“අමරදේව” මහා ගාන්ධර්වයාණන් විසින් පටිගත කරන ලද පළමු ග්‍රැමෝෆෝන් ගීතය

ඔක්තෝබර් 31, 2019

සිංහල සංගීතයේ මහා ගාන්ධර්ව අමරදේව ශූරින් ගේ තෙවැනි වියෝගානුස්මරණය වෙනුවෙන්, එතුමා විසින් මුල්වරට ග්‍රැමෝෆෝන් තැටියකට පටිගත කරන ලද ගීතයෙහි ඉතිහාසය බිඳක් මෙසේ සංක්ෂේප කරන්නෙමි.

වර්ෂ 1945 දී පමණ “ලංකා ජනකලා මණ්ඩලය” මගින් පවත්වන ලද දීප ව්‍යාප්ත තරඟාවලියෙන් වයලීන් වාදන අංශයෙන් ප්‍රථමස්ථානය සහ රන්පදක්කම දිනා ගැනීමට මොරටුවේ කොරළවැල්ලේ ඩබ්ලිව්. ඩී ඇල්බට් පෙරේරා තරුණයා සමත් විය. කොරළවැල්ලට පමණක් සීමා වූ ඔහුගේ ප්‍රසිද්ධිය, නොබෝකලකින් ම ලක්දිව පුරාම පැතිරී යන්නට වීය. ඩී .ටි.ප්‍රනාන්දු මහතා යටතේ සංගීතය තව දුරටත් ප්‍රගුණ කළ ඇල්බට් පෙරේරා තරුණයා, ගුරු දේව සුනිල් සාන්තයන් වෙතින් සංගීතය, ගායනය සහ වාදනය ප්‍රගුණ කරන අවධියෙහි, ඔහුගේ දක්ෂතා ගැන පැහැදුණු, මොරටුවේ ජෙරාඩ් ජේ. පීරිස් මහතා විසින්, එවකට කොළොම්බියා ග්‍රැමෝෆෝන් තැටි සමාගමේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත ඇල්බට් පෙරේරා තරුණයා හදුන්වා දෙන්නේ ය. මොහොමඩ් ගවුස් මාස්ටර් සහ යූ .ඩී .පෙරේරා මහත්වරු වෙතින් තවදුරටත් සංගීත ශාස්ත්‍ර ඥානය ලබා ගන්නා ඇල්බට් පෙරේරා තරුණයා නොබෝකලකින් ම ගවුස් මාස්ටර් ගේ සංගීත කණ්ඩායමේ නිත්‍ය වයලීන වාදකයෙක් වන්නේ ය. 1945-47 වකවානුව තුළ බිහි වූ බොහොමයක් කොළොම්බියා සමාගමේ ගීත පටිගත කිරීම් සඳහා වයලීන වාදනයෙන් දායක වීමට ඇල්බට් පෙරේරා තරුණයාට අවකාශ ලැබෙන්නේ ය. 

මේ කාලවකවානුවේදී ම, ගවුස් මාස්ටර් සහ යූ .ඩී පෙර්රා මාස්ටර්වරුන් විසින් කොළොම්බියා තැටි සමාගමට නවක තරුණ ගායක ගායිකාවන් රාශියක් ඇතුළත් කොටගෙන ගීත පටිගත කිරීම් සිදු කරනු ලැබිණි. ගවුස් මාස්ටර් ගේ කණ්ඩායමේ ප්‍රධාන ගායිකාවන් දෙදෙනා වූ, කේ.කේ. රාජලක්ෂ්මි සහ ග්‍රේටා ජැනට් ද සිල්වා 1945 දී ගායනයෙන් සමුගත් බැවින් ඔවුන්ගේ අඩුව පිරිමැසීමට බොහෝ නවක තරුණ ගායිකාවන් ගීත ගායනයට යොදාගන්න ලදී. ඒ අතුරින් රාණි, මේබල් ප්‍රනාන්දු, නෝනා සුබෙයිදා, මධුරාවති, රුද්‍රානි ලියනගේ, සිරිමතී වෙත්තසිංහ ආදී ගායිකාවෝ ප්‍රධාන තැනක් ගත් අතර, දොන් සිමියොන්, පීටර් ප්‍රනාන්දු, ජෝන් ගිල්බට් ආදී නවක ගායකයෝ ද කොළොම්බියා පටිගත කිරීම් සඳහා යොදා ගන්න ලදී.

