සිනමාවේ සූරයා ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න

ජනවාරි 9, 2020

රාජ්‍ය චිත්‍රපට සංස්ථාව 1972 පිහිටුවීමට ප්‍රධාන නියමුවෙකු වූ ඔහු ඉන්දියානු චිත්‍රපට විරෝධ ව්‍යාපාරයේ ද අභීත සෙනෙවියකු විය. ප්‍රබල ශ්‍රී. ල. නි. පාක්ෂිකයෙකු වුවද ප්‍රබල එ. ජා. පක්ෂ විරෝධියකු වුවද හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා මියගිය පසු එතුමාට ගෞරව කිරීමට නළු නිළි හවුල නිලධාරි මණ්ඩලය ගෙනයාමේ පුරෝගාමියා විය.

සැනසිල්ල - නැළවිල්ල - මාගේ හිතේ 
දුක නොදැනේ - බිය නොදැනේ 
සැක සංකා නොමැතේ

මගෙ අම්මා - මගේ නංගී - මගේ පණ සේ රකිමි 
සංවේගේ - සන්තාපේ දුර පළවා හරිමි 
හිංසා පීඩා - වංචා හොඳ නෑ 
මට පෙනුණා - මට දැනුණා - මෙම ලෝකේ හැටි දැන්

1957 මාර්තු 29 වැනිදා තිරගත වූ “ශූරයා” චිත්‍රපටයෙන් නවක නළුවෙක්, කඩවසම් තරුණයෙක් රිදී තිරයට එක් වූයේ සරත් නම් ශූරයාගේ චරිතය නිරූපණය කරමිනි. ඔහු චිත්‍රපටයේ වරෙක ශූරයෙකි. තවත් වරෙක තම දෑස මෙන් සුරකින මවත්, නැඟණියත් සුරැකීමට ගන්නා උත්සාහයත්, තම පෙම්වතිය සුරඹා නම් දාමරිකයා සමඟ ජීවිතය පරදුවට තබා කරන වීරකම් දැක්වීම නිසා ද ‘ශූරයා’ චිත්‍රපටය එදා අතිශයින්ම ජනප්‍රිය වී ඇත.

මේ ශූරය කවුද?

ඇල්ෆ්‍රඩ් සරත් ලෙස ද සුරඹා ලෙස ලැඩී රණසිංහ ද රඟපෑ සටන් දර්ශන නැවත නැවත නැරඹීමට පේ‍්‍රක්ෂකයෝ දෙතුන් වරක් සිනමාහල්වලට ගියහ. ‘ශූරයා’ චිත්‍රපටයේ ඇල්ෆ්‍රඩ්ගේ නැඟණිය ලලිතා ලෙස රඟපෑවේ කාන්ති ගුණතුංගය. විමලා ලෙස රෝහිණී ජයකොඩි රඟපෑවාය. ඇල්ෆ්‍රඩ්ට තම මුල්ම චිත්‍රපටයේ ගීතමය ජවනිකා තුනක් රඟපෑමට අවස්ථාව ලැබුණු අතර ඒ ගීත ප්‍රේක්ෂකයන් අතර අතිශයින්ම ජනප්‍රිය විය. මුලදී සඳහන් කළ ගීතයට අමතරව සරත් හා විමලා ලෙස ලතා සහ ධර්මදාස වල්පොල ගැයූ මේ ගීත දෙක ද ඒ අතර වෙයි.

දෙදෙනා - පිවිතුරු මනහර ප්‍රේමෙ ශාන්ත වේ  
ඉමිහිරි කුසුමක් සේ වසන්තයේ 
විමලා - නන්දන ශ්‍රියා 
සරත් - සුන්දර ශ්‍රියා 
දෙදෙනා - සියුමැලි මල් පෙති දැන් ප්‍රබෝධ වේ 

කරුණාරත්න අබේසේකර රචනා කළ මේ ගීත සඳහා සංගීතය අධ්‍යක්ෂණය කර තිබුණේ ඉන්දීය ජාතික එස්. දර්ශනමුර්තිය. අනික් ගීතය මෙසේය.

