හින්දි සිනමාවේ සදාකාලික ආදරවන්තයා දිලිප් හා පෙම්වතියන්

පෙබරවාරි 6, 2020

දස දහස් ගණන් තරුණියන්ගේ සිහින කුමරා වූයේ පරාජිත පෙම්වතාය. නිරන්තර ප්‍රේමයෙන් පරාජය වූවද ඔහු ලක්ෂ සංඛ්‍යාත හදවත් දිනාගත්තේය. ඔහුගේ ආත්ම විලාපයේ නාදයට දෑස් පිරී ගියේය. ඇස්පියන් තුල ගිලී ගිය තද කළු පැහැති ඇහිපිල්ලම් එයටම මනාව ගැළපිණ. වේදනාවෙන් හෙම්බත් වූ ඔහුගේ මුදු හඬ රිදුණු හදවතේ බර සඟවාලීය. "ශේක්ස්පියර් දිලිප් කුමාර මුණගැසුණා නම් ඔහුගේ නිර්මාණවලට නිසැකයෙන්ම තවත් චරිතයක් එක්වන්නට ඉඩ තිබුණා" යැයි සිනමාවේදී වී. ශාන්තරාම් පැවසුවේ මේ රංගධරයාගේ අවබෝධාත්මක ශෝකාන්ත නිරූපණයන්හි සුහුරුබව හා ශේක්ස්පියර්ගේ වීරකාව්‍යයන්ගේ සාම්‍යය තහවුරු කරමිනි. සියවස්වලින් හා මහද්වීපවලින් වෙන් වුවද මේ දෙදෙනාට ඇත්තේ තේරුම්ගත නොහැකි බැඳීයාවකි.

 

අපේක්ෂා භංගත්වය සහ වියෝගය දිලීප් කුමාර්ගෙන් තරම් වෙන කිසිවකුගෙන් දර්ශනය නොවිණි. ඔහු සිනමාවේ වියමන කවියක් බවට පත් කළේ එහි වියරණය සංවේදනාවෙන් පිරියම් කරමිනි. රිදී තිරයේ ඔහුගේ වීරත්වය ඔහු තුළින්ම මතුවන ප්‍රහර්ෂය හෙළිදරවු කරන්නේ කිර්තියේ ප්‍රේමස්වරයට සිරගත කරමිනි. ආශා පාරෙක් සහ මාලා සිංහාද ඇතුළුව ඒ අපේක්ෂාව අහිමි වූවන් අදටත් වැලපෙනු ඇත. ශක්ති හි රාඛී සමඟ මෙන්ම කර්මහි නූටාන් සමඟ පවා ඔහුගේ රිදී ප්‍රේමාන්විතයන් සියුම් ඉංගිතයන්ගෙන් පිරීතිරී ගියේය. පසුගිය සීතල උඳුවප් මහේ සිය 97 වැනි ජන්මදිනය සැමරූ මේ රංගධරයාගේ සිනමා පෙම්වතියන් සොයා අප ගියේ සිනා කැන් මෙන්ම කඳුළු බිඳු පිරුණු ඔවුන්ගේ පෙම්රැඟුම් පිළිබ මතක අවදි කරවන්නටය.

