“නාවල අන්නාසි - කෝට්ටේ දොඩම්” ගීතයේ කතාව

ජනවාරි 2, 2020

“නාවල අන්නාසි -කෝට්ටේ දොඩම් යස රසය කෑමටා” ගීතය අද දක්වාම සිංහල සංගීත ඉතිහාසය තුළ එකලෙස ජනප්‍රසාදය දිනාගත් ගීතයකි. විවිධ ගායන ශිල්පීන් විසින් විවිධ යුග වලදී මෙම ගීතය වරින්වර ගායනය කළ ද, මුල් ගීතය පටිගත කළේ 1927 තරම් වූ ඈත වකවානුවක ය. එම මුල් ගීතයේ ඉතිහාසයත්, එම තනුව අනුවම ගැයුණු තවත් සුප්‍රකට ටවර්හෝල් නුර්ති ගීතයක තතු ත්, මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නෙමු.

“නාවල අන්නාසි” ගීතය පළමු වරට ග්‍රැමොෆෝන් තැටියකට නැගුණේ 1927 වර්ෂයේ දී, ජර්මනියෙහි නිෂ්පාදිත ODEON (අංක ඒඊ 41130) ශබ්දවාහිනී ගීත තැටි ලේබලයෙනි. මෙම ගීතය ගායනා කළේ එවකට ටවල්හෝල් හි “විකට රජා” ලෙස කිරුළු පලන් “රොමානිස් පෙරේරා” මහතා විසිනි. මෙහි මුල් ගීත තනුව සකස් කරන ලද්දේ ජේ.ඩී. මාර්ෂල් පෙරේරා මාස්ටර් විසිනි. ග්‍රැමොෆෝන් තැටි ලේබලයේ මෙම ගීතයේ ගීත රචකයා හෝ සංගීත අධ්‍යක්ෂකවරයාගේ නම සඳහන් නොවේ. ගීතය ආරම්භයේ කදිම දෙබසකුත් සමගින් මුල් ග්‍රැමොෆෝන් තැටියේ ගීතය පහත සඳහන් අයුරින් අන්තර්ගත විය.

දෙබස :

“එක එක රටේ යස රස -අමුතු රස අමුතු රස තිබෙනවා, නාවල අන්නාසි, කෝට්ටේ දොඩම්- වැල -වරකා, ගල්කිස්සේ සීනාක්කු, මීගමුවේ අලුවා, ෂ බොහොම රසයි ! කොම්පඤ්ඤවීදියෙ බම්බු පිට්ටු ....ඒවාත් රසයි !!කොළොඹ මස් ක‍රි ...හොඳට ගුණයි ! නුවර පොල්හොදී, රත්නපුරේ එළවළු ව්‍යංජන, මුහුදුබඩ ගම් වල අලුත් හොදි, මේ එක එක පැති වල එක එක කෑමේ අමුතු රසක් තිබෙන බව රටේ ප්‍රසිද්ධයි”.

 

ගීතය:

ස්‌ථායි කොටස 1 :

නාවල අන්නසි කෝට්ටෙ දොඩං -යස රසය කෑමටා//

ඒ ගල්කිස්සෙ සීනක්කු කොම්පඤ්ඤවීදියෙ - ඉඳීයප්පන් බොහොම රසා.//

 

අන්තරා කොටස 1:

නුවර පොල් හොඳී -කොළඹ මස් කරී//

මුහුදු ගොඩෙහි

නුවර පොල් හොඳී -කොළඹ මස් කරී//

(කාලා බලපන් )

දැනිලා රස බොහෝ//

 

ස්‌ථායි කොටස 2:

බෝදන්ඩි අලුත් හොද්ද පොල් එක්ක කෑවම

කන්ට හැකි බඩ පැලෙනකං

එළවළු ව්‍යාංජන රත්නපුරේ//

 

අන්තරා කොටස 2:

හොඳට රස ඇතී දකුණෙ මීකිරී//

පැණි හා රස බොහෝ....

