තවමත් ඉස්කෝලෙ යන ගිවන්ත අර්ථසාද්ගේ අලුත්ම කාටූන් චිත්‍රපටය

නොවැම්බර් 14, 2019

මම රටට ණය නෑ රටත් මට ණය නෑ

ගිවන්ත අර්ථසාද්

ගිවන්ත අර්ථසාද් යන නම ඇසෙන විටම මට මතක්වන්නේ තරුණ නළුවකු නොව නත්තල් පප්පාය. පුළුන් වගේ සුදු රැවුලත් තරමක් දිගට වැවුණු කොණ්ඩයත් සමඟ උස මහත පුද්ගලයකු වූ ඔහු මා කුඩා වියේ එනම් අසූව දශකයේ අගභාගයේ දී දැක ඇත්තේ නත්තල් පප්පාගේ තරුණ කාලය මෙනි. ඒ මගේ තාත්තා (සැම්සන් සිල්වා) කළ මහසිකුරාදා නම් නාට්‍යමය කෙටි චිත්‍රපටයේ කැමරාකරණය සඳහා සහභාගී වූ අවස්ථාවේදීය. ඔහු එදා යොදා ගත් වයින් කරන කැමරාවේ මිට කැරකී වයින් අවසන් වන විට දර්ශනය අතරමඟ නතර කරන්නට වූ අවස්ථා එමටය. දහසකුත් එකක් දුෂ්කරතා මැද තැනූවද, පසුව දෙදෙනා සම අධ්‍යක්ෂවරුන් ලෙස ඒ කෙටි චිත්‍රපටයට ඔසීඅයිසී සම්මානයෙන් පිදුම් ලැබූ අයුරු අදත් මට මැවී පෙනේ. ඒ 1989 වසරේදීය. එහෙත් තාත්තාගේ වියෝවෙන් පසු කලෙක මා 'ගිවන්ත මාමා' දකින විටත්, අද දකින විටත් පෙනුමේ ලොකු වෙනසක් වී නැතැයි හැ‌ඟේ. එසේම ඔහු තම නිර්මාණකරණයේද මඟ වෙනස් කර නැතැයි හැඟෙන්නේ යළිත් වරක් කාටූන් චිත්‍රපටයක්ම තනන්නට යෙදුණු නිසාය.

අතීත රසකතාවලින් පසු මාතෘකාවට එලැඹීමට ඔහු මුල පිරුවේය.

"දුව දන්නවාද මගේ නමම සමහරුන්ට දාන්න හේතුව? අර තරුණ ගිවන්ත අර්ථසාද්ගේ තාත්තා කීවා දවසක් 'අනේ මම ඔයාගේ වැඩවලට ආස නිසා මට ඉපදිච්ච කොල්ලටත් ඔයාගෙ නමම දැම්මා' කියලා. මම දැනුවත්ව හතර දෙනෙක් එයාලාගේ පුතාලාට මේ නම දාලා තියෙනවා. අපේ දුවගේ පන්තිබාර ගුරුතුමී දවසක් අහනවලු ඔයාගේ වාසගමට අර්ථසාද් එන්නේ අර ෆේමස් අර්ථසාද්ලගේ නෑදෑයොද කියලා. දුව ඇහුවලු කොයි ෆේමස් අර්ථසාද්ද කියල. මොකද දැන් නළු අර්ථසාද් ප්‍රසිද්ධයිනේ. ටීච කිව්වලු රූපවාහිනියේ හිටිය කාටූන් කරපු එක්කෙනා කියලා. ඒ මගේ තාත්තා කීවාම ටීචර් කිව්වලු මගේ මහත්තයාගෙ නමත් ගිවන්ත අර්ථසාද්. ඒගොල්ලන්ගේ තාත්තා ඔයාලාගෙ තාත්තගේ ෆෑන් කෙනෙක් නිසා රසික කියලා කෑල්ලකුත් නමට එකතු කරලා කීවලු. තවත් එකක් කියන්නම්. දවසක් නවලෝක මුදලාලි එන්න කීවා. එතනට දහදෙනෙක් විතර ඇවිත් හිටියා. ඒ හැමෝටම චොකලට් ස්ලැබ් එකක් වගේ එකක් දුන්නා. මම ස්වර්ණා ඇන්ටිට (බිරිය-ස්වර්ණා අර්ථසාද්) ඒක දීලා කීවා දියවෙලා වගේ ටිකක් සීතල කරල කමු කියලා. පස්සේ බලද්දි රුපියල් පනස් දාහක්. මම කතා කරලා ස්තූති කරලා හේතුව ඇහුවා. එයා කියනවා අජාසත්ත වගේ චිත්‍රපටවල උඩින් යන ඒවා එහෙම කළේ මම කියලා නම දැකලා තිබුණ නිසා ආසාවට පුතා ගිවන්ත ධර්මදාස, දුව ගිවන්ති ධර්මදාස කියලා දැම්මලු. එහෙම ගිවන්ත නම දාපු කීපදෙනකුටත් එක්ක තමයි අර තෑගි දීලා තියෙන්නේ. මම කොතැනක ගියත් රූපවාහිනියේ කරපු වැඩ නිසා නමින් අඳුනගන්න අය හරියට ඉන්නවා."

