කඳුළින්, සුසුමින්, වේදිකාව ජයගත් නල්ලතම්බි: නිහාල් සිල්වා

දෙසැම්බර් 5, 2019

දෙසැම්බර් 02 වෙනිදාට යෙදුණු නිහාල් සිල්වාගේ 30 වැනි ගුණ සමරුව වෙනුවෙනි

“දවල්ට පායන චන්ද්‍රයා 
මේ අව්වා. මේ අව්වා. 
මමයි කනත්තේ භෘංගයා 
මේ අව්වා. මේ අව්වා 
ලොකු මහත්තයා මගෙ 
තට්ටෙ පලාවීදෝ 
මං බයනේ. මං බය නේ . . .’

මේ ගීතය එන්නේ “සාජන්ට් නල්ලතම්බි” නාට්‍යයේය. ගීතය ගයමින් රඟපාන්නේ නිහාල් සිල්වාය. තට්ට හිසකින් යුතු උස පුද්ගලයෙක් කාකි ඇඳුමකින් සැරසී,කැඩිච්ච සිංහලයෙන් දෙබස් කියමින් දමිළ සාජන්ට් කෙනෙකු මෙන් රඟපාමින් ලක්ෂ ගණන් පේ‍්‍රක්ෂකයන් හිනැස්සූ මේ දුර්ලභ නළුවා අපෙන් සමුගෙන වසර තිහක් ගතව ඇත.නිහාල් විසින්ම රචනාකොට එහි ප්‍රධාන චරිතය රඟපාමින් ගී ගයමින් අසූව දසකයේ වේදිකාව දිග් විජය කළ මේ නළුවාගේ සත්‍ය ජීවිතය මල් යානාවකින් ගිය ජීවන ගමනක් නොවීය. 

“මම තරම් දුක් වින්ද නළුවෙක් තවත් නැතිව ඇති” යි නිහාල් වරක් අප සමඟ කීවේය.

මගේ අම්මාගේ නම වටකැටිය රාජපක්ෂගේ ලුසිහාමි. උපන්නේ මහනුවර හුන්නස්ගිරි පාරේ ඌරුගල. තාත්තාගේ නම ඩී. ඒ. සිල්වා. තාත්තා වැඩ කළේ සී. ජී. ආර්. දුම්රිය දෙපාර්තමේන්තුවේ. මගේ අම්මාගේ දෙමාපියන් පුංචි කාලෙම මියගිය නිසා අම්මාව හදා ගෙන තියෙන්නේ වත්තේ ටී මේකර් කෙනෙක්ලු. අම්මා හැදී වැඩිලා තියෙන්නේ පානදුරේ. ඒ කාලේ තරුණ අපේ අම්මා අඳුනන කෙනෙකුගේ මාර්ගයෙන් පානදුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත ෆොන්සේකා මහත්තයාගේ ලියුමක් අරගෙන 1936 වසරේ කොළඹ මහ රෝහලේ ඇටන්ඩන් කෙනෙකු හැටියට රැකියාවට ගිහින් තියෙනවා.

මට අක්කලා මාලිනී, ශ්‍රියාවතී (මහ රෝහලේ උපස්ථායිකාවක් ලෙස සේවය කළා) පද්මිනී (මැද පෙරදිග සේවය කළා), තුන් දෙනෙකු, අයියලා තුන් දෙනෙකුයි ඉන්නවා. මම පවුලේ බාලයා.” නිහාල් මට මේ තොරතුරු කිව්වේ 1978 ජනවාරි 01 වෙනිදා ‘සරසවිය’ පත්‍රයේ සංවාදයකට එක් වෙමිනි.

දහනායකගේ නිහාල් රංජිත් සිල්වා 1954 ජනවාරි 10 වෙනිදා කිරුළපනේ දී උපත ලැබීය. වැල්ලවත්තේ ශ්‍රී වෙශ්‍යාඛ විද්‍යාලයේත්, හැටන් ශ්‍රී වටවල මහා විද්‍යාලයේත් ඉගෙනුම ලැබූ නිහාල්ට වටවලදී වැඩියම ඇසුරු කිරීමට ලැබුණේ ද්‍රවිඩ ජාතිකයන්ය. මේ නිසා ඔහුට චතුර ලෙස දමිළ භාෂාව කතා කිරීමට හැකි විය. ඒ බව ඔහු රඟපෑ “සාජන්ට් නල්ලතම්බි” චරිතයෙන්ම අවබෝධ වෙයි.

