ගැහැනු සිත විනිවිද දුටු හැටි

අප්‍රේල් 23, 2020

ගැහැනිය අරභයා එදා මෙදා පෙර අපර දෙදිග විග‍‍්‍රහයන් විවිධාකාරය. විටෙක ඇය පරමාදර්ශී තලයෙන් වර්ණිතය. වරෙක ඇය චපලත්වයෙන් ගර්හිතය. ජන සමාජයෙහි මතු නොව, කලා මාධ්‍යයන්හිද මේ දෙවිධියෙන්ම ඇය නිරූපණය වූ ආකාරය දැක්ක හැකිය. එහෙත්, සැබෑ ස්තී‍‍්‍රත්වය අප දුටුවේ යථෝක්ත අන්තයන්ට නොයා ඇගේ සංකීර්ණත්වය ඉන් නිරූපණය කිරීමට තැත් දැරීම සමඟිනි. ස්තී‍‍්‍රත්වය, ඇගේ සිතුම් පැතුම්, පරමාදර්ශ, දුබලතා, සංකීර්ණ හැඟීම් ගීත සාහිත්‍යයෙහිද බහුලව වස්තු විෂය බවට පත්විය.

 

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගීතාවලිය අධ්‍යයනය කරන්නකු හට ගැහැනු සිත විනිවිද දකිමින් ඔහු විසින් විරචිත ගීත රාශියක් හඳුනා ගැනීමට හැකි වේ. ලොව ස්තී‍‍්‍රවාදය (Feminism) සාහිත්‍ය ප‍‍්‍රවණතාවක් ලෙස ඉස්මතු වීමත් සමඟ මතු වූ මතවාදයක් වූයේ සැබෑ ස්තී‍‍්‍රත්වය හෙළි වනුයේ ඇය පුරුෂ දෘෂ්ටියෙන් විවරණය වීමෙන් නොව, ස්තී‍‍්‍ර දෘෂ්ටියෙන්ම විවරණය වීම ඔස්සේ බවය. එහෙත්, මෙය පිළිගත හැකි සත්‍යයක් නොවේ. ප‍‍්‍රතිභාපූර්ණ කලාකරුවා සැබෑ ස්තී‍‍්‍රත්වය විවිධ කලා මාධ්‍යයන් ඔස්සේ යථාර්ථවාදීව විවරණය කිරීමේදී ඔවුන්ගේ පුමඉතිරි බව හෙවත් ස්තී‍‍්‍ර පුරුෂ සමාජභාවය එහිලා හේතුවක් වූ බැව් නොපෙනේ. විටෙක ස්තී‍‍්‍රත්වය ස්තී‍‍්‍රන්ගෙන්ම විවරණය වූ අවස්ථාවන්ටත් වඩා ශූර ලෙස පුරුෂ දෘෂ්ටියෙන් එය මැනවින් නිරූපණය වී ඇති අවස්ථා දැක්ක හැකිය.

 

ගැහැනු සිත විනිවිද දැකීමේදී සෙසු බොහෝ ගීත රචකයන්ට වඩා අජන්තා ප‍‍්‍රමුඛව කැපී පෙනුණු බැව් මම සිතමි. විටෙක ඔහු ගැහැනු සිතට ආරූඪ වී ඇගේ සිතැඟි විවරණය කරයි. වරෙක ඉන් බැහැරව සිට පුරුෂ දෘෂ්ටියෙන් ඇය දෙස බලයි. ඇය කෙරෙහි ඔහු සිත තුළ පවත්නා අපරිමිත පේ‍‍්‍රමය, සානුකම්පිත දෘෂ්ටිය මේ සෑම ගීතයකම අරක් ගෙන ඇත. සැබෑ ජීවිතයෙහි අප දුටු අජන්තා නමැති රසවතාගේ පේ‍‍්‍රමණීය හැඟීම් ස්වකීය ගී නිර්මාණවලදී දෝරෙ ගලා යනු පෙනේ.

 

පුහුදුන් ගැහැනු රන් ආභරණ, සුවඳ විලවුන්, සළුපිළිවලට ඉතා ලොල් වෙති. බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත‍‍්‍රයෙහි සැමියකුගෙන් බිරියකට ඉටු විය යුතු යුතුකම් අතර ඇයට ආභරණ ආදී පි‍‍්‍රය කරන දේ සපයා දීමද දක්වා තිබීමෙන් පුහුදුන් ස්තී‍‍්‍ර සිත ගැඹුරින් විනිවිද දුටු අයුරු වටහා ගත හැකි වේ.

 

අජන්තා ලියූ මහාචාර්ය අමරා රණතුංග ගැයූ, ආචාර්ය දයාරත්න රණතුංග සංගීතවත් කළ මේ ගීය එකී අනුභූතියට නිදසුනකි.

