විජය... ඔබ මට අමතක වූ එක් දිනක්වත් නැත...

ඔක්තෝබර් 17, 2019

විජය ප්‍රේක්ෂකයන්ට ආචාර කරමින් එහි පිවිසෙත්ම විනාඩි කිහිපයක් යනතෙක් සිනමා ශාලාව ප්‍රේක්ෂක අත්පොළසන් හඬින්, විසිල් හඬින් ඒකනින්නාද වේ. චිත්‍රපටය තිරගත කිරීමට විදුලිපහන් නිවා දමත්ම එය ඝෝෂාවකට පෙරළෙන්නේ තව තවත් විජය දකිනු රිසි ප්‍රේක්ෂකයන්ගේ උමතුව නිසාවෙනි.

අප හදවත් තුළ සදානුස්මරණීය මතකයක් ශේෂ කොට, එකසිය විස්සක් ඉක්ම වූ සිනමා නිර්මාණ ඔස්සේ ස්වකීය අනුහාසාත්මක (Charisma) රූපණ පෞරුෂය, ගැඹුරු ළයාන්විත රන් ස්වරය ජීවමාන කළ විජය කුමාරතුංගයන් කයෙන් සමුගෙන දැන් දශකත්‍රයක් ඉක්ම ගොස් ඇත. ඔහු අද ජීවත්ව සිටියා නම් පසුගිය ඔක්තෝබර් 9 වැනිදා 74 වැනි වියට එළඹෙනු ඇත. එසේ වී නම් ඒ සොඳුරු රූපකාය කෙබඳු ස්වරූපයකින් අද්‍යතනයෙහි දිස් වේද? මම මොහොතක් කල්පනා කරමි. විජය අවසන් වරට රඟපෑ ‘මධු සිහින’ චිත්‍රපටයේ දිස් වූවාක් මෙන් (ඔහු එහි රඟපෑවේ වයස 70 ක පමණ වැඩිහිටි චරිතයකි) හිස දෙපස පලින් පල දක්නා ලැබෙන නර කෙස්වලින් ඔපවැටුණු පරිණත පියකරු රූපකායම සිත් හි මැවී පෙනිණ. මගේ පරම්පරාවෙන් විජය සමීපව ඇසුරු කිරීමට භාග්‍යය ලැබුණේ මට පමණක් විය හැකි යැයි සිතේ. එසේ සිතද්දී මා තුළ අපරිමිත සොම්නසක් සේමැ දොම්නසක් ද දැනේ. සොම්නස දැනෙනුයේ මගේ පරම්පරාවෙන් මේ උත්තම කලාකරුවා ඇසුරු කිරීමේ භාග්‍යය ලැබුණු නිසාය. දොම්නස මගේ පරපුරේ සෙස්සන්ට ඒ සුපෝෂණය, සෙනෙහස නොලැබුණු බැවිනි. විජය මා පියාණන්ගේ (ඒ. ඩී. රන්ජිත් කුමාර) සමීප මිතුරකු නොවන්නට මට ද ඒ භාග්‍යය නොලැබී යන්නට ඉඩ තිබිණි. ගාමිණි ෆොන්සේකා හැරුණු විට එදත් මෙදත් කවදත් මා වඩාත් ප්‍රිය කළ, මගේ කලා ජීවිතය කෙරෙහි වඩාත් බලපෑ රූපණවේදියා විජය කුමාරතුංග යැයි මෙහිලා පැවසීම අතිශයෝක්තියක් නොවේ.

මා චිත්‍රපට නැරඹීමට මුලින් පෙලඹුණේද ඔහු නිසාය. විජයගේ චිත්‍රපට ගොන්නෙන් මා පළමුවෙන්ම නැරඹූ චිත්‍රපටය ‘සංගීතා’ය. ඒ 1981 මේ චිත්‍රපටය මුල්වරට ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වූ අවස්ථාවේදීය. එවකට මා යාන්තම් පස් හැවිරිදි කුඩා දරුවෙකි. එකල මා ඔහුට කොතරම් ප්‍රිය කළාදැයි කිවහොත් චිත්‍රපටයේදී මැරවරයන් විජයට පහර දෙනු බලා සිටින්නට නොහැකි විය. එබඳු දර්ශන නරඹද්දී අසල සිටි තාත්තා වරින් වර මගේ දෙනෙත් වසමින් මා කුප්පනු පිණිස වෑයම් කරද්දී අර කී කෝපය දෙගුණ තෙගුණ වේ. මා අසුන්ගෙන සිටි කුඩා පුටුව ඔසවා මැරවරයන්ට පහරදීමට ඇත්නම් යැයි වරෙක මට සිතිණ. චිත්‍රපටයෙන් මා ප්‍රිය කළ මේ අසහාය නළුවා සැබැවින්ම මට දැකගැනීමට අවකාශ ලැබුණේ 1980 වසරේදීය. එනම් විජය ධර්ම ශ්‍රීගේ ‘ආරාධනා’ චිත්‍රපටයේ මගේ මවුන් (දමයන්ති ජයසුරිය) සමඟ ඔහු ගැයූ ‘සිනාවකින් පුතුගෙ මුවේ’ ගීතය දලුගම සරසවි චිත්‍රාගාරයේදී පටිගත කළ අවස්ථාවේදීය. විජය කුඩා මා වඩාගෙන මුල්වරට සුරතල් කළේ එදිනය. එවක් පටන් ඔහු ‘ආදරණීය විජය අන්කල්’ විය. 1981 මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ පැවැති නළු නිළි ක්‍රිකට් තරඟයද මගේ සැමරුම් අතර තිබේ. එදින තරඟය පැවැතියේ විජය කුමාරතුංගගේ පිල හා රවීන්ද්‍ර රන්දෙණියගේ පිල අතරය.

