රේඛාවේ සේනයි, අනුලයි මිලිනව ගියහ

සෝමපාල ධර්මප්‍රිය හා මර්ට්ල් ප්‍රනාන්දුගේ සෝබර කතාව
නොවැම්බර් 21, 2019

සත්‍යජිත් රායිගේ පාතේර් පංචාලි චිත්‍රපටයේ ඕපු ලෙස රඟපෑ සුබීර බැනර්ජි ජීවිතයේ කිසි කලක ඕපු ලෙස රඟපෑවේ තමා යැයි කියන්නට මැලි විය. ඒ ඕපුට වූ සියලු විපත් තමන්ට පෞද්ගලිකව අත්දැකීමට වූ තැන ඇති වූ කම්පනයෙනි. එමෙන්ම රේඛාවේ ප්‍රධාන නළු නිළි යුවළත් එක ඉරණමකට මුහුණ දුන් අයුරු අප අසා තිබේ.

සේන සරුංගලයක් ඇතිව කන්ද නගියි. ඔහු පසු පස අනුලා එයි. සේන ටිකක් දුර ගොස්ය.

අනුලා - මට බැහැ කඳු නඟින්න. හරිම මහන්සියිි.

සේන – කඳු නඟින්න බැරි නම් මොකටද සරුංගල් අරින්න ආවේ.

අනුලා - ඔයා හැම තිස්සෙම මට බනිනවා. මීට පස්සෙ බැන්නොත් මම යනව යන්න.

සේන – හිටියත් මට පාඩුයි.

අනුලා - එහෙනං මම යනවා. 

සේන – වැඩිය හොඳයි.

සේන අනුලා නොතකා සරංගලයත් රැගෙන කන්ද නඟී.

අනුලා - සේන ඉන්න මමත් එනවා.

සේන – ආ . . . මොකද නැවතිච්ච එක්කෙනා ආයෙත් ආවෙ.

අනුලා - ඔයා හරි නපුරුයි.

සේන – ආ . . . කමක් නැහැ එන්න. අපි සරුංගල් අරින හොඳ තැනක් බලන්න.

සරුංගලය අහසට නැඟෙයි. එහි විශාල ඇස් දෙකක් පසුබිමේ වෙයි. සරුංගලයට වලිගයක් තිබේ. එය අහසට නැඟෙන්නේ නයෙකුගේ හැඩයෙනි. අව් රශ්මිය නිසා වරෙක අනුලාට සරුංගලේ නෙපෙනී යයි. ඇගේ දෑසට කඳුළු එයි. ඇස කෙවෙණි වෙයි. ඇය සරුංගලේ නූල අතහැර ඇස් දෙක පොඩි කරයි.

අනුලා - අයියෝ මගේ ඇහැට මොකක්දෝ උණා...

සේන – අනුලා මොකක්ද ඔයාට වුණේ කියන්නකො.

අනුලා - හැම දෙයක්ම කළුවර වේගෙන ගියා. මුකුත් පෙනුණේ නැහැ.

අනුලා අතින් අත ඇරුන සරුංගලේ කිසියම් රිද්මයකට බිමට පතිත වේ.

1956 දෙසැම්බර් 30 වෙනිදා තිරගත වූ ‘රේඛාව’ චිත්‍රපටයේ සේන හා අනුලා නම් ළමා චරිත රඟපෑ දර්ශනයකි ඒ. සේන ලෙස පසළොස් හැවිරිදි සෝමපාල ධර්මප්‍රියත් අනුලා ලෙස මර්ට්ල් ප්‍රනාන්දුත් එදා මේ චරිත රඟපෑහ. රේඛාවේ තිර කතා පිටපත ලියූ ලෙස්්ටර් ජේම්ස් පීරිස් එහි එන කුඩා සේනගේ චරිතයට සුදුසු ළමයකු ගැන විමසිල්ලෙන් සිටියේය. එකල ලෙස්ටර් මොරටුවේ වෙලෝනා කර්මාන්ත ශාලාව (අද මොරටුවේ කේ සෝ සුපිරි වෙළඳ සැළ) අසල තිබූ රජයේ චිත්‍රපට අංශයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරමින් සිටියේය. ඔහු පදිංචිව සිටියේ මොරටුවේ ලුනාවේ කලපුව අසල විශාල නිවසකය. මේ නිවස ලෙස්ටර්ට ලබා දුන්නේ බෝගල ව්‍යාපාරය හිමිව සිටි ඊ. පි. එෆ්. ප්‍රනාන්දු මහතාය. එකල (1955) ලෙස්ටර් පදවාගෙන ආ මොරිස් මයිනර් රථය බැලීමට අවට ගෙදරක කුඩා ළමයෙක් පැමිණියේය. ඔහුට ලොකු ඇස් දෙකක් තිබුණි. හැම දේම විමසිලිමත්ව බලන දෑසක් ඔහුට තිබුණි. හැම උදයකම මොරිස් මයිනර් රථය බැලීමට එන ළමයා විමසිතියෙන් බලා සිටිනු ලෙස්ටර් දැක ඇත. තමා විසින් ලියූ රේඛාව චිත්‍රපට කතාව අර ළමයාගේ ඇස් දෙකෙන් කිසියම් ආභාසයක් කිති කැවීමක් ලැබුණු බව ලෙස්ටර් ජේම්ස් පීරිස්හු 2006 වසරේ මා විසින් රේඛාවට වසර 50 ක් පිරීම නිමිත්තෙන් ලියූ ‘අඩසිය වසරක රේඛාව’ කෘතිය සඳහා කළ සංවාදයකදී කියා සිටියේය.

