තමාගේ තරම දැන නොසිටි බණ්ඩාරේ

ජනවාරි 23, 2020

 

‘පරිවර්තන යුගයක ජීවත් වන ජාතියේ තරුණ පරපුර’ 1964 තිරගත වූ ‘ගැටවරයෝ’ චිත්‍රපටය වෙනුවෙන් එකල ගුවන් විදුලියේ වෙළෙඳ අංශයෙන් ප්‍රචාරය වූ විනාඩි 15 වැඩසටහන ඇසීමට අපි සැදී පැහැදී සිටියෙමු. ‘අපි‘ යයි කීවේ එකල කොළඹ ආනන්දයේ ඉගෙනීම ලැබූ ප්‍රේමකීර්ති ද අල්විස් හා මාය. එකල ප්‍රේමකීර්ති ගුවන් විදුලියේ ළමා වැඩ සටහන්වලට සහභාගි වූ දක්ෂ ශිල්පියෙකි. එපමණක් නොව ආනන්දයේ සඟරාවේ සංස්කාරකවරයා ද විය.

‘මෙන්න චිත්‍රපටයක් බලන්න යන්න ඉඟි කරන හොඳම ප්‍රචාරක වැඩසටහන. ඒක අහගෙන ඉන්න කොට ඉබේම චිත්ත රූප මැවෙනවා . . .’ කී ප්‍රේමකීර්ති ඒ වැඩ සටහනේ පසුබිම් කථනය කරන ගැඹුරු කටහඬ අනුගමනය කරමින් මිතුරන්ට කර පෙන්වයි.

්ඒ හඬ කාගේද ප්‍රේම්’ මම කුතුහලයෙන් අසමි.

‘අපේ ආනන්දේ ඉගෙන ගත්තු කොල්ලෙක්. මිනිහා මාර දක්ෂයෙක්ලු. මම අපේ ‘ආනන්ද’ මැගසින් එකට පරණ ලිපියක් දෙකක් තෝර ගන්න ලයිබ්‍රරියට ගියා. මෙන්න 1956 කාලේ මැගසින් එකේ ආනන්ද කේ. විජයතුංග කියලා ඉංග්‍රීසියෙන්, සිංහලෙන් ලිපි ලියලා, කවි ලියලා. ඒ විතරක් නෙවෙයි, චිත්‍රත් ඇඳලා. එයාගේ දැන් නම වෙනස් කරලා ‘බණ්ඩාර කේ. විජේතුංග‘ කියලා. එයා තමයි ඔය අලුත් තාලේ දැන්විම් ‘ගැටවරයෝ’ ෆිල්ම් එකට ලියන්නේ. ගැඹුරු, පැහැදිලි හඬ. අපි වෙලාවක රේඩියෝ සිලෝන් එකට ගියාම උඹට අඳුන්වල දෙන්නම්’ ප්‍රේමකීර්ති කීවේය. උඩු රැවුල සහිත, හීන්දෑරී සිරුරකින් යුතුව ගුවන් විදුලියේ වෙළඳ සේවයේ සිට කොරිඩෝව දිගේ එන ඔහු පසු කලෙක මට හඳුනා ගන්නට ලැබිණ. එහෙත් ඔහු හරි හැටි හැඳින කතාබහ කිරීමට, ඇසුරු කිරීමට ලැබුණේ තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ ‘නාරිලතා’ චිත්‍රපටයේ ඔහු ප්‍රචාරක කටයුතු කළ 1968 වසරේදීය. මේ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂකවරයා වූ මගේ මාමා වූ ගුණරත්න රත්නායක හමුවීමට තිස්ස ලියනසූරිය සමඟ අප නිවසට පැමිණියේය. ‘ගැටවරයෝ’, ‘සාරවිට’, ‘සොරුන්ගෙත් සොරු’ චිත්‍රපටවලින් ගුවන් විදුලියේ විප්ලවයක් කළ බණ්ඩාර කේ. විජයතුංග මුලින්ම ‘රන්මුතු දූව‘ චිත්‍රපටයෙන් තම චිත්‍රපට ප්‍රචාරක කාර්යය ඇරඹූ බව අසා ඇතත් ඒ කාලයේ පසළොස් වැනි වියේ සිටි මට නිච්චියක් නැත. පසු කලෙක තිස්ස ලියනසූරිය විසින් මට රන්මුතු දූව, ගැටවරයෝ හා සාරවිට සමරු සඟරාවල ඡායා පිටපත් ලබා දුන්නේය. ඒවායේ සැකැස්ම මෙන් විවරණිකා අපූරු හයිකු කව මෙන් අර්ථ පූර්ණය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් බණ්ඩාර විජයතුංගගේ ගී පදමාලා ඇතුළත් ‘සුළඟ වගේ ඇවිදින්’ සංග්‍රහයට ලියූ ලිපියක සඳහන් වන අන්දමට ‘රන් මුතු දූව‘ සමරු කලාපය මුල් වරට නළු නිළියන් සහ ගායක ගායිකාවන්ගේ ඡායාරූප සංස්කරණයත්, ස්වර ප්‍රස්තාර සමඟ ගීත ඇතුළත් වූ ප්‍රථම අවස්ථාව සඳහන් කර ඇත. එහි කළු පසුබිමක සුදු අකුරුවලින් මෙසේ බණ්ඩාරයන් සිය විවරණිකාව අරම්භ කරයි.