ඔහු නමේ තේරුමද කියමින් වර්තමානයට ආවේය. "

ගිවන්ත කියන්නේ ප්‍රශංසාව. අර්ථසාද් කියන්නේ වැඩදායි. ඉතින් සිනමාවේ රූපවාහිනියේ දෙකේම වැඩදායී දේ කළ නිසා තමයි ඒ ප්‍රශංසාව හිමිවෙලා තියෙන්නේ. ඒත් මම මෙහෙම චිත්‍රපටයක් කරන්න හිතාගෙන හිටියේ නැහැ. දන්නවානේ මගේ මුල්ම කාටූන් චිත්‍රපටය දුටුගැමුණු. මම එක චිත්‍රපටයක් කරලා ඒ හා සමානම තවත් එකක් කරලා වැඩක් නැහැනේ කියල අතහැරලා දාපු පිටපතක් තිබුණා. අනෙක නිෂ්පාදකයකුත් නැහැ. ඒ අතර මගේ වෘත්තිය ජීවිතයට අවුරුදු 50ක් සැපිරෙනකොට රූපසේන ද සිල්වා මගේ යාළුවෙක් ඇවිත කීවා 'මචං නිකං ඉන්න එපා මොනවා හරි කරපංකෝ' කියලා. ඒ 2017දි. දුටුගැමුණු ‌චිත්‍රපටයෙන්ම කොටසක් හඬ කැවුවා. ඒත් මම පස්සේ කීවා අලුත් එකක් ම කරනවා මිස පරණ එක කරලා වැඩක් නැහැ කියලා. මේ අතර සරත් කැල්ලපත මට වස්තු බීජයක් ගැන කියලා එයාට ලියන්න වෙලාවක් නැහැ කීවා. මම ගෙදර ඇවිත් සුමානයක් ඇතුළත කීවාටත් වඩා දියුණු කරලා දෙබස් සහිත පිටපත ලීවා.

ආදි මානවයාගේ ඉඳන් 2049 දක්වා අයව හඳුනගන්න කුඩා දරුවෙකුව මහාචාර්යවරයකු වන සීයා කාලය තරණය කරමින් අරගෙන යන හැටි තමයි ඒ කතාවෙත් තිබුණේ. මම ඒක කළාම සරත් කීවා වෙන මාධ්‍යයකින් මේ වැඩේ කරන්න බැහැ. ගිවන්ත නියෙමට කරලා තියෙනවා කියලා. මම මගේ ගෝලයන් කීපදෙනකුට කතා කළා. ඔවුන් ආවේ අලුත් පරිගණක සජීවීකරණ මෘදුකාංගත් අරගෙන. මම කීවා 'මේ ඕවා පැත්තකින් තියලා අතින් ඇඳපල්ලා. මොකද අපට ඕන ග්‍රැෆික්ස් කරන්න තාම මෘදුකාංග ලෝකෙ හැදිලා නැහැ. එහෙනම් අපි ඒවාට හරියන්න සොෆ්ට් වෙයාර්ස් හදවන්න ඕනෙ. සිබිල් (වෙත්තසිංහ) අක්කා වයස අවුරුදු 90 ගණනක් වෙලාත් චිත්‍ර ඇන්දා. උදයකාන්ත වර්ණසූරියත් චිත්‍ර ඇන්දා. මගේ මුණුපුරු මිනිබිරියන් තුන්දෙනාත් ඇන්දා. ඒ වගේ කලාකරුවන් හතළිස් ගණනක් වැඩ කළා මේ පරාසය ඇතුළෙ. මම තනියෙන් කළානම් ඒකාකාරී වෙනවා. අපේ රටේ චිත්‍ර කලාව වැඩිය අගය කරන්නේ නැහැ. ඒ නිසායි මේ ප්‍රශ්නය තියෙන්නේ. අපේ රටේ චිත්‍ර ශිල්පීන්ට මේ ඇනිමේෂන් සමඟ කරන්න පුළුවන් දේවල් කොච්චරද? ඒ දේ තමයි මම එළියට ගෙනාවේ. මේ ලංකාවේ තුන්වැනි කාටූන් චිත්‍රපටය. ඒවාගේම පළමුවරට ලංකාවේ අලේඛ්‍ය සිතුවම් -ග්‍රැෆික් ටෙක්නීක්ස් ගෙනාව චිත්‍රපටය."

ඔහු එසේ කියද්දි මෘදුකාංග ඉවත් කිරීමට හේතුව ඇසිය යුතුම විය.