සරත් - සුදා සුදා රෑ වුණා 
හඳහාමි හෙමින් හෙමින් ඈත පාවුණා 
සේද වලා නීල තරු හංගා ගන්නා 
හා හා රෑ වුණා

විමලා - හොඳා හොඳා තේරුණා ඔබ ආවේ හොරෙන් හොරෙන් මා ද බය වුණා 
දැක්කෙම නෑ ආව හොරා හැංගි උන්නා 
හෝ හෝ බේරුණා

ගීත රචනා උපුටනය - මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ සිංහල චිත්‍රපට ගීතාවලිය (1957 - 1961) කෘතියෙනි.

ඇල්ෆ්‍රඩ් එදිරිමාන්නට චිත්‍රපට නළුවෙකු වීමට වරම් ලැබෙන්නේ අහම්බෙනි. ඔහු වරක් ඒ ගැන මෙසේ කියා ඇත.

‘මම මුලින්ම රඟපෑවේ සිරිසේන විමලවීර රචනා කළ ගුවන් විදුලි නාට්‍යවල. ‘ගුවන් විදුලි රඟ මඬල’ නාට්‍යවලත් පී. කේ. ඩී. සෙනෙවිරත්න රචනා කළ ‘කුරුලු බැද්ද’ ලන්දේසි දූපත, විශ්ව සාහිත්‍යයෙන්, වජිරා, මොණරතැන්න, යකාගේ වංගුව, ඇස් දෙක, සුගන්ධිකා, ගජමුතු, සඳගලතැන්න ගුවන් විදුලි නාට්‍යයෙත් රඟපෑවා. ඔය කාලේ ටී. බී. ඉලංගරත්න මහත්තයා මහනුවර ආසනය ඡන්ද පෙත්සමකින් අහිමි වෙලා වේදිකා නාට්‍ය කරමින් හිටියේ. මගේ ගුවන් විදුලි නාට්‍යයක් ඇසූ ඒ මහත්තයා ඒ කාලේ නිෂ්පාදනය කරමින් සිටි ‘හඳහන’ වේදිකා නාට්‍යයට මාව තෝරා ගත්තා. ඊළඟට එතුමා 1953 ලියූ ‘මන්ත්‍රී හාමුදුරුවෝ’ නාට්‍යයෙත් මහළු මුඩ්ලියර් කෙනෙකු ලෙස රඟපාන්න අවස්ථාව ලැබුණා. දවසක් ‘හඳහන’ නාට්‍යය බලන්න චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වූ කේ. ගුණරත්නම් මහතාත්, අධිනීතිඥ එස්. නඩේසන් මහතාත් ආවා. ඉලංගරත්න මහතාගේ කිට්ටුම මිත්‍රයෙක් නඩේසන් මහතා. එදා නාට්‍යය බලලා ගුණරත්නම් මහතා ඉලංගරත්න මහතාට තමාගේ ඊළඟ චිත්‍රපටයට සුදුසු කතාවකුයි, දෙබස් ලියන්න ආරාධනා කළා. මටත් ‘රදළ පිළිරුව‘ චිත්‍රපටයේ රඟපාන්න එන්න කිව්වට ඒ කාලයේ මම රාජකාරිය කළ වරායේ කොමිෂන් සභාවේ රජයේ සේවයෙන් නිවාඩු ගන්න බැරිව ගිය නිසා ඒක මිස් වුණා.

කලාවට තියෙන ආසාව නිසා මට චිත්‍රපටවල රඟපෑමට ආසාව ඇති වුණා. ඒ කාලයේ මට රජයේ කළ රැකියාවෙන් ලැබුණේ රුපියල් 210 ක වැටුපක්. මම ගුණරත්නම් මහත්තයා හමුවීමට ගියා. ඔහු කිව්වා ‘මගේ චිත්‍රපටවල රඟපාන්න මාසෙකට රු. 500 ක් දෙන්නම් මාස හයක් රඟපාන්න කියලා. ඒ යෝජනාවට මම කැමති වුණේ නැහැ. හැබැයි රඟපාන්නම් කිව්වා.’