කුඩා දරුවන්ට පුදුමාකාර සෙනෙහසක් දැක් වූ විජයගේ ඒ ආදරය එකල මටත් නොඅඩුව ලැබිණ. කුඩා කාලයේ සිටම මා ඔහු අනුකරණය කිරීමට පෙලඹිණ. එනම් මම විජය මෙන් කොණ්ඩය පීරා ගැනීමට, ඇවිදීමට, දෙබස් කීමට, ගී ගැයීමට උත්සුක වීමි. මේ පුරුදු කෙතරම් දුරදිග ගියා ද කීවොත් පාසලේදී මගේ මිතුරන් ‘විජය’ යන අන්වර්ථ නාමය මා හට පටබැඳ තිබිණි. පන්තියේ ගුරුවරයකු නොමැති කල්හි විජයගේ චිත්‍රපටවල දර්ශන මිතුරන් ඉදිරියේ රඟපා පෙන්වීම මගේ පුරුද්දක් විය. අඩි හයක් පමණ වූ විජය මෙන් උස යන්නට මටත් හැකි නම් යැයි සිතා මම කුඩා කාලයේ නිවසේ බාල්කවල එල්ලෙමින් උස යෑමට ප්‍රයත්න දැරීමි. දැන් මගේ උස අඩි හයක් වූයේ ඒ නිසාදැයි නොදනිමි.

කුඩා කාලයේ මා පෝෂ්‍යදායක ආහාරයක් ගැනීමට මැළි වූ අවස්ථාවලදී අම්මා උපක්‍රමශීලීව මෙලෙස පැවසුවාය. ‘විජය අන්කල් වගේ වෙන්න නම් මේ ගුණ කෑම ජාති කන්න ඕනෑ’ අම්මා එසේ කී කල මම ඕනෑම අහරක් ගැනීමට එකල මැළි නොවීමි. විජය කුමාරතුංගයන් පිළිබඳ සිහිපත් කරන කල්හි නිරන්තරයෙන් මා මතකයට නැඟෙන සිදුවීම් ද්වයක් තිබේ. එකක් 1986 වසරේ මැද භාගයේ පමණ සිදු වූවකි. එදවස ඔහු මා පියාණන් හමුවීමට එවක අප පදිංචි වී සිටි දෙමටගොඩ ඩැනිස්ටර් ද සිල්වා මහල් නිවාසයට පැමිණියේ වීඩියෝ කැසට්පටයක් අතැතිවය. එවක පැවැති ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීමේ අවංක අරමුණෙන් විජය යාපනයේ සංචාරය කොට පැමිණ දින දෙකක් ගත වූවා පමණි. සිය යාපනය සංචාරයේ සම්පූර්ණ විඩියෝපටය ඔහු පළමුවරට නැරැඹුවේ අප නිවසේදීය. විජය එහි දර්ශනයෙන් දර්ශනයට සියල්ල විග්‍රහ කළ ආකාරය දැනුදු මට මැවී පෙනේ. එවක දස හැවිරිදි කුඩා කොලු ගැටයකු වූ මා විජය පවසන දෙයින් ඔබ්බට යමක් ප්‍රශ්න කිරීමට තරම් මුහුකුරා ගොස් නොසිටීම ගැන අද දැනෙනුයේ කනගාටුවකි.