"මම මේ දවස්වල රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ උපදෙස් මත ජාතක කතාත් කාටූන් ඇසුරෙන් හදනවා. මේ සියල්ලත් අඳින්නේ අතින් . මොකද පිටරටින් ගෙන්වන සොෆ්ට්වෙයාර්ස්වල තියෙන්නේ ඒ ඒ අදාළ චිත්‍රපටයක් වෙනුවෙන් තැනුණු කොටස්. උදාහරණයකට ලයන් කිං හදන්න විසිතිස් දෙනෙක් සිංහයන්ගේ මවිල්ගසේ ඉඳන් ගෙනත් අදාළ විදිහට මෘදුකාංග කොටස් වශයෙන් ගොඩනඟනවා. ඒ කොටස් තමයි අපට එන්නේ. අපට අවශ්‍ය ආකාරයට මෘදුකාංග හදන්න නම් ඩොලර් මිලියන ගණන් වියදම් වෙනවා. මෙච්චර මෘදුකාංග තිබිලත් ලංකාවේ කාටූන් චිත්‍රපට හැදෙන්නේ නැත්තෙ මේ හේතුව නිසායි. සියයට පහළොවක් විතර නම් කෙළින්ම පරිගණකයෙන්ම කළා.

අද ළමයින් බහුතරයකට චිත්‍ර බැරි ඇයි? ඉස්සර නම් ස්වභාව අධ්‍යයනයට අවශ්‍ය ගහකොළ සතුන් අපි අතින් ඇන්දෙ. අද ඉන්ටනෙට් එකෙන් බාගත කරලා දෙනවා. ළමයා‌‌ට අධ්‍යයනයක් නැහැ. අලුත් නිර්මාණ දකින්න අඩුයි.

ඉතින් මගේ චිත්‍රපටයට ශබ්දාගාර තුනක් මට සම්පූර්ණ උදවු කළා. ජිප්සීස්ලා මට සින්දු නොමිලේ කළා. මහාචාර්ය සුනිල් ආරියරත්නට සින්දුවක් ලියන්න කීවාම බෑ වෙන දෙයක් කරන්නම් කීවා. 'මොකක්ද?' 'කථනයක් වගේ...' 'ආ හොඳයි තාගෝර්ගේ හඬ තියෙන්නේ. ඒ චරිතය කරන්න.' 'සින්දු ලියන වැඩේ ආචාර්ය සෝමරත්න දිසානායකගෙන් අහන්නකො' මම කෝල් එකක් දුන්නා. එයා සින්දුවක් ලියලා දුන්නා. ඊට පස්සේ අහුවා කොහොමද නිෂ්පාදන කටයුතු කියලා. මම කීවා නිෂ්පාදකයකු නැතුවයි වැඩේ කරගෙන යන්නේ හැමදෙනාගෙම උදවු ඇතුව කියලා. සෝමෙ මගෙන් අහනවා 'ඔයා දන්නවාද නිෂ්පාදකයකු නැතුව කොහොමද ඔයා මේ වැඩේ කරන්නේ කියලා. සිනමාවටයි, රූපවාහිනියටයි ඔයා කළ සේවය නිසයි මේ හැමදෙනාම ඔයාට උදවු කරන්නේ' කියලා කීවා. මම ඩොක්ටර් ජුපිටර් මූනමලේට කතා කළා. වස්තරේ කීවා. එයා කීවේ මොකක්ද දන්නවාද මම මෙච්චර කල් කරපු දේට දෙවියන් වහන්සේ දෙන දෙයක් මේ උදවු කියලා. තිලක් ගොඩමාන්න බඹරු ඇවිත් නිෂ්පාදනය කරන කාලේ ඉඳන් මම වැඩකරලා හිතවත්. ඔහු මට උදවු කළා. රෙංගනාදන් මහත්මයා මට එක හමුවීමකින්ම උදවු කළා. මේ දේවල් වුණේ මම සේවයකට එහා ගිය මෙහෙවරක් කළ නිසා. සේවය කියන්නේ අපි යමක් කරලා ආදායමක් ලබන දෙයක්. මෙහෙවර කියන්නේ ඊට එහා ස්වකැමැත්තෙන් කරන වහල්කමක් වගේ දෙයක්. මම ක්‍රිස්තියානිකාරයෙක් කියලා ඔයා දන්නවානේ. ජේසුන් වහන්සේ කියලා තියෙනවා මෙහෙම දෙයක් ඔබ නොමිලේ ගත් හැමදේ නොමිලේ දෙන්න. ඉතින් ඒ දේ මම කළ හැටි මේ චිත්‍රපටය හැදුණු පිළිවෙළ පිළිබඳ ලියූ පොතේ අවසානයේ මම සඳහන් කරනවා. 'මා ලද්දේ නිදහස් අධ්‍යාපනය නොවේ. මේ කරන කියන කටයුතු ඉගෙන ගන්නටද මට තැනක් නොවිනි. මා ඉගෙන ගත්තේ ස්වෝත්සාහයෙනි. එබැවින් මම රටට ණය නැත. එහෙත් මා දන්නා සියල්ල මා දුන්නේ නොමිලයේය. එනිසා රට මට ණයද? නැත. ඒ මා දන්නා හැමදේම රටට දුන්නේ පරිත්‍යාගයක් ලෙස නිසාය. එබැවින් රටද මට ණය නැත."

මෙසේ කියූ ඔහු ඒ ස්වයං අධ්‍යයනයේ යෙදෙන්නට යොමු වුයේ කෙසේද යන්න මට නිරායාසයෙන් පැන නැඟුණු පැනයයි.