හොඳට රස ඇතී දකුණෙ මීකිරී //

(බීලා බලපන් )

කන්නට හැකි ඕනතරම්....

 

නාවල අන්නාසි......

 

ටවර් හෝල් හි “විකට රජා” වූ රොමානිස් පෙරේරා මහතා 1888 වසරේ තොටළඟ මෝලවත්ත (ග්‍රෑන්ඩ්පාස්) හි උපත ලබා මාදම්පිටිය ද්විභාෂා පාසලෙන් අධ්‍යාපනය ලබන කාලයේ සිටම ගීත ගායනයෙහි සහ රංගනයෙහි දක්ෂයෙකු ලෙස කැපී පෙනෙන සිසුවෙකු විය. අනතුරුව වයස 15 දී පමණ මොනිටර් විභාගයෙන් සමත්ව ජංගම නාඩගම් නාට්‍ය කණ්ඩායමක් සමග එක් වූ එතුමා එවකට ජින්තුපිටියේ පවත්වන ලද බොහෝ නාඩගම් වල, සූත්‍රධාරි සහ කෝලමා ගේ චරිතය විශිෂ්ට අයුරින් ඉදිරිපත් කර, අනතුරුව පොතේගුරු ගේ චරිතය මෙන්ම අනෙකුත් චරිත රාශියක් ඉදිරිපත් කිරීමේදී දක්වන ලද සමර්ථකම් හේතුවෙන් නොබෝ දිනකින්ම මුළු රටෙහිම ප්‍රසිද්ධ විය. ඔහුගේ දක්ෂතා දැක බලා අසා පැහැදුණු, සුප්‍රසිද්ධ නාට්‍යකරු ජෝන් ද සිල්වා මහත්මා 1903 දී රොමානිස් පෙරේරා මහතා ඔහුගේ “විජය රංගශාලවෙහි” නිත්‍ය නෘත්‍ය කණ්ඩායමට බදවා ගත්තේ ය. “ආර්ය සුබෝධ නාට්‍යසභාවෙහි” මෙන්ම , 1911 දී ටවර් හෝල් ආරම්භ නෘත්‍ය ශාලාව ආරම්භ කළ පසු ටවර් රංග ශාලවෙහි නීතිඥ චාර්ල්ස් ඩයස් මහතාගේ නුර්ති වල ද, රොමානිස් පෙරේරා නැතුවම බැරි චරිතයක් විය. 1921 ජෝන් ද සිල්වා ගේ අභාවයෙන් පසු නීතිඥ චාල්ස් ඩයස් මහතාගේ නාට්‍ය වලට ද එතුමා සම්බන්ධ විය. 1922 දී ප්‍රදර්ශිත චාල්ස් ඩයස් ගේ “හේමමාලි” නූර්තියෙහි දන්ත කුමරුගේ සහායක “ගුණවීර” ලෙස හාස්‍යෝත්පාදක චරිතය මුල්වරට මැවුවේ මෙතුමා ය. මීට මතරව බොහෝ නුර්ති වල කාන්තා සහ පිරිමි විකට චරිත බොහොමයක් මෙතුමා විසින් ඉදිරිපත් කරන ලදී. 1921-31 වකවානුවේ  HMV ලේබලයෙන් ද, 1929-33 වකවානුවේ  ODEON ලේබලයෙන් ද , 1927-1933 වකවානුවේ PARLOPHON ලේබලයෙන් ද මෙතුමාගේ ගීත අඩංගු ග්‍රැමොෆෝන් තැටි විශාල සංඛ්‍යාවක් නිකුත් වුණි. වර්ෂ 1935 දී රොමානිස් පෙරේරා ශිල්පියා කලා ලොවෙන් සමුගත්තේ ය.

