හීන හතක් මැද විමනක් සැදුණයි

ගී ලොව රැජනට සුබ උපන් දිනයක් වේවා
නොවැම්බර් 7, 2019

ශ්‍රී ලංකා ධරණී තලයේ, පුරා දශක හයක් සංගීත ක්ෂේත්‍රය තුළ ස්වකීය මාධුර්ය හඬ පෞරුෂය අඛණ්ඩව පවත්වා ගැනීමට ලැබීම කොතරම් භාග්‍යයක්ද? ඒ විරල භාග්‍යය හිමි කරගත් ඇය අදත් ක්ෂේත්‍රයේ සක්‍රීයව ජය කෙහෙළි නංවන්නේ යුගයෙන් යුගයට, පරපුරෙන් පරපුරට ස්වකීය අභිමානවත් හඬ දැයට තිළිණ කරමින් සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්්ටත්වයේ සලකුªණ සනිටුහන් කරමිනි.

උත්තර භාරතීය සංගීතය, දේශීය සංගීතය, ජන ගී, බටහිර සංගීතය, කන්තාරු ගී, සම්ප්‍රදාය මේ සියලු සංගීත පද්ධතීන් ඇසුරේ නිර්මාණය වූ විවිධ ශෛලීන් ඔස්සේ ගැයුණු ස්වකීය ගීතාවලියෙන් රසික හද මඬලට ආමන්ත්‍රණය කිරීමට ඈ ගත් උත්සාහය අද දැවැන්ත වෘක්ෂයක් සේ සංගීත ලොවට සෙවණ දී ඇත.

සංගීත ක්ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කළ ඇගේ නම ඉතිහාසයේ රන් අකුªරින් ලියවෙන්නේ හෙළයේ ගීත කෝකිලාවි හෙවත් හෙළ ගී රැජින කලාශූරී ලතා වල්පොල ලෙසිනි.

එළැඹෙන නොවැම්බර් 11 වැනි දින ලතා වල්පොල සිය 85 වැනි ජන්ම දිනය සපුරන්නීය. ගල්කිස්ස සාන්ත අන්තෝනි දේවස්ථානයේ කන්තාරු කණ්ඩායමේ ගායනයෙන් ශික්ෂිත වූ ඇගේ හඬ ග්‍රැමෆෝන් තැටි, ගුවන් විදුලිය, සිංහල සිනමාව, කැසට් වීඩියෝ පට, ප්‍රසංග වේදිකා දක්වා පමණක් නොව දේශ දේශාන්තරයේද ප්‍රචලිත වී රසික කිත් පැසසුමට ලක් වී හමාරය.

ලතා ලද සංගීත පරිචය සහජයෙන් ඇයට උරුම වූවක් මිස හැදෑරීමකින් ලබා ගත් දෙයක් නොවේ. ඇය පවසන අන්දමට එය ඇය දෙවියන් වහන්සේගෙන් ලත් ආශීර්වාදයකි.

බටහිර ඌරුවට ඔප් නැංවුණු ඇගේ කන්තාරු ගී හඬ සරල ගීත ගායනයට උචිත පරිදි ඔප මට්ටම් කළේ සුසිල් ප්‍රේමරත්නයන්ය.

ගීතයක ආකෘතිය හැඩය නිසියාකාරව ගීතයට අනුකූලව හැඩ ගස්වා ගන්නට සුසිල් ප්‍රේමරත්නයන්ගෙන් ලද ගුරුකම් නිසාම ප්‍රේම ගීත, විරහ ගීත, දේශාභිමානි ගීත, දරු නැළවිලි ගීත මෙන්ම සමාජ ශාලා ගීත, ජන ගීත මේ සියල්ල ඇගේ හඬින් මනස්කාන්තව ගැයුණේ එකිනෙකට වෙනස් ශෛලීන් ඇසුරිනි. ලතා පවසන්නේ ඇයට සංගීත ගුරුවරයෙක් සිටියා නම් ඒ සුසිල් ප්‍රේමරත්නයන් බවයි. භාරතයේ ලතා මංගේස්කාර්ගේ හඬට සමාන හඬත් ඇගෙන් දුටු සුසිල් ප්‍රේමරත්නයන් උප්පැන්නේ රීටා ජෙනව් නමින් තිබූ ඇගේ නම ලතා ලෙස වෙනස් කළේ රටේ ජනප්‍රිය ගායිකාවක වන පෙරනිමිති ලතාගෙන් දුටු හෙයිනි.

