නළුවෙක් මෙහෙමයි කියන ප්‍රතිරූපය කැඩුණේ මගෙන්

දෙසැම්බර් 5, 2019

කලා පුරයේ ඔහුගේ නිවෙසට අප යන විට ඔහු සිටියේ මිදුලේ වැඩ කරන පිරිසකට උපදෙස් දෙමින් ලහි ලහියේ තමන්ට ඇවැසි අයුරින් ඒ කටයුතු කරවා ගනිමින්ය. මූදු පුත්තු, සත් සමුදුර, ගැටවරයෝ, මැණික් නදිය ගලා බසී වැනි වේදිකා, සිනමා, රූපවාහිනී ආදී කුමන ක්ෂේත්‍රයක් සැලකුවද එදා දුටු ජවයෙන්ම අදත් කටයුතු කරන්නට ඔහු උත්සාහ ගන්නා සෙයකි. සැරයටියක් තිබුණද ඒ ඈතිනි. ඔහුට එය ඇවැසි නොවන සේය. ශ්‍රී ලාංකේය රංගන ක්ෂේත්‍රයේ අද වන විට ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පියා සිරිල් වික්‍රමගේ මහතා මේ අයුරින් දකින අපට ඇති වන්නේ මහත් සතුටකි. අපි ඔහුට ආයුබෝවන් කීවෙමු.

“ආයුබෝවන්, එන්න එන්න ගෙට“ ඔහුගේ ආරාධනයයි.

පහසු අසුන් වෙත යොමු වූ අපි මුල සිටම ඔහුගේ 87ක් වසරක කතාව අරඹන ලෙස ආරාධනා කළෙමු. එය පිළිගනිමින් ඔහු මෙසේ අතීතයට ගියේය. 

“මගේ ගම බොහෝම පිටිසර. කුරුණෑගලින් හැතැප්ම දහයක් විතර ඈත. කොහිල ගෙදර කියලා දැන් කියන්නේ තැපැල් කන්තෝරුවක් දාලා නිසා. නැත්නම් තලම්පිටිය තමයි මුල් නම. බොහොම පැරැණි ගමක්. ලොකු වැවක් එහෙමත් තිබිලා තියෙනවා. ගරාඅරව කියලා පන්සලක් තියෙනවා. මුළු ගමම කෘෂිකර්මයෙන් තමයි යැපුණේ. මම ඉපදුණේ නවසිය තිස්දෙකේ ජනවාරි 26. ඒ කාලේ දැඩි විදිහට මැලේරියාව පැතිරුණු යුගයක්. ඒ එක්කම දෙවැනි ලෝක යුද්දෙ. ඉතින් ක්‍රිස්තියානි මිෂන් එක (ගැලවීමේ හමුදාව) ඇවිත් ළමයින්ට එහෙම බේත් හේත් දීලා බේරගෙන තියෙනවා. අපේ පවුලේ ඔක්කොම අට දෙනෙක්. මම පස්වෙනියා. සහෝදරියො හතරයි. සහෝදරයො හතරයි. දැන් ඉන්නේ මමයි මගේ මල්ලියි විතරයි. අපි ඉතින් බොහොම දුෂ්කර ජීවිතයක් ගත කළේ. අපේ ගමේ ඔක්කොම ගොවියො නිසා අපිත් පොඩි කාලෙ ඉඳන්ම ගොවිතැන් තමයි කළේ. ගමට ඉස්කෝල තුනක් තිබුණා. එකක් එංගලන්ත සභාවෙන්, එකක් ආණ්ඩුවෙන්, මම ගියේ ගැලවීමේ හමුදාවෙන් දාපු ඉස්කෝලෙට. ඔක්කොම ළමයි දෙසීයක් විතර හිටියට ඉස්කෝලෙ එන්නේ සීයක් වගේ තමයි. අනෙක් අය ගොවිතැන්වල. මගේ තාත්තා ගැමි කලාකරුවෙක්. හොඳ නැට්ටුවෙක්. බෙර වාදකයෙක්. ඒ නිසා තාත්තා ගමේ ළමයින්ට නැටුම් ඉගැන්නුවා. සොකරි නාට්‍ය කළා. අපට නගරෙට යන්න වාහන එහෙම නෑ. යන්න උවමනාවක් වෙන්නෙත් නැහැ. අපට ඉස්කෝලේ ලියන්න තිබුණේ ප්‍රාරම්භ කියලා විභාගයක්. ඒක ලියන්න කුරුණෑගලට හැතැප්ම දහයක් පයින් යන්න වුණා. කොහොමහරි මම විභාගෙ පාස් වුණා. ඊටපස්සේ කරන්න දේකුත් නෑනේ. අපි ගමේ පොඩි බජව් කණ්ඩායමක් හදා ගත්තා.“

කතාව මඳකට නතර වී ඔහු සැබැවින්ම ඒ මොහොතට පිවිසියා වැනි හැඟීමකින් සිනාවක් මතුවෙයි. අසුනේ හරිබරි ගැසී ඔහු ඉතිරි ටික කියන්නේ නව යොවුන් වියේ කොලු ගැටයකු මෙනි.