1940 යාපනයේ උපත ලැබූ සෝමපාල ධර්මප්‍රිය හැදී වැඩුණේ මොරටුවේය. මොරටුවේ ලක්ෂපතියේ ශිෂ්‍යාදාන විද්‍යාලයේත්, මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයේත්, හුණුමුල්ල මධ්‍ය මහ විද්‍යාලයේත් ඉගෙනුම ලැබූ ඔහු ගැන 1956 දෙසැම්බර් 23 ‘සිළුමිණ’ පත්‍රයට ලිපියක් ලියන එල්මෝ ගුණරත්න මෙසේ කියා තිබුණි.

‘මා සංගීතයට බොහෝ ප්‍රිය කරනවා. රඟපෑමට ද ඒ වගේම කැමතියි’ ධර්මප්‍රිය මා සමඟ පැවසීය. ධර්මප්‍රිය ළමයකුට කෙනකු ආදරය දක්වන සියළු අංගවලින් සමන්විතය.

ඔහු කඩිසරය. කිසිකෙනකු සමඟ කතා කිරීමේදී බියක්, සැකයක්, චකිතයක් නොපායි. එමෙන්ම දඟකාර එඩිතර ගතියක් ඔහු දක්වයි. ඔහු නිතරම යම් යම් දේ ගැන ඔහු ළඟ සිටින අයගෙන් ප්‍රශ්න කරනු මම දිටිමි”.

15 හැවිරිදි (1956) ධර්මප්‍රිය අනෙක් ළමයින්ට වඩා ඔහුගේ කඩිසරකමත් උද්‍යෝගයක් තිබුණ නිසා ‘අල්ලපු ගෙදර’ සිටි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ විශේෂ ආදරයට භාජනය විය. මාසයකට පමණ කාලයක් අලව්ව, බණ්ඩාරවෙල,කැලණිය යන ප්‍රද්ශවල මාස 6 ක් රූගත කිරීම්වල සිටි නිසා පාසලට යාමට නොහැකි වූ නිසා වෙනත් පාසලක් සොයා ගැනීමට සිදු වී ඇත. එවකට ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙන ගන්නා ධර්මප්‍රිය නළු ජීවිතය අත් නොහරින බව පවසා තිබුණි.

භාරතයේ නිපද වූ ‘බූට් පොලිෂ්’ චිත්‍රපටයේ රඟපෑ රත්තන් කුමාර් හා බේබිනාස් මේ චිත්‍රපටයේ රඟපැම නිසා මුළු ඉන්දියවේම ගෙයක් ගෙයක් පාසා ඔවුන් ගැන කතා ඇසෙන්නට වු බව කියා ඇති එල්මෝ ගුණරත්න ඒ නළු නිළියන් දෙදෙනාට දෙවෙනි නොවන අන්දමට එළඹ ඇති සෝමපාල ධර්මප්‍රිය හා මර්ට්ල් ප්‍රනාන්දු ඒ දෙදෙනාට ලැබුණ ජනප්‍රියභාවයම ලැබෙනු ඇතැයි විශ්වාසය පල කර තිබුණි.

දෙළොස් හැවිරිදි මර්ට්ල් ප්‍රනාන්දු ‘රේඛාව’ ට ප්‍රථම ‘පුදුම ලේ්ලි’ චිත්‍රපටයේ රඟපා තිබුණාය. ඒ චිත්‍රපටයේ ප්‍රේ්ම් ජයන්ත්ට සහ ධර්ම ශී‍්‍ර රණතුංගගේ සුරතල් නැගණිය ලෙස රඟපාමින් එහි ගැයූ මේ ගීතය එදා ජනප්‍රිය විය.

