“එදා රෑ” රඟපෑ ඉංග්‍රීසි පත්‍ර කතුවරිය සීතා ජයවර්ධන

මාර්තු 12, 2020

‘එදා රෑ’ චිත්‍රපටය එදා (1951) පුවත්පතක් හඳුන්වා දුන්නේ එය ‘මහ රැ හැදූ ලංකාවේ මුල්ම චිත්‍රපටය’ ලෙසය. ලංකාවේ ප්‍රථම චිත්‍රාගාරය වූ කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ  දවල් කාලය ලබා නුදුන් බැවින් ශාන්ති කුමාර්ට රාත්‍රී කාලායේ රූපගත කිරීම් බොහොමයක් කිරීමට සිදු විය. ‘එදා රෑ’  චිත්‍රපටයේ සීතා රඟපෑවේ මුදලිඳු කෙනෙකුගේ දියණියක් වු චන්ද්‍රා ලෙසය. 

මදු රජ - (කුස රජුට) ඔබ වහන්සේ අපේ ඉෂ්ට දේවතාව වගේ, අපිව මේ අනතුරකින් ගලව ගත්තා. ඔබ වහන්සේගේ පිහිට ලබන්න අපි වටින්නේ නෑ. නොදැනුවත්ම මගේ    අතින් වුණා වාගේම මේ මගෙ දුවගෙ අතින් වෙච්ච වරදටත් සමා වෙන්න.

(පබාවතී ඔහු ඉදිරියේ දණින් වැටේ. ඔහු ඇය ඔසවයි)

කුස රජ - කාගෙ අතිනුත් වැරදි සිද්ධ වෙනවා. ඒවට සමාවෙන එක තමයි උසස් ගුණය. මගේ අතිනුත් වැරදි කෙරුණෙ නැතෙයි කියලා මම කියන්නෙ නෑ.

පබවතී - ඔබ වහන්සේට මම  දිගටම වැරදි කළා. නමුත් ඔබ වහන්සේ මට කළේ එක වරදයි. 

1952 සැප්තැම්බර් මස 15 වෙනිදා ලංකා විශ්විවිද්‍යාලයේ සිංහල නාට්‍ය මණ්ඩලය මඟින් ජෝර්ජ් රාජ ශාලාවෙහි වේදිකා ගත වූ එදිරිවීර සරච්චන්ද්‍රගේ “පබාවතී” නාට්‍යයේ පබාවතී ලෙස රඟපෑවේ ඇල්. ඩිංගිරි බණ්ඩාය, ඔක්කාකා රජ ලෙස ටී. ඊ. ද ඇස්. ලීලානන්ද ද, සීලවතී බිසව ලෙස පුණ්‍යා සේනානායක ද, කුදී ලෙස අයිලින් සරච්චන්ද්‍ර ද රඟපෑහ. එදා පබාවතී ලෙස රඟපෑ සීතා ජයවර්ධන පසුව චිත්‍රපට නිළියක් ද වූවාය. එහෙත් චිත්‍රපට දෙකක් ඇය අතින් ගිලිහී ගිය බව පවසා ඇත්තේ සංවේගයෙනි. 

සීතා කලාවන් කිහිපයක නිපුණතා දැක් වූ කලාකාරිනියකි. ඇය නෘත්‍ය ශිල්පිනියකි, සිනමා නිළියකි, චිත්‍ර ශිල්පිනියකි, පත්‍ර කලාවේදිනියකි, ඡායාරූප ශිල්පිනියකි. සීතාගේ නිර්ව්‍යාජ, දයාබර ආදරණිය සිනාව “ටයිම් ඔෆ් සිලෝන් වාර්ෂිකයේ සඳහන්ව තිබුණේ මහා කවි රබින්ද්‍රනාත් තාගෝර් විසින් “ජගත් සුන්දරත්වය” නම් මාතෘකාව හඳුන්වා දෙමින් මේ ආකාරයටය. 

‘කොතැනක කෙසේ කවදා කුමක් උදෙසා  තී සිනාසීම ඇරඹුයෙහිද?   තිගෙ සිනාව

 කිසි විටෙකත් පර නොවන්නේද’

සීතාගේ රූපය ද අංග සම්පූර්ණ කලාවක් වැනි යයි ද ඇගේ මුව සිනාවෙන් තොර අවස්ථාවක් දකින්නට නැතැයි එම සඟරාවේ ලියුම්කරු ලියා තිබුණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූ සීතා සිංහල චිත්‍රපටයක රඟපෑ මුල්ම උපාධිධාරිනියයි. (දෙවැනියට - අයිරාංගණී මීදෙනිය පසුව සේරසිංහය).

