ගිනි ගෙන රත් වුණු දවසක සැනසෙන එක් හැන්දෑවක

”බඹරු ඇවිත්‍”
අප්‍රේල් 23, 2020


හෙලන්, වික්ටර් බේ⁣බි මහත්තයාට ආකර්ෂණය වීම නම් අරුමයක් නොවේ. අරුමය නම්, බේබි මහත්තයා වැන්නෙක් හෙලන් වගේ මුහුදු කරේ පිලී ගඳ ගහන කෙල්ලෙකුට ආකර්ෂණය වීමය. එහෙත් ඔහු එය අපූරුවට සාධාරණීය කරයි. එක් හේතුවක් ලෙස ඔහු පෙන්වන්නේ ‘අපේ අම්මත් වැල්ලේ ගැහැණියක්‘ යයි කියමිනි. තවත් වරක් ඔහු කියන්නේ ‘ ඒකීව බඳින්න වුනත් හොඳයි‘ කියාය.

⁣බේබි මහත්තයා තමාව කසාද බැඳගෙන පාවඩ දමාගෙන කොළඹ කැන්දන් යාවී කියා සිහින ලෝකවල අතර මං වන්නට තරමි බොළද කෙල්ලෙක් නොවේ හෙලන්. ඇයට අවශ්‍ය වන්නට ඇත්තේ තාවකාලිකව හෝ පිලී ගඳ නොගහන මිනිසෙකුගේ සුවඳක් විදින්නටය.

බේබි මහත්තයා පුරාවටම තිබුණේ ධනපති ලක්ෂණයන්ය. හෙලන් ඔහු වෙත ඇදුනේ ඒ ‘පොශ් ‘ගතියටය. බේබි මහත්තයලා වැන්නන්, හෙලන්ල වගේ අයට අත පොවන්න පුළුවන් අය නොවේ. ඔවුන්ට හැකිවෙන්නෙ බේබි මහත්තයලව මතුපිටින් අත ගාන්නට පමණි. හෙලන්ට, එහෙම හරි කමක් නැත. අරක්කු, කසිප්පු බී පිලී ගඳ ගහන සිරිල් ට වඩා විස්කී, බ‍්‍රැන්ඩි බොන, සෙන්ට් සුවඳ ගහන බේබි මහත්තයා වැන්නෙක් අත පත ගෑමට හෝ ලැබීම හෙලන්ට මහමෙරක් ලැබුණා වගේය.

වැල්ලේ ආධිපත්‍ය ඇන්ටන්ට තිබුණේ බේබි මහත්තයා එන තෙක් පමණය. ඇන්ටන්,තම මැර බලයෙන් එය රැුක ගත්තද, බේබි මහත්තයට තිබුණේ විසල් ධනපති බලයයි. එය පැහැදිලිව පෙනුනේ, ඇන්ටන් රඳවා තබා ගත් බලය, බේබි මහත්තයා ඉදිරියේ දියාරු වන විටය.

බේබි මහත්තයා වැල්ලට එන්නේ තාවකාලිකව තම පියාගේ හිඩැස පියවීමටය. පියා අසනීප වී සිටින නිසා ටික කලකට වාඩිය බලාගන්නට එන බේබි මහත්තයා නිසා වැල්ලෙ මහා විනාශයක් සිදුවුනා කීවට, ඔහු නිසා ඔය කියන තරම් ලොකු විනාශයක් සිදුවූයේ නැත. හැම සිදුවීමක්ම සිදුවුනේ ඒ ඒ අයගේ පුද්ගලීක න්‍යාය පත‍්‍රයන් අනුව කරගත්ත ඒවා නිසාය. ඔය සියල්ලම සිදුවුනේ බේබි මහත්තයා වැල්ලේ වාඩියට ආ කාල වකවානුව තුලදි නිසා , ඇන්ටන්ලා, සිරිල්ලා බැලූ‍වේ ඒවා බේබි මහත්තයාගේ ගිනුමට බැර කරන්නටය.

”‍බඹරු ඇවිත්”‍ හී ධර්මසිරි පතිරාජාගේ නිර්මාණශීලි බව විශිෂ්ඨ ලෙස ඉස්මතු වන්නේ මේ කරුණ අරභයාය. මෙහී අභ්‍යන්තරව සැඟවී තිබු ගැඹුරද එය විය.