“මමයි තව යාළුවෝ හතරදෙනකුයි තමයි එකතු වුණේ. සර්පිනා, තබ්ලා අරගෙන මඟුල් ගෙවල්වල සාජ්ජ දාන්න අපි ගියා. ගමේ පොඩි පොඩි ඒවට අපට ආරාධනාත් ලැබුණා. ඔය කාලේ ආවා අපේ ගමට මිනර්වා නාට්‍ය කණ්ඩායම. මගේ හිත ඒකට හොඳට ඇදිලා ගියා. ඒවා බලපු අය අපේ ගමේ ගෙවල්වල ලොකු මිදුල්වල නාට්‍ය කරන්න පටන් ගත්තා. මාරක මුදුව වගේ නාට්‍ය තමයි මට මතක. පොල්කොට දාලා පස් පුරවලා තමයි අපි වේදිකාව හදාගත්තේ. පොල්ගහවෙල හිටියා අමරදාස කියලා කෙනෙක්. එයාගාව ඔය රජ ඇඳුම් වගේ දේවල් තියෙනවා. අපි බක්කි කරත්තයක් යවලා ඒ ඇඳුම් ගෙන්නා ගන්නවා. රෑ නවයට දහයට විතර පටන් ගන්න කතාව බලන්න මිනිස්සු එන්නෙ කාලා බීලා පැදුරුත් අරගෙන ඇවිත් වාඩිවෙලා බලනවා. ඉතින් අපි එළිවෙනකල් නාට්‍යය පෙන්වන්න ඕනෙ. ඔය ගැමි කලාව තමයි අපට තිබුණේ. ඊට පස්සේ 1948 තමයි කුරුණෑගල ඉම්පීරියල් හෝල් එකට කඩවුණු පොරොන්දුව ආවේ. අපේ ලොකු අය්යා ඉංග්‍රීසි ගුරුවරයෙක්. එයා මාව එක්කගෙන ගියා චිත්‍රපටය බලන්න. හප්පේ... රුක්මනී දේවි දිව්‍යාංගනාවක් වාගේ. අපි බලනවා කොහොමද මේ සද්දේ එන්නේ? නාට්‍යයක නම් සංගීත කණ්ඩායම ඉන්නවානේ. රෙකෝඩ් කරනවා කියලා දෙයක් අපි දන්නේ නෑ. ලොකූ රූප. හිතාගන්න බෑ මේක!“

ඔහු මේ ගත කරන්නේ පළමුවරට බයිස්කෝපයක් දුටු මොහොත මෙන් දෑස් විදහා මොහොතක් අතීතය දෙස බලා සිටියි.