ඇල්ෆ්‍රඩ් කී හැටියට තමාට මුලින්ම ලැබී ඇත්තේ ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටයේ හොරෙකු වූ බලදේව (ලැඩී රණසිංහ) සුමඟට යොමු කරන කතෝලික පියතුමෙක් ලෙස රඟපෑමටය. තම ප්‍රතිපත්ති ගරු කරමින් ඒ චරිතය ප්‍රතික්ෂේප කළ ඇල්ෆ්‍රඩ්ට ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටය සමඟ තිරගත කළ ‘වෙස්සන්තර’ නාටකය කෙටි චිත්‍රපටයේ රඟපෑවේය. මෙහි ක්‍රිෂ්ණජිනා ලෙස රඟපෑවේ ළමා නිළි සෝමා විලියම්ස්ය. ඇය ‘චණ්ඩාලි‘ චිත්‍රපටයේ රඟපෑවේ සෝමා මහවෙල නමිනි. මේ කෙටි චිත්‍රපටයට ආනන්ද සමරකෝන් රචනා කළ ‘වෙසතුරු මහ රජිඳා’ (ගායනය / මොහිදීන් බෙග්) ‘කෝ මාගේ දරුවෝ’ (ගායනය - ජී. එස්. බී. රාණි පෙරේරා) ගීත ඇතුළත් වී තිබුණි.

1954 වේදිකා ගත වූ පී. වැලිකල අධ්‍යක්ෂණය කළ ‘කුළුහරක්’ නාට්‍යයෙනුයි ඇල්ෆ්‍රඩ් හාපුරා කියා නාට්‍ය ලෝකයට පිවිසියේ. කාලගෝල, සිවම්මා ධනපාල ඔහු රඟපෑ සෙසු නාට්‍ය වෙයි. ඒ අතර ඔහු නාට්‍ය නිෂ්පාදකවරයකු ලෙස මතු වන්නේ ‘හඳපාන’ නාට්‍යයෙනි. තමා ‘ශූරයා’ චිත්‍රපටයේ රඟපෑ චරිතය ගැන කතා කරමින් මට මෙසේ කීවේය.

‘ශූරයා තිරගත වෙන කාලේ සිනමා ලෝලයන් මට නිතරම කතා කළේ ශූරයා කියලා. ‘අන්න ශූරයාට ඇට් කරන කොල්ලා’ කියලා. ඒ වගේම මේ චිත්‍රපටයේ චරිතය නිසා ආදරයට ලක් වුණා වගේම ’නළඟන’ චිත්‍රපටයේ රඟපෑ විකී නම් සමාජ ශාලා හිමියාගේ දුෂ්ට චරිතය නිසා පේ‍්‍රක්ෂකයන්ගේ අප්‍රසාදයට ලක් වුණා. එයට ප්‍රබලම හේතුව වුණේ එදා සිනමා ලෝලයන්ගේ සිහින දෙව්දුව වූ රුක්මණී දේවියට හතුරුකම් කිරීම නිසා. විශේෂයෙන් කාන්තා පක්ෂයට මාව රුස්සන්නේ නැතිව ගියා. මේ නිසා වූ පුද්ගලික අත්දැකීමක් මම කියන්නම්. මගේ හිතවත් මිත්‍රයෙකු විවාහ ගිවිස ගත් තරුණියක් මා හොඳින් දැන හිටියා. ‘නළඟන’ චිත්‍රපටයේ රඟපෑමෙන් පසු මා ඇගේ ගෙදරට ගියා. වෙනදා මා සමඟ හොඳින් කතා කළ ඇය එදා මා දුටු විට වේගයෙන් ගෙට දිව ගියා. සැමියා ඇයට කිහිප වතාවක්ම මට තේ කෝප්පයක් ගෙනෙන්නයි කීවත් ඇය කනකට ගත්තේ නැහැ. පස්සේ විපරම් කර බැලුවාම දැනගන්න ලැබුණේ මා රුක්මණී දේවිට ‘නළඟන’ චිත්‍රපටයේ කළ හතුරුකම් නිසා මිත්‍රයාගේ බිරිඳ මා නුරුස්සන බවයි’ කියමින් ඇල්ෆ්‍රඩ් සිනාසුණේය.

ඇල්ෆ්‍රඩ්ට ඉතා තරුණ කාලෙත් ලැබී ඇත්තේ වියපත් මහල්ලෙක්, නැතිනම් වැඩිහිටි පියකුගේ චරිත වීම විශේෂයකි.

