පසළොස් වැනි පැය එළැඹෙනු වැන්නේ

පෙබරවාරි 20, 2020

අහස තනිද නැත තරුමල් පිපිලාය
පොළොව තනිද නැත බිම්මල් පිපිලාය
සයුර තනිද නැත දිය රළ පිරිලාය
මහද තනිද ඔව් පාළුව පිරිලාය

 

පසළොස් පැයේ අවදිව සිටිනා කලට
නෙක කල්පනා එයි කවියට නගන්නට
කුරුටු ගාමි ඉඩ ලැබෙනා වෙලාවට
පුදමි එකවි මා හැර නොයනා ඔබට

 

කිවිවර බුද්ධදාස ගලප්පත්ති පසළොස් පැය කෘතිය පිදුවේ ඔහු හැර නොයන සහෘද ඔබටය. නිරන්තර කියන්නා සේ ඔහුගේ නමට පෙර වේශ නිරූපණ ශිල්පී, වේදිකා පරිපාලක, ගීත රචක, කෙටි කතාකරු, නවකතාකරු, තීරු ලිපි රචක, ග්‍රන්ථ සංස්කාරක ආදී වශයෙන් කුමන විශේෂණ යෙදුවත් බුද්ධදාස ගලප්පත්තිගේ ආත්ම කථනය වඩාත් තීව්‍ර කරන්නේ කවිය යැයි ඔහුම පවසයි.

"කවියක් කියන්නේ තමන් විඳී හෝ තමන්ගේ සිතිවිලිවලට අහුවුණු අත්දැකීමක්, නැත්නම් අත්විඳීමක් සිත සසල කරනවා නම්, එයින් පොදු පාඨකයාට ජීවන ප්‍රවෘත්තියක් ලබා දිය හැකි නම් මගේ ප්‍රමුඛ මාධ්‍යය වන කවියෙන් එය කියන්න උත්සාහ කරනවා."

එසේ කීවද ඔහුගේ කවි පොත් මුද්‍රණය වන්නේ වත්මනේ හතු පිපෙන්නාසේ බිහිවන කවිපොත්වලට වඩා බොහෝ විලම්භ ලයකිනි. මා එසේ කියන්නේ 1971 වසරේ මහාචාර්ය සුනිල් ආරිය රත්න, ආචාර්ය ජයලත් මනෝරත්න අඹයහළුන් දෙදෙනා සමඟ ලියූ දොළොස් මහේ පහන වනතුරු ඔහුගේ කිසිදු නිර්මාණයක් මුද්‍රණද්වාරයෙන් එළි නොදක්වා තිබුණු අතර ඉන් වසරකට පසු බිහි වූ කැටපත් පවුර ගලප්පත්ති කවියාගේ පළමු ස්වනිර්මාණ ග්‍රන්ථය වීමත් එතැන් සිට මේ දක්වා වසර හතළිස් අටක් පුරා ඔහු නිකුත් කර ඇත්තේ කාව්‍ය ග්‍රන්ථ දහයක් පමණක් වීමත් නිසාය. පසළොස් පැය (ධ්ද බඩඥ ර්ඪඤඵබ ධට ව්ඪඨඩබ) ඔහුගේ දසවැනි කාව්‍ය සංග්‍රහයයි. එහෙත් එය ඔබ අතට පත්වන්නේ තීර්ථය අසබඩ කව්සරණියට වසර පහකට පසුවය. ඊට පෙර කව් රචනා එළි දැක්වූයේද දිගු විරාමයන් සමඟය. පාර වසා ඇත (1974), රැජිණක් හැඬුවාය (1976), දෙදෙනාම දියණියෝ (1983), නිශ්චලයි රාත්‍රිය (1992), තුරුලිය අකුරු විය (1998), දවස හෙටයි (2003)නිකුත් වූ වසර පරතරය ඊට සාක්ෂිය. කවියා ඒ සඳහා හේතු දක්වන්නේ මෙසේය.

