ඒ පිටස්තරයා මෙහි පැළ කළ නොහැකිය

දෙසැම්බර් 26, 2019

1967 දී ‘නිදිකුම්බා’ නාට්‍යය නිර්මාණය කරමින් අභූතරූපවාදය (ඒඡඵභපඤ) දේශීය නාට්‍ය කලාවට හඳුන්වාදීමට පුරෝගාමී වූයේ සුමන ආලෝක බණ්ඩාරයන්ය. යුරෝපයෙන් සපැමිණි හුදෙකලා පිටස්තරයා මෙරට වේදිකාවේ පළමුවරට දක්නට ලැබුණේ ධර්මසිරි වික්‍රමරත්නගේ ‘සහන් එළිය’ (1964) නාට්‍යයෙනි. එහි සයිමන් නවගත්තේගම නිරූපණය කළ චරිතයෙන් පිටස්තරයාගේ හෙවණැල්ල ලාංකේය වේදිකාවේ මුල්වරට පතිත විය. ශාන් ජෙනේගේ ආභාසය වැඩියෙන් ලැබූ ලාංකේය නාට්‍යවේදියා ධර්මසිරි වික්‍රමරත්නයන්ය. ඉක්බිතිව එස්. කරුණාරත්නගේ ‘මළවුන්ගෙන්’ (1966) නාට්‍යයෙහි ද කරුණාරත්න ඩී. පිලිප්ගේ ‘අතරමං වූවෝ’ (1966) නාට්‍යයෙහි ද එකී පිටස්තරයා හඳුනා ගත හැකි විය. යුරෝපයෙන් සංක්‍රමණය වූ මේ පිටස්තරයා ලාංකේය පොළොවේ කිසිදා පැළ කළ නොහැකි බව එකල සෘජුවම පැවසුවේ සුගතපාල ද සිල්වාය.

1956 දී ඇමරිකානු ලේඛක ජැක් කොරැවැක් ‘හිපි සංස්කෘතිය’ අරභයා “On the Road”  නමින් නවකතාවක් ලීවේය. මේ නවකතාවේ දක්නට ලැබෙන හිපියෝ වැරහැලි රෙදිවලින් සැරැසී, කඩල කකා ඔහේ පාරවල් දිගේ ඇවිද යති. හිපියෝ ද පිටස්තරයෝය. කෘතහස්ත සාහිත්‍යවේදී අජිත් තිලකසේන විසින් විරචිත තිර රචනය ඇසුරෙන් ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘පාරදිගේ’ (1980) සිනමා කෘතියෙහි යථෝක්ත නවකතාවෙහි හෙවණැල්ල වැටී ඇතැයි මම සිතමි. මුල් නැතිව දලු ආ චන්දරේ ද පිටස්තරයෙකි. චන්දරේ ලාංකික පිටස්තරයාට වඩා යුරෝපීය පිටස්තරයාගේ ගති ස්වභාවන්ට සමීප වේ. අජිත් තිලකසේනයන් මෙය ‘පාරදිගේ‘ ලෙස නම් කළේ “On the Road”  හි ආභාසය නිසාද? ඔහු ‘අපේ කට්ටිය’හි මුල් සාමාජිකයෙකි.

60 දශකයේ අවසාන භාගය වන විට මෙරට දක්නා ලැබුණු සමාජ, ආර්ථික, දේශපාලන විෂමතා මෙන්ම සමාජවාදය, යුරෝපයේ විරෝධාකල්ප සාහිත්‍යයේ ආභාසය ආදිය හේතු කොට ගෙන සියලු කලාවන්හී සමාජ නැඹුරුවක් දිස් වන්නට විය. එනම් එතෙක් සියලු කලාවන් හී යථාර්ථ නිරූපණයේදී බහුලව දක්නට ලැබුණු පුද්ගල කේන්ද්‍රීය නැඹුරුවට විකල්ප වශයෙන් සමාජ කේන්ද්‍රීය නැඹුරුව වෙත ද ප්‍රවේශ විමය. එතැන් සිට තරුණ අසහනය, යොවුන් ගැටලු, විරැකියාව, සූරාකෑම, දරිද්‍රතාව, සමාජ විෂමතාවය, ලිංගිකත්වය, ස්ත්‍රීත්වය යනාදිය මෙන්ම අනේකවිධ සමාජ ප්‍රශ්න බොහෝ කලා නිර්මාණ උදෙසා ප්‍රස්තුත වූ බැව් පෙනේ.