‘සමහර විට මට වඩා වැඩිමහල් නළුවන් මගේ පුතුන් හැටියට රඟපානවා. එයට හේතුව මම ගුවන් විදුලි නාට්‍යවල මහලු චරිත රඟපෑම නිසා වෙන්න ඇති. මේ සේරම මහලු චරිත ලැබුණේ මා සිනමාස්ගේ ‘උඩරට මැණිකේ’ චිත්‍රපටය් ඩිංගිරි අප්පුගේ චරිතය රඟගපෑවට පස්සේ. මේ චිත්‍රපටයේ මම දුප්පත් ගොවියෙක්ගේ චරිතයක් කළේ. මගේ එකම දුව ලෙස රඟපෑවේ ජීවරාණි කුරුකුලසූරිය. ඩිංගිරි අප්පු බඩ ඇති, ලොකු රැවුලක් ඇති ගොවියෙක්. බඩ මහතට පෙන්වීමට මම නිතරම සෝඩා හා බීර බිව්වා. ව්‍යායාම් නවත්තලා හොඳට කෑවා. සති හතරකින් මෙන්න බොලේ බඩ ඉදිරියට නෙරලා ඇවිත්. මට දාපු අමුතු උඩු රැවුල නිසා කෑම කන්න බැරිව දසදුක් වින්දා’ ඇල්ෆ්‍රඩ් වරක් අපට කීවේය.

සිනමාස් සමාගම 1958 වසරේ ලෙස්ටර් මහත්තයා සමඟ ‘සන්දේශය’ චිත්‍රපටය සැලසුම් කරන කාලේ නිෂ්්පාදක ගුණරත්නම් සිනමාස් සමාගමේ මාසික වැටුප් ලැබූ හා ඔහුගේ ප්‍රියතම නළු නිළියන් කිහිප දෙනෙක් රෙකමදාරු කළේය. ඒ අනුව කාන්ති ගුණතුංග, ආනන්ද ජයරත්න, හියුගෝ ප්‍රනාන්දු, ශාන්ති ලේඛා, ඇන්තනි සී. පෙරේරා, ඩේවිඩ් ධර්මකීර්ති හා ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න. ඇල්ෆ්‍රඩ්ව ගුණරත්නම් රෙකමදාරු කොට තිබුණේ තම්මිට නම් කැරළි නායකයාගේ චරිතයටය. එහෙත් ලෙස්ටර් අනික් සියලු චරිතවලට ගුණරත්නම්ගේ නළු නිළියන් තෝරා ගත් අතර තම්මිටගේ චරිතයට ගාමිණි ෆොන්සේකා හැර වෙන ආදේශයක් නැතැයි කියා ඇත. මේ නිසා ඇල්ෆ්‍රඩ්ට තම්මිටගේ චරිතය අහිමි වී ගාමිණි ෆොන්සේකා මතු විය. එය ලෙස්ටර්ගේ චිත්‍රපටයක රඟපෑමට තිබූ අවස්ථාවක් පැහැර ගිය දෛවයේ සරදමක් කොට සිතා ඇල්ෆ්‍රඩ් සිත සනසාගෙන ඇත.

ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න 1929 මාර්තු 25 වෙනිදා නුගේගොඩ කොස්වත්තේදී අට දෙනෙකුගෙන් යුත් පවුලක පස්වැන්නා ලෙස උපත ලබා ඇත. ඔහුගේ පියා වූයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ජෝකිං එදිරිමාන්නය. මව ගාල්ලේ උපන් කැරලයින් එදිරිමාන්නය. ඇල්ෆ්‍රඩ් මරදානේ ලෝරන්ස් විද්‍යාලයේත් මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා රජයේ ලිපිකරුවෙකු ලෙස සේවයට බැඳී ඇත.

ඇල්ෆ්‍රඩ්ට තම ජීවන සහකාරිය හමු වන්නේ කොළඹ ඇස් රෝහලේදීය. ඒ ආදර කතාව මුල්වරට පළ වුණේ 1964 අප්‍රේල් 01 වෙනිදා විසිතුර පත්‍රයේය. කතාව ලිව්වේ විසිතුරේ කර්තෘ ආතර් යූ. අමරසේන. පින්තූර ගෙන ඇත්තේ තිස්ස කොතලාවල. ඇල්ෆ්‍රඩ් විසින් කියූ කතාවේ කොටසක් මේ.