 

රන්වන් එරන් මාල

ගෙලටත් අරන් දෙන්න

ඉඳුනිල් මැණික් තෝඩු

කනටත් අරන් දෙන්න

මගෙ පංච කල්‍යාණ රූපේ දිලේවි

ඔබටයි පි‍‍්‍රයේ ආඩම්බරේ

රත් ලවන ආලේප

විලවුන් ගෙනත් දෙන්න

මල් මල් දුහුල් සාරි

සළු පිළි අරන් දෙන්න

අභිමාන බැල්මෙන්

සැරසී ඉඳින්නම්

ඔබටයි පි‍‍්‍රයේ - ආඩම්බරේ

මගෙ යෙහෙළියන්ටත් -

ඔරවා බලන් ඉන්න

අත්වැල් බැඳන් එන්න

මල්වත්තෙ ඇවිදින්න

තිර තාරකාවන්

අප වාගේ නේදෝ

ඔබටයි පි‍‍්‍රයේ ආඩම්බරේ

 

කාන්තා පරපුරේ සුන්දරත්වය අරභයා අජන්තා ”ඈතින් ඈතට” (1983)චිත‍‍්‍රපටයට (අධ්‍යක්ෂණය සේන සමරසිංහ* ලියූ, සරත් දසනායකයන් සංගීතවත් කළ, විශාරද නීලා වික‍්‍රමසිංහ ගැයූ මේ ගීතයට ඔහු හොඳම ගීත රචනයට හිමි සරසවිය සම්මානය දිනා ගත්තේය.

 

සමාජයේ තහවුරු විය යුතු ඇගේ ආරක්ෂාව පිළිබඳ සේම පිවිතුරු බව ගැනද මේ ගීතයෙන් ඉඟි කෙරේ.

 

බෝධියේ විහාරයේ

පිපි පියුම් වැනි වූ බාලිකා ලොව

මැලවුණ දා

මුළු ලොවටම ? වෙනවා

ජීවිතේ පිහාඹමින්

සිනාසිසී ඉඳිනා

ඒ සිනා

මා බොළඳ නෙතේ

උණු කඳුළක් කරනු එපා

මල් පොහොට්ටු

මා හදේ සුරංගනා පොකුණේ

මල් වරම් ලැබ පිපෙන තුරා

ඔබ නටුවෙන් සිඳිනු එපා

 

උතුම් මාතෘත්වය හෙවත් මවු පදවිය ලැබීමට පෙරුම් නොපුරන කාන්තාවක් පුහුදුන් ලොව සිටිය හැකිද? ප‍‍්‍රශස්ත ගණයේ මවු ගුණ ගී රාශියක් මෙරට ගීත සාහිත්‍යයෙහි දක්නට ලැබේ. මවු පදවියට පෙරුම් පිරූ පමණින් ලොව සියලූ කාන්තාවන්ට දරු සම්පත හිමිවන්නේ නැත. එබඳු කාන්තාවකගේ අධ්‍යාත්මයෙහි තෙරපෙන වේදනාබර හැඟීම් කෙසේ විය හැකිද? ගීත සාහිත්‍යයෙහි විරලව දක්නා ලැබෙන මේ අනුභූතිය ඔස්සේ අජන්තා හද කම්පා කරවන සදානුස්මරණීය ගීතයක් ලීවේය. එහි සංගීත අධ්‍යක්ෂණය රූකාන්ත ගුණතිලකගෙනි. ගයන්නිය නීලා වික‍්‍ර‍්‍රමසිංහ සිරිමතියයි.

 

දරුවෝ ඇති අම්මාලා

දරු සුරතල් පෙන්නාලා

හඬවා නෙත මා

සිත පාරනවා

දරුවෝ නැත මා පතලා

හඬනා කිරි දරුවෝ

තුරුල පුරා පැතුවා

පව් පුරවා සංසාරයේ

මවු පදවිය නැතුවා

කුරුලූ මුවෝ සතුනේ

දරු සෙනෙහේ විඳිනා

මිනිස් බවේ මහිමේ මගේ

මට දරුවෝ නොදෙනා

 

පියවරුන් සහ පියවරුන් අතර පවතින අපරිමිත බැඳීම අරභයා ආගමික ශාස්තෲවරුන්, ජීව විද්‍යාඥයින්, මනෝ විද්‍යාඥයින්, කලාකරුවන් ආදීන්ගේ අනේකවිධ විග‍‍්‍රහයන්ට ලක් වී තිබේ. තම ප‍‍්‍රාණය මෙන් හැ¥ වැඩූ දියණිය විවාහ ජීවිතයට ඇතුළත් වෙද්දී පියකුට දැනෙන හැඟීම් කෙබඳුද? විරලව හෝ මේ අනුභූතිය ඔස්සේ අගනා ගීත ලියැවී ඇත. දියණියකට එය දැනෙන්නේ කෙසේද? එකල්හි පියාගෙන් දුරස් වීමේ දොම්නස දුරු කර ගැනීමට ඇය උත්සුක වනුයේ කෙලෙසින්ද? අජන්තා පබැª මේ සුප‍‍්‍රකට ගීතයෙන් ඊට විසඳුමක්ද ලබා දේ. ඔහු සැබෑ ජීවිතයේදී මේ අත්දැකීමට මුහුණ දුන්නේය. සරත් දසනායකගේ ස්වර සංරචනයට සුජාතා අත්තනායක සිරිමතිය ගයන්නීය.

