රස වෑහෙන පෙම් ගීතාවලී

අප්‍රේල් 30, 2020


 
 අජන්තා ගීතාවලියෙහි බහුලව දක්නා ලැබෙනුයේ පේ‍‍්‍රම ගීත බැව් පෙනේ. මෙරට සමස්ත ගීත සාහිත්‍යය පිරික්සූ කල්හිද ඊට වඩාත් ප‍‍්‍රස්තුත වී ඇත්තේ ස්තී‍‍්‍ර-පුරුෂ පේ‍‍්‍රමයයි. අජන්තා ලියූ ගීත ගොන්නෙහිද එහි විවිධ පැතිකඩ හඳුනාගත හැකි වේ. ස්වකීය වේදයිතයන් සේම අවසෙස් ජනයාගෙන් අවශෝෂණය කොටගත් අනුභූතීන්ද එහිලා පාදක වූ බැව් පෙනේ.
 
 චිත‍‍්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් උදෙසා ගීතය ලියැවිණි නම් ඒවාහි අදාළ දර්ශනය, සිදුවීම අර්ථසම්පන්න කිරීමට ඔහු දක්වන වෙසෙසි සමත් බව විදාරණය විය. සරල ගීතයේදී අදාළ ගායන ශිල්පියාගේ, ශිල්පිනියගේ අනන්‍ය වූ ගායන ශෛලිය සූක්ෂ්ම ලෙස ඔහු ග‍‍්‍රහණය කොට ගන්නා අයුරු දැක්ක හැකිය. සංයෝගය හා වියෝගය මානව පේ‍‍්‍රමයේ පොදු ධර්මතාවන්ය.
 
 විරහව, විප‍‍්‍රලම්භ ශෘංගාරය අත්විඳින පෙම්වතා, තමාට අහිමි වී වෙනත් ලොවකට පා නඟන පෙම්වතියට ද්වේෂ නොකිරීමෙන් ස්වකීය පේ‍‍්‍රමය උත්තරීතර බවට පත්කොට ඇති අයුරු මතු දැක්වෙන සුමධුර ගීතයෙන් කුළුගැන්වේ. අප ජීවත්වන සමාජයේ පෙම්වතියකගේ අහිමි වීම දරාගත නොහැකි වන ඇතැම් පෙම්වතුන් ඇයට ද්වේෂ සහගත වී පිහියෙන් ඇන මරා දමන සිදුවීම් වාර්තා වන පසුබිමක මෙවැනි ගීත ගින්නෙන් දැවෙන පෙම් හදවත්වල විරහ දුක නිවා දැමීමට හේතු කාරක වේ. උත්තරීතර පේ‍‍්‍රමයෙන් ශික්ෂිත පෙම්වතකුගේ සිතැඟි මෙසේය: අජන්තාගේ මේ පබැඳුමට ලැබුණේ මහා ගාන්ධර්වයන් දෙදෙනකුගේ මුසුවකි. ආචාර්ය පේ‍‍්‍රමසිරි කේමදාසයන්ගේ සංගීතයට පණ්ඩිත් අමරදේව ගැයුවේය.
 
