අජන්තා ගැන තවත් නොකී කතා

අජන්තා නැත්නම් මාත් අස් වෙනවා
මාර්තු 12, 2020

පාසල් අධ්‍යාපනයෙන් පසුව අජන්තා ස්වකීය දිගුකාලීන සිහිනය සැබෑ කර ගනු පිණිස ලේක්හවුස් ආයතනයට ඉල්ලුම්පතක් ඉදිරිපත් කළේය. තරඟ විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින් සමත් වූ ඔහු හට පත්තර මහ ගෙදරට එක්වීමට වරම් ලැබිණ. තමාට සමකාලීන පසුකලක සුප්‍රකට  මාධ්‍යවේදීන්, අග සකසුවන් බවට පත්  වූ සිරි රණසිංහ දිනමිණ පුවත්පතටත් මෙරිල් පෙරේරා ජනතා  පුවත්පතටත් අජන්තා සරසවිය පුවත්පතටත් පැමිණියේ 1965 වසරේ එකම දිනකදීය. එවක සරසවිය පුවත්පතේ ප්‍රධාන කතුවරයා වූයේ විමලසිරි පෙරේරා මහතාය.  තාරුණ්‍ය අරභයා ලිපි පෙළක් ලිවීමට ඔහුට පළමුවෙන්ම අවස්ථාව ලැබිණ. එසේම මැද පිටුවේ සාරගර්භ විශේෂාංග ලිපියක් ලිවීමට ද  කතුවරයා ඔහුට පැවරුවේය. සරසවිය එකල සිනමාවට පමණක් සීමා වූ පුවත්පතක් නොවූ අතර සියලු සාහිත්‍ය කලා අරභයා එහි විවිධ ලිපි පළ කෙරිණ. ඒ අනුව විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්  සොයා ගොස් සම්මුඛ සාකච්ඡා කොට ලිපි ලිවීමට අජන්තා උත්සුක විය.  යූ. කේ. එඩ්මන්ඩ්, ලීල් ගුණසේකර, ගුණදාස අමරසේකර ජී. බී. සේනානායක, ඩී. එම්. කොළඹගේ, හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න යනාදීන්ගේ මෙන්ම පසුකලක ස්වකීය නැන්දණිය බවට පත් වූ කෝකිල දේවි වීරතුංග ගැන ද අජන්තා විශේෂාංග ලිපි ලීවේය. 

ඒ යුගයේ පත්‍ර කලාවේදීන්ට මෙකල මෙන් බහුලව ප්‍රවාහන පහසුකම් නොලැබිණ .

යොවුන් පත්‍ර කලාවේදියකු ලෙස අනේකවිධ දුෂ්කරතා ආදියට මුහුණ දෙමින් අජන්තා එහිලා ඇප කැප වූයේය. එහිදී මුහුණ පෑ         දුෂ්කර අවස්ථා, කටුක අත්දැකීම් බොහොමයක් පසුකාලීනව ඔහු මා සමඟ කීවේය. වරක් සංලාපයක නියැළී සිටිද්දී අපේක්ෂා නොකළ පැනයක් ජී. බී. සේනානායකයෝ ඔහුගෙන් විමසූහ.

 “ඔබ කර්තෘ මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙක්ද?”

තමා සේවා පරිවීක්ෂා කාලයේ (Probation) සිටින්නකු බවත් තවමත් ස්ථිර සාමාජිකයකු නොවන බවත් ඔහු කීවේය.

 “ඔය බවක්  කලින් මං දන්නවා නම් ඔබට සාකච්ඡාවක්වත් දෙන්නේ නැහැ” යැයි ජී. බී. කෝපයෙන් කියා සිටියේය. 

එවක කෑගල්ලේ දිසාපතිවරයා වූ ලීල් ගුණසේකරයන් හමු වී සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට ගිය අජන්තාට ඒ අවස්ථාවේ ඔහු හමු නොවුණි. එහෙත් උත්සාහය අත් නොහළ අජන්තා ලීල් ගුණසේකරයන්ගේ නිල නිවෙස අසල කඩයකට ගොස් රොටියකින්  හා ප්ලේන්ටියකින් සප්පායම් වී  එහි අගුපිලක තිබූ බංකුවක නිදා ගනිමින් රාත්‍රිය ගත කළේය. පසු දින උදෑසන ලීල් හමු වී තම කාර්ය සඵල කොට ගැනීමට ඔහුට අවස්ථාව ලැබිණ.

මේ හැරුණු විට විවිධ සමාජ ප්‍රශ්න පිළිබඳව ද ලිපි පෙළක් අජන්තා රචනා     කළේය. “ඒත් අපේ මිනිස්සු” “මේත් අපේ මිනිස්සු” යන ශීර්ෂ පාඨවලින් මේවා එකල පළ විය. 