"මගේ කවිපොත් මුද්‍රණය වේගවත් නැහැ. ඒකේ තේරුම මට කවිපොත් පළකර ගැනීමේ අපහසුවක් තිබෙනවා කියන එක නෙවෙයි. ඒකට හේතුව හිතට එන ඔක්කොම දේවල් කවි කරලා පොත් හැටියට නිකුත් කරන අරමුණක් මට නැති වීම. අද මුහුණු පොත බැලුවොත් සමාජයේ ඉන්න කවි කිවිඳීයන් සංඛ්‍යාව හිතාගන්න පුළුවන්. ඒ වගේම ඒවාට විචාර ප්‍රතිචාර දෙන අයත් අඩුවක් නැහැ. ඒත් ඒ හැම කවියක්ම කවියක්ද? කවි පොතක් පළ කළ තරමින් හෝ ඒ සඳහා තිබෙන කැමැත්ත විතරක් හොඳ පොතකට සෑහෙන්නේ නැහැ. වේගයෙන් කවි ලියලා පොත් සංඛ්‍යාව වැඩි කරගන්න ප්‍රවීණයන් පවා කළ නිර්මාණ අසාර්ථකයි. මේ කවිකරණය කියන්නේ දුෂ්කර වැඩක්. එක රැයෙන් කවියන් බිහිවන්නේ නැහැ. එහෙම උත්සාහ කරන්න හොඳත් නැහැ. යම් වස්තුබීජයක්, සමාජ සංසිද්ධියක් වෙනුවෙන් විරෝධය පළ කරනවාද? පාඨක අවධානය යොමු කරනවාද? රසික සිත් අවදි කරනවාද? යන්න සිතා බලා එය 'වාර්තා කරනවා'ට වඩා වෙනස් ආකාරයකින් එය ඉදිරිපත් කිරීමේ ඉසව් සොයා ගැනීමයි කවියා කරන්නේ. මම සමහර වස්තුබීජ, තේමාවන් සටහන් කරගෙන ඉන්නවා. ඒවා කවිකරන්න කල් ගත වෙන්නත් පුළුවන්. ඒ මොහොතෙම ලියැවෙන්නත් පුළුවන්. ඔය හේතු නිසයි මගේ කවි පොත් දහයකට දශක පහකට ආසන්න කාලයක් ගත වුණේ"

 

ඔහුගේ සිත සසල කළ අවස්ථා දුසිම් තුනක් පසළොස් පැයට ඇතුළත් වී ඇත. එයින් මසිත සසල කළ කෙටි කවි කිහිපයක් මෙසේ ඔබ වෙනුවෙන් උපුටා ගනිමි.

 

පාළුය ලුම්බිණිය
සල් උයන තුරු යට
වැටී පරවුණු
සල් මල් ය
බිසවු මහමායා
නොදිටිමි කිසිම තැන
පරවී ගිය
නෙළුම් මල් සතක්
දුටුවෙමි
විසල් සල් තුරක් යට

 

එමෙන්ම ඔහු භාෂාවේ පරිණාමය පිළිබඳ අපූරුවට සසල වුණු සිතකින් පසුවන බව 'පට්ට' කවිය පෙන්වා දෙයි.

 

පට්ට --සි
මංතොගෙ රෙද්ද ගැලවෙන්න
කියන්නම්
නෙළුම් මලෙන් උපන්
පත්තිනි අම්මා
බලපිය තොගෙ
රෙද්දෙ තුත්තිරි
පට්ට බැල්ලී
පට්ට කෑල්ල බුවා
බලපන්කො යන හැඩ
ගස්සල පස්ස
නටවල පස්ස
රූකාන්තගේ සිංදුවක් වගේ
පිස්සු හැදෙන සඳ
ලස්සන
පට්ට...

 

සමාජයේ ඇතැම් ආකල්ප පුරුදු ඔහු විවේචනයට ලක් කළ අවස්ථා බොහෝය. ඉන් වඩාත් ආන්දෝලනාත්මක යැයි සිතෙන 'සෙත් පිරිත්' කවියා ඇතැම් දේ පිළිබඳ සෝපාසයෙන් බලන ආකාරය මෙසේ දක්වයි.