‘නැඟී බිඳී නැඟී බිඳෙන මුහුදු රළ පෙළ නවතම රිද්මයකට කැරෙන රැඟුමක් වැන්න. ඒ දර්ශනය සම්පූර්ණ වර්ණයෙන් තිරයෙක දැක්වෙන අවස්ථාව, අපේ සිංහල චිත්‍රපටයට ද දැන් එළඹ තිබේ. නිහඬ චිත්‍රපට අවදියේ සිට වර්ණ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම තෙක් කර්මාන්තයක් වශයෙන් නොයෙක් හිරිහැර මැද සිංහල චිත්‍රපට දියුණු වූයේ යැයි අපි සිතමු. අපේ කුඩා ලංකාව වර්ණවත්, නෙත්කළු දර්ශනවලින් පිරුණ රටකි. ඒ දර්ශනීය බව ලෝකයට පෙන්වීමට ඇති ඉතාම උචිත මාධ්‍යය වර්ණ චිත්‍රපටය වේ. ඒ විචිත්‍ර බව හා දර්ශණීය බව අප නිෂ්පාදනය තුළින් වහනය වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. සාදරයෙන් සහ මහත් සන්තුෂ්්ටියෙන් යුතුව දැන් මෙන්න අපෙන් ඔබට . . . රන්මුතුදූව‘.

කවුද මේ බණ්ඩාර විජයතුංග?

මහාචාර්ය සුනිල් ආරියරත්න ඉතා කෙටියෙන් ඔහු වත ගොත ලියා තිබුණි.

‘බණ්ඩාර විජයතුංග හෙවත් සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජයතුංග ක්‍රි. ව. 1939 ක් වූ ජනවාරි මස 28 වැනිදා කුරුණෑගල, වෑඋඩ කෝරලයේ, පල්ලේගම වැලිගන්වත්තේදී උපත ලැබීය. පියා විජේතුංග මුදියන්සේලාගේ පුංචි බණ්ඩා විජයතුංගය. වෘත්තීයෙන් ගුරුවරයෙකි. මව, හේරත් මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ හේරත්ය. එකම සොහොයුරිය චින්තා පද්මිණීය. ගුරුවරියකි.

බණ්ඩාර විජයතුංග මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බදුල්ල සාන්ත බීඩ් විද්‍යාලයෙනි. කොළඹ ආනන්ද විද්‍යාලයට 1953 වසරේ ඇතුළත්ව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම ලැබූ අතර ඔහුගේ එකට ඉගෙන ගත් පන්ති සගයන් වූණේ ජේ. බී. දිසානායක (මහාචාර්ය), ඩී. බී. නිහාල්සිංහ (ආචාර්ය), සුනන්ද මහේන්ද්‍ර (මහාචාර්ය), අශෝක පොන්නම්පෙරුම (චිත්‍රපට නළු), විජේරත්න වරකාගොඩ (චිත්‍රපට නළු), සුමිත්ත අමරසිංහ, එස්. සුබසිංහ (දිනමිණ හා ලංකාදීප කර්තෘ) සු. හැ. ජ. සුගුණසිරි (මහාචාර්ය), ඩී. ජී. සුමනසේකර (විදුර විදුහල්පති), සාන්තන රාජපක්ෂ, ධම්මික අමරසිංහ, එල්මෝ ගුණරත්න (හිටපු ලංකාදීප කර්තෘ), නිහාල් රත්නායක (හිටපු ඩේලිනිවුස් කර්තෘ) යනාදීහුය. එකල ආනන්දයේ ගුරුවරුන් වුණේ කේ. ඩී. ද ලැනරෝල්, ඩී. බී. කුරුප්පු, ඒ. ඒ. ප්‍රනාන්දු, ඇස්. පී. පෙරේරා, ඇස්. ඇස්. කුකුලාවල (මහාචාර්ය), තිලක් රත්නකාර (මහාචාර්ය), සූරියප්පෙරුම (ආචාර්ය)ය. සමකාලීන සිසුන් වූවේ ධර්මසිරි සේනානායක (අමාත්‍ය), ආරිය රාජකරුණා (මහාචාර්ය), දයානන්ද ගුණවර්ධන, එම්. එච්. ගුණතිලක (මහාචාර්ය) ආදීන්ය.

