ස්ත්‍රීන්ටඑදා අකැප වූ ”නෙයියාඩගම්”

මැයි 14, 2020

පසුගිය මාර්තු 8 වැනිදා අන්තර්ජාතික කාන්තා දිනය වෙනුවෙන් ජාතික රූපවාහිනියේ විකාශය කෙරුණු රංගභූමි එසැණ (Live) වැඩසටහනට මට ඇරැුයුම් ලැබුණේ ”ලාංකේය වේදිකාවේ නිළි භූමිකාව” අරභයා අදහස් දැක්වීමටය. රත්නා ලාලනී ජයකොඩි, නිහාරි වික‍්‍රමාරච්චි, මාදනී මල්වත්තගේ, තරංගා කුමාරි, ප‍‍්‍රසාදිනී අතපත්තු, මිහිරි පි‍‍්‍රයංගනී යනාදී ප‍‍්‍රවීණ, නවක නාට්‍ය රංග ශිල්පිනියෝ මා සමඟ මේ වැඩසටහනට දායක වූහ. ප‍‍්‍රවීණ, නාට්‍ය රංග ශිල්පී ජයනාත් බණ්ඩාර මෙහි පූරකයා වූ අතර, නලින් මාපිටිය අධ්‍යක්ෂණය කළේය. වැඩසටහනෙන් පසු මේ සියලූ දෙනාම පාහේ මගෙන් ඉල්ලීමක් කළහ. එනම් මා මෙහිදී දැක්වූ අදහස් ලිපියකින් ලියා තබන ලෙසය. නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම සියලූ සහෘදයන්ටත් ඉන් ලැබෙන විපුල ඵල රත්නා ලාලනිය සිහිපත් කළාය. මේ ප‍‍්‍රස්තුතය ගැන ලිවීමට මා උත්තේජනය ලැබුවේ එමඟිනි. එහෙත්, මේ ලිපිය ”ලාංකේය වේදිකාවේ නිළි භූමිකාව” අරභයා ආරම්භයේ සිට අද්‍යතනය දක්වා විධිමත් ලෙස සිදුකෙරුණු ශාස්තී‍‍්‍රය නිබන්ධයක් ලෙස සහෘද ඔබ නොසැලකිය යුතුය. මේ වූ කලී දීර්ඝ කාලයක් වැයකොට සිදු කළ යුතු පුළුල් ශාස්තී‍‍්‍රය පර්යේෂණයකි. එහෙත්, මෙහිදී මාගේ වෑයම වනුයේ මතකයට නැෙඟන අයුරින් මෙරට වේදිකාවේ නිළි භූමිකාවේ ඇරැුඹුම, එහි විකාශනය හා සුවිසෙස් මංසලකුණු සංක්ෂේපයෙන් සිහිපත් කොට දීමය.

දුරාතීතයේ සිටම මෙරට සාහිත්‍යයේත්, වේදිකා නාට්‍යයේත්, සිනමාවේත්, ස්තී‍‍්‍රත්වය නිරූපිතව ඇති ආකාරය පුළුල්ව විමසා බැලූවිට එය තෙයාකාරයකට බෙදා දැක්වීම සහේතුකය.

එනම්;

1. පරමාදර්ශී ස්තී‍‍්‍රත්වය

(Ideal Womanhood)

2. චපල ස්තී‍‍්‍රත්වය

(Unstable Womanhood)

3. යථාර්ථවාදී ස්තී‍‍්‍රත්වය

(Realistic Womanhood)


සාහිත්‍යයෙහිත්, වේදිකා නාට්‍යයෙහිත්, සිනමාවෙහිත් දාරක සමයේ බහුලව දක්නට ලැබුණේ ස්තී‍‍්‍රත්වය අරභයා පරමාදර්ශී හෝ චපල යන අන්තවාදී දෘෂ්ටිකෝණ ද්වයෙන් නිරූපිත චරිත බැව් පෙනේ. එහෙත්, මෙකී සියලූ කලා මාධ්‍යයන්ට කලාත්මක ධාරාවේ නිර්මාණ ප‍‍්‍රවිෂ්ට වීමත් සමඟ මේ දෙඅන්තයන්ට දෝලනය නොවුණු එනම් මුළුමනින්ම සුදු හෝ කළු ලෙස පැතලි නොවූ සංකීර්ණ, යථාර්ථවාදී ස්තී‍‍්‍රත්වය නිරූපණය විය.