"මම ඉපදුණේ කටුනායක. අම්මයි තාත්තයි ගුරුවරු. ඒ දෙන්නා ප්‍රදේශයේ දරුවන්ගේ දැනුම වර්ධනය කරන්න බොහොම වැඩ කළා. අම්මාට පුළුවන් වුණා චිත්‍ර සහ රෙදි මුද්‍රණය කරන්න ලිනෝලියම් බ්ලොක්ස්වලින්. හවසට ළමයි ගොඩක් එනවා මේවා ඉගෙන ගන්න. හැබැයි නොමිලේ. මම මේ දේවල් බලන් හිටියේ අවුරුදු එකහමාරේ ඉඳන්. මට ඒ කාලේ සිදුවීමක් තාම මතකයි. 1955 සූර්යග්‍රහණය. ආච්චිලා එපා කියද්දි තාත්තා කීවා මේ ළමයට ජීවිතේ එකපාරයි මේ දේ දකින්න ලැබෙන්නෙ කියලා. මම ඒ වතුර බේසමට අතදාලා ඉර කැලැත්තුවා. ඒ දැකපු චිත්‍රය තමයි පසුකාලීනව ලූෂන් බුලත්සිංහලගේ බෙරහඬ ටෙලි නාට්‍යයේ නම්වැල තාලෙට ගෙනියන්න හේතු වුණේ. අලපෙතිවලින් මෝස්තර කපන්නේ මට අවුරුදු දෙකේදි. අවුරුදු හතර විතර වෙද්දි ජාතික පුවත්පත් කියවන්න පුළුවන් වුණා මට. තාත්තා ඊළඟට මට කීවා දැන් ඔය පත්තරේ උඩයට මාරු කරලා කියවන්න කියලා. අදටත් මට අකුරු අනෙක්පැත්තට කියවන්න පුළුවන්. කාටූන් සිනමා කැමරාවක් මම හැදුවේ කෙසේද? කියන ප්‍රශ්නයට උත්තර තියෙන්නේ එතැන. මට අවුරුදු හය වෙද්දි දිනේෂ් මල්ලිත් ඉන්නවා. (සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් ) තාත්තා මට රේඩියෝ එකක් ගෙනත් දුන්නා. පස්සේ කීවා දැන් ඔය පත්තරේ තියෙන ඒවා ප්‍රවෘත්ති කියවනවා වගේ කියවන්න කියලා. පස්සේ කාලෙක ගුවන්විදුලියේ මම අධ්‍යක්ෂ වෙලා ඉද්දි සිරිල් රාජපක්ෂ හමුවුණාම කීවා සිරිල් අය්යෙ මම ඔයාවයි කරු අය්යවයි (කරුණාරත්න අබේසේකර) පොඩි කාලේ අනුගමනය කළේ කියලා. උගුරේ ටියුමර් එකක් ඇවිත් කටහඬ නැතිවෙන්න ගියත් ආපහු මට දෙවියන් වහන්සේ කටහඬ දුන්නා. අද මම බයිබල් සංගමයේ සම්පූර්ණ බයිබලය පටිගත කරගෙන යනවා. මට අම්මයි තාත්තයි එක්ක ගුරුවරු 12ක් ඉන්නවා මේ ගමන හදන්න.

මම 1960 වෙස්ලි විද්‍යාලයට ආවාම පොඩි පන්තිවලත් ගුරුවරු හිටියා. අද වගේ ගුරුවරියන් විතරක් නෙවෙයි. ඒ සර් මගේ චිත්‍ර දැකලා මගේ වාසගමෙන් කතා කරනවා. 'පීරිස් තමුසේ ඉපදෙන්න තිබුණේ මේ රටේ නෙවෙයි.' එතකොට මට අවුරුදු හතයි. ඒ ගුරුවරයා තමයි වේදිකාව සිනමාව රූපවාහිනිය ජයගත් රංගනවේදී සිනමා අධ්‍යක්ෂ සිරිල් වික්‍රමගේ. ඒ අනාවැකිය නිවැරැදි කරමින් මම ජර්මනියට හා සිංගප්පූරුවට ගියා ඉගෙන ගන්න. එහේ මට නතර වෙන්න කීවත් මම කීවා දෙවියෝ මාව මේ ලංකාවට එවලා තියෙන්නේ මගේ රටට සේවය කරන්න. මම දුටුගැමුණු කාටූන් චිත්‍රපටයේ දුටුගැමුණුට හඬකැව්වේ සිරිල් වික්‍රමගේ ගුරුතුමා.