හාපුරා කියා ලතා ගුවන් විදුලියට ගැයුවේ එඩ්වඩ් පෙරේරා සංගීතවත් කළ සරත් විමලවීර පද රචනය කළ වින්සන් ද අල්විස් සමඟ ගැයූ ‘කඳුළු දෙනෙතේ වෑහෙනා’ නැමැති යුග ගීතයයි. 1947 වසරේ ඇය විසින් එම ගීතය ගැයෙද්දී ඇයට වයස අවුරුදු 13 කි. නමුත් ලතා ගැයූ ප්‍රථම ඒකල ගීතය වන්නේ ඇයගේ හඬින් වැඩි වාර ගණනක් ගැයුණු ‘නමෝ මරියනි’ ගීතයයි. එම ගීතය රචනා කළේ කොළඹ ආනන්ද විදුහලේ බෞද්ධ ආචාර්යවරයකු වූ කාලිදාස කුරුකුලසූරියයි. එම ගීතය තැටිගත වූයේ ද 1947 දීය.

මාධුර්යෙන් පිරි ලතාගේ හඬ එවක ගුවන් විදුලිය ජය කෙහෙළි නැංවූ ගායන ශිල්පිනියන් අභිබවා යෑමට පවා සමත් විය. මේ නැවුම් හඬ තමාගේ ගුවන් විදුලි වැඩසටහන්වලට දායක කර ගැනීමට බොහෝ දෙනා උනන්දු වීම නිසා සුසිල් ප්‍රේමරත්න, සි. ටී. ප්‍රනාන්දු, ක්‍රිස්ටි ද මැල් ආදීන් සමඟ ලතාට යුග ගීත ගැයීිමට අවස්ථාව ලැබුණ අතර ඒවා අතශයින් ජනප්‍රිය විය.

සැළලිහිණි කොවුල්, ලෝ අඩ නින්දේ (සී. ටී ප්‍රනාන්දු සමඟ), රන්වන් කරළින් පැසිලා මිහිරි සුවඳ විහිදුවා (සුසිල් ප්‍රේමරත්න සමඟ), සරසමු ලංකා (ක්‍රිස්ටි ද මැල් සමඟ) මේ ගීත ඇය ගැයූ විශාල ගීත ප්‍රමාණයකින් කිහිපයක් පමණි.

අදටත් කිතු බැති ගී වැඩිම සංඛ්‍යාවක් ගැයූ ගායිකාව ලෙස ඉහළින් වැජඹෙන්නේ ලතා වල්පොල නාමයයි. ගීතිකා ගායනයේදී ඇයට විශාල වශයෙන් ගේය පද රචනා කර ඇත්තේ ගරු මර්සලින් ජයකොඩි පියතුමාය. ලතා වල්පොල නැමැති ගායිකාව චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස දොරට වැඩිය ප්‍රථම චිත්‍රපටය වූයේ 1953 ශාන්ති කුමාර් අධ්‍යක්ෂණය කළ එදා රෑ චිත්‍රපටයයි. හර්බි සෙනෙවිරත්න සමඟ ‘කෝක වුණත් පිරියා’ නැමැති විකට ගීතය වංශවතී දවුලගලට ගායනා කරමින් ඈ චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයට පිවිසියාය.

ලතාගේ නාමය චිත්‍රපට ගීත ක්ෂේත්‍රයේ ස්ථාපිත වූයේ 1953 මාර්තු 27 තිරගත වූ එස්. බී. රාජ් අධ්‍යක්ෂණය කළ ආර්. මුත්තුසාමි සංගීතවත් කළ ප්‍රේම තරගය’ චිත්‍රපටයෙනි. මේ චිත්‍රපටයත් සිංහල සිනමා වංශ කතාවට අලුත් යුගයක් බිහි විය. ඒ ලතා - ධර්මදාස යුගයයි. එවකට ලතා - ධර්මදාස යුගය සිනමා ක්ෂේත්‍රය තුළ අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ යුගයක් වූවා පමණක් නොව චිත්‍රපට ශාලා ජනයාගෙන් පිරී යන්නට ලතා - ධර්මදාස සුසංයෝගය ඉවහල් විය.

