ලතාට 90යි

සැප්තැම්බර් 26, 2019

 

“තරු නිහඬය.

ලොව විවේකයෙන්ය.

එවැනි හඬක් සවන් වැකෙන්නේ මෙලෙසිනි.

ඒ හඬත් සමඟ කෙනකු පිළිබඳ මතකය අවදි වෙයි.

හදවත ස්පන්දනය වෙයි. ඒ බලාපොරොත්තුවේ ප්‍රාර්ථනයත් සමඟයි. 
පැමිණෙන්න. පැමිණෙන්න. පැමිණෙන්න.”

 

මීට හරියටම වසර හැත්තෑවකට පෙර තිරගත වූ ‘මහල්’ සිනමාපටයේ ‘අයෙගා ආනේ වාලා’ ගීතයේ මාධූර්ය තවමත් දෙසවන්හි දෝංකාර දෙන්නේ අදක ඊයක වාගේය. තරු නිහඬ, නිද්‍රෝපගත, අකාරුණික ලොවකින් ඇසුණු ගී හඬ බලාපොරොත්තු දල්වමින් ලොවක් අවදි කළේය. සහස් සුවහස් රසික කැලගේ දෙසවන් හී සදා නොමැකෙන ලෙස ඒ හඬ නිදන්ගත විය. එලෙස හදවත්හි ස්පන්දනය සප්ත ස්වරයෙන් දැහැන් ගත කළේ භාරත ගීත කෝකිලාව ලෙස විරුදාවලිය ලද ලතා මංගේෂ්කාර්ගේ කෝකිල නාදයයි. ගායිකාවක ලෙස ලතා මංගේෂ්කාර් නාමය ස්ථාපිත වූයේ ‘මහල්’ සිනමාපටයේ මේ ගීතයත් සමඟිනි.

 

 

මීනා, ආශා, ඌෂා සොයුරියන් සහ හ්‍රිදයනාත් සොයුරාගේ වැඩිමල් සොයුරිය වූ ලතා උපත ලැබුවේ සංගීතය ජානමය උරුමයක් කර ගනිමිනි. ලතාගේ පියා වූ පණ්ඩිත් දීනානාත් මංගේෂ්කාර් මරාති සංගීතඥයකු මෙන්ම වේදිකා නළුවකු ලෙස ද ප්‍රකට විය. දීනානාත් තම වැඩිමල් දියණිය ගායිකාවක වේ යැයි කෙදිනකවත් සිතුවේ නැත.

කුඩා ලතා කිසි දිනක පියා ඉදිරියේ ගී නොගැයුවාය. ඔහු ඉදිරියේ ගී ගැයීමට තිබූ බිය නිසා එසේ කළ ද ගී ගැයීමට ලතාට තිබුණේ නොතිත් ආසාවකි. එනිසා ඇය මුළුතැන් ගෙට ගොස් මෙහෙකාරියන්ට තම ගී අසන ලෙස ඇවිටිලි කළාය. මව ශෙවන්තිට ද දියණියගෙන් ගැලවීමක් නොවීය. ඇයගේ කරදරයෙන් බේරිමට නොහැකි වූ විට මව සැරවැර කළ වාර අනන්තය. කොපමණ දුක් ගැහැට වින්ද ද ලතාගේ ගී ගැයීමේ පිපාසාව සන්සිඳුණේ නැත. එක් දිනක ඇය මුහුණ දුන්නේ නොසිතූ විරූ අත්දැකීමකටය.

ලතාගේ පියා දීනානාත්ගෙන් සංගීතය හැදෑරීමට චන්ද්‍රකාන්ත් ගොඛාලේ නම් ශිෂ්‍යයෙක් පැමිණි අතර ඔහු ගායනය පුහුණු වෙමින් සිටියේය. පියා මඳක් පිටතට ගියේය. මිදුලේ සෙල්ලම් කරමින් සිටි කුඩා ලතාට ඔහු නිවැරැදිව ගායනා නොකරන බව වැටහිණි. පස් හැවිරිදි වියේ පසු වුව ද පියාගේ ගායනාවලට හොඳින් සවන් දී ඇති නිසා වරද්දන තැන් ගැන ඇයට හොඳ අවබෝධයක් තිබිණි. සංගීත කාමරයට ගිය කුඩා ලතා ඔහු වැරැදියට ගයන බව පවසා නිවැරැදිව ගයන අයුරු ගයා පෙන්වූවාය. නැවත පැමිණි පියා ඇයට යළි ගයන ලෙස පැවසුවේය. ලතා ගීය ගැයූ සැණින් ඊතල වේගයෙන් මිදුලට දිව්වාය.