මෙවන් වකවානුවක, ස්වකීය සංගීත කණ්ඩායමේ සිටි, දක්ෂ වයලීන වාදකයෙකු වූ ඇල්බට් පෙරේරා තරුණයාට ගීතයක් පටිගත කිරීම සදහා ගවුස් මාස්ටර් විසින් හදිසියේ ම ඇරයුම් කරනු ලැබෙයි. බෙංගාලි ගීත තනුවක් ඇසුරින් නිපැයූ මෙම ගීතය රචනා කළේ යූ .ඩී. පෙරේරා මහතාණන් විසිනි. යුග ගීතයක් වූ මෙහි සහාය ගායිකාව වූයේ “සිරිමතී වෙත්තසිංහ“ නමැති එවක බොහෝ ගායනා තරඟ වලින් ප්‍රථමස්ථානය දිනා සිටි කළුතර ප්‍රදේශයෙන් පැමිණි දක්ෂ තරුණ ගායිකාවකි. 1943-44 වකවානුවේ කොළොම්බියා තැටි සඳහා ගායනා කළ “සිරිපා යුග නමදිමු ම ප්‍රියේ” වැනි කේවල ගායනා වලින් සිරිමතී වෙත්තසිංහ තරුණිය මහත් ජනාදරයට පත්ව සිටියා ය. අමරදේවයන් ගේ “ගී සර මුවරද ” කෘතියෙහි දක්වන ආකාරයට මෙම ගීතය වෙත්තසිංහ ගායිකාව සමගින් මුලින් පටිගත කිරීමට පුහුණුව සිටි ගායකයා ( පීටර් ප්‍රනාන්දු) ගීතය කිහිපවරක් නිවැරදි අයුරින් ගායනා නොකිරීම නිසා, වාදක මණ්ඩලයේ සිටි ඇල්බට් පෙරේරා තරුණ මහතාට ගවුස් මාස්ටර් විසින් ඇරයුම් කිරීමෙන් අනතුරුව, එම ගීතය ගවුස් මාස්ටර් සතුටු වන අයුරින් නිවැරදි ලෙස ඔහු විසින් ගායනා කරන ලද බව ය.

ට්ඡ්ඉ 6 අංක දරන කොළොම්බියා තැටියට නිකුත් වූ මෙම යුග ගීතය “රසයි කිරි නෑ දියාරු“ නම් විය. කිරි විකුණන තරුණියක සහ තරුණයෙකු අතර ඇතිවන ප්‍රේමාන්විත සංවාදයක් මෙයට පාදක විය.

තරුණිය : රසයි කිරි නෑ දියාරු - ගතයි සිතයි පිනා  
දෙමි අවොත් මගේ කිරී සුදෝ ගනිත් හුඟක් දෙනා 
තරුණයා : ඊස් කියත් වටියි කිරියි පැණිත් තිබේයි මෙ ලඳේ 
එනු එනු මෙහෙ , නැතත් පැණි ලඳේ කිමා හා , මෙහි 
කිරිවගෙ සුදයි, සුදා නිවේවි මගේ හදා ,  
රටක් වටී නුඹේ කිරී- මගේ නගෝ නොවෙන් කෝපා 
තරුණිය : නෑ ,නෑ , නෑ , නෑ 
ඉරත් බැහී යාවි අනේ හුඟක්ම රෑ වුණා 
ගෙයත් අපේ දුරයි අනේ මටත් තනියි වගේ 
තරුණයා : ප්‍රීති ජලෙනා -ප්‍රීති ජලෙනා කන්ට කිරි දෙන්කෝ 
සිරිකතේ කිරි දෙන්කො සිරිකතේ 
තරුණිය : යමි යමි යමී මෙමා නෑ වෙනසක් හිතේ මගේ 
නෑ වෙනසක් හිතේ 
තරුණයා : හා හා හා හා 
තරුණිය : ප්‍රේමී හැරා නොයන් පණේ - සිත් නළවයි රූපෙ ඔබේ 
තරුණයා : වෙන්කො මගේ ප්‍රේමී 
තරුණිය : වෙන්න මගේ ස්වාමී 
දෙදෙනා : ජීවන සුපෙම් ගඟේ ගිලී -ගිලී පීන පීනා 
ප්‍රීති ප්‍රීති. ... කමුකෝ කිරි සමග පැණි ඉතින් ප්‍රීති පානා