වැල්ලේ මාළු, තොග ගනනේ මිලදී ගැනීම එතෙක් කල් කරගෙන ගියේ ඇන්ටන්ය. ඉන්පසු වෙන්දේසි පොලක් ඇති කරන්නට සිදුවුනේ බේබි මහත්තයත් එහී ගැනුම්කරුවෙකු වූ හෙයිනි. හොඳම මාළු, ලොකුම මාළු වැඩි මුදලකට හෝ මිලදී ගත්තේ බේබි මහත්තයාය. ඇන්ටන්,බේබි මහත්තයා සමඟ වෛර බැඳගත්තේ ඒ හේතුව හින්දාම නොව.

බේබී මහත්තයා එන්නට ප‍්‍රථම ඇන්ටන් වැල්ලේ තබාගෙන තිබූ මහේශාක්‍ය ලීලාවේ, හුලං යන්නට පටන් ගත්තේ⁣ බේබි මහත්තයා ආ පසුය. ටික ටික හුලං යන බව දැන ගත් විටය, ඇන්ටන්, බේබි මහත්තයා සමඟ වෛර බැඳ ගැනීම ආරම්භ කළේ. බේබි මහත්තයා වාඩියේ සිටියේ සුද්දෙක් මෙනි. වියදම් කළේද සුද්දෙක් ලෙසය. පෙනුමද කඩවසම් නළුවෙක් මෙනි. තරුණ්‍යයේ කඩිසර බව මෙන්ම ජවයද ඔහු සතුවී තිබුණි. මේ සියල්ල හා සසඳන විට සරමක් ඇඳගෙන ,අරක්කු ,කසිප්පු තොල ගාගෙන , තැන් තැන්වල ගැහැණු තියාගෙන කුණුහරපෙන් පුප්පන ඇන්ටන්ව, බේබි මහත්තයා ඉදිරියේ දෙකේ කොළේට වැටීම අරුම සිදුවීමක් නොවේ. ඇන්ටන් ට මුලින්ම බේබි මහත්තයා ගැන තිබුණේ ඉරිසියාවකි. එය එසේම තිබියෙදී ඊට වෛරය එකතු වූයේ , මාලූ‍ ගැනීමේ ආධිපත්‍යයත් බේබි මහත්තයා තම අතට ගැනීමත් සමඟය.

ධර්මසේන පතිරාජා තම දෙවනි වෘත්තාන්ත චිත‍්‍රපටය වූ ‘බඹරු ඇවිත්‘ තුළින් ගෙනා චරිත තුළ තිබුණු අව්‍යාජය බව නිසාම, එය දැඩිව පේ‍්‍රක්ෂකයන්ගේ සිත් තුළ නිධන් ගත විය. පතිරාජට අවශ්‍ය වී තිබුණේ ධනවාදය මොන තරමි බලවත්ද යන්න පෙන්වීමට විය හැක. ධනය ඇත්නම් බලය එතනය. වික්ටර් බේබි මහත්තයාව ඇන්ටන්ලට වට්ටන්නට නොහැකි වූයේ ඒහෙයිනි. ඇන්ටන් හා ඔහුගේ සහචරයන් හෙලන් වටා කැරකුනේ වික්ටර්ට කෙළින්ම අභියෝග කිරීමට නොහැකි නිසා විය හැක. එතනදීද, පතිරාජා පෙන්වූයේ ධනය ඇත්තෝ මොන තරම් බලවත්ද යන්නමය.

වික්ටර් බේබි මහත්තයා හරහා පතිරාජා ‘පොශ්‘ ජීවන රටාව පෙන්වීමට උත්සහා ක⁣ළේ ඔහු විස්කි බීමම පමණක් නොව, බටහිර ඉංග‍්‍රිසි සංගීතයද ශ‍්‍රවනය කරන්නෙක් බව පෙන්වමිනි. වැල්ලෙ වාඩියක් තුලින් ඉංග‍්‍රිසි සංගීතයක් ඇසීම හරහා පතිරාජා වැල්ලේ මිනිසුන් හා බේබි මහත්තයා අතර තිබෙන වෙනස පෙන්වන්නට විය.

