ස්වර්ණමය යුගයේ අවසන් තරුව කර්ක් ඩග්ලස් 1916-2020

පෙබරවාරි 13, 2020

පළමු ලෝක යුද සමය ලෝක සිනමාවේ ප්‍රතිභාව වේගයෙන් දියුණු වූ කාලයක් ලෙස හැඳීන්වේ. මෙය හොලිවුඩයේ ස්වර්ණමය යුගය ලෙස ද සැලකේ. මාලන් බ්‍රැන්ඩෝ, ජේම්ස් ස්ටුවර්ට්, කේරි ග්‍රාන්ට්, ඔසන් වේල්ස්, චාලි චැප්ලින්, ගේර් කූපර් ආදි අග්‍රගණ්‍ය සිනමා ශිල්පීන් ගණනාවක් ස්වර්ණමය යුගයේ තරු ලෙස ගැනෙන අතර මෙම තරු අතර සිටි අවසාන තාරකාවද පසුගිය 05 වැනිදා සදහටම නිවි ගියේය. ඔහු කර්ක් ඩග්ලස් නම් රංගධරයා ය. මිය යන විට ඔහු 103 වැනි වියේ පසු විය.

බාබරා ස්ටැන්වික් සමඟ The Strange Love of Martha Ivers (1946) නම් චිත්‍රපටයෙන් 1946 වසරේදී සිනමාවට එක් වූ කර්ක් සිය සිනමා ගමනේ වේගයෙන් ඉදිරියට ගිය රංගන ශිල්පියෙකි.

මනා කඩවසම් පෙනුමකට හිමිකම් කියන කර්ක් ඩග්ලස්හට කෙටි කාලයකින් 50 දශකයේ හොලිවුඩයේ සාර්ථක ජනප්‍රිය නළුවන් කිහිපදෙනා අතරට පැමිණීමට හැකිවිය.

පැරණි බටහිර චිත්‍රපට, යුද චිත්‍රපට සහ තාත්වික නාට්‍යමය චිත්‍රපට ඔස්සේ සිනමාව තුළ සිය දස්කම් දැක්වූ ඔහුගේ රංගනයන් අතර 1961 දී තිරගත Town Without Pity  (1961) චිත්‍රපටයේ නිරූපණය කළ අපරාධ නීතිඥයාගේ චරිතයේ අනන්‍යත්වය විශේෂවේ. Champion (1949), Young Man with a Horn (1950), Ace in the Hole(1951), The Bad and the Beautiful (1952), Lust for Life (1956), Spartacus (1960)  ඔහුගේ තවත් විශිෂ්ට රංගනයන් අතරින් කිහිපයකි.

ස්පාටකස් ඈත අතීතයේදී රෝම අධිරාජ්‍යයේ වහල් භාවයට පත් පීඩිත ජනතාව වෙනුවෙන් වූ තාඩන පීඩනයන්ට එරෙහිව නිදහස වෙනුවෙන් නැගී සිටි පුද්ගලයෙකි. ඔහුගේ එම අරගලය පසුබිම් කරගනිමින් හෝවාර්ඩ් ෆාස්ට් නම් ලේඛකයා අතින් රචනා කෙරුණු ස්පාටකස් නම් වීර කාව්‍ය ලොව පුරා විසිර සිටින පාඨකයන් අතරේ ඉමහත් ප්‍රසාදයකට ලක්විය. ඒ ඇසුරෙන් ස්ටැන්ලි කුබ්‍රික් අධ්‍යක්ෂණය කළ Spartacus සිනමාපටය බිහි විය.

