සෝබන චන්ද්‍රා බැස යනවා චන්ද්‍රාවෝ ඔබ සිහිවෙනවා.....

නොවැම්බර් 7, 2019

සෝබන චන්ද්‍රා නැග එනවා, චන්ද්‍රාවෝ ඔබ සිහිවෙනවා අපගේ මතකයෙන් ඈත්ව නොගොස් මතකයේ රැඳී ඇති පැරණි ගුවන් විදුලි ගීතයකි. ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න විරචිත කාන්ති වක්වැල්ල ගායකයාගේ හඬින් ගැයුණු මේ ගීතය වියෝව ගිය චන්ද්‍රාවක් පිළිබඳ ගැයුණු පුද්ගල වැලපීමකි.එහෙත් මගේ සටහන දින කිහිපයකට පෙර බැස ගිය චන්ද්‍රාවක් හා ඈ සිහිවන රසික සමාජයක, මිතුරු සමාගමයක සිත් උපන් සෝකය බෙදා හදා ගැනීමට ලියැවුණකි.

ගීතයෙන් පැවසෙන්නේ සෝබන චන්ද්‍රා නැග එන කල්හි චන්ද්‍රාවෝ සිහිවුණ ද මා පවසන්නේ සෝබන චන්ද්‍රා බැස යද්දී ඈ සිහි වී ඈ අමතක කළ නොහී දුක් වූ විසාල පිරිසකගේ හදවතින් උපන් අවංක කෘතවේදීත්වය, ගෞරවය නො අඩුව ලද කලාකාරිණියක පිළිබඳවය. ඈ හැටේ දශකයේ බක්මහ දීගේ වේදිකා රංගනයේ සිට 2007 නිසලගිර චිත්‍රපට රංගනය දක්වා දශක පහක් තරම් කාලයක් වේදිකාවෙන්, සිනමාවෙන් හා රූපවාහිනී නාට්‍යයෙන් සුවහසක් රසිකයන්ගේ හදවතට ළං ව සිටි රංගවේදිණී චන්ද්‍රා කළු ආරච්චිය.ඈ දිවි රඟ මඬලින් සමුගත් මොහොතේ සිට එනම් පලවන දා සැඳෑ භාගයේ සිට ඇයට තම අවසන් බුහුමන ගෞරවය පිදීමට ගල්කිස්සේ ඇගේ නිවහනට පැමිණි පිරිස මෙන් ම ඇගේ අවසන් කටයුතු සිදු වූ තුන්වන දා අනෝරාවක් මහ වැසි මැද ගල්කිස්ස සුසාන භූමියට එක්ව සිටි මහා සෙනඟ පැවසූයේ අව්‍යාජ නිර්මාණකරුවකු , නිර්මාණකාරියක වෙනුවෙන් ශෝක වන්නට, ගෞරවය පුදන්නට