 විකසිත පෙම් පොකුරු පියුම්
 
 ඔබේ පයට පොඩි වී ගියාදෙන්
 
 පති කුලයට අද
 
 මට පිටුපා යන
 
 මගේ සොඳුරු ළඳුනේ
 
 හිතේ කඳුළු බිඳු ? තනියානේ
 
 ඉහ ඉද්දර ඉඳ ඉකිබිඳිනා සඳ
 
 ආදර සැමරුම් පේ‍‍්‍රම පුරාණේ
 
 ඔබට විරහ ගිනි නොගෙනේවා
 
 තනිකම රජයන පාළු විමානේ
 
 ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
 
 ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
 
 මැණික් පහන් වැට දැල්වේවා

 
 ගීතය ජන මනසට, සිතුම් පැතුම්වලට ප‍‍්‍රාබල්‍ය ලෙසින් බලපෑම් කරන කලා මාධ්‍යයකි. කවර ස්තී‍‍්‍ර-පුරුෂ පේ‍‍්‍රමයකට වුව බාධා, වැටකඩුලූ එමටය. වරෙක දුරස්වීම්, වරෙක ළංවීම් එහි නෛසර්ගික ස්වභාවයකි. අජන්තාගේ මේ ගීතයට වස්තු විෂය වූයේ එවැන්නකි. ආචාර්ය දයාරත්න රණතුංගයෝ මෙය සංගීතවත් කොට ගැයූහ. ඔහු වරක් ප‍‍්‍රසංගයකදී මේ ගීතය ගයනු අසා සිටි වෙන් වූ පෙම්වත් යුවළක් නැවත එක්වීමට තීරණය කළහ. සුභාවිත ගීතයක අරුමය මෙය නොවේද? මෙහි තනු නිර්මාණයේදී කලාවතී නම් රාගය ඇසුරුකොට ගත් බව ආචාර්ය දයාරත්න රණතුංග වරක් පවසා තිබුණි. එහෙත්, ඊටත් වඩා මේ භාවරූපී ගීතයට ඇසුරු වූයේ ජන සම්මෝහිනී රාගය බව මා හට පැවසුවේ මහාචාර්ය කෝලිත භානු දිසානායකයන්ය.
 
 දුරස් වන්නට මේ ලෙසින්
 
 ඇයිද අප හමුවුණේ
 
 දුරස් වන්නට මේ ලෙසින්
 
 මොටද අප ඉපදුණේ
 
 අත්වැල් බැඳගෙන මංමාවත් දිග
 
 ඔහේ ඇවිද ගිය කාලය මතකද
 
 පුංචි ළදැරියක වගේ හුරතලෙන්
 
 ඔබ හිනැහුණු ඒ කාලය මතකද
 
 අනාගතය ගැන අහස් මාලිගා
 
 අපි දෙන්නා මැවු කාලය මතකද
 
 ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
 
 ඔබේ ළඟින් උන් කාලය මතකද

 
 අවැස්ස නෑනා-මස්සිනා පේ‍‍්‍රමය අරභයාද කර්ණරසායන සුගීත අල්පයක් හෝ මෙරට ගීත සාහිත්‍යයෙහි දක්නා ලැබේ. මේ ගීත බහුතරයට නාගරික සමාජයටත් වඩා ගැමි සමාජය පසුබිම් වී ඇති අයුරු පෙනේ. අජන්තා ලියා, අබේවර්ධන බාලසූරිය හා ත්‍යාගා එන්. එඞ්වඞ් ගැයූ මේ ගීතය නෑනා-මස්සිනා පේ‍‍්‍රමය පාදක වූ ගීතාවලියෙහි අග‍‍්‍රස්ථානයක වැජඹේ. සරත් දසනායකයන් ප‍‍්‍රස්තුතය ඉල්ලා සිටින ජන සංගීත නාද රටාවලින් මේ ගීය හැඩගන්වා ඇති අපූරුව විමසා බලනු වටී. නෑනාගේ වියෝවෙන් මස්සිනා තුළ ජනිත කෙරෙන විරහව, ප‍‍්‍රකම්පනය සහෘද අප හදවතට නොදැනේද? අජන්තා ගැමි කාව්‍ය සම්ප‍‍්‍රදායට උචිතව ගීයෙහි එළිසමය තබා ඇති අයුරු බලන්න.
 
 පි: ? පැල් රකින කුරහන් පැහෙනා හේනේ
 
 මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
 
 හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
 
 මාසේ පෝය දා වාගෙයි ගම්මානේ
 
 ගැ: එගොඩහ ගොෙඬ් ඉස්මත්තෙදි දුටුවාට
 
 ඇළ කණ්ඩියේ ඉඳගෙන අත වැනුවාට
 
 මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
 
 නාඬන් මස්සිනේ පෙර පින් නැතුවාට
 
 පි: හැදුවේ ගෙපැල මට තනියෙන් ඉඳින්නද
 
 බාලේ ඉඳන් බැඳි ආලේ බිඳින්නද
 
 ? තුන්යමේ මේ හැටි දුක් විඳින්නද
 
 හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද
 
 ගැ: නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
 
 සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
 
 පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
 
 කුරහන් කපන දා මා සිහි කරන්නයි

 
 හෘදයාංගම ස්වරයෙන් තමාටම ආවේණික වූ සරල සුගම ශෛලියකින් පේ‍‍්‍රමයේ චමත්කාරය විදහා පෑ මිල්ටන් මල්ලවාරච්චි ගැයූ සෑම ගීතයකම පාහේ මේ වෙසෙස් ලකුණ හඳුනාගත හැකි වේ.
 