“ඒ කාලේ සත පනහයි ගැලරිය. අපි රෑට කාලා ගෙවල්වලට හොරෙන් පයින්ම යනවා සත පනහ ඉතුරු කරගෙන. ඔන්න ආවා දෙමළ චිත්‍රපට ඊළඟට. චින්තාමනි, කනවනේ කන්කන්ඩ දෙයිවම් ඕවා එකක් අරින්නේ නෑ අපි. කොහොමහරි මම 1952 වෙනකොට පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළු වීමේ විභාගෙ පාස්වෙලා එහේ අවුරුදු දෙකක් හිටියා. එහෙදි මනෝ විද්‍යාව වගේ අලුත් විෂයයන් ඉගෙන ගන්න ලැබුණාම වෙනස් වීමක් වගේ ඇති වුණා. මම ඒ අවසාන විභාගෙත් හොඳීන්ම සමත් වුණ නිසා ඒ අනුබද්ධ විද්‍යාලයකම මට පත්වීම ලැබුණා. මම අර ගමේ ඉන්න කාලේ පොඩි පොඩි බජව්වල සංගීතය කළ නිසා සංගීතය ඉගෙන ගන්න හිතුණා. පොල්ගම්පළ එම්බීපී කලායතනයට ගියා. සිරිල් පෙරේරා තමයි ගුරුතුමා. වික්ටර් රත්නායකත් ඉගෙන ගත්තේ එතනනේ. මම වයලීන් වාදනය ඉගෙන ගත්තේ. ඒ වයලීනය මගේ ළඟ තාම තියෙනවා. ගාන්ධර්ව ප්‍රථමා විභාගය මම සමත් වුණාම සංගීතය වැඩිපුර ඉගෙන ගන්න කොළඹ එන්න ඕනෙ කියලා හිතුවා. මම රත්මලානේ අඳ ගොළු බිහිරි පාසලේ පත්වීමක් ලබා ගත්තා. සදානන්ද පට්ටිආරච්චි මහත්තයාගෙන් මම තවදුරටත් වයලීනය හැදෑරුවා. ඔය කාලෙ අමරදේව මාස්ටර් ලංකාවට ඇවිත්. පේරාදෙණියේ ඉන්න කාලේ අපි පරිබාහිර විෂයයක් විදිහට නැටුම් ඉගෙනගත්තානේ. ශ්‍රී ජයනා තමයි අපේ ගුරුවරයා. මම වෙස්ලි විද්‍යාලයට ගියාම ඒ මහත්තයා තමයි නැටුම් උපදේශක. ඔහු මට කීවා මුල ඉඳන් නැටුම් පටන්ගමු කියලා. මම ඒකටත් බැඳුණා. රණ තිසර මුද්‍රා නාට්‍යයත් කළා. ඒකේ සංගීතය කළේ ඩන්ස්ටන් සිල්වා. ඒකේ ගීතයක් තිබුණා පුල් කමලසුනේ ඉඳ වීනා වයනා කියලා. ඒ සින්දුව හැදුවේ ආනන්ද සමරකෝන්. ඒකේ සින්දු කීවා නාරද දිසාසේකර, දේවානන්ද වෛද්‍ය සේකර වගේ අය. මම හිටියේ රජෙකුට. ඒ කාලේ ගුණසේන ගලප්පත්තිගේ සඳකිඳුරු නාට්‍යය මට හොඳටම හිතට ඇල්ලුවා. වෙස්ලි විද්‍යාලයේ සාහිත්‍යය කරපු ෆීලික්ස් ප්‍රේමවර්ධන නෝවා නාට්‍යයේ පරිවර්තනයක් කළා මිනිස් ගතිය කියලා. ඒක පෙන්වන්න වයිඑම්බීඒ එක දෙන්න බෑ කියලා කීවා. පස්සේ තමයි ඒ නාට්‍ය තරගාවලිය කරන්න ලුම්බිණි ශාලාව ගත්තේ. ලුම්බිණිය නාට්‍ය රඟහලක් වුණේ එයින් පසුවයි. ඒක බලන්න ගුණසේන ගලප්පත්ති ඇවිත් තිබුණා. එයා මට ලියුමක් තියලා ගිහින් තිබුණා අලුත් නාට්‍යයක් කරනවා එන්න කියලා. එතන හිටියා හෙන්රි ජයසේන, සොමලතා සුබසිංහ, කේ ජයතිලක වගේ අය. ගලප්පත්ති මහත්තයා ඇවිත් මට අහනවා “ආ කොහොමද පුතා“ කියලා. මමත් කතාබහ කළා. අපි සතියක් විතර පුහුණු කළා. ගලප්පත්තිට මාව අල්ලන්නෙම නෑ. එයා කියනවා. “පුතා ඔයාට මේක කරන්න බෑ“ මමත් ඉතින් හොඳයි මිස්ට ගලප්පත්ති කියලා හිටියා. ඊට සතියකට විතර පස්සේ මෙන්න මම ඉන්න තැනට ඇවිත් කියනවා. “පුතා අපි තව සැරයක් බලමු“ මමත් හා කිව්වා. මනුස්සයා මෙතඩ් ඇක්ටින් කරපු කෙනෙක්නේ. මාලන් බ්‍රැන්ඩොලාගේ පන්තියෙනේ හිටියේ. මෙයා වේදිකාවේදි මාව උනන්දු කරකර මට රංගනය පොවනවා. මට දැනෙන්න ගත්තා තේගිරිස් මගේ ඇඟේ ඉන්නවා වගේ. මම ආරූඪ වෙනවා වගේ දැනුණා. ඒ මහන්සිය නිසා මට ලොකු තැනක් ආවා. මූදු පුත්තු. කොච්චර චරිතෙට ආරූඪ වුණාද කීවොත් අන්තිමට තේගිරිස් දරුවා මරණ කොටසෙදි මම හිරිවැටිලා ඉන්නේ. නෙල්සන්ලා තමයි මාව අල්ලගෙන මසාජ් කරලා යථා තත්ත්වෙට ගන්නේ. ධම්ම ජාගොඩ ඉස්සර මාත් එක්ක හිටියේ. නාට්‍යය බැලුවාම එයාටත් ආසා හිතුණා මෙකේ රඟපාන්න. පස්සේ මම ගලප්පත්ති මහත්තයාට කීවාම සෝමලතා සුබසිංහට බාරදෙන්න කීවා. ඊටපස්සේ තමයි ධම්ම මූදුපුත්තු නාට්‍යයට සම්බන්ධ වුණේ. අපට රුපියල් පහක් විතර තමයි ලැබුණේ. ඒකත් ලොකු දෙයක්. සමහර නාට්‍යවල රුපියල් දෙකත් ලැබුණා. සමහර ඒවයේ සල්ලි හම්බුණෙත් නැහැ. “