තරම් නොපසුබට වන රසික ප්‍රජාවක් තවමත් ඉතිරි ව සිටින බවයි. චන්ද්‍රා කළු ආරච්චි ගේ රංගන ජීවිතය මෙන්ම සමාජ ජීවිතය තුළ ද අපට හමු වූයේ නිළියක පමණක් නොව වරෙක වැඩිහිටි සහෝදරියකි. තවත් වරෙක මවක සේ උපදෙස් දුන් මවක් නොවූ මාතාවකි.චන්ද්‍රාට, කලා ක්ෂෙත්‍රයේ බොහෝ දෙනාගේ ළෙංගතු ආමන්ත්‍රණය වූ චන්ද්‍රක්කාට මේ සා විසාල පිරිසක් ආදරය කළේ ඒ නිසාය. ඇගේ වියොව ඔවුනගේ ඇසට කඳුළක් එක් කළේ එබැවිනි.එහෙත් ඈ ඒ කිසිවක් නොදැක ගල්කිස්ස ආදාහනාගාරයේ දුම් රොටුවෙන් ගුවනට එක් වූ අවසාන දුම් රොටුව සමග නිහඬව ම අවසන් ගමන් ගියාය.චන්ද්‍රා කළු ආරච්චි හිරිමල් වියේදී ම ඇගේ රංගන කුසලතාව අගනුවර ප්‍රේක්ෂාගාරයක ප්‍රබුද්ධ නාට්‍ය රසික සමාජයක් හමුවේ ප්‍රකට කරන්නීය. විශිෂ්ට නාට්‍යකරුවෙකුගේ නිෂ්පාදනයකට චන්ද්‍රා හවුල් වන්නී එදවස වේදිකාවේ තවත් විශිෂ්ට නළු කැලක් සමගය. දයානන්ද ගුණවර්ධන ගේ බක්මහ අකුණු නාට්‍යයේ චන්ද්‍රා රඟන්නී කරුණාවතී ගේ චරිතයයි.නිමලා බාලසූරිය, ඩැනියෙල් මුතුමාල, යු.ආරියවිමල් ,සාලමන් ෆොන්සේකා, ගාමිණී විජේසූරිය ආදීන් සමගය චන්ද්‍රා ගේ වේදිකා ආගමනය සිදුවන්නේ.දයානන්ද ගුණවර්ධන වැනි විශිෂ්ටයෙකු සමග රංගාවතරණය කරන චන්ද්‍රා 1963 සිට 1986 පමණ කාලය තුළ සිංහල නාට්‍ය ක්ෂෙත්‍රයේ දැවැන්තයන් මෙන් ම නව පරම්පරාවේ ප්‍රතිභාන්විත තරුණ නාට්‍යකරුවන් ගේ නිර්මාණ සමග ද එක් වී ඇගේ රංගන ප්‍රතිභාව ප්‍රකට කරන්නීය.ප්‍රේමරංජිත් තිලකරත්න,සෝමපාල ගුණධීර, පද්මසීල ද සිල්වා, එස්.කරුණාරත්න 