අද ව්‍යාජයක්, කළුනික සෙවීමක් බවට පත් වී තිබෙන ‘ජනප්‍රියත්වය’, ‘සුපිරි තරුව’ යන යෙදුම්වල සැබෑ අරුත් මා පසක් කොට ගත්තේ විජය කුමාරතුංගයන්ගේ ඇසුරෙනි. ඔහු අප නිවසට පැමිණි බොහෝ අවස්ථාවලදී අසල්වැසි ජනතාවගෙන් හා සමරු පොත්වලින් ඔහුට ගැලවුමක් නැති විය. විජයගේ සිරුර අතපතගෑමට, ඔහු සමඟ ඡායාරූප ගැනීමට ජනයා පොරකෑහ. වදෙන් පොරෙන් විජය කාරයට ගොඩ වී අප නිවසෙන් පිටත් වූයේ ද ඉතා අපහසුවෙනි. එදා මෙදා මා ඇසුරු කළ කිසිදු නළුවකුට මෙබඳු ජනප්‍රියතාවක් නොතිබූ බව මා පැවසීම ඔවුන්ගේ අමනාපයට හේතු නොවනු ඇත. විජය සහභාගි වූ ‘සමනල සිහින’ (1983 බොරුල්ල රිට්ස් සිනමාහලේදී) ‘රන්දම්වැල්’ (1987 බොරැල්ල රිට්ස් සිනමාහලේදී) යන චිත්‍රපටවල මංගල දර්ශනවලටත් ‘ජය අපටයි’ චිත්‍රපටය දින 100 ක් තිරගත වීම වෙනුවෙන් (1986 වැල්ලවත්තේ රොක්සි සිනමාහලේදී) පැවැති විශේෂ දර්ශනයටත්, වැල්ලවත්තේ සිලෝන් ඉන් හෝටලයේ පැවැති ප්‍රියසාදයටත් සහභාගිවීමෙන් මම ඔහුට තිබූ අසීමත ජන ප්‍රසාදය පසක් කොට ගතිමි. සිනමා ශාලාවේ ඕ. සී. ඩී. ආසනවල අසුන්ගෙන සිටි ප්‍රේක්ෂකයන් අසුන්වලින් නැඟිට තිරය සමීපයට ගොස් නොඉවසිල්ලෙන් උඩ බලා සිටින්නේ බැල්කනියට ප්‍රවේශ වන දොරටුවෙන් විජය එනතුරුය. විජය ප්‍රේක්ෂකයන්ට ආචාර කරමින් එහි පිවිසෙත්ම විනාඩි කිහිපයක් යනතෙක් සිනමා ශාලාව ප්‍රේක්ෂක අත්පොළසන් හඬින්, විසිල් හඬින් ඒකනින්නාද වේ. චිත්‍රපටය තිරගත කිරීමට විදුලිපහන් නිවා දමත්ම එය ඝෝෂාවකට පෙරළෙන්නේ තව තවත් විජය දකිනු රිසි ප්‍රේක්ෂකයන්ගේ උමතුව නිසාවෙනි. මේ මා ඇස් පනාපිට දකිනුයේ දේශීය සිනමාවේ අවසාන සුපිරි තරුව (The Last Super Star) හා අවසාන සිනමා අධිරාජ්‍යයාගේ (The Last Emperor in Cinema)  ජනකාන්ත බව යැයි එදා මම කිසි ලෙසකිනිදු නොසිතීමි. අද මට සිතෙන්නේ මගේ ජීවිත කාලයේදී එවන් ජනකාන්ත නළුවකු, වචනයේ පරිසමාප්ත අරුතෙහිම සුපිරි තරුවක් යළි දැකගත නොහැකි වන බවය. (මේ සිතුවිල්ල වෙනස් කිරීම නව පරපුරට පැවරෙන අභියෝගයකි).