වරක් නිහාල්ගේ මව වූ ලුසිහාමි මහත්මිය අපට කියා සිටියේ වටවල සිට කොළඹ පැමිණි නිහාල් ඉගෙනීමට වඩා මිතුරු සමාගමයට ප්‍රිය කළ බවය. නිහාල් මුලින්ම රඟපෑවේ 1975 කිරුළපන ප්‍රජා මණ්ඩලීය තරුණ සංගමය වෙනුවෙන් අසෝක සෙනරත් මුදලි අධ්‍යක්ෂණය කළ ‘දේශ ද්‍රෝහියා’ නම් වෙසක් නාට්‍යයකය. සීතාවක රාජධානියේ පෘතුගීසීන්ට විරුද්ධව සටන් කරන රණකාමී සෙබළෙක් ලෙස ඔහු රඟපෑවේය.

“මගේ තුන්වැනි අයියා (නිමල් සිල්වා) කලාවට ළැදියි. ඔහු එච්. ඩී. පේ‍්‍රමරත්නගේ ‘හස්ති වියරුව‘ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑවා. මගේ දෙවෙනි අයියා (සිරිපාල සිල්වා) නැටුම් කලාවට දක්ෂයෙක්. වටවල විද්‍යාලයේදී වයස 8 ක කුඩා ළමයකු ලෙස රඟපෑ චරිතයක් මට මතකයි. මගේ පන්තියේ හිටිය යාළුවෙක් එක්ක චරිත දෙකක් ලියාගෙන රඟපෑමට පුරුදු වෙලා එය පාසලේ සමිතියේ රඟ දැක්වීමට දිනයක් යොදා ගත්තා. එදා නොසිතූ දෙයක් වුණා. අර මගේ යාළුවා “මට ලැජ්ජයි” කියල පුටුවක වාඩි වුණා. එදා මම ඒ චරිත දෙකම රඟපෑවා. ‘ඩබල් ඇක්ටින්වලින් තමයි මම රඟපෑම පටන් ගත්තේ. ප්‍රසිද්ධ වේදිකාවක මුල්වරට රඟපෑමට අවස්ථාව ලබා දුන්නේ අසෝක සෙනරත් මුදලිගේ. ඔහු තව මිත්‍රයන් දෙදෙනෙක් වූ රාජා සහ ජිනදාස නිෂ්පාදනය කළ ‘මෙහෙව් රටේ’ නාට්‍යයේ මම තාත්තා කෙනකු ලෙස රඟපෑවා. මුලින්ම රඟපෑමට හිටිය නාට්‍යයේ මට රඟපෑමට වාසනාව ලැබුණේ නැහැ. ප්‍රේමදාස හෙට්ටිගොඩ නිෂ්පාදනය කළ ‘බහු කෝලං සොහොන් බෙරේ’ රඟපාන්න හිටි දවසේ මම හිටියේ පොලීසියේ. කෝලාහලයක් වෙලා පොලීසියේ.

‘මගේ නාට්‍ය කලාවේ ගුරුවරයා අසෝක සෙනරත් මුදලිගේ. මාව නාට්‍ය කලාවට ඇදලා ගත්තේ ඔහු. පොල් කොට වේදිකාවේ රඟ දැක් වූ වෙසක් නාට්‍යවල රඟපෑමට වෙනස් ප්‍රසිද්ධ වෙනත් ශෛලියකින් වේදිකා රඟපෑමත් මට කියා දුන්නේ අශෝක’ නිහාල් එදා කීවේය.

ඉන් පසු නිහාල් අමල් බිසෝ, ගිනිකඳු, ලේ කඳුළු, අම්බලමක නඩේ නාට්‍යවල රඟපෑ අතර වේදිකා නාට්‍ය සම්බන්ධ නැති දේත් කිරීමට සිදුව ඇත. පෝස්ටර් ඇලවීම රඟපෑමෙන් පසු ලැබෙන විවේක කාලයේ තේ අරගෙන ආ අවස්ථා ඔහුට තිබිණ. සියලු ‘කට්ට‘ කමින් කෙදිනක හෝ හොඳ නළුවෙකු වීමට නිහාල් අධිෂ්ඨාන කර ගත්තේය.