,ආර්.ආර්..සමරකෝන්, හෙන් රි ජයසේන ,කේ.බී. හේරත් වැනි ප්‍රවීණයෝ චන්ද්‍රාගේ රූපණ ශක්‍යතා හඳුනාගෙන තම නිෂ්පාදන සඳහා ඇගේ දායකත්වය ලබාගත්හ. පෙරළා ඈ ඔවුනට ද ප්‍රති උපකාර කරන්නී ඇතැම් නිෂ්පාදනයක ඇගේ රංගන කුසලතාව වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළ හොඳම හා හොඳම සහාය නිළි සම්මාන ද ලබා දීමෙනි. වැඩිහිටි ප්‍රවීණයන් මෙන්ම නීල් අලස්,විජිත ගුණරත්න, කපිල කුමාර කාලිංග හා ප්‍රසන්න විතානගේ වැනි තරුණ නාට්‍යකරුවන්ගේ නිෂ්පාදන වූ සිහින සාප්පුව,සුබසාධක, රයිනොසිරස් හා අවි ඒ අතර කැපී පෙනෙන නිෂ්පාදන වේ.

1964 සිංහල නාට්‍ය උත්සවයේ දී තාත්වික අංශයේ හොඳම නිළියට පිදෙන සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු ඇමතිතුමාගේ සම්මානය චන්ද්‍රා කළු ආරච්චි විසින් හිමි කර ගනු ලබන්නී ප්‍රේමරංජිත් තිලකරත්නගේ වහලක් නැති ගෙයක් නාට්‍යයේ මවකගේ චරිතය ( සෝමාවතී ) රංගනය උදෙසාය. විසි එක් විය පසු කළ තරුණියක වූ චන්ද්‍රා දෙනවක හාමිනේ වැනි නිළියකගේ රඟපෑම් ද අබිබවමින් වැඩිහිටි චරිතයක් රඟපෑම වෙනුවෙන් රාජ්‍ය සම්මානයකට හිමිකම් කීම පැවසූයේ කවදා හෝ ඈ වේදිකාවේ දිගු ගමනක ගමන් ගන්නියක වනු ඇතැයි යන්නය. චන්ද්‍රා පසු කාලයේ දෙවරක් ම මෙම ජයග්‍රහණයට හිමිකම් ලබා ගනිමින් ඒ බව සනාථ කළාය. 1971 සිංහල නාට්‍ය උත්සවයේ දී ආර්.ආර්.සමරකෝන්ගේ අහසින් වැටුණු මිනිස්සු හි ජේන්නෝනා ගේ රංගනය උදෙසා හොඳම සහාය නිළියට හිමි සම්මානය ලබන්නේ ද,1975 දී නැවත වරක් සමරකෝන්ගේම ඉඩම නාට්‍යයේ රොසලින් නෝනාගේ චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ලබන්නේ ද රත්මලී ගුණසේකර, මර්සි එදිරිසිංහ වැනි නිළියන්ගේ රංගන හා තරග වදිමිනි. වයස විසි ගණන්වල දී මෙන්ම තිස් ගණන් ආරම්භයේ දීම චන්ද්‍රා මෙම හාස්කම් කරන්නී රංගනය යනු කුමක්දැයි ජ්‍යෙෂ්ඨ නාට්‍යකරුවන් යටතේ ලද පුහුණුවෙන්, ඔවුන්ගෙන් ලද ගුරු හරුකම් තුළින් ඉගෙන ගත් දැයින් මෙන්ම සතතාභ්‍යාසයෙන්, ඇගේම පරිකල්පනයෙන් උගත් රංගන ශෛලියක් මගිනි.චන්ද්‍රාගේ රංගනයෙහි පුළුල් පරාසය වටහා ගත හැක්කේ මුල් කාලයේ ඈ රඟ පෑ වැඩිහිටි මවගේ චරිත ( වහලක් නැති ගෙයක්, ඉඩම, අහසින් වැටුණු මිනිස්සු , මායාදේවී ) සඳහා ඈ සොයාගත් රූපණ ශෛලියට හාත්පසින් ම වෙනස් වූ රංගනයක් සුබසාධක හෝ අවි නාට්‍ය පෙළ විසින් ඉල්ලා සිටිනු ලබන චරිත ( ලෝරා බවුන්ටන්, කැතරින් ) සඳහා නිර්මාණය කරගැනීමට චන්ද්‍රා දක්වා ඇති ප්‍රතිභාව ඔස්සේය.සෝමාවතී හෝ රොස්ලින් වැනි ස්ත්‍රියක් ඇයට හමු වන මුත්, කැතරීන් හෝ ලෝරා බවුන්ටන් වැනි වෙනස් පරිසරයක චරිත ස්වභාව ප්‍රතිනිර්මාණය අභියෝගාත්මක වූවත්, අධ්‍යක්ෂවරයාගේ ද සහායෙන් ඈ එම අභියෝග ජයගත් බව අපට මතකය.කැතරින් රඟන චන්ද්‍රා ගජමන් පුවතේ රංචාගොඩ ළමයා වැනි චරිතයක් රඟන්නේ කෙසේද? ඇගේ රංග ප්‍රතිභාව එයයි.රංගනයේ දී ඈ නම්‍යශීලීය.චරිතය ඉක්මනින් වටහා ගන්නීය. අගේ සාර්ථකත්වයේ රහස එයයි.