තුන්වැනි පන්තියෙදි අපේ ඉස්කෝලේ මිලිමීටර 16 කාටූන් චිත්‍රපට ගෙනත් පෙන්වනවා. අපි ඩොනල්ඩ් ඩක් වගේ රඟපානවා. වෝලටර් මාරසිංහයන්ගේ පුංචි අම්මා අයිවි මාරසිංහ තමයි අපේ පන්තියේ ගුරුමෙනවිය. එතුමිය මගෙන් අහනවා ගිවන්ත කැමතිද කාටූන්වලට. ඔව් ටීචර්. එහෙනම් අද දවල් කෑමෙන් පස්සෙ එන්නකො අපේ ගෙදර. මම හොස්ටල් එකේ ඉඳන් එක්කගෙන ගියා එතුමිය තව ළමයි කීපදෙනෙක් එක්ක. එතකොට මට වයස අවුරුදු අටයි. ඊට පස්සේ කියලා දෙනවා කාටූන් අඳින හැටි. ඒ ටීචර් බ්‍රිටිෂ් කවුන්සිලයට ගිහින් ඒවා ගැන පොතපත හොයලා ඉගෙන ගෙන අපට කියලා දෙනවා. අපිත් පොත් කෙළවරවල චිත්‍ර ඇඳලා පිටු පෙරලද්දි ඒවා නටන හැටි පෙන්වනවා. මගේ යාළුවෙක් හිටියා නිව්‍ ඔලිම්පියා ශාලාව ළඟ එයා අහකදාන පික්චර් කෑලි ගෙනත් දෙනවා. තාත්තගේ මැග්නිෆයින් ග්ලාස් එක අරගෙන මම ප්‍රොජෙක්ටරේ වගේ හදලා චිත්‍රපට පෙන්වනවා බිත්තියේ. හැබැයි කාඩ්බෝඩ් පෙට්ටියක ශාලා ආකෘතියකුත් එක්ක. වාසනාවට පස්වෙනි පන්තියෙත් ඒ ටීචර්මයි හමුබුණේ. එතුමිය ඔසරිය ඇඳගෙන ඩෙස්ක් උඩ නැඟගෙන පන්තිකාමරවල බිත්තියෙත් චිත්‍ර අඳිනවා. මට අන්තිමට එතුමිය දකින්න ලැබුණේ මහේස්ත්‍රාත්වරියක් වෙලා විශ්‍රාමිකව නුවර එළියේ ඉද්දි 1996දි. එතුමිය මගේ ගමන කොයිතරම් බලාගෙන ඉඳලද කීවොත් මගේ ගැන ගිය පුවත්පත් ලිපි එකතුවක් පවා හදලා තිබුණා.

අපේ සාහිත්‍ය ගුරුවරයා වුණේ ෆීලික්ස් ප්‍රේමවර්ධන මහත්මයා. ඔහු කිතුණු වුණත් බෞද්ධ සාහිත්‍යය රසවත්ව කළා. මට ඒක අමුතුම අස්වාදයක්. ඒත් අන්තිමට පාසලෙන් විෂයධාරාවලට බෙදද්දි මාව අහුවුණේ විද්‍යා විෂයයන්ට. ඒකෙත් ඉංජිනේරු පැත්තට. මම ඉතින් ප්‍රදර්ශනවලට මිකැනිකල් ඩ්‍රොයිං කරනවා. ෂෙල්ටන් වීරසිංහ විදුහල්පතිතුමා ළඟට අස්සන දාගන්න ගියාම එතුමා කියනවා 'පුතාගේ ඇඟේ තියෙන්නේ කලාව. කරන්නේ විද්‍යාව. මේක හරියන්නේ නැහැ.' ශිෂ්‍ය නායකයෙක් අතේ පණිවිඩයක් ඇරියා ජයන්ත ප්‍රේමචන්ද්‍ර චිත්‍ර සර්ට එන්න කියලා. එතුමා ලුමුම්බා සරසවියෙන් චිත්‍ර හදාරපු කෙනෙක්. මාව එතුමට බාර දුන්නා. මම මොරටුවේ ඉඳන් බයිසිකලේ පැදගෙන එනවා මහරගම සර්ලෑ ගෙදරට. පළමුවෙනි දවසෙම සර් කියනවා. 'ගිවන්ත මට ඔයාට චිත්‍ර උගන්වන්න බෑ. ඒක ඔයාගේ ඇඟේ තියෙනවා. ඒවා එළියට ගන්න ටෙක්නික්ස් මම උගන්නන්නම්. මම ආලේඛ්‍ය සිතුවම්-ග්‍රැෆික් ටෙක්නික්ස් ඉගෙන ගත්තේ සර්ගෙන්. තාත්තා බාලදක්ෂ ගුරුවරයෙක් නිසා එක එක ගැජට් බැජට් හදන්න දන්නවා. තාත්තාගේ තාත්තා වඩුවැඩ දන්න ශිල්පියෙක්. මම ඉස්කෝලෙදි ඩැනියෙල් ධර්මරත්න සර්ගෙන් වඩු වැඩවල උපාය උපක්‍රමත් ඉගෙන ගත්තා. ඊළඟට භෞතික හා රසායන විද්‍යා ගුරුතුමා මොහාන්දාස් කළුපහනගෙන් ඒ දේවල් එකතු කරගත්තා. මේ ඔක්කොම ජාන වගේම දැනුම මට එකතුවෙලා ආවා.'

ඔහු කෘතවේදීව ඒ සියලුදෙනා සිහිකළේ අතීතය අප ඉදිරියේ මවමිනි.