සිරිල් ට තිබුණේ හෙලන්ව විවාහ කර ගැනීමේ උවමනා කමයි. නැදෑ කමින් හෙලන් ගේ මස්සිනා වූ සිරිල් සිතුවේ නෑනා කවදා හෝ අයිතිවෙන්නේ මස්සිනාටම බවය. හෙලන් හා සිරිල් අතර පේ‍්‍රමයක් තිබූ බවක් හරි හැටි ග‍්‍රහණය වන්නේ නැත. එය හරියට, ඒක පාර්ශික පේ‍්‍රමයක්⁣ ලෙසය පෙනු⁣⁣ණේ. සිරිල් නම් හෙලන් ගැන මහමෙරක් තරමට බලාපොරොත්තු තබා ගෙන සිටියද, හෙලන්ගේ සිතේ නම් එවැනි දෙයක් ගැඹුරට තිබුණේ නැත. බේබි මහත්තයා මූණ ගැහීමටත් පෙර, වුවද සිරිල් වෙනුවෙන් හෙලන්ගේ සිත තුල එතරම් පේ‍්‍රමණීය හැඟීමක් තිබූ බවක් පෙනුනේ නැත. හෙලන්ගේ මා පියන් වූ සෙලස්තිනා හා ක‍්‍රිස්ටෝපර් නම් සිරිල්ට කැමැත්ත දී තිබුණි. එහෙයින් හෙලන්ද තමාගේ කැමැත්ත අකමැත්ත කෙසේ වූවද,වෙන දෙයක් වෙද්දෙන් කියා සිටියේ ඊට වඩා දෙයක් කිරීමට නොහැකි නිසාය. සිරිල් ගේ බලාපොරොත්තු සුනු විසුනු වූයේත්, හෙලන්ට නව බලාපොරොත්තුවක් ඇති වූයේත්, බේබි මහත්තයා පැමිණියාට පසුවය.

ප‍්‍රැන්සිස්, බේබි හාමුගේ වාඩියේ ආවතේව කාරයාය. අවශේෂවූ චරිතයක් සුවිශේෂ කරවීමට පතිරාජා ඔහුව පැටලීය. එය පේ‍්‍රක්ෂකයන් බලාපොරොත්තු වූ දෙයක් නොව. කව්රුත් සිතුවේ, සිරිල් මැරෙන්නෙත්,ඇන්ටන් මැරෙන්නේත් බේබි මහත්තයා අතින් කියාය. නොඑසේ නම් බේබ් මහත්තයා මිය යන්නේ සිරිල් අතින් හෝ ඇන්ටන් අතින් කියාය. ප‍්‍රැන්සිස් වීරයෙක් වූයේ, බේබි මහත්තයාට හිස රදයක් වූ ඇන්ටන්ගේ ‘චැප්ටරය‘ වසා දැමූ නිසාය.

පතිරාජා කිසිදිනෙක කථාන්දර සිනමාවට ගියේ නැත. ”‍බඹරු ඇවිත්”‍ තුලද කථාන්දර සිනමාවක් නොවීය. තිබුණේ ඊටත් එහා ගිය සිඳුවීම් සමූහයක්ය. චරිත වූවද, එකට එක පූට්ටු වූයේ තෘෂ්ණාව, ඊරිසියාව, ක්‍රෝධය, වෛරය, හීනමානය, හා රාගය හරහාය. ⁣පතීගේ ඊට පෙර හා පසුව නිර්මාණය වූ චිත‍්‍රපට වල පේ‍්‍රමයට ඉඩක් තිබුණේ නැත. ‘අහස් ගව්ව‘ ‘එයා දැන් ලොකු ළමයෙක්‘, ‘ පාර දිගේ‘ ‘ සොල්දාදු උන්නැහේ‘ ඔය කිසිවක පේ‍්‍රමය තිබුණේ නැත.

‘බඹරු ඇවිත්‘ තුලද බේබි මහත්තයා හා හෙලන් අතර පේ‍්‍රමයක් නොවීය. ඔවුන් එකිනෙකාගේ ආකර්ෂණයට ඇලූ‍නා මිස. හෙලන් හා සිරිල් අතරේ ⁣ඇතිවූ පේ‍්‍රමයක්ද නැත. සිරිල් හෙලන් ගැන සුසුම් හෙලමින් සිටියා මිස. එහෙයින් චිත‍්‍රපටය ගලා ගියේ පේ‍්‍රමයක් නොමැතිවය.

හෙලන් බේබි මහත්තයා හා ශාරිරීකව එක්වුනේ අර ඉහත කී ආකර්ෂණයටය. ඇයගේ පියා ඒ ගැන විමසන විටත් ඇය බිය නැතිව කීවේ එය එසේ වූවා බවක්ය. එතනදී ග‍්‍රම්‍ය වූයේ සිරිල් සමඟ විවාහ වෙනවාට වඩා, බේබි මහත්තයා අතින් සල්ලන් වූවත් කමක් නැතැයි යන අදහසය.