මෙරට සම්භාව්‍ය සාහිත්‍යයේ මුදුන්මල්කඩ වූ පන්සිය පනස් ජාතක සංග‍‍්‍රහයේ එදා මෙදා සාහිත්‍ය කලාවන්හි පහළ වූ සකලවිධ ප‍‍්‍රවණතා සේම යථෝක්ත ස්තී‍‍්‍ර භූමිකා හඳුනාගත හැකිය. ජාතක කතා සංග‍‍්‍රහයෙහි බොහෝ තැන්හි බුද්ධ භාෂිතය දක්නා ලැබුණත් මෙය මුළුමනින්ම බුද්ධ භාෂිතය ඇතුළත් කෘතියක් නොවේ. එහෙයින් ජාතක කතා සංග‍‍්‍රහය යනු මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියකි. එය බෞද්ධ දර්ශනය හැදෑරීම සඳහා භාවිත නොකළ යුත්තේ එහි අවශේෂ දෘෂ්ටීන්ද සංකලනය වී තිබෙන හෙයිනි. නිදර්ශනයකට ඇතැම් ජාතක කතාවල ස්ති‍‍්‍රය අරභයා බමුණු ආකල්පද දිස්වේ. එහෙත්, ස්ති‍‍්‍රයගේ සංකීර්ණත්වය, ගූඪ චෛතසික ස්වභාවය ශූර ලෙස හෙළි කෙරෙන කතාද එහි සුලබය. කෙබඳු කලා මාධ්‍යයකින් වුවද ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි කිරීමට ඉවහල් කොට ගත හැකි කතා සංකල්ප කොතෙකුත් මෙහි ගැබ්ව තිබේ.

ස්ති‍‍්‍රය වූ කලී විශ්වාස කළ නොහැකි චපල තැනැත්තියකි යන දෘෂ්ටිය බමුණු සමයෙන් අවධාරණය කෙරිණ. මෙහි ආභාසය ලැබූ විෂ්ණු ශර්මන් තම ”පංච තන්ත‍‍්‍රය” හි දැක්වූයේ ස්ති‍‍්‍රය වූ කලී එක් තැනැත්තකු දෙස බලමින් දෙවැන්නකු හා කතා කරමින් තෙවැන්නකු පිළිබඳව සිතන තැනැත්තියක” බවය.

බ‍‍්‍රාහ්මණ සාහිත්‍යයේ ස්ති‍‍්‍රයගේ දුර්ගුණ විග‍‍්‍රහ කෙරෙන සකු ශ්ලෝක රාශියක් දක්නට ලැබේ. ප‍‍්‍රත්‍ය ශතකයේ දැක්වෙන ඉන් එකක් මේය.

”ඖදුම්බර භවං පුෂ්පං

ශ්වේත වර්ණශ්ච කාකයෝඃ

මත්ස්‍ය පාදං ජලේ පශ්‍යයේත්

නාරි චිත්තං නවිශ්වසේත්”

(අට්ටික්කා ගසේ මල් පිපී ඇතැයි කීවත්, සුදු කපුටන් දක්නට ඇතැයි කීවත්, මත්ස්‍යයන්ගේ පාද ජලයේ සටහන් වී ඇතැයි කීවත් පිළිගන්න. එහෙත්, ස්ති‍‍්‍රයකගේ සිත කිසිවිටක විශ්වාස නොකරනු.)

ස්තී‍‍්‍රන් අරභයා බමුණු මතවාද මෙලෙස පැවතුණත් මෙරට බුදු දහමෙන් සුපෝෂණය වූ සභ්‍යත්වයෙහි ස්ති‍‍්‍රයට, මාතෘත්වයට නිසි තැන, ගෞරවය හිමි විය. එහෙත්, දුරාතීතයෙහි කලා සාහිත්යික ලෝකයට ස්තී‍‍්‍රන්ගේ ප‍‍්‍රවිෂ්ටය පමා වීමට සමාජ තහංචි බලපෑ බැව් පෙනේ.