දියණියගේ ගැයුම ඇසූ පියාගේ සිත වෙනස් විය. පසු දින දීනානාත් ඔහුගේ සංගීත කාමරයට පැමිණෙන ලෙස ඇයට පැවසීය. පියා ඉදිරියේ ගල් ගැසෙනා ලතා ගැහෙන හදවතින් සංගීත කාමරය බලා පිටත් වූවාය. දීනානාත් විනයධාරී සාම්ප්‍රදායික පුද්ගලයකු විය. පවුලේ ලොකු කුඩා සියලුම කාන්තාවන් නළලේ කුම් – කුම් තැවරිය යුතු අතර දෑතට වළලු පැලඳීම අනිවාර්ය විය. පුයර භාවිතයට කිසිවකුට අවසර නොතිබිණි. ඒ ඉන්දියානු නිදහස් අරගලය දියත් කළ කාල වකවානුවයි.

පියා මුලින්ම ලතාට ඉගැන්වූවේ තාම්පුරාව වාදනය කරන ආකාරයයි. කලින් දිනයේ ඇය ගැයූ රාගයම ඇතුළත් ගීය යළි ගයන ලෙස පැවසීය. ශාස්ත්‍රීය ගායනයට එසේ මුල පිරිණි. වැඩිමල් දියණිය ලතාට මෙන්ම මීනාට ද පියාගෙන් සංගීතයේ ‘අ’ යනු ‘ආ’ යනු ඉගෙනීමට වරම් ලැබිණි.

වයස අවුරුදු පහේදීම පියාගේ මරාති සංගීත් නාටක් හි (සංගීතමය වේදිකා නාට්‍ය) රැඟීමට ඇයට අවස්ථාව උදා විය. අවාසනාවකට ලතාට පාසල් ගමන ඇරැඹූ දිනම පාසලට ආයුබෝවන් කීිමට සිදු වූයේ නැඟණිය ආශා ඇය සමඟ පාසලට පැමිණීම නිසයි. ලතා යන්නේ කොතැන ද ආශා ද සෙවණැල්ලක් මෙන් ඇය පිටුපස සිටියාය.

ලතා හිරිමල් වියට පිය මැන්නා පමණි. දෛවය යළිදු ඇයට අකාරුණික විය. ඇයට යන්තම් වයස අවුරුදු 13 ක් පිරුණා පමණි. පියා දීනානාත් හෘදයාබාධයකින් හදිසියේම මිය ගියේය. මිය ගිය ද දක්ෂ නක්ෂත්‍රකරුවකු වූ පියා වැඩිමල් දියණියගේ සාර්ථකත්වය ගැන මිය යාමට පෙර පවසා තිබිණි. කිසිවකුට ළඟා විය නොහැකි තරම් දියණිය වෘත්තීය මට්ටමින් සාර්ථක වන බවට ඔහු අනාවැකි පළ කළේය. එපමණක් නොව ලතා ජනප්‍රිය වන විට තමන් ජීවතුන් අතර නැති බවත් පවුලේ බර ලතා විසින් කරට ගන්නා බවත් ඔහු දැන සිටියේය.

දීනානාත්ගේ මරණයෙන් පසු මංගේෂ්කාර් පවුලේ පිහිටට ආවේ මාස්ටර් විනායක්ය. (විනායක් ද මෝදර් කර්නාටකි). නව්යුග් චිත්‍රපත් සිනමා සමාගමේ හිමිකරු වූ ඔහු ලතාට ගායිකාවක, නිළියක ලෙස වෘත්තීය දිවිය ඇරඹීමට අතහිත දුන්නේය. ලතාට මුලින්ම ගැයීමට ලැබුණේ ‘කිති හසාල්’ (1942) නම් සිනමාපටයේ ‘නාචු යා ගදේ’ ගීයයි. එහෙත් සිනමාපටය තිරගතවිමේදී ගීතය කප්පාදු වී තිබිණි. විනායක් පහිලි මන්ගලා - ගෞර් (1942) සිනමාපටයේ සුළු චරිතයක් රැඟීමට ලතාට ඉඩ ලබා දුන්නේ ‘නතාලි චයිත්‍රාචි’ නම් ගීය ගැයීමට අවස්ථාවක් උදාකර දෙමිනි. 1942 – 1948 දක්වා ලතා සිනමාපට අටකට වැඩි ගණනකට රංගනයෙන්, ගායනයෙන් දායක වූවාය. එහෙත් සාර්ථකත්වය නම් ඇසිදිසි මානයක නොවිණි. පවුලේ බර කරට ගත් ලතාට ආපසු හැරෙන්නට ඉඩක් නැත. පියාගේ අනාවැකිය ද අසත්‍යයක් විය නොහැකිය.