“නාවල අන්නාසි” ගීතයේ තනුව උපුටා ගත්තේ එවකට අතිශය ජනප්‍රිය නුර්ති ගීතයකිනි. ගීත තනු සීමා සහිත වූ යුගයක මෙම තනුවට ම නීතීඥ චාල්ස් ඩයස් මහතා ගේ පළමු සමාජ නාටකය  (SOCIAL DRAMA) වූ, 1921 වසරේ ටවර් නෘත්‍ය ශාලාවෙහි පළමු වරට ප්‍රදර්ශිත “මායාවතී” නාටකයට ඉදිරිපත් කළ “හෙට්ටි අපේ රට ” ගීතය මෙම ගීතයට පාදක වුණු මුල් ගීත තනුව යි. 17 වැනි සියවසෙහි ප්‍රංශයේ විසු ශ්‍රේෂ්ඨ නාට්‍ය රචක මෝලියර් (Molière)  ගේ THE MISER  (මසුරා) නාටකයෙහි ඡායානුවාදයක් ලෙස චාර්ල්ස් ඩයස් සූරීන් ගේ මෙම නාටකය පෙන්වා දිය හැක. මායාවතී නාටකය දෙබස් නොහොත් වාසගම් 838 කින්, ගීත 13 කින්, අංක 03 කින් සහ චිත්‍රවස්ත්‍ර 11 කින් සමන්විත වූ බව එල්.ඩී .ඒ රත්නායක සූරීන් ගේ “නීතීඥ චාල්ස් ඩයස් ගේ නාටක ඉතිහාසය” ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි. එවකට ලක්දිව “හෙට්ටි“ (චෙට්ටි) නම් වූ ජනකොට්ඨාසය වෙළෙඳ ඒකාධිකාරයක් පතුරුවමින්, විවධ සමාජ දුසිරිත් පතුරුවා ලූ අකාරය විවේචනාත්මකව මෙම නාටක කතා සන්දර්භය තුළ චාල්ස් ඩයස් සූරීන් විසින් මතු කර පෙන්වා ඇත. පොලෝරිස් මුදලාලි නම් වූ පොළීකාරයෙකු, ස්වකීය පුත්‍රයා වූ සයිමන් වීරබාහු විවාහ ගිවිස සිටි “මායාවතී“ නම් තරුණිය තමා විවාහ කරගැනීමට උත්සාහකොට අවසානයේ එය ව්‍යර්ථ වී ලජාවෙන් කලකිරී ගිය අයුරු මෙම නාටකයේ මූලික කතා සාරය වේ. මෙම මුල් නාට්‍ය දර්ශනය සඳහා රික්ෂෝ කරත්ත, මෝටර් රථ සහ දුම්රිය මැදිරි අනුරූ පවා ටවර් වේදිකාවේ ප්‍රදර්ශනය කළ බව, එවකට පැරණි ටවර්හෝල් නළුවෙකු සහ සුප්‍රකට දේශපාලඥයෙකු වූ දිවංගත ලක්ෂ්මන් ජයකොඩි මහතා වරෙක ප්‍රකාශ කළේ ය. එලෙසම කොළොඹ සහ මහනුවර වීථි, මහනුවර දුම්රියපොළ, විවාහ ලේකම් කාර්යාලය, මුදලි වලව්ව ආදිය ඉතා තාත්වික සහ මනරම් ලෙස චිත්‍ර වස්ත්‍ර මගින් ඉදිරිපත් කළ බව සදහන් වේ.

“මායාවතී” නාටකයේ සංගීතය සපයන ලද්ද්දේ එවකට සිටි සුප්‍රසිද්ධ සංගීතාචාර්යවරයෙකු වූ ජේ .ඩී.මාර්ෂල් පෙරේරා (1880-1934) මාස්ටර් විසිනි. මෙහි පළමු දර්ශනයේ “පොලොරිස් අප්පුහාමි” වන ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද්දේ ද, ටවර්හෝල් හි විකට රජා වූ රොමානිස් පෙරේරා මහතා විසින්ම ය. ඇන්. රොමියුලස් සිල්වා මහතා විසින් “හෙට්ටියා” ගේ චරිතය නිරූපණය කරන ලද අතර එවකට ස්ත්‍රී චරිත නිරූපණයෙහි ජනකාන්ත නළුවෙකු වූ, ඇන්ඩෘ පෙරේරා විසින් “මායාවතී” ගේ චරිතය නිරූපණය කරන ලදී. පොලොරිස් අප්පුහමිගේ පුත්‍රයා නොහොත් “සයිමන් වීරබාහුගේ” චරිතය ඩබ්ලිව්. දොන් චාර්ල්ස් විසින් නිරූපණය ලදී.