 අජන්තා මතු දැක්වෙන ජනකාන්ත ගීතය මිල්ටන් උදෙසා ලීවේ සෙසු ගායන ශිල්පීන්ට ලියූ අයුරෙන් නොවේ; මිල්ටන්ගේ ශෛලියට ගැළපෙන්නටය. සංගීත අධ්‍යක්ෂණය මෙල්රෝයි ධර්මරත්නගෙනි. එහි පේ‍‍්‍රමයේ වියෝව පරිසරයට ආරෝපණය කොට ඇත.
 
 මේ මැයිගහ යට දවසක් දා
 
 වැස්සට අපි උන්නා
 
 රතුකැට වාගේ
 
 මැයි මල් පිපි පිපි
 
 අපට සෙවණ දුන්නා
 
 මැයි මාසේ එක හැන්දෑ වරුවක
 
 හීතල වැහිපොද
 
 වැටෙන වෙලේ
 
 ආදර වියෝවක් හිතින් එබෙන සඳ
 
 වැහි පොද සේ
 
 නෙත කඳුළු හැලේ
 
 වැහිපොද වැටුණත්
 
 ඉස්සර වාගේ
 
 මැයිමල් පිපුණත් රතට රතේ
 
 අප දෙදෙනෙක් නැත
 
 අද මා පමණයි
 
 මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ

 
 කලක පෙම්වත් වූවෝ තවත් කලකදී වියෝ වෙති. එහෙත්, පේ‍‍්‍රමයෙන් පසු වූ කාලයේ ඔවුනොවුන් එකිනෙකාට තිළිණ කළ දේ නෂ්ටාවශේෂ බවට පත් වී, වියෝ වූ කල්හි බිඳුණු සිත්වලට වේදනා ගෙන දේ. මේ අනුභූතිය අජන්තාට ගීතයකට වස්තු විෂය විය. සරත් දසනායකයන්ගේ ස්වර සංකලනයට ගයන්නිය චන්ද්‍රාණි ගුණවර්ධනය.
 
 දං පැහැ වීදුරු පුංචි වළල්ලක්
 
 ඔබට මතක නැති
 
 මට අමතක නැති
 
 පුංචි වළල්ලක්
 
 මා ළඟ තවම තියේ
 
 පෙරදා ඔබගේ පෙම්පත් සමඟින්
 
 ආදර සුවඳක ¥විලි අතරින්
 
 ඉඳහිට දිලිසෙන
 
 පුංචි වළල්ලක්
 
 මා ළඟ තවම තියේ
 
 ආදර දෑතින් ඔබ මට පැලª
 
 ආදර මා හද යළි යළි රිදවූ
 
 දුක් කඳුළක් බඳු
 
 පුංචි වළල්ලක්
 
 මා ළඟ තවම තියේ

 
 ඉන්දියාවේ ටජ්මහල් මැදුර හා සබැඳි ෂාජෙහාන් අධිරාජයා හා මුම්ටාස් මහල් පේ‍‍්‍රම වෘත්තාන්තය අජන්තාගේ ගේය සංකල්පනාවෙන් සුභාවිත ගීතයක් බවට පත්විය. මෙහි අපූර්වත්වය නම් ගී පදමාලාවේ කොතැනකවත් ”ටජ්මහල්,” ”මුම්ටාස්” යන නාම සඳහන් නොවීමය. මුම්ටාස්ගේ වියෝවෙන් තැවෙන ෂාජෙහාන් රජුගේ බිඳුණු අධ්‍යාත්මය ඉන් හෙළි නොවේද? මහාචාර්ය සනත් නන්දසිරි සූරීහු සංගීතවත් කොට ගැයූහ.
 