විජය පිට පිටම සයවරක් (මියගිය පසුද වරක්) සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රිය නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය. ඔහු කිසි විටෙක තමාගේ මනාපය තමාට පළ කොටගෙන ජනප්‍රිය නළුවකු වූයේ නැත. අද්‍යතනයෙහි ඇතැම් ජනමාධ්‍ය මඟින් එළිදක්වන ‘ව්‍යාජ’ ‘ඊනියා’ සුපිරි තරු තමන්ම තමන්ට එස්. එම්. එස්. දමා ගනිති. නොඑසේ නම් අන්‍යයන්ගෙන් එස් එම්. එස්. සිඟා ගිනිති. මෙබඳු ව්‍යාජ උපක්‍රමවලින් විජය කුමාරතුංගලාට, එච්. ආර්. ජෝතිපාලලාට අභියෝග කළ හැකි, අතික්‍රමණය කළ හැකි සුපිරි තරු පහළ කොට ගත හැකි වීද? නව පරපුර ඊට අසමත් යැයි මම නොසිතමි. ව්‍යාජ ඔසවා තැබීම් පසෙකලා ඔවුන්ට නිවැරැදි මඟ පෙන්වාදීමක් ලැබෙන සමාජ යාන්ත්‍රණයක් එහිලා අවැසිය. සමස්ත කලාවටම අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සැකසුණහොත් මේ ගැටලුවලටද පිළියම් ලැබෙනු ඇත. සිනමා කලාවේ ජ්‍යේෂ්ඨ පරපුර හා නව පරපුර අතර ශක්තිමත් පාලමක් ඉදිවීම ද මෙහිලා අවැසිය. පෙර පරපුර නිවැරැදිව කියවීම, හැදෑරීම ඉදිරියට යන නව පරපුරක අත්‍යවශ්‍ය කාර්යභාරයකි. ගාමිණි ෆොන්සේකා තමාට ජ්‍යේෂ්ඨ, මහා රූපණ පෞරුෂයක් වූ ලැඩී රණසිංහ හොඳින් හැදෑරුවේය. විජය කුමාරතුංග නමැති මහා රූපණවේදියා තමාට වඩා ජ්‍යේෂ්ඨ ගාමිණි ෆොන්සේකාගෙන් ආභාසය ලැබුවේය. ‘මා නළුවකු වූයේ ගාමිණි නිසා’ යැයි විජය කුමාරතුංගයන් ප්‍රසිද්ධියේ සෘජුවම පැවසුවේ මා පියාණන් ලියූ ‘ගාමිණි හෙළ සිනමාවේ සක්විති’ ග්‍රන්ථය 1986 අපේ‍්‍රල් මාසයේ 9 වැනිදා කොළඹ නව රඟහලේදී දොරට වැඩිදා පැවැත් වූ දේශනයේදීය. මේ නළු පරපුර එකම දම්වැලක පුරුක් සේ එකිනෙකාට යා වී ඇත. මොන යම් හේතුවකින් හෝ දම්වැල බිඳී ගියහොත් ප්‍රාදුර්භූත වනුවේ ආතක් පාතක් නැති ආකස්මික නළු නිළියන්ය. එනම් ඔවුන්ට අක්මුල් නැත. අක්මුල් නැති කල්හි උපන් මහ පොළොවට සවි නොවේ. බොලිවුඩයේ අමීර් ඛාන්ලා, ෂාරුක් ඛාන්ලා තමන්ගේ ස්වාධීන රූපණ අනන්‍යතා උද්දීප්තිමත් කරගනු පිණිස පෙර පරපුරෙන් ලබන අනුප්‍රාණය මෙරට නව පරපුරේ අධ්‍යයනයට ලක්වනු වටී. පෙර නළු නිළි පරම්පරාව ශූර ලෙස කියවා එහි සරු තැන් පමණක් උකහා ගෙන ස්වකීය රූපණ අනන්‍යතාව, පෞරුෂය ස්වායක්ත ලෙස ගොඩනඟා ගත් මෙරට මෑත කාලයේ මහා නළුවකු මා දැක ඇත්නම් ඊට ප්‍රමුඛතම නිදර්ශනය ජැක්සන් ඇන්තනිය. තමාට පෙර පරපුරේ හා සමකාලීන නළුවන්ගේ විවිධ රංග ශෛලීන් ඒ අයුරින්ම අනුකරණය කොට පෙන්වීමේ විශේෂ හැකියාවක් ගාමිණි ෆොන්සේකා සතුව තිබූ බව බොහෝදෙනා නොදනිති. නව පරපුරේ නළු නිළියන්ට ගාමිණි, විජය දුරස්ථ වුවත් ජැක්සන් සමීපය. එහෙයින් ඔවුන්ට ජැක්සන් කියැවීමෙන් මෙරට මහා නළු සම්ප්‍රදායේ ඥාන උල්පත් පාදා ගත හැකිය. එකල කුඩා මා 1983 සිට 1987 දක්වා සෑම සරසවිය සම්මාන උලෙළකටම සහභාගී වූයේ විජය කුමාරතුංගයන් සම්මානයට පාත්‍ර වන ආකාරය සියැසින් දැක ගැනීමේ ඉමහත් අභිරුචියෙනි. වසරේ ජනප්‍රිය නළුවා ලෙස විජයගේ නම කියැවෙන තැන් පටන් සම්මානය ලබාගෙන ඔහු යළි අසුන් ගන්නා මොහොත දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ගිගුම් දෙන අත්පොළසන් හඬ තවමත් මා දෙසවනෙහි රැඳී තිබේ. නා නා විධ පැහැයේ කුර්තාවන්ගෙන් (සාටකය සහිත) සැරසී සිනාමුසු මුහුණින් ඔහු වේදිකාවට නැඟුණු කල එය පිරුණු ස්වභාවයක් දිස් වේ.

ඉතිරි කොටස ලබන සතියේ...

Comments

Anuradha Suranjana (තහවුරු වී නොමැත)
විජය කුමාරණතුංගනම් ඒ මහා පෞර්ෂයක් සහිත මනරම් හඩක් ඇති මහා තේජසක් සහිත මිනිසාව නිවැරදිව දකින්නට කියවන්නට ප්‍රමුඛ වු අතලොස්සක් අතර ඔබද ප්‍රමුඛය...
සිකු, 10/18/2019 - 16:22

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.