බඹරා වගේ තවම විසේ

චණ්ඩි පුතා
ඔක්තෝබර් 24, 2019

ලාංකේය සිනමාව 'චණ්ඩින් 'සමඟ තිබුණේ පුදුම බැදීමකි . චන්ඩියෙක් කිවහොත් ප්‍රේක්ෂකාගාරය පිරී ඉතිරී යන තරමට ඒ චරිතයන් ප්‍රබල විය. මෙය මුලින්ම ලාංකේය සිනමාවට හඳුන්වා දුන්නේ ටයිටස් ⁣තොටවත්තය. ඔහුගේ 'චණ්ඩියා' පැමිණියේ රිදී තිරය දෙබෑ කරගෙනය. චණ්ඩියාව ' සිනමාව තුළ 'බ්‍රෑන්ඩඩ්' කළේ ගාමිණී ෆොන්සේකා ය.

එතැනින් පසු තිරයේ දිගුකාලීනව චන්ඩියා වූයේ ගාමිණි ෆොන්සේකා වූවද ගාමිණි චණ්ඩියා ලෙස රඟපෑවේ නම් චිත්‍රපට දෙක තුනක් පමණී. ඉන්පසු නම් චණ්ඩි පැටව් ලොරි ගානට බිහිවිය. 'චණ්ඩි රජා' 'චණ්ඩින්ගෙත් චණ්ඩියා', 'චණ්ඩි කොල්ලා','හිත හොඳ චන්ඩියා' වැනි චිත්‍රපට අර ලොරි ගානට අයත් විය. ඒ අතරේ ගැහැණු චණ්ඩිද බිහි විය. 'චන්ඩි ශ්‍යමා', 'චණ්ඩි සිරියා' 'චණ්ඩි රැජිණ' 'චන්ඩි කෙල්ලෝ', ඒ ගැහැණු චණ්ඩි චිත්‍රපටයන්ය. කෙසේ නමුත් ඔය 'චණ්ඩියන්ව' ගෙන ආවේ නම් ටයිටස් තොටවත්තමය. ඔරිජිනල්ම චන්ඩියා වූයේ ගාමිණි ෆොන්සේකාමය. ගාමිණි ෆොන්සේකාව අබිබවන්නට නම් චණ්ඩියෙක් තවමත් බිහිවුනේ නැත.

1965දී 'චණ්ඩියා' වූ ගාමිණි ෆොන්සේකා ඊට අවුරුදු 12කට පසු එනම් 1977 'චණ්ඩි පුතා 'විය. ඒවාට කලබල විය යුතු නැත. ඒ සිංහල චිත්‍රපටවල හැටිය.

ගාමිණී ෆොන්සේකාගේ චන්ඩි කම් බොහෝ විට පෙන්වන්නේ 'ක්ලබ්' ආශ්‍රිත හා ' බජාර්' ආශ්‍රිත චිත්‍රපට හරහාය. බජාර් එකක කථාවක් නම් ගාමිණී 'දොරේ' වෙයි. ක්ලබ් එකක් තුළ නම් ගාමිණී, බොහෝ විට 'ගාමිණී' ම වේ. ඔහුගේ පෞරුෂත්වය මනාව පේන්නේ මේ 'බජාර්', හෝ 'ක්ලබ්' චිත්‍රපටවලය.