ඒ යුගයේ චිත්‍රපට ගීත පටිගත කිරීම සිදු වූයේ භාරතයේයි. තම පියාගේ දැඩි විරෝධය මත ලතා පටිගත කිරීම් සඳහා භාරතයට ගොස් නැවත පැමිණෙන විට ලතාගේ පියා ලතා සතු සියල්ල ගිනි බත් කර අවසානය. ලතාට අවසානයේ ඉතිරි වූයේ ඇඳිවත පමණි.

කොළොම්බියා තැටිවලට පටිගත වූ ලතා භාරතයේ ගැයු චිත්‍රපට ගීත, ලංකාවේ උණු කැවුම් මෙන් අලෙවි විය. ඈ ගායන කළ ඒ ගීත චිත්‍රපවල ජනප්‍රියත්වයට ද බෙහෙවින් බලපෑවේය.

බොහෝ දෙනා නොදැන සිටියද ලතා චිත්‍රපටයක ද රඟපෑවාය. ඒ රදළ පිළිරුව චිත්‍රපටයේ ඩොලීගේ චරිතයයි.

ලතාගේ හඬ චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයට කොතරම් ආදේශ වූවාද කියතොත් ලතා සිනමාවට ප්‍රවිෂ්ට වන කාල වකවානුව තුළ චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ දැවැන්තයින් බවට පත් වි සිටි කේ. රාණි, ජමුනා රාණි, ජික්කි යනාදීන් අබිබවා රිදී තිරයට ඔබින ජීවමාන හඬ බවට ලතාගේ හඬ පත් විය. භාරතයේ ගීත කෝකිලාවිය ලතා මංගේශ්කාර්ගේ හඬ උත්තර භාරතීය සියලුම නිළියන්ට ආදේශ වූවා සේ ලතාගේ අද්විතීය හඬ රිදි තිරයේ සියලුම රංගන ශිල්පිනියන්ට මනාව ගැළපුණි.

සිංහල චිත්‍රපටයේ හැඩ තල හඳුනාගෙන යථෝක්ත අභියෝගයන්ට ලතා වල්පොල සෘජුව මුහුණ නුදුන්නේ නම් අදටත් අපට ඇසෙන්නේ වැරැදි උච්චාරණ රැගත් දක්ෂිණ භාරතීය ඉන්දීය හඬවල්ය. ඒ ආක්‍රමණයෙන් සිංහල සිනමා පසුබිම් ගීත ක්ෂේත්‍රය මුදවා ගෙන නිකැලැල් සිංහල ලකුණ ජනිත කරන්නට ලතා පුරෝගාමී මෙහෙවරක යෙදුණු බව ඉතිහාසයේ රන් අකුරින් ලියැ වී හමාරය.

ලතා වල්පොලගේ මියුරු ගීතාවලියේ තිබෙන සුවිශේෂ අංග ලක්ෂණ වන්නේ වසර හැටක් ඇගේ ගීත පැරණි වුව ද එය අදටත් යාවත්කාලීන වීමයි. එයට හොඳම නිදසුනක් ලෙස ගෙනහැර දැක්විය හැක්කේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශයට ඇය ගැයූ රැජින මමයි ගීතය අදටත් එකලෙස ජනප්‍රිය වී තිබීමයි.

වර්තමානයේ ඇසෙන ගීත බොහෝ විට ජනප්‍රිය වන්නේ ඉතා කෙටි කාලයකටය. එවන් වකවානුවක අඩ සිය වසරක් පැරණි ලතාගේ ගීත අදත් ඇයගේ හඬින් අපට ඇසෙන්නේ නැවුම් ගීතයක් ලෙස මිස පැරැණි ගීතයක් ලෙස නොවේ.

ශ්‍රී ලාංකික නිළියන්ට පමණක් සීමා නොවුණු ලතාගේ හඬ සිංහලෙන් දෙබස් කවන ලද ඉන්දීය චිත්‍රපටවල රඟපෑ භාරත නිළියන් වූ වෛජයන්ති මාලා, ශෂීකලා, නිම්මි, මීනා කුමාරි, මධුබාලා, නිරූපා රෝයි, ඇතුළු තවත් රංගන ශිල්පිනියන්ට ද අපූරුවට ගැළපුණි.

