”කරුණා නදියේ පැද යාමූ”

අකලට පරවූ සුවඳැති කුසුම සූරිය සංකර් මොල්ලිගොඩ
මැයි 7, 2020

 
 ග‍්‍රැමොෆෝන් ගී යුගයේ බිහි වූ ඇතැම් ගායකයෝ ගායිකාවන් මෙන්ම සංගීතවේදීන් එක් ගීතයක් හෝ දෙකක් ගායනා කොට ස්වකීය අනන්‍යතාවය ගීත ලොවෙහි සනිටුහන් කොට ගීත ලොවින් සදහටම සමුගත් අවස්ථා හමු නොවන්නේ නොවේ. පසුගිය ලිපියක එවැනි සුප‍්‍රකට ගී ගැයූ අප‍්‍රකට ගායිකාවක වූ ”අසෝකා දේවී” පිළිබඳ සටහනක් මම ඔබ වෙත ඉදිරිපත් කළ බව ඔබට මතක ඇතැයි සිතමි. අද මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ තවත් එවැනිම අමරණීය කලාකරුවෙකු පිළිබඳ මතකාවර්ජනයකි. ”අක්කේ අක්කේ අර බලන්නකෝ වැස්සක් නොවැ එන්නේ” සහ ”කරුණා නදියේ පැද යාමු” යන ගීත යුගලය වත්මන් පරපුරේ වුවද නොදන්නා කෙනෙකු නොමැති තරම් ය. දශක අටකට ඉහතදී, එනම් 1941 වර්ෂයේ දී පමණ ග‍්‍රමොෆෝන් තැටියකට නැගුණු මෙම ගීතය ගායනා කළ , ඉතා තුරුණු වියේදීම සමුගත් ”සූරිය සංකර් මොල්ලිගොඩ” නම් එම ගායකයාණන් සහ එසේම අකලට පරවුණු තවත් සුවිශේෂී ගායිකාවක වූ වී. පී . ලීලාවතී මහත්මිය විසින් ගායනා කරන ලද, ”කරුණා නදියේ පැද යාමූ” ගීතයේ ඉතිහාසය මෙම ලිපියෙන් සංක්ෂේප කරන්නෙමි.
 
 ගැ : කරුණා නදියේ පැද යාමූ//
 
 පි : රමණීය කුඩා ඔරුවේ මේ //
 
 ගැ: පැදයාමු පැදයාමූ-
 
 පැදයාමූ කියා පෙම් ගීතේ
 
 කරුණා නදියේ පැද යාමූ //
 
 පි : පුන් සඳ පායාලා සුදිලෙන්නා නදී ජලේ //
 
 සැළෙනා පියුම් සුළෙඟ්නී//
 
 ගැ: පැදයාමු පැදයාමූ-
 
 පැදයාමූ කියා පෙම් ගීතේ
 
 කරුණා නදියේ පැද යාමූ //
 
 ගැ :සැනසේ සැනසේ මේ රාත‍්‍රී//
 
 පි : ඔබවේ ඔබවේ අනුප‍්‍රාණේ ..//
 
 පි : දෙව්ලොව සිරි පානා මඳහාසයෙනා //
 
 නැඟ ඒ හදේ පේ‍්‍රමා රැුළි පිබිදී
 
 ගැ : පැදයාමු පැදයාමූ-
 
 පැදයාමූ කියා පෙම් ගීතේ
 
 ගැ : කරුණා නදියේ පැද යාමූ//
 
 පි : රමණීය කුඩා ඔරුවේ මේ //
 
 ගැ: පැදයාමු පැදයාමූ-
 
 පැදයාමූ කියා පෙම් ගීතේ
 
 කරුණා නදියේ පැද යාමූ //
 
 වර්ෂ 1915 මැයි මස 01 වැනි දා ඇල්පිටියේ ඉතා ධනවත් පවුලක උපත ලද ”සූරිය සංකර් සුගතදාස මොල්ලිගොඩ” මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයයෙනි. කුඩා කල පටන් ම නර්තනයට සහ ගායනයට දස්කම් පෑ මෙතුමා වර්ෂ 1930 දී පමණ පවත්වන්නට යෙදුණු දීප ව්‍යාප්ත ජන ගායනා තරගයෙන් සමස්ත ලංකා මට්ටමින් ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට ද සමත් විය. ක‍්‍රීඩාවට ද, එකලෙස දක්ෂ වූ එතුමා එවකට, ආනන්ද විද්‍යාලයයේ, එන්.එම්. පෙරේරා (පසුකලෙක මෙරට සිටි සුප‍්‍රසිද්ධ දේශපාලඥයෙකු වූ* මහතා ගේ නායකත්වය ඉසිලූ‍ ක‍්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින්නා ද විය.
 