‘ඇගේ නම සුමනා ලියනගේ. මාතර කඹුරුපිටියේ. ඉතින් මෙයා හෙදි විභාගය ගන්න කොළඹ ආවා. එයා සිසු හෙදියක් හැටියට ඉගෙන ගන්න දවස්වල මට හැදුණා මහ නරක ලෙඩක් සෙංගමාලේ කියලා. ඔය ලෙඩේ හැදෙන කොට මං ‘වනමල’ චිත්‍රපටයේ රඟපාමිනුයි හිටියේ. ඕක හැදුණ හැටියෙම මට සිද්ධ වුණා රෝහලේ නතර වෙන්න. ඉතිං ඔහොම වාට්ටුවේ ඉන්නවා. ඉන්න කොට මං දැක්කා ලස්සන හෙදියක් මගේ වාට්ටුව පැත්තේ කැරකෙනවා. මේ විදිහට වාට්ටුවේ දවසක් දෙකක් ඉන්න කොට එයයි මා ළඟට ඇවිල්ලා මට සාත්තු සප්පායං කරන්න පටන් ගත්තා. කොහොම කොහොම හරි මේ අවස්ථාවේදී එයත් එක්ක කතාබහ කරන්න ඉඩ ලැබුණා. කොහොම වුණත් ලෙඩේ හොඳ වෙනකං මට ඉස්පිරිතාලේ දවස් 21 කම තපින්න වුණා. ඒ දවස් ඇතුළත දී මට වැඩියෙන්ම සාත්තු සප්පායම් ලැබුණේ සුමනාගෙන්. අපරාදේ කියන්න බැහැ ඈ මට සැලකුවේ මවක් වගේ.’

අමරසේන ලියා ඇති අන්දමට ඇල්ෆ්‍රඩ් සුව වූ පසු ඉස්පිරිතාලයට ගිහින් සුමනා හමු වී තමා විවාහ වීමට කැමති බව ඇයට කියා ඇත.

‘මාව බඳින්න නං ඔයාට අවුරුදු හයක් බලං ඉන්න වෙයි’ ඇය එසේ කියා ඇත්තේ හෙද සේවයට යන ඕනෑම හෙදියකට හය අවුරුද්දක් යනතුරු විවාහවීමට නීතියෙන් ඉඩක් නැති බවය. කොළඹ ඇස් රෝහලේ මාණ්ඩලීය හෙදිය වූ පසු වසර හතකට පසු මේ යුවළ 1966 මාර්තු 31 වෙනිදා විවාහ වුහ. 

හය වසරකට පසු සුමනා ලියනගේ වැහිහේන මෙනවිය ඇල්ෆ්‍රඩ්ගේ සහකාරිය වූවාය. ඇල්පිටියේ නවතගල මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි ඇය. මේ යුවළට දරුවන් හතර දෙනෙකි. වැඩිමහල් දියණිය බිම්බා යශෝධරී රජිකා එදිරිමාන්නය. දෙවැනි පුතා චින්තක දේවින්ද චන්දිම එදිරිමාන්න. ඊළඟ දුව ගයත්‍රි ප්‍රජාපතී පූර්ණා එදිරිමාන්නය. බාල පුතා ලක් විජය හරින්ද්‍ර වංශනාථ එදිරිමාන්නය. මේ සියලු නම් තැබුවේ කරුණාරත්න අබේසේකරය. ඇල්ෆ්‍රඩ් ද හවුල් වී ඇත.

නුගේගොඩ සරසවි උයනේ සිය බාල පුතු සමඟ වෙසෙන සුමනා කියන්නේ තම සැමියා දෙවියකු බව කියාය.

‘අපි කවදාවත් රණ්ඩු කරගෙන නෑ. මගේත් දරුවන්ගේත් හිත් රිදවල නෑ. පොඩි ප්‍රශ්න අපි විසඳ ගත්තා. අපේ ළමයි කියන්නේ අපි අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා කිසිදා දැක නැති බවයි’ සුමනා අපට දුරකතන සංවාදයකදී කීවාය.