'චණ්ඩි පුතා' චිත්‍රපටයේ සුව්ශේෂත්වයක් තිබුණි. ඒ මෙහී අධ්‍යක්ෂක වරයෙක් නොසිටීමය. ලෝකයේ අධ්‍යක්ෂකවරයෙක් නැති එකම චිත්‍රපටය ⁣'චණ්ඩි පුතා ' වන්නට ඇත. මෙහි සිටියේ සහය අධ්‍යක්ෂකවරයෙක් පමණී. ඔහු තිලක් වේහැල්ලය. නමුත් ඔහු සහය වූයේ කාටදැයි නොදනී. අධ්‍යක්ෂණයේදී දැක්වූ උපරිම සහයෝගයට ගාමිණී ෆොන්සේකාට ස්තූති කරන බවක් නම් නාමාවලියේ සඳහන් විය. එතැන මොන මොනවා හෝ දෙයක් සිදුවී ඇති බව අපට තේරුණද, ඕවා හොයා බැලීම ප්‍රේක්ෂකයාගේ කාර්ය නොවේ. ප්‍රේක්ෂකයාගේ කාර්ය චිත්‍රපටය නැරඹීම පමණී. රෙද්දේ තුත්තිරි තිබේද, ඒවා ගැලවිය යුතුද යන්න ප්‍රේක්ෂකයාට අයිති කාරණයක් නොව.

ගාමිණී ප්‍රනාන්දු නම් අතදරුවාව, මාක් නැමති පුද්ගලයෙක් ඒ කුඩා දරුවාගේ අම්මා වූ ශාන්තිගෙන් හොරකම් කරගන්නේ මුදල් වගයක් මංකොල්ල කන අතෙර්ය. මාක් මුදල් ටික පැහැර ගෙන කුඩා ළමයාව පල්ලියක් ඉදිරිපිට දමා යයි. මෙම කුඩා ළමයාව පල්ලියේ පූජකතුමාට හමුවී එතැන් පටන් ළමයාව, එම පූජකයාගේ භාරකාරත්වයට පත්වේ. ළමයාගේ මව වූ ශාන්ති දරුවා නැතිවීම නිසා පිස්සු හැදී මහ මාර්ගයට වැටෙයි. ඇයට පිස්සු වූවද, ඇය ඒ පිස්සුවෙන්ම තම දරුවාව සොය සොයා තැන් තැන්වල ඇවිදියි.

" අම්මලා දුක් ගන්නේ 
පුතුන් හදන්ටා, පුතුන් හදන්ටා 
පුතුන් රජුන් කරන්ටා 
බාලොලි ලොලි ලොලි 
බා ⁣ලොලි ලොලි "

කාලය ගෙවී යයි. පුජක තුමා සමඟ පල්ලියේ හැඳුනු ගාමිණී දැන් නව යොවුන් තරුණයකි. ඔහු රැකියාවක් සොයා ගෙන, ඔහුගේම ජීවිතයක් ඇරඹීම සඳහා, එතෙක් නවාතැන් ගෙන සිටි දේවස්ථානයෙන් වෙන් වේ. ගාමිණීගේ විශේෂිත හැකියාවක් තිබුනේ ගායනයට. එහෙයින් ඔහු ගායකයෙක් වෙන්නට උත්සහා ⁣කරයි.

"තනියේ ,ආවාරේ, ඇසුණා ගී රාවේ 
බා ලොලි ලොලි ලොලි 
ගීයක් අසා ඇති 
ඒ ගී නමින් මෙසේ, 
දුක් ගායනා ඇසේ '

ගාමිණී මෙම ගීය සංගීත සංදර්ශන⁣යකදී ගයන විට, එයට වශිවුණු ශීලා නම් 'ක්ලබ්' එකක වැඩ කරන රූමත් තරුණියක් ගාමිණීව එම ක්ලබ් එකේ අයිතිකරු වූ 'මර්වින්ට' හඳුන්වා දෙයි. මර්වින්, ගාමිණීව තම ක්ලබ් එකේ නිත්‍ය ගායකයෙක් ලෙස ගී ගැයීමට තෝරා ගනීයි.

සෝමපාල ලීලානන්දගේ තිරනාටකය අනුව සැකසුණු 'චණ්ඩි පුතා' චිත්‍රපටයේ ආරම්භය සිඳුවූයේ එසේය. සෝමපාල, ගාමිණීගේ චරිතය වීරයෙක්, සූරයෙක් හා චන්ඩියෙක් ලෙස තිරනාටකය තුළ උලුප්පා පෙන්වීය. එපමණක් නොව ඔහු ගාමිණී ගේ චරිතය තුළ අවංක ආදරවන්තයෙක්, ගායකයෙක්, මෙන්ම සංවේදි හදවතක් ඇති, එලෙසම මාතෘ ප්‍රේමය උතුරා ගලා යන ,හැම අතින්ම සපිරුණු චරිතයක් බවට පත් කර තිබුණි.