අනුරාධපුර යුගයේ කි‍‍්‍ර.ව. හයවැනි සියවසේ අක්බෝ රජු සමයේ විසූ දොළොස් මහා කවීන් අතර දළබිසෝ ලෙස හමුවනුයේ එක් කිවිඳියකි. කි‍‍්‍ර.ව. අටවැනි සියවසේ සීගිරි කැටපත් පවුරේ ගී ලියූවන් අතර, විරලව ගී ලියූ ස්ති‍‍්‍රයක් එහිදී ඍජුව තම නමින් එය ලීවේ නැත. ”පඹුගේ අඹු” ලෙස ඇය පෙනී සිටින්නේ පඹු නමැති පුරුෂයාගේ බිරිය ලෙසිනි. ”නච්ච ගීත වාදිත විසූක දස්සන” යන ශික්ෂා පදයත් දඹදෙණි කතිකාවත ආදියෙහි ”ගර්හිත කලා” ලෙස හැඳින්වීමත් හේතුකොට මෙරට නාට්‍ය කලාවක නැඟීම මඳක් පමා විය. නාට්‍ය කලාව ස්ථාපිත වූ පසුවත් ඊට ස්තී‍‍්‍රන්ගේ ප‍‍්‍රවිෂ්ටය නිසි අයුරෙන් දිස්වීමට තවත් සැලකිය යුතු කාලයක් ගත වූ බැව් පෙනේ. සන්නි යකුම, රිද්දි යාගය, මහසෝන් සමයම, සූනියම් කැපිල්ල, ගම්මඩු, දෙවොල් මඩු, කොහොඹා කංකාරිය, කෝලම් නාටක යනාදී ශාන්තිකර්මවල නට්‍යෝචිත ලක්ෂණ පැවතියත් 1824 මෙරට ස්ථාපිත වූ ප‍‍්‍රථම නාට්‍ය සම්ප‍‍්‍රදාය ”නාඩගම” වේ. උපහාසාත්මක ලෙස සමාජයේ ව්‍යවහාර වූ පරිදි ”නෙයියාඩගම්” නැටීමට ස්තී‍‍්‍රන්ට අවස්ථාව ලබා දීමට එදා වැඩිහිටියෝ මැළි වූහ. මේ නිසා එවක කිසිදු නාඩගමකට ස්තී‍‍්‍රන්ගේ රංගන දායකත්වය නොලැබිණ. එහෙයින් වෙස්සන්තර නාඩගමෙහි මන්ද්‍රි දේවියගේ චරිතය රඟපෑවේ පිරිමියෙකි. ස්තී‍‍්‍ර වෙස් ගත් පිරිමි නළුවෝ එදා නාඩගම්වල විවිධ කාන්තා චරිත රඟපෑහ.

1877 දී හින්දුස්ථානි නාට්‍ය සමාගම ”ඉන්දර්සභා” නුර්තිය රඟදැක්වීමත් සමඟ මෙරට පේ‍‍්‍රක්ෂකයෝ මුල්වරට ස්තී‍‍්‍රන් විසින්ම ස්තී‍‍්‍ර චරිත රඟපානු ලබන අයුරු දුටුවෝය. ”ඉන්දර්සභා” ඉන්දියානු නුර්තියෙහි ආභාසයෙන් සී. දොන් බස්තියන් 1877 දීම ”රොලීනා” නමින් ලංකාවේ ප‍‍්‍රථම නුර්ති නාටකය නිර්මාණය කළේය. නුර්තියේ සෙසු අංග උකහා ගනු ලැබුවත් ඔහු එකවරම ස්තී‍‍්‍ර චරිතවලට ස්තී‍‍්‍රන් යොදා ගැනීමට පවතින සමාජ තහංචි හමුවේ මැළි වූයේය.

එහෙත්, 1885 දී සී. දොන් බස්තියන් නිර්මාණය කළ ”රොම්ලින්” නාටකයෙන් ලංකාවේ ප‍‍්‍රථම නිළිය දොරට වැඩියාය. ඇය ආනා පෙරේරා කන්නන්ගරය. එහෙත්, ආනා වේදිකා නාට්‍ය ක්ෂේත‍‍්‍රයේ ස්ථාවර වූ තාරකාවක් නොවුණි. එවක තිබූ සමාජ තහංචි වැඩිකල් යානොදී රංගනයෙන් මුළුමනින්ම බැහැර වීමට ඇයට බලපෑවා විය හැකිය.