"1967 මට අවුරුදු 14දි මගේ අතින් පදවැලක් ලියැවුණා දෙවියන් වහන්සේගේ ලෝකයද මේ ලෝකයද හරි කියලා ඒ යුගයේ තිබුණු දේශපාලන කරුණු නිසා. ඒක අදටත් 'අඳුර දුරුකරන්' කියලා ගීතිකා පොතේ 253 අංකයට තිබෙනවා අවුරුදු පනස්දෙකක් තිස්සේ. තාත්තා සල්ලි දීලා තිබුණා මාසෙකට සැරයක් චිත්‍රපටයක් බලන්න. ඉස්සල්ලම බැලුවේ ගැටවරයෝ. ඉස්කොලෙ කාලෙම මම වාණිජ චිත්‍රකරණට යොමු වුණා. දවසක් සිටිෆාමසිය කියල වේල්ස් කුමර විද්‍යාලය ගාව තිබුණු උස ගොඩනැඟිල්ලේ පලංචිය උඩ ඉන්නකොට යාළුවා කියනවා අන්න මචං තාත්තා ඇවිත් කියලා. මම පහළ බැලුවම තාත්තා බිම බලන්න එපා කියලා අතින් සංඥා කරලා ගියා. මම ගෙදර ගියේ ගැහි ගැහි තාත්තා බනී ප්‍රින්සිපල් කෙනෙක් වුණ මගේ පුතා මේසන්වැඩ වගේ පලංචි උඩ නැගගෙනද කියයි කියලා. ඒත් තාත්තා කිව්වෙ පුතා බාලදක්ෂයෙක් වුණාට කමක්නෑ අනතුරුදායක වැඩ කරද්දි පරෙස්සමින්. බිම බලන්න එපා කියලා. මම කෑමට වාඩි වුණා. තාත්තා කීවා ඔයාට වයිට් කොලර් ජොබ් (කාර්යාලවල තනතුරු දරන රැකියා) හරියන්නේ නැහැ කියලා. අම්මා රුපියල් පනහක් දුන්නා. ඒ දෙන්නා මට දොරටු විවෘත කළා.

මම ඒ සල්ලිවලින් තීන්ත ගත්තා. ඒ අතර කාටූන් පික්චර් පිස්සුව නිසා බර්මින් ලයිලිගෙත් උදව්වෙන්, ලාල්දිසානායකගේ ඇරිෆ්ලෙක්ස් කැමරාවත් යොදාගෙන 'අන්දරේ' කියලා කාටූන් කෙටි චිත්‍රපටයක් හැදුවා. ඒක 1971 විචාරක සම්මාන උලෙළේ පිළිගැනිමකට ලක්වුණා. අපි හිතුවා ඇනිමේෂන්වලට කැමරාවක් ලංකාවේ හදන්න ඕනේ කියලා. දයා කරුණාරත්න තමයි ලංකාවේ ඇනිමේෂන් පටන් ගත්තේ එකමත් එක රටක කියන චිත්‍රපටයෙ කාටූන් නාමාවලිය කරලා 1953. ඒකට කැමරාවක් ගෙන්වා තිබුණත් අපට ඒවා තියාගන්න මුදල් නැහැ. මම හතර වතාවක් උත්සාහ කරලා කැමරාව හැදුවා. ටයි මහත්තයා (ටයිටස් තොටවත්ත) මගේ අකුරු ඩිසයින්වලට කැමැත්තෙන් හිටියේ. සිහසුන නම කණපිටට බ්ලොක් කැපුවේ කොළොන් ලීයෙන්. ලෙස්ටර් මහත්තයාත් හරි කැමතිවුණා ඇනිමේෂන්වලට. ලෙස්ටර් මහත්තයයි මිසිස් පීරිසුයි දවසක් මගෙන් අහනවා ඔයා ඇයි ඔප්ටිකල් ප්‍රින්ටරයක් හදන්නේ නැත්තේ කියලා. මම ඒක දැනගෙන හිටියේ නැහැ. පස්සේ එයාගේ පුස්තකාලෙට ගෙනිහින් පෙන්නුවා. අපට තාම ෆ්‍රීස් එකක් ගහන්න බෑනේ. (නොසෙල්වෙන රූපරාමුවක්). හරි මගේ කැමරාවට තව පොඩි ගැජට් එකක් හදන්න තියෙන්නේ. හදලා පෙන්නුව. මේ අයට හරිම සතුටුයි. හැබැයි එකක් කියන්න ඕනේ. මගේ සහෝදරයා දිනේෂ් ප්‍රියසාද් රත්මලානේ බීටීටීඅයි එකේ ඉගෙනගත් නිසා තාක්ෂණික දැනුම වැඩියි. එයා මම හදපු එක වර්ධනය කළා. ඒකේ ගෞරවය දිනේෂ්ට යා යුතුයි. ටයි මහත්තයා මුලින්ම දුන්නා ඕකේ ට්‍රේලරයක් ගහලා බලපල්ලා කියලා, මරුවා සමඟ වාසේ චිත්‍රපටය. මෙන්න ටික දවසකින් මිස්ට පීරසුයි මිසිස් පීරිසුයි එනවා ගිවා අපට ට්‍රේලරයක් හදලා දෙන්නකෝ කියලා. මොකේද? ගැහැනු ළමයි චිත්‍රපටයේ. ඒක තමයි ලංකාවේ මුල්වරට නෙගටිව් එක කපන්නේ නැතිව හදපු ට්‍රේලරය වියෝගී ගැයෙනා හදේ සින්දුවේ පද දෙකකට. ඊට පස්සේ දිගටම චිත්‍රපට අපට ආවා. චිත්‍රපට 40ට වඩා අවුරුදු දෙකක් ඇතුළත වැඩකළා.