සිරිල් දිවිනහා ගත්තේ පේ‍්‍රමය අහිමි වූවාට වඩා බේබි මහත්තයාගෙන් ගුටී කෑව ලැජ්ජාවටදෝ යැයි සිතේ. සිරිල්,බේබි මහත්තයා සමඟ ආරවුලක⁣ට පැටලූ‍නේ, හෙලන්ව තමාට අහිමි කිරීම නිසා නොව, බේබි මහත්තයා ගත කරන කුමර ජීවිතයට තමාට කිසිදිනෙක පැමිණීමට හැකියාවක් නැති නිසා විය හැක. හෙලන්ව බොහෝ පහසුවෙන් බේබි මහත්තයා ,ඔහුට නතු කරගත්තේ ඒ කුමර දිවි පැවැත්ම නිසාය. සිරිල් ගේ ඊරිසියාව පටන් ගත්තේ එතැන් සිටය. සිරිල් බේබිමහත්තයාව මරන්නට, කට ගොන්නක් බී ගෙන රැුකගෙන හිටියේ ඒ ඊරිසියාව ඔහුව මෙහෙයවූ නිසාය.

හෙලන්ව තමාට අහිමි නොවන බවක් ඔහු දැනගෙන තිබුණි. ඒ, බේබි මහත්තයා කිසිදිනෙක හෙලන්ව කසාද බැඳගෙන කොළඹ රැුගෙන යන්නේ නැති නිසාය. බේබි මහත්තයාට අවශ්‍ය, හෙලන් සමඟ ශෘංගාරයේ වෙලෙන්නටය. හෙලන්ද, බේබි මහත්තයා තමාව රැුගෙන නොයන බව දැනගෙන සිටියාය. ඇයටත් අවශ්‍ය වී තිබුණේ බේබි මහත්තයා සමඟ ශෘංගාරයේ වෙලෙන්නටය. ඉන් පසු හෙලන් සුපුරුදු පරිදි වැල්ලේ තනිවේවි. වැඩිම වුනොත් හෙලන්ට නලව නලවා සිටින්නට බේබි මහත්තයාට දාවා දරුවෙක් ලැබේවි. ඉන්පසු කාලයක් බේබි මහත්තයා වැල්ලේ වාඩියට එන්නැති වේවි. එවිට හෙලන්ව ඉබේටම අයිති වෙන්නේ තමාට බවද සිරිල් දැනගති. එහෙත් ඒ අයිති වෙන්නේ බේබි මහත්තයාගෙන් ඉඳුල් වූ හෙලන් කෙනෙකි. වඩාත්ම හිත් දැවෙන්නෙ, හෙලන් තමාගේ සිය කැමැත්තෙන්ම බේබි මහත්තයාට කියා ඉඳුල් කර ගන්නා නිසාය.

ඇත්තෙන්ම සිරිල් දිවි හානිකරගත්තේද? එසේත් නොමැති නම් බීමත්ව මහ මුහුදේ දැඩි රළ නගන විට තනිවම බෝට්ටුවක් පැද ගෙන ගොස් අනතුරකට මුහුණ පා මිය ගියාදැයි කිසිවෙකු දන්නේ නැත. නිතරම මහ මුහුද සමඟ සටන් වදින ධීවරයන්ට ලාමක සිත් ඇතැයි සිතීමට නොහැක. එහෙයින් හෙලන්ගේ වෙනස් වීම නිසා සිරිල් දිවි හානි කර ගත් බවක් සිතිය නොහැක.

සිරිල් දිවි හානි කර ගත්තා බව එකහෙලාම කීවේ ඇන්ටන්ය. එලෙසම එය මිණීමැරුමකට පරිවර්ථනය කළේත් ඇන්ටන්මය. ඒ, මෙයට බේබි මහත්තයාව පටලවන්නට තිබූ උවමනා කමටය. අවසානයේදි සිරිල්ගේ මිය යාම අනතුරකට හැරුනේ, ඔහු රැුල්ල සැර වී තිබුණු අවස්ථාවක බීමතින් බෝට්ටුවත් ගෙන ගැඹුරු මුහුද පැත්තට ගිය බව කීප දෙනෙක්ම දුටු නිසාය. ඇන්ටන් ගේ උවමනාව ඉෂ්ඨ වූයේ නැත. එය මිණීමැරුමක් නොව, අනතුරක් බව තහවුරු විය. නාවික හමුදාව ගත්තේද බේබි මහත්තයාගේ පැත්තේය. එයින් ,ඇන්ටන්ට එක දෙයක් පැහැදිලි විය. ඒ බේබි මහත්තයා ,තමාට වඩා බලවත් බවය.