1945 දී එන්. පොරෝලිස් ප්‍රනාන්දු සමාගම විසින් බෙදා හරින ලද, කොළොම්බියා ගීත පොතෙහි ඉහත ගීතය හදුන්වා දීමේදී ඇල්බට් පෙරේරා තරුණයාගේ සහ වෙත්තසිංහ තරුණියගේ ගායනයෙහි දක්ෂතාවයන් පිළිබඳව මෙසේ වර්ණනා කර ඇත. “ගායනා තරඟයන්ගෙන් රන්පදක්කම් ලත් සිරිමතී වෙත්තසිංහ නෝනා සහ චිත්‍රකලාවේ ගායන විශාරදයෙකු වූ ඇල්බට් පෙරේරා තරුණ මහතාගේත් මේ ගායනය වර්තමාන ඨුම්රි ගායකයන් ගේ ගීත වලට වඩා සෑම අතින්ම උසස් වේ” .

මුල් වරට කිරි- පැණි වෙළෙඳාමක් ගැන ප්‍රේමාන්විත සංවාදයක්, ග්‍රැමෝෆෝන් ගීත තැටියකින් හමුවන්නේ 1934 දී පමණ ය. ඒ ලක්‍ෂමී බායි සහ රොමානිස් පෙරේරා ගේ “කිරි-පැණි වෙළෙඳාමක්” නමින් නිකුත් වුණු “දොන් ජුවන් ධර්මපාල” නුර්තියේ දෙබස් සහිත ගීත ජවනිකාවකි. එම අදහස හා සමාන අදහසක් ඇති ගීතයක් 1943 වසරේ හිස් මාස්ටර් වොයිස් (ඩ්ර්ඍ) ලේබලයෙන් ද, නිකුත් විය. “පුංචි සුදා කිරි කැටියා“ යන සංවාදාත්මක ගීතය ආනන්ද සමරකෝන් සහ ශිෂ්‍යාව විසින් ගායනා කරන ලදී. ජි. ආර් එඩ්වඩ් සහ ග්‍රේස් ද සිල්වා විසින් ගායනා කරන “මෝරු මෝරු ගන්නේ කවුද“ යන ගීතයෙන් (1942 වසරේ පටිගතකළ) කියවෙන්නේ ද , මෙම ගීතයේ තේමාවට සමාන ප්‍රේමාන්විත සල්ලාපයකි. ඒ අනුව බලන කල කිරි විකුණන තරුණියක් සහ තරුණයෙක් අතර ප්‍රේමාන්විත සංවාදය එවකට ග්‍රැමෝෆෝන් ගීත රචකයන් අතර ප්‍රචලිත වූ තේමාවක් බවක් හැඟෙයි .

“රසයි කිරි” ගීතයේ සංගීතමය භාවිතය ගැන වෙසෙසින් සඳහන් කළ යුතු ය. ගීතය ප්‍රධාන වශයෙන් තාල දෙකකින් නිර්මිත වූ බවක් පෙනෙන අතර, මුල් කොටස කෙහෙර්වා තාලයෙන් ද, අනෙක් කොටස ඛේම්ටෝ තාලයෙන් ද නිර්මිතය. තාල වාදනය තබ්ලාවෙන්ද, ඊට අමතරව ක්ලැරිනට් සහ මැන්ඩලීනය වැනි වාද්‍යභාණ්ඩ ද උපයෝගී කොටගෙන නිර්මාණය කර ඇති බවක් පෙනෙයි. රාගධාරී සංගීතයෙහි රාග කීපයක් සම්මිශ්‍රණය කොට නිමවා ඇති ගීයක් බැවින්, ප්‍රධාන වශයෙන් රාගයක් පැවසීම දුෂ්කර නමුත්, මුල් වාදන කොටස පීලු සහ කාෆී රාග වලින් සමන්විත ව පසුව ශුද්ධ ස්වර වලට බිඳී යන අයුරකින් නිර්මාණය කර ඇත.