‘ලෝකේ පුංචි ළමයි හොඳයි 

ලොකු මිනිසුන් නරකයි වසයි’

එසේම ‘රේඛාව’ චිත්‍රපටයේ ද මර්ට්ල් ප්‍රනාන්දු හා සුනිලා ජයන්ති නර්තනයේ යෙදෙමින් ගැයූ මේ ගීත දෙකේ පසුබිම් ගායනය ඉන්ද්‍රාණි විජේබණ්ඩාරගෙනි.

වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ 
ඉරෙත් හඳෙන් සිරි විඳ විඳ රඟන විලාසේ

පියලි සලාලා - රේණු හළ-ලා

සුවඳ උරා සිසිල් සුළං හමන්නේ 
ලොව මැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ

දවට ගහේ ගහ මුදුනේ කොහා හඬන්නේ 
කෑරලා ද නාද දෙමින් ගහට කොටන්නේ 
ටිං ටිං සද්දේ – ඒ මැද ඇද්දේ

අනිත් ගීතය මෙසේය.

සුදු සඳ එළියේ නල මත පොපියන 
හිරි මල් කැකුළෙක රොන් කෙමියේ 
මුළු මල් වන ලොවැ ඉරණම සැතපේ 
කුළු ගන්වන තුරු හිමිදිරියෙ

සමනොළ තුඩකින් – පිණි බිඳු බොඳකින් 
පණ ගැන්වෙන තුරු හිමිදිරියේ 
පහන් දොරින් එන - රැස් රේඛාවෙක 
උණුසුම ඇසුරුව හිමිදිරියෙ

කුඩා මර්ට්ල් ද ධර්මප්‍රිය මෙන්ම කඩිසර බවත්, දඟකාර බවත් එල්මෝ ගුණරත්න පවසා තිබුණි.

‘ඈ අප කාර්යාලයට (ලේක්හවුස්) පැමිණි වේලේ සිට මර්ට්ල් කිසි මැළි බවක් හෝ බියක් හෝ නැතිව සෑම කාමරයකටම වාගේ ගොස් සෑම දෙනකු සමඟම කලින් සිට හුරුපුරුදු පරණ මිත්‍රයින් මෙන් කතා කරන්නට පටන් ගත්තාය. මර්ටල්ගේ රඟපැම ස්වභාවිකය. ඈ නරඹන්නන්ගේ ආදරයට භාජනය විම නිතැතින්ම සිදු වන්නකි. ධර්මප්‍රිය සංගීතයට හා රඟපෑමට ප්‍රිය කරන්නා සේ මර්ට්ල් ද ප්‍රිය කරන්නේ නැටුම්වලට සහ සංගීතයටය.’

‘ඔබට මිත්‍රයන් සිටිනවාදැයි’ එල්මෝ ප්‍රශ්න කළ විට ඇය මෙසේ පිළිතුරු දුන්නාය.

‘ඔව්, ඩේසි අක්කා (රුක්මණී දේවි) හා ආනන්ද අයියා (ආනන්ද වීරකෝන්)’

රඟපෑමට ඇති දක්ෂකමම ධර්මප්‍රියට ඉගෙනීමට ද දක්වන නිසා ඔහු පන්තියේ පළමුවැනිය වී ඇත. රේඛාවේ දර්ශන අලව්වේදී කැමරා ගත වෙද්දි හදිසියේම 8 වැනි විභාගයට එන්නැයි කියා විදුලි පණිවිුඩයක් ලැබී ඇත. චිත්‍රපටයේ දෙබස් පාඩම් කරනවා මිස පාඩම් කිරීමට නොලැබුණු ධර්මප්‍රිය විභාගයට පොත් කියවීමට ලැබී ඇත්තේ දවසක් පමණක් බවත් කෙසේ හෝ ධර්මප්‍රිය විභාගයට ගොස් ඇත. ඔහු ඉතා උසස් අන්දමට සමර්ථ වූ බව පැවැසේ.

ඉගෙනීමට සහ පාඩම් කිරීමට සහජ දක්ෂතාවයක් ධර්මප්‍රියට ඇති බව ලෙස්ටර් ආඩම්බරයෙන් එල්මෝට පවසා තිබිණ. මර්ට්ස් ප්‍රනාන්දු නිළි ජීවිතයට ආශාවක් ඇති වුයේ රුක්මණී දේවි ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයේ නටනු දැකීමෙන් බව සිළුමිණට පවසා ඇත.

‘මම එදා ඉඳලා නැටුම් ඉගෙන ගත්තා. මට සංගීතයටත්, නැටුම්වලටත් උදව් කළේ මගේ තාත්තා සහ සහෝදරයන් දෙදෙනා.’ 