සුගතපාලයන්ගේ විශිෂ්ටතම නාට්‍ය කෘතිය ලෙස බොහෝ විචාරකයන් සලකන ‘දුන්න දුනුගමුවේ’ (1972) ආකස්මිකව ප්‍රාදුර්භූත වූ නාට්‍යයක් නොවේ. මේ වූ කලී තත්කාලීන කලා සාහිත්යික සමාජ නැඹුරුවෙහිම අග්‍රේසර ඵලයකි. සුගත්ගේ නාට්‍ය භාවිතයේ පරිපාකය මින් සනිටුහන් කෙරිණ. 1950 සිට 2000 වසර දක්වා අඩ සිය වසරක කාලයේ මෙරට බිහි වූ විශිෂ්ට සිංහල නාට්‍ය දහයෙන් ‘දුන්න දුනුගමුවේ’ ද එක් නාට්‍යයක් ලෙස සම්භාවනාවට පාත්‍ර විය. මේ වූ කලී ජීවන දෘෂ්ටියෙන් මතු නොව ශිල්පීය පක්ෂයෙන් ද ප්‍රශස්ත නිෂ්පාදනයකි.

ධනේශ්වර සමාගමක් හා එහි සේවකයන් අතර ඇති වන්නා වූ ගැටුමක්, වැඩවර්ජනයක් මීට ප්‍රස්තුත විය. ධන තෘෂ්ණාවෙන් මඩනා ලද ධනසේන ස්වකීය සමාගමේ සේවකයන් සූරාකමින් ධනය ඉපැයීමට උත්සුක වේ. එහි පවත්නා වෘත්තීය සමිතිය ඔස්සේ සංගම්රත්න, බන්ධුසේන, වීරසේන ආදීහු අඛණ්ඩ වැඩවර්ජනයක නියැළෙති. වැඩවර්ජනය අතර එය කඩාකප්පල් කරන, පාවා දෙන සාමාජිකයන්ගේ ස්වරූපය ද හෙළි වේ. වෘත්තීය සමිති නායක සංගම්රත්නගේ එකම දරුවා ගිලන් වනුයේ මේ අවස්ථාවේදීය. දරුවා බේරා ගැනීමට අවැසි එකම බෙහෙත නිපදවන්නේ ධනසේනට අයත් සමාගමෙහිය. වැඩවර්ජනය නතර කළහොත් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට බෙහෙත ලබා දෙන බවට ධනසේන අවධාරණය කර සිටී. වැඩවර්ජනය නවතා බෙහෙත ලබාදී දරුවාගේ දිවි රැකදෙන ලෙස සංගම්රත්නගේ බිරිය සංගම්වතී ඉල්ලා සිටින්නීය. ප්‍රබල නාට්‍යීචිත අවස්ථා මතු කරමින් නාට්‍යමය ගැටුම උග්‍ර අතට හැරෙන්නේ මෙතැන් සිටය. සංගම්රත්න අවසන් සටන පාවාදෙනු ඇතැයි බොහෝ දෙනා සිතති. එහෙත් ලොමු ඩැහැගැන්වෙන ඵලාගමයක් සනිටුහන් වනුයේ ඔහු බෙහෙත ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ‘මතු උපදින දහසක් දරුවන් වෙනුවෙන් තම දරුවාගේ දිවිය කැපකොට’ සටන අත් නොහැරීමට තීරණය කිරීමත් සමඟිනි.

දේශපාලන තේමා රැගත් ලාංකේය නාට්‍ය අතුරින් තවමත් සුගතපාලයන්ගේ ‘දුන්න දුනුගමුවේ’ නාට්‍යයට අග්‍රස්ථානය හිමි වේ. දේශපාලන ප්‍රස්තුත රැගත් නාට්‍ය රැල්ලක් මෙය පූර්වාදර්ශ කොට ගෙන ඉක්බිතිව පහළ වූ අතර මේ රැල්ලේ නාට්‍ය බොහොමයක් ’පපඩම් නාට්‍ය’ලෙස හඳුන්වා දෙමින් ආචාර්ය ගුණදාස අමරසේකර ඒවා එකල නිර්දය ලෙස විවේචනය කළේය.

‘දුන්න දුනුගමුවේ’ නාට්‍යය ඔස්සේ ජනිත කළ මානව හිතවාදී, සමාජවාදී දෘෂ්ටිය සුගතපාල ඇදුරන්ගේ නාට්‍ය ජීවිතයෙහි මතු නොව පෞද්ගලික ජීවිතයෙහි ද තිබූ බවට මම සාක්ෂි දරනෙමි. නාට්‍යයෙහි සංගම්රත්න මෙන්ම සුගත්ගේ මානව හිතවාදී ජීවන දෘෂ්ටිය ද තම දරුවන්ට (දිමුතු, වනමලී, ප්‍රබුද්ධ, හරින්ද්‍ර) පමණක් සීමා වූයේ නැත. ඔහුගේ වටිනා ජීවිත කාලය මා මෙන්ම දහසක් දරුවන්ගේ නුවණැස පාදා දීමට නිස්සරණාධ්‍යාශයෙන් කැප කෙරිණ. සුගතපාලයන් ප්‍රතිභාපූර්ණ නව පරපුරකට කිසිදා කුහකකම් කළ ප්‍රවීණයෙක් නොවූ බවට මා සාක්ෂි දරනුයේ ඔහුගේ ජීවිතය සියුම්ව කියවීමෙන්, විනිවිද දැකීමෙන් ලත් පරිචයෙනි. සුගත් තම දූ දරුවන්ට පෑ සතරබ්‍රහ්ම විහරණයම (මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා) අවශේෂ දූ පුතුන් වෙත ද පෑවේය. අනෙක් අතට ඔහු විචාරශීලි සමාජවාදියෙක් වූයේය. මේ නිසා ඇතැම් අවිචාරශිලී