චන්ද්‍රා කළුආරච්චි යනු වාසනාවන්ත නිළියකි. වේදිකා නාට්‍ය ක්ෂෙත්‍රයේ දී ඈ විශිෂ්ටයන් රැසක් සමග ඔවුනගේ නිෂ්පාදන සඳහා දායක වෙමින් තුරුණු වියේදී ම සම්මානලාභිනියක් වීම ද වාසනාවකි.සිනමාවට පිවිසෙමින් ද චන්ද්‍රා යළිත් අපට සිහිපත් කර දෙන්නී ඈ වාසනාවන්ත රංගනවේදිණියක බවයි. 1968 දී ජී.ඩී.එල්. පෙරේරාගේ දහසක් සිතුවිලි ඈ රඟ පෑ පළමු චිත්‍රපටයයි. එතැන් පටන් 2007 දී චන්ද්‍රා රඟ පෑ තනුජ් අනවරත්නගේ නිසල ගිර දක්වා වූ චාරිකාවේ දී සිංහල සිනමාවේ දැවැන්තයන් මෙන්ම විශිෂ්ටයන්ගේ ද චිත්‍රපට රැසකම රඟපාන්නට ලැබීම ඈ ලද වාසනාවකි.ඩී.බී.නිහාල්සිංහ ( වැලිකතර ) ධර්මසේන පතිරාජ ( පාර දිගේ ) ප්‍රසන්න විතානගේ ( පවුරු වළලු ) දයානන්ද ගුණවර්ධන ( බක්මහ දීගේ ) මහගම සේකර ( තුං මං හංදිය ) ටයිටස් තොටවත්ත ( මංගලා ) ගාමිණී ෆොන්සේකා ( රෑ මනමාලී ) විජය ධර්ම ශ්‍රී ( දඬු මොණර ) එකී විශිෂ්ටයන් හා නිර්මාණ අතරින් මතකයට නැගෙන නම් ගම් කිහිපයකි. මේ අධ්‍යක්ෂවරුන් ගේ නිර්මාණ හැරෙන්නෙට සුනිල් ආරියරත්න ( වජිරා- මුහුදු ලිහිණි ) ටී.අර්ජුන ( වසන්තේ දවසක් ) විමල් වෛද්‍යසේකර ( තරංගා ) සතිස්චන්ද්‍ර එදිරිසිංහ ( මාතර ආච්චි ) පතිරාජ එල්.එස්. දයානන්ද ( සෙලිනාගේ වලව්ව ) ආදී චිත්‍රපට අධ්‍යක්ෂවරුන් රැසකගේ නිර්මාණ සඳහා ද චන්ද්‍රා ගේ රඟ සොබාව අවශ්‍ය ව තිබුණු බව මෙම චිත්‍රපට නරඹන කල්හි අපට දැනේ. වේදිකාව, සිනමාව ජයගත් චන්ද්‍රා රූපවාහිනී පුංචි තිරය තුළින් යළිදු වරක් එක්වන්නී ඩී.බී.නිහාල්සිංහ සමගය. ශ්‍රී ලංකාවේ පළමු ප්‍රාසංගික නාට්‍යය වූ දිමුතු මුතු සමගය. චාතූර්යා, විලම්බීත හා බුමුතුරුණු වැනි ටෙලි නිර්මාණ තුළ චන්ද්‍රාගේ රංගන ප්‍රභාව දිදුලමින් පවතින බව නොරහසකි.

චන්ද්‍රා කළු ආරච්චි යනු බහුවිධ රංගන කුසලතා සතු වූ නිළියකි. රඟපෑමට අමතරව නාට්‍ය නිෂ්පාදන කටයුතු සඳහා ද ඈ හපනියක බව සිංහල සංස්කෘතික ආයතනයේ , සුදර්ශියෙහි සිටිය දී දයානන්ද ගුණවර්ධන සමග කටයුතු කළ කාලයේ දී අපි දැක ඇත්තෙමු. ඈ නිරහංකාරය.මිත්‍රශීලීය.සමාජශීලීය. ළෙන්ගතුය.සැහැල්ලුවෙන් විනෝදශීලී ජීවිතයකට ප්‍රිය කළාය. අල්ලාප සල්ලාපයෙහි දී සියුම්ව උපහාසාත්මකව සිත් නොරිදෙන අයුරින් විවේචනය කිරීමට ද සමත් ය. ඈ නිරතව සිටි සියළු ප්‍රකාශන මාධ්‍ය තුළ ( විවිධ රංගන ප්‍රභේද ) ඇයගේම අනන්‍යතාවක් ගොඩ නගා ගත් නිළියකි. ඈ වැන්නන් අද දවසේ බොහෝ කලා ක්ෂේත්‍ර තුළ විරලය.

බුද්ධදාස ගලප්පත්ති

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.