රනා ගේ චරිතය නිරූපණය කළ විසි හතර හැවිරිදි ස්වස්තිමා කද්කා පසුගිය සාක් උලෙළේ හොදම නිළියට හිමි සම්මානය මෙරට දී දිනා ගත්තාය. පසුගිය ඇකඩම් සම්මාන උලෙළේ දි හොඳම විදෙස් භාෂා චිත්‍රපටයට හිමි සම්මානය සඳහා නේපාල නියෝජනය කරන ලද්දේ බුල් බුල් චිත්‍රපටයයි. (ලබන වසරේ සිට ඇකඩමි සම්මාන උලෙළේ හොඳම විදෙස් භාෂා චිත්‍රපටය හැඳීන්වනුයේ හොදම අන්තර්ජාතික වෘතාන්ත චිත්‍රපටය හැටියටය.) මේ අත්දැකීම අප සසල කරනුයේ එය ලොව පොදු මානව අත්දැකීමක් වන නිසාය. වර්තමාන බොහෝ තරුණ සිනමාකරුවන්ගේ චිත්‍රපට සඳහා පාදක කර ගන්නා අත්දැකීම් ව්‍යාජ සංසිද්ධින් හා ගැළපීම සුලභව නිර්මාණවල දකින ගැටලුවකි. මේ නිසාම සිනමා නිර්මාණ ව්‍යාජ අත්දැකීම්වනුයේ නිතැතින්මය. එහෙත් මනෝහර් ඇන්ඩ් අයි මෙන්ම බුල් බුල් ද එම චෝදනාවෙන් ගලවා ගත යුතු වන්නේ එම අත්දැකීම් චරිත හරහා පොදු කාරණා බවට පරිවර්තනය කරන අන්දම විමසද්දීය. ඔවුන් තෝරා ගන්නා වස්තු විෂයය පමණක් නොව එහි චරිත ගොඩ නැඟීම ද සිනමාකරණයේ විලාසය ද එකිනෙක හා පාහන්නට එම සිනමාකරුවෝ සමත්වෙති.

නවසීලන්ත චිත්‍රපටයක් වන ඉඊඅඒක චිත්‍රපටය ද බිඳුණු අතීතයක් ගොඩ නගන්නට වෙර දරන මිනිසකු සහ ගැහැනියක ගැන වෘත්තාන්තයකි. ඩස්ටින් ෆින්ලේ විසින් අධ්‍යක්ෂණය කරන ලද එම චිත්‍රපටය පුරා හිමෙන් මිදුණු පරිසරය ද කාලය හා පරිසරය ද කාලගුණය ද එක් කරමින් සිනමාකරු චරිත විකාශනයේ හා හැඟිම් ප්‍රකාශනයේ දී පරිසරය ඉස්මතු කරන්නේ මන්දගාමි එහෙත් බිඳීය නොහැකි අවධානයක් රඳවා ගනිමිනි.

චිලී දේශයේ උපත ලැබ වර්තමානයේ ස්කොට්ලන්තයේ වෙසෙන සිනමාකරු ෆෙලිප් බස්ටෝස් සියෙරා විසින් නිර්මාණය කරන ලද ව්ඒඡ් ර්‍ථඒඉඒඅඒව් චිත්‍රපටය වාර්තා චිත්‍රපටයක් විය. එයට පාදක වනුයේ නිර්භීත එහෙත් දැඩි තීරණයක් ගත් ගුවන් යානා කර්මාන්ත සේවකයන් සිව් දෙනෙකු පිළිබඳ පුවතකි. 1973 වසරේ දී චිලී දේශයේ සිදු වූ දේශපාලන කුමන්ත්‍රණයක් කෙලවර වූයේ හමුදා මැදිහත්වීමකිනි. එයට වසර කිහිපයකට පෙර මහජන ඡන්දයෙන් පාලනයට පිවිසි චිලියේ වාමාංශික නායක සැල්වදෝර් අය්යන්ඩේ මෙම හමුදා අක්‍රමණයක් සමග සිය දිවි නසා ගත්තේය. ඒ වන විට ඔහු වෙත ද යම් ජන විරෝධයක් ගොඩ නැගෙමින් පැවතිණ. රට තුළ ඇතිවෙමන් පැවැති ඖෂධ හිඟය ඇතුළු ඇතැම් කාරණා පෙර දැරි කර ගෙන අය්යන්ඩේ ට එරෙහිව ද ගොඩනැගුණ බලවේගය මත්තෙන් චිලී ගුවන් හමුදාවේ පිරිසක් එරට ජනාධිපති මන්දිරයට ප්‍රහාරයක් එල්ල කරන ලදී. එයින් පසු බලයට පිවිසි ජෙනරාල් ෆිනොචේ අනතුරුව කුරිරු ඝාතකයකු විය.චිලියේ පහල වන හමුදා ජුන්ටාව මගින් සිවිල් ක්‍රියාකාරකයන් වික්ටර් හාරා ඇතුළු කලාකරුවන් ආදීන් මෙන්ම සිවිල් ජනතාව සහිත අති විශාල සංඛ්‍යාවක් කුරිරැ ලෙස ඝාතනය කළහ. ස්කොට්ලන්තයේ රොල්ස් රොයිස් ගුවන් යානා සේවකයෝ නැගීසිටිනුයේ එයට එරෙහිවය. වාර්තා චිත්‍රපටයට පාදක වනුයේ මේ සිව්දෙනා පිළිබඳ අත්දැකීමයි. වර්තමානයේ මහලු වියට පත්ව සිටි ගුවන් සේවකයන්ගේ අත්දැකීම කදිම වාර්තා සිනමාකරණයකට මග පාදා ගනියි. වසර ගණනාවකට පසු ඔවුන් එදා කළ මෙහෙය වර්තමාන චිලී දේශයේ දී බුහුමනට පත්වෙයි. සමාජවාදී රාජ්‍ය පෙරළා දැමීම පසුපස සිටියේ අමෙරිකානු සී.අයි.ඒ.සංවිධානය බැව් පසුව හෙළිවිය. මේ අවදියේ එනම් 1974 -78 කාලය ඇතුළත ස්කොට්ලන්තයේ රොල්ස් රොයිස් සමාගමේ ගුවන් යානා අංශයේ සේවය කළ පිරිසක් එම සමාගමට චිලී දේශයේ ගුවන් හමුදාවෙන් ලැබුණු ඇනවුමක් ක්‍රියාත්මක නොකරන්නට තීරණය කැරනුයේ පිනොචේ ගේ මිලිටරි ජුන්ටාවේ ඒකාධිපතිවාදයට විරෝධය පළ කරන්නටය. සිව් දෙනෙකුගෙන් යුත් මෙම පිරිස පිළිබඳ 2013 වසරේ කෙටි චිත්‍රපටයක් ද නිර්මාණය වු අතර පසුව එය දීර්ඝ වාර්තා චිත්‍රපටයක් ලෙස නිර්මාණය විණ.

උලෙලේ තවත් චිත්‍රපට පිළබඳ තොරතුරු ලබන සතියේ....

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.