බේබි මහත්තයා හෙලන් සමඟ බැඳුනේ ඇත්තටම ඇයව විවාහ කර ගැනිමටදෝ යන කුකුස ඇති⁣වෙන්නේ, ඔහු කී අර තම මවත් වැල්ලේ ගැහැණියක් යයි කිව් කථාව නිසාය. ඇතැම් විට ඒ ඉතිහාස සිදුවීම හෙලන් ලා දැන ගෙන සිටින්නට ඇත. ඒ නිසා බේබි මහත්තයත් වැල්ලේ ගැහැණියක් කසාද බදීවි යන්න පුංචි බලාපොරොත්තුවක් ලාවට හෙලන්ගේ හිතෙත් ඇති වීමද වැලක්විය නොහැක. එසේ වූවහොත් අනිවාරයෙන්ම ඒ වැල්ලෙ ගැහැණිය තමායැයි හෙලන් හිතෙන් සිතුවාය.

වීරසේනගේ චරිතය පතිරාජා ගෙන එන්නට ඇත්තේ වාමංශික අදහස් ඉස්මතු කරන්නට විය හැක. වීරසේන මේ හැම සිදුවීමක් දෙස බලනුයේ රැුඩිකල් චින්තනයෙනි. එහෙත් එය කෙතරම් දුරට නිවැරදිද කියන එක තීරණය කිරීමට පතිරාජා භාර කරන්නේ පේ‍්‍රක්ෂකයන්ටය. වීරසේන හැම සිදුවීමකම දකින්නේ විවේචනාත්මක පැත්තක්ය. ඔහු ධනපතියකගේ සෙවනේ සිට, ඔවුනගේ විස්කි බොමින්, රස මසු කෑම කමින් ධනවාදයට විරුද්ධව කථා කරයි. වාමංශිකයන්ගේ දෙබිඩි ජීවිත වල ඇතුල් පැත්ත පෙන්වන්නට පතිරාජා උත්සහා ගන්නවාදැයි විටෙක සිතේ. එලෙසම වීරසේන එක් තැනක මේ ධනවාදි ක‍්‍රමයට විරුද්ධව තාප්පයක් වැනි උස්තැනක සිට කරන කථාව, ඇසීමට කිසිවෙක් නොසිටීම ගැන පතිරාජා හැඳින්වූයේ සත්‍ය දැනගැනීමට මිනිසුන් අකමැති බවක්ද ? නොඑසේනම් වාමංශික රැුඩිකල් අදහස් පිළිගැන්මට මිනිසුන් අකමැති බවක්ද යැයි තරමක් පැටලිලි සහගතය. ඇතැම් විට පතිරාජා එයත් පේ‍්‍රක්ෂකයන්ට භාර කරන්නට ඇත.

ඇන්ටන් සමඟ තද වෛරයක් ප‍්‍රැන්සිස්ගේ සිතේ ඇති බව හරියටම තේරූම් යන්නේ ,ඇන්ටන්, මත් පැන් බී වැල්ලේ දුපතක නිදා සිටින විට ප‍්‍රැන්සිස් විසින් කිහිප වරක් පිහියෙන් ඇන මරා දැමූ පසුවය. වැල්ලේ ¥පත් කීපයකම ඇන්ටන්ගෙ හොර ගැහැනුන් නැවතී සිටින බව ප‍්‍රැන්සිස් දනී . නමුත් ප‍්‍රැන්සිස්ගේ වෛරය තිබුණේ, ප‍්‍රැන්සිස් හිතෙන් ආදරය කළ තරුණියවත් ඇන්ටන් හොරඅඹුවට ගත් නිසාය. අවසානයේ සිද්ධ වූයේ ඇන්ටන් පමණක් නොව, ප‍්‍රැන්සිස්ද ජීවිතක්ෂයට පත්වීමය.

ඒ ඇන්ටන්ව පිහියෙන් කොටා මරා දමා, ඒ බයට ප‍්‍රැන්සිස් පොල් ගහක් මුදුනට නැග හැංගී සිටයදී , ඇන්ටන්ගේ සහචරයන් එම පොල් ගහ කපා දැමු විට ⁣ප‍්‍රැන්සිසුත් ඒ සමඟම වැටිය. ප‍්‍රැන්සිස්ගෙ මරණය සිදුවූයේ ඒ වැටීමෙනි.