“Mask වාදීන් (වෙස්මුහුණු) අතර සුගත් අතළොස්සක් වූ සැබෑ“Marx”  (මාක්ස්)වාදියකු ලෙස කැපී පෙනිණ.

බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් 1948 දී නිදහස ලැබීමට වසරකට පූර්වයෙන් එනම් 1947 මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘බුදුසමය හා සමාජ දර්ශනය’ නමැති මාහැඟි ග්‍රන්ථය පළ විය. එමඟින් “Dialectical Materialism”  යන ප්‍රමුඛ මාක්ස්වාදී සංකල්පයට ‘තර්ක භෞතිකවාදය’ යන සිංහල වදන මුල්වරට හඳුන්වා දෙමින් විකුම්සීහයෝ ලංකාවට මාක්ස්වාදය අප ගළපා ගත යුත්තේ කෙසේදැයි මැනවින් පෙන්වා දුන්හ. එහෙත් අභාග්‍යයකට මෙරට මාක්ස්වාදී අනුගාමිකයෝ බහුතරයක් දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව එය නොතැකූහ. එසේ නොමඟ ගිය මෙරට බහුතරයක් මාක්ස්වාදීන් පොට වරද්දා ගත් වී. අයි. ලෙනින්ගේ කියුම මේය.

“The slogan of national culture is a bourgeois fraud. our slogan is the international culture of democracy and of the working class movement’

(Lenin on Literature and Art, p 83)

ලෙනින්ගේ යථෝක්ත කියුම අවිචාරයෙන් වැලඳ ගත් මෙරට බොහෝ මාක්ස්වාදිහූ දේශීය අනන්‍යතාව, ජාතික උරුමය, සභ්‍යත්ව විඥානය

ප්‍රෞඪ ඉතිහාසය, සැබෑ ජාතික වීරයන් අරභයා මත පළ කිරීමෙන් වැළකී සිටියහ. ඒ වෙනුවට වැඩ කරන ජනතාවගේ පන්ති සංකල්පයෙන් බිහිවන අන්තර්ජාතික සංස්කෘතියක් පිළිබඳ සිහින මැවූහ. එහෙත් චීනය වැනි කොමියුනිස්ට් රාජ්‍යයන් පවා මේ කියුම් නොතකා තම සැබෑ ජාතික වීරයන් සමරමින් චීනයේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ උදම් ඇනූ බැව් අප අමතක නොකළ යුතුය. “ආගම පීඩිතයා මත් කරන අබිං” යන කාල් මාක්ස්ගේ කියුමෙන් මෙරට ඇතැම් මාක්ස්වාදීන් නොමඟ ගියේ ද මීට නොදෙවැනි අයුරෙනි. අන්තර්ජාතික කම්කරු පන්ති සංස්කෘතිය බැහැර නොකළ ද දේශීය අනන්‍යතාව, උරුමය, සභ්‍යත්ව විඥානය, ඉතිහාසය, ප්‍රෞඪත්වය ස්වකීය චින්තන රටාවෙහි පදනම කොට ගත්තෝ මෙරට පොළොවේ හොඳින් පය ගැසූ විචාරශීලී මාක්ස්වාදීහුය. සුගතපාල ද සිල්වා ඉන් එක් අයෙකි. මෙරට කලා සාහිත්යික ක්ෂේත්‍රයට පිළිපන්, සභ්‍යත්ව විඥානය හඳුනාගෙන සිටි එබඳු විචාරශීලී මාක්ස්වාදීන් සිහියට නඟත්ම මුලින්ම මගේ මතකයට නැඟෙන සිවු දෙනා සුගතපාල ද සිල්වා, ආචාර්ය තිස්ස අබේසේකර, රෙජී රණසිංහ හා පියසිරි කුලරත්නය. (මා අදහස් කරනුයේ පියසිරිගේ පසුකාලීන සහ වත්මන් ජීවිතය වේ)

තමන් ලියන සෑම සාහිත්‍ය කෘතියක්ම නාට්‍ය පිටපතක්ම ආරම්භ කිරීමට ප්‍රථම එහි ඉහළින් “නමෝ බුද්ධාය” යනුවෙන් සටහන් කළ මාක්ස්වාදී කලාකරුවකු ගැන ඔබ අසා තිබේද? ඔහු සුගතපාල ද සිල්වාය.

 

ඉතිරි කොටස ලබන සතියේ