මූදු පුත්තුවලින් පසු සිරිල් වික්‍රමගේ නවක නළුවාට දේවතා එළිය, කුවේණි, බලන කපොල්ල, තවත් උදෑසනක්, එලොව ගිහින් මෙලොව ආවා, කදා වළලු, පබාවතී, ලියතඹරා, නැට්ටුක්කාරයා, වෙස් මුහුණු, අහසින් වැටුණු මිනිස්සු සහ ඉඩම වැනි නාට්‍ය සඳහා සිය රංගන දායකත්වය ලබා දීමට අවස්ථාව ලැබිණි. 1965 වසරේ හඳපාන චිත්‍රපටයෙන් මුල්ම වතාවට රිදී තිරය මත ඔහුගේ රුව දකින්නට හේතුවන්නේ සංගීතඥ සිසිර සේනාරත්න කළ ආරාධනයකි. එහෙත් සිනමාවේ ඔහුගේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ සත් සමුදුරයි. 

“සරච්චන්ද්‍ර මහත්තයාගේ පබාවතී නාට්‍යයේ මම හිටියේ කුස රජුගේ පියා ඔක්කාක රජ්ජුරුවන්ට. ඒක ටිකක් කොමඩි විදිහට කළාට කමක් නැහැ කියලයි ඩොක්ට සරච්චන්ද්‍ර මට කීවේ. ඒ නාට්‍යය බලන්න ඇවිත් තිබුණා මීගමුවේ ඩොක්ට ලීනස් දිසානායක. ඒ අය සදිසි සිනපති කියලා කොම්පැනියක් හදලා චිත්‍රපටයක් කරන්න හිතාගෙන නළුනිළියන් තෝරන්න. ඩොක්ටර් ලීනස් හමුවෙන්න කීවා කියලා පණිවිඩකාරයෙක් ඇවිත් පහුවෙනිදා උදේ මට කීවා. මම රොස්මිඩ් පෙදෙසේ ගෙදරට ගියා. අපේ කතාබහ හිතවත්කම් මධුවිතත් එක්ක වැඩියෙන් තහවුරු වුණා. පස්සේ මාව මීගමුවේ ගෙදර ගෙනිහින් සියලු පහසුකම් සහිත කාමරේක දාලා පිටපතක් දුන්නා කියවන්න කියලා. මාව ඒකේ විහිළුකාරයාට තෝරගෙන තිබුණේ. රෑ එළිවෙනකල් කියෙව්වා. ආ..පෝ.. ඒක හරි නෑ ඩොක්ටර් මම කැමති නැහැ කියලා මම කීවා. “ඔව් අයිසේ මමත් කැමති නැහැ. තියෙනවා නම් දෙනවකො හොඳ ස්ක්‍රිප්ට් එකක්.“ ඩොක්ටර් ලීනස් කීවා. මම මූදු පුත්තු ගෙනත් ඩොක්ටර්ට කියෙව්වා. “වෙරි නයිස් ස්ටෝරි නෝ අය්සේ.. කවුද මේක කළේ“ මම උත්තර දුන්නා ගුණසේන ගලප්පත්ති, මහගම සේකර. මම ඊළඟ දවසේ ඒ දෙන්නව එක්කගෙන ආවා. ඩොක්ටර් ලීනස් කීවා නාට්‍ය පිටපත චිත්‍රපටයක් විදිහට ලියන්න කියලා. ගලා (ගලප්පත්ති) පස්ස ගහන්න ගත්තත් අනෙක් අය කියපු නිසා ගම්පහ සේකරගේ ගෙදර ගිහින් අපි පිටපත ලියන්න පටන් ගත්තා. තිස්ස ලියනසූරියවත් මම සම්බන්ධ කරගත්ත නිසා සන්දේශය පිටපත අපට දුන්න කියවන්න කියලා. ගලප්පත්ති කියනවා “සේකර දැන් ඩොක්ටර් සිරි (සිරි ගුණසිංහ) ලංකාවට ඇවිත් නිසා අපි එයාට දෙමු.“ අපි කියනවා එපා කියලා. ඒත් මෙයා හොරෙන්ම කියලා ගුරුතුමා නිසා. පහුවෙනිදාම සිරි ආවා අපේ ගෙදර. “මොකද්ද සිරිල් මේ. ගලාට මේක කරන්න බෑ, කවුද ඩොක්ට ලීනස් කියන්නේ.“ මම ගිහින් අඳුන්නලා දුන්නා. එයාට අධ්‍යක්ෂණය ඕනෙ කීවා. සහාය අධ්‍යක්ෂණයත් ගලප්පත්තිට බැහැ කියලා අයින් කළා. ඔහොම ඔහොම ගලප්පත්ති තමන්ගේ චාන්ස් එක නැති කරගත්තා. ඒ එක්කම ඩොක්ටර් ලීනස් කීවා ප්‍රධාන චරිතය සිරිල් කියලා. සිරි කීවා සිරිල්ට ඒක කරන්න බෑ කියලා. ඩොක්ට ලීනස් කීවා සිරිල් එපා නම් පිටපතත් අරගෙන සිරීට යන්න කියලා. ඒ පාර සිරී මෙල්ල වුණා. මම ගිහින් සොන්තාට (සෝමලතා සුබසිංහ) කීවා මේකේ හොඳම චරිතය අම්මා. ඒක බාරගන්න කියලා. සොන්තා මට බැන්නා “උඹ මට නාකි රෝල් ද දෙන්නේ කියලා“ පස්සේ අපි දෙනවක ඇන්ටිට ගිහින් කීවාම එයා බාර ගත්තා. අන්තිමට දිග චිත්‍රපටයක් හැදුණා. පස්සේ ලීනස් දිසානායක ඇවිත් කීවා නිහාල්සිංහට (ඩී. බි. නිහාල්සිංහ) චිත්‍රපටය සංස්කරණය කරන්න පුළුවන්ද කියලා. ඇත්තම කීවොත් අන්තිමට නිහාල් තමයි චිත්‍රපටය ඔය ගාණට ගත්තේ.“