‘මට හාපුරා කියා චිත්‍රපටයක රඟපෑමට ලබා දුන්නේ ප්‍රකට චිත්‍රපට දෙබස් රචකයකු හා සහාය අධ්‍යක්ෂවරයකු වූ අපේ ගමේම සිටි පුණ්‍ය බුලත්සිංහලයි. චිත්‍රපටය’හදවත් නැත්තෝ’. අපේ ගමේ (කිරුළපන) හිටියා සහෝදර චිත්‍රපට නළු විල්සන් කරුණාරත්නයි මමයි සිනමාවට එක් වුණේ මේ චිත‍්‍රපටයෙන්.

මම මුලින් රඟපෑවේ සමූහ රඟපෑමක්. මට අධ්‍යක්ෂක කිව්වා ගැහැනු ළමයෙක් එක්ක කොටුවේ ලයිට් හවුස් එකේ පෙනී හිටින්න කියලා. ජෝඩු කිහිපයක්ම ඇවිත් හිටියා. ‘දෑසේ සුනිල් තටාකේ’ කියන ගීතය ගයමින් රොබින් ප්‍රනාන්දු හා නීටා ප්‍රනාන්දු රඟපාන අතරේ අපි රඟ පෑ ජෝඩුවලටත් කැමරාව යොමු වුණා. මේ 1972 වසරේ. මංගල දර්ශනයට මම ගියේ යාළුවෙක් එක්ක. ‘ඔන්න . . . මම් කියන කොටම ඒ දර්ශනය ඉවත් වුණා. මම ඉන්න කොටස ආයිත් තියෙනවද කියලා බලන්න තනියම සැෆයර් සිනමාහලට දහ වාරයක් ගියා.’ නිහාල් එදා ඒ සිද්ධිය අපට විස්තර කළේ ‘මට මයි මෙහෙම වෙන්නේ’ කියමින් කියමිනි.

චරිතයක් හැටියට චිත්‍රපටයක රඟපෑමට නිහාල්ට අවස්ථාව ලැබී ඇත්තේ පතිරාජ එල්. එස්. දයානන්දගේ ‘ජෝඩු වළලු’ චිත්‍රපටයේ වත්තක දෙමළ මුරකාරයෙකු හැටියටය. මේ මුරකාරයා හොල්මනකට බය වෙන අවස්ථාවක් ඔහු නිරූපණය කළේය. ඔහු මේ චරිතය රඟපෑවේ ලොකු ආශාවකිනි. මෙය ඔහුට ජීවිතේට අමතක නොවන දර්ශනයකි. ඔහුට රඟපෑමට තිබුණේ බත් පාර්සලයකුයි, බීඩියකුයි, ගිනි පෙට්ටියකුයි අරගෙන බයිසිකලයක් පැදගෙන එන්න. රූපගත කිරීමට පෙර පුහුණුවීමේදී ඔහුට අකරතැබ්බක් සිදු විය. බත් පාර්සලයකුයි, බීඩියකුයි, ගිනි පෙට්ටියකුයි අරන් තනිවම බයිසිකලය එන එක ඔහුට වැරදුණි. බයිසිකලයේ බැලන්ස් එක ගියේය. චිත්‍රපටයේ රඟපෑමට පැමිණ සිට යූ. ආරියවිමල් ඔහුට කියා ඇත්තේ ‘මල්ලී ඔය බත් පාර්සලය මගේ අතට දෙන්න. දැන් රිහසල් එක කරන්න’ කියාය. මේ නිසා ධෛර්ය ලැබූ නිහාල් අපූරුවට රඟපා ඇත.

‘කදිරා’ චිත්‍රපටයේ නිහාල් මද්දුමේ නම් දුෂ්ට චරිතය හොඳින් රඟපානු බලා සිටි අධ්‍යක්ෂ යසපාලිත නානායක්කාර ‘රෝසි‘ චිත්‍රපටයේ විකට චරිතයක් රඟපෑමට අවස්ථාව ලබා දුන් අතර හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණය කළ’සත් වැනි දවස’ චිත්‍රපටයෙය් දෙපිටකාට්ටුවෙකුගේ චරිතයක් ලබා දී ඇත. ඊට අමතරව ‘ගිම්හානේ ගී නාදේ’(මල්හාමි), ‘අහිමි දඩයම’ ‘කවුළුව‘ ‘කිරිමදුවැල්’ චිත්‍රපටවල ද ඔහු රඟපා ඇත.