ගාමිණීගේ ගීත වලින් මත්වූ තවත් ⁣ධනවත්, රූමත් තරුණියකි, ගීතා. ඇය එඩීගේ දියණිය වූ අතර, ඇයව විවාහකරගන්නා පෙම්වතා වූයේ මේ ක්ලබ් අයිතිකාර මර්වින්ය. ගාමිණීට රසික, රසිකාවියන්ගෙන් ලියුම් මිටි ගණන් එන්නට විය. ඒ හැම ලිපියක් ඇතුලේ රුපියලේ කොලයක්ද දමා එවා තිබුණි. (එකල රුපියලක් යනු වටිනා මුදලකි). මේවා නමි මාර 'කන්සෙප්ට්'ය. ඒ අතරේ ගීතා එවූ ලිපියක්ද තිබුණී. එහී කියා තිබුණේ ඇයට ඔහුව දැක බලා ගැන්මට ලොකු ආශාවක් තිබෙන බවක්ය. ඇයගේ ආශාව ඉෂ්ට කිරීමට සිතූ ගාමිණී, ඇයට මුහුදු වෙරළට එන්නට කීවේය. මුහුදු වෙරළේදී ඔවුන් හමුවූ පසු, ඇය ඔහුට ගීතයක් ගැයීමට කීය.

" මල් වර මල් රැඟුම් දේ 
කොමළ සිනාවේ, 
රන් තත්සර බිඳී යයි හද වීණාවේ 
මිණි පලන්දා, ගී උපද්දා "

මේ අව් අස්සේ ගාමිණීව ක්ලබ් එකට රැගෙන ආ ශීලාද ගාමිණීට ආදරය කරන්නට වූවද, ගාමිණී ඇයට ප්‍රේම කරන්නට කැමති වූයේ. නැත, ගාමිණී ආදරය කළේ ගීතාටය.

දිනක් හදිසි අකරතැබ්බයකින් ගාමිණිගේ රථයට මිනිසෙකු යට විය. ඔහු කොළඹ "බජාර්" එකක් ගෙනියන බජාර් ලොක්කෙක් වූ 'සිරිල්' ය. එම රිය අනතුරෙන් සිරිල්ගේ එක් කකුලක් වෙන්වූ අතර, ගාමිණී මෙම හේතුව නිසා එම බජාර් එකට එකතු විය. පසුව සිරිල් ඇතුලු එම බජාර් එකේ හැමෝම ගාමිණිට රජෙකුට මෙන් සලකන්නට විය.

ගීතා, ගාමිණී සමඟ ආදරෙන් වෙලී සිටින බව දුටු මර්වින් ගාමිණීව ක්ලබ් එකෙන් නෙරපන්නට විය. ගාමිණී ක්ලබ් එකෙන් මෑත්වී කෙළින්ම ගිහින් නැවතුනේ සිරිල්ගේ බජාර් එක තුලය. එහීදී ඔවුන් ගාමිණීව පිළිගන්නට සාදයකුත් සංවිධානය කළෝය. ගාමිණී එහිදී ගී ගයන්නටද විය.

" බඹරා වගේ ඇත තවම විසේ 
සල්ලි නැතේ, මට විස්කි නැතේ 
යාළු වෙලා සිටි අය නැතේ 
වැටී ගියත්අප එකා වගේ 
ගල් මුල් ආවත් ,බය නෑ බය නෑ 
අපට හිතට දුක නෑ "

පිස්සු හැදුණු ශාන්ති තවමත් තම දරුවාව සොයමින් පාරේ ඇවිදියි. ඇයට ගාමිණීව පාරේදී කීප විටක්ම මුණ ගැසුනත්, අම්මා, පුතා හඳුනාගන්නේ නැත. මෙවැනි අද්භූත සිද්ධීන් නම් අපේ සිනමාවට පැමිණියේ ඉන්දීය චිත්‍රපට වලිනි.