 මේ වකවානුවෙහි ගුරු දේව රබීන්ද්‍රනාත් තාගෝර් තුමා ඇතුළු පිරිසක්, හොරණ ශ‍්‍රීපාලි විද්‍යාලයය විවෘත කිරීමේ උළෙලට මෙරටට පැමිණි, රබීන්ද්‍ර සංගීතය සහ ශාන්ති නිකේතනය පිළිබඳ කරන ලද දේශනයක් ඇසීමෙන් ඒ පිළිබඳව පැහැදුණු මොල්ලිගොඩ තරුණයා, සිය පියාණන්ගේ ආධාර ඇතිව භාරතයේ ශාන්ති නිකේතනය වෙත යන්නේ නර්තනය හැදෑරීම ට ය. කුලූ‍නායර් පඬිතුමා වෙතින් කතකලි නර්තනය ද, අශේෂ් චන්ද්‍ර බන්ධෝපාධ්‍යය (බැනර්ජි* පඬිතුමා වෙතින් එස්රාජ් වාදනය ද ප‍්‍රගුණ කර, ප‍්‍රථම පන්තියේ සාමාර්ථ දිනා ගන්නා මෙතුමා නැවත සිරිලකට පැමිණෙන්නේ ලලිත කලාවන් දියුණු කරන අරමුණ ඇතිව ය. භාරතීය ලලිත කලා අධ්‍යාපනයෙන් අනතුරුව මෙරට, නර්තන ප‍්‍රසංග සහ නාට්‍යාදීන් ට සම්බන්ධ වූ මෙම මොල්ලිගොඩ තරුණයා ගේ කීර්තිය ලක්දිව ඉතා ඉක්මනින් පැතිරී යන්නේ ය. ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිලි අරමුදල සඳහා මෙතුමා විසින් පවත්වන ලද ප‍්‍රසංගයෙහි ”මයුර නැටුම” ද, කොළඹ ආනන්ද බාලිකා විදුහලෙහි සිසුවියන් යොදා කළ ”සඳකිඳුරු නාටකය” ද, මගින් එතුමාගේ ප‍්‍රසිද්ධිය දෙගුණ තෙගුණ වූ අතර, ඒ. ඇම්. අල්විස් මහතා විසින් රචනා කළ, සුරිය සංකර් මොල්ලිගොඩ ඇතුළු පිරිස ගායනා කළ ”සුමධුර සුමධුර ගීත ගයාවී” යන ගීතය ද, එකල අතිශයින් ජනප‍්‍රිය වූ නාට්‍ය ගීතයක් විය.
 
 ”කරුණා නදියේ පැද යාමු” ගීතය රචනා කොට සංගීතවත් කළේ එවකට සිටි පළමු ”වාග්ගේයකාර” ලෙස නම් යෙදුණු ආනන්ද සමරකෝන් සූරීන් විසිනි. එතුමා මෙම ගායනය සඳහා සහාය ගායිකාව ලෙස තෝරාගෙන තිබූණේ එවකට එතුමාගේ ගීත සියල්ලකම පාහේ සහාය ගායිකාව වූ, වී.පී. ලීලාවතී මෙනෙවිය යි. මේ ගීතය පුහුණුවීම් අතරතුර සිදු වූ අහඹු සිදුවීමක් නිසා මෙම ගීතයත්, ”අක්කේ අක්කේ අර බලන්න” ගීතයත් ගායනා කිරීමේ භාග්‍යය සුරිය සංකර් මොල්ලිගොඩ මහතාට හිමි වන්නේ ය. ඒ සිදුවීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ සරසවිය හිටපු කර්තෘ ඒ.ඞී. රන්ජිත් කුමාර මහතාණන් සුරිය සංකර් මොල්ලිගොඩ ශිල්පියා පිළිබඳ රචිත ලිපියක මෙසේ දක්වා ඇත.
 