 ආදර සැමරුම් කැටිවූ
 
 නෙතු කඳුළින් මුතු පබුලින්
 
 නිමා කළෙමි සිහිවටනය
 
 යමුනා තීරේ
 
 එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
 
 මහද අඳුරු ලෙන අතහැර
 
 වඩින්න දේවියේ
 
 දහසක් මිණි මල් ලියකම්
 
 පෙම පිඬු වූ රන් කැටයම්
 
 යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවා
 
 චමත්කාර අතීත සඳු යළිත් ජනිත වේවා
 
 අපගේ පෙම් පුරාවතින්
 
 දෙරණ හෙළුෑ කඳුළු ගලා
 
 මැදුරත කිරිගරුඬ පවුරු පබා කැලූම් දේවා
 
 සනාතනව පෙම් සටහන් එහි සිතුවම් වේවා
 
 ඒ සන්සුන් ලැගුම් ගෙයට වඩින්න දේවියේ
 
 හෙට දින මා එනතුරු
 
 එහි නිදන්න දේවියේ

 
 ගැමි යුවළක් පේ‍‍්‍රමයෙහි වෙළෙමින් අත්විඳින්නා වූ චමත්කාරය, ප‍‍්‍රහර්ෂය සුන්දර ග‍‍්‍රාමීය පරිසරයේ සොබා දහමට සරල, අල්පේච්ඡු සංස්කෘතියට ආරෝපණය කරති. මේ අනුභූතිය ඔස්සේ අජන්තා සදානුස්මරණීය පෙම් ගීතයක් සිනමාවට පබැඳුවේය. ආචාර්ය පේ‍‍්‍රමසිරි කේමදාසයන්ගේ සංගීතයට ”වසන්තේ දවසක්” (1979* චිත‍‍්‍රපටයට ලතා වල්පොල හා මහාචාර්ය සනත් නන්දසිරි ගීතය ගැයූහ.
 
 දේදුන්නෙන් එන සමනලූනේ
 
 ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ
 
රෑන් රෑන් ඇවිදිල්ලා
 
 අපේ ළඟින් ඉඳහල්ලා
 
 දවසක් දා බෝමළුවේ
 
 හමුවූ දාකදි අප දෙන්නා
 
 පහනක් දල්වා
 
 එකම හිතින් පැතූ පැතුම්
 
 තෙපි නෑ දන්නේ
 
 බවෙන් බවය පෙර ආවා සේ
 
 බවෙන් බවය මතු සංසාරේ
 
 නිවන් දක්නා ජාති දක්වා
 
 එකට බැඳී ඉන්නයි පැතුවේ
 
 ආදරයේ සුවඳ ලෙනේ
 
 තනි වී උන්නා අප දෙන්නා
 
 කාංසියක් හෙම නැහැ දැනුණේ
 
 පෙති දිලූණා වනමල් තොරණේ
 
 අත පය පාමුල සතුටු ගෙඟ්
 
 තාමත් ආදර රැුලිති නැෙඟ්
 
 කියව් කුරුල්ලනි
 
 මලින් මලට හෙට
 
 අපේ අහිංසක කතන්දරේ

 
 ගැමි වහරෙන් මතු නොව, චිරන්තන සම්භාව්‍ය සාහිත්‍යයෙන්ද අජන්තා ආභාසය ලැබුවේය. චිරන්තන සම්භාව්‍ය සාහිත්‍යය, සන්දේශ කාව්‍ය ඇසුරින් මේ පරම රමණීය පෙම් ගීය බිහි විය. උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් මුසපත් වූ ආනන්ද පෙරේරාගේ ස්වර සංරචනයට ගැයුවේ විශාරද එඞ්වඞ් ජයකොඩිය.
 