එකල අජන්තා කාන්තාවන් අරභයා සරසවිය පුවත්පතෙහි ලියූ ලිපියකට විමලසිරි පෙරේරා මහතා ශීර්ෂ පාඨය යෙදුවේ මෙලෙසිනි. “මෙවන් අවසර තැන ගැහැනු කවුරුද වරද නොබැඳෙන”. එකල පළ වන අලුත් පොත් පත් පාඨකයන්ට හඳුන්වාදීමේ කාර්යයද අග සකසු විමලසිරි අජන්තාට පැවරුවේය. ඇරැව්වල නන්දිමිත්‍ර, කරුණාරත්න අබේසේකර, මු. අරුක්ගොඩ, කරුණාරත්න සපුතන්ත්‍රි, සිබිල් වෙත්තසිංහ, ලැටීෂියා බොතේජු යනාදීන්ගේ අලුත් පොත් හඳුන්වාදීමට අජන්තා ඒ තීරු ලිපිය වෙන්  කළේය.

සරසවිය පුවත්පතේ සේවය කළ පරිවීක්ෂා කාලය තුළ මසක වේතනය ලෙස අජන්තාට ලැබුණේ රුපියල් එකසිය විසි පහකි. එකල අවිවාහකයකුට මේ මුදල ප්‍රමාණවත් විය. එවක අජන්තා නවාතැන්ගෙන සිටියේ බම්බලපිටියේ කඩයක උඩ තට්ටුවේ කාමරයකය. එය චිප් බෝඩ්වලින් සකස් කළ කොටස් තුනකට වෙන් කළ කාමරයකි. මැද කොටසේ අජන්තා සිටි අතර දෙපස තිබූ කාමර දෙකේ වෛද්‍ය ශිෂ්‍යයෝ දෙදෙනෙක් සිටියහ. ඔවුන්ගෙන් මාසිකව වැටුපක් ලැබුවේ අජන්තා පමණි. එහෙයින් මේ ශිෂ්‍යයෝ ඔහුගෙන් අතමාරු හෝ සිගරට් ඉල්ලීමට පුරුදු වූහ. අජන්තාගේ අනුකම්පාව ඔවුන්ට හිමි වූයෙන් භාගෙට ගසා තිබූ චිප් බෝඩ් උඩින් ඔවුන් ඉල්ලා සිටින පැත්තට සල්ලි හෝ සිගරට් විසි කිරීම මේ බෝඩිමේ සුලබ දසුනක් විය.

අජන්තා නුගේගොඩ පදිංචි වී සිටි මුල් කාලයේ “හෙළ කලා කෙත” නමින් සංවිධානයක් ආරම්භ කොට එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වූයේය. පසුගිය ලිපියේ මවිසින් දක්වන ලද අජන්තාගේ සත් මිතුරු හවුල මේ සංගමය වටා ඒකරාශි වූහ. මිතුරන් හත් දෙනා හැරුණු විට පියසිරි නාගහවත්ත ද ඊට එක් වී සිටියේය. 

මේ වකවානුවේ අජන්තා “සිළුමිණ” පුවත්පතෙහි කවි පිටුවට වරින්වර කවි ලීවේය. එවක සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා වූ මීමන ප්‍රේමතිලක මහතා දිනක් ලේක්හවුස් කොරිඩෝවේදී ඔහුට මුණ ගැසිණ.

 “ළමයෝ ආස නැද්ද සිළුමිණට වැඩ කරන්න. ඔය ළමයට සරසවියේ වැඩ කරනවට පඩිය කීයක් ලැබෙනවද? මම ඒ ගාණට වඩා රුපියල් 50 ක් වැඩිය ගෙවන්නම්. කැමැති නම් මාව ඇවිත් හම්බ වෙනවා” මීමන ප්‍රේමතිලකයෝ කීහ. එහෙත් හිමි වූ වැටුපට වඩා රුපියල් 50 ක් ලැබීම හොඳ වුවත් පත්‍ර කලාවේ හා හා පුරා කියා අත පොත තැබූ සරසවිය පුවත්පත හැර යෑමට අජන්තා කැමැති නොවුණි. සාහිත්‍ය කලාවට අජන්තාගේ තිබූ ඇල්ම නිසා සරසවිය පුවත්පතට ඔහු යොමු කරන ලද්දේ එවක ලේක්හවුස් කළමනාකාර අධ්‍යක්ෂ  එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා විසිනි.