ආනන්දයේ බණ්ඩාර විජයතුංග ප්‍රකටව සිටියේ ‘ආනන්ද කේ. විජයතුංග‘ නමිනි. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙකු, කවියෙකු, කෙටි කතා රචකයෙකු, ගීත රචකයෙකු ලෙස ප්‍රකටව සිටියේලු. 1957 දී අන්තර් පාඨශාලීය චිත්‍ර ප්‍රදර්ශනයෙන් ප්‍රථම ස්ථාන දිනූ අතර වර්ෂ අවසානයේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ කැපී පෙනුණ ශිෂ්‍යයෙක් විය. හොඳම ඉංග්‍රිසි රචනය, හොඳම සිංහල රචනය, හොඳම චිත්‍ර නිර්මාණය සඳහා වාර්ෂික ත්‍යාග වසර කිහිපයක්ම දිනාගෙන ඇත. ‘සිංහල දරුව‘ සඟරාවේ මෙන්ම 1958 ඒදචදඤඪචද නම් ඉංග්‍රීසි සඟරාවේ ද සංස්කාරකවරයා වූ ඔහු හොඳම ස්වතන්ත්‍ර නිර්මාණය (ඕඥඵබ ර්‍ණපඪඨඪදචත එධපඬ) සඳහා පිරිනැමෙන සිවගුරුනාදන් ත්‍යාගය ද දිනාගෙන ඇත. ආනන්ද කේ. විජයතුංග අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව ඇත්තේ සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව, බුද්ධාගම, චිත්‍ර හා භෞතික විද්‍යාවට විශිෂ්ට සාමාර්ථ ලබමිනි.

විදුහල්පති එස්. ඒ. විජයතිලක ආනන්ද කේ. විජයතුංගට දුන් චරිත සහතිකයේ ‘මේ ශිෂ්‍යයා අප්‍රමාණ දස්කම් ඇත්තෙකි. එහෙත් ඔහු කිසිවෙකු හෝ පාලනයේ යටතේ ඉහළ දස්කම් දක්වන අසාමාන්‍ය ශිෂ්‍යයෙක්’ යයි සඳහන් කර තිබූ බව ඔහු බිරිඳ කල්‍යාණි අපට මතක් කළාය. ආනන්දයේම පන්තියේ සහ පාසල් බෝඩිමේ එකට සිටි මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර අපට පැවසුවේ දක්ෂතා රැසක් සහිත අපූර්ව කලාකරුවකු බවය. බතික් කලාවට පවා දස්කම් පෑ බවය. විශේෂයෙන් ඔහු පාසල් යන කාලෙම ගුවන් විදුලියේ නිවේදන කටයුතුවලට සහභාගි වූ බවය. පසු කාලෙක රන් මුතු දූව, ගැටවරයෝ, සාරවිට, නාරිලතා චිත්‍රපටවල සමරු විවරණිකා සංස්කරණය කරමින් ගුවන් විදුලි වැඩ සටහන් ස්වකීය ගැඹුරු හඬින් ඉදිරිපත් කිරීමට දොර කවුළු විවෘත කළ ආනන්ද විජයතුංග කළ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය පැවසුවේ ඔහුගේ කුසලතා මුලින්ම තේරුම් ගත්තේ ගුවන් විදුලියේ කේ. ඒ. ඩ්බ්ලිව්. පෙරේරා (චිත්‍රපට අධ්‍යක්ෂ) බවය. තමාත්, ආනන්දත්, කේ. ඒ. ඩබ්ලිව්. මෙහෙය වූ ‘රේඩියෝ සඟරාව‘ වැඩසටහන තුළින් කලා ලොවට පිවිසි බව ලියනසූරිය අපට කීවේය. සහන නිවේදකයකු ලෙස ගුවන් විදුලියෙන් දස්කම පෑ ආනන්ද ‘බණ්ඩාර’ වූයේ එතැන් සිටය. බණඩාරගේ මුල්ම රැකියාව වූයේ ශ්‍රී ලංකා බැංකුවේ විනිමය පාලක දෙපාර්තමේන්තුවේ දත්ත අංශයේ නිලධාරි තනතුරය. කලාවට තිබෙන ආදරය නිසා හැම පහසුකමක්ම තියෙන වැඩි වැටුප් සහිත රැකියාව අතහැර රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ ප්‍රචාරක නිලධාරියාගේ තනතුර තෝරා ගත්තේය.