එහි කර්ක් ඩග්ලස් පණ දුන් ස්පාටකස් චරිතය ලොව පුරා රසික සිත් දිනා ගත් සදාතනික මතකයක් බවට පත් විය. එයට අපේ රටේ ද ඉහළ ජනප්‍රියත්වයක් හිමි වන විටදී ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ වින්සන්ට් වැන් ගොෆ් නම් විශිෂ්ට චිත්‍ර ශිල්පියාගේ චරිතය නිරූපණය කරමින් ඔහු රඟපෑ Lust For Life  චිත්‍රපටය ද ඔහුගේ සිනමා නිර්මාණ අතර ඉතාමත් සුවිශේෂී චිත්‍රපටයකි. එම රංගනයද ඔස්කාර් සම්මාන උලෙළේදී නාම යෝජනා අතරට පැමිණි අතර ගොල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය. කර්ක් දශක පහක සිනමා දිවියේ හොලිවුඩ් චිත්‍රපට සියයකට ආසන්න සංඛ්‍යාවකට පණ දුන්නේය.

බෙලාරුස්හි සිට අමෙරිකාවට පැමිණි රුසියානු ජාතික යුදෙව් යුවලකට දාව 1916 දෙසැම්බර් 9 වැනිදා නිව්යෝක්හිදී උපත ලැබූ කර්ක් ඩග්ලස් කුඩා කල කම්කරුවන්ට කෑම විකුණමින් සහෝදරියන් හය දෙනෙකුගෙන් යුතු පවුලට සහය දැක්වූයේය. ඔහු තරුණ කල නළුවෙකු වීමට ප්‍රථම රැකියා හතළිහක් පමණ කළ බව කියවේ. ගෙයින් ගෙට ගොස් පුවත්පත් බෙදාහැරීම, ආපන ශාලාවන්හි පිඟන් සේදීම පවා ඒ අතර විය.

ශාන්ත ලෝරන්ස් විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය හිමිකර ගත් කර්ක් ඩග්ලස් 1940දී අමෙරිකානු නාවික හමුදාවට බැඳී දෙවන ලෝක යුද සමයේ පණිවුඩ හුවමාරු නිලධාරියකු ලෙසද සේවයේ යෙදී සිට ඇත. ඔහු ගෞරව සහ සම්මාන රැසකට හිමිකම් කියන්නෙකි. අමෙරිකානු ජනාධිපති ජිමි කාටර් විසින් පිරිනමන ලද විශේෂ සම්මානය (1981), ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් පිරිනැමූ විශේෂ සම්මානයත් ඇතුළු සම්මාන ගණනාවක් ඒ අතර වේ. 50 වසරක් සිනමාවට කළ සේවය අගයමින් 1996 වසරේ ඔස්කාර් සම්මාන උලෙළේදී මහා සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් අතින් ඔහු වෙත විශේෂ සම්මානයක් පිරිනැමුනි. Champion (1949), Detective Story (1951), Bad And The Beautiful (1952)  චිත්‍රපටයන්හි රංගනය වෙනුවෙන් ඔස්කාර් හොඳම නළුවාට හිමි නාම යෝජනා අතරට ඔහුගේ නම එක් විය.

දශක පහක් පුරා සිනමාවට අගනා මෙහෙවරක් කළ ඔහු සිනමාවට තවත් වටිනා දායාදයක් තිළිණ කළේය. එනම් ඔහුගේ දරුවන් සිව්දෙනාය. ඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන මයිකල් ඩග්ලස්, චිත්‍රපට නිෂ්පාදක ජොඑල් පීටර් ඩග්ලස්, චිත්‍රපට නිෂ්පාදක පීටර් ඩග්ලස් සහ රංගන ශිල්පී එරික් ඩග්ලස් ඔහුගේ පුතණුවන් සිව්දෙනා වෙති. මයිකල් සහ ජොඑල් අමෙරිකානු නිළියක වන ඩයල් ඩිල් සමඟ වූ විවාහයෙන් ලද දරුවන් දෙදෙනා වේ. පීටර් සහ එරික් අමෙරිකානු නිෂ්පාදිකාවක වන ඈන් බයිඩෙන්ස් සමඟ විවාහයෙන් ලද දරුවන් දෙදෙනාය. මයිකල් ඩග්ලස්ගේ පුතු කැමරොන් ඩග්ලස් ද එම පරපුරේ තෙවැනි පරම්පරාව නියෝජනය කරමින් හොලිවුඩයට පැමිණ සිටී.

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.