දිලීප් කුමාර් සමඟ කාමිනි කෞශාල්

භද්‍ර යෞවනයකු වූ දිලීප් කුමාර් සමඟ කාමිනී පෙම් ජවනිකාවක් පළමුවරට රඟපෑවේ 1947දී තිරගත වූ ශහීඩ් චිත්‍රපටයටය. නදියා කේ පාර් සහ ශබ්නම් චිත්‍රපට 1948දීද අස්රූ 1949දීද ඔවුන් එක් කළ තවත් නිර්මාණය. ඔවුන් දෙදෙනාට වූයේ නොපෑහෙන පෑහීමකි. ඔහු සියුම් වන තරමට ඇයගේ තිව්‍රරත්වය ස්වාභාවික විය. ඔවුන් දෙදෙනා ආදරයෙන් බැඳුණේ ශහීඩ් දර්ශන තලයේදීය. එහෙත් ඒ වනවිටත් විවාහක කාන්තාවක වූ කාමිණීට ඒ බැඳීම අත්හරින්නට සිදුවිය. වසර ගණනකට පසු දිලීප් පැවසුවේ ඔහුගේ ප්‍රථම ප්‍රේමය වූ කාමිණීගේ මේ වෙන්වීම නිසා ඔහු 'සුනු විසුණුව' ගිය බවයි. කාමිණීද ෆිල්ම් ෆෙයාර් සඟරාවකම සාකච්ඡාවකදී පැවසුවේ 'අපි දෙන්නම සුනු විසුණු වෙලා ගියා. අපි දෙන්නාම එකිනෙකාට බොහොම ආදරයෙන් හිටියේ. හැමෝම ආදරයෙන් බැඳෙනවා... ඒත් මම ගැහැනියක්. මට මටග් සොහොයුරියට, මනුස්සකම් පිරුණු, මෙය සිදුවුණ හේතුව අවබෝධකරගත් මගේ සැමියාට මුහුණ දෙන්න බැරිව යන නිසා එහෙම වුණේ." අර්සූ චිත්‍රපටයේ ආයේ දිල් මුජෙ අයිසි ජගා, ශහීඩ් චිත්‍රපටයේ බද්නාම් නා හෝ ජායේ මුහාබත්, ශබ්නම් චිත්‍රපටයේ තුම්හාරේ ලියේ හුවේ බද්නම් වැනි ගීත අදටත් ඔවුන්ගේ ජනප්‍රියත්වය නොගිලිහී තිබීමට හේතු විය.

දිලීප් කුමාර් සහ නර්ගීස්

රාජ් කපූර් සමඟ සූවිශේෂී පෙම් යුවළක් ලෙස රිදී තිරය බැබළවූවද නර්ගීස් දිලිප් කුමාර් සමඟ ද චිත්‍රපට හතක පෙම්වතිය බවට පත්වූවාය. 1948 තිරගත වූ අනෝකා ප්යාර් සිට 1951 තිරගත වූ දීදර් දක්වාය ඒ. ඇගේ සරාගී බව ඔහුගේ උණුසුම් රැඟුමට

අපූරුවට ගැළපිණි. 1948මේලා හි ඔවුන් නිරූපණය කළේ ළමාවියේ ඇති වූ බැඳීම විවිධ හේතූන් මත බිඳීයන අයුරුය. 1949 මෙහෙබූබ් ඛාන් අධ්‍යක්ෂණය කළ අන්දාස් හි නර්ගීස් - දිලීප් -රාජ් තුන්කොන් ප්‍රේමය අප්‍රකාශිත ඒකපාර්ශ්වික ප්‍රේමයේ කවියක් බඳුවිය. 1950දී බාබුල් අනවබෝධය සහ අවාසනාව පිළිබඳ වියෝගීයක් බඳු වූ අතර කිඩර් ශර්මාගේ ජෝගන් හි දිලිප් රැඟුවේ දේවතාවියක වූ නර්ගීස්ට පෙම් බැඳී අදේවවාදියකුගේ චරිතයයි. ඔවුන් අතර වූ පරතරය දෛවයේ සරදමක්දැයි සිතෙන තරමට නැඟුණු ආදර හැඟුම් ඔවුන් දනවන්නේ බොහෝ දර්ශනවල ඇතැම් විට බැල්මක් හෝ නොදී එහෙත් හදවත සැලෙන රාවය පවා දැනෙන අයුරිනි. දීදර් (1951) නිම්මි සහ නර්ගීස් සමඟ දිලිප් රඟපෑ ඒක පාර්ශ්වික ආදරය ගැන කියැවුණු තවත් කතාවකි. ඔහුට 1957 වසරේ මදර් ඉන්ඩියා සඳහා නර්ගීස්ට එරෙහිව රඟපෑමට ආරාධනය කරන විට ඔහු එය අඩුවක් සේ සැලකුවේය. උදෛ තාරා නායර් විසින් රචනා කළ දිලිප් කුමාර්ගේ චරිතාපදානය වන 'ද සබ්ස්ටන්ස් ඇන්ඩ් ෂැඩෝස්' හි ඔහු එය පවසන්නේ මෙසේය. "මට මෙහෙබූබ් (ඛාන්) මහත්මයා යොජනා කළ භූමිකාව වුණේ නර්ගීස්ගේ පුතාගේ චරිතය. එය හරිම නොගැළපෙන චරිත තේරීමක්. මම නර්ගීස් එක්ක පෙම්වතුන් ලෙස දිගටම රඟපෑවට පස්සේ මවගේ චරිතය දීම" . ඔවුන්ගේ රැඟුම් ඇතුළත් ජෝගන් හි මත් ජා ජෝගී, අන්දාස්හි තූ කහේ අගර්, දීදාර්හි බච්පන් කි දින් භූලනා නා දේනා, බාබුල් හි ඝම් කා ෆසානා ස්වර්ණමය යුගයේ කලාත්මක නිර්මාණ ලෙස අදටත් පවතී.