දක්ෂිණ මූර්ති, වී. ක්‍රිෂ්ණමූර්ති, ටී. ආර්. පාපා, සුබ්බයියා නායිදු, හේමන්ත කුමාර්, පී. එස්. දිවාකර්, ආර්. සුදර්ශනම් ආදී භාරතීය සංගීත අධ්‍යක්ෂවරුන් ගණනාවක් යටතේ ලතා චිත්‍රපට පසුබිම් ගීත ගායනා කළා පමණක් නොව ඒවා අතිශය ජනප්‍රිය විය.

ලතා ගී ගැයු චිත්‍රපට සංඛ්‍යාව අති විශාලය. මෑත යුගයේ බිහි වූ චිත්‍රපට කිහිපය හැරෙන්නට 1953 සිට 2010 වසර පමණ වන තෙක් ඇය චිත්‍රපට පසුබිම් ගීත ගායනා කළාය. ඇය යුග ගී ගැයූ ගායකයන් අතර පරපුරු කිහිපයක් නියෝජනය විය. මොහිදීන් බෙග්, ඩබ්. ඩී. අමරදේව, එම්. එස්. ප්‍රනාන්දු, සනත් නන්දසිරි, හරුන් ලන්ත්‍රා යුගයත්, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන, ඉෂාක් බෙග්, රූකාන්ත ගුණතිලක යුගයත්, කසුන් කල්හාර, මාරියෝ ආනන්ද යුගයත් නියෝජනය වේ.

මුල් යුගයේ භාරතීය සංගීත ශිල්පින්ගේ අනුකාරක සංගීතයට ගී ගැයූ ලතා පසුව ශ්‍රී ලාංකීය සංගීතඥයන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණවලට සිය හඬින් දායක විය. ඒ අතර සුනිල් සාන්ත, බී. එස්. පෙරේරා, ආර්. මුත්තුසාමි, ආර්. ඒ. චන්ද්‍රසේන, මොහොමඩ් සාලි, ඩබ්. ඩී. අමරදේව, ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක, පී. එල්. ඒ. සෝමපාල, ෂෙල්ටන් ප්‍රේමරත්න, වික්ටර් රත්නායක ආදී පෙර පරපුර නියෝජනය කළ ප්‍රවීණයන්ගේ සංගීතයෙන් ද සරත් ද අල්විස්, රෝහණ වීරසිංහ, ග්‍රේෂන් ආනන්ද, ක්ලැරන්ස් විජේවර්ධන, ස්ටැන්ලි පීරිස්, නවරත්න ගමගේ, ආනන්ද පෙරේරා, මහින්ද බණ්ඩාර ඇතුළු පසු පරපුරේ සංගීඥයන් ගණනාවකගේ සංගීතයට ද ඇය ස්වතන්ත්‍ර නිර්මාණ ගායනා කර ඇත. ඇගේ ගායන කෞශල්‍යය කෙසේ ද යත් ඕනෑම ගීතයක් ඒ මොහොතේම ග්‍රහණය කර ගැනීමේ සංගීත ඥානයක් ජන්මයෙන්ම ඇයට පිහිටා තිබීම දුර්ලභ සංසිද්ධියකි.

ලතා වල්පොල කැසට් පටයකට ගැයුණු ප්‍රථම ගීතාවලිය ලෙස සටහන් වන්නේ විජය රාමනායකගේ තරංගා ලේබලය යටතේ නිකුත් කළ ‘මොහිදීන් බෙග් විත් ලතා වල්්පොල සුපර් ෆේවරිට් ඕල්ඩ් හිට්ස්’ (ර්ධඩඪඤඥඥද ඕඥඨ එඪබඩ ඹ්චබඩච එචතනධතච ඉභනඥප ජ්චමධභපඪබඥ ර්‍ණතඤ ඩ්ඪබඵ) යන කැසට් පටයටය. ඉන් අනතුරුව කැසට්පට විශාල ප්‍රමාණයකට ලතාගේ හඬ කැසට් ව්‍යාපාරිකයන් දායක කර ගත් අතර ලතාගේ පුත් අමිත් වල්පොල සෙන්සේෂනල් හිට්ස් විත් ලතා ඇන්ඩ් ධර්මදාස නමින් කැසට් පටයක් ද නිෂ්පාදනය කළේ මව්පියන්ට උපහාර පිණිසය.