ඒ කතාව මීට පෙර අප වෛද්‍ය ලීනස් දිසානායකගේ පුත් ප්‍රවීණ ශබ්ද පරිපාලක ලාල් දිසානායක මහතා සමඟ බිහයින්ඩ් ද ස්ක්‍රීන් විශේෂාංගය සඳහා කළ සාකච්ඡාවේදී ද පවසා තිබූ බැවින් එහි ඇත්ත යුත්ත පිළිබඳ විමසීම අපට ඇවැසි නොවීය. ඔහු සිනාවක් මුවග රඳවා සිටියි. මම විමසිලිමත් ලෙස බැලීමි.

“සත්සමුදුරෙන් පස්සේ මමත් ටිකක් ආඩම්බරවෙලා හිටියේ. ඒ කාලේ නළුවන්ගේ හැටි දන්නවානෙ. කොණ්ඩේ හදලා. උඩු රැවුලක් තියලා. ආනන්ද ජයරත්නලා වගේ ඉන්න එපැයි. ඒත් ඉතින් මම එහෙම නෑනේ. දවසක් බොරැල්ලේ මම යනකොට බස් ස්ටෑන්ඩ් එක ගාව කොල්ලො දෙන්නෙක් ඉන්නවා. එකෙක් කියනවා. අන්න මචං සත්සමුදුරේ කොල්ලා කියලා. අනෙකා මගේ දිහා බලලා එකපාරටම ‘ඊ.... පෙන්දෙක්නෙ‘ කීවා. බස් පොළේ හිටපු අයටත් හිනා ගියා. මටත් ඉතින් හිනාගියා.“ ඒ කියූ ආකාරයට අපටද සිනා ගියේය. “නළුවෙක් මෙහෙම විය යුතුයි කියන ඉමේජ් එක (ප්‍රතිරූපය) කැඩුණෙ මගෙන්. කලං (අමරසිරි කලංසූරිය) ආවේ මගේ පාරේ“ ඔහු ඒ සිනහව අතර පැවසීය.

සත්සමුදුරෙන් පසු ඔහුට සිනමාවේ ස්වර්ණමය යුගය නියෝජනය කළ වෙස් ගත්තෝ, වල්මත් වූවෝ, සිහින ලොවක්, අහස් ගව්ව, එයාදැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, කරුමක්කාරයෝ, සොල්දාදු උන්නැහේ වැනි කෘති 28කට පමණ දායකත්වය ලබා දීමට වාසනාව පෑදිණ.

“ඒ හැම එකක්ම අතරින් මම සුද්දිලාගේ කතාවට, ඒ චරිතයට හරි කැමතියි.“ ඔහු අවංකව පවසයි. ඒ අතර ඔහුට රස කතාවක් සිහිපත් වෙයි.