දිලිප් කුමාර් සහ මධුබාලා

සිහිනයත් පරාජිත ප්‍රේමයත් විසින් මේ පතාන් ජාතික යුවළ නිර්මාණය කරනු ලැබීය. මධුබාලා දිලිප් හමුව සිදුවන්නේ 1951 තරානා චිත්‍රපටයේ දර්ශන තලයේදීය. පසුව ඔවුහු 1952 සංග්දිල්, 1954 අමර් සහ 1960 මෝගල් ඊ අසාම් නිර්මාණවලට දායක වූහ. ඔවුන්ගේ මුල් රංගනයන් පිළිබඳ ආවර්ජනය කරන දිලිප් පවසන්නේ දර්ශනයක් රූපගත කරන විට ඇය බොහෝ සජීවී ලෙස ක්ෂණිකව ඇගේ ප්‍රතිචාර දක්වන නිසා රසිකයන් ආකර්ෂණය කරගැනීමට සමත් වෙනවා." ඔවුන් දෙදෙනා ආදරයෙන් බැඳුණේ මධුබාලා විසින් දිලිප්ට රෝසමලක් යැවීමත් සමඟය. මධූබාලාගේ පියා වූ ආතාවුල්ලා ඛාන් ඔවුන්ට විරෝධයක් දැක්වූයේ නැත. ඒ වෙනුවට ඔහු කළේ මේ සුප්‍රසිද්ධ යුගල යොදාගෙන චිත්‍රපට නිපදවීමට චිත්‍රාගාරයක් තැනීමය. දිලීප් තම කලාව ව්‍යාපාරයක් කර ගැනීම අනුමත කළේ නැත. එනිසා මධුබාලාගේ පියා මේ නළුවාට ලියා යවන්නේ ඔහුගේ මේ ආකල්පය 'අකාරුණික සහ අහංකාර' එකක් බවයි. 1957 නයා දෞර් රූපගත කිරිම් අතර මධුබාලා ඉවත් කෙරුණු අතර එය නෛතික කරුණක් දක්වා දිග්ගැස්සිණ. මෙහිදී දිලිප් කතා කළේ නිෂ්පාදක බී. ආර් චොප්රාගේ පාර්ශ්වයට වන අතර රසිකයන්ගෙන් පිරීතිරි ගිය උසාවිය තුළ ඔහු මධුබාලාට ඇති නොමියෙන ප්‍රේමය පිළිබඳවද හෙළි කළේය. එහෙත් මේ බිඳීයාම පිළිසකර කිරීමට නොහැකි ලෙසින් දෙහද පලුදු කර තිබිණි. කේ. අසීෆ් අධ්‍යක්ෂණය කළ මෝගල් ඊ අසාම් රූපගත කිරීම්වලදී මේ වෙන් වූ පෙම්වත් දෙදෙන වෘත්තීය රංගන ශිල්පීහු ලෙස කටයුතු කළහ. මධූබාලාගේ රිදුම්දෙන හදවතේ වේදනාව තවත් දැඩි වූයේ ඇය ප්‍රේමයෙන් පරාජිත අනර්කලීගේ චරිතය කරන විටය. "අපි පුදුමාකාර දර්ශනයක් රූපගත කළේ අපේ දෙතොල් අතරින් පියාපතක් පාවෙන අතර ගත්ත දර්ශනයේ කෝටියක් සිතිවිලි හිතේ ඇවිලෙද්දි. ඒ වෙනකොට අපි දෙන්නා එකිනෙකාට සුබපතාගන්නේ වත් නැහැ." දිලිප් සටහන් කරයි. ඒ සිනමාපටය ඔවුන්ගේ ප්‍රේමඛේදාන්තයේ මරණ දැන්වීමක් බඳුවිය. සංග්දිල් හි යේ හවා යේ රාත්, අමර්හි තෙරෙ සාද්කෙ බාලම්, තරානාහි සීනේ මෙයින් සුලග්තේ හයි අර්මාන් සහ මෝගල් ඊ අසාම් හි ප්යාර් කියාතෝ දර්නා කියා ගීත හින්දි සිනමාවේ ප්‍රේමණීයම යුවළ පිළිබඳ අතීතකාමය අවුළුවාලයි.