1925 ඔක්කෝබර් 30 වැනිදා උපන් සීතා ජයවර්ධන ශාන්ති කුමාර් සෙෙවිරත්නගේ ශාන්ති නෘත්‍ය කලා නිකේතනයෙන් නැටුම් හැදෑරුවාය. කථකලි, මනිපුරි නැටුම් ගැන විශාරදත්වයක්  දැරූ ඇය 1948 නිදහස් දිනය නිමිත්තෙන් පැවැත් වූ ‘පැජන්ට් ඔෆ් ලංකා’ ප්‍රසංගයේ නැටුම් ශිල්පිනියක් ලෙස හැකියාවන් විදහා පෑවාය. ඊට කලින් 1946 ශාන්ත කුමාර්  සෙනෙවිරත්න         නිෂ්පාදනය කළ ‘අශෝක මාලා’ කෙටි බැලේ ප්‍රසංගයේ සීතා ද, සුජාතා ද සිල්වා (පසුව ජයවර්ධන), වයලට් මෙන්ඩිස්, ඩී. එන්. පී. දිසානායක, බක්මීවැව, බටුගෙදර, ඇග්නස් පෙරේරා සමඟ රඟපෑහ. බම්බලපිටියේ සාන්ත පීටර් විද්‍යාල ශාලාවේදී 1949 ශාන්ති කුමාර් සමඟ සීතා, සුජාතා ද සිල්වා හා ශිෂ්‍ය පිරිසක් සමඟ නර්තන ලීලා ප්‍රසංගයක් පවත්වා ඇත. 1950 රාජකීය විද්‍යාලයේ දී සමස්ත ලංකා නාට්‍ය උත්සවයේ සීතා ද, සුජාතා ද, නීලා බාලේන්ද්‍ර සමඟ එක් වී පෙරදිග නර්තන අංග ඉදිරිපත් කර ඇත. මේ තෙරතුරු මා උපුටා ගත්තේ මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් ලියූ ‘ශ්‍රී ලංකා නර්තනයේ විකාශය (1908 - 1987)’ කෘතියෙනි. 

පළමුවැනි සිංහල කථානාද චිත්‍රපටය නිපදවීමේ බලාපොරොත්තුවෙන් ඉන්දියාවට ගොස් 1947 දී සැලසුම් කළ ශාන්ති කුමාර් සෙනෙවිරත්න සම අධ්‍යක්ෂණය කළ ‘අසෝක මාලා’ චිත්‍රපටයේ අසෝක මාලාට තෝරා ගෙන සිටියේ සීතාවය. එහෙත් ඇය ලන්ඩනයේ ඉගෙනීම සඳහා ගිය නිසා ඒ සඳහා එමලින් දිඹුලාන තෝරා ගැනීමට ශාන්ති කුමාර්ට සිදු විය.

 

එහෙත් ශාන්ති කුමාර් දෙවනුව අධ්‍යක්ෂණය කළ “එදා රෑ” චිත්‍රපටයේ රඟපෑමට ඇය ලංකාවට පැමිණියාය.

‘එදා රෑ’ චිත්‍රපටය එදා (1951) පුවත්පතක් හඳුන්වා දුන්නේ එය ‘මහ රැ හැදූ ලංකාවේ මුල්ම චිත්‍රපටය’ ලෙසය. ලංකාවේ ප්‍රථම චිත්‍රාගාරය වූ කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ  දවල් කාලය ලබා නුදුන් බැවින් ශාන්ති කුමාර්ට රාත්‍රී කාලායේ රූපගත කිරීම් බොහොමයක් කිරීමට සිදු විය. ‘එදා රෑ’  චිත්‍රපටයේ සීතා රඟපෑවේ මුදලිඳු කෙනෙකුගේ දියණියක් වු චන්ද්‍රා ලෙසය. ඇය කුඩා අවධියේ සිටම රංජිත්ව (ශාන්ති කුමාර්) ආදරය කරයි. එයට චන්ද්‍රාගේ මව හරස් වෙයි. මවට ඕනෑ වී තිබුණේ තම ඥාති පුත්‍රයකු වූ වික්ටර්ට (මයිකල් සන්නස් ලියනගේ) විවාහ කරදීමටය.  දුසිරිතෙන් පිරි වික්ටර්ගේ චරිතය චන්ද්‍රා පිළිකුල් කළාය. වික්ටර්ට චන්ද්‍රා විවාහ කරදීමට සූදානම් වන බව දැනගත් රංජිත් ගොවි ජනපදයකට ගොස් අප්‍රකටව ජීවත් වෙයි. චන්ද්‍රා හා වික්ටර් විවාහවීමට සතියකට පෙර තමාට අකමැති චන්ද්‍රා බලෙන් කාර් එකේ නංවා ඈත පළාතකට ගෙන යයි. චන්ද්‍රාගේ ප්‍රේමය නැතිව  උන්මන්තකයකුව සිටි රංජිත් බීමත්ව සිටි වික්ටර්ගේ රථයේ හැපී බිම ඇද වැටෙයි.  බීමත්ව සිටි වික්ටර් අධික වේගයෙන් ගිය රථය පාලනය කර ගත නොහැකිව පාරෙන් පිටට පැන අනතුරකට ලක් වී මිය යයි. ඔහු එතැනම මිය යන අතර චන්ද්‍රාට බරපතළ තුවාල සිදු වෙයි. ඇයට සිහිය ලැබෙන විට අනතුරට ලක් වූ රංජිත් ද රෝහලට ඇතුළත් කොට තිබුණි. දෙදෙනාම සුව වූ පසු එකිනෙකා හඳුනා ගනී. අනපේක්ෂිත ලෙස  යළිත් රංජිත් හා චන්ද්‍රා ප්‍රේමාභිෂේක ලැබුහ.

