ලෝනා මුණිරාජාගේ එදා ගැයුණේ මෙහෙමයි

ඔක්තෝබර් 10, 2019

දශක ගණනාවක් ගෙවී ගිය ද, ලාංකික ගීත ඉතිහාසයේ සදානුස්මරණීය බෞද්ධාගමික ගීතයක් වූ මෙම ගීතය 1923 තරම් වූ ඈත වකවානුවක ලියන ලද්දකි. 1923 නොවැම්බර් මස 22 දින කොළඹ ටවර් නෘත්‍යශාලාවෙහි ප්‍රදර්ශනය කෙරුණු, සිරි දළදා පුවත අලළා නීතීඥ චාර්ල්ස් ඩයස් මහතාණන් විසින් රචිත “හේමමාලී” නුර්තියට මෙම ගීතය අන්තර්ගත විය. මෙම නුර්තියෙහි “හේමමාලී කුමරිය” ලෙස මුලින්ම රංගනයෙහි යෙදුණේ සිංහල නුර්තියෙහි පළමු ආර්යාව හෙවත් එවකට සිටි ජනකාන්තම නාටිකාව වූ ඇනී බොතේජුයි. දන්ත කුමරුන් ලෙස ටි.වී.එඩ්වින් පෙරේරා චරිත නිරූපණය කළේ ය. හේමමාලී නුර්තිය අංක තුනකින්ද, චිත්‍රවස්ත්‍ර දහඅටකින්ද, වාසගම් නොහොත් සංවාද 315කින් ද, ගාථා 5 කින් සහ ශ්ලෝක 6 කින්ද සමන්විත බව සදහන් වෙයි.

මුල් කාලීන ග්‍රැමොෆෝන් ගීත (1908-39) බොහොමයක ම පාහේ අන්තර්ගත වුයේ නුර්ති සහ නාඩගම් ගීත හෝ නුර්ති තනු ඇසුරින් නිෂ්පන්න වූ නව ගීත ය. බොහොමයක් නුර්තිවල රංගනයෙහි යෙදුණු නළු නිළියන් විසින් ම එම ගීත පටිගත කිරීම සිදු කරන ලදී. හේමමාලි නුර්තියට ඇතුළත් වූ මෙම ගීතයත්, “ මුනිදාගේ ශ්‍රී දන්ත ධාතු”, “සංසාර සාගරෙහි” සහ “ බුදුන්ද දහම් ද කෙරෙහි” යන ගීතත් 1927-29 වකවානුවෙහි ග්‍රැමොෆෝන් තැටිවලට නැගුණි. හේමමාලි නුර්තිය සඳහා ගීත තනු නිර්මාණය කළේ භාරතයේ සංගීතාචාර්ය සදාලාල් මගන්ලාල් පඬිවරයා විසිනි. වර්ෂ 1927, ජර්මනියෙහි නිෂ්පාදිත ODEON (ඕඩියන්) ග්‍රැමොෆෝන් ලේබලයට x 96741 අංකය යටතේ “ ලෝනා මුණි රාජාගේ” ගීතයත් එම තැටියෙහි අනෙක් පස “මුණිදාගේ ශ්‍රී දන්ත ධාතු” ගීතයත්, ඇනී බොතේජු ශිල්පිනියගේ හඬින් පටිගත කෙරුණි. පසු කාලීනව මෙම ගීතයෙහි ඇතැම් වචන වෙනස් වුවත්, මුල්ම ගායනයෙහි අඩංගු වුයේ මෙබඳු පදමාලාවකි. මෙම ගීතය ජෞන්පුරි රාගයෙන් නිෂ්පන්න වී ඇති අතර කෙහෙර්වා තාලයට අයත් ය.

“ලෝනා මුණි රාජා ගේ ශ්‍රී දළදා පෙන්වමී 
මාගේ හිසකෙස් ගැටේ හී 
සඟවා ගේනා සාදරීන්

අත්ලට සාමී ගේ වඩනේමි 
දාඨා දා අප දියනා ගේ 
ලෝනා මුණි රාජා ගේ ශ්‍රී දළදා පෙන්වමී”

හේමමාලි කුමරිය ගේ හිසකෙස් ගැටයෙහි සඟවාගෙන ආ උතුම් වූ සිරි දළදා වහන්සේ සතුරු උපද්‍රව වලින් බේරී , ඉතා නිරුපද්‍රිත ලෙස ලක්දිව කිත්සිරිමෙවන් රජුගේ අතට පත්කරන අවස්ථාව නිරූපණය වන නුර්ති ජවනිකාවට ඇතුළත් වූ ගීතය මෙය ලෙස නුර්තියෙහි සඳහන් කොට ඇත. ග්‍රැමොෆෝන් තැටියට සංගීතය සම්පාදනය කරන ලද්දේ කවරෙක් විසින් දැයි, ගීත තැටි ලේබලයේ සදහන් නොවේ.

1923-36 වකවානුව තුළ විවධ ජනකාන්ත නිළියන් විසින් ටවර්හෝල් හි හේමමාලි චරිතයට පණ පොවන ලදී. ඒඅතුරින් ඇනී බෝතේජුට අමතරව, ජේන් පෙරේරා , සුසිලා ජයසිංහ, පර්ල් දසනායක, ලක්ෂ්මි බායි (දන්ත කුමරු ලෙසද රංගනයෙහි යෙදුණා ය) සහ සෝම කාන්තා මුල් තැනක් ගනී. 1929 වසරේ එංගලන්තයේ නිෂ්පාදිත COLUMBIA  (කළම්බියා) ලේබලයෙන් නැවත නුර්ති නිළි “ජේන් පෙරේරා” ගේ හඬින් “ලෝනා මුණි රාජා” ගීතය ග්‍රමොෆෝන් තැටියට (අංක 19501) නැගෙන්නේ එහි වූ ජනප්‍රියත්වය නිසාවෙන්ම ය. අනතුරුව 1931දී එම තැටි ලේබලය වෙනුවෙන් , කළම්බියා තැටි අංක 19599 යටතේ එම් . අයිසැක් මහතා විසින් මෙම ගීතයේ වාදනයක් ඉදිරිපත් කරන්නේ ය. එහි සදහන් වන්නේ “සීනු වාදනයක්” (රත්නත්‍රයේ ආධාරයෙන්) යනුවෙනි.

පසු කාලීනව 1980 දශකයේ අග භාගයේ සාගරිකා ගෝමස් ශිල්පිනිය විසින් මෙම ගීතය නැවත ගායනා කළා ය. එම ප්‍රති ගායනයෙහි පදමාලාව මුල් ගායනයට වඩා තරමක් වෙනස් ය. වර්තමානයේ මුල් ග්‍රැමොෆෝන් ගීතය අපට අසන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. කෙසේ වෙතත්, දශක නවයක් පුරා මෙම කර්ණරසායන ගීතය විවධ යුගවලදී ශ්‍රාවක පරපුරු රැසකට තිළිණ කළ සියලුම කලාශිල්පීන්ට අපගේ උපහාරයම වේවා !

(විශේෂ ස්තුතිය : ගීත තැටි සංරක්ෂක මධුර ශාමල් සහ පි. ගුණතිලක, මුල් ගීතය ආශ්‍රිත රාග තාල පිළිබඳ තොරතුරු සැපයුවේ සංගීතවේදී ගයාන් ප්‍රසංග පීරිස් විසිනි)

ඉසුරු උදයංග කාරියවසම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.