 ශාන්ති නිකේතනයේ දී නර්තනය සහ සංගීතය හැදෑරු මොල්ලිගොඩ ලංකාවට පැමිණ මෙකි ශාස්ත‍්‍රයන් ප‍්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරිව, සිය සොයුරු සැමුවෙල් තෝමස් මොල්ලිගොඩ මහතාගේ ආධාර උපකාර ඇතිව, කොළඹ කොල්ලූ‍පිටියේ ජායා පෙදෙසේ සියලූ‍ අංගෝපාංග වලින් යුත් කලා නිකේතනයක් වන ”ආනන්ද් භවන්” පිහිටු වී ය. මෙය විවෘත කිරීම සඳහා ස්වකීය වියදමින් ශාන්ති නිකේතනයේ සිය ගුරුදේව වූ කුලූ‍නායර් පඬිතුමා මෙරටට ගෙන්වා ගත්තේ ය. ආනන්ද සමරකෝන් සූරීන් සහ මොල්ලිගොඩ මහතාණන් එවකට භාරතයේ ශාන්ති නිකේතනයේ සංගීත ශාස්ත‍්‍රාදිය හැදෑරූ සමයේ පටන් ගජ මිතුරෝ වූහ. ආනන්ද සමරකෝන් මහතා එතුමාගේ ගීත පුහුණුවීම් මෙකල කරන ලද්දේ මෙම ”ආනන්ද් භවන්” කලා නිකේතනයේ ය.
 
 1941 වසරේ එක්තරා දිනෙක ”අක්කේ අක්කේ අර බලන්නකෝ” ගීතය පුහුණුවීම් කරන විට එක්තරා අහඹු සිඳුවීමක් සිදු විය. රන්ජිත් කුමාර මහතා සිය ලිපියෙජි එය මෙලෙස දක්වා ඇත. මෙම ගීතය තව තවත් ලීලාවතී වෙත පුහුණු කළ යුතු බව සමරකෝන් සූරීන් ගේ අදහස විය. මේ පුහුණුවීම් අතර මොල්ලිගොඩ මහතා එතනට පැමිණ ඇත. ”අනේ සර් ආපු එක හොඳයි, මට සර් ගෙන් උදව්වක් ඕනෑ, ආනන්ද සර් ගයන කොටස සර් ගැයුවොත් මට එය වඩා පහසුවක් වේවි” යනුවෙන් ලීලාවතී මෙනෙවිය පැවසුවා ය. ලීලාවතී ගේ ඉල්ලීමට එකඟ වූ මොල්ලිගොඩ මහතා ගීතය කීප වරක් ලීලාවතී සමග ගායනා කරනු පසෙකට වී බලා සිටි ආනන්ද සමරකෝන් මහතා ”හරියටම හරි.....මටත් වඩා හොඳට ඔබ ගයනවා නොවැ ....කතා දෙකක් නැහැ අපි මේ ගීතය තැටිගත කරමු” යයි පැවසුවේ ය. බලාපොරොත්තු විරහිත වූ සමරකෝන් ගේ මේ ප‍්‍රකාශය සමගින් මොල්ලිගොඩ ට කිසිවක් කිව නොහැකි විය. වංග ආභාසය ලද තනුවක් ඇසුරින් නිර්මිත ”අක්කේ අක්කේ අර බලන්නකෝ” ගීතයේ තැටියේ අනෙක් පසට ගැලපෙන තවත් රබීන්ද්‍ර ගීත තනුවක් සමරකෝන් මහතා තෝරා ගත්තේ ය. වර්ෂ 1941 දී ්‍යඵඪ තැටි සමාගම වෙනුවෙන් අංක භ 13064 යටතේ සුරිය සංකර් මොල්ලිගොඩ සහ ලීලාවතී ගේ හඬින් මෙම ගීත යුග්මය තැටිගත කෙරෙන්නේ ය. අතිශයින් ජනප‍්‍රිය වන මෙම ගීත යුගලයේ ම ප‍්‍රතිනිකුතුවක් ්‍යඵඪ සමාගම මගින් නිකුත් කරන්නේ මෙම ගීත තැටිය ඉතා ඉක්මනින් අලෙවි වීම නිසා ය. ”අක්කේ අක්කේ අර බලන්නකෝ” ගීතය එවකට පාසල් සිසුන් අතර ද වඩාත් ජනප‍්‍රිය ගීතයක් වන්නේ ය. එම තනුවටම COLUMBIA තැටි සමාගම විසින් ඇන්. කේ. කාරියවසම් මහතා සහ ශිෂ්‍යාව ලවා ”සුරතල් මගේ පොඩි සමනළයෝ” (සමනළයා සහ ළමයා* යනුවෙන් ගීතයක් ද නිකුත් කරන්නේ ය.
 