මෙම ගීතයේ ආරම්භක වාදන ඛණ්ඩය සහ ඇතැම් අන්තරා කොටස් එවකට භාරතයේ කල්කටා හි, “නිව් තියටර්ස්”සමාගමේ නිෂ්පාදනයක් වූ, “කාශිනාත්” හින්දි චිත්‍රපටයේ (1943) බෙංගාලි ගායක -ගායිකා යුවලක් වන බේලා මුඛෝපාධ්‍යය (මුකර්ජි) සහ අසිත් බැරන් දෙපල විසින් ගැයූ යුග ගීතයක් ඇසුරින් නිර්මාණය කර ඇත. එම හින්දි ගීතයට පාදක කරගත් මුල් බෙංගාලි ගීතය “ප්‍රමෝධා දේවී” නම් ගායිකාව (1930 දශකයේ ගැයූ) බෙංගාලි ජන ගී ආරේ ගීයක් ඇසුරින් නිෂ්පන්න කරන ලද්දකි. ගවුස් මාස්ටර් විසින් සිංහල ගීතයට යොදා ගත් කාශිනාත් චිත්‍රපටයෙහි ගීතයෙහි ආරම්භක සංගීත ඛණ්ඩය, ඔහුගේ එවකට ප්‍රියතම සංගීත ඛණ්ඩයක් වූ බව නොරහසකි. 1947 වර්ෂයේ මෙරට ප්‍රදර්ශිත දෙවැනි සිංහල චිත්‍රපටය වූ “අසෝකමාලා” චිත්‍රපටයේ භාග්‍යරති සහ පිරිස ගයන “ ප්‍රීති ප්‍රීති - චංචල් වේ ජීවන මේ මනහාරී” ගීතයේ ආරම්භක වාදනයට ද, ගවුස් මාස්ටර් විසින් එකී සංගීත ඛණ්ඩය ම නැවත භාවිත කිරීම එක්තරා සුවිශේෂත්වයකි.

ඇල්බට් පෙරේරා සහ මොහොමඩ් ගවුස් මාස්ටර් සුසංයෝගය ග්‍රැමෝෆෝන් ගීතයේ සිට චිත්‍රපට සංගීතය තෙක්ම පැවතුණි. අසෝකමාලා (1947) හි සහාය සංගීත අධ්‍යක්ෂක ලෙස ගවුස් මාස්ටර් සමගින් කටයුතු කරන ඇල්බට් පෙරේරා තරුණයා එහි තාපසයෙකුගේ චරිතය නිරූපණය කරමින් ගීත දෙකක් ද, ( “භවේ භීත හැර” සහ “ ඇයි කළේ යමෙක් ආලේ” යන ගීත යුගලය) ගායනා කරන්නේ ය. එබැවින් අමරදේව ශූරීන් ගේ සංගීත දිවියෙහි මුල්වකවානුවෙහි ගායකයෙකු සහ වාදන ශිල්පියෙකු වශයෙන් ශ්‍රාවක ජනප්‍රසාදය දිනා ගැනීමට මොහොමඩ් ගවුස් මාස්ටර් විසින් කරන ලද සේවය වෙසෙසින් ම සදහන් කළ යුතු මනා ය.

මෙරට මහා සංගීතවේදියානන් වූ අමරදේව ශුරීන් සමගින් පළමු වරට යුග ගීයක් ගැයූ ගායිකාව ලෙස සිරිමතී ( ශ්‍රීමතී ) වෙත්තසිංහ ගායිකාව ඉතිහාසගත වන්නී ය. විවාහයෙන් පසු ශ්‍රීමති සමරසිංහ වූ එතුමිය 1950 දශකයේ ප්‍රසිද්ධ ගුවන්විදුලි ගායිකාවක ද වූවා ය. එතුමිය විසින් 1951-53 වකවානුවේ ගුවන්විදුලි ගීත රාශියක් පටිගත කර ඇත. දැනට ඕස්ට්‍රේලියාවේ සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවන එතුමියට අපි චිරජීවනය පතන්නෙමු.

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ 
අමරදේව ශූරින් ගේ නාමයට 
මෙම සටහන උපහාරයක් ම වේවා ! 
විශේෂ ස්තුතිය: 
ගීත තැටිය ලබාදුන් 
යූ.ඩී.පෙරේරා මහතාගේ පුත්‍ර 
විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මහතා, 
ගීතයේ රාග-තාල පිළිබඳ කරුණු සපයා දුන් තරුපති මුණසිංහ සහ 
බුද්ධි ගයාෂාන් ජයසේකර මහත්වරු

ඉසුරු උදයංග කාරියවසම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.