“මොකද වුණේ කියලා පියසිරි ගුණරත්නගේ චිත්‍රපටයක් බලලා තියෙනවාද? ඒකේ පූජිත මෙන්ඩිස් කියලා ඇස් ටිකක් ලොකු සටන් නළුවා මතකද? කතාවේ අන්තිමට මට තියෙන්නේ මාත් එක්ක සම්බන්ධයක් තියෙන ගෑනු ළමයා අනුලා කරුණාතිලකව එක්කගෙන යන්න. හරිනම් ප්‍රධාන චරිතය මම නිසා දුෂ්ටයාට ගහලා තමයි මම ගෑනු ළමයාව අරන් යන්න ඕනේ. පූජිත කියනවා “මිස්ට පියසිරි, මම ස්ක්‍රීන් එකේ චණ්ඩියා, මට රියල් ෆයිට් එකක් යන්න ඕනේ.“ පියසිරි බය වුණා. “සිරිල් මාර ප්‍රශ්නයක්නේ“ කීවා. මම කීවා “ප්‍රශ්නයක් නෑ“. පියසිරි ඇහුවා “උඹට පුළුවන්ද?“ “අපි බලමුකො“ ඔහොම කියලා සීන් එක එද්දි පූජිත එනවා යෑ.. ගාගෙන. කවුරුත් දන්නේ නැහැ මම කරාටේ දන්නවා කියලා. ඒත් එන විදිහට මට බය හිතුණා ඇදලා අරී කියලා. මම පැන්න ගමන් මෙතන්ට දෙකයි මෙතන්ට දෙකයි දුන්නා“ 

වික්‍රමගේ වික්‍රමාන්විත ස්වරයෙන් රඟපාමින් කියයි. අපි මුව ආයාගෙන අසා සිටින්නෙමු.

“පූජිත එක පාරටම වැටුණා. ඇස්දෙක තවත් එළියට ආවා. ඒ පාර හොස්පිට්ල් අරන් ගියා. සතියක් ෂූටින් කැන්සල්“ ඔහු කියන්නේ අනුකම්පාවද මුසු හඬකිනි. එවක චිත්‍රපටකරණය කෙතරම් සුන්දර වී දැයි ඔහු සිහිපත් කරන්නේ මෙසේය.

“බඹරු ඇවිත් අපි කළේ කල්පිටියේ. එහෙ තිබුණා පර...ණ රෙස්ට් හවුස් එකක්. ඒකෙ තිබුණෙ කාමර දෙකයි. ඉතින් එකක කැමරා බඩු. අනෙකේ රූබි ඇන්ටි, මාලිනි වගේ කාන්තා පක්ෂෙ අය. අපි ඉතින් කොහොඹ ගස් යට එහෙම තමයි ගත කළේ. සමහර දාට රූබි ඇන්ටිලා මාලිනිලා එහෙමත් එනවා ගස් යටට වෙලා ඉන්න. අපට මාළු එහෙම එව්වේ වාඩිවලින්. රහමෙර එව්වේ ඒවා අල්ලන්න ඉන්න ආයතනයෙන්. අපේ තිබුණේ පුදුම සහෝදර කමක්. බැඳීයාවක්. රසිකයනුත් අපට හරිම ලැදියි.“

සිරිල් වික්‍රමගේ මහතා චිත්‍රපට දෙකක අධ්‍යක්ෂවරයා විය.

“සිහින ලොවක් චිත්‍රපටයේ මුල් නම රන්කැටි පුතා. ඔය ඇන්ඩෲ ජයමාන්නලා තමයි නම වෙනස් වුණේ. අනෙක් චිත්‍රපටය තමයි කරදිය වළල්ල කළේ.

ඒ කතාවෙන් පසු ඔහු කෙළින්ම රූපවාහිනි නාට්‍ය දෙසට නැඹුරු විය. ඔහු ටෙලි නාට්‍යවලට බෙහෙවින් ප්‍රිය කරන්නේ ඔහුට මුල්ම සම්මානය හිමිවන්නේ විජය රූපවාහිනී සම්මාන උලෙළේදී නිසාය. නුඹ නාඩන් සෙනෙහෙලතා, පළිඟු මැණිකේ, අඳුකොළ, මිහිකතගේ දරුවෝ, සාප නොකරව් දරුවනේ, ගව්වෙන් ගව්ව, ඇල්ල ළඟ වළව්ව ඔහුගේ රංගනයෙන් හැඩ වුණු ටෙලි නාට්‍ය කීපයක් පමණි. ඔහු ලැබූ සම්මාන අතරින් වඩාත් ආසාවෙන් කතා කරන්නේ තේ සමාගමක සභාපතිවරයා ලෙස රටවල් ගණනාවක් අතුරින් ලංකාවේ තේවල ගුණාත්මක බව අගයමින් තමිල්නාඩු ආණ්ඩුකාරවරයා විසින් ඔහුට ලබා දුන් සම්මානයයි. ඒක ලැබුණේ මට නෙවෙයි. රටට“ ඔහු ආඩම්බරයෙන් කියයි. දෙවනුව ටෙලි නාට්‍ය ගැනද පවසයි. 