 මෙම ගීත තැටියට අඩංගු වූ අනෙක් ගීතය වූයේ, අද මා ඉදිරිපත් කරන ”කරුණා නදියේ පැද යාමු” ගීතය යි. එවකට COLUMBIA සමාගම මගින් වෙළෙඳපොළට නිකුත් කර ජනප‍්‍රිය වී තිබූ , යූ .ඞී පෙරේරා මහතා රචනා කොට, කේ.කේ.රාජලක්ෂ්මි සහ මොහිදීන් බෙග් ගැයූ ”කරුණා මුහුදේ නාමු ගිලීලා-පේ‍්‍රම මනෝහර ගීත කියා ලා” ගීතය, මේ අනුභූතිය ම යටතේ රචනා විය. කෙසේ වෙතත් වංග කලා ආභාසය ගුරුකොට ගත් සමරකෝන් ගේ බොහෝ මුල් කාලීන ගීත (”ඇසේ මධුර ජීවනයේ ගීතා” , ”එන්නද මැණිකේ මමත් දියඹටා” ආදී* මෙන් මෙම ගීතයේ ද සම්භෝග ශෘදගාරය නොඅඩුව ගැබ්ව පැවතිණි. මෙම ගීතය හින්දුස්ථානී සංගීතයෙහි යමන් රාගය ඇසුරින් නිර්මිත අතර ත‍්‍රිතාලයෙන් සමාශ‍්‍රිත ය. පියානෝව, බටනලාව, වයලීනය, එස්රාජය සහ තබ්ලාව භාවිත කොට මනරම් අයුරින් ගීතයේ සංගීතය සමරකෝන් සූරීන් විසින් නිර්මාණය කර ඇත.
 
 ”කරුණා නදියේ පැද යාමු” ගීතයට පදනම් වු වංග තනුව උපුටා ගැනුණේ ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර් ගේ ගීයක් වූ ”පොරෝබාශි චෝලේ එසෝ ඝරේ” යන රබීන්ද්‍ර ගීය ඇසුරිනි. රබින්ද්‍රනාත් තාගෝර් තුමන් අතින් මෙම ගීතය රචනා වන්නේ වර්ෂ 1926 දී පමණ, එවකට ප‍්‍රචලිතව පැවති වංග කලා සඟරාවක් වූ ”ප‍්‍රභාශි” සඟරාවෙහි 25 වැනි වර්ෂපූර්ණය වෙනුවෙනි. මෙම ගීතය සඳහා පසුව ස්වර ප‍්‍රස්තාර නිර්මාණය කොට තනු යොදන්නේ ශාන්ති නිකේතනයේ එවකට සිටි ජනප‍්‍රිය සංගීතවේදියෙකු වූ , අනාදි කුමාර් දස්තිදර් විසිනි. මෙම ගීතය ග‍්‍රමොෆෝන් තැටියකට නැගුණේ ද ප‍්‍රමාණවත් සශ්යයක් සොයා ගැනීමට නොහැකි වූ නමුත්, මෙම ගීතය විටින් විට රබීන්ද්‍ර සංගීතයෙහි අනුගාමික ශිෂ්‍ය -ප‍්‍රශිෂ්‍ය පරම්පරා ගණනාවක් අද දක්වා ම ගායනා කරන ගීතයකි. ඒ අතුරින්, ගායක සුභීර් සෙන් ගේ ගායනය අදටත් ජනප‍්‍රිය ය. හින්දුස්ථානි යමන් -කල්‍යාන් රාගයෙන් සහ කෙහෙර්වා තාලයෙන් නිර්මාණය කරන ලද මෙම වංග ගීත තනුව 1930 දශකයේ ශාන්ති නිකේතනයේ අතිශය ජනප‍්‍රිය ගීත තනු අතුරින් එකක් වීම තුළින් එවකට එහි ශිෂ්‍යයෙකුව සිටි සමරකෝන් හට මෙම ගීතය නිර්මාණය කිරීමේ මූලික පදනම යයි අනුමාන කළ හැකි ය. එසේම වංග (බෙංගාලි* ගීතයේ අදහස කිසියම් අයුරකින් සමරකෝන් හට අනුපේ‍්‍රරණය වූ බව ද අනුමාන කළ හැක. වංග ගීතයෙහි ගැබ් ව ඇති ”ඔරුවකින් සංක‍්‍රමණය වන මගියෙකුට නැවත එන්නට කියන ආයාචනය, හමනා සුළගෙහි සහ නුබ කුසෙහි දක්වන චමත්කාරය” ආදිය පිළිබඳ සටහන් වන මුල් රබීන්ද්‍ර ගීතයේ ගැබ් වූ කොටස් සමරකෝන් හට කිසියම් අයුරකින් ගීත රචනාව වෙත ආභාසයක් ලබා දුන්නා විය හැකි ය. කෙසේ වෙතත්, සමකාලීන ග‍්‍රමොෆෝන් ගීත රචනා හා සලකා බලන කල, ස්වභාවික සෞන්දර්යය සහ පේ‍්‍රමයේ සුප‍්‍රහර්ශය එකිනෙක සියුම්ව බන්ධනය කිරීමට සමරකෝන් විසින් දැක්වූ ප‍්‍රතිභාව අතිමහත් ය.
 