මාස්ටර් විනායක් මිය යාමෙන් දින දහයකට පසු සිනමා ඡායාරූප ශිල්පියෙක් ලතා සොයා පැමිණියේය. ඔහු සංගීත අධ්‍යක්ෂ හරිශ්චන්ද්‍ර වාඩේ වෙත රැගෙන ගියේය. ‘ලව් ඊස් බ්ලයින්ඩ්’ සිනමාපටයට ගීත දෙකක් ගැයීමට අවස්ථාව ලැබිණි. එහෙත් සිනමාපටය තිරගත වූයේ නැත. ලතා ගයනු ඇසූ කලාකරුවන් සපයන්නකු විසින් පාකිස්තානයේ සිට පැමිණි ගුලාම් හයිදර්ට ඇයව මුණ ගස්වන ලදී. ඒ වන විටත් ලතා ගුලාම්ගේ සංගීතයට මෝහනය වූ රසිකාවක වූවාය. ගුලාම් 1947 දී මුණ ගැසෙන විට ලතාට වයස අවුරුදු 18 ක් පිරුණා පමණි. ලතා ඔහු හමුවීමට ගියේ උදෑසනය. පටිගත කිරීමක යෙදී සිටි ඔහු ඇයට කතා කරන විට සවස පහ පමණ විය. ඇය ඇතුළු වන විට ඔහු පියානෝව වාදනය කරමින් සිටියේය. ලතාගේ හදවත දියෙන් ගොඩට දැමූ මත්ස්‍යයකු සේ ගැසෙන්නට විය. නූර්ජෙහාන් වැනි විහිෂ්ට ගායිකාවන් සමඟ වැඩ කළ ඔහු වැන්නකුට තමන් වැනි ආධුනිකයකු තරම් නොවේ යැයි ඇයට සිතිණි. ගීයක් ගැයීමට පැවසූ විට ලතා ගැයුවේ නූර්ජෙහාන්ගේ ගීයකි. ගීතය පටිගත කළ ඔහු ලතා ගැයූ ගීය සෂාධර් මුඛර්ජි නම් අති සාර්ථක සිනමාවේදියාට අසන්නට සැලැස්වීය. සෂාධර් ලතාගේ හඬ සිහින් වැඩි බව පැවසීය. ඔහු සොයමින් සිටියේ කාමිනී කෞශාල් තාරකාවට ගැළපෙන හඬකි.

මාස්ටර් ගුලාම් බොම්බේ ටෝකීස් චිත්‍රාගාරයට ලතා කැඳවාගෙන ගියේය. ඒ වන විට මජ්බූර් රූගත කරමින් පැවතිණි. ඔහු ගීතයක් පුහුණු කළා පමණි. කිසිවක් නොපැවසීය. ගීතය පටිගත කිරීමෙන් පසු මාස්ටර් ගුලාම් මෙසේ පැවසීය. ‘මිනිසුන්ට හැමදේම අමතක වේවි. ඔබේ හඬ ඇහුවම නූර්ජෙහාන්වත් අමතක වේවි’. මුල්ම ගීය මුකේෂ් ගායකයා සමඟ ගැයු ‘අංග්‍රේසි චෝරා චලා ගයා’. මජ්බූර් සිනමාපටයට ගී තුන හතරක් පටිගත කෙරිණි. ඇගේ ගී හඬ ඇසු ඛේම්චන්ද් ප්‍රකාශ්, අනිල් බිස්වාස් වැනි සංගීතඥයන් සිය සිනමා ගීතවලට ලතාගේ කෝකිල හඬ නොපැකිළව එක්කර ගත්තේය. ලතා භාරත සිනමා තිරයේ කතා නායිකාවගේ එකම හඬ විය. ඇය වඩාත්ම ජනප්‍රිය වූයේ ‘අයේගා ආනේ වාලා’ ගීයෙනි.

මුලින් ලතාව ප්‍රතික්ෂේප කළ සෂධර් මුඛර්ජි තමන් එසේ පැවසීම ගැන පසු තැවුණේය. පසුව ඔහු තම සිනමා නිර්මාණවලට දායක වන ලෙසින් ඇය ඉදිරියේ අයැද සිටියේය. ලතා ඔහුගේ අනර්කලී නාගින් සඳහා ගී ගැයුවේ පරණ කෝන්තර අමතක කරමිනි. 1974 දී ලොව වැඩිම ගීත ගණනක් පටිගත කළ ගායිකාව ලෙස ඇයගේ නාමය ගිනස් වාර්තා පොතට ඇතුළත් කෙරිණි. 2011 දී ඇයගේම සොයුරිය ආශා විසින් එය බිඳ හෙළන ලදී.

පවුල් බර කරට ගත් ලතා තමන්ගේම පවුලක් ගැන නොසිතුව ද ඇයගේ ලේ උරුමය නව පරපුරේ දක්ෂ නිළි ශ්‍රාද්ධා කපූර් දක්වා දිවෙන්නකි. ශ්‍රද්ධාගේ මවු පාර්ශ්වයේ මුත්තණුවන් ලතාගේ ඥාති සොයුරෙකි.

සැප්තැම්බර් 28 වැනි දිනට අනූ හැවිරිදි විය සපුරන ලතා මංගේෂ්කාර්ට සම කළ හැකි ගායිකාවක අදට ද බිහි වී නැත. භාරත දේශයේ පමණක් නොව මුළු ලොවේම රසික රසිකාවන්ගේ පැතුම දිව්‍යමය හඬක් හිමි ගීත කෝකිලාව දිගුකල් යෙහෙන් වැජඹේවා යන්නයි.

 

 

 

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.