1966 වසරේදී අජන්තාට ජීවිතයේ දෛවෝපගත සිදුවීම් කිහිපයකට මුහුණපෑමට සිදු විය. විමලසිරි පෙරේරා මහතා ප්‍රවීණ ගායන ශිල්පිනී කෝකිල දේවි වීරතුංග මහත්මියගේ විශේෂාංග ලිපියක් ලිවීමට ඔහුට පැවරුවේය. මේ ගමනේදී තම අනාගත බිරිය හමු වේ යැයි ඔහුට කිසි විටකත් නොසිතිණි. කෝකිල දේවි සමඟ සම්මුඛ සාකච්ඡාවෙහි නියැළී සිටිද්දී ඇගේ දියණිය සරෝජිනි අමාලිය ඔහුට තේ කෝප්පයක් රැගෙන ආවාය. ඇය දුටු සැණින් අජන්තාට පෙමාතුර හැඟුම් පහළ විය. අජන්තා සරෝජිනි පිළිබඳව හදෙහි නැඟුණු පෙම් සිතුවිල්ල මුල්වරට හෙළි කළේ කෝකිල දේවි පවුල හා සමීප ඇසුරක් පැවැත් වූ ප්‍රවීණ සිතාර් වාද්‍ය ශිල්පී, සංගීතවේදී කුලරත්න තෙන්නකෝනුන්ටය. දෙදෙනාගේම හඳහන් ගැළපුණොත් පමණක් ඒ ගැන කතා කිරිමට කුලරත්න පොරොන්දු වූයේ කෝකිල දේවියගේ පවුලේ දැඩි නීති රීති ඔහු දැන සිටි හෙයිනි. හඳහන් ගැළපුණු බැවින් නිවසට ගොස් සරෝජිනිය සමඟ කතා කිරීමේ අවස්ථාව අජන්තාවන්ට ලැබිණ. “ආරාධනා” නමින් ඔහු ඇය ගැන ලියූ කවියක් එදා සිළුමිණ පුවත්පතෙහි පළ කරන ලද්දේ සුනිල් මාධව ප්‍රේමතිලක විසිනි. කෝකිල දේවියගේ පවුලේ උදවිය ලේක්හවුසියෙන් අජන්තා ගැන වගතුග සොයා බැලීම ආරම්භ කොට තිබිණ. සාවද්‍ය ආකල්පයක් හේතු කොට ගෙන  සරසවිය අග සකසු විමලසිරි පෙරේරා අජන්තා ගැන කලකිරී සිටියේ ඒ අතරතුරදීය. එනම් සරසවිය පුවත්පතේ නාමය භාවිත කරමින් යුවතියක් විවාහ කර ගන්නට ප්‍රයත්න දරන්නකු ලෙස ඔහු ගැන වැරැදි චිත්‍රයක් විමලසිරි පෙරේරාගේ සිතේ ගොඩනැඟී තිබිණි. මෙහි අසත්‍යතාව ප්‍රධාන කර්තෘතුමාට පැහැදිලි කොට දීමට අජන්තා දැරූ උත්සාහය නිරර්ථක වූයේය. “සරසවියට අජන්තා තවදුරටත් අනවශ්‍ය බව“ විමලසිරි පෙරේරා කියා සිටියේය. තමා දිගු කාලයක් සිහින මැවූ පත්‍ර රස්සාව සේම යාන්තම් හරියාගෙන එමින් තිබූ පරස්තාව ද අහිමි වන බව අජන්තාට දැනිණ. එහෙත් භාග්‍යයකට ඔහුට සිදු වූ අකරතැබ්බ ගැන කම්පාවට පත් වූ මිතුරෙක් සිටියේය.  ඔහු සුනිල් මාධව ප්‍රේමතිලකය.  සුනිල් තම පියාණන් වූ මීමන ප්‍රේමතිලකයන් වෙත අජන්තා කැටුව ගියේය.

 “තාත්තේ අජන්තා රස්සාවට ගත්තේ නැතිනම් මමත් රස්සාවෙන් අස් වෙනවා” අජන්තාගේ අත තරයේ අල්ලා ගත් සුනිල් මාධව තම පියාණන්ට අවධාරණය     කළේය.

 “මේ ළමයට මගේ ළඟට එන්න කියලා මං මීට කලිනුත් කිව්වා. කෝ අවේ නැහැනේ” මීමන ප්‍රේමතිලකයෝ පැවසූහ. අජන්තා සිළුමිණ කර්තෘ මණ්ඩලයට බඳවා ගැනිණ. ඔහුට සිළුමිණ පුවත්පතෙහි  කතු වැකි ලිවීමට මුලින්ම කියා දෙන ලද්දේ මීමන ප්‍රේමතිලක මහතා විසිනි. රුපියල් එකසිය හැත්තෑ පහක මාසික වේතනයක් අජන්තාට ලැබිණ. හය මසකට පසුව අජන්තා දිනමිණ කර්තෘ මණ්ඩලයට එක් වූයේ ස්ථිර සේවකයකු ලෙසිනි. එවක  දිනමිණ ප්‍රධාන කර්තෘවරයා වූයේ ධර්මපාල වෙත්තසිංහ මහතාය. 

ඉතිරි කොටස ලබන සතියේ

සරසවිය දුරකතන අංක 0112-429586-587

Add new comment