ලතා වල්පොල ලද මහඟු වාසනාවක් ලෙස ඇය සලකන්නේ ලතා - ධර්මදාස, දරුවන් සතර දෙනා සමඟ එක් වී එකම වේදිකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ලැබීමයි. එය ලංකාවේ කලා ශිල්පිනියක් ලද සුවිශේෂී භාග්‍යයකි.

ධර්මදාස වල්පොලගේ ඇවෑමෙන් ලතා ජෝතිපාලයන් සමඟ චිත්‍රපට සඳහා යුග ගී ගායනය ඇරැඹුවාය. එහිදී බිහි වූ ජෝති – ලතා යුගය චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය යුගයක් විය. අනතුරුව ජෝතිගේ වියෝවත් සමඟ ලතා ග්‍රේෂන් ආනන්ද සමඟ චිත්‍රපට පසුබිම් ගීත ගායනය ඇරැඹුණු අතර 80 දශකයේ චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ලතා ග්‍රේෂන් යුගය බිහි වුණි. ලතාගේ ගීත ලතාවත්, ගීත චරිකාවත් අසමසමය. කිිසිවකුට සම කළ නොහැකිය. වැඩිම චිත්‍රපට ගීත සංඛ්‍යාවක් ගයනා කළ ගායිකාව ලෙස ද කිරුළ දරන්නේ ද ලතා වල්පොලය. එම වාර්තාව බිඳින්නට වෙනත් කිසිම ගායිකාවක් අදටත් සමත් වී නොමැත.

ලතා සිය දියණිය ධම්මිකා සමඟ හාපුරා කියා පටිගත කළ ගීතය වන්නේ ‘බඹර කුමරියන්’ නමැති ගීතයයි. ආර්. ඒ. චන්ද්‍රසේන සංගීතවත් කළ මෙම ගීත තැටි ගත කරන ලද්දේ ඡ් ර්‍ථ තැටිවලටය. (කුඩා තැටි). ලතා යනු ඡ් ර්‍ථ සහ ඹ්ර්‍ථ තැටිවලට ද ගීත ගැයූ ගායිකාවකි.

සරත් විමලවීරගේ සිට ලංකාවේ සිටින සුවිශේෂ ගේය පද රචකයන් විශාල සංඛ්‍යාවක් ඇයට ගී පද නිර්මාණය කර ඇත. හියුගෝ ප්‍රනාන්දු, කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, මඩවල එස්. රත්නායක, ධර්මසිරි ගමගේ, මහාචාර්ය සුනිල් ආරියරත්න, සෝමපාල ලීලානන්ද, අරිසෙන් අහුබුදු, චන්ද්‍ර රත්න මානවසිංහ, අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, වසන්ත කුමාර කොබවක ආදීන් ඇතුළු විශාල සංඛ්‍යාවක් ඇයගේ ගීතයනට පද රචනය සැපයුවෝ වූහ. 

සිංහල සිනමාවේ රංගන ශිල්පීන් වැඩිම සංඛ්‍යාවකට පසුබිම් ගීත ගායනා කළ ගායිකාව වන්නේ ද ලතාය. ඇය පසුබිම් ගීත නොගැයූ නිළියක් සිනමා ක්ෂේත්‍රයේ සොයා ගත නොහැකි තරම්ය. මවගේ රංගනයට මෙන්ම දියණියගේ රංගනයට ද ඇය ගී ගැයුවාය. රෝහිණී ජයකොඩිටත් දියණිය වීණා ජයකොඩිටත්, ගර්ලි ගුණවර්ධනටත් දියණිය සබීතා පෙරේරාටත්, තලතා ගුණසේකරටත් දියණිය නදීකා ගුණසේකරත් ඒ අතර වේ.

ලතා වල්පොල ස්වකීය ගායන දිවියේ ලබාගත් සම්මාන අතර ගැටවරයෝ (සිහින හතක්) සරසවිය සම්මානය, නාරිලතා සරසවිය සම්මානය, ඔක්කොම කණපිට සරසවිය සම්මානය, චිට්ටි සරසවිය සම්මානය, ඕ. සී. අයි. සී. සම්මානය, සරසවිය රණ තිසර සම්මානය, චිට්ටි ස්වර්ණ සංඛ සම්මානය, පනස් වසරක් පුරා ගායනය වෙනුවෙන් සිග්නීස් සම්මානය, යූ. ඩබ්. සුමතිපාල අනුස්මරණ සම්මානය, ජනාධිපති, ස්වර්ණ සංඛ සම්මානය ආදී වූ සම්මාන ගණනාවකට ඇය පාත්‍ර වී සිටින්නීය.