මායාවතී නාටකයේ “දෙවැනි අංකයෙන්” නිරූපිත “වීථියක ජවනිකාවක” හෙට්ටියෙකු විසින් ගයන මෙම ගීතය “නාවල අන්නාසි” ගීතය අඩංගු වූ මුල් ගීතයේ වෘතයම ගනී.

එහි වදන් පහත ආකාර වේ.

 

ස්‌ථායි කොටස 1 :

අපි හෙට්ටි අපේ රට පට්ටන මේ සිට වට්ටි ගන්ට ආමු

මේ ඉලංගෙ ලොක්කන්ගේ තෙංගාදී කොට්ටම් වලින් ලබා ගන්ට ආමු //

 

අන්තරා කොටස 1:

බොහෝ දෙන යතී

මොටෝ රථ නැගී //

තදිනී ණය වී

 

ස්‌ථායි කොටස 2 :

උන් විස්කි ද බ්‍රැන්ඩි ද බොන්නේ අරන් අපේ

තුට්ටුවෙ වට්ටි දී ගත් මුදලෙන් //

ටිකෙන් ටිකම උන් නාස්ති වී යන්නා බැවින්

නොත්රෙන්නෙ මෝඩයෝ හින්දා මයි //

 

පෙර සිංහලයින් ගේ රටින් වාසි අරන් මේ

දීපවාසී නාස්ති වී යන්නා මේ දැන්

 

අන්තරා කොටස 2:

බොහෝ දෙන යතී

මොටෝ රථ නැගී //

බංකොලොත් නඩු ශාලාවටා

 

අපි හෙට්ටි අපේ රට.....

මෙම ගීතය 1924 වසරේ ටවර්හෝල් නළු ගායක ඇන්. රොමියුලස් සිල්වා මහතාගේ හඬින්ම (මායාවතී මුල් පිටපතෙහි එම චරිතය නිරූපණය කළ)  ODEON  ලේබලයේ තැටියකින් නිකුත් වු අතර, සංගීතය මාෂල් පෙරේරා මාස්ටර් ගෙනි . මායාවතී මංගල දර්ශනය (1921) දා එහි ප්‍රධාන නළු රොමානිස් පෙරේරා මහතාගේ අතිවිශිෂ්ට ප්‍රහසන සහ තාත්ත්වික රංගනය වෙනුවෙන්, එහි ප්‍රධාන අමුත්තෙකු වූ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මැතිදුන් අතින් රන්පදක්කමකින් පිදුම්ලද බව ද සඳහන් වේ. ටවර්හොල්හි වාර්තා අනුව මෙම නාටකය 622 වාරයක් ප්‍රදර්ශිත බව සඳහන් වේ. චාර්ල්ස් ඩයස් මහතාගේ අභාවයෙන් පසුවද, මෙම නුර්තිය ටික කලක් ප්‍රදර්ශනය කෙරුණු අතර, වර්ෂ 1939 දී කොළොඹ මරදානේ ආනන්ද ශාස්ත්‍රශාලාවෙහි සිසුන් විසින් “මායාවතී” නාටකය රඟදක්වන ලදී. එහිදී එම ශාස්ත්‍රශාලාවෙහි සිසුන් එහි සියලු ප්‍රධාන චරිත නිරූපණය කළ මුත්, “මායාවතී” චරිතය වෙනුවෙන් එවකට ජනප්‍රියව සිටි තරුණ නිළියක තෝරා ගන්නා ලදී. ඒ කවරෙකුත් නොව පසුකලෙක මෙරට සිනමා රාජිණිය වූ රුක්මණී දේවී ය යි.

