අඹ යහළු අනුර

පෙබරවාරි 27, 2020

ජීවිතය වූ කලී උපතත් ආදරයත් මරණයත් අතර  දෝලනය වන බිම්කඩක් යැයි විටෙක මට සිතෙයි. මෙකී ජීවිත වට වන්දනාවේදී සත්‍යය පසක් කරගන්නට  වැර දරමින් වන්දනාකරුවන් වූ අප මේ  නම් ගමන් කරන්නේ කුමන දිශානතියකටදැයි මම මගෙන්ම ප්‍රශ්න කරමින්  සිටිමි. ආදරය, කරුණාව, දයාව  යන මිනිස්  දහමින් තොරව  ජීවත්වන සමාජගත අප වටා උන් සුමිතුරෝ  එකිනෙකා හැරගොසින්  සිටිති. සමහරුන් හැරගොසිනි. සදහටම හැරගියෝද වෙති.  මා සහෘද  සුමිතුරු අනුර මාධව  ජයසේකර  සිය දිවි ගමන් මග හැරගිය පුවත මට  හෙළිකළේ මනෝහාරි හේවාවසම් හා අජන්ත අලහකෝන්ය.

පෙරේදා  උදෑසන මා සමඟ කථා කළ අනුර අද උදෑසන මියගියේ  එක්තරා දෛවයෝපාගත සිදුවීමකින්ද? මම එය නොදනිමි. එහෙත්  ආදරණීය මිතුරු  අනුර මිය ගිය බව කෙසේනම් දරාගන්නද?

අනුර  ගැන සරසවියට  ලියන්න යැයි  සරසවිය කතුතුමන්වන අරුණ ගුණරත්න මා හට  පැවසුවේ  මා අනුරගේ දේහය අසල සිතින් වැලපෙමින් සිටින විටය.

ඉතින් අනුර ඔබ ගැන මා කුමක් නම් ලියා තබන්නද? මේ සියල්ල අතීතයට ගොඩවැදී අඳුරු ගබඩාවල නිදන්ව ඇති මතක වේදනා යළි ස්මරණය කිරීමක්ම පමණකි.

මා අනුර  මාධව  ජයසේකරයන්ව මුලින්ම දුටුවේ  ජාතික රූපවාහිනියේදීය. 1983 ඔක්තෝබර් මස 03 දින  රූපවාහිනියට  බැඳුණු මුල්ම  සහාය අධ්‍යක්ෂවරු ගොන්නේ  අනුරද විය. අනුර, දයාරත්න රටගෙදර, අතුල රන්සිරිලාල්, විමලරත්න අධිකාරී,  සුදත් සේනාරත්න, අජිත් ජිනදාස මා ඇතුළු  තවත් මිතුරු මිතුරියන්  ගොන්නක් හා රූපවාහිනියට  ආ අප විවිධ අංශවලට බෙදී සේවය කරන්නට  පටන් ගතිමු.  සහෘද අනුර  අපි මිතුරු ගොන්නේ හුන්  සියල්ලන්ටම  වඩා ගැඹුරු, නිදහස් චින්තනයකින් යුත්  අයෙකු බව මා තේරුම් ගත්තේ වැඩිකල් යාමටත් මත්තෙනි. ඔහු තුළ එකල කැපී පෙනෙන ලක්ෂණය වූවේ නිදහස් වාමාංශික දේශපාලනික සිතුම් සමුදාය බව මට  අද  මෙන් මතකය. සිය වාමවාදී දේශපාලන ආස්ථානය නිසා බොහෝවිට අනුර  තැන නොතැන බලා කතා කිරීමෙන් භද්‍ර  යෞවනයේදීම ඔහුට  අනිටු වූ දේද බොහෝය.

1988 දී මුල්වරට  ජාතික රූපවාහිනිය  වෙනුවෙන් ‘අඹ යහළුවෝ’ ටෙලි නාට්‍යය  රචනා කර  නිර්මාණය කරනවිට මුලින්ම ඒ ගැන කතාබහ කළේද  අනුර මාධව සමඟය. එකල 23 වැන වියේ පසුවු අප විසින්  පරම්පරා තුනක් කියවා රසවිඳි අඹ යහළුවෝ පුංචි තිරය මතින්  කා දමන බවට  බියෙන් රූපවාහිනී බලධරයන් එය  නවතා දමන්නට පියවර ගන්නා විට මා ශක්තිමත් කළේ අනුරය. දේශපාලනයද  ඊට  එකල හරස් විය. “සුදත් ඉලංගරත්න මහතා ඉඹ්ජ්ර්‍ථ. ඒ නිසා  රූපවාහිනී බෝඩ් එක ‘අඹ යහළුවෝ’ හදන  එක  එපා කියලා මිනිට්ස් ගහලා ජ්ඪතඥ  එකේ. උඹ උන්ට  කියපං  ඉලංගරත්න සර් දැන් දේශපාලනය කරන්නේ නැහැ. විශ්‍රාමිකයි කියලා. ආයේ අවසර ඉල්ලලා  ලියුමක් රූපවාහීනි බෝඩ් එකට දාපං.” යයි කියා  මා සැනසුවේ  අනුර මාධවය. එක්සත් ජාතික පක්ෂ ජේ. ආර්. ජයවර්ධන යුගය  එවකට පැවැති  නිසා එකල අඹ යහළුවෝ අනුමැතිය ලබා ගැනීම අතිශයින් බැරෑරුම් වීය.