“ටෙලි නාට්‍ය දිගටම කෙරුණ නිසා මම හරි කැමතියි ඒවාට. මැණික් නදිය ගලා බසී එකේ මැණික් හාමිට මම හරි කැමතියි. කන්දේ ගෙදර අල්මේදාත් බොහොම ජනප්‍රිය වුණු චරිතයක්. මගේ චිත්‍රපටවලට වඩා ටෙලි නාට්‍ය සංඛ්‍යාව වැඩියි.“

ලංකාවේ මුල්ම උපාධිධාරී නළුවා ද සිරිල් වික්‍රමගේ මහතාය. ඔහු විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ආදි සිසුවෙකි. “මට ගාමිණි ෆොන්සේකා කතා කළේ ආ.. ඉස්කෝලයා කියලා. මම ඒවෙලාවට ආ... නළුවා කියලා එයාට විහිළු කරනවා. අපි දෙන්නා එකට රඟපාන්න හිටපු චිත්‍රපටය කෙරුණෙ නැහැ. ඉන් පස්සේ අපට එකට රඟපාන්න ලැබුණෙත් නෑ“

කිසිම නිළියක් සිරිල් මහත්තයාගෙන් කැමැත්ත අහලා නැද්ද? මම සෑහෙන වෙලාවක් ඉවසා සිට විමසුවෙමි.

“අපෝ නෑ. අපි හිටියේ සහෝදරයෝ වගේ. නිළියො තියා සාමාන්‍ය ගෑනු ළමයිවත් මගෙන් වැඩිය අහන්නේ නැහැ. මගේ නෝනා හිටියේ මම බෝඩ්වෙලා හිටපු ගෙදරට අල්ලපු ගෙදර. වින්සන්ට් ප්‍රේමසිරි ගායකයා මෙයාගේ අයියා. අපි ඉතින් හාද වෙලා කසාද බැන්දා. ඒකේ විශේෂ දෙයක් නැහැ. දරුවො හතරදෙනෙක් ඉන්නවා. ඒ අය හොඳීන් ජීවත්වෙනවා. මට බොහෝ දෙනෙක් අවවාද කළා ගුරුවෘත්තියෙන් අයින්වෙන්න කියලා. ඒත් මගේ මුල් තැන ගුරුවෘත්තියට. ඉතින් අද මට පෙන්ෂන් එකක් ලැබෙන්නෙත් ගුරුවෘත්තියේ හිටිය නිසානේ...“ ඔහු ගුරුවෘත්තියට බෙහෙවින් ගරු කරයි.

“මම ඉස්කෝල අටක ඉගැන්නුවා. සැරයක් ගියා දෙමටගොඩ ඉස්කොලෙක උගන්වන්න ගියා. උපාලි තෙන්නකෝනුත් උගන්වනවානේ. මට ඇහුණා එක සැරයක් ළමයෙක් ‘නළුවා‘ කියනවා. මම ගියා දුන්නා දෙකක්. කීවා නළුවා ඉන්නේ එහෙ. මෙහෙ ඉන්නේ ගුරුවරු. එදායින් පස්සේ ප්‍රශ්නයක් නැහැ. තවත් සැරයක් කොටහේන ඉස්කොලෙකට ගිය මුල්ම දවසේ ප්‍රජාචාරය උගන්වන්න පන්තියට ගියාම ළමයි තුන්දෙනෙක් නැඟිට්ටා. මම බැලුවාම තව දෙතුන්දෙනෙක් නැඟිට්ටා ඔක්කොම තිහක් විතර. දෙන්නෙක් නැඟිටින්නෙම නෑ. වෙස්ලි කොලෙජ් එකේ විනය හරි හොඳයිනේ. මට මේක අමුතුයි. මම ඇහුවා ගුරුවරයෙක් ඇවිත් ඉන්නේ ළමයි නැඟිටින්නෙ නැද්ද කියලා. දෙන්නා කියනවා අපිව නැඟිට්ටවන්න කෙනෙක් ආවෙ නෑ කියලා. මම ගියා ළඟට දුන්නා දෙක ගානේ. මම කීවා අද අවිත් ඉන්නවා ඒ ගුරුවරයා පලයව් එළියට කියලා. මුළු ඉස්කෝලෙම කලබල වෙලා. ප්‍රින්සිපල් ඇවිත් කීවා මිස්ට වික්‍රමගේ ඔය කොල්ලෝ මහ එපා කරපු එවුන්. පරිස්සමින් කියලා. මම කීවා ඒක මම බලාගන්නම් කියලා. බස් ස්ටෑන්ඩ් එකට යද්දි ගැන්සියක් ඉන්නවා. මම දැක්කෙ නැහැ වගේ ගියා. පහුවෙනිදා අම්මා කෙනෙක් එනවා බුලත් අතකුත් අරගෙන. අනේ බුදු සර් ලොකුදෙයක් මේ කළේ කියලා. මම කීවා මුලින් හදන්න ඕනේ ගෙදරින්. ළමයත් වැන්දා එදායින් පස්සේ ප්‍රශ්න නැහැ. තවත් දවසක මම යද්දි තාප්ප උඩයි ගස් උඩයි ළමයි. එම්ජීආර් එනවා කියලා. මම ප්‍රින්සිපල්ගෙන් ඇහුවා එහෙම චක්‍ර ලේඛයක් අපට එවලා තියෙනවාද කාලිමුත්තු කීවාම එම්ජීආර් බලන්න ළමයි එවන්න කියලා. විදුහල්පති නෑ කීවා. පස්සෙ මම ගත්තා පොල්ලක්. ගිහින් කීවා දුවපියව් ඉස්කෝලෙ ඇතුළට එම්ජීආර් ගෙ ..... කියලා. අන්තිමට ඒ නළුවා අවෙත් නෑ. ඉස්කෝලෙ විනයත් හැදුණා.“