“මායාවතී” නාටකයේ කතා සන්දර්භය පසු කාලෙක “පොළී කාරයා” නමින් ග්‍රැමොෆෝන් ගීත නාටකයක් ලෙස ටවර්හෝල් හි සුප්‍රසිද්ධ නාට්‍ය කතුවර ඇල් .ඩී .ඒ රත්නායක සූරීන් විසින් 1940 වසරේදී රචනා කොට “ ශ්‍රී ලංකා නාට්‍ය සමාජයේ” නළු නිළියන් විසින් තැටිගත කොට  HMV  තැටි අංක ව් 13024-13026 ලෙස තැටි තුනකින් නිකුත් කරන ලදී. එහි ප්‍රධාන චරිත සෝමකාන්තා සහ විල්බට් පෙරේරා නිරූපණය කළ අතර එච්. ඩබ්ලිව් .රූපසිංහ මාස්ටර් විසින් සංගීතය සපයන ලදී. එලෙසම, ඩබ්ලිව්. ඒ.සිල්වා සූරීන් ගේ “රදළ පිළිරුව” නවකතාව (1954 දී සිංහල චිත්‍රපටයට නැගුණු) සඳහා ද, “මායාවති” නාටකයේ පොලෝරීස් මුදලාලිගේ චරිතය ( මූලික වශයෙන් මොලියර් ගේ “මසුරා” නාටකයේ ප්‍රධාන චරිතය) බලපෑ ඇතිබව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ “සිංහල නවකතා ඉතිහාසය සහ විචාරය” ග්‍රන්ථයේ පෙන්වා දෙයි.

කරුණු කෙසේ වෙතත්, අධිරාජ්‍යවාදී යුගයක, සියලු දුෂ්කරතා මධ්‍යයේ, මෙරට සිංහල නාට්‍යයහි ප්‍රගමනයට ටවර්හෝල් නාට්‍ය ශිල්පීන් ගෙන් සිදු වූ මෙහෙය අපරිමිත ය. එම යුගයේ බිහිවූ ගීත ශතවර්ෂාධික කාලයක් මුළුල්ලේ පරපුරු ගණනාවක් එක ලෙස වැලඳගෙන සිටින්නේ එම ගීතවල පැවැති සර්වකාලීන සංගීතමය අනුභූතීන් නිසාම ය. නමුත් මෙම ගීත වල මුල් හිමිකරුවන්, මුල්ගායකයන් පිළිබඳ තොරතුරු සහ මූලාශ්‍ර ඉතා විරල වන යුගයක, එම මුල් ගීත ගැයූ රොමානිස් පෙරේරා සහ රොමියුලස් සිල්වා නම් වූ එම අසහාය කලාකරුවන් දෙදෙනාගේ නාමයන් ට මෙම සටහන උපහාරයක්ම වේවා!

විශේෂ ස්තුතිය :

ගීත තැටි සංරක්‍ෂක දයා ලියනගේ සහ මධුර ශාමල් මහත්මාවරු, “මායාවතී” නාටකයේ ඇතුළත් ගීතයේ වචන සහ තොරතුරු සපයා දුන්, ජ්‍යේෂ්ඨ කලාශිල්පී, කලාභූෂණ ඇඹුල්දෙණියේ ලයනල් ගුණතිලක මහත්මා.

(ආශ්‍රේය ග්‍රන්ථ සහ ලිපි :

නීතීඥ චාල්ස් ඩයස් ගේ නාටක ඉතිහාසය (1911-1935) - ඇල් .ඩී .ඒ රත්නායක, ටවර්හෝල් නාට්‍යයයෙහි චාල්ස් ඩයස් ගේ දායකත්වය - ඇන් .සමන් සොයිසා, Music for Inner Domains: Sinhala Song and the "Arya" and "Hela" Schools of Cultural Nationalism in Colonial Sri Lanka ; Author: GARRETT M. FIELD)