කවදත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික වූ ඇල්ෆ්‍රඩ් පටු දේශපාලන අදහස් තිබූ කෙනෙකු නොවූයේය. ඔහු සමීපව ඇසුරු කොට ඇත්තේ හර්බට් අමරවික්‍රම, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, කරුණාරත්න අබේසේකර, ගුණරත්න අබේසේකර ආදීන්ය. වරක් කෝට්ටේ නගර සභාවට (1989) ශ්‍රී. ල. නි. පක්ෂයෙන් තරඟ කළ ද ඔහු පරාජය වී ඇත. ඔහු සල්ලි නොව මිනිස්සු හම්බ කර ගත් මිනිසෙකි. මානව දයාවෙන් යුතු මිනිසෙකි. 1966 මුල්වරට පිහිට වූ දේශීය චිත්‍රපට නළු නිළියන්ගේ වෘත්තීය සමිතිය ගාමිණි ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් පිහිට වූ අවස්ථාවේ උප ලේකම්වරයා වූ ඇල්ෆ්‍රඩ් පසුව ගාමිණි දේශපාලන හේතු මත එයින් ඉවත්වීමෙන් පසු එහි බර තම පිට පටවා ගත් ඔහු සංගමයේ ලේකම් විය. 1970 දී චිත්‍රපට ඒකාධිකාරයෙන් සිංහල සිනමාව මුදා ගැනීමට ඇල්ෆ්‍රඩ් ඇතුළු නළු නිළි සංගමය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මැතිවරණ රැස්වීම් සිය ගණනක කතා පැවැත් වූ ඔහු තම නිවස බිරිඳටත් හොරා උගස් කොට ඒ මුදල් නළු නිළි සංගමය වෙනුවෙන් කැප කළේය. උගස බේරා ගැනීමට තමා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කරමින් සිටි තනතුරින් අස් වී විදේශ රැකියාවක් කිරීමට ගොස් ඇත. ඔහුගේ උත්සාහය සඵල විය.

ඇල්ෆ්‍රඩ් රඟපෑ චිත්‍රපට අතර ‘අදට වැඩිය හෙට හොඳයි’, ‘ළාදළු’, ‘මහ රෑ හමු වූ ස්ත්‍රිය’, ‘සීගිරි කාශ්‍යප’, ‘ආත්ම පූජා’, ‘පිපෙන කුමුදු’, ‘සිංගප්පූර් චාලි‘, ‘හතර වටේ’, ‘ලොකුම හිනාව‘, ‘හරියට හරි’, ‘විස්මය’, ‘එක හිත’, ‘ප්‍රදීපා’, ‘දුර්ගා’, ‘ජය ශක්ති’, ‘නීතිය ද ශක්තියද?’ කැපී පෙනෙයි. ‘රන්මසු උයන’, ‘කබලෙන් ලිපට‘, ‘නවෝදයේ අරුණළු’ ඔහු රඟපෑ ටෙලි නාට්‍යයය.

රාජ්‍ය චිත්‍රපට සංස්ථාව 1972 පිහිටුවීමට ප්‍රධාන නියමුවෙකු වූ ඔහු ඉන්දියානු චිත්‍රපට විරෝධ ව්‍යාපාරයේ ද අභීත සෙනෙවියකු විය. ප්‍රබල ශ්‍රී. ල. නි. පාක්ෂිකයෙකු වුවද ප්‍රබල එ. ජා. පක්ෂ විරෝධියකු වුවද හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා මියගිය පසු එතුමාට ගෞරව කිරීමට නළු නිළි හවුල නිලධාරි මණ්ඩලය ගෙනයාමේ පුරෝගාමියා විය.

ඇල්ෆ්‍රඩ් සමඟ සමීපව ඇසුරු කළ රූබී ද මැල් 1964 සරසවිය සිනමා වාර්ෂිකයට ඔහු ගැන මෙසේ ලියා තිබුණි.

