සිනමා ගීත පබැඳූ නළුවෝ

ජනවාරි 30, 2020

 

හියුගෝ ප්‍රනාන්දු

 

සිංහල සිනමාවේ ප්‍රථම චිත්‍රපටය වන ‘කඩවුණු පොරොන්දුවේ’ නාමාවලියත් සමඟ ‘ශ්‍රී ජය විජය සිරින් පිරි’ ගීතය මිනර්වා ගායක කණ්ඩායම විසින් ගැයෙද්දි ප්‍රථම ගීත රචකයා බවට හියුගෝ ප්‍රනාන්දු පත් වේ. එහි මුළු ගීත සංඛ්‍යාව 12 කි. එපමණක් නොව එහි ‘වෙට්ටියාර්’ගේ චරිතය රඟපෑ මොහු රුක්මණී දේවිය සමඟ ‘සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා’ ගීතය ගැයීමෙනුත් එයට දායක විය. විමලවීරයන්ගේ ‘පිටිසර කෙල්ල’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ද විය.

 

හර්බි සෙනෙවිරත්න

හර්බි ‘සේන’ගේ චරිතය රඟපෑවේ අපගේ දෙවන කථානාද චිත්‍රපටය වූ තම සොහොයුරා වූ ශාන්ති කුමාර් අධ්‍යක්ෂණය කළ ‘අසෝකමාලා’ (47) චිත්‍රපටයේය. විපුලසේන (කපටි ආරක්ෂකයා (48), චන්ද්‍රපාල ‘වැරදුණු කුරුමානම (48), ආනන්ද- (හදිසි විනිශ්චය (50) වැනි චරිත රඟපාමින් ‘එදා රෑ’ (53) චිත්‍රපටයේ ‘බංඩා’ ලෙස රඟපාන්නේ වංශවතී දිවුලගල (මැගී) සමඟය. දෙදෙනා රඟපෑ ‘තෑගි නම් කෝක වුණත් පිරියා’ ගීතය ගයමින් ගායන ලෝකයට පිවිසෙන්නේ ගීත රැජින ලතා වල්පොලය. එම ගීතය රචනා කරමින් ගායනා කරන්නේ ද ඔහුමය. රඟපෑමෙන් සූරසේන (57), වීර විජය (60) චරිතවලින් ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.

 

ඩබ්ලිව්. ජයසිරි

 

 

සුගතපාල ද සිල්වාගේ ‘අපේ කට්ටිය’ නිර්මාණය කළ වේදිකා නාට්‍ය සියල්ලන්ගේම පාහේ මතක හිටින චරිතයක් රඟපාමින් දස්කම් පෑ ඔහුගේ ප්‍රථම සිනමා රංගනය ඇතුළත් වූයේ ‘දාහකින් එකෙක්’ (73) සඳහාය. ජනාධිපති සම්මාන 2012 උලෙළේදී හොඳම සහාය නළුවා (දුවට මවක මිස - (97) ලෙසත් විචාරක සම්මාන උලෙළේදී ප්‍රශස්ත සිනමා රංගනය (වීසි දැල - (97) සඳහාත් සම්මානයෙන් පිදුම් ලබා ඇත.

බඹරු ඇවිත් (78) චිත්‍රපටයට ‘උදුම්බරා හිනැහෙනවා’, ‘ආදරයේ ඔබ ඔබමය’ ගීත රචනය කරමින් සිනමා ගීත රචනයට ද පිවිස හංස විලක් (80), පාර දිගේ (80), චිට්ටි (95) වැනි චිත්‍රපට සඳහා ද ගීත රචනා කළේය. දක්ෂතම ගීත රචකයා ලෙස සම්මානීය වූයේ 1979 පළමු ජනාධිපති උලෙළේදී ‘බඹරු ඇවිත්’ ගීත රචනා සඳහාය.

 

උපාලි අත්තනායක

 

 

ප්‍රතිභාපූර්ණ වේදිකා නළුවකු වූ ඔහු නැට්ටුක්කාරී, සුභ සහ යස වැනි නාට්‍ය තුළ ඉදිරිපත් කළ රංගනයන් ප්‍රේක්ෂකයන්ට තවමත් මතකය. ඔහු පළමුව සිනමාවට එක් වූයේ ‘දරුවා කාගේද’ (61) චිත්‍රපටයට ‘සුවඳ මල් පිපිලා’, ‘නිල්වලා යාවී පාවෙලා’ වැනි ගීත 6 ක් රචනය කරමිනි. එය ඔහුගේ අවසන් චිත්‍රපට ගී පද රචනා ද විය. කේ. ඒ. ඩබ්. පෙරේරාගේ ‘නෑදෑයෝ’ (76) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වූ ‘ජගන්’ ලෙස රඟපාමින් වෘත්තාන්ත සිනමාවට පිවිස රසිකයන්ට මතක හිටින චරිත කිහිපයක් දක්ෂ ලෙස ඉදිරිපත් කළේය.