සෙත් පිරිත් අසමින්
නින්දට යන්නෝ
සෙත් පිරිත් අසමින් ම
උදෑසන පිබිදෙත්
කිසිවෙකුත් හෝ
යළි නොපිබිදුණ හොත්
පෙරදා නින්දෙන්
ඒ සෙත්පිරිත් බලයෙන්ම බව
ඔබ දත යුතු

 

මෙවැනි කවි සංකල්පනා රැගත් පසළොස් පැය ජනගත කළදා ඒවා 'කියවීමට' දීපිකා ප්‍රියදර්ශනී, ප්‍රදීපා ධර්මදාස, ඉන්දිකා උපමාලි, සමන් ලෙනින්, නිලක්ෂි හැලපිටිය මෙන්ම අපූර්ව නාටකීය බවකින් අරුත් නංවන්නට මාධනී මල්වත්ත පදනම් ආයතනයේ වේදිකාව යොදාගත් අයුරු මනරම්ය. බන්ධුල නානායක්කාරවසම්ගේ සම්ප්‍රවේශනයට අනුව සම්භාෂණ මණ්ඩපයේ රස කතා අතර මහාචාර්ය ආරියරත්න ඇතුගල 'නිර්මාණාත්මක රචනය හා සාහිත්‍ය විෂයක පඨනය' පිළිබඳවද, ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් 'අඩසියවසක සහගාමී සදාශ්‍රය හා මධුමුදිත සෞන්දර්යය' පිළිබඳවද දෙසුම් කළ අතර නිරන්තර තරුණයන්ට, නවකයන්ට අවස්ථාව සලසන අප කාගේත් 'බුද්ධි අය්යා' නම් වූ කවියා වෙනුවෙන් 'ජීවිතයෙහි කවිය හා කාව්‍යයෙහි ජීවිතය' පිළිබඳ ධනුෂ්කා නිෂාදි කුලරත්න අදහස් පළ කළාය.

පසළොස් පැය සමඟ නිකුත් වූ එදවස සොඳුරුමය -6 තීරු ලිපි සංග්‍රහය ඔහු සඳහන් කර තිබුණේ කලාලොව සැරිසර නිනාදය ලෙසය. අප දිනමිණ පුවත්පතේ බද්දර මල්ලට බුද්ධදාස ගලප්පත්තීන් විසින් වසර හයක් පුරා ලියන ලද තීරු ලිපි සංග්‍රහයේ හයවැනි වෙළුම එයයි. කවියට මෙන්ම තීරු ලිපියට පොදු ලක්ෂණයකි කෙටි බව සහ අතිශයින්ම යෝග්‍ය වචන යෙදුම. ඒ පිළිබඳ ලේඛකයාගේ අදහස මෙසේ විය.

"පුවත්පතක පළ වුණු තීරු ලිපියක් නැවත මුද්‍රිත පොතකින් කියවන්න පාඨකයන් කැමැති වීමම සතුටක්. වසර හයක් තිස්සේ තීරුවක් පවත්වාගෙන ඒම කියන්නෙ අමාරු වැඩක්. සමහර වෙලාවට විෂයයක් සොයාගැනීමත් අපහසු වෙනවා. කොහොම වුණත් තීරු ලිපි වගේම කවි සඳහා භාෂාව, වාග්කෝෂය, කාව්‍යාත්මක යෙදුම්, උචිත ධ්වනිය, කඨොරත්වයෙන් මිදුණු බව, සංස්ක්ෂිප්ත බව වැදගත් වෙනවා. අපේ තීරු රචකයන් බහුතරයක් සැලකුවොත් ඔවුන් කවීන්. චන්ද්‍රරත්න මානවසිංහ, දයාසේන ගුණසිංහ, සිරිලාල් කොඩිකාර වැනි අය සාර්ථක වුණේ කවියෙන් කෙටියෙන් අදහස් කීමට හැකි වීම තීරු ලිපියටත් පිටිවහලක් වුණ නිසා කියා සිතෙනවා. හැබැයි මේ සියලු දෙය සමඟම පැරැණි සහ නූතන වගේම ලෝක සාහිත්‍යය පිළිබඳ දැනුම ඕනෑම ලේඛකයකුට වැදගත්."

කවිපොත් නිකුත් කළ රිද්මය අනුව බලන කල 2020 වසරේ අපට ඔහුගේම කවිපොතක් බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් වෙනත් නිර්මාණ කාර්යයකට ඉඩක් තිබිය යුතුමය.

"මේ වසරේ බොහෝ දුරට කෙටිකතා පොතකට ඕනෙ දේවල් ටික ඔළුවේ කැරකෙනවා. ඒ වගේම අලුත් කවි කිවිඳීයන්ගේ නිර්මාණ ඇතුළත් කවි මිහර 4 වැනි වෙළුමත් එළිදක්වනවා"

 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.