සිරිල්, ඇන්ටන් හා ප‍්‍රැන්සිස්ගෙ මරණ වලට බේබි මහත්තයා සෘජුවවත්, වක‍්‍රවවත් සම්බන්ධ නැත.සරලව කිවහොත් සිරිල් මියගියේ මුහුදු ගොස්ය. ඇන්ටන් මැරුණේ ප‍්‍රැන්සිස් පිහියෙන් කෙටූ නිසාය. ප‍්‍රැන්සිස් මැරුණේ පොල් ගහත් සමඟ බිමට වැටුණු නිසාය. නමුත් මේ හැම දෙයක්ම සිදුවුනේ වික්ටර් බේබි මහත්තයා වැල්ලේ වාඩියට ආ පසුවය. මොන ප‍්‍රශ්න ඇතිවුනත් ඒවාට බිලිවෙන්නේ සාමාන්‍ය මිනිසුන්ය. ධනය බලය තිබෙන මිනිසුන්ව සුරක්ෂිත කිරීමට ක‍්‍රමවෙිද ඕනා තරම්ය.

මේ සියලූ‍ ව්‍යවසනවලින් පසු වැල්ල පාලනය කිරීමට පොලීසියක් පිහිටවයි. බේබි මහත්තයා ටික කලකට වැල්ලෙන් නික්ම කොළඹට යන්නට සැරසෙයි. ඔහු ඒ බවක් හෙලන්ට කියයි. ”‍එතකොට මම‘?”‍ හෙලන් අසන ඒ ප‍්‍රශ්නයට නම් බේබි මහත්තයාට උත්තර නැති වෙයි. බේබි මහත්තයාගෙ ඒ නිහඩ බව තුල හෙලන්ගේ පිළිතුර සැඟවී තිබුණි. අවසානයේදි වැල්ලෙ තනිවුයේ මිය ගිය අයවත්, බේබි මහත්තයාවත් නොව. හෙලන්ය.

" ආදරයේ - ඔබ ඔබ මයි

මා ඔබ නොව- ඔබ මා නොව

දවසක් දා

හඳුනා ගත්තොත් ඔබ මා

හඳුනා ගත්තොත් ඔබ මා "

රඟපෑම් තුල තිබූ ප‍්‍රශස්ත බව මුලූ‍ චිත‍්‍රපටය පුරාවටම විය. එය එකිනෙකාට නොපරදින්නක් ය. ⁣විජය කුමාරණතුංග, මාලනී ෆොන්සේකා, ජෝ අබේවික‍්‍රම පමණක් නොව, සිරිල් වික‍්‍රමගේ, රුබී ද මෙල්, දයා තෙන්නකෝන්, සෝමසිරි දෙහිපිටිය, එස්.එච්.ජෝතිපාල, ⁣පියසේන අහංගම, අමරසිරි කලංසූරිය, විමල් කුමාර ද කොස්තා, ඩබ්ලියු ජයසිරි, වින්සන් වාස්, ස්වර්ණමාලි දන්තුරේ බණ්ඩාර , දයා අල්විස් , මේ සියල්ලම එක මිටට ගත් කල අද්වීතියමය. පේ‍්‍රමසිරි කේමදාස ගේ සංගීතය මුලූ‍ විශ්වයටම ගෙන යා හැකි මට්ටමක තිබූ අතර, ඩොනල්ඞ් කරුණාරත්නගෙ කැමරා අධ්‍යක්ෂණයද විශිෂ්ඨතම හරඹයක් විය.

ධර්මසේන පතිරාජා විසින් තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කල ”‍බඹරු ඇවිත්”‍ නිශ්පාදනය කළේ තිලක් ගොඩමාන්නය . ශ‍්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ඨතම චිත‍්‍රපටයක් සේ සලකන එලෙසම දෙස් විදෙස් සම්මාන, රාශියකට පාත‍්‍ර වූ ‘ බඹරු ඇවිත්‘ තිරගත කිරීම ආරම්භ කළේ 1978 අගෝස්තු 11වන දින සිටය.

"උදුම්බරා හිනැහෙනවා

ඉර අඳුරට හැංගෙනවා

දස දහසක් සම් මස් ඇට

සිනා කඳුළු වගුරනවා

ගිණි ගෙන රත් වුණු දවසක

සැනසෙන එක සැන්දෑවක

උදුම්බරා හිනැහෙනවා "



(ලබන සතියේ තවත් චිත‍්‍රපටයක්)