 ‘එදා රෑ’ චිත්‍රපටයේ සීතාගේ රඟපෑම ගැන පුවත්පත්වලින් පුන පුනා කියා සිටියේ ඇගේ ප්‍රතිභාව මේ චිත්‍රපටයෙන් නැති කර ගත් බවය. ලංකා විශ්විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ නිව්මන් ජුබාල්ගේ නිෂ්පාදනය කළ ‘ලිලියෝමි’ ‘ඇන්ටිගනී’ ඉංග්‍රිසි නාට්‍යවල හා සරච්චන්ද්‍රයන්ගේ ‘පබාවතී’ නාට්‍ය රඟපෑ ඇය ඒ ප්‍රතිභාව ‘එදා රෑ’ චිත්‍රපටයෙන් විනාශ කර ගත් බව පත්‍ර කලාවේදීන්, තව හිතවත් පුවත්පත් කලාවේදිනී  සීතා ගැන සඳහන් කර තිබුණේ පත්‍ර කලාවේ ද නර්ථනයේ ද ඇය දැක් වූ දක්ෂතා ඉහළට නංවමිනි.

සීතා ජයවර්ධනගේ ජීවිත තොරතුරු අප්‍රකටය. උඩරට නැටුම් මෙන්ම භරත, මනිපූරි, කථකලි මෙන්ම බටහිර නර්ථනයෙහි ද කුසලතා පෙන්නූ ඇය ලන්ඩනයේ ඉගෙනුම ලබන කාලයේ ලන්ඩන් ඊවිනින් ස්ටෑන්ඩර්ඩ් පත්‍රයේ පත්‍ර කලාවේදිනියකව සිටියදී  පුවත්පත් කලාව ගැන ද ඉගෙන ගෙන ඇත. ලංකාවට පැමිණි ඇය  ‘සිලෝන් ඔබ්සවර්’ පත්‍රයේ ටික කලක් සේවය කොට ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පත්‍රයේ කාන්තා පිටුව සංස්කරණය කළාය. ‘සිලෝන් විමන්’ (ලංකා කාන්තාවෝ)  සඟරාවේ සංස්කාරිකාව ද ලෙස ද කටයුතු කොට ඇත.

සීතා ජයවර්ධන  හිටපු අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකගේ ලේළියකි. ඇගේ පියා කර්නල් සී. පී. ජයවර්ධනය. එවකට දේශීය ආදායම් කොමසාරිස්වරයකු වූ සාලිය පරාක්‍රම සමඟ විවාහ වූ ඇයගේ පුත්‍රයෙකි මහාචාර්ය අර්ජුන පරාක්‍රම.

1951 පවත්වන සමස්ත ලංකා නාට්‍ය සංදර්ශනයේදී මනිපූරි සහ කතකලි නැටුම්වලින් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ සීතාය. 1957 දී ශාන්ති කුමාර්  සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ ‘ජීවිත   සටන’ චිත්‍රපටයේ මව හා දුව යන  චරිත දෙක සඳහා තෝරාගෙන සිටියේය. මුලදී ඇයට චිත්‍රපටය කෙරී ගෙන යද්දී අසනීපවීම නිසා මවගේ චරිතයට අයෙෂා වීරකෝන් තෝරා ගැනීමට  අධ්‍යක්ෂවරයාට සිදු විය. එබැවින් සීතා සුව වී පැමිණි පසු දුවගේ චරිතය රඟපෑවාය. එය සුළු චරිතයකි.

සිංහල සංස්කෘතික ආයතනය ඉදිරිපත් කළ ‘මහවැලි නදී ජීවයේ’ ප්‍රසංගයේ සීතා කළ රංගනයට පුවත්පත්වලින් ප්‍රශංසා හිමිව ඇත. සමස්ත ලංකා නැටුම් ප්‍රදර්ශනයේ භාරත නැටුම් දුටු ප්‍රකට ඉන්දියානු නර්ථන විචාරක ක්‍රිෂ්ණ අයියර්ගේ විනිශ්චය අනුව බරත, කතකලි, මිනිපුරි, යන ඉන්දීය නර්තන පිළිබඳ හතරම දිනා ගත්තේ සීතාය.