දිලිප් කුමාර් සහ වෛජන්තිමාලා

වෛජන්තිමාලා සමඟ චිත්‍රපට හතක දිලිප් රඟපෑවේය. දේව්දාස් (1955), නයාදෞර්(1957), මදුමතී(1958), පෙයිඝම්( 1959),ගංගා ජමුනා (1961),ලීඩර්(1964), සන්ගුර්ෂ් (1968) ඒ චිත්‍රපටයි. දේව්දාස් චන්ද්‍රමුඛි මෙන්ම ඔවුන් පෙම්වතුන් වූ ආනන්ද්- මධුමතී, ගංගාරාම් - ධනෝ වීර කාව්‍යයන් ලෙස ආ ප්‍රේම වෘත්තාන්ත විය. මේ දෙදෙනාගේ ගැළපීම තිරයෙන් පිටුපස ප්‍රේමයක කටකතාවලට මුල් වුවද දෙදෙනාම එය ප්‍රතික්ෂේප කළහ. දිලීප්ගේ තරගකාරයා වූ රාජ් කපූර් සමඟ වෛජන්තිමාලාගේ ඇය් හොඳයිය හෙළි විය. "ලීඩර් සමඟ සංගම් වැඩි දින සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහා තරග කළා. එය වෘත්තීයමය මට්ටමේ එදිරිවාදිකමක්. මම මේ අතරට මැදි වුණා." වෛජන්තිමාලා ඇගේ චරිතාපදානයේ සටහන් කරන්නීය. ඔවුන්ගේ අවසන් චිත්‍රපටය වූයේ සංගර්ෂ්ය. පසුව කාලයක් යනතුරුම ඔවුන් එකිනෙකා සමඟ කතාබහකවත් නොයෙදුණි. නායා දෞර්හි මාංග් කේ සාත් තුම්හාරා, මදුමතිහි දිල් තඩප් තඩප් කෙ දේව්දාස්හි ජිසේ තො කාබුල් කර්ලේ වැනි ගීත තවමත් වැඩිම ලකුණු අතර රැදී ඇති ඔවුන් රැඟූ ගීතය.

දිල්ප් කුමර් සහ මීනා කුමාරි

මේ දෙදෙනා පිළිවෙළින් හැඳීන්වූයේ හින්දි සිනමාවේ 'ශෝකාන්ත රජු' සහ 'ශෝකාන්ත රැජන' ලෙසය. එහෙත් 1955 අසාද් සහ 1960 කොහිනූර්හි මේ දෙදෙනාගේ චරිත නිරූපණයේ මහත් වෙනසක් ගෙනෙමින් ප්‍රීතිජනක භූමිකා රැඟූහ. ශෝකජනක චරිතයන්හි ඇලී ගැලී සිටීමෙන් ඇති වූ රෝගී තත්ත්වයට පිළියමක් ලෙස සැහැල්ලු සිතින් රඟන චරිත කරන ලෙසද ඔහු‌ට උපදෙස් ලැබී තිබිණ. දිලිප් ඔහුගේ පොතේ සටහන් කරන්නේ, "කොහිනූර් තනන වේලාවේ අප අතර ඇති වූ මිත්‍රත්වය මම බොහෝ සෙයින් වින්දා. ඒ වගේම අසාද් චිත්‍රපටය දක්වා එය ගොඩ නැඟුණා. අපි බොහොම හැඟුම්බර චරිත කළ අය හැටියට සරල චරිත කරන්න ලැබීමත් සතුටක්." ඔවුහු 1953 ෆුට් පාත්, සහ 1958 යහුදි චිත්‍රපටවලචචිත්‍රපටවලටද රංගනයෙන් දායක වූහ. කොහිනූර් හි මධුබන් මෙන් රාධිකා, අසාද් හි කිත්නා හසීන් හෛ මෝසම්, යාහුදී හි මෙරෙ දීවානා පන් සහ ෆුට් පාත් හි ශාම් ඉගම් කි කසම් ඔවුන්ගේ රැඟුම් රැඳී මනබැඳී ගීතයන්ය.

මතු සම්බන්ධයි....

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.