ඔහු සම්බන්ධ වූ සියලු නිර්මාණ සහ මෙහෙවර කියූ නමුත් ඒ සියල්ල සඳහන් කරන්නට පිටු ගණනාවක පොතක් අවශ්‍ය නොවේදැයි මට සිතිණි. එහෙත් මම සටහන් පොතේ ලියා ගතිමි.

"1974 දුටුගැමුණු කරද්දි චිත්‍රපට සංස්ථාවෙන් තාක්ෂණික ප්‍රශ්නයක් ගෙනාවා ඇනිමේෂන් කැමරාවක් නැතිව චිත්‍රපටය කරන්නේ කොහොමද කියලා. මගේ කැමරාවට නමක් නෑනේ. නිහාල්සිංහ මහත්තයා විසඳුමක් විදිහට කෙටි චිත්‍රපටයක් කරන්න අවසර දුන්නා. 77 ආණ්ඩුමාරු වුණා. නිහාල්සිංහ මහත්තයා ගෙදර ගියා. මමයි මල්ලියි ගාමිණි ෆොන්සේකා මහත්තයා ගාවට ගියා. දුරකථන ඇමතුමකින් සංස්ථාවට කතා කළා. අසීමිත ප්‍රදර්ශනයට නියමිත වුණා. ස්පාඤ්ඤයේ ගිහොන් සහ ප්‍රංශයේ ඇනසි සම්මාන උලෙළවලට සංස්ථාවෙන්ම ඉදිරිපත් කළා. පස්වෙනි මණ්ඩලයට තේරුණා. ප්‍රදර්ශනය කළා. කළ දවසෙම තහනම් වුණා. හේතුව මුලින්ම කීවෙත් සරසවිය පත්තරේටමයි. පාසල් විෂය පථයෙන් දුටුගැමුණු කථාව ඉවත් කළා කලබල මෝදු වන නිසා, ඒ නිසා චිත්‍රපටයත් ප්‍රදර්ශනය කරන්න දෙන්න බැහැ. වියදම අපි දෙනවා කියලා ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් කීවා. මම ගේ ගත්තෙ ඒ සල්ලිවලින්. පස්සේ රූපවාහිනියට අරගෙන ජර්මනියට පුහුණුවට යැව්වා. එහෙදි මට ලොකු පිළිගැනීමක් ආවා කැමරාවක් හදපු කෙනෙක් විදිහට ලියුම තිබුණු නිසා. වයස 27දි ගුවන්විදුලියේ අධ්‍යක්ෂවරයෙක් වුණේ. අයිටීඑන් එකට වැඩ කරන්නෙ. ඒ කාලේ තමයි දයානන්ද ගුණවර්ධනයි, ඔයාගේ අම්මයි තාත්තයි එක්ක රන් ඔන්චිල්ලා මපට් වැඩසටහන එහෙම කළේ. රෝලින් ටයිට්ල් අතින් ඇදලා අපි කළේ. ඇමතිවරු ඇහුවා මෙෂින් එකක් ගත්තාද කියලා."

ඔහු දෙවියන් දුන් තලෙන්තු ගැන බොහෝ විශ්වාසයෙන් කතා කරන්නේ සිනමාවට සම්බන්ධ කලා අධ්‍යක්ෂණය, කාටූන් චිත්‍රපට සඳහා අංක 1 බලපත්‍රයයි සහිතව සිටියදී කැමරාශිල්පී, සංස්කාරක බලපත්‍රද ලැබුවේය. දර්ශන ප්‍රයෝග සහ අධ්‍යක්ෂණය සඳහාද ඔහු බලපත්‍රලාභියෙකි. ඔහු සිනමාවට වසර 40ක් කළ සේවාව සඳහා ඕසීඅයිසී සම්මානයෙන් පිදුම් ලැබීය.

"ජැක්සන් ඇන්තනි රඟපෑ මුල්ම චිත්‍රපටය කළෙත් මම. ඉන්දු සයුරෙ මුතු ඇටය. ඒ චිත්‍රපටය ඉන්දියාවෙදි නැති වුණා. පෝට් සිටි එක වගේ එකකුත් ඒ දවස්වල අපි හැදුවා. ජනාධිපතිවරණයට අපි හැදුවා ලොකු තිරයක් ප්‍රතිඵල පෙන්වන්න.

මම ඉගෙන ගත්තේ ඕලෙවල් වෙනකල් විතරයි. ඒත් අවුරුදු 29දි කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක්. මේ වෙද්දි ශ්‍රීජයවර්ධන පුර සරසවියේ කථිකාචාර්යවරයෙක්. එහෙම වුණේ මොකද? මම කැමරාවටත් කලින් මුද්‍රණ යන්ත්‍රයක් හැදුවේ. ලෙටර් ප්‍රෙස්. ඒවා ඉගෙනගන්න ලංකාවේ තැන් තිබුණෙ නැහැ. කෙනෙක් හිටියෙත් නැහැ. ඒ තාක්ෂණික දැනුම නිසයි මට විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන් වුණේ.