නිහාල් නාට්‍ය නිෂ්පාදකවරයෙකු ලෙස දොරට වැඩියේ ජයසේකර අපොන්සු රචනා කළ ‘සතුරෝ’ නාට්‍යයෙනි. ඊළඟට ‘සම්භාවනීය කාක්කෝ’ නාට්‍ය ඔහු නිෂ්පාදනය කළ අතර එහි ජෝන් මුසෝ නම් ඕස්ට්‍රේලියන් ජාතික නළුවා රඟපෑම ද විශේෂයෙකි. ඉන්පසු නිහාල් ‘රුදිර වාණජ’ නාට්‍යය නිෂ්පාදනය කළ අතර පතිරාජ එල්. එස්. දයානන්දගේ ‘කවුරුවත් එන්නෙ නැහැ’ හා ‘අයිත් ඉතිං හෙට‘ නාට්‍යවල රඟපෑවේය.

නිහාල් සිල්වාගේ නාට්‍ය කලා ජීවිතයේ සුවිශේෂ මං සළකුණ හෙලේනා ලෙහෙත්තිමති නම් නාට්‍ය ශිල්පිනිය මුණ ගැසීමය. පින්ලන්ත තානාපතිවරයාගේ බිරිඳ පවත්වන නාට්‍ය වැඩමුළුවක් ගැන නිහාල්ට තොරතුරු කීවේ නීල් අලස් හා අජිත් ජිනදාසය.

මේ වැඩමුළුවේදී හෙලේනා නාට්‍ය ශිල්පිනිය ‘පුන්තිලා’ නම් වේදිකා නාට්‍ය නිෂ්පාදනය කළා. ඇය අපිවත් සහාය කර ගත්තා. පුන්තිලා කියන ප්‍රධාන චරිතයට තෝරා ගෙන හිටියේ ෆීලික්ස් ප්‍රේමවර්ධන මහතාව. ඒ මහතාට හදිසියේම විදේශ ගතවීමට සිදු වීම නිසා වෙනත් නළුවන් කිහිපදෙනෙක් පුහුණු කළා. සෑහීමට පත් නොවූ හෙලේනා මහත්මිය මට රඟපාන්න කිව්වා. මම රඟපෑවා. ‘ඔබ තමයි පුන්තිලාට ගැලපෙන්නේ’ කියලා මාව තෝරගත්තා. මේ නාට්‍යය බර්ටෝල් බෙ‍්‍රෂ්්ට්ගේ නාට්‍ය පිටපතක්. මංගල දර්ශනය පැවැත් වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. එතුමා මගේ රඟපෑමට කොතරම් ආශා කළාද කිවහොත් වේදිකාවෙන් පිටුපසට ඇවිත් මට සුබපැතුවා.

‘ඔබේ රඟපෑම විශිෂ්ටයි. ‘පුන්තිලා’ චිත්‍රපටය නිපදවා ඔබව මේ චරිතයට තෝරාගත්තා නම් ඔබ ජාත්‍යන්තර නළුවෙක් වෙනවා’ එතුමා කිව්වා.

ගාමිණී ෆොන්සේකා මහතාත්, මහාචාර්ය සරච්චන්ද්‍ර මහතාත් මට සුබ පැතුවා.’ නිහාල් තම අතීත කතාව එදා කීවේය.

සොමී රත්නායක විසින් නිෂ්පාදනය කළ ‘රන් සලකුණ’ වේදිකා නාට්‍යයේ චරිතයක් නිහාල්ට ලබා දීම ගැන ඔහු සොමීට කෘතඥව ඇත්තේය.

නිහාල් සිල්වා හා ‘සාජන්ට් නල්ලතම්බි’ එකට සුසංයෝගී වූ නාට්‍යයකි.