 

වොලී නානායක්කාර

 

මුදලිනායක සෝමරත්නගේ ‘බිනරමලී’ ගුවන් විදුලි නාටකයේ උක්කු බණ්ඩාගේ චරිතය ඉදිරිපත් කළේ ඔහුය. 1964 වසරේ පැවති මුල්ම ‘සරසවිය’ චිත්‍රපට උලෙළේ නිවේදක කටයුතු සිදු කළ අපූරුව ගැන පැහැදුණු ‘සාරවිට‘ (65) නිෂ්පාදක පිරිස එහි ‘මාකස්’ නම් වූ දඩබ්බරයාගේ චරිතය ලබා දුන් බව ජනවාරි 2 ‘සරසවිය’ පුවත්පතේ ද පළ වී තිබුණි. එම දක්ෂතාවය තහවුරු කරමින් ඔහු චිත්‍රපට චරිත ඉදිරිපත් කළේය. 73 වසරේ පැවති 6 වන විචාරක සම්මාන උලෙළේදී ‘මාතර ආච්චි’ (73) සඳහා හොඳම රඟපෑම සම්මානය ද දිනා ගත්තේය.

ඔහු ලියූ ප්‍රථම චිත්‍රපට ගීතය කුලුඳුල් පිරිසකගේ එකතුවෙන් සුවඳවත් වූ මලක් බඳු විය. අධ්‍යක්ෂක, සංගීත අධ්‍යක්ෂක, පද රචක, ගායක සැමගේ පළමු නිර්මාණයය. ‘මාතර ආච්චි’ චිත්‍රපටයට එය ලියූවේ වොලී නානායක්කාරය. සුනිල් එදිරිසිංහ ගැයූ ‘සඳකඩ පහනක කැටයම් ඔපලා’ ගීතයට 20. 01. 11 දිනට වසර 47 කි. ‘වස්තුව‘ (74) ට ලියූ ‘ගුවන් ගැබේ’ රචනය ද ඔහුගේය.

 

 

 

ගාමිණී ෆොන්සේකා

 

ඔහුගේ සිනමා රංගනය පිළිබඳව සටහන් තබනවාට වඩා ‘සිංහල සිනමාවේ සක්විති’ ලෙස ඔහුව හඳුන්වන කෙටි සටහනම පමණක් හොඳ හැටි ප්‍රමාණවත්ය. ‘රන්මුතු දූවෙන්’ (62) ලබාගත් ජනප්‍රියත්වයත්, ‘ගම්පෙරළියේ’ (63) ඉදිරිපත් කළ රංගන දක්ෂතාවයන් කිසිදු විටෙක අඩු තක්සේරුවකට ලක්කර නොගත් නළුවෙකි.

ඔහු ලියූ ප්‍රථම ගීතය ඇතුළත් වූයේ ඔහුම අධ්‍යක්ෂණය කළ ‘සරුංගලේ’ (79)ටය. ඒ වික්ටර් රත්නායකයන් සංගීතවත් කළ අමරදේවයන් සහ නන්දා මාලිනිය ගැයූ ‘බමරිඳු බමරිඳු කුමට වඩින්නේ’ ගීතයය. ‘සුදෝ මං ආදරෙයි’ (මයුරිගෙ කතාව (80), ‘මිහිපිට අඟලක් නැති’ (නොමියෙන මිනිසුන් (94) අනිකුත් ගී පද රචනාය.

 

ලූෂන් බුලත්සිංහල

 

ඔහු මුලින්ම වේදිකා නළුවකු සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකු විය. ‘රතු හැට්ටකාරී’, ‘තාරාවෝ ඉඟිලෙති’ ප්‍රේක්ෂකයා වෙත රසවත් ආස්වාදයක් ලබාදීමට සමත් වූ නිර්මාණ විය. ‘සැඬොල් කඳුළු’ (67) රඟපෑ ප්‍රථම සිනමා රංගනය විය. ‘වෙස් ගත්තෝ’ (70), චූඩා මාණිකය’ (78), ‘සිටු දියණිය’ (82) වැනි චිත්‍රපටවල ද රංගනයන් ඉදිරිපත් කළේය.

‘හංස විලක්’ (80) චිත්‍රපටයට නන්දා මාලිනිය ගයන ‘සඳුන් සිහින මණ්ඩපයේ’ ප්‍රථම ගීත රචනාව විය. දක්ෂතම ගීත රචනා සඳහා ජනාධිපති සම්මාන ‘නොසැලෙයි දිවි මකුළු ඇස (ගිනි අවි සහ ගිනි කෙළි (98), ස්වර්ණ සංඛ සහ සරසවිය සම්මාන ‘මරණ තුනක් ඇති මිනිසා (සිරි මැදුර (89), ස්වර්ණ සංඛ සම්මාන ‘ගොපලු වස් දණ්ඩෙන්’ (මී හරකා (94) සම්මාන ලබා ඇත.

මෙම චරිත 7 ම කුමන අයුරකින් හෝ වේදිකා නාට්‍ය අංශයන්ට ද සම්බන්ධ චරිත වීම විශේෂත්වයකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.