මර්ට්ල්ගේ සහෝදරයන් දෙදෙනා හා පියා ලංකා පාබල හමුදාවේ සංගීත අංශයේ සේවය කරන බව කියා ඇත. තමාට ‘සැඩ සුළං’ චිත්‍රපටයට ද රඟපෑමට ආරාධනා ලැබූ නමුත් ඉන්දියාවට යැවීමට දෙමව්පියන් අකමැති වු බව කියා තිබුණි. කොම්පඤ්ඤ වීදියේ හෝලි රෝස විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මර්ට්ල් 1957 ආධුනික පැය ගුවන් විදුලි වැඩ සටහනේ ප්‍රථම ස්ථානය දිනා ගත්තාය.

1945 මාර්තු මස 25 වෙනිදා උපත ලැබූ මර්ට්ල් පස් දෙනෙකුගෙන් යුතු පවුලක සතරවැනියාය. සිංහල නළු නිළියන් අතරින් රුක්මණීට හා ලැඩී රණසිංහට ද කැමති ගායක ගායකයන් ලෙස ධර්මදාස වල්පොල හා ලතා වල්පොල බව ‘චලන චිත්‍ර’ සඟරවට පවසා තිබුණා. 1960 අගෝස්තු 24 වෙනිදා ඇය මිය ගොස් ඇත්තේ පිළිකා රෝගයකින් මාස කිහිපයක් රෝගාතුරව සිටය. මිය යන විට ඇගේ වයස අවුරුදු 16 කි.

‘රේඛාව’ චිත්‍රපටයට 50 වසක් පිරීම නිමිත්තෙන් මා විසින් ලියූ ‘අඩ සිය වසක රේඛාව’ කෘතිය දොරට වැඩීම නිමිත්තෙන් 50 වසරකට පෙර චිත්‍රපටය මුලින්ම තිරගත වූ 2006 දෙසැම්බර් 28 වෙනිදා කොළඹ රීගල් සිනමාහලේදී තිරගත වූ දින ලෙස්ටර් මහතා සංවේදී වී මෙසේ කීවේය.

‘අද ධර්මප්‍රියත්, මර්ට්ල් හිටියා නම් මේ උත්සවය අති සාර්ථක වෙනවා. මට ඒ දෙදෙනා මතක් වෙනවා’

සෝමපාල ධර්මප්‍රිය ඉන්පසු ලෙස්ටර් මහතාගේ ‘දෙලොවක් අතර’, ‘දෑස නිසා’, ‘ගැහැනු ළමයි’ චිත්‍රපටවල රඟපෑ අතර ඔහු වඩාත් ප්‍රිය කර ඇත්තේ සිනමා කැමරාව හා සිනමවේ කාර්මික අංශය ඉගෙනීමටය. විලී බ්ලේක් යටතේ කැමරාකරණය ඉගෙන ගත් සෝමපාල ධර්මප්‍රිය ගම්පෙරළිය, දෙලොවක් අතර යන චිත්‍රපට සහාය කැමරා ශිල්පියකු විය. ඔහු හාපුරා කියා කැමරාව මෙහෙය වූ චිත්‍රපටය වූයේ අමරනාත් ජයතිලකගේ ‘ආදරවන්තයෝ’ චිත්‍රපටයයි. ඉන් පසු ‘පෙම් කුරුල්ලෝ’, ‘ බෝනික්කා’, ‘මවු බිම නැතිනම් මරණය’, ‘ආදර කතාව’, ‘සළඹක් හඬයි’, ‘සල්ලි තිබුණට මදි’, ‘මව්බිමේ වීරයෝ’ චිත්‍රපටවල කැමරාව මෙහෙය විය.

1990 මාර්තු මාසයේ දිවෙහි හටගත් දරුණු පිළිකාවකින් සෝමපාල ධර්මප්‍රිය මානසිකව ඇද වැටුණේය. වෛද්‍යවරු ඔහුගේ දිව සම්පූර්ණයෙන්ම කපා ඉවත් කරන ලදී. යටි දත් ඇන්ද ද ඉවත් කරන ලදී. ඔහුට කතා කිරීමට නොහැකි විය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඔහුට හැකි හැම අයුරකින්ම පිහිට විය. ඔහුට ආධාර ලබා ගැනීමට ලෙස්ටර්ගේ චිත්‍රපට උලෙළක් ද පැවැත් විය. ඔහුගේ දයාබර බිරිඳ ප්‍රින්සි ද සිල්වා අවසාන මොහොත දක්වාම ආහාර දිය කර පොවමින් පෙව්වාය. 1992 සැප්තැම්බර් 14 වෙනිදා ඔහු ජීවිතයෙන් සමු ගත්තේය.

ඒ.ඩී.රන්ජිත් කුමාර 
ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.