‘මම ‘සාජන්ට් නල්ලතම්බි’ චරිතය නිර්මාණය කළේ මාව ‘නෙයිනගේ සූදුව‘ නාට්‍යයට තෝරාගත් පසුවයි. දෙබස් කිහිපයක් පමණක් තිබූ ඒ නාට්‍යයේ සාජන්ට්ගේ චරිතයට මම නල්ලතම්බි කියලා දාල තවත් විකාශනය කළා. මේ චරිතය ජනප්‍රිය චරිතයක් වන තරමටම විකාශය වෙලා දර්ශන ගණනාවක් මම රඟපෑවා. සාජන්ට් නල්ලතම්බි ප්‍රේක්ෂක මනසට කිඳා බැස්සා. යම් යම් හේතූන් නිසා මම ඒ නාට්‍යයෙන් අස් වුණා. ඊට පස්සේ ඒ නාට්‍යයේ චරිතය ‘සාජන්ට් නල්ලතම්බි’ ලෙස වෙනත් නළුවකු යොදා වේදිකා ගත වුණා. වෘත්තීය නළුවකු වූ මම ඊට පසු නොසැලී මගේම නිර්මාණයක් වූ ‘සාජන්ට් නල්ලතම්බි’ බිහි කළා. සති තුනකින් මේ නාට්‍ය ලිව්වා. මා රඟපෑ නාට්‍ය උත්සවයක් පවත්වා අවසාන දිනේ ‘සාජන්ට් නල්ලතම්බි’ වේදිකා ගත කිරීමට හිතුවා. මගේ නාට්‍ය සතිය පැවැත්වීමට කපිතාන් ක්ලැරන්ස් දෙල්වල මහතාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් උදව් කළා. 1985 වසරේ ‘සාජන්ට් නල්ලතම්බි’ නැරඹීමට විශාල ජන ගංගාවක් ජෝන් ද සිල්වා රඟහලට ගැලුවා.’

නිහාල් කෙළෙහි ගුණ අගය කරන චරිතයකි. ‘සාජන්ට් නල්ලතම්බි’ මංගල දර්ශනයේ පොල්තෙල් පහන දැල් වූයේ නිහාල්ගේ මව විසිනි. අම්මාගේ ආශීර්වාදය ඇතිව මේ නාට්‍ය දර්ශන වාර 355 පවත්වා ඇත. ‘සාජන්ට් නල්ලතම්බි’ තුළින් නවක නළු නිළි පිරිසක් බිහි විය. පාලිත සිල්වා, රංගන ප්‍රේමරත්න, සමන්ප්‍රිය මාරසිංහ ආදීන් අද කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂ නළුවන්ය. ‘සාජන්ට් නල්ලතම්බි’ වගේ තවත් නාට්‍යයක් ඊළඟට නිෂ්පාදනය කිරීමට නිහාල් සතුටු නොවීය. ‘පුන්තිලා’ වැනි හොඳ නාට්‍යයක් කිරීමට ඔහු ආසාවෙන් සිටියේය.

නිහාල් සිල්වා විවාහවීමට උනන්දු නොවූයේ මන්දැයි එදා අප සමඟ කීවේය.

‘මම තරුණියකට වසර 6 ක් ප්‍රේම කළා. ඇය මට පිටුපෑවා. විවාහයට සතියක් තිබියදී ඇය තම අදහස වෙනස් කර ගත්තා. එදා සිට කිසිම තරුණියක් කෙරෙහි මගේ විශ්වාසය තිබුණේ නැහැ. මම දැන් කලාව සමඟ විවාහ වෙලා ඉවරයි. මට හැම දෙයක්ම දීලා තියෙන්නේ කාලය විසින්. කාලය ප්‍රශ්න විසඳන තෙක් මම බලන් ඉන්නවා. මම කොණ්ඩය වවන්න කැමතියි. ‘පුන්තිලා’ නාට්‍යයට තිබුණ ආසාව නිසා තට්ටෙ ගානවා. හෙලේනා ලෙහ්තිමතී ‘පුන්තිලා’ නාට්‍යය බාරදීලයි ඇය පින්ලන්තයට ගියේ. ඒ නාට්‍යය රැක ගැනීම දැන් මට අයිති කාර්යයක්.

‘මම දුප්පත් කෙනෙක්. මේ ගමන ආවේ බොහොම අමාරුවෙන්. මගේ අම්මා පුංචි පඩියක් අරං මාව හැදුවේ. මට ඉන්න එකම වස්තුව අම්මා. මම ඉගෙන ගත්ත කෙනෙක් නොෙවි. ජීවිත තක්සලාවෙන් උපාධි ගත්ත කෙනෙක්. මගේ ‘නල්ලතම්බි‘ නාට්‍යයේ දර්ශන වාර 50, 100, 200, 250, 300 දර්ශනවල පහන පත්තු කළේ අම්මා.’ නිහාල් හැඟුම්බරව කීවේය.