අනුරත් මමත්  එකල මිත්‍ර ගිවිසුමක  සිටියෙමු. ඒ ‘අඹ යහළුවෝ’ ටෙලි නාට්‍යයක් ලෙස  කරන්නට  අපට  අවසර ලැබුණොත් ඔහු එහි සහාය  අදියුරු වී මට  උදව්වන පොරොන්දුව මතය. එහෙත් රූපවාහිනියෙන් අඹ යහළුවෝ හි  සහාය අධ්‍යක්ෂ වීමේ අවසරය අනුරට නොලැබුණි. එනමුදු ඔහු මා අතැර නොගියේය.  ගල්බණ්ඩා වෙනුවෙන් හේමසිරි ලියනගේ  හෝ ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවේගමද, නෙළුම්  කුමාරිහාමි වෙනුවෙන් අනුලා කරුණාතිලක ලබා ගැනීටද  ඔහු කළ සම්මාදම  මට  තවමත් මතකයේ රිදුම් දෙන්නකි.  ඒ තරමටම  අනුර මාහට උපකාර කළ අඹයහළුවාම වීය. උපාලි ආරියසිරිත්, පත්මසිරි  ප්‍රනාන්දුත් මට  සහාය දෙනවිට අනුර මාධව  නිල  මට්ටමෙන් බැහැරව මා දිරිගැන්වූ එකම  සගයාම විය.

රූපවාහිනියෙන් බැහැරවීමත් සමඟම  මා  අනුරද  මෙරට  ටෙලිනාට්‍ය  මාලාවේ උන්නතිය වෙනුවෙන්  බොහෝ වෙහෙස මහන්සිවූ සහෘදයකු විය.

ඔහු විසින් නිර්මාණය කරන ලද ‘චක්‍රයුධ‘ මෙරට  වීර  ටෙලිනාට්‍ය කලාවේ මූලාරම්භය බව බොහෝ අය  නොදනිති. එහෙත් රූපවාහිනියට  වීර කතා  සම්ප්‍රදාය සම්භවය ලෙසින් ප්‍රති නිර්මාණය කළ මුල්ම නිර්මාණකරුවා ඔහුමය. පෑලදොරින්, චක්‍රායුධ, මහතලා හටන, සුර්ය භානු, ඇතුළු  නාට්‍ය රැසක් නිර්මාණය කළ අප මිතුරා  අනතුරුව ටෙලිනිය ගරු සභාපතිධූරයෙන්ද? ධ්ඊව් වැඩසටහන්  උපදේශක වශයෙන්ද මහවැලි ආයතනයේ  මාධ්‍ය අධ්‍යක්ෂ  ධූරයෙන්ද  හොබවනු ලැබුවේ ඔහු සතුව පැවති  මාධ්‍ය  නිපුණතාවය නිසාමය.  ටයිටස්  තොටවත්තයන්ගේ සියලු  මුල් කාලයේ හඬකැවීම්  නිර්මාණයන්හි  අතුල හා සමව කටයුතු කළ අනුර ලේඛකයෙක්, විචාරකයෙක් මෙන්ම අපුර්ව නිර්මාණ ශක්ති ප්‍රතිභාවයකින් හෙබි මානවවාදියෙකු බව මා  සඳහන් කරන්නේ නිහතමානීවය.

එහෙත්  අනුර මාධවයන් සතු  එකී දැනුම් සම්භාරය මෙරට මතු පරපුර  වෙනුවෙන් යොදා ගන්නට වර්තමාන මාධ්‍ය ආයතන හා රජයට  ඇවැසි වූවාදැයි යන්න ප්‍රශ්නයකි. දැඩි ලෙස  රෝගාතුරව, මරණයේ දොරකඩ සිටිමින් ඔහු වරක් මා  අත අල්ලා ප්‍රශ්න කළේ සුදත් අපි උත්සාහ කරපු කිසිදෙයක්  අද  අපට  වැඩක් වෙන්නෙ නැහැ නේද යනුවෙනි. සේකරත්, මාර්ටින් වික්‍රමසිංහත්,  සරත්චන්ද්‍ර සර්රුත්  කිව්ව දේවල්  හරියට හරි සුදත්. ඔහු  කීවේ  අසීරු ලෙස හුස්ම ගනිමිනි.  ඒ මීට මාස කීපයකට පෙරය. සුවවූ ඔහු නැවත අප  අතරට ආවේ නව බලාපොරොත්තු ඇතිකරගෙනය. එහෙත් ඒ සියලු  හදපිරි බලාපොරොත්තු  එක්වරම නැවතිනි. අප සුමිතුරාණෝ නොඑන ගමන් ගොසිනි.

ඉතින් අනුර,  යස ඉසුරු, පසුපස ලුහුබඳින මිනිසුන්  අතර  ලද දෙයින් තුටුව ජීවත්වන්නට වැර දරන ඔබටද  අපටද මරණය නියත බව සැබෑය. එහෙත් ඔබ මියගියේ   යා යුතු  මොහොතක  නොවන  බව මා ආත්මය  මට  පසක් කරවයි. මිය යා නොයුතු පැයක ඔබ මිය ගොසිනි. අනුර  ජීවිතය වනාහි අපට  සරදම් කරන ගංගාවක් වැන්න. එහි නැගෙන දියවර  අතර  ජීවිතයේ රමණිය, මරණීය බව  ඔබ පසක් කරගත් බව මම  දනිමි. මගේ කාලයේ  මට  හමුවූ ජීවිතය සරදමක් වූ මිතුර දිවි රස  නුසුන්කර විඳින්නට  දිරි දැරූ මිතුර  අඹ යහළුවකුගේ වියෝව  දරාගත නොහැක්කකි. එහෙත් මෙලොවින් සමුගැනීමේ පරම සුවදායක  ගමනක ප්‍රාරම්භයක් බැවින් ඔබට මුළු හදින් සුබ  පතමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.