 ගීතය ගායනා කළ සුරිය සංකර් මොල්ලිගොඩ මහතා විසින් HMV සමාගම වෙනුවෙන් තැටිගත කළ එකම සහ අවසාන ගීත තැටියත් ,ගීත යුග්මයත් මෙය ම විය. වර්ෂ 1948 මාර්තු මස 22 දින වයස 33 ක් සපිරෙද්දී මෙතුමා අකාලයේ මිය යන්නේ ක්ෂයරෝගය වැළඳීම නිසාවෙනි. භාරතයේ සිට සංගීත අධ්‍යාපනය ලබා පැමිණි සිටි සුනිල් සාන්ත මහතා නවාතැන් පහසුකම් ලබා දෙමින් ඔහුගේ සංගීත කටයුතු සඳහා සූරිය සංකර් මොල්ලිගොඩ මහතා එවකට සුනිල් සාන්ත සූරීන් වෙත අත - හිත දුන්නේ ය. සූරිය සංකර් මොල්ලිගොඩ මහතාගේ සුමිතුරෙකු වූ සුනිල් සාන්තයන්, මොල්ලිගොඩ මහතාගේ අකල් වියෝව වෙනුවෙන්, ගීතයක් රචනා කොට, තනු නිර්මාණය කොට ගායනා කළේ ය. ”සුමිහිරි සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවනුයේ” යනුවෙන් ගැයුණු වූ එම ගීතය සූරිය සංකර් මොල්ලිගොඩ නම් වූ කලාකරුවා වෙනුවෙන් ගැයුණු උපහාර ගීතයක් විය.
 
 මැයි මස 01 වෙනිදාට යෙදුණු සූරිය සංකර් මොල්ලිගොඩ මහතාගේ එකසිය පස් වන ජන්ම සංවත්සරය වෙනුවෙන් මෙම සටහන එතුමාගේ නාමයට උපහාරයක්ම වේවා !
 
 විශේෂ ස්තුතිය :
 
 ග‍්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂක ජයරත්න ප‍්‍රනාන්දු මහතා, සූරිය සංකර් මොල්ලිගොඩ මහතාගේ සේයාරුවක් ලබාදුන් කපිල සිරිමාන්න මහතා, ගීතයන් හි සංගීතමය වටිනාකම කියාදුන්, ලලිතකලා වේදිනි , විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය සහ බුද්ධි ගයාශාන් ජයසේකර මහතා, වංග ජාතික ජ්‍යෝති ප‍්‍රකාශ් ගුහා මහතා.
 
 ආශ‍්‍රිත ලිපි : ”හනිකට පර වූ සුමිහිරි සුවඳැති මල -සූරිය සංකර් මොල්ලිගොඩ”- ඒ.ඞී. රංජිත් කුමාර - ”හඬ” සඟරාව.