නිහාල් සිල්වා යනු කළගුණ දන්නා නළුවෙකු බව මා මුලදී කීවේය. ‘නල්ලතම්බි’ නාට්‍යයෙන් ලැබුණු ආදායමෙන් රුපියල් 60,000 ක් වැය කොට කොළඹ සුදර්ශියේ එළිමහන් රඟහලක් ඔහු හැදුවේය. එහෙත් එයින් ඔහුගේ මේ ක්‍රියාව අගය කරමින් ප්‍රයෝජනයක් ගත්තේ ගාමිණී හත්තොට්ටුවේගම පමණක් බව නිහාල් කියා තිබුණි. චාලි චැප්ලින්ට , ජෝ අබේවික්‍රමටත්, සැමුවෙල්, ඇනස්ලි, බර්ටිට ආදරය කළනිහාල් වරක් කියා තිබුණේ තමා තවම රඟපෑම ගැන ඉගෙන ගන්නා නළුවකු බවය. ජීවත්වීමට මිල මුදල් නැතිදාක මහ පාරේ කව්බෝයි චරිතය, චැප්ලින්ගේ චරිතය රඟපාමන් ජීවත්වීමට කිසිසේත් ලැජ්ජාවක් නැති බවය.

නිහාල් සිල්වා රඟපෑ චිත්‍රපට රැසකි. ඒ අතර ‘ඇය ඔබට බාරයි, ඉන්ස්පෙක්ටර් ගීතා, මව්බිමේ වීරයෝ, ජූරිය ඔබයි, සසර සැරිසරන තෙක් ඔබ මගේ, රජෙක් වගේ පුතෙක්, ඔබ මට විශ්වාසයි, රණබිමේ වීරයා, මා ඔබේ හිතවතා, චෙරියෝ ඩොක්ටර්, රන් හදවත, ඇසළ සඳ, රජ සෙල්ලං, වැඩ බැරි නම් වැඩක් නෑ, හිත හොඳ පුතෙක්, හොඳ හොඳ සෙල්ලං, පෙම් රජ දහන, හොඳින් නැත්නම් නරකින්, වරදට දඬුවම්, කෝ හතුරෝ, සටන’ ඒ චිත්‍රපට වෙයි.

ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නිහාල් සිල්වා දේශීය සිනමාවේ විකට නළුවකු ලෙස ඉහළම ස්ථාවරයේ රැඳී සිටියේය. තම මව වූ ඩබ්ලිව්. ආර්. ලුසිහාමි මහත්මිය නිෂ්පාදකවරියක ලෙස හඳුන්වා දෙමින් ‘සාජන්ට් නල්ලතම්බි’ චිත්‍රපටය කිරීමට ඔහු ආනන්ද වික්‍රමසිංහට පැවරිය. මේ චිත්‍රපටය තිරගත වූයේ නිහාල් මිය ගොස් වසර හතරකට පසු 1993 දීය. මෙහි ගාමිණි ෆොන්සේකා සමඟ නිහාල් ප්‍රධාන චරිත රඟපෑ අතර පාලිත සිල්වා, වසන්ති චතුරානි, සොමී, විල්සන් කරු සෙසු චරිත රඟපෑහ.

දෙහිවල ආරක්ෂක මුර කපොල්ල අසල දී වාහනය නතර කරන ලෙස හමුදාව විසින් දෙනු ලැබූ අණ නොතකා රිය පදවා ගෙන යෑම හේතුවෙන් එල්ල වූ හමුදා වෙඩි පහරින් නිහාල් 1989 දෙසැම්බර් 03 වෙනිදා අකාලයේ අපෙන් සමුගත්තේය.

මිය යන්නට පෙර සතියේ නිහාල් ගත කළේ කොළඹ කනත්තේ සුසාන භූමියේය. ඒ තමාගේ ‘සාජන්ට් නල්ලතම්බි‘ චිත්‍රපටයේ රූ ගත කිරීම් සඳහාය. ජීවිතයේ අස්ථිර බව, අනියත බව සනාථ කරමින ඉන් සතියකට පසු කනත්තටම ඒමට සිදුවේ යයි ඔහු සිතුවාද?

ඒ.ඩී.රන්ජිත් කුමාර 
ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.