ක්ලබ් එකේ රැකියාව අහිමිවූ පසු ගාමිණී ටැක්සි රියදුරෙක් ලෙස රැකියාව කරයි. එහෙත් එය ගාමිණී හා ගීතාගේ ආදරයට බාධාවක් නොවේ.

" පෙම් පෙම් සිනහා 
යති පාවෙලා 
සතුට කැන්දා, පිදුව හින්දා 
පෙම් පෙම් සිනහා 
යති පාවෙලා "

ගාමිණීට ක්ලබ් එකේ රැකියාව අහිමි නිසා ගාමිණි, සිරිල් ඇතුළු ඔවුන්ගේ බජාර් එකම ක්ලබ් එකට ගොස් මර්වින්ට 'චැලේන්ජ්' කරයි. එතැනදී ඔවුන් මර්වින් සහ ඔවුන්ගේ ගෝලබාලයන් සමඟ ගෝරියකට පැටලී ක්ලබ් එකේ බඩු මුට්ටු වලටද සැහෙන ලෙස අලාබහානි කරයි. මේ නිසා මර්වින් විසින් බෝම්බයක් යොදවා සිරිල්ව ජීවිතක්ෂයට පත් කරන්නේ සිරිල්ගේම ගෝලයෙක් හරහාය. මෙය දැනගත් ගාමිණී හා බජාර් එකේ අය ක්ලබ් එකට ගොස් ක්ලබ් එක කුඩුපට්ටම් කර දමයි. එතනදී මර්වින් හා ගාමිණී අතර දරුණු ගුටිබැට හුවමාරුවක් වූ අතර එතැනදී මර්වින් විසින් ගාමිණීව උඩුමහලින් පහතට තල්ලු කරයි. එයින් ගාමිණීගේ දෙපා පණ නැති වී ඔහුව රෝද පුටුවට සීමා වේ. ඔහුව බලා ගත්තේ ගීතා සහ ඇයගේ පියා එඩීය.

මේ එඩීගේ හොඳම යහළුවා වූයේ මාක්ය. මාක් යනු එදා ශාන්තිගේ මුදල් සොරා ගෙන, ශාන්තිගේ දරුවාව පැහැරගෙන දේවස්ථානයක් ඉදිරියේ දමා ගිය පුද්ගලයාය. අන් අතකට මාක් යනු මර්වින්ගේ පියාය. මර්වින් හා ගීතා කුඩා කාලයේ එඩී හා මාක් පොරොන්දුවක් ඇති කර ගෙන තිබුණේ ගීතා හා මර්වින්ව විවාහ කරවන ලෙසය. .මේ අතර ගීතාගේ පියා , ගාමිණී හා ගීතාගේ හඬ යොදවා ගීත කීපයක් තැටිගත කරයි. ඒවා මුලු රටේම ප්‍රචලිත වූ අතර ගාමිණී හා ගීතා ට ලැබෙන්නේ විශාල ජනප්‍රියත්වයකි.