1954 දී රාජ්කෆූර්, නර්ගිස් ඇතුළු හින්දි නළු නිළියන් පිරිස සුහද ක්‍රිකට් තරගයට පැමිණි අවස්ථාවේ කඳවල වත්තේ අගමැති සර් ජෝන් කොකලාවලගේ නිවසේදී ඉහළින් කතා කළේ රුක්මණී දේවිගේ ගායනයටත්, සීතා ජයවර්ධනගේ නැටුම්වලට දැක් වූ දක්ෂතාවය ගැනය. ඒ දිනවල පැවැත් වූ ලංකා හා හින්දි නළු නිළියන්ගේ විවිධ ප්‍රසංගයේදී ද සීතා තම හැකියාවන් තුළින් එතෙර නළු නිළියන්ගේ ප්‍රසාදය දිනා ගත්තාය.

චිත්‍ර ශිල්පිනියක් ලෙස ද නිපුණතා  දැක් වූ සීතා  තමාටම ආවේණික සම්ප්‍රදායකින්  චිත්‍ර කලා සම්ප්‍රදායක් අනුගමනය කළාය. එහෙත් මන්ච්, ක්ලී සහ එන්සර් වැනි සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍රවල ආභාසය ඇගේ චිත්‍රවලින් පෙනෙන බව කලා විචාරකයන් පෙන්වා දී ඇත.

සීතා ජයවර්ධන එංගලන්තයට ගිය අවස්ථාවේදී එහි සිටි කලාකාරියන් ගැන සාකච්ඡා කොට ‘ඩේලි නිව්ස්’ පත්‍රයට විශේෂෘංග ලියා තිබුණාය. ලංකාවේ කලාකාරියකට ලන්ඩන් ගොස් එහි ප්‍රකට කලාකාරියන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් කොපමණ ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන්ද යන වග සීතාගේ ගමනින් මොනවට පැහැදිලි වන බව ‘ඉරිදා ලංකාදීප’ පත්‍රයෙහි ලියූ ලිපියක් හෙළි කර ඇත.

 ‘මට ලන්ඩනයේදී මාග්‍රට් ලොක්වුඩ් නමැති ඉතා ප්‍රකට කාන්තාව මුණ ගැසුණා. මගේ ප්‍රශ්නවලට මුලදී පිළිතුරුදීමට මැළි වුණත් පසුව මාව තේරුම් ගෙන කලාව ගැන මගේ  දැනුම ඇය අවබෝධ කර ගත් පසු කරුණාවෙන් පිළිතුරු දුන්නා. ඇගෙන් නර්ථනය ගැන බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණේ මා පත්‍ර කලාවේදිනියක මෙන්ම නර්ථන ශිල්පිනියක් වීම නිසා.’

1951 නොවැම්බර් 09 වැනිදා සිට 15 වැනිදා දක්වා කොල්ලුපිටියේ ඡායාරූප ශිල්පීන්ගේ සංගම් ශාලාවේ සීතා විසින් පවත්වන  ලද චිත්‍ර ප්‍රදර්ශනය බොහෝ කලාකාමීන්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත. ඇය විසින් අඳින ලද චිත්‍ර 50 කින් සමන්විත වූ එම ප්‍රදර්ශනයෙන් අනාවරණය වී ඇති එක ප්‍රධාන කරුණක් වී ඇත්තේ ඇය ස්වාභාවික දර්ශන මෙන්ම ආලේඛ්‍ය චිත්‍ර ගැන ද එක සමාන දක්ෂතා ඇති බවය. තෙල් සායමින් කරන ලද මේ චිත්‍ර සඳහා තමා ග්‍රීට ද ක්‍රෙට්සර් නමැති චිත්‍ර ශිල්පිනිය යටතේ  චිත්‍ර කලාව ඉගෙනීමෙන් ලැබූ ආභාසය නොමඳව තම චිත්‍ර සඳහා ලැබුණු බවය. එහෙත් ඇගේ චිත්‍ර කලා සම්ප්‍රදාය ඈටම ආවේණික වූ ඈ විසින්ම ඇගේ ශෛලියෙන් නිපදවා ගත් ශෛලියක් බව කලා විචාරකයෝ පෙන්වා දී තිබුණි.

අවසන්වරට සීතා රඟපෑවේ 1962 වසරේ තිරගත වූ ශාන්ති කුමාර් සෙනෙවිරත්න  අධ්‍යක්ෂණය කළ ‘සංසාරේ’ චිත්‍රපටයේය.

1978 වසරේ සීතා ජයවර්ධන මිය යන විට ඇගේ වයස අවුරුදු 53 කි.

 

Add new comment