මහාචාර්ය ආරියරත්න කියන පරිදි චිත්‍රපට සංස්ථාව ආනයන කළ සියලුම හින්දි චිත්‍රපටවල ප්‍රචාරක කටයුතු කර ඇත්තේ බණ්ඩාරය. ‘අභිමාන්’ හා ‘ගීත්’ චිත්‍රපට දෙක එම්පයර් හා ක්‍රවුන් සිනමා ශාලාවල අඛණ්ඩව වසර 2 ක් ප්‍රදර්ශනය කිරීමට බණ්ඩාර ගුවන් විදුලි වැඩ සටහන් ඇතුළු ප්‍රචාරක විධි ක්‍රම උපකාරී වී ඇත. ‘ඔවුන් දෙදෙන එක් කළේ ද සංගීතයයි. වෙන් කළේ ද සංගීතයයි’(අභිමාන්). ‘හද බැඳි විකසිත ආදරයේ තේමා ගීතය’ (ගීත්). ‘ඩාග්’ හින්දි චිත්‍රපටයට ඔහු ලිව්වේ ‘ළඳුනි මට සමාවන්න. මා ඔබට ද්‍රෝහි වූවා නොවේ, පියෙකු නැති දරුවකුට පියෙකු වූවා පමණි’ බණ්ඩාර ලියූ අපූරු ප්‍රචාරක පාඨ සිංහල චිත්‍රපටවලට ප්‍රේක්ෂක ආකර්ෂණය ලබාදීමට සමත්ව ඇත. ‘රජ දැක්මට අවසරද?’ (වැලිකතර), එක් වැසිබර අඳුරු රැයක් තෙක් ඇය පිවිතුරු වතු සුදු මලක්’. ( එයා දැන් ලොකු ළමයෙක්), ‘ යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණනි’ (උතුමාණනි), ‘ඔබේ අතට රන් මුදුවක්. මගේ දෑතට විලංගුවක්. එයයි සොඳුරිය මගේ පරිත්‍යාගය’ (පරිත්‍යාග) ඉන් කිහිපයකි.

 

කවියකු වූ බණ්ඩාර ‘නෙත් දහස’ කවි පොත ලියූ අතර අජන්තා රණසිංහගේ ‘තිවංක රේඛා’ අමරනාත් ජයතිලකගේ ‘චිත්‍රපට අධ්‍යයනය’ ඇතුළු පොත් කිහිපයක පිට කවර ද චිත්‍රපට නාමාවලිය හා චිත්‍රපට පසුබිම් දෙබස් ද කියා ඇත. ‘හාර ලක්ෂයේ’ චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට, ‘සොරුන්ගෙත් සොරු’ හි රොඩ්නි ජොන්ක්ලස්ට මෙන්ම චිත්‍රපට නළුවන් රැසකට හඬ කවා ඇත. ‘හඳයා’ හි ඔහු චරිතයක් ද රඟපෑවේය. ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු වූ බණ්ඩාර සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ ‘මකරාගේ තානායම‘ ගුවන් විදුලි නාට්‍යයේ සුදු රැවුලාගේ චරිතය ප්‍රාණවත් කළේය.