ගීතා, මර්වින් සමඟ විවාහ නොවී ගාමිණී සමඟ විවාහ වන්නට යන නිසා ,මාක් මෙතෙක් රැක⁣ගෙන සිටි රහස එළිකරයි. ඒ, මහ පාරේ පිස්සුවෙන් ඇවිදින උමතු ගැහැනිය වූ ශාන්තී, ගාමිණිගේ මව කියාත්, එඩී, ශාන්තිගේ සැමියා කියාත්ය. එවිට ගාමිණීගේ පියා වන්නේද එඩීමය. ගීතා , එඩී විසින් දරුකමට හදා ගත් ළමයෙකි. ඒවා නම් මාරම ජිමික්ස්ය.එය ඇසූ ගාමිණී රෝද පුටුවෙන්ම තම මව සොයා යන අතර, සුළු අනතුරකට අසු වූවද ඒ අනතුරෙන් ගාමිණී ගේ කකුල් දෙක සුවවේ. දොස්තර වරුන්ට පමණක් නොව, දෙවියන් වහන්සේටවත් කිරීමට බැරි දේවල් තිර කථා රචක සෝමපාල ලීලානන්ද හා සහය අධ්‍යක්ෂක තිලක් වේහැල්ල කිරීමට හැකි විය. ඒවා නම් පුදුම ප්‍රාතිහාර්යන්ය . අවසානයේ මහා විශාල ගුටි බැට, වෙඩි තැබීම් , හා බෝම්බ පිපිරීම් වලින් පසු මාක් සහ මර්වින් මිය යන අතර, එඩී, ශාන්තී,මෙන්ම ගාමිණී හා ගීතා එක්වීමෙන් චිත්‍රපටය නිම වෙයි.

ගාමිණී⁣⁣ ෆොන්සේකා, (ගාමිණී) ගීතා කුමාරසිංහ,(ගීතා) ජෙනිටා සමරවීර,(ශීලා),සෝමසිරි දෙහිපිටිය (සිරිල්), මාක් සමරනායක (මාක්), ශාන්ති ලේඛා (ශාන්ති), එඩී ජූනියර්(එඩී) ,අරුණ ශාන්ති (කතෝලික පූජක තුමා) එකී චරිත වලට පණ දුන් අතර, තිරයට හඳුන්වා දුන් මර්වින් ජයතුංග ,මර්වින් ලෙස කැපී පෙනෙන රඟපෑමක් ඉදිරිපත් කළහ. ඇන්තනී සී පෙරේරා , බී.එස්.පෙරේරා, බන්ධු සමරසිංහ, පර්ල් වාසුදේව, සිසිර කුමාරතුංග, සේනක පෙරේරා, පියරත්න එම් සෙනරත් සෙසු චරිත රඟපෑහ.

සරත් දසනායක ගේ සංගීතයට, එච්.ආර් ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල හා එම්.එස්.ප්‍රනාන්දු ගීත ගැයුහ. .එම්.වී.හේමපාල කැමරාව මෙහෙයවිය.

ගාමිණී ෆොන්සේකා වෙනුවෙන්ම සෑදුනු 'චණ්ඩි පුතා' චිත්‍රපට⁣ය තුළ තනිකරම තිබුණේ ,ගාමිණී ෆොන්සේකාව තව තවත් ඉහලටම ඉස්සීමත්, ඔහුගේ වීර වික්‍රමයන් චිත්‍රපටය පුරාම පැතිරවීම වුවද,නවක නළු මර්වින් ජයතුංග ගේ අසාමාන්‍ය පෞරුෂත්වය හා රංගනය, ගාමිණී ෆොන්සේකා හා කරට කර රඟපෑමක් ඉදිරිපත් කළේ සැවොම මවිත කරමිනි.එවකට නවක නිළියන් වූ ගීතා කුමාරසිංහ හා ජෙනිතා සමරවීර 'චණ්ඩි පුතා' චිත්‍රපටය තම නැවුම් සුන්දරත්වයෙන් අලෝකමත් කළහ.

"චණ්ඩි පුතා" ත්‍රිලිං, රොමැන්ටික්, සහ මියුසිකල් යන අංශ තුනෙන්ම සපිරුණු හෙයින් එය විශාල ජනප්‍රියත්වයක් ලැබූ චිත්‍රපටයක් විය. එලෙසම එය වානිජ්‍යමය අතින්ද අතී සාර්ථක විය.

ආරියරත්න පෙරේරා නිෂ්පාදනය කළ "චන්ඩි පුතා" තිරගත කිරීම ආරම්භ කළේ 1977 අගෝස්තු 19 වෙනිදාය.

ශෝන් මැක්ස්මස් දිසානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.