ඔහු කියන ආකාරයට නළුවකුට අවශ්‍ය ලස්සනට වඩා පිරිමි පෙනුමයි. එය ගුරු වෘත්තියට මෙන්ම ඔහුගේ දේශපාලනයටද වැදගත් වූවකැයි මට සිතේ.

“ මරදානේ හිටියා හාමු මහත්තයා කියලා ඔළුව විකාර වුණ කෙනෙක්. රතු පෙන්නන්න බෑ. රතු ඇඳලා හිටියොත් ගලවන්න කියනවා. බලද්දි කොමියුනිස්ට් විරෝධී කෙනෙක්. අපි විද්‍යෝදයේදී කේ. එම්. පී රාජරත්න මහත්තයා එක්ක තමයි දේශපාලනේ පටන් ගත්තේ. රාජරත්න සැරයක් උද්ඝෝෂණයක් කරන්න ගත්තා පරණ පාර්ලිමේන්තුව ගාව. කවුරුත් ගණන්ගත්තේ නැහැ. මම ශිෂ්‍යයන් සංවිධානය කරගෙන ආවා. එක්කෙනෙක් මට කීවා කඳුළු ගෑස් ගහන්න යන්නේ අන්න අරය කියලා. මම ඒ රාළහාමිව උස්සලා බේරෙ වැවට දැම්මා. ප්‍රශ්නේ ඉවරයි. මම පටන්ගත්තේ සමසමාජ පක්ෂෙන්. බොරැල්ලේ තිබුණා අපේ මහජන කලා මණ්ඩලය කියලා. සිසිර සේනාරත්න මගේ යාළුවා. හඳපානට මාව ගත්තෙත් ඒ ඇඳුණුම්කමට. පස්සෙ මම ශ්‍රී ලංකා එකට බැඳුණා. පස්සෙ විජය එක්ක එකතුවෙලා මහජන පක්ෂය හදාගත්තා. ඉතිරි ටික දන්නවානේ. අපට මේ සමාජයේ ඕනතරම් චරිත තිබෙනවා අධ්‍යයනය කරන්න. ඒ චරිතය තේරුම් ගැනීම සහ එය අනෙක් චරිත සමඟ සහසම්බන්ධ වන්නේ කොහොමද කියලයි අවබෝධ කරගන්න ඕනේ. වේදිකාවේ නම් ඈතට පේන්න රඟපාන්න ඕනෙ. සිනමාව, රූපවාහිනිය කියල නම් වෙනසක් නැහැ. ඒත් ඒවායේ රඟපාන්න ගියොත් තමයි වරදින්නේ.“

අපේ කතාව අවසන් කරන්නට මම ඇසුවේ වසර 87ක් පිරෙන නළුවකු, ගුරුවරයකු, ගායකයකු, වාදකයකු, නර්ථන ශිල්පියකු, නිෂ්පාදන කළමනාකරුවකු ආදී සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන්නකු ලෙස සිරිල් වික්‍රමගේ මහතා ජීවිතය දකින්නේ කෙසේද කියාය.

“අපේ ගමම ක්‍රිස්තියානි. ඒත් අපි බෞද්ධ සංස්කෘතිය තුළ ඉන්න බෞද්ධයෝ. වැදගත් වන්නේ ආගම නෙවෙයි. මනුෂ්‍යත්වය. අපි හැමෝම මිනිස්සු. තිස්සෙම පන්සිල් හෝ ආගම කියවන්න ඕනෙ නැහැ තමන් නිවැරැදිව පිළිවෙතක පිහිටනවා නම්. මට දුක්වෙන්න කියලා කිසිම දෙයක් නැහැ. මම කවදාවත් සෝකයෙන් ඉඳලා නැහැ. අධෛර්යය වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා මම ජීවිතේම හිටියේ සතුටින්.“

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.