අසූ පස් වැනි වියට පා තබමින් සිටියද ලතා වල්පොලගේ හඬ එදා මෙන් අදත් තරුණය. අදටත් නිරවද්‍ය ස්වරස්ථාන මත පිහිටුවා උච්ච ස්වරයෙන් ගී ගයන්නට ඇයට හැකියාව පවතින බව සාක්ෂාත් කරන්නට මෙහි සඳහන් කරුණු සාධක ලෙස ගෙනහැර දැක් විය හැකි. මේ වසරේ ඔක්තෝබර් මස ඔස්්ට්‍රේලියාවේ පැවැති සංගීත ප්‍රසංගයකදී තම මුණුබුරන් සමඟ ලතා වල්පොල ගී ගැයුවේ එදා ගැයූ හඬින්මය.

දැනට මාස කිහිපයකට පෙරාතුව මහින්ද බණ්ඩාරගේ සංගීතයට ලතා ඉතා කන්කලු ලෙස ගීතයක් පටිගත කළේ අනූෂා දමයන්ති වෙනුවෙනි. එසේම පසුගිය දිනක සංගීතවේදී සරත් ද අල්විස්ගේ මියුරු තනුවකට ආධුනික ගීත රචකයකු වූ ජූඩ් ප්‍රසන්නගේ ගීතයක් ලතා වල්පොල ගායනා කර පටිගත කළේ ආධුනික ගී රචකයකුගේ නිර්මාණයකට නිහතමානීව අත දෙමිනි.

ලතා, තීක්ෂණ අනුරාධ, මාරියෝ ආනන්ද නැමැති නව පරපුරේ ගායකයන් සමඟ ද නවතම යුග ගීත ගණනාවක් ගායනාය කළාය.

පසුගියදා ඔක්තෝබර් 30 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ලතාගේ බාල මුනුබුරා වූ මයුර සමඟ සියුමැලි රෝස මලී ගීතය ගායනා කළේ ප්‍රේක්ෂක ඔල්වරසන් හඬ මධ්‍යයේය.

ගතින් මිස සිතින් වියපත් නොවූ ලතා වල්පොල මැණිකක් ලෙස රැක බලාගන්නේ ඇගේ එකම දියණිය ධම්මිකාය. ඇගේ සියලු ඕනෑ එපාකම් මෙන්ම ලෙඩ දුක් මේ සියල්ලටම ලතා වල්පොලට අම්මා කෙනෙකු සේ රැකවරණ දෙන්නේ ධම්මි සහ ඇගේ සැමියා මහින්ද බණ්ඩාරය. මගේ දුවයි බෑණයි මාව මලක් වගේ රැක ගන්නවා. ලතා වරක් මා සමඟ පැවසුවාය. මුණුබුරු මිණිබිරියෝ ආච්චි අම්මා යන දයාබරිත හඬින් ඇය අමතා ඇගේ දුක සැප නිරන්තරයෙන් සොයා බලන බව ඇය පැවසුවේ ඉපිලී ගිය සතුටිනි.

ලතා වල්පොල ශූරීන්ගේ ගායනා නෛපුණ්‍යයට තවත් අටුවා ටීකා ඇවැසි නැතැයි මම සිතමි.

වසර 1947 සිට 2019 වසර දක්වා හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල ගැයු මනෝරම්‍ය වූ ගීතාවලිය මිහි මඬල පුරා රැව් පිළිරැව් දෙනුයේ ලතා වල්පොල නාමය ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කරමිනි. ඇගේ හඬ ප්‍රභාෂ්වරය පරපුරින් පරපුරට හෙට දිනයේ නින්නාද පතුරවනු ඇත.

“චිරං ජයතු කලා ශූරී ලතා වල්පොල”

දීප්ති ෆොන්සේකා 
නිශ්ශංක විජේරත්න 
දයාන් විතාරණ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.