‘තරුණයෙකුට හෝ තරුණියකට පෙම් ජවනිකාවක් රඟපෑම පහසු වන්නට ඉඩ ඇත. එහෙත් මැදි වියේ පසුවන ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න ‘නළඟන’ චිත්‍රපටයේ රුක්මණී දේවියගේ හිත ඇද ගන්නට දඟලයි. ‘අදට වැඩිය හෙට හොඳයි’ චිත්‍රපටයේ ඔහු දුබල, මහලු අන්ධ දුගියෙකු වෙයි. මියගිය දරු තිදෙනෙකුගේ සෙනෙහෙබර පියෙකු වෙයි. මහලු චරිතය ඔහුට වඩාත් දුෂ්කර වන්නට ඇත. කැපී පෙනෙන උස මහත සිරුරක් ඇතත්, ලස්සනට අඳින පළඳින බොහෝ කඩිසර පුද්ගලයෙකු වුවත් ඔහු තවම අවිවාහකයෙකි. ඔහු හොඳ විමෝදකාමියකි. එහෙත් ඉක්මනින් තම කොටස් අහවර කොට චිත්‍රාගාරයෙන් පිටවීමට ඔහු සූරයෙකි.’

ඇල්ෆ්‍රඩ් කිසිදා නොමනා සම්බන්ධතාවලට නොගිය, සැමියෙකු හා පියෙකුගේ ආදරවන්තයෙකු වූ චරිතයක් බව ඔහුගේ බිරිඳ සුමනා අප සමඟ පැසුවේ මීට වසර 20 කට පෙර මියගිය සැමියගේ ගුණ වනමිනි.

‘දිනක් රුක්මණී දේවි උත්සවයකදී මට හමු වී කිව්වා ‘සුමනා ඔයා හරි වාසනාවන්තයි, මම ඇල්ෆ්‍රඩ් ගැන හොඳට දන්නවා. එයා හොඳ චරිතයක් ඇති මහත්තයෙක්. අපට නම් සහෝදරයෙක් කියලා. එතැන හිටිය රුබි ද මෙල් ඒක අනුමත කළා. ‘අපිට ඉන්න හොඳ මිතුරෙක්. සෙනෙහෙබර සොහොයුරෙක්’ කියලා. මට ඒ සහතිකය හොඳටම ඇති.’ අපේ දරුවෝ එක්ක වරක් ඇල්ෆ්‍රඩ් ‘ශූරයා’ බලන්න ගියා. අපේ දරුවෝ එතකොට පුංචියි. චිත්‍රපටයේ ඇල්ෆ්‍රඩ් හා රවින්ද්‍ර රූපසේනගේ සටන් දර්ශනයක් තිබුණා. ඇල්ෆ්‍රඩ් හොඳට ගුටි කනවා. අපේ ලොකු දුව බිම්බා කෑ ගැහැව්වා ‘අනේ තාත්තට ගහන්න එපා’ කියලා. චිත්‍රපටය බලන්න අපු අය බලනවා කවුද ඒ අඬන දරුවා කියලා. ‘අනේ තාත්තාව බේර ගන්න අම්මේ’ ලොකු දුව කියන කොට අනිත් දරුවනුත් අඬන්න පටන් ගත්තා. සෙනඟ කලබල වෙලා. චිත්‍රපටය නවත්වලා සිනමා ශාලාවේ කළමනාකරු ස්ලයිඩ් එකක් දැම්මා,

‘අද මේ දර්ශනය බලන්න ඇල්ෆ්‍රඩ් එදිරිමාන්නගේ බිරිය හා දරුවන් පැමිණ සිටිනවා. සමාවෙන්න’

නරඹන අය අත්පොළසන් දුන්නා’.

කලක් රෝගාතුරව කිහිලිකරුවල ආධාරයෙන් උත්සවයකට සහභාගි වූ අප ආදරයෙන් ඇමතූ ‘ඇල්ෆ්‍රඩ් අයියා’ අවසන්වරට හමු වූ අවස්ථාව මට මැවී පෙනෙයි.

2000 වසරේ නොවැම්බර් 27 වෙනිදා ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න නම් මේ දැවැන්ත කලාකරුවා ජීවිතයෙන් සමු ගත්තේය.

ඒ.ඩී.රන්ජිත් කුමාර 
ඇතැම් ඡායාරූප සැපයූ සුධර්මන් ද කොස්තා මහතාට ස්තූතිය