ගුවන් විදුලි ගීත රචකයකු ලෙස ඔහු ජනප්‍රිය වූයේ ජෝතිපාලයන් ගැයූ ‘මහද නමැති වන බඹරා’, ක්‍රිස්ටෝපර් පෝල් ගැයූ ‘රුවන් තොරන් තනා’, මුළු ලෝකෙ පුරා’, ජී. එස්. බී. රාණි පෙරේරා ගැයූ ‘ආයුබෝවන් ආයුබෝවන්’ ගීත ඔස්සේය. ඉන් පසු සනත් නන්දසිරි ගැයූ ‘මහද පෙම් විලේ’, ‘දිනෙන් දින ඔබ මා වෙතින්’, ‘කිසිවක් නොකියන කිසිවක් නොඅසන’, ‘ඉන්දීවරියේ හඬනු එපා’ වික්ටර් රත්නායක ගයන ‘සත් සමුදුරු තරණය කොට’, ‘තරු මල් පල ගත් ආස බලා සිට‘, ‘සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ’, ‘මගෙ හද ඔබ ළඟ’ මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ‘ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි’ නීලා වික්‍රමසිංහ හා සුනිල් එදිරිසිංහ ගයන ‘මිහිඳුම් සළු තිර පැළඳි නමුණුකුල’, නීලා වික්‍රමසිංහ ගැයූ ‘සබඳකමක් නැති දෙදෙනෙකු’ සනත් හා මල්කාන්ති ගයන ‘හමුවෙමු සුවබර තවත් සැඳෑවක’ යන ගීත මේ අතර වෙයි.

බණ්ඩාර චිත්‍රපට කිහිපයක ගීත රචනය කර ඇති අතර ඩී. බී. නිහාල්සිංහගේ ‘රිදී නිම්නය’ චිත්‍රපටයට ටී. ඇම්. හා මාලිනී බුලත්සිංහල ගැයූ මේ ගීතයට 1984 වර්ෂයේ හොඳම ගී රචනය සඳහා ජනාධිපති සම්මානය දිනා ගත්තේ බණ්ඩාර විජයතුංගය. ඒ ගීතයයි මේ. සංගීතය හා තනුව ප්‍රේමසිරි කේමදාස ගෙනි.

කොහේ සිට දෝ - කොතැනට දෝ

සුවඳ වගේ ඇවිදින්

 

මවකගේ කඳුළක් මුතු ඇටයක් වී

දුවකට දුර සැප සැදුවා දෝ

 

පියකුගෙ ඩහදිය සිප් සයුරක් වී

පුතකුගෙ මනසක් පිරුවාදෝ

 

තනි වී ගුලි වී හඬා නොමැති නම්

කෙලෙස ද ඔහු දුක ඔබ දන්නේ

අඳුරු ගුහාවෙක දිවිය ගෙවිණි නම්

ඔබ නැත හිරු උණුසුම දන්නේ

 

සුළඟ වගේ ඇවිදින්

සුනිල් ආරියරත්නගේ ‘පොඩි මල්ලී’ චිත්‍රපටයට ‘උපුල් නුවන් වසා - සවන් බඳුන් පුරා’ (සංගීතය - වික්ටර් රත්නායක / ගායනය - නන්දා මාලිනී හා ටී. එම්. ජයරත්න) සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘ශ්‍රී මදාරා’ චිත්‍රපටයේ ‘විල්ලුද පලසේ මිණි ඕවිල්ලේ’( සංගීතය වික්ටර් රත්නායක - ගායනය - ලතා වල්පොල), රත්නවීර ද සිල්වාගේ ‘සුද්දා’ චිත්‍රපටයේ ‘යාළුයි අපි යාළුයි’ (සංගීතය - ප්‍රේමසිරි කේමදාස), සේන සමරසිංහගේ ‘ආශා දෑසින්’ ‘විකසිත පැතුමන් ඔබේ ලයේ’ (ගායනය - මිල්ටන් මල්ලවාරච්චි - සංගීතය - සරත් දසනායක), පරාක්‍රම ද සිල්වාගේ ‘බිත්ති හතර’ චිත්‍රපටයේ ‘සිතුවිලි සිර මැදුරේ’(ගායනය හා සංගීතය - ජස්ටින් වොරිංටන් අබේවර්ධන) බණ්ඩාර ලියූ සෙසු චිත්‍රපට ගීත අතර කැපී පෙනෙයි. කේ. ඒ. විජයරත්නගේ ‘මධුසමය’ චිත්‍රපටයට මාලිනී බුලත්සිංහල ගැයූ ගීතය බණ්ඩාරගේ විශේෂ චිත්‍රපට ගීතයකි. එහි සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙනි. 1992 හොඳම ගීත රචකයා හිමි සරසවිය හා ජනාධිපති සම්මාන බණ්ඩාරට හිමි වූයේ මේ ගීතයටය.