යුරෝපයේ ද මේ සමාජ තහංචිය එලෙසින්ම බලපෑ අතර අතීතයේ ග‍්‍රීක යුගයේ නාට්‍යවලද ස්තී‍්‍රන් යොදා ගැනීම භායානක දෙයක් ලෙස සැලකිණ. රෝම නාට්‍යය යුගයෙහිද මෙය එලෙස අනුදත් නමුත් පසුව රෝම නාට්‍යකරුවෝ මුල්වරට ස්තී‍්‍රන් රංගනයට යොදා ගැනීමට උත්සුක වූහ. ආසියානු කලාපයේ ප‍‍්‍රමුඛ රටවල කලා ඉතිහාසය විමසීමෙන් ස්තී‍්‍රන්ට තිබූ තංහංචිය වටහාගත හැකිය. ජපන් නාට්‍ය කලාවෙහිද ස්තී‍‍්‍රන් රංගනයට පිවිසීම මඳක් පමා විය. 1913 දී ඉන්දියානු සිනමාව ඇරැඹෙන විට දාදා සහේබ් පාල්කේගේ(Raja Harishchandra) චිත‍‍්‍රපටයට කථා නායිකාවක් සොයා ගැනීම අසීරු විය. අවසන පාල්කේ තම බිරියගේද අනුමැතිය ඇතිව ඉන්දියාවේ වෛශ්‍යාවන් සොයා ගියේ (Raja Harishchandra)  චිත‍‍්‍රපටයේ ප‍‍්‍රධාන නිළි චරිතයට සුදුසු ස්ති‍‍්‍රයක් සොයනු පිණිසය. වෛශ්‍යාවක් මෙහි රඟපෑමෙන් මතු විය හැකි සමාජ විරෝධය ගැන ඉක්බිතිව සිතූ ඔහු, ඒ තීරණය වෙනස් කොට ඒ. සලූන්කේ (අන්නා සලූන්කේ නමැති නළුවා ස්තී‍‍්‍ර වෙස් ගන්වා නිළියක බවට පත් කළේය.

1925 දී මෙරට පළමු නිහඬ වෘත්තාන්ත චිත‍‍්‍රපටය වූ ”රාජකීය වික‍්‍රමය නොහොත් ශාන්තා” උදෙසාද කථා නායිකාවක් සෙවීම අසීරු විය. යුරෝපීය සම්භවයක් ඇති සිබිල් ෆීම් නමැති බර්ගර් ජාතික තරුණිය අවසානයේ මේ සඳහා එකඟ වූයෙන් එන්.එම්. පෙරේරා සමඟ ප‍‍්‍රධාන චරිතය රඟපෑමට ඇයට හැකියාව ලැබිණ. එහෙත්, මෙහි රඟපෑ ගේ‍‍්‍රෂන් පෙරේරා ස්තී‍‍්‍ර වෙස් ගෙන ස්තී‍‍්‍ර චරිතද රඟපෑ බව ඓතිහාසික මූලාශ‍‍්‍ර අනුව හෙළි වේ. ගේ‍‍්‍රෂන් පෙරේරා යනු ලාංකේය චිත‍‍්‍රපටයක දුෂ්ට චරිතයක් රඟපෑ පළමු වැනි නළුවා වේ.

1911 ටවර්හෝල් නාට්‍ය සම්ප‍‍්‍රදාය ඇරැුඹීමත් සමඟ රංගනයට ස්තී‍‍්‍රන්ගේ ප‍‍්‍රවිෂ්ටයට මඟ හෙළිපෙහෙළි වන්නට විය. නුර්ති යුගයේ ප‍‍්‍රමුඛ නාට්‍යවේදියාණන් වූ නීතිඥ ජෝන් ද සිල්වා ස්වකීය නාට්‍යවලට ස්තී‍‍්‍රන් යොදා ගැනීමට මැළි වුවත් ඔහුගේ පුත් පීටර් ද සිල්වා සමාජ තහංචි නොතකා තම නාට්‍යවලට ස්තී‍‍්‍රන් යොදා ගත්තේය.

ඉතිරි කොටස ලබන සතියේ....