 මුව මුක්තා ලතා
 
 පිපි හංසාංගනා
 
 විල් නෙළුමාසනෙන් ආ ළඳේ
 
 නුඹ භාග්‍යා සරෝජාවියේ
 
 ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
 
 මා හද පේ‍‍්‍රමාංගණේ
 
 ? නුඹ රාසෙන් ළඳේ
 
 බඳ මණිමේඛලාව මුදා
 
 අනුරා නෙත් නඟන් නොනිදා
 
 ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
 
 තනිවෙන්න යං පෙම් රසෝජාවේ
 
 රූ සිරි කල්‍යාණයේ මා සැතපෙන්නම් ළඳේ
 
 තුනු ශී‍‍්‍රයෙන් විපුල් වොරැුඳී
 
 මනසානන්ද මන්දෝදරී
 
 හිරු එන්න පෙර රාතී‍‍්‍ර මේ සීතේ
 
 මා හා ගයන් සෞම්‍ය සංගීතේ
 
 ඒ හිරු නොනගීවා - ? තව දිගු වේවා
 
 නුඹෙ නළලේ සඳුන් තිලකේ
 
 අද ඉහිරේද දෙතොලින් මගේ

 
 විශිෂ්ට ගේය කාව්‍ය රචකයකු සතු විය යුතු ශික්ෂණය ගිලිහී යා නොදී ස්තී‍‍්‍ර-පුරුෂ පේ‍‍්‍රමයේ කායික පක්ෂය, සම්භෝග සුවය ව්‍යංග්‍යාර්ථවත් බසකින්, කලාත්මක සංයමයෙන් නිර්මාණය කළ ගීත මෙරට ගීත සාහිත්‍යයෙහිම ඇත්තේ අල්පයකි. අජන්තා ලියූ මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවත් කොට ගැයූ මේ ගීතය ඉන් එකකි.
 
 පෙමාතුර හැඟු‍ම් ඇගේ නෙත් කැලූම්
 
 හද සන්තානයේ සදා සරණා
 
 ආයාචනා සුසුම්
 
 නුරාගික පැතුම්
 
 පිපාසිත සිතුම්
 
 මන මන්දිරයේ කලාලය මත
 
 මී අමා බඳුන්
 
 අරා සිරි යහන් - නිදා වැතිරෙමින්
 
 සරා සලෙල සිතිවිලි ගඟ
 
 ගිලී නැහැවෙමින්
 
 නුරා මල්පැනින් - පොඟා යුගලවන්
 
 පිනා පසිඳුරන් සතපමි
 
 සොඳුරු සිහිනයෙන්
 
 නියාලූව හදින්
 
 පියා නෙතු පියන්
 
 යොමා යුග සවන්
 
 තනිවෙමි ඇගේ ගී නදින්
 
 මුදා නිදි දැහැන්
 
 එබී ලෙන් දොරෙන්
 
 අරාජික පරාදීසය
 
 සොයා එමි සිතින්

 
 තම පෙම්වතිය අහිමි වීමෙන් විරහ දුකින් පීඩිත පෙම්වතකු හට කලකට පසුව, නොසිතූ මොහොතක යළිත් ඇය නෙත ගැටුණොත් ඔහු අත්විඳින මනෝභාව කෙබඳු වේද? අප ගීත රචකයා පබැª මේ නිර්මාණයෙන් සහෘදයාටද එය සහානුභූතියක් බවට පත්වේ. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සංගීත අධ්‍යක්ෂණයට භාවපූර්ණ හඬෙන් ගැයුවේ සෝමතිලක ජයමහ සිරිමතුන්ය.
 
 අපි ආයෙත් හමු නොවුණා නම්
 
 ඉස්සර දවසක
 
 මියගිය සෙනෙහස
 
 යළි ඉපදී මා හද හඬවන්නට
 
 අපි ආයෙත් හමු නොවුණා නම්
 
 ඔබ නාඳුනනා විරහ වේදනා
 
 පෙරදා වින්දේ
 
 මා පමණයි
 
 හුඟ කලකින් හමුවී
 
 සෝ ළතැවුල්
 
 අදත් විඳන්නේ මා පමණයි
 
 සමුගන්නට නම් අහිමි ආදරෙන්
 
 ආයෙත් ඇයි අප
 
 හමුවන්නේ
 
 ආදරයේ කඳුළින් මියයන්නද
 
 ජීවිත ඉරණම විසඳෙන්නේ

 
 
 
 
 
 
 
 
 
 ඉතිරි කොටස ලබන සතියේ