‘සාගර වෙරළක පිය සටහන් මත

ඔබ මා සමඟින් ගෙවූ දිනක් ඇත

 

ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ

ඔබ මා මා ද විය - මා ද ඔබ ම විය

 

පවසා ගන්නට දහස් වදන් ඇත

පෙන්විය නොහැකි වූ දහස් දසුන් විය

ඒ සැම මැද්දේ සිත කය සිරවුණු

අහිංසකාවිය පමණ ද ඔබ ළඳ

 

ඔබමය මා සිත ඔබමය මා ගත

සිතින් ද සිරුරෙන් පොබ කළ හිමියනි

ඔබෙන් රකින්නට රහස් කිසිත් නැත

එවන් කලෙක මා එපා නොකළ මැන

බණ්ඩාර මියගිය පසු පළ වූ ‘සුළඟ වගෙ ඇවිදින්’ ගී පදමාලා කෘතියට 2001 වසරේ හොඳම ගී පදමාලා කෘතිය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

බණ්ඩාරගේ සිත ආනන්දයේ උගනිද්දීම ඇදී ගිියේ කල්‍යාණී පියසෝමී සමරවීර නම් දේවි බාලිකා විද්‍යාලයේ ඉගෙනමින් සිටි යුවතියකටය. ඒ පිළිබඳ සිත් පළ දරමින් ඔවුහු 1969 අගෝස්තු 06 වෙනිදා අතිනත ගත්හ. ඔවුන්ගේ එකම දියණිය උමා ඉන්දීවරී විජයතුංගය. කල්‍යාණි මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක ලෙස සේවය කළාය.

පිරිපුන් විවිධ කලා ක්ෂේත්‍ර ගණනක අප්‍රමාණ කලාකරුවකු වූ බණ්ඩාර විජයතුංගගේ ආයු කාලය වසර 51 කට සීමා වීම කලාවේ අභාග්‍යයකට හේතුවක් වූ බව අමුතුවෙන් කිව යුතුද? තම පමණ දැන නොසිටි බණ්ඩාර 1990 ජනවාරි 03 වෙන්දා රෝගාතුරව දහවල් රෝහලට ඇතුළත් කරන ලදුව පස්වරු 5 ට පමණ අභාවප්‍රාප්ත වූ බව මහාචාර්ය ආරියරත්න බණ්ඩාර විසින් ලියන ලද ‘සුළඟ වගේ ඇවිදින්’ ගී පදමාලා ග්‍රන්ථයට ‘ප්‍රේමවනද්ධ ගීත රචකයා ‘ නමින් ලියූ සටහනේ මෙසේ ඔහුගේ අවසාන ගමන ගැන සඳහන් කර ඇත.

‘ජනවාරි 06 වෙනිදා බොරැල්ලේ කනත්තේදී අවමංගල්‍ය කටයුතු සිදු කරන ලදී. ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ටී. එම්. සංඝදාස, යසපාලිත නානායක්කාර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් හඩ්සන් සමරසිංහ, සිනමා නළු නිළි සංගමයේ සභාපතිනි මාලිනී ෆොන්සේකා සහ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, සුගතපාල ද සිල්වා, ධර්මසිරි ගමගේ, වික්ටර් රත්නායක, සුනිල් සරත් පෙරේරා, අමරබන්දු රූපසිංහ, කරුණාරත්න අමරසිංහ, ලෙස්ලි බොතේජු, පරාක්‍රම සුරවීර ආදීහු අවමංගල්‍ය සභාව අමතා කතා කළහ. එච්. ඩී. ප්‍රේමසිරි (සරසවි පොත්හල අයිති) අවමඟුල් සංවිධාන කටයුතුවල මූලික විය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි පවසා ඇත්තේ ලංකාවට හයිකු කවි හඳුන්වා දීමේ ගෞරවය බණ්ඩාරට හිමි වන බවය. ඔහු මෙසේ ද කියා ඇත.

‘මමයි දුම්රිය

ඇයි පිපුණේ රේල් පීලි මත’

බණ්ඩාරේගේ ඒ හයිකු කව ඔහුගේ සංවේදිභාවය පිළිබඳ බොහෝ මතකයන් අප හදෙහි අවදි කරමින් අද ද අප සසල කරවයි.