මම රූපවාහිනියෙන් අස්වෙන්න වුණේ අන්ධවෙන්න ගිහින්. මට වයස 32යි. ලොකු දුව ලැබෙන්න ඉන්නවා නෝනට. දොස්තර කීවා මම අන්ධ වෙන්න යන්නේ කියලා. මොකද මගේ ඇස් ඇතුළෙන් ඉරිලා තියෙන තරමට දොස්තර මට කීවේ අපට ඔයාගේ ඇස් වෙල්ඩින් කරන්න වෙනවා කියලා. හැබැයි සිහි නැති නොකර. මොකද මගේ හදවතේ හදිසි නැවතීමක් තියෙන නිසා. පුංචි කාලේ විනාඩි දහයක් ඉඳලා තිබෙනවාලු. ඒ බව දන්න සාක්කිකරුවා ලාල් ප්‍රවීණ සංස්කාරක ලාල් දිසානායක. මොකද එයාගෙ තාත්තා වෛද්‍ය ලීනියස් දිසානායක ළඟට තමයි මාව ගෙනිහින් තියෙන්නේ. අපේ තාත්තට මොකක්ද කියන්නේ කියලා එයා හිත හිත ඉන්නකොට මම එකපාරට නැඟිටලා කතා කරන්න ගත්තලු. එයා කීවෙත් දෙවියන් වහන්සේ තමයි මට ආපහු ජීවිතය දුන්නේ. ඒ මගෙන් මේ ලෝකෙට මොකක් හරි වැඩක් තියෙන නිසා. නැත්නම් විනාඩි තුනක් හෘදය වස්තුව නතර වුණාට පස්සේ මොළේ න්‍යූරෝන මැරෙන නිසා ඒ වගේ මතකයක් තියෙන්න බැහැ කීවා. මගේ ඇලදිවේ තිබෙන කුඩා ගෙඩි වගයක් නිසා තමයි එහෙම වෙන්නේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා වගේම නිහාල්සිංහ මහත්මයාගේ නෝනා වෛද්‍ය කල්‍යාණි නිහාල්සිංහ මට ඒ දේවල් තේරුම් කරලා දුන්නා.

ඉන්සියුලිනෝමා කියන තත්ත්වය ජීවතුන් අතර ඉන්න කෙනෙකුගේ පරීක්ෂා කරන්න අමාරුයි. ඒ නිසා පුළුවන් තරම් පැණිරහ කන එක තමයි මම කරන්නේ. මට අම්මා පුළුවන් තරම් පැණිරහ කෑම හදලා කන්න දීලා තියෙනවා පුංචි කාලෙත් වෛද්‍ය ලීනියස් දිසානායකගේ කීමට. අදටත් මගේ හෘදය වස්තුව මොහොතකට නතර වෙනවා. ඒක මට ඩහ් ගානවා වගේ දැනෙනවා. උපන් හැටි නිසා වෛද්‍යවරු කියන්නේ ඒ විදිහට ජීවත් වෙන්න කියලා. අනෙක ඇහේ ශල්‍යකර්මයෙන් පස්සේ ඉරි ඇදට පෙනෙයි කීවාට අදටත් මට එහෙම වුණේ නැහැ. ඒ මම දෙවියන්ට මගේ ජීවිතයත් ඇස් දෙකත් බාර කළ නිසා. ඒත් මම වෛද්‍ය ජේ.වී. පීරිස් ට කාටුන් චිත්‍රපටයක් හදලා තියෙනවා ස්නායු රෝහල වෙනුවෙන්. විනාඩි හතක්. අද වගේ තත්පර පහ දහය නෙවෙයි. එදා ප්‍රවෘත්ති විකාශවලින් පස්සේ ඒක ප්‍රචාරය කරන්න කියලා රෝහල් සභාපති තීරණය කළා. මට ලේ දෙන්නත් බැහැ. ඒත් මට අනෙක් අයට ලේ දෙන්න කියලා පණිවිඩය දෙන්න කාටූන් චිත්‍රපටයක් හදන්න පුළුවන්. මම ඒ දේ කළා. ඒ වගේම මම අස්වෙන්න කලින් හෙන්රි ජයසේන මහත්මයා ඉල්ලුවා වෙසක් උදානය කරලා දිලා යන්න කියල. මම ඒ කාටූන් එකත් කරලයි අස්වුණේ. ඒකට මට සම්මානෙකුත් ලැබුණා. අස්වීමේ ලිපියක කාටද ඇස්දෙක නිරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනාවක් ලැබෙන්නේ මට ඒකත් ලැබුණා. මොකද ඒ වෙද්දි තමයි මම ඉල්ලපු පරිගණක ආායතනයට ලැබුණේ. ඒවා එද්දි මම ගිහින්. ඉතින් මම මරණයටවත් බය නැහැ. මගේ සියලු දේ අක්ෂිදානයට ලියලා තියෙන්නේ. මගේ අන්තිම කැමැත්තත් ලියලා තියෙන්නේ.

 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.