 

පුංචි දවස්වල

නින්දට යද්දී

පීතු පාදං නමා මහං කියලා

වැන්ද දෙපා යළි අදත් වඳින්නම්

මංගල ගමනට

යන්න අවසරයි පියාණනේ

මල් බෝනික්කන් පූසි පැටවු ටික

පාට ගවුම් පොඩි අද තනි වෙනවා

පියාණනේ ඔබෙ ආසිරි විඳ විඳ

ඉරණම් ගමනක් යන්නට යනවා

පියාණනේ ඔබෙ

පුංචි කුමාරිය

පුංචි මනාලිය වී යන දවසේ

එපා අඬන්නට

පුංචි මුනුබුරෙක් කැන්දන් එන්නම්

මා හෙට දවසේ

 

ඕනෑම පුද්ගලයකුගේ හා පුද්ගලියකගේ පාසල් සමය තරම් සුන්දර කාල පරිච්ෙඡ්දයක් තවත් කොයින්ද? ඒ අරභයා පසුකාලීනව මෙනෙහි කරන කල්හි සිහිනෙන් ගෑ සුවඳක් සේ අප තුළ දැනෙන චමත්කාරය කොතරම්ද? මේ අනුභූතිය අරභයා වත්මනෙහි ගීත රැුසක්ම බිහි වී ඇතත් එදා අජන්තා මතු දැක්වෙන ගීතය රචනා කළ සමයේ එබඳු ගීත විරල විය. ඉන්ද්‍රානි විජයබණ්ඩාරයන් මේ ගීතය ගැයුවේ ආචාර්ය දයාරත්න රණතුංගයන්ගේ නාද සංකලනයටය.

 

රතු පාට මල්

මට තාම මතකයි

ගුරු පාර සරසන්න

ලස්සනට මල් ඉහුණ

මල් පවන මට තාම මතකයි

සුදු පාට රැුළි ගවුම

කරදාසි සිරි සිරිය

වැහිදාට තෙතබරිත වීදෝ

හුණුකුරු ගෙවිලා

සිතියම් පොතේහි

ඇඳුණේම බලි රූප නේදෝ

ගඳපාන ගැටපේර

නෑ දැන් හැදෙන්නේ

හැමදාම දැන් නම් අවාරේ

මගෙ පන්තියේ උන්

මා දැන් කොහේදෝ

මොනවා උණාදැයි නොතේරේ

 

චිරන්තන සාහිත්‍යයෙහිත් නූතන සාහිත්‍යයෙහිත් ස්ති‍‍්‍රය විටෙක මහ පොළොවට සමාන කරමින් මහී කාන්තාව ලෙසින් වර්ණිතය. කෙබඳු දුෂ්කරතා අභියෝග මධ්‍යයෙහි වුවත් ඉන්ද්‍රකීලයක් සේ නොසැලෙන ස්තී‍‍්‍රත්වය අජන්තාගේ ඇගැයුමට ලක්වේ. ස්ටැන්ලි පීරිස්ගේ සංගීත අධ්‍යක්ෂණයට නීලා වික‍්‍රමසිංහයන් ගයන මේ ගීතය ඊට සනිදර්ශිතය.

 

වැදු මවටත් - මහ පොළොවටත්

මේ මහා භද්‍ර කල්පයෙහි

නොමැති නිවනක්

කිත් යසස් පැසසුම්

දුක් තැවුල් ගැරහුම්

සම සිතින් විඳිනා

සහස් සුවහස් දරු පැටවු

කුසේ වඩවා ප‍‍්‍රජාවට පුදනා

ගැහැනියයි ඇය

දුවකි - බිරිඳකි - සොයුරකි - මවකි

 

රළු මහලූ වයසේ

ඉරි ඇඳුණා මුහුණේ

කුදු ගැහැනු සිරුරේ

මහමෙරක් වන් අදිටනින්

සක්වළක බර හිස මතින් දරනා

ගැහැනියයි ඇය

දුවකි - බිරිඳකි - සොයුරියකි - මවකි

 

